හොදෙයිදා ප්‍රහාරය හා යේමනය තුල වොෂින්ටනයේ යුද අපරාධ

The siege of Hodeidah, Washington’s war crime in Yemen

2018 ජුනි 15

සවුදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය (යූඒඊ) විසින් නායකත්වය දෙමින් ජුනි 13 උදෑසන සිට දියත් කර ඇති යේමනයේ රතු මුහුදු හොදෙයිදා වරාය අල්ලාගැනීමේ ප්‍රහාරය, එක්සත් ජාතීන්ගේ තක්සේරුවකට අනුව මිලියන කාලක පමන ජීවිත විනාශ කල හැකි අතර රටපුරා කුසගින්න හා ලෙඩරෝග ඇති කරමින් තවත් මිලියන ගනනක් මරා දැමීමට තර්ජනය කරයි.

රටෙහි ආහාර ප්‍රමානයෙන් සියයට 90කට ආසන්න ප්‍රමානයක් ආනයනය කිරීම මත රඳා සිටින රටක, ජනගහනයෙන් අඩු තරමින් සියයට 70කට වත් ආහාර, ඉන්ධන හා බෙහෙත් සපයන ප්‍රධාන මාර්ගය වන හොදෙයිදා වරාය මත ප්‍රහාරයේ ප්‍රධාන අරමුන වන්නේ සිවිල් වැසියන් මත මහා පරිමාන පීඩාව පතිත කිරීම යි. මෙහි ඉලක්කය වන්නේ දුගී යේමන ජනයා යටත් කරගැනීම පිනිස කුසගින්නේ තැබීම යි.

400,000 හා 600,000 අතර ජනගහනයක් සහිත යේමනයේ වඩාත් ම ජනඝනත්වයක් සහිත නාගරික ප්‍රදේශය වන නගරය අල්ලාගැනීමේ සටන, හවුති කැරලිකරුවන්ගේ පාලනය පෙරලා දමා රියාද් හා වොෂින්ටනයේ රූකඩ තන්ත්‍රය වන අබ්ද් රබූ මන්සූර් හාදි නායකත්වය යලි බලයේ පිහිටුවීමේ ඉලක්කය ඇති ව 2015 මාර්තුවේ දී සවුදි අරාබිය විසින් යේමනයට එරෙහි ව දියත් කල යුද්ධයේ වඩාත් ම ලේවැකි සටන බවට පත්වීමේ පෙර නිමිති පලකරයි.

යුද්ධය ආරම්භ වී යන්තම් වසර තුනකට වැඩි කාලයක් ගෙවුනු තැන අවම වසයෙන් 13,000ක් වත් මරා දමනු ලැබ ඇති අතර, ඉන් බහුතරය සවුදි ගුවන් ප්‍රහාරවලට ගොදුරු වූ සිවිල් වැසියන් ය. සවුදි නායකත්වය යටතේ සිදු කල බාධක පැනවීම් තුල ආහාර හා ඖෂධ කපාහැරීම ද ගුවන් යුද්ධය විසින් ඇති කල මූලික යටිතල පහසුකම් විනාශ කිරීමද මගින් ඇති කර තිබෙන මරන ගනන සුවිසල් ලෙස ඉහල ය.

සේව් ද චිල්රන් (ලමුන් රැකගනිමු) ආධාර කන්ඩායමට අනුව, පසුගිය වසරේ පමනක් යේමන ලමුන් 50,000ක්, එනම් දල වසයෙන් සතියකට 1,000ක් කුසගින්න හේතුවෙන් මැරුනි. මිලියනයක් පමන වන යේමන වැසියන් කොලරාවට ගොදුරු වී සිටින අතර එම වසංගතය 2,500කට ආසන්න ජනජීවිත ගොදුරු කරගෙන ඇත. හොදෙයිදා ප්‍රහාරයට සූදානම් වීමේ කොටසක් ලෙස සවුදි යුද ගුවන්යානා දේශසීමා රහිත වෛද්‍යවරුන් විසින් පවත්වාගෙන ගිය කොලරා සායනයකට බෝම්බ හෙලූ හ.

හිට්ලර්ගේ තුන්වන රයිකය විසින් ශතවර්ෂ තුන්කාලකට පෙර ගෙනගිය වර්ගයේ වන සමස්ත ජනගහනයකට එරෙහි මෙම යුද්ධය, එහි ආරම්භයේ පටන් ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ලබා දුන් නිර්බාධිත මිලිටරි හා දේශපාලනික සහයෝගය නො වන්නට, කල නො හැක්කක් වනු ඇත.

යේමනය විනාශ කිරීමට හා එහි ජනයා සමූල ඝාතනය කිරීමට, එක්සත් ජනපදය ද එහි එක්සත් රාජධානිය හා ප්‍රන්සය යන නැටෝ සහකරුවන් ද සමගින් සම්පාදනය කල ගුවන්යානා, යුද නැව්, බෝම්බ, මිසයිල හා ෂෙල් වෙඩි භාවිතා කරනු ලැබ ඇත. සිය අට අවුරුදු ධුර කාලයේ දී රියාද්හි රාජාන්ඩුවාදී ආඥාදායකත්වයට ඩොලර් බිලියන 115ක ආයුධ වෙලඳාම් කිරීම ජනාධිපති බැරැක් ඔබාමා යටතේ සිදු විය. සවුදි අරාබිය, අනෙකුත් ප්‍රතිගාමී තෙල්වලින් යැපෙන රාජධානි හා ඊස්රායලය සමගින් ඉරාන-විරෝධී අක්ෂයක් පන්නර ගන්වා ගැනීමට ක්‍රම සොයා ඇති ට්‍රම්ප් පරිපාලනය, රියාදය සමග ඩොලර් බිලියන 110ක් පමන ආයුධ වෙලඳ තැරැව්කාරකම් කර ඇත.

යේමන සිවිල් වැසියන් මත බෝම්බ හෙලන ගුවන්යානාවලට ගුවන්මග දී ඉන්ධන යෙදීම, එක්සත් ජනපද රහස් තොරතුරු හා සැපයුම් නිලධාරීන් සහිත රියාද්හි පවතින අනදෙන මධ්‍යස්ථානයකට කාර්යමන්ඩල යෙදීම හා ඇමරිකානු යුද නැව් යොදාගෙන යේමනය බාධනය කෙරෙන සවුදි-යූඒඊ බාධකයක් පවත්වාගෙන යාම ආදිය කරමින් සවුදිය නායකත්වය දෙන සංහාරයට පෙන්ටගනය විසින් ඍජු හා නැතිව ම බැරි ආධාර සපයා ඇත. යේමන-විරෝධී මෙහෙයුම්වල දී සවුදි පාබල හමුදාවන්ට උදවු කිරීමට මෑතක දී එක්සත් ග්‍රීන් බෙරෙත් හමුදා දියත් කර තිබේ. “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” නාමයෙන් යේමනය තුල තමන්ගේ ම ගුවන් යුද්ධයක් කරගෙන යන පෙන්ටගනය, 2017 වසර තුල අවම වසයෙන් ගුවන් හා ඩ්‍රෝන් ප්‍රහාර 130ක් වත් එල්ල කර ඇති අතර, එම සංඛ්‍යාව 2016 සංඛ්‍යාව මෙන් හතරගුනයකි.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ප්‍රකාශනයක රූපයෙන් වර්තමාන හොදෙයිදා ප්‍රහාරයට ට්‍රම්ප් පරිපාලනය විසින් කොල එලිය දුන් අතර, යූඒඊ පාලකයන් සමග ඔහු කතා කර තිබුනු බවත්, “ඔවුන්ගේ ආරක්ෂක කාංසාවන් ආමන්ත්‍රනය කිරීමට අපට ඇති තැකීම පැහැදිලි කල” බවත් එමගින් නිවේදනය කලේ ය. වරාය නගරයේ ඉලක්ක තෝරාගැනීමට එක්සත් ජනපද නිලධාරීන් උදවු දෙමින් සිටින බව පෙන්ටගන නිලධාරීහු වාර්තා කර ඇත.

යේමනය තුල දිගහැරෙන ව්‍යසනයේ පරිමානය ද එක්සත් ජනපද ආන්ඩුව විසින් ඉටු කරන අපරාධකාරී භූමිකාව ද ගත් කල, හොදෙයිදා අල්ලාගැනීමේ ප්‍රහාරය ඇමරිකානු සංගත මාධ්‍ය විසින් බොහෝසෙයින් නොසලකා හැර තිබීම සැලකිල්ලට ගත මනා ය. එය, දසදහස් ගනන් ඝාතනය කල ඉරාකයේ මොසුල් හා සිරියාවේ රකා නගර අල්ලාගෙන ඒවා අලුධූවිලි බවට පත් කිරීමේ දී මෙන් ම, ඉරාකයේ සදාම් හුසේන් තන්ත්‍රය ඇදවැට්ටවීමේ දී 500,000ත් මිලියනයත් අතර යයි තක්සේරු කෙරෙන සිවිල් වැසියන් ඝාතනයේ දී එම මාධ්‍ය අනුගමනය කල පිලිවෙත ම ය.

යේමනය වනාහි සෝවියට් සංගමය බිඳ විසුරුවීම මගින් දියත් කරන ලද නොනවතින යුද්ධයේ හා නිර්බාධිත අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයේ ලෝක තත්ත්වය පිලිබඳ සංකේතයකි.

1930 ගනන් හා 1940 ගනන්වල පරිමානයේ යුද අපරාධ මුලුමනින් ම පාහේ සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. සිවිල් ජනයා සංහාරයට ලක්කරනු ලැබිය හැක; එක්සත් ජනපදයේ දකුනු දේශසීමාවේ සිට මධ්‍යධරනී ප්‍රදේශයට පැමිනෙන සරනාගතයන්ට ගෙස්ටාපෝ විධික්‍රමවලින් සලකනු ලැබිය හැක; වොෂින්ටනයේ ආරක්ෂාව ද සහිත ව ඊස්රායල මිලිටරියට විපාක රහිත ව නිරායුද පලස්තීන විරෝධතාකරුවන්ට වෙඩිතැබිය හැක. මේ කිසිවක් ගැන සංගත මාධ්‍ය ඇසිපිය හෙලීමක් වත් කරන්නේ නැත.

මාධ්‍යවල නිහඬ බවට ව්‍යතිරේකයක් වූයේ ජුනි 14දා නිව් යෝක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට් පත්‍රවල පල වූ විලිලජ්ජා රහිත කතුවැකි දෙකකි. නරුමත්වයේ දුර්ගන්ධය සහිත එම කතුවැකි දෙක ම, යේමනයේ සිද්ධි අරබයා එක්සත් ජනපද පාලක සංස්ථාපිතය තුල පවත්නා එක්තරා ප්‍රමානයක අසහනය පිලිබිඹු කලේ ය.

යුද්ධය හේතුවෙන් “ගනන් නැති සිවිල් මරන සිදු ව ඇති අතර ඒවා බොහොමයක් පිලිබඳ වගකීම ඒකාබද්ධ බෝම්බ ප්‍රහාර මත ආරෝපනය කෙරේ” යයි ටයිම්ස් කතුවැකිය සඳහන් කලේ ය. “ජාත්‍යන්තර නීතිය යටතේ මෙම ප්‍රහාර එක්සත් ජනපදය ද තවත් ආයුධ සම්පාදකයෙක් වන බ්‍රිතාන්‍යය ද වගකීම දරන යුද අපරාධවලට සමාන කල හැකි” යයි එය වැඩිදුර ලීවේ ය.

“දැනට මත් තම සහකරුවන් දෙදෙනාට රහස් තොරතුරු, ඉන්ධන යලි පිරවීම හා උන්ඩ සපයා ඇති එක්සත් ජනපදය, ආධාර සම්පාදක නිලධාරීන් කියන ප්‍රතිඵල ඇති වුවහොත් වගකිව යුතු වනු ඇත: එනම්, දශක ගනනාවක් පුරා ලෝකය දැකගෙන ඇති කිසිවක් පරයා යන කුසගින්න, වසංගත හා අනෙකුත් මානව විඳවීම් ය” යනුවෙන් වොෂින්ටන් පෝස්ට් අනතුරු ඇඟවී ය.

එක්සත් ජනපද පාලක සංස්ථාපිතයේ වාර්තාගත පුවත්පත් දෙක ම, යේමනය තුල වොෂින්ටනයේ භූමිකාව විස්තර කිරීමේ දී “වගකිව යුතු” යන වචනය භාවිතා කිරීම ප්‍රතික්ෂේප කල නො හැකි අර්ථභාරයක් සහිත වේ. නෛතික ව්‍යවහාරයේ දී, වගකිව යුතු යන්නෙන් අර්ථවත් වනුයේ අපරාධයක් සිදුකිරීමට ආධාර කිරීම හා උපකාර කිරීම පිලිබඳ ව යමෙකුට අපරාධ චෝදනා ඉදිරිපත් කල හැකි බව යි.

යේමනය සම්බන්ධයෙන් ගත් කල, වගකීම රැඳී පවත්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආධාර හා උපකාර රහිත ව කිසිවිටක සිදුකරනු ලැබිය නො හැකි ලෝක ඓතිහාසික පරිමානයේ යුද අපරාධ සමගිනි.

හිට්ලර්ගේ තුන්වන රයිකයේ ඉතිරි වී සිටි නායකයන් මරන දඬුවමට හෝ හිරගෙදරට යැවුනු නියුරම්බර්ග්හි දී යොදාගත් නෛතික මූලධර්ම හා නිර්නායකවල පදනම මත, යේමනයේ සිදුකරනු ලබන අපරාධ පිලිබඳ ව චෝදනාවට ලක්කොට ජීවිතය හිරගෙදර ගතකිරීම හෝ ඊටත් නරක දඬුවම්වලට ලක්කල යුතු බොහෝ දෙනෙක් දැන් වොෂින්ටනයේ සිටිති.

ඒ අතරට අයත් වන්නේ හුදෙක් ට්‍රම්ප් හා යේමන අපරාධවල ඍජු ව ම නිරත වන ඔහුගේ පරිපාලනයේ පොම්පියෝ, ආරක්ෂක ලේකම් ජේම්ස් “පිස්සු බලු” මැටිස්, නිකී හැලේ සහ මිලිටරි හා රහස් තොරතුරු යාන්ත්‍රනයේ අනෙකුත් ඉහල නිලධාරීන් පමනක් නො ව, බැරැක් ඔබාමා, ජෝන් කෙරී, ඇෂ්ටන් කාටර්, සුසෑන් රයිස් යන සවුදි නායකත්වය යටතේ යුද්ධයට එක්සත් ජනපදයේ සහයෝගය ආරම්භ කිරීමට වගකිව යුතු අනෙකුත් පූර්වගාමීන් ය.

නියුරම්බර්ග් පූර්වාදර්ශය මත පදනම් ව, යේමනය තුල මිනිසුන්, ගැහැනුන් හා ලමුන් ව මරාදැමීමට භාවිතා කරන ආයුධ සැපයීම මගින් බිලියන ගනන් උපයාගෙන ඇති ලොක්හීඩ් මාටින්, බෝයිං හා රේතියොන් වැනි සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්ට ද එක්සත් ජනපද පිලිවෙතට සහාය දී ඇති ප්‍රධාන පක්ෂ දෙකේ ම නායකයන්ට හා යුද ප්‍රචාරනයේ විලිලජ්ජා රහිත උපකරන ලෙස ක්‍රියාකර ඇති ජනමාධ්‍ය නියෝජිතයන්ට ද විරුද්ධ ව නඩු පවරනු ලැබිය හැක.

චුදිත බංකුව මත සිටින මෙම විශාල පිරිසට අමතර ව, අගමැතිනි තෙරේසා මේගේ හා ඬේවිඩි කැමරන්ගේ ආන්ඩුවල බ්‍රිතාන්‍ය සහකරුවන් ද එහි අදාල විදෙස් පිලිවෙත් සම්පාදකයන්, මිලිටරි හා රහස් තොරතුරු නිලධාරීන් මෙන් ම යේමනයේ රුධිරස්නානයෙන් යෝධ ලාභ කඳුගසාගෙන ඇති බ්‍රිතාන්‍ය ආයුධ වෙලෙන්ඳන්ට ද ඉඩක් වෙන් විය යුතු ය.

එහෙත් යථාර්ථය වන්නේ, ඇමරිකානු හා බ්‍රිතාන්‍ය කම්කරු පන්තිය, යේමනයේ හා මැද පෙරදිග මෙන් ම සමස්ත ග්‍රහලෝකයේ වැඩකරන ජනයා ද ඒකාබද්ධ අරගලයක් තුලට බලමුලුගැන්වීමක් නො වී, යේමනය මෙන් ම ඉරාකය, ඇෆ්ගනිස්තානය, ලිබියාව, සිරියාව හා ඉන් ඔබ්බේ සිදුකල අපරාධ අරබයා වොෂින්ටනයේ හා ලන්ඩනයේ යුද අපරාධකරුවන් කිසිවෙකුට චෝදනා නැගීමක් නො කෙරෙනු ඇති බව යි. යේමනය තුල ද පලල් මැද පෙරදිග කලාපයේ ද මහජන ඝාතන කලාපීය හා ලෝක පරිමාන පවා වන යුද්ධයක් බවට පුපුරා යාමට තර්ජනය කරන කොන්දේසි යටතේ, වර්තමානයේ ක්ෂනික දේශපාලන කර්තව්‍යය වන්නේ කම්කරු පන්තිය හා තරුනයන් මත පදනම් ව ධනවාදයට එරෙහි ව එල්ල වන මහජන යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් කිරීම යි.

බිල් වෑන් ඕකන්

Share this article: