තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන් දෙදින සංකේත වර්ජනයක

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2018 ජුනි 3

ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන් 4000ක් ක් පමන ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට දෙදිනක සංකේත වර්ජනයක් ආරම්භ කර ඇත. වසර දෙකක් ගත වී ඇති තැපැල් සේවා 11 නිලධාරීන්ගේ පත්වීම් ස්ථීර කිරීම, තැපැල් සේවක ගැටළු විසඳීම සඳහා පොරොන්දු වූ කැබිනට් පත්‍රිකාව නොපමාව අනුමත කිරීම පවතින පරිගනක ජාල පද්ධතියේ දෝෂ වහා නිවැරිදිකර සේවා බිද වැටීම් වැලැක්වීම, 2012 කාර්ය භාර විභාගය වලංගු කිරීම, කාර්යභාර දීමනාව වහා ලබාදීම හා කාර්යභාර විභාගය සමත් පලමු පෙල නිලධාරීන්ට ඉහල වැටුප් පරිමානයක් ලබා දීම ඔවුන්ගේ ඉල්ලීම් වේ.

වසර 2006 රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛය හරහා තැපැල් සේවකයන්ගේ සේවා කොන්දේසි සහ වැටුප් කප්පාදුවක් ක්‍රියාවට දමා ඇත. පසු ගිය වසරවල දෙවන ශ්‍රේනිය සඳහා බඳවා ගත් නිලධාරීන් 1,600 ක් මෙතෙක් ස්ථීර නොකර පරිවාස මට්ටමේ තබා ඇත. ඔවුන් ට ගෙවනු ලබන්නේ 111 වන ශේනියේ වැටුප ය. දෙවන ශ්‍රේනියේ ආරම්භක වැටුප රුපියල් 16,640 ක් වන අතර තුන්වන ශේනියේ ආරම්භක වැටුප 15,005 කි. ඒ අනුව රුපියල් 1,635 වැටුප් කප්පාදුවක් ඔවුන් මත ක්‍රියාත්මක වෙයි.

කලින් අදාල විභාගයක් සමත් වීමෙන් පසු අවුරුදු හතකදී උසස්වීම් ලබා ගැනීමට අවස්තාවක් තිබුනත් දැන් එම සේවා කාලය වසර 10 දක්වා දීර්ඝ කර තිබේ. පහල ශ්‍රේනිවල සිට ඉහලට උසස්වීම් ලබා ගැනීමට තිබුන අවස්තාව එමගින් අහිමි කර ඇත. ලිපි බෙදන්නන්, තෝරන්නන්, කාර්යාල කාර්ය සහායකයින් ආදී වශයෙන් තිබුන ශේනි 18 ක් අහෝසි කර ඒ වෙනුවට තැපැල් සහායක නමින් නව ශේනියක් හඳුන්වා දීමෙන් වැටුප් කප්පාදුවක් ද ක්‍රියාවට දමා තිබේ. ස්ථීර සේවකයන් වෙනුවට රුපියල් 1,180 ක දෛනික වැටුපකට ආදේශක සේවකයන් බඳවා ගැනීම පසුගිය වසර කිහිපය තුල ආරම්භ කර ඇති තැපැල් දෙපාර්තමේන්තුව පොරොන්දු වූ පරිදි තමන් ස්ථීර නොකර දිගටම ආදේශක කම්කරුවන් ලෙස තබාගෙන සිටින බව ට ඔව්හු චෝදනා කරති.

සේවා කොන්දේසි සහ වැටුප් කප්පාදුවට එරෙහිව තැපැල් සේවකයන් අතර පවතින්නේ බරපතල විරෝධයකි. ඊට එරෙහිව සටන් කිරීමේ දැඩි උවමනාවක් ඔවුන් අතර ඇත. එහෙත් තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුන 2006 සිට වසර 12ක් පුරා ධනපති ආන්ඩුවට බලපෑම් දැමීමේ නිස්සාර උද්ඝෝෂනවලට සහ ආන්ඩුවේ බොරු පොරොන්දුවලට යටත් කර සේවකයන් ගේ එම විරෝධය දිය කර හැරීමේ දැනුවත් උත්සාහයකය යෙදී සිටිති.

එවන් විරෝධතාවල කොටසක් ලෙස පසුගිය දෙසැම්බර් 27 සහ 28 විරෝධතා උද්ඝෝෂනයක් කැඳවුම් කල තැපැල් සමිති පෙරමුන දින 14 ක් ඇතුලත ආන්ඩුව තම ඉල්ලීම් ඉටු නොකලොත් ජනවාරි 10 වෙනිදා සිට “අඛන්ඩ” වර්ජනයක් කරන බවට බොරු තර්ජනයක් ද කලේ ය. පසුව ඇමති සරත් අමුනුගමගේ මූලිකත්වයෙන් ආන්ඩුව පත්කර තිබෙන අමාත්‍ය මන්ඩල අනුකමිටුව ගැටලු විසඳීමේ යෝජනා සහිත පත්‍රිකාවක් අමාත්‍ය මන්ඩලයට ඉදරිපත් කරන බවට දුන් පොරොන්දුව පිලිගෙන පලාත්පාලන මැතිවරනය පැවැත්වෙන තත්වය තුල වර්ජන කිරීම “නුසුදුසු” බව කියමින් තැපැල් සේවකයන්ගේ අරගලය පසුපසට තල්ලු කලේ ය.

එහෙත් ආන්ඩුව මෙම අමාත්‍ය මන්ඩල අනු කමිටුව පිහිටුවා ඇත්තේ වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව කම්කරුවන්ගේ අරගල කඩාකප්පල් කිරීම සඳහා මිස තැපැල් සේවකයන්ගේ ගැටලු විසඳීම සඳහා නොවේ. මාස පහක් ගතවී ඇතත් අමාත්‍ය මන්ඩල අනු කමිටුව පොරොන්දු ඉටු නොකල බවට දැන් තැපැල් සමිති පෙරමුනේ නායකයෝ කනිපින්දම් ගසති. ඒ සමගම ඔවුහු තැපැල් සේවකයන් අතර කට්ටිවාදී භේද නිර්මානය කිරීමට පටන් ගෙන ඇත.

එහි කොටසක් ලෙස මෙවර දෙදින වර්ජනය කැඳවුම් කර ඇත්තේ තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය (තැවිසනිස) විසින් තනිව ය. තැපැල් සමිති ඒකාබද්ධ පෙරමුනට සම්බන්ධ සෙසු සමිති වර්ජනයට සම්බන්ධවීම ප්‍රතික්ෂේප කර ඇත.

පෙරමුනෙන් වෙන් ව වර්ජනය කිරීම ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරු විමසු විට තැවිසනිස ප්‍රධාන ලේකම් ඩී. කේ. කාරියවසම් ප්‍රකාශ කලේ “පොඩි පොඩි ගැටලු ටිකක් තිබුන. ශ්‍රේනි අතර ගැටලු නිරාකරනය කර ගන්න බැරි වුනා. එම නිසා තාවකාලිකව තනියම මෙවර උද්ඝෝෂනය කරන” බවය. පරිපාලනයට උදව් කරන කටයුතුවල නිරතවෙමින් හා වර්ජනය කරන අයට තර්ජනය කරමින් එය කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවට පෙරමුනේ සෙසු සමිති වලට ඔහු චෝදනා කලේ ය.

පෙරමුනේ අනෙකුත් සමිති ජුනි 11 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට වෙනම වර්ජනයක් කරන බව තැපැල් සමිති පෙරමුනේ සභාපති හා විදුලි සංදේශ සේවක සංගමයේ ප්‍රධාන ලේකම් චින්තක බන්ඩාර පැවසීය. තැවිසනිස තීන්දුව පුද්ගලිකව ගත් එකක් බවත් ඒ නිසා එය අද වර්ජනයට සම්බන්ධ නොවන බවත් ඔහු සඳහන් කලේ ය.

සමිති නායකයන්ගේ මෙම හේතු දැක්වීම් කුමක් වුවත් ඔවුන් ක්‍රියා කරන්නේ තැපැල් සේවකයන් අතර භේදයක් නිර්මානය කිරීමට සහ ආන්ඩුවේ සහ තැපැල් බලධාරීන්ගේ අත් ශක්තිමත් කිරීමට ය.

මෙම සමිති කොටසක් වර්තමාන ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇද්ද අතර තවත් කොටසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පන්දම් ඇල්ලුවේ ය. ඒ දෙයාකාරයෙන් ම ඔවුන් කලේ ධනපති ආන්ඩුව එල්ල කෙරෙන ප්‍රහාරවලට විරුද්ධව කම්කරුවන්ගේ පලල් අරගලයක් සංවිධානය කිරීම වලක්වා ධනපති පක්ෂවලට කම්කරුවන් ගැට ගැසීමයි.

ආන්ඩුව තැපැල් සේවකයන්ගේ අයිතීන් කප්පාදු කිරීම ගැඹුරු කිරීමේ වැඩපිලිවෙලක යෙදී සිටියි. එහි පලමු පියවර ලෙස තැපැල් දෙපාර්තමේන්තුව භාරකාර මන්ඩලයක් යටතට පත්කර අනතුරුව සංස්ථාවක් බවට පරිවර්තනය කිරීමට සැලසුම් කර තිබේ. එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග යටතේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සහ පුද්ගලීකරනය ඇතුලු පලල් ආර්ථික ප්‍රතිසංස්කරන සැලසුම් වල කොටසකි. දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරීම, ලංකා විදුලිබල මන්ඩලය, තෙල් සංස්ථාව, ජලසම්පාදන මන්ඩලය සහ රාජ්‍ය බැංකු ඇතුලු මූලික රාජ්‍ය ආයතන ද මුලුමනින් පුද්ගලීකරනය කිරීමට ආන්ඩුව පිඹුරුපත් සකසමින් සිටී.

මේ අවස්ථාවේ කම්කරුවන් කල යුත්තේ ආන්ඩුවේ වැඩපිලිවෙල පරාජය කිරීමට දේශපාලන අරගලයක් සංවිධානය කිරීමයි. වෘත්තීය සමිති කැබිනට් අනුකමිටුවේ වාර්තාව ක්‍රියාවට දමන ලෙස ආන්ඩුවට කනිපින්දම් කියමින් කල්මැරීම එවන් අරගලයක් සංවිධානය කිරීම වැලැක්වීමට කෙරෙන්නකි. පසුගිය අවුරුදු 12ක තැපැල් සේවකයන්ගේ උද්ඝෝෂනවල අත්දැකීම එයයි. තැපැල් සමිති මෙන් ම, සමස්තයක් ලෙස සියලු වෘත්තීය සමිති ජාත්‍යන්තර ප්‍රාග්ධනය සහ එමගින් මෙහෙයවන ධනපති ආන්ඩුවල උපකරන ලෙස ක්‍රියා කරයි.

වර්ජනයට එලඹී සිටින සේවකයන් නැගී සිටිය යුත්තේ ධනපති පක්ෂවලට ගැතිව සිටින වෘත්තීය සමිති ශ්‍රේනිවාදී ප්‍රශ්න මත සිදුකරන භේද කිරීම්වලට ද එරෙහිව සමස්ත තැපැල් අංශය අලලා ගත් අරගලයක් සංවිධානය කිරීම වෙනුවෙනි. ඔවුන් රාජ්‍ය හා පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ එකමුතුව දිනා ගැනීමට හැරිය යුතුය.

තැපැල් සේවකයන්ගේ වර්ජනය, මෑත පැන නැගුන විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක, දුම්රිය හා ජලසම්පාදන මන්ඩලයේ කම්කරුවන්ගේ අරගල ඇතුලු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග යටතේ රැකියා, වැටුප් හා සේවා කොන්දේසිවලට එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව ලංකාවේ වර්ධනය වන පන්ති අරගලයේ කොටසකි. සෑම රටකම ධනපති පාලක පන්තීන් සමාජ අයිතීන් උදුරා ගැනීමට ගෙනයන ප්‍රහාරවලට විරුද්ධව ජාත්‍යන්තරවම කම්කරු පන්තියේ අරගල වැඩී එමින් තිබේ.

ලංකාව තුල ද ජාත්‍යන්තරව ද කම්කරුවන්ගේ එකමුතුවක් ගොඩ නැගීමේ කොන්දේසි එලෙස වර්ධනය වී ඇතත් ඊට එරෙහිව සිටින්නේ වෘත්තීය සමිතිය.

කම්කරුවන්ට තමන්ගේ අයිතීන් දිනා ගැනීමට ක්‍රියාමාර්ගයක් ගත හැකි වන්නේ ද පොදු අරගලයක් සංවිධානය කල හැකි වන්නේද වෘත්තීය සමිතිවලින් මුලුමනින් ම ස්වාධීනව, නව සංවිධාන ලෙස ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමෙනි.

ධනපති ආන්ඩුවේ ප්‍රහාර පරාජය කර තමන්ගේ අයිතීන් රැක ගැනීමට කම්කරුවන්ට හැකිවන්නේ අනෙකුත් පීඩිතයන්ගේ සහාය දිනා ගනිමින් කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම මගින් සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට දැමීම මගින් පමනකි. තැපැල් සේවකයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම අරගලයට සහයෝගය දෙන ලෙසයි.

මෙම ක්‍රියාමාර්ගය සඳහා සටන් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය පමනි. එය කම්කරු පන්තියේ විපල්වවාදී පක්ෂය ලෙස ගොඩනැගීමට එක් වන ලෙස තැපැල් සේවකයන්ගෙන් සහ අවශේෂ කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: