ජී7 සමුලුව ඇද වැටෙයි

The G7 summit collapses

2018 ජූනි 11

පෙර නො වූ විරූ සිදුවීමක් ලෙස, සෙනසුරාදා කැනඩාවේ කියුබෙක් ප්‍රාන්තයේ චාර්ලෙවොයික්ස්හි දී ජී7 සාකච්ඡා බිඳ වැටුනේ, ලෝක ආර්ථික කේන්ද්‍රයේ පවතින රටවල් අතර වෙලඳ යුද්ධ පියවර පිලිබඳ කටුක ප්‍රතිචෝදනා හා තර්ජන මධ්‍යයේ ය. යුරෝපා සංගමය, කැනඩාව හා මෙක්සිකෝවේ ආනයනය මත ඩොලර් බිලියන ගනනාවක තීරුබදු සම්බාධක පැනවීමට වොෂින්ටනය තර්ජනය කිරීම මත විසඳිය නො හැකි ගැටුම් ඉස්මතු විය.

සම්මේලනයට සූදානම් වීම කර්කශ බවින් සලකුනු කෙරී තිබුනේ, ප්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්, එක්සත් ජනපදය ඉවත් කරමින්, “රටවල් 6ක ගිවිසුමක්” අත්සන් කිරීමට පුරසාරම් දෙඩීමත් සමගිනි. ජර්මානු චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල් මේසයක් මත ඇල වී, ට්‍රම්ප් දෙස සෘජුව බලා සිටින ඡායාරූප සමුලුවෙන් මතුවිනි. ටුම්ප් කලින් ම සමුලුවෙන් නික්ම ගියේ, දේශගුනික වෙනස්කම් පිලිබඳ සකච්ඡා පැහර හරිමිනි.

ජී7 සමුලුවට සුපුරුදු ලෙස, ගැටුම් වසන් කරමින් සමුලුව අවසාන ප්‍රකාශනයක් නිකුත් කලේ, ආරක්ෂනවාදය හෙලා දකින මුත්, එක්සත් ජනපද චෝදනා සමග පෙල ගැසෙමින් ලෝක වෙලඳ සංවිධානය ගැන විවේචන කීපයක් ඉදිරිපත් කරමිනි. එක්සත් ජනපදය අත්සන් කරනු ඇත යි අපේක්ෂා කෙරුන ද, උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ග් සමග සාකච්ඡාවකට සිංගප්පූරුව බලා යන අතරතුර දී, කැනේඩියානු අගමැතිගේ පස්චාත් සමුලු මාධ්‍ය සාකච්ඡාවට සවන් දීමෙන් පසු, ට්‍රම්ප් ට්වීටර් පනිවුඩ වර්ෂාවක් එල්ල කලේ ජී7 සාකච්ඡාවල සම්පූර්න කඩා වැටීමක් සංඥා කරමිනි.

ප්‍රකාශනය ආරක්ෂනවාදය විවේචනය කල බවත්, කැනඩාව එක්සත් ජනපද භාන්ඩ මත ඩොලර් බිලියන 16ක එකට එක කිරීමේ තීරුබදු පවත්වා ගෙන යනු ඇති බවත් ටෘඩෝ පැවසීමෙන් පසු, ට්‍රම්ප් තදබල වාග් ප්‍රහාරයක් ටෘඩෝ වෙත එල්ල කලේ, තමන් තීරුබදු පැටවීමට “අනෙකුත් රටවලට ඉඩ නෙදෙන” බවට තර්ජනය කරමිනි. නාමික වසයෙන් එක්සත් ජනපදයේ කිට්ටුම මිතුරන් “දශක ගනනාවක වෙලඳ වංචා” සඳහා එක්සත් ජනපදය ඉලක්ක කල බවත් “එය හොඳටෝම ඇති ” බවත් ඔහු චෝදනා කලේ ය.

තවත් ට්වීටර් පනිවිඩයක දී, එක්සත් ජනපද ජනාධිපති මෝටර් රථ ආනයන මත තීරුබදු පියවර සමග වෙලඳ යුද්ධයේ බලගතු තීව්‍රකිරීමක් තර්ජනය කල අතර සාකච්ඡා කඩා දමන බව නිවේදනය කලේ ය: “ඔහුගේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ජස්ටින්ගේ ව්‍යාජ ප්‍රකාශන හා කැනඩාව එක්සත් ජනපද ගොවීන්, කම්කරුවන් හා සමාගම් මත දැවන්ත තීරුබදු අය කරමින් සිටී යන කාරනයේ පදනම මත, එක්සත් ජනපද වෙලඳපලට ගලා එන වාහන මත වන බදු පිලිබඳව අප බලමින් සිටින අතර ප්‍රකාශයට අත්සන් නොතබන ලෙස මා එජ නියෝජිතයින්ට උපදෙස් දුන්නා.”

1975දී ජී7 සමුලුව පලමු වරට ඇරඹුවාට පසු, (මුලින් එක්සත් ජනපදය, ජපානය, ජර්මනිය, බි්‍රතාන්‍ය හා ප්‍රන්සය සමග ජී5 ලෙස ඇරඹි) සියලුම රාජ්‍ය නායකයන් ප්‍රකාශනයකට එකඟ නො වූ පලමු වතාව මෙය යි.

දිග හැරෙමින් තිබෙන්නේ ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් අතර රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික සම්බන්ධතාවන්ගේ ඓතිහාසික කඩා වැටීමකි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සියවස් තුන්කාල පුරා, ජාත්‍යන්තර පාලක පන්තිය තුල පැවති එකඟත්වය වූයේ, 1930ස් ගනන්වල මහා අවපාත කාලයේ වෙලඳ යුද්ධ ලෝක යුද්ධය ඇවිල වීමේ දී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කල බවත්, එමෙන් ම සියලු ම වියදම් දරා වෙලඳ යුද්ධ මග හැරිය යුතු බවත් ය. මෙම එකඟත්වය දැන් බිඳ වැටී ඇත.

පුපුරන සුලු ගැටුම් හා අවිනිශ්චිත බව ලෝක ආර්ථිකයේ ආධිපත්‍ය දරයි. එක්සත් ජනපදය, යුරෝපා සංගමය හා කැනඩාව භාන්ඩ මත ගිනිය නො හැකි ඩොලර් බිලියන ගනනාවක බලපෑම් ඇති කරන තීරුබදු සූදානම් කරමින් ද රක්ෂා මිලියන ගනනාවකට තර්ජනය කරමින් ද සිටිති. ටෘඩෝ හා ට්‍රම්ප්ගේ සඳහන් කිරීම් පෙන්වන පරිදි, එක්සත් ජනපද තීරුබදු තර්ජන විනාසකාරී ප්‍රතිවිපාක ඇති වීමට තුඩු දිය හැකි තීරුබදු හා ප්‍රති-තීරුබදුවල තීව්‍රකාරී සර්පිලයක් ක්‍රියාත්මක කරමින් සිටී.

ජී7 සාකච්ඡාවල බිඳ වැටීම ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පුද්ගලික විශේෂතාවන් මගින් පැහැදිලි කල නො හැක. ඊට විපරීත ලෙස, මෙම ඓතිහාසික සන්ධිස්ථානය ලෝක ධනවාදයේ විසඳිය නො හැකි ප්‍රතිඝතිතාවන් විසඳීමේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මංමුලා සහගත උත්සාහයන්ගේ ප්‍රකාශනයකි. ට්‍රම්ප් පමනක් නො ව, ප්‍රමුඛ ඩෙමොක්‍රටිකයෝ හා යුරෝපීය මාධ්‍යයේ හා පාලක ප්‍රභූවේ විශාල කන්ඩායම් ඔවුන්ගේ තරඟකරුවන්ට එරෙහි ව කුරිරු වෙලඳ යුද්ධ පියවරයන් සඳහා මොර දෙමින් සිටිති.

මහා අවපාතය පිපිරීමට පෙර වසර වූ 1929දී, එක්සත් ජනපද අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය විශ්ලේෂනය කරමින් ලියොන් ට්‍රොට්ස්කි මෙසේ අනතුරු ඇඟවී ය: “අර්බුද කාලපරිච්ඡේදයක දී, එක්සත් ජනපද ආධිපත්‍යය ක්‍රියාත්මක කරනු ඇත්තේ උත්පාත කාලයකට වඩා සම්පූර්න ලෙස, වඩා විවෘත ලෙස හා වඩා කුරිරු ලෙස ය. එක්සත් ජනපදය මූලික වසයෙන් යුරෝපයේ වියදමින්, ඇගේ දුෂ්කරතාවන් හා ව්‍යාධීන් තෙමේ ම ජය ගැනීමට හා මුදා ගැනීමට උත්සාහ කරනු ඇත්තේ, මෙය ආසියාව, කැනඩාව, දකුනු ඇමරිකාව, ඕස්ටේ්‍රලියාව තුල හෝ යුරෝපයේ ම හටගන්නේ ද, නැතහොත් මෙය සාමකාමීව හෝ යුද්ධය හරහා සිදු වන්නේ ද යන්න නො සලකා ය.”

ජී7 සමුලුව දියත් කෙරුනේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජනපදය විසින් ස්ථාපිත කෙරුනු කාර්මික හා ආර්ථික ආධිපත්‍ය වේගයෙන් ඛාදනය වීම මෙන් ම, 1971දී වොෂින්ටනය ඩොලර්-රත්‍රන් ද්‍රවශිලතාව අවසන් කිරීමෙන් පසු, ප්‍රධාන බලවතුන් අතර ගැටුම් පාලනය කිරීමට ය. තවමත් තමන්ගේ යුරෝපීය හා ජාත්‍යන්තර තරගකරුවන්ට ලඟා වීමට අසමත් ව, එක්සත් ජනපදය දශක ගනනාවක් තිස්සේ යුරෝපය හා ආසියාවේ තරඟකරුවන් සමග හැමදා වඩා විශාල වෙලඳ හිඟයන් වාර්තා කර ඇත.

1991දී ස්ටැලින්වාදී නිලධරය සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු, එක්සත් ජනපදය නායකත්වය දුන් නව-යටත්විජිත යුද්ධවල ප්‍රධාන බාධකය ඉවත් කරමින්, වොෂින්ටනය තම ආර්ථික දුර්වලතාව ප්‍රතිතෝලනය කිරීමට උත්සාහ ගත්තේ තම දැවැන්ත මිලිටරි සුපිරි භාවය මත වාරු වෙමිනි.

ඉරාකය, ඇෆ්ගනිස්තානය හා සිරියාවේ මිලියන ගනනාවක් ඝාතනය කෙරූ ලේ වැකි නව-යටත්විජිත යුද්ධයන්ගේ දශක ගනනාව තිස්සේ, එක්සත් ජනපදය උත්සාහ කර ඇත්තේ තෙලින් පොහොසත් මැද පෙරදිග බලගතු මිලිටරි තත්වයක් ස්ථාපිත කර ගැනීමට ය. මෙම යුද්ධ තම ප්‍රධාන තරගකරුවන්ගේ ප්‍රධාන වෙලඳ හා බලශක්ති මාර්ග හරහා තම හමුදා තැබී ය.

ට්‍රම්ප් තෝරා පත් කර ගැනීම හා යුරෝපය, ජපානය හා කැනඩාව විසින් එක්සත් ජනපදයට එරෙහිව සිදු කරන “වෙලඳ කුප්‍රයෝග” පිලිබඳ ඔහුගේ හෙලා දැකීම ලෝක ධනවාදී අර්බුදයේ නව අවධියක් සලකුනු කර යි. එක්සත් ජනපද - යුරෝපීය සංගමය (යුස) කටුක බෙදීම් වැඩෙමින් තිබෙන්නේ වෙලඳාම මත පමනක් නො වේ, ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අවසාන කිරීම මගින් ඉරානයට යුද තර්ජනය කිරීමේ එක්සත් ජනපද ප්‍රතිපත්තියට යුස දක්වන විරුද්ධත්වය මත ය. ආර්ථික අර්බුදයේ හා නව-යටත් විජිත යුද්ධවල දශක ගනනාවකට පසු, 1930ස් ගනන් ආකාරයේ පසමිතුරු වෙලඳ කාන්ඩවලට ලෝක ආර්ථිකය කැඩී බිඳී යාම ද, එම දශකවල දී මෙන් ම ඔවුන් අතර මිලිටරි ගැටුම්වල විධාරනයේ අනතුරු ද වේගයෙන් ඉස්මතු වෙමින් තිබේ.

ලෝක යුද්ධයන්ගේ හේතුව ලෙස 20වැනි සියවසේ ශ්‍රේෂ්ට මාක්ස්වාදීන් විසින් හඳුනා ගන්නා ලද ලෝක ධනවාදයේ ප්‍රතිඝතිතා (ජාත්‍යන්තර ආර්ථිකය හා ජාතික රාජ්‍ය පද්ධතිය අතර මෙන් ම සමාජීය නිෂ්පාදනය හා ලාභයේ පුද්ගලික ආත්මසාත්කරන අතර) අද පුපුරා යමින් තිබේ.

යුරෝපීය බලවතුන් ට්‍රම්ප්ට ප්‍රතිචාර දක්වා ඇත්තේ එකට එක කිරීමේ පියවර වේගවත් කිරීමට කරන තර්ජනය සමගිනි. ජර්මානු විදේශ ඇමති හෙයිකෝ මාස් තම “උත්සුකයන් වඩාත් ප්‍රහාරාත්මකව” ආරක්ෂා කර ගනු පිනිස “එක්ව” ප්‍රතිචාර දක්වන ලෙස යුරෝපීය බලවතුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ඓතිහාසිකව, වෙලඳ යුද්ධ මිලිටරි ගැටුම්වලට පූර්වනිමිත්ත වී ඇත. සමුලුවට පෙර, ප්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්, ට්‍රම්ප්ගේ තර්ජිත සම්බාධකවලට කෝපයෙන් ප්‍රතිචාර දැක්වූයේ මෙසේ ප්‍රකාශ කරමින් ය, “මෙම තීරනය නීති විරෝධී පමනක් නො ව එය බොහෝ පැතිවලින් වැරැද්දකි. ආර්ථික ජාතිකවාදය ගමන් කරන්නේ යුද්ධයට යි. 1930ස් ගනන්වල හරියට ම සිදු වූයේ මෙයයි.”

එක්සත් ජනපදය සමග වැඩෙන ආතතීන් මධ්‍ය යේ, සියලුම යුරෝපීය බලවත්හු වේගයෙන් යලි සන්නද්ධ වෙමින් සිටිති. ජී7 සමුලුවට යන්තම් සතියකට පෙර, ජර්මානු චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල්, බි්‍රතාන්‍ය සහභාගිත්වයට විවෘත හා නැටෝවෙන් ස්වාධීන, ඒකාබද්ධ යුරෝපීය ආරක්ෂක හමුදාවක් නිර්මානය කිරීමේ මැක්‍රෝන්ගේ යෝජනාවට ඇගේ සහාය සංඥා කලා ය.

වැඩෙන වෙලඳ හා මිලිටරි යුද්ධයට එකම ශඛ්‍ය ප්‍රතිචාරය වන්නේ ධනවාදයට හා යුද්ධයට එරෙහි අරගලයේ දී කම්කරු පන්තිය ජාත්‍යන්තරව බලමුලුගැන්වීම යි. ලෝකය පුරා වැඩවර්ජන හා පන්ති අරගල පිපිරීමත් සමග (එක්සත් ජනපදයේ ගුරුවරුන්, ජර්මනිය හා තුර්කියේ ලෝහ කම්කරුවන් අතර හා ප්‍රන්සයේ මැක්‍රොන්ගේ කප්පාදු පියවරවලට එරෙහි කම්කරුවන්ගේ පලල් ව්‍යාපාරය) මෙම විරුද්ධත්වයට නායකත්වය දිය හැකි සමාජ බලවේගය පෙරමුනට පැමිනෙමින් සිටී. දැන් හැරීම කම්කරු පන්තිය මත පදනම්ව ජාත්‍යන්තර සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට යි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: