ශ්‍රී ලංකාව: වැඩවර්ජිත තැපැල් කම්කරුවෝ වෘත්තීය සමිති විවේචනය කරති

Sri Lanka: Striking postal workers criticise the trade unions

අපගේ වාර්තාකරුවන් විසිනි, 2018 ජූනි 26

තම ඉල්ලීම්වලට සහයෝගය ලබා ගනු පිනිස තැපැල් කම්කරුවෝ සිය ගනනක් කොලඹ, ගම්පහ, ගාල්ල, අම්බලන්ගොඩ හා ත්‍රිකුනාමලය ඇතුලු ස්ථාන ගනනාවක දී ඊයේ පෙලපාලි පැවැත් වූහ. ජූනි 11 දින ඇරඹුන, 25,000ට වැඩි තැපැල් සේවකයින්ගේ වර්ජනය දැන් තුන්වැනි සතියට පිවිස ඇත.

උසස්වීම් හා වැටුප් කප්පාදුවට බලපා ඇති, 2006 චක්‍රලේඛය අවලංගු කරන ලෙසට කම්කරුවන් කරන ඉල්ලීම ලබා නොදීමට ආන්ඩුව අධිෂ්ඨාන කරගෙන සිටී. තැපැල් ඇමති එම්.එච්.ඒ.හලීම් ඊයේ හවස අද “විසඳුමක්” සොයා ගනු ඇතැ යි ප්‍රකාශ කල ද, ඒ කෙසේ ද යන්න පැහදිලි නො කලේ ය. “දේශපාලනිකව උසිගන්වා” ඇති වැඩවර්ජනය “ආන්ඩුව පෙරලා දැමීම ඉලක්ක කර ගත් එකක්” යැයි පවසමින් ඔහු පසු ගිය සතියේ වර්ජකයින්ට පහර දුන්නේ ය.

ඔහුගේ උපදෙස් මත තැපැල් අධිකාරීහූ, කම්කරුවන්ගේ නිවාඩු අවලංගු කර, ජූලි 19වැනිදාට පෙර සේවයට වාර්තා කිරීමට අසමත් වන අය සේවයෙන් පහ කිරීමට තර්ජනය කලේ ය. ආන්ඩුව තැපැල් කාර්යාලවල පොලීසිය රැඳවීමට ද තීරනය කලේ ය. කෙසේ නමුත්, මෙම තර්ජන තිබිය දී ත් වැඩවර්ජනය කැඩීමට ආන්ඩුව අසමත් වී ඇත.

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කමිටුව මාධ්‍යයට වාර්තා කලේ කම්කරුවන්ගේ ඉල්ලීම ඉටු කිරීමට ආන්ඩුවට මුදල් නැති බව යි. එය ආන්ඩුවට රුපියල් බිලියන 8ක අතිරේක “වියදමක්” යයි පවසමින්, ඉල්ලීම් ලබා දීමෙන් “සංකීර්නතා” මෙන් ම රාජ්‍ය අංශයේ අනෙකුත් කම්කරුවන් සම්බන්ධයෙන් විෂමතා නිර්මානය කරනු ඇත යි ද කියා සිටියේය.

ආන්ඩුව වැටුප් කැටි කිරීම මෙන් ම තැපල් දෙපාර්තමේන්තුව ඇතුලු රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියෝග කෙරුනු ආර්ථික ප්‍රතිසංස්කරන ද ක්‍රියාත්මක කිරීම වේගවත් කර ඇත.

පසුගිය සතියේ වැඩවර්ජනය කල තැපැල් කම්කරුවෝ

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුනු (ඒතැවෘසපෙ) හා තැපැල් හා විදුලිසංදේශ නිලධාරීන්ගේ සංගමය (තැහාවිනිසං) බෞද්ධ භික්ෂූන් ඇතුලු ප්‍රතිගාමී කන්ඩායම්වලට ආයාචනා කිරීමෙන් ආන්ඩුව මත දැඩි පීඩනයක් යෙදිය හැකි ය යන මිත්‍යාව කම්කරුවන් අතර ප්‍රචාරය කරමින් සිටිති.

වෘත්තීය සමිති නිලධරය සෙනසුරාදා, වැඩවර්ජනය සඳහා ආශිර්වාදය ලබා ගැනීමට මහනුවර දී මල්වතු පාර්ශ්වයේ මහනායක හමුවූහ. මහනායක පවසා තිබුනේ වෘත්තීය සමිති හෝ ආන්ඩුව “නම්‍ය” විය යුතු බව. එහි අර්ථය, කම්කරුවන් තම ඉල්ලීම ලිහිල් කල යුතු බව හෝ අතහැර දැමිය යුතු බව යි. ශ්‍රී ලංකාවේ ප්‍රතිගාමී බෞද්ධ සංස්ථාපිතය ධනේශ්වර පාලනයේ ප්‍රමුඛ මුක්කුවකි.

වෘත්තීය සමිති නායකයෝ කොලඹ හා තවත් නගර කීපයක වැඩකට නැති “සත්‍යග්‍රහ” හා වාඩිලා ගැනීම් දිගටම ඉදිරියට ගෙන යමින් සිටිති. ඊයේ ආන්ඩුව සමග සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු, ඒකාබද්ධ පෙරමුනේ ලේකම් චින්තක බන්ඩාර පැවසුවේ, ඊලඟ පියවර “මාරාන්තික උපවාසයක්” වනු ඇති බව යි. කෙසේ නමුත්, අනෙකුත් වෘත්තීය සමිති මෙන් ම එහි නායකයෝ ද තැපැල් කම්කරුවන් කම්කරු පන්තියේ අනෙකුත් කොටස් වෙත මොනම හෝ හැරීමකට තදින් ම හතුරු ය.

වෘත්තීය සමිති නායකයන් පස්සට ගෑටීමට වෙනස් ව තැපැල් කම්කරුවෝ පහලොස් දෙනෙක් පමන මාතර තැපල් කාර්යාලයට පිටත දී සමාජවාදී සමානතා පක්ෂයේ සමාජිකයන් සමග දේශපාලන අභියෝග සාකච්චා කිරීමට එක්වූහ.

තැපැල් කම්කරුවෝ ලෝසවෙඅ වාර්තාකරු සමග සාකච්චා කරයි

සසප අත්පත්‍රිකාව කියවීමෙන් පසු, කම්කරුවන් පවැසුවේ සමිති නායකයින් ප්‍රතිව්‍යූහකරන වැඩසටහන ගැන කිසිවක් නො කිව් බව යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මග පෙන්වීම සමග ආන්ඩුව ප්‍රතිව්‍යූහකරන වැඩසටහනක් සකසා ඇති අතර එය තැපැල් සේවා, දුම්රිය හා අධ්‍යාපන අංශවල වෘත්තීය සමිතිවලට බාර දී ඇති බව පත්‍රිකාව පැහදිලි කලේ ය. 2006 චක්‍රලේඛය තැපැල් සේවය කප්පාදු කිරීමේ ආරම්භක පියවරයි.

කම්කරු පන්තියේ උත්සුකයන් සඳහා මොන යම් හෝ අරගලයකට වෘත්තීය සමිති බාධකයක් වී තිබීමත් සමග සමාජවාදී ප්‍රතිපත්ති හා කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා සටනක අවශ්‍යතාව කෙරෙහි සාකච්ඡාව යොමු කෙරුනි.

තැපැල්කරුවෙකු වන උපාලි ජයතුංග මෙසේ පැවසී ය: “මම සේවයට බැඳුනේ 1989. අවුරුදු 30ක් වැඩ කරලත් මගේ මුලු පඩිය යන්තම් රුපියල් 39,000යි. මම බැංකුවෙන් ගත්තු නයකට මාසෙකට රුපියල් 7000ක් ගෙවන්න තියෙනවා. මගේ දරුවන් පස්දෙනා සමග මට මේ පඩියෙන් ගැට ගහ ගන්න බෑ. ඒ හින්දා සෙකියුරිටි ජොබ් එකක් කරනවා දවසකට රුපියල් 800ක පඩියට.”

උපාලි ජයතුංග

වැඩවර්ජනය ගැනත් තැපැල් කම්කරුවන් මුහුන දෙන ගැටලු ගැනත් මාධ්‍ය බොහෝ සේ නිහඬ බව ඔහු පැවසී ය. “මම හිතන්නේ ඔබලාගේ ලෝක සමාජවාදී වෙබ් අඩවියඅපට සහාය දක්වනවා කියාලා. ඒක අපට ශක්තියක් ” යයි ඔහු පැවසී ය.

තවත් තැපැල් සේවකයෙකු වන රොනාල් ශාන්ත මෙසේ පැවසී ය. “මේ සටනට දේශපාලන ක්‍රියාමාර්ගයක් ඕනෑ කියන එක ඇත්ත. ඔයාලා වගේ අවංකව අපට සහාය දක්වන වෙනත් සංවිධාන හෝ මාධ්‍ය ඇත්තේ නෑ.”

ආන්ඩුවට පීඩනය යෙදීමෙන් කම්කරුවන්ට ජය ගන්න පුලුවන් කියන එක ගැන තමන්ට විශ්වාසයක් නැති බව අම්බලන්ගොඩ තැපල් කාර්යාලයේ උපුල් නිෂාන්ත ලෙසවෙඅ වාර්තාකරුවන්ට පැවසී ය. “අගමැති හරි ජනාධිපති හරි පොරොන්දුවක් දෙන කම් සටන දිගටම කරනවා කියලා වෘත්තීය සමිතිය කියනවා” යි ඔහු පැවසී ය. “කලින් ස්ට්‍රයික් වලදිත් අපිට එවැනි පොරොන්දු ලැබුනා. නමුත් වෙච්ච දෙයක් නෑ.” කල යුත්තේ කුමක් ද හෝ සිදුවන්නේ කුමක් ද යන්න ගැන සාකච්ඡාවකට කම්කරුවන්ට ඉඩ නොදීම ගැන ඔහු වෘත්තීය සමිතිය විවේචනය කලේ ය.

ශාන්ත තැපැල් සේවයට එක්වූයේ 2007දී පෝටර්වරයෙකු ලෙස රුපියල් 22,000ක වැටුපට ය. 2015දී ඔහු තැපැල්කරු තනතුරුට උසස් කෙරුනු නමුත් ඔහුට වැඩ කිරීමට සිදුවූයේ එකම වැටුපට ය.

“ලියුම්කරුවෙකුගේ මාසික මූලික වැටුප රුපියල් 25,000ක්. ඒත් අපේ ඔපීස් එකේ ඉන්නවා ඒ පඩිය හම්බ වෙන්නේ නැති පස් දෙනෙක්” යැයි ශාන්ත පැවසී ය. නයට අඩු කිරීමෙන් පසු ඔහු මාසයකට ලබන්නේ රුපියල් 21,000ක් පමනි. “මගේ අම්මයි අක්කයි ජීවත් වෙන්නේ අපිත් එක්ක. අපේ පවුල නඩත්තු වෙන්නේ අම්මගේ පෙන්ෂන් එකෙන්.”

තම වැටුපින් යැපීමට නො හැකි තම සගයන් කීපදෙනෙකු කුලී රථ පැදවීම වැනි අර්ධ කාලීන රැකියාවල නියැලෙන බව ඔහු පැවසී ය. “අපි ක්‍රියාකාරී කමිටු ගොඩනගන්න ඕනෑ. සටනේ හැම කරුනක්ම සාකච්ඡා කරලා සටන ඉදිරියට ගෙනයාමට ක්‍රියාමාර්ගයක් හදන්න ඕනෑ” යි අවසානයේ ඔහු නිගමනය කලේ ය.

මහනුවර තැපැල් කාර්යාලයේ කම්කරුවෝ ද ලෝසවෙඅවාර්තාකරුවන් සමග සාකච්චා කරමින් වෘත්තීය සමිති කෙරෙහි තම විරුද්ධත්වය ප්‍රකාශ කලෝ ය. විසඳුමක් ලබා දෙනු ඇත යි කියමින් වෘත්තීය සමිති ආන්ඩුව ගැන විශ්වාසය තබන නමුත් මේ ආන්ඩුවත් ඊට පෙර ආන්ඩුත් ගැන කම්කරුවන්ට ඇති තරම් අත්දැකීම් තිබෙන බව එක් කම්කරුවෙක් පැවසී ය. වෘත්තීය සමිති සහතික වෙනවා කියාලා ලියවිල්ලක් ඉල්ලනවා. එහෙම වුනත්, මේ පාරත් ඒ ගොල්ලෝ එවැනි ගිවිසුම් ඉරලා දානවා සහතිකයි.”

හලාවත දී තැපැල් කම්කරුවෙක් ලෝසවෙඅ වාර්තාකරුවන්ට මෙසේ පැවසී ය: “අපේ ප්‍රශ්න ගැන ජනාධිපතිවත් අගමැතිවත් එක වචනයක් වත් කිව්වේ නෑ. ඒ හින්දා අපි දන්නවා අපේ ඉල්ලීම් ගැන ආන්ඩුවේ තත්වය. අපිට හැමදාම බොරු කරලා තියෙන හින්දා අපිට ආන්ඩුව ගැන විස්වාසයක් නෑ. අපි අපේ සටන පලල් කිරීමට අනෙක් කම්කරුවන් එක්ක එකතු වෙන්න ඕනෑ.”

Share this article: