ජාල අපක්ෂපාතීත්වයේ අවසානය: එජ පාලක ප්‍රභූව අන්තර්ජාල වාරනය සඳහා වන මෙහෙයුම ඉහල නංවයි

The end of net neutrality: The US ruling elite escalates campaign of internet censorship

2018 ජූනි 12

අන්තර්ජාල සේවා සපයන්නන් (අයිඑස්පී) සියලුම සන්නිවේදනයන් සමාන ලෙස සලකන නෛතික අවශ්‍යතාවය වන, ජාල අපක්ෂපාතීත්වය, සඳුදා නිල වශයෙන් අවසාන වේ. මෙම පියවර, නිදහස් සහ විවෘත අන්තර්ජාලයකට සහ එක්සත් ජනපදයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ල කරන ප්‍රහාරයේ වැදගත් සන්ධිස්ථානයකි.

පොදු අන්තර්ජාලයේ උපතේ සිට අයිඑස්පී ක්‍රියාකර ඇත්තේ ඊනියා “පොදු වාහකයන්” ලෙස වන අතර, බස්රථ සමාගම් සහ පාර්සල් බෙදා හැරීමේ සේවාවන්ට සමානව මහජන උපයෝගීතාවන් ලෙස ඵලදායී ලෙස පාලනය වී ඇත. මේ දක්වා අවහිරකිරීම මගින් බාධා කිරීම මගින් සහ අන්තර්ජාල භාවිතය සීමා කිරීම මගින්, ඔවුන්ගේ පරිශීලකයන්ට සහ වෙබ් අඩවි වලට වෙනස්ව සැලකීම නීතිය විසින් ඔවුන්ට තහනම් කොට තිබුනි.

“අධිධාරිත අන්තර්ජාල ප්‍රවේශ සේවාව සැපයීමේ නිරත පුද්ගලයෙක් නීත්‍යානුකූල අන්තර්ගතයන්, යෙදීම්, සේවාවන් හා අන්තරායකාරීත්වයෙන් තොර උපකරන යොදාගැනීම වැලැක්විය නොහැකිය” හා අන්තර්ජාල සේවා සපයන්නන් (අයිඑස්පී) “අන්තර්ජාල අන්තර්ගතය මත පදනම්ව නීත්‍යානුකූල අන්තර්ජාල භාවිතය බාධනය හෝ පහත හෙලීම් කල නොහැකි” යැයි ප්‍රකාශ කරමින් 2015 දී ෆෙඩරල් සන්නිවේදන කොමිසම (එෆ්සීසී) නැවත වරක් මෙම මූලධර්ම තහවුරු කලේය.

සඳුදා සිට බලපැවැත් වුනු, ජාල අපක්ෂපාතීත්වය අවසන් කිරීමට එෆ්සීසී දෙසම්බර් මාසයේ ලබා දුන් ඡන්දයත් සමග අන්තර්ජාල සේවා සපයන්නන් හට අන්තර්ජාලය සඳහා දොරටු පාලකයන් ලෙස ක්‍රියා කිරීම සඳහා පුලුල් බලතල ලබා දී තිබේ. නව නීති යටතේ, එක අන්තර්ගතයකට වඩා වෙනත් අන්තර්ගතයකට වරප්‍රසාද ලබා දීමට, පාරිභෝගිකයන්ගේ ගෙවීම මත පදනම් වන, නිශ්චිත වෙබ් අඩවි වලට ප්‍රවේශ වීමට ඉඩ ලබා දෙන පැකේජ ස්ථාපනය කිරීමට හෝ වෙබ් අඩවි සහ සේවාවන් සහමුලින්ම අවහිර කිරීමට මෙම යෝධ පුද්ගලික සමාගම් වලට හැකියාව ලැබෙනු ඇත.

තමන්ගේ සේවා සපයන්නා සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකිනම් ඔහුව මාරු කිරීමේ හැකියාව පරිශීලකයන්ට ඇති නිසා, අන්තර්ජාල සේවා සපයන්නන්ට ලබා දෙන අතිවිශාල බලයන් වැදගත් නොවේයැයි, එෆ්සීසී සභාපති අජිත් පායි විසින් නායකත්වය දරන ජාල අපක්ෂපාතීත්වය අහෝසි කර දැමීම යෝජනා කරන්නන් තර්ක කරයි. මෙම තර්කය නිෂ්ප්‍රභ කිරීමටවත් සුදුසු නොවන තරමට හාස්‍යජනකය.

මුලු අන්තර්ජාල වෙලඳපොලම අල්වාගෙන සිටින්නේ සමාගම් හතරක් විසිනි (කොම්කාස්ට්, ඒටීඇන්ඩ්ටී, ටයිම් වෝනර් සහ වෙරිසෝන්). ඇමරිකානුවන්ගෙන් මිලියන පනහකට සේවාව ලබා ගත හැක්කේ එක් අන්තර්ජාල සේවා සපයන්නෙකුට පමනක් වන අතර භාගයකටත් වඩා පිරිසකට තෝරාගැනීමට ඇත්තේ සමාගම් දෙකක් අතරින් එකකි. ඇතැම් විට මෙම සතිය තුල අවසර ගැනීමට සැලසුම් කර ඇති ඒටීඇන්ඩ්ටී සහ ටයිම් වෝනර් සමාගම් අතර සිදුවීමට ඉඩ ඇති එක්වීමත් සමග මෙම සංඛ්‍යා තව දුරටත් හැකිලෙනු ඇත.

ජාල අපක්ෂපාතීත්වය අවසන් කිරීම ඉතා ප්‍රභල මහජන විරෝධයකට ලක්ව ඇත. මේරි ලෑන්ඩ් විශ්ව විද්‍යාලයේ මහජන තොරතුරු ලබා ගැනීම පිලිබඳ වැඩසටහන විසින් සිදුකරන ලද ඡන්ද විමසීමකට අනුව ඇමරිකානු ඡන්ද දායකයන්ගෙන් සියයට 83ක් එෆ්සීසී යේ ජාල අපක්ෂපාතිත්වය අවසාන කිරීමේ පියවරට එරෙහිය. එෆ්සීසී ය මහජන අදහස් ලබා ගැනීම සඳහා පියවර ගත් විට තනි තනිව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 98.5ක් ඊට එරෙහිවිය.

මෙම ඉතා ප්‍රභල මහජන විරෝධය තිබියදීම සඳුදා සිදුවූ ජාල අපක්ෂපාතීත්වය අවසන් කිරීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටිකයන් සහ ඒ හා පෙල ගැසුනු මාධ්‍ය ආයතන මුනිවත රැකීය. ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මත සිදු කෙරුනු මෙම පුලුල් ප්‍රහාරය ක්‍රියාවේ යෙදවීම සවස් වරුවේ ප්‍රවෘත්ති තුලවත් සඳහන් නොකෙරුනි. ඇමරිකාවේ අනෙකුත් සෑම දෙයකදීම මෙන් අවසානයේදී මහජන මතය ගනන් ගැනීමකට ලක් නොවේ.

ඩිමොක්‍රටික් පක්ෂය සහ ගූගල් සහ ෆේස් බුක් වැනි තාක්ෂනික දැවැන්තයන් විසින් ඉදිරිපත් කරන ජාල අපක්ෂපාතීත්වයට සහය දක්වන ප්‍රකාශ පිලිබඳ කිසිදු විශ්වාසයක් තැබිය නොහැක. ඇත්ත වශයෙන්ම ඩිමොක්‍රටිකයන් සහ සමාජ ජාලා සමාගම් අන්තර්ජාල වාරනය සඳහා වන උත්සාහයේ ඉදිරියෙන්ම සිටී.

පසුගිය වසර පුරාවට ගූගල් සහ සමාජ ජාලා ඒකාධිකාර වන ෆේස්බුක් සහ ටුවිටර්, එජ බුද්ධි අංශ වල නියෝගය පරිදි අන්තර්ජාල වාරනයේ ක්‍රියාපටිපාටියක් ක්‍රියාවේ යෙදවීමට කටයුතු කොට ඇත. මෙහිදී එජ බුද්ධි අංශ වල ප්‍රකාශකයා ලෙස කටයුතු කලේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ය. මෙම සමාගම්, “අසත්‍ය පුවත්” සහ “රුසියානු මැදිහත්වීම” වලට එරහිව සටන් කිරීමේ නාමයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය ද ඇතුලුව වාමාංශික, යුද විරෝධී සහ සමාජවාදී වෙබ් අඩවි වල පාඨකයන් ගනන අඩු කිරීමට දැඩි ලෙස කටයුතු කොට තිබේ.

මේ අතර වාරයේ සමාජ ජාල සමාගම්, ජාල අපක්ෂපාතීතාවය අවසන් කිරීමට එරහි ඔවුන්ගේ නාමික විරෝධය මුලුමනින් පදනම් කරගන්නේ මුල්‍යම පෙලඹවීම් මතය. අන්තර්ජාල සේවා සපයන්නන් අතර සිටින ඔවුන්ගේ ප්‍රතිමල්ලවයන් වීමේ විභවයක් සහිත අය, තමන්ගේම අන්තර්ගතයන් බෙදාහැරීමේ සේවාවන් ප්‍රවර්ධනය කිරීමෙන් වාසියක් ලබා ගැනීම ඔවුන්ට අවශ්‍ය නැත. එමෙන්ම වඩා වැදගත්ව ඔවුන්ට අවශ්‍ය වන්නේ වාරනය මත ඔවුන්ගේ ඒකාධිකාරය පවත්වාගෙන යාමයි. එවිට ඔවුන්ට ලාභ උපදවන පෙන්ටගන් කොන්ත්‍රාත්තු වෙනුවෙන් එජ ආන්ඩුව සමග ලංසු තැබිය හැකිය.

සංකේතාත්මක කොන්ග්‍රස් ඡන්ද, ජාල අපක්ෂපාතීත්වය පනවන ලෙස ප්‍රාන්ත වලින් ඉල්ලා සිටීම සහ නෛතික අභියෝගයන් කරකැවීමකින් සමන්විත ඩිමොක්‍රටිකයන්ගේ සංකේතාත්මක ප්‍රතිවිරෝධී පියවරයන්, අන්තර්ජාල වාරනය සමග ඔවුන්ගේ ඇති එකඟත්වය සහ අන්තර්ජාල වාරනය පැනවීමට දේශපාලන ආවරනයක් ලෙස සේවය කරයි.

ජාල අපක්ෂපාතිත්වය අවසන් කිරීම අන්තර්ජාලය වාරනය කිරීමේ පරිශ්‍රමයේ නව මට්ටමක් සනිටුහන් කරයි. ලිඛිත සන්නිවේදනයේ අති මහත් බහුතරය (සහ දිනපතා වර්ධනය වන සන්නිවේදනයේ සියලුම අංශයන්) අන්තර්ජාලය තුල දක්නට ලැබීමත් සමග, අන්තර්ජාලය වාරනය කිරීමට සහ පාලනය කිරීමට වන පරිශ්‍රමය, එක්සත් ජනපදයේ ප්‍රකාශනයේ නිදහස විනාශ කිරීම දෙසට වන ප්‍රධාන පියවරකි.

මෙය හුදෙක් පරිපාලනයන්ගේ වෙනසක ප්‍රතිඵලයක් නොවේ. එය පාලක ප්‍රභූවේ පන්ති පිලිවෙතෙහි හැරී ගැනීමක කොටසකි. වෝල් වීදියේ කැමැත්ත දිනා ගත් හිලරි ක්ලින්ටන් හට ඇති පලල්ව පැතිරුනු විරෝධය මධ්‍යයේ, කම්කරු පන්තිය පලල් ලෙස ඡන්දය භාවිතයෙන් වැලකී සිටි, 2016 මැතිවරනය සහ, පසුව සිදුවූ වෘත්තීය සමිති වලින් ස්වාධීන වූ ගුරුවරුන්ගේ වැඩවර්ජන ව්‍යාපාරය විසින්, සමාජය මත තම ආධිපත්‍ය ආරක්ෂා කරගැනීම සඳහා අන්තර්ජාල වාරනය පැනවීම අවශ්‍ය බව පාලක පන්තියට පැහැදිලි කොට දී තිබේ.

වඩා පලල්ව ගත් කල මෙම තීරනය විශාල සමාගම් කිහිපයක් විසින් ඇමරිකානු ආර්ථිකය වඩ වඩාත් ඒකාධිකාරීකරනය කිරීම පිලිබඳ ප්‍රකාශනයකි. මෙම ක්‍රියාවලිය සමාජ අසමානතාවයේ වර්ධනයෙන් සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට පහර එල්ල කිරීමෙන් වෙන් කල නොහැක. ඩිමොක්‍රටිකයන් සහ රිපබ්ලිකානුවන් එක ලෙසටම “නිදහස් වෙලඳපල” වෙත බුහුමන් දැක්වූවද මෙම පක්ෂ දෙකම, වඩ වඩාත් සමාජය මත ආධිපත්‍ය පතුරවමින් සිටින අතලොස්සක් වූ බැංකු සහ සංගත වලට එරෙහි කුමන හෝ විරෝධතාවක් රුදුරු ලෙස බිඳ දැමීමට එරෙහි තීරනාත්මක සාධකයක්ව පවතී.

ජනගහනයේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරහිව කුමන්ත්‍රනය කරන අතලොස්සක් වූ සමාජ ජාල එකාධිකාරයන් සහ අන්තර්ජාල සේවා සපයන්නන් විසින් අන්තර්ජාලය මත පාලනය ගෙනයාම විසින්, ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ගේ ආරක්ෂාව, අන්තර්ජාල යටිතල පහසුකම් වල පුද්ගලික හිමිකාරීත්වය අවසන් කිරීමෙන් වෙන් කල නොහැකි බව පැහැදිලි කරයි. අන්තර්ජාල ප්‍රවේශ, රාජ්‍යයේ සහ සංගතයන්ගේ මැදිහත් වීමකින් තොරව සියල්ලන්ටම නිදහසේ ලබාගත හැකිවිය යුතු මූලික සමාජ අයිතියකි.

කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය පාලනය යටතේ, විශාල සංගත මහජන උපයෝගීතාවයන් බවට පරිවර්තනය කිරීම සඳහා, අන්තර්ජාල නිදහසේ ආරක්ෂාව සහ වාරනයට එරෙහි විරෝධතාවය සමාජවාදී වැඩපිලිවෙලක් සමග සම්බන්ධ විය යුතුය.

නිදහස් අන්තර්ජාලයක් ආරක්ෂා කිරීමේ හැකියාව ඇති සමාජ බලවේගය වන්නේ කම්කරු පන්තියයි. තමන්ගේ මූලික ආර්ථික අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා ලෝකය පුරා කම්කරුවන් ගෙන යන අරගලය ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම සඳහා ගෙනයන අරගලය සමග ඡේදනය වේ. මෙම අරගලයේ නවතම අදියර වන්නේ අන්තර්ජාල වාරනයට එරෙහි අරගලයයි.

අන්ද්‍රේ ඩේමන්

Share this article: