සමිති නිලධරයේ පස්සට ඇදීම් නොතකා තැපැල් සේවකයන් 25,000ක් අඛන්ඩ වර්ජනයේ

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2018 ජුනි 14

බඳවා ගැනීමේ පටිපාටිය නිවැරැදි කිරීම හා උප තැපැල් ස්ථානාධිපතිවරු ස්ථීර කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් 25,000 ට ආසන්න තැපැල් සේවකයෝ අඛන්ඩ වැඩ වර්ජනයකට පිවිස සිටිති. වර්ජනය හේතුවෙන් දිවයිනේ තැපැල් කාර්යාල 654 ක, උප තැපල් කාර්යාල 3410 ක සහ පාලන කාර්යාල 100 කට අධික සංඛ්‍යාවක සේවා කටයුතු මුලුමනින් ම අඩාල වී ඇත.

තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුනෙහි සාමාජිකයන් සඳුදා සවස හතරේ සිට වර්ජනය ආරම්භ කල අතර අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ (තැවිනිස) සාමාජිකයන් ද වර්ජනයට එක්ව සිටිති.

උතුරු-නැගෙනහිර කම්කරුවන් ද ඇතුලත් දහස් ගනනක් තැපැල් කම්කරුවන් මෙලෙස වර්ජනයට සහභාගි වී සිටින්නේ, ඔවුන්ගේ නිවාඩු අවලංගු කරමින් ආන්ඩුව ගෙන ඇති මර්දන පියවර මෙන්ම තැපැල් සමිති විසින් ගෙනයන භේදකාරී ක්‍රියා ද නොතකාය.

සමිති විසින් ගෙනයන ශ්‍රේනිවාදී පිලිවෙත් වල කොටසක් ලෙස තැවිනිස ජුනි 4 සහ 5 දෙදින වෙනම වර්ජනයක් කල අතර ඒකාබද්ධ පෙරමුනේ සෙසු සමිති ඊට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කලහ. ඒකාබද්ධ පෙරමුන සඳුදා ආරම්භ කල වර්ජනයට එකතු නොවී සිටි තැවිනිස ට තම තීන්දුව වෙනස් කිරීමට සිදුවූයේ සාමාජිකත්වයෙන් එල්ල වූ පීඩනය හමුවේය.

තම ඉල්ලීම් ඉටු නොකරන ආන්ඩුව කෙරෙහි මෙන් ම ආන්ඩුවේ බොරු පොරොන්දු මත අරගලය යලි යලිත් පසුපසට තල්ලු කල තැපැල් වෘත්තීය සමිති සම්බන්ධයෙන් ද තැපැල් සේවකයන් අතර ඇත්තේ බරපතල අප්‍රසාදයක් සහ කෝපයකි.

වෘත්තීය සමිතිවල වැඩපිලිවෙල කෙරෙහි අප්‍රසාදය පල කරමින් යාපනයේ තැපැල් ස්ථානාධිපතිවරයෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ)වාර්තාකරුවන්ට මෙලෙස පැවසීය: “ඔවුන් තම තමන්ගේ වාසියට කම්කරුවන් අතර භේදයක් නිර්මානය කිරීමට උත්සාහ කරනවා. එවැනි භේද වලින් සිද්ධ වෙන්නෙ අපේ ශක්තිය දුර්වල වීමයි.”

හැටන්-දික්ඔය තැපැල් සේවකයෙක් මෙසේ ප්‍රකාශ කලේය. “අපි ජාතික සේවක සංගමයේ සාමාජිකයො. අපි මේ වර්ජනයට සම්බන්ධ වුනත් එය සංවිධානය කරන්න වෘත්තීය සමිතිය උනන්දු නැහැ. අඩුම තරමින් වර්ජනයේ අරමුන පැහැදිලි කරන පත්‍රිකාවක්වත් නැහැ. අපි යමක් අවබෝධ කර ගත්තේ ඔබේ පත්‍රිකාවෙන් පමනයි”.

“තැපැල් අරගලය: කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගනු! සමාජාවාදී වැඩපිලිවෙලට සටන් කරනු!” යන මැයින් ලෝසවෙඅ හි පල කල ලිපිය සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයන් විසින් ඔවුන් අතර බෙදා හැර තිබුනි. ඉන් උත්තේජනය ලත් ඔහු සෙසු සේවකයන්ට කියවීම පිනිස එය දික්ඔය තැපැල් කාර්යාලයේ ප්‍රදර්ශනය කරන බව ද සඳහන් කලේ ය.

10 වෙනි ඉරිදා පැවති තැවිනිස විධායක කමිටු රැස්වීම තුල දී එහි විධායක කමිටු සභික සහ සසප සාමාජික සමිත ප්‍රනාන්දු නිලධරයේ පිලිවෙත් විවේචනය කරමින් 11 වෙනිදා වර්ජනයට සම්බන්ධවීමට කල යෝජනාව කෙරෙහි තැවිනිස මුදුන් නායකත්වය කෝපය සහ විරුද්ධත්වය පල කලේ ය. “හවුලේ ගියහම කනිෂ්ට සමිති වැඩියි. එතකොට පරිපාලනය සමග නිසි පරිදි සාකච්ඡා කරන්න බැහැ. අපිට තනියම කරන්න පුලුවන් බව 4-5 වර්ජනයෙන් ඔප්පු වුනා. එහෙම කලාම තමයි සමිතියේ අභිමානය රැකෙන්නේ” තැවිනිස ප්‍රධාන ලේකම් පැවසීය. මෙය, තැවිනිස නිලධරයේ ශ්‍රේනිවාදී පිලිවෙත් මැනවින් එලිදරව් කරන ප්‍රකාශයකි.

එහෙත් 11 වෙනිදා වර්ජනයට සහභාගී විය යුතුයයි ප්‍රාදේශීය විධායක සභිකයන් සියලු දෙනාම යෝජනා කල තතු යටතේ තැවිනිස නායකයන් ට එය පිලිගැනීමට සිදුවිය. කෙසේ නමුත්, “සේවක ගැටලු පිලිබඳ අමාත්‍ය මන්ඩල පත්‍රිකාව” අඟහරුවාදා ඉදිරිපත් කිරීමට ආන්ඩුව එකඟ වී ඇති බවත්, එසේ නොකලහොත් එදින මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයට සම්බන්ධ වන බව තැවිනිස නායකත්වය ප්‍රකාශ කලේය. එය නිශ්චිතවම වර්ජනය මග හැරීම සඳහා කල්මැරීමට ගත් උත්සාහයකි. “අමාත්‍ය මන්ඩල පත්‍රිකාව” අඟහරුවාදා ඉදිරිපත් නොකල තතු යටතේ තැවිනිස ට වර්ජනයට සම්බන්ධවීමට බල කෙරුනි.

“අමාත්‍ය මන්ඩල පත්‍රිකාව” මගින් තැපැල් කම්කරුවන්ගේ ගැටලු විසඳන බවට ආන්ඩුව දී ඇති පොරොන්දුව ද, එවන් පත්‍රිකාවකින් ගැටලු විසඳිය හැකි බවට සමිති නිලධරය කරන ප්‍රකාශයන් ද කම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කල යුතුය. විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ මාසික හිලව් දීමනාව සහ ජල සම්පාදන කම්කරුවන්ගේ ත්‍රෛවාර්ෂික වැඩුප් වැඩිවීම සම්බන්ධයෙන් ආන්ඩුව සහ සමිති අතර අත්සන් කෙරුනු ගිවිසුම් ආන්ඩුව විසින් ඉරා දැමුවේ සති කිහිපයකට පෙරය. එම සමිති නිලධරයන් ආන්ඩුවේ අවශ්‍යතාවයන්ට අනුව සාමාජිකත්වයේ අවශ්‍යතා කප්පාදු කරමින් එම අරගල පාවා දුන්හ.

“අමාත්‍ය මන්ඩල පත්‍රිකාව” වැනි ආන්ඩුවල විසඳුම් මත, අරගල පාවාදීම සඳහා සමිති නිලධරය දිගින් දිගටම ඉෂ්ඨ කල භූමිකාවෙන් අත් ශක්තිමත් කර ගෙන ඇති ආන්ඩුව තැපැල් සේවකයන්ගේ ගැටලුවලට විසඳුම් සම්පාදනය නොකිරීම පමනක් නොව සේවක විරෝධය නිසා තාවකාලිකව අත්හිටුවා තිබු පුද්ගලීකරන සැලසුම් කඩිනම් කිරීමට ද පියවර ගනිමින් සිටී.

2017 දෙසැම්බර් 12 දින අමාත්‍ය මන්ඩලය විසින් පත්කරන ලද එහි අනුකාරක සභාවේ නිර්දේශ තුලින් තැපැල් දෙපාර්තමේන්තුව හා දුම්රිය පුද්ගලීකරනය කිරීමේ සැලසුම් ඉදිරිපත් කර ඇත. “තැපැල් දෙපාර්තමේන්තුව ව්‍යූහාත්මක ප්‍රතිසංවිධානයකට භාජනය” කිරීමේ අවශ්‍යතාවය අවධාරනය කරමින් තැපැල් දෙපාර්තමේන්තුව වෙනම පාලක මන්ඩලයක් යටතේ පාලනය වන ස්වාධීන ආයතනක් බවට පරිවර්තනය කිරීම එම අනුකාරක සභාව නිර්දේශ කර ඇත. “ශ්‍රී ලංකා තැපැල් සේවාව” ලෙස නම් කරනු ලබන එම ස්වාධීන ආයතනයට දැනට තැපැල් දෙපාර්තමේන්තුව සතු සියලුම වත්කම් පැවරිය යුතු අතර “ඒවා නිසි පරිදි නඩත්තු කොට, ආයෝජනය කොට ආදායම් උපයා ගැනීම තැපැල් සේවාව මගින් කල යුතුය”. තැපැල් සේවාවට අදාල “තනතුරු, වැටුප් පරිමානයන්, හා සේවක සංඛ්‍යාව නිශ්චය කරනු ලබන්නේ” එකී පාලක මන්ඩලය විසිනි.

සේවකයන්ගේ රැකියාවලට සහ විශ්‍රාම වැටුපට කෙටීම ද එමගින් යෝජනා කර තිබේ. “දැනට සිටින සේවකයන්ට තම විශ්‍රාම අයිතිය තහවුරු කර ගනිමින් තැපැල් සේවාවට අන්තර්ග්‍රහනය විය හැකි අතර දීප ව්‍යාප්ත සේවාවන් වලට අවශ්‍යනම් ද්විතීයක පදනම මත තවදුරටත් සේවය කිරීමට අවසර දිය හැකිය.” ඒ අනුව ටෙලිකොම් පුද්ගලීකරනයේදී මෙන් තැපැල් සේවකයන් දහස් ගනනකගේ රැකියා අහිමි කෙරෙනු ඇත.

විශ්‍රාම වැටුප් අහිමි කරමින් “අලුතින් බඳවා ගනු ලබන සේවකයන් සේවක අර්ථසාධක අරමුදලට බඳවා ගැනේ.” දැනටමත් 2016 මාර්තුවලින් පසුව දෙපාර්තමේන්තුවට බඳවා ගත් නවක සේවකයන් ට විශ්‍රාම වැටුප් අයිතිය අහිමිය.

අනුකාරක සභාවේ නිර්දේශ තවදුරත් කියා සිටින්නේ “දෙපාර්තමේන්තුව තුල පැන නැගී ඇති වැටුප් විෂමතා සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුවට පමනක් අදාල වන සේ තීරන ගැනීම මගින්” සමස්ත රාජ්‍ය සේවයේම අවුල් ඇතිවිය හැකි බවය. එහි තේරුම තැපැල් සේවකයන් දැන් ඉදිරිපත් කර ඇති කිසිදු ඉල්ලීමකට ආන්ඩුවෙන් විසඳුම් නොලැබෙන බවයි.

අමාත්‍ය අනුකාරක සභාව විසින් දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් කර ඇති නිර්දේශ ද මේ හා සමානය. ආන්ඩුව විසින් කරනු ලබන මෙම සැලසුම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝගවලට අනුව රාජ්‍ය ආයතන පුද්ගලීකරනය කිරීමේ සැලසුම් වල කොටසකි.

තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් කෙලින් ම ගැටෙන්නේ ආන්ඩුවේ මෙම පුද්ගලීකරන පිලිවෙත් සමගය. ආන්ඩුවට එරෙහි විරෝධතා හෝ සමිති නිලධරයන්ගේ අඳෝනා මගින් මෙම පිලිවෙත් ආපසු හැරවිය නොහැකි බව අනෙකුත් සියලුම ක්ෂේත්‍රයන්හි අරගලයන් හි අතිමූලික පාඩමයි. ආන්ඩුවේ ප්‍රහාර පරාජය කිරීමට නම් ආන්ඩුවට සහ එම පිලිවෙත්වල මූලය වන සමස්ත ධනපති ක්‍රමයට එරෙහි කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයක් අවශ්‍යම වේ.

එක්සත් ජාතික තැපැල් සේවක සංගමය හා නිදහස් තැපැල් සේවක සංගමය බැඳී සිටින්නේ අනුපිලිවෙලින් අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යි. තැවිනිස “ස්වාධීනයයි” කියාගන්නා අතරම බලයේ සිටින ආන්ඩු සමග සම්මුතියෙන් “ප්‍රශ්න විසඳා ගැනීමේ” මුවාවෙන් ඒවා සමග පෙල ගැසීම ප්‍රතිපත්තිය කර ගෙන සිටී. පසුගිය ජනාධිපතිවරනයේදී එහි සභාපති සිරිසේන වෙනුවෙන් දියත් වූ සාධාරන සමාජයක් සඳහා වෘත්තීය සමිති සමග පෙලගැසී සිටියේ ය. මෙම සමිති ධනපති පන්තියේ ඒ හෝ මේ කොටස සමග ක්‍රියා කරමින් නියෝජනය කරන්නේ එම පන්තියේ උවමනාවන් ය.

මෙලෙස ධනේශ්වර රාජ්‍යයේ සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ උපකරනයන් බවට පත්ව ඇති වෘත්තීය සමිති එවන් දේශපාලන අරගලයකට පරම ලෙසින්ම සතුරු ය. කම්කරු පන්තිය වෘත්තීය සමිති වලින් සහ වෘත්තීය සමිතිවාදී වැඩපිලිවෙලින් බිඳී තමාගේම ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ලෙස, කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගාගත යුත්තේ එබැවිනි. ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත පාදක කර ගතයුතු එම කමිටු වටා ආන්ඩුවේ ප්‍රහාර වලින් බැටකන අවශේෂ කම්කරුවන්, තරුනයන් සහ ගොවීන් ඇතුලු පීඩිතයන් බලමුලු ගන්වාගත යුතුය.

අරගලය වටා අවශේෂ කම්කරුවන්ගේ සහාය ගොනුකර ගැනීමේ කිසිදු පන්ති ක්‍රියාවක් සංවිධානය කිරීම මගහැර ඇති සමිති නායකයන් වර්ජනය කර නිවෙස්වලට වී සිටින ලෙස සාමාජිකයන්ට උපදෙස් දී ඇත්තේ එවන් ඒකාග්‍ර වීමක් වලකනු පිනිස මෙන්ම ආන්ඩුව සමග ගනුදෙනුවල යෙදීමටයි.

මෙලෙස සාමාජිකයන් නිවෙස්වලට කොටුකර තබා ආන්ඩුවේ අවශ්‍යතාවයන්ට අරගලය පාවා දී වර්ජනය නතර කිරීම සඳහා ඔවුහු ආන්ඩුව සමග කුමන්ත්‍රනයක යෙදී සිටිති. මෙම ඉල්ලීමි පලමු වරට ඉදිරිපත් කෙරුනු 2006 වසරේ සිට ගෙවීගිය දොලොස් වසර පුරා සංවිධානය කෙරුනු විරෝධතා සහ වර්ජන වලදී, සාමාජිකයන් සමග කවර හෝ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවක් නොකල සමිති නිලධරය, ආන්ඩුව සහ තැපැල් බලධාරීන් සමග කරන ලද සාකච්ඡා වලින් පසුව විරෝධතා උද්ඝෝෂන නතර කලහ.

වර්ජනයේ යෙදී සිටින තැපැල් සේවකයන් සමිති විසින් කෙරෙන මෙම කුමන්ත්‍රන වලට තව දුරටත් ඉඩ නොදිය යුතු ය. අරගලය තම අතට ගැනීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් පිකට් කිරීම් සහ පෙලපාලි ඇතුලු පන්ති ක්‍රියාවන් සංවිධානය කිරීමට ද අවශේෂ කම්කරුවන්ගේ සහාය තම අරගලය වටා ගොනු කර ගැනීමට ද තැපැල් කම්කරුවන් වහා පියවර ගත යුතුය.

Share this article: