සන්නිවේදන තහනම ඉවත් කරනු! ජූලියන් අසාන්ජ් නිදහස් කරනු!

Lift the ban on communications! Free Julian Assange!

2018 ජූනි 4

ජූනි 6වැනිදා සලකුනු කරන්නේ, පුද්ගලික අමුත්තන් හමුවීම ඇතුලුව, බාහිර ලෝකය සමග විකිලීක්ස් කර්තෘ ජූලියන් අසාන්ජ්ගේ සියලු සන්නිවේදනයන් ඉක්වදෝරියානු ආන්ඩුව විසින් අවහිර කිරීමේ තැන් සිට ගෙවෙන දසවැනි සතියයි. එක්සත් ජනපද හා බ්‍රිතාන්‍ය ආන්ඩුවල නීතිමය දඩයම අභියස කුයිටෝ ඔහුට සරනාගත පිහිට ප්‍රදානය කල 2012 වර්ෂයේ සිට ලන්ඩනයේ ඉක්වදෝරියානු තානාපති කාර්යාලය තුල අසාන්ජ් කොටු කර සිටී.

මරනීය දන්ඩනයට ලක්විය හැකි ඔත්තු බෑලීමේ චෝදනාවලට මුහුන දීමට එක්සත් ජනපදයට ඔහු මාරු කිරීමේ පලමු පියවර ලෙස ව්‍යාජ චෝදනා මත බ්‍රිතාන්‍ය ඔහු ස්වීඩනයට පිටුවහල් කිරීමට උත්සාහ ගනිමින් සිටියේ ය. එක්සත් ජනපදය විසින් ඉරාකය හා ඇෆ්ඝනිස්තානයේ කරන ලද යුද අපරාධ මෙන් ම අනෙකුත් රටවලට එරෙහිව එක්සත් ජනපද කූඨෝපායන් ද ලෝකයා ඉදිරියේ හෙලිකරන ලදුව, වොෂින්ටනය අසාන්ජ්ට දඬුවම් දීමට දිව්රා තිබුනි.

පසු ගිය බදාදා සඳහනක දී, ඉක්වදෝරියානු ජනාධිපති ලෙනින් මොරේනෝ අසාන්ජ් නිහඬ කිරීම ආරක්ෂා කිරීමට උත්සාහ ගත්තේ ය. මෙම පියවර එක්සත් ජනපදයේ පීඩනය හා තර්ජනයට ඔහුගේ ආන්ඩුවේ දන ගැසීමේ ප්‍රතිඵලයක් බව ප්‍රතික්ෂේප කිරීමට ඒත්තු නො යන ආකාරයේ උත්සාහයක ඔහු නිරත විය.

මොරේනෝ භාෂනයේ නිදහස පිලිබඳ ඕර්වේලියානු සංකල්පයක් ඉදිරියට දැමූ අතර එය මුලුමනින් ම පෙල ගැසෙන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි සෑම හතුරෙකුගේ ආස්ථානය සමගිනි. ආන්ඩුවේ හා සංගත අපාරාධකාරිත්වය හෙලිදරව් කරන හෝ නිල ප්‍රචාරයට අභියෝග කරන තොරතුරු ප්‍රසිද්ධ කිරීමට විකීලීක්ස් ට ඇති අයිතිය, එමෙන්ම සියලු මාධ්‍යවේදීන්ගේ හා මාධ්‍යයේ අයිතිය ද, ප්‍රතික්ෂේප කරමින් ඉක්වදෝරියානු ජනාධිපති තරයේ මෙසේ ප්‍රකාශ කලේ ය.“නිදහස දෙයාකාරයකි. වග කියන නිදහස හා ඔවුන්ට ඕනෑ වෙලාවක, ඔවුන්ට ඕනෑ ආකාරයකට, ඔවුන්ට ඕනෑ දෙයක් කල හැකි යැයි සෑම අයෙකු ම සිතන නිදහස. එය නිදහස නො වේ. නිදහස පාවිච්චි කල යුත්තේ බොහෝ වගකීමෙන් යුතුව ය.”

විකී ලීක්ස් කර්තෘ “ඔහුගේ රැකවරනයේ කොන්දේසි ඔහු දේශපාලනය ගැන කතා කිරීමෙන් හෝ අනෙකුත් රටවල දේශපාලනයට ඇඟිලි ගැසීමෙන් වලකා ලන බව” පිලිගත යුතු ය. අසාන්ජ් එවැනි කොන්දේසිවලට යටත් නො වේ නම් ඉක්වදෝරය තම රැකවරන ප්‍රදානය කිරීම අවලංගු කිරීමට “තීරනයක් ගනු” ඇත යි ඔහු තර්ජනය කලේ ය.

2006දී විකිලීක්ස් පිහිටුවීමේ දී අසාන්ජ්ගේ සම්පූර්න මෙහවර වූයේ සංගත පාලිත හා රජයට අයත් මාධ්‍යවල පවතින “වගකිවයුතු” බොරු ප්‍රචාරය හා වාරනය බිඳදැමීමට අන්තර්ජාලයේ අතිමහත් බලය පාවිච්චි කිරීමට පුද්ගලයන්ට හැකියාව ඇති කර දීමයි. සියලු විවේචනාත්මක හා ස්වාධීන මාධ්‍යෙව්දය, එහි ස්වභාවයෙන් ම, “දේශපාලනය ගැන නො වලහා කතා කිරීමෙහි” නියුක්ත වන්නේ ය.

අසාන්ජ් දැන් සිටින්නේ බරපතල අනතුරක ය. “ඔහුගේ අතිමූලික අයිතීන් උල්ලංඝනය කිරීමක්” යැයි පවසමින්, අසාන්ජ්ව “හිතුවක්කාර ලෙස රඳවා ගැනීම” ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කන්ඩායම බ්‍රිතාන්‍ය ආන්ඩුව හෙලා දැකීමේ තැන් සිට වසර දෙකකට වඩා ගෙවී ගොස් ඇත.

ඔහුගේ නීතිඥ ජෙනිෆර් රොබින්සන් හා ආධාරකාරියක වන පමේලා ඇන්ඩර්සන් මෑත සතිවල ඔහුගේ සෞඛ්‍ය තත්වය පිලිබඳව ප්‍රසිද්ධියේ අනතුරු ඇඟවා ඇත. වසර හයක් තිස්සේ, හිරුඑලියට හෝ ප්‍රමානවත් වෛද්‍ය ප්‍රතිකාරවලට ලඟා විය නො හැකි කුඩා ගොඩනැගිල්ලක ඔහු හිර කෙරී ඇත. මොරේනෝ ප්‍රකාශ කරන පරිදි සති දහයක් මුලුල්ලේ ඉදිරියට ඇදෙන, අවිනිශ්චිත හුදකලාවක අතිරේක මානසික පීඩනයකට ඔහු යටත් කෙරී ඇත.

විකි ලීක්ස් කර්තෘ අක්‍රීය කිරීමට ගනන් බැලූ මෙහෙයුමක් ක්‍රියාත්මක වේ. මොරේනෝගේ ප්‍රකාශන අවධාරනය කරන්නේ, බාහිර ලෝකය සමග සම්බන්ධ වීමේ කිසියම් මාධ්‍යයකින් තොර ව ඇප සම්බන්ධ චෝදනා මත බ්‍රිතාන්‍ය පොලීසිය විසින් අත්අඩංගුව ගෙන රඳවා තබා ගනු පිනිස, ඉක්වදෝරියානු තානාපති කාර්යාලයෙන් “ස්වෙච්ඡාවෙන්” පිටමං වීමට ඔහුට බල කිරීම එකම අරමුන බව යි. අනතුරුව ඔහු ගේ නීතිඥයින් ඇමරිකානු උදර්පන වරෙන්තු පිලිබඳව සටන් වදින තුරු මාස හෝ අවුරුදු ගනනක සිරගත වීමක් සිදුවනු ඇත.

අසාන්ජ් උපන්නා වූ ද, පුරවැසි බව දරන්නා වූ ද, ඕස්ට්‍රේලියානු ආන්ඩුව මෙම තත්වය වෙනුවෙන් අතිමහත් ලෙස වග කිව යුතු ය. 2010 පසු භාගයේ දී, තම අයිතීන් පහරට ලක්වුනු, ඔස්ට්‍රේලියාවේ පුරවැසියෙකු ආරක්ෂා කරනවා වෙනුවට, අගමැතිනී ජුලියා ගිලාර්ඩ්ගේ ආන්ඩුව ගත්තේ වොෂින්ටනයේ පැත්ත යි. එය විකි ලීක්ස්ගේ ක්‍රියා “නීති විරෝධී” යැයි ලේබල් ඇල වූ අතර ඔත්තුබැලීම වෙනුවෙන් අසාන්ජ්ට නඩු පැවරීමට තමන් සහාය දෙන බව ද ප්‍රකාශ කලේ ය. වර්තමාන ලිබරල්-ජාතික සභාග ආන්ඩුව සිදු වෙමින් තිබෙන නීතිමය කොටු කිරීමට එරෙහිව ඇඟිල්ලක් හෝ ඔසවා නැත.

ඇමරිකානු ආන්ඩුව හා එහි සහචරයන් උත්සාහ ගනිමින් සිටින්නේ සෑම විවේචනාත්මක හා ස්වාධීන මාධ්‍ය සංවිධානයක් ම බිය වද්දනු පිනිස විකි ලීක්ස් හා ජූලියන් අසාන්ජ් විනාස කිරීමට යි. එහි අරමුන වන්නේ ආන්ඩුවේ අපරාධ හා බොරු හෙලිවීම මර්දනය කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා භාෂනයේ නිදහස ආරක්ෂා කිරීමට උත්සාහ ගන්නා අය නිහඬ කිරීම ය.

අසාන්ජ් මත ප්‍රහාරය බැඳෙන්නේ වාමාංශික, යුද විරෝධී හා සමාජවාදී දෘෂ්ටීන් පරිගනක මාර්ගගත පාලනයෙන් (ඔන්ලයින්) මර්දනය කිරීමට, සමාජ මාධ්‍ය හා අන්තර්ජාල සමාගම් සමග වැඩ කරන, එක්සත් ජනපද හා ගෝලීය ඔත්තුසේවා ඒජන්සිවල ආක්‍රමනකාරී පියවරයන් සමගිනි. මානව ඉතිහාසයේ වඩාත් ම ප්‍රජාතන්ත්‍රවාදී සන්නිවේදන රූපාකාරය වන, අන්තර්ජාලය මත වාරනයේ ඝනවැස්මක් ඇද දැමෙමින් තිබේ.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ප්‍රතිරෝධය දිරි ගන්විමින් සිටිති. විකි ලීක්ස් හා ජූලියන් අසාන්ජ් ආරක්ෂා කරනු පිනිස හැකි ඉහල ම ජාත්‍යන්තර ඒකරාශී වීම අපි ඉල්ලා සිටිමු. මෙය අන්තර්ජාල නිදහස, භාෂනයේ නිදහස හා කම්කරු පන්තියේ සියලු සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ සටනේ අත්‍යාවශ්‍ය කොටසකි.

ඓතිහාසික සන්ධිස්ථානයක් එලඹ තිබේ. සංවිධාන හා පුද්ගලයන් මැනෙනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳ මෙම මූලික අරගලයේ දී ඔවුන් කුමන ආස්ථානයක් ගනු ඇත් ද යන්න උඩ ය.

ජාත්‍යන්තර කමිටුවේ ඕස්ට්‍රේලියානු ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය ජුනි 17වැනි ඉරිදා ප.ව. 1කට සිඩ්නි නගරශාලා චතුරශ්‍රයේදී පෙලපාලියක් කැඳවා තිබේ. කීර්තිමත් පුවත්පත් කලා වේදියෙකු ද, චිත්‍රපට නිෂ්පදකයෙකු ද විකිලීක්ස්, ජුලියන් අසාන්ජ් සහ මාධ්‍යවල ද ප්‍රජාතන්ත්‍ර අයිතිවාසිකම් වලද නො සැලෙන ආරක්ෂකයෙකු වන ජෝන් පිල්ජ්ර් සමග හා එක්ව එය පැවැත්වෙ යි.

ප්‍රමුඛ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂක නීතිඥ ජුලියන් බර්න්සයිඩ් සහ ඩේවිඩ් හික්ස් නම් සිය පුත්‍රයා, අපායක් වන් ගුවන්තනාමෝ වරායේ සිර කඳවුරේ සිරකර තැබීමට එරෙහිව, අවුරුදු 5ක් තිස්සේ අරගලයක නිරත වූ ටෙරී හික්ස් විසින් ද මෙම පෙලපාලියට සහානුමතිය දෙනු ලැබ ඇත.

දශක ගනනාවක් තිස්සේ යුද්ධයට සහ අයුක්තියට විරුද්ධ ව කතා කර තිබෙන, පින්ක් ෆ්ලොයිඩ් කන්ඩායමේ සංගීතඥයකු ලෙස සුපතල රොජර් වෝටර්ස් විකිලීක්ස් ආරක්ෂා කිරීමට ලෝසවෙඅ දරමින් සිටින ප්‍රයත්නයට සහය දක්වන පනිවුඩයක් ලොසවෙඅ වෙතට ඒවා තිබේ. සති අන්තයේ දී බර්ලින් නුවර පැවැත්වුනු ඔහුගේ ප්‍රසංගවල වේදිකාවේ දී ඔහු මේ කැඳවුම කලේ ය: “ජුලියන් අසාන්ජ් නිහඬ කරලීමට දරන ප්‍රයත්නයට විරුද්ධව සටන් කරනු. ඔහුව එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට දැරෙන ඕනෑම ඇමරිකානු උත්සාහයකට විරුද්ධ වෙනු.”

ජුනි 19 වන අඟහරුවදා ලන්ඩනයේ දී ජුලියන් අසාන්ජ්ගේ නිදහස ඉල්ලා කෙරෙන උද්ඝෝෂන ක්‍රියාවක් ලන්ඩනයේ ඉක්වදෝරියානු තානාපති කාර්යාලය ඉදිරිපිට සිදු කෙරෙනු ඇත. (අගමැතිනි) මේ ගේ ආන්ඩුව අසාන්ජ් මර්දනයට භාජනය කිරීම අවසන් කල යුතු ය. ඔහු ඇප උල්ලංඝනය කලේ ය යන චෝදනවා ඉවත් කර ගත යුතු ය. ලන්ඩනයේ ඉක්වදෝරියානු තානාපති කාර්යාලයෙන් පිට වී, එක්සත් රාජධානියෙන් පිටතට ගමන් කිරීමට ඔහුට ඉඩ දිය යුතු ය. ජුනි 19 වනදා ලෝකය පුරා ම එවන් විරෝධතා පැවැත්වෙනු ඇත.

මෙයට ප්‍රතිවිරුද්ධ ව, 2010දී ද 2011දී ද විකිලීක්ස් වෙබ් අඩවියට ද, අසාන්ජ්ට ද සහාය දැක්වූ වෘත්තීය සමිති, හරිත පක්ෂය හා ව්‍යාජ වාම සංවිධාන සියල්ල දැන් ඔහුව මර්දනයට ලක්කිරීම ගැන කුමන හෝ විරෝධයක් දැක්වීම ප්‍රතික්ෂේප කර සිටිති. ඔවුන් සිය සහය අධිරාජ්‍යවාදයට මාරු කර ඇත.

එසේ වුවද, කම්කරු පන්තිය ද, තරුනයෝ ද දැවැන්ත අරගලවලට යලි එලඹෙමින් සිටින්නාහ. ඔවුනතර ජුලියන් අසාන්ජ් හා විකිලීක්ස් සංවිධානය කෙරේ ඇත්තේ යෝධ සහයකි. ප්‍රජාතන්ත්‍ර අයිතීන් උදෙසා අරගලයට නායකත්වය දෙන සමාජ බලවේගය නම් ජාත්‍යන්තර කම්කරු පන්තිය යි. එය කෙරෙනු ඇත්තේ තම සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමේ ද යුද්ධය, අසමානතාව හා ධනේශ්වර පද්ධතියට විරුද්ධ වීමේ ද පුලුල් අරගලයක කොටසක් ලෙස ය.

ජුලියන් අසාන්ජ් ව නිදහස් කරගැනීම සඳහා උද්ඝෝෂන වලට ද නිහඬ පෙලපාලි වලට ද ඉහලම සහයක් දිනා ගැනීම උදෙසා වැඩපොලවලට, කම්හල් වලට, සරසවිවලට සහ උසස් විද්‍යාලවලට යොමුවන ලෙස අපි ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

ජේම්ස් කොගන්

Share this article: