ජී7 ගැටුම නායකයින්ගේ සමුලුවේදී ගැඹුරු වනු ඇත

G7 conflict set to deepen at leaders’ summit

නික් බීම්ස් විසිනි, 2018 ජූනි 7

පසු ගිය සතියේ ජී7 මුදල් ඇමතිවරුන්ගේ රැස්වීමේ දී ආරම්භ වුන, එක්සත් ජනපදය හා අනෙකුත් ප්‍රධාන ආර්ථිකයන් හය අතර බෙදීම, 8දා කැනඩාවේ කියුබෙක් නගරයේ දී ඇරඹෙන නායකයින්ගේ සමුලුවේදී පුලුල් වීමට නියමිත ය.

“ජාතික ආරක්ෂාවේ පදනම” මත පනවන ලද වානේ හා ඇලුමිනියම් තීරු බදු ස්ථාවර වශයෙන් බැහැර කිරීමට ට්‍රම්ප් පාලනාධිකාරය ප්‍රතික්ෂේප කිරීමත් සමග යුරෝපා සංගමය එකට එක කිරීමේ තීරුබදු සැලසුම් කරමින් සිටී.

මුදල් ඇමතිවරුන්ගේ රැස්වීමෙන් පසු, ප්‍රන්ස මුදල් ඇමති බෘනෝ ල මාරේ ජී7 හඳුන්වන ලද්දේ, “ජී6 ධන 1” ලෙස ය. මෙම සටහන වාගාලංකාරයකට වඩා වැඩි දෙයකි. කැනඩාව, යුරෝපා සංගමය හා ජපානය එක්සත් ජනපදය සමග ඔවුන්ගේ ප්‍රතිචාරය සමායෝජනය කිරීමට උත්සාහ ගනිමින් සිටිති.

ජපාන වෙලඳ ඇමති හිරෝෂි සේකෝ අඟහරුවාදා වාර්තාකරුවන්ට මෙසේ පවැසී ය: “මෙම කාරනයේ දී ජපානය යුසං කන්ඩායම් සමග එක්වන අතර අනෙකුත් රටවලින් ද සහයෝගය ඉල්ලා සිටිනු ඇත.”

පලමු වරට ජනවාරියේ දී එක්සත් ජනපද තීරුබදු නිවේදනය කල අවස්ථාවේ දී සකස් කෙරුනු ලැයිස්තුවට අනුව ඩොලර් බිලියන 2.8ක් වටිනා භාන්ඩ සඳහා තීරුබදු පැනවීමේ සැලැසුම් තමන් ඉදිරියට ගෙන යන බව ඊයේ යුරෝපා කොමිසම පැවසුවේ ය. යුරෝපීය වානේ හා ඇලුමිනියම් සඳහා පනවා තිබෙන තීරු බදුවලට අමතරව තවත් පියවරගනු ඇති බවට ඇමරිකාව අනතුරු අඟවයි.

වෙලඳාම සඳහා වගකිව යුතු යුරෝ කොමිසමේ උප සභාපති ජයිර්කි කටේනැන් පැවසුවේ, එක්සත් ජනපදයට එරෙහි ප්‍රති-පියවර සඳහා බ්‍රසල්ස් “සම්පූර්න සහයෝගය” ලබා දෙන බව යි. “අපගේ කර්මාන්ත මෙන් ම අපගේ නීත්‍යානුකූල උත්සුකතා ආරක්ෂා කර ගැනීමට අපට අවශ්‍ය යි.”

යුසං නීතිවලට අනුව, ප්‍රති ප්‍රහාර සැලැස්ම පුනරීක්ෂනය සඳහා අන්ඩු වලට යැවෙනු ඇත. සමාජිකයින්ගේ බහුතරය විසින් විරුද්ධත්වය දක්වන්නේ නැත් නම්, එලඹෙන මාසයේ සිට මේ පියවර බල ගැන්වීමට අපේක්ෂිත ය.

බ්‍රිතාන්‍ය වෙලඳ ඇමති ලියම් ෆොක්ස් මෙම සතියේ මුල පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ “වානේ හා ඇලුමිනියම් සඳහා අසාධාරන බදු වලින්” යුසං ඉවත් කල යුතුව තිබුන බව යි. “යුසං සමග එකඟත්වය” ඇතිව බ්‍රිතාන්‍ය දිගටම මෙම කාරනය ඉහල ම මට්ටමින් සාකච්ඡා කරනු ඇත.

“මෙම තීරුබදුවල ඍජු මෙන් ම වක්‍ර බලපෑම් වලින් අපගේ දේශීය නිෂ්පාදන ආරක්ෂා කර ගැනීම පිලිබඳව කරුනු සොයා බැලීම නිවරදි” බව ෆොක්ස් පැවසී ය. ප්‍රතිචාරය “මැන බලා සමානුපාතික කල” යුතුව තිබුනි. “එක්සත් රාජධානිය හා යුරෝපා සංගමය, ජාත්‍යන්තර වෙලඳ ක්‍රමයේ නීති රාමුව තුල වැඩ කිරීම වැදගත්” ය.

සමුලුවේ මුලසුන ගනු ලබන කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ඇතැම් “ඉතා ඍජු සාකච්ඡා” ගැන අනාවැකි පල කලේ, එක්සත් ජනපද තීරුබදු “නින්දාසහගත” යැයි හඳුන්වමිනි. කැනඩාව හා යුසං යන දෙකම එක්සත් ජනපද පියවරයන්ට එරෙහිව ලෝක වෙලඳ සංවිධානය තුල නීත්‍යානුකූල කටයුතු නිවේදනය කර ඇත.

උතුරු ඇමරිකානු නිදහස් වෙලඳ ගිවිසුම (නැෆ්ටා) පිලිබඳ නැවත සාකච්ඡා කිරීම සම්බන්ධව කැනඩාව සමග එක්ව මෙක්සිකෝව, එක්සත් ජනපදය සමග සාකච්ඡාවල නියැලේ. තීරු බදු පියවරවලට එරෙහිව එකට එක කිරීමක් ලෙස ප්‍රධාන වසයෙන් මෙක්සිකෝව, ආහාර නිෂ්පාදනවලට බදු පනවා ඇත.

කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ වෙලඳ විශේෂඥ එස්වාර් ප්‍රසාද් මේ පිලිබඳව අනතුරු අඟවා ඇත. ඔහු ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයට මෙසේ පැවසී ය: “එක්සත් ජනපදයේ පිලිකන්නේ විවෘත වෙලඳ යුද්ධයක්” පුපුරා ඇති අතර “නැෆ්ටාවේ අනාගතය සඳහා මෙයින් දරුනු ප්‍රතිවිපාක” ඇතිකරයි.

සාකච්ඡාවල දී කැනඩාව හා මෙක්සිකෝව වෙන් කිරීමට එක්සත් ජනපදය උත්සාහ ගිනිමින් සිටී. ට්‍රම්ප්ගේ ආර්ථික උපදේශකයෙකු වන ලැරී කුඩ්ලෝව් පැවසුවේ පාලනාධිකාරය එවැනි “වෙනසකට” පක්ෂපාතී වන බව යි. කැනඩාව හා මෙක්සිකෝව, එකිනෙකට වෙනස් ගිවිසුම් අවශ්‍ය වන “එකිනෙකට වෙනස් රටවල්” බව ඔහු පැවසී ය.

වානේ සම්බන්ධ සාකච්ඡා වෙමින් තිබෙන යුස වෝල්ස්ට්‍රීට් ජර්නලයේ වාර්තාවකට අනුව, බහුපාර්ශ්වීය සාකච්ඡා ගැටලුව නො විසඳනු ඇති බව ට්‍රම්ප් පාලනාධිකාරය ප්‍රකාශ කර ඇති බව යි. ඒ අතර එක්සත් ජනපදය ඒකපාර්ශ්වීය පියවරයන්ගෙන් තමන් පස්සට නොයා “මුලුමනින් ම සටනට” සූදානම්ව සිටිනු ඇත.

යුසං ඉදිරිදර්ශනය පදනම් වන්නේ, පසු ගිය කාලයේ දී ගොඩනැගූ ලෝක වෙලඳ හා ආර්ථික පර්යායට ඇමරිකානු ක්‍රියා සතුරු වන බව පෙන්වා දීම මගින් කෙසේ හෝ එක්සත් ජනපදය පසුපසට තල්ලු කල හැකි වනු ඇතැයි යන විශ්වාසය මත ය.

කෙසේ නමුත් එවැනි සංකල්ප, වර්ධනයේ අතිමූලික ප්‍රවනතා ද ඒවා දිග හැරෙමින් තිබෙන වේගය ද නො සලකා හරි යි.

වසරකට පෙර ජී7 හා අනෙකුත් ජාත්‍යන්තර ආර්ථික සංවිධානවල එවන් රැස්වීම්වල දී, ගැටුම් ඇතිවුනේ වචන මත ය: විශේෂයෙන්ම නිල ප්‍රකාශනවල “ආරක්ෂනවාදයට විරුද්ධවීම” ට කැපවීම් ඇතුලත් කිරීමට එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කිරීම වැනි.

මාස දොලහකට පසු, පශ්චාත් යුද “මිතුරන්ට” මෙන් ම තම ගෝලීය ආර්ථික, භූ-මූලෝපායික හා මිලිටරි ආධිපත්‍යයේ ප්‍රධාන තර්ජනය ලෙස දකින චීනයට එරෙහිව, පෙරමුනු ගනනාවකින් එක්සත් ජනපදය වෙලඳ යුද්ධවල නියලී සිටී.

1962 වෙලඳ ප්‍රසාරන පනතේ 232වැනි වගන්තිය යටතේ “ජාතික ආරක්ෂාවේ” පදනම මත පැනවුනු වානේ හා ඇලුමිනියම් තීරුබදු, තම මිතුරන්ට එරෙහිව යොදා නො ගත යුතු යයි කියමින් එක්සත් ජනපදයේ ඇතැම් කොටස් විරුද්ධ වෙති. මෙය ට්‍රම්ප් පාලනාධිකාරියේ මොන යම් හෝ පසු බෑමකට හේතු වී නැත. ඊට වෙනස් ව, එය 232වැනි වගන්තිය යටතේ මෝටර් රථ කර්මාන්තය තුල “විමර්ශනයක්” සඳහා නියෝග කර ඇත, එය ජර්මනියට එරෙහිව එල්ල කෙරුනු බලගතු ප්‍රහාරයකි.

තවත් ප්‍රධාන කාරනයක් වන්නේ, එක්සත් ජනපදය ඒකපාර්ශ්වීය ලෙස ඉරාන ගිවිසුමෙන් ඉවත් වීම යි. මෙයට ප්‍රධාන යුරෝපීය බලවතුන් ද හවුල්ව තැරව්කාරකම් කලේ ය. යුරෝපීය සමාගම් ඉරානය සමග දිගටම වෙලඳාමේ නියුක්ත වන්නේ නම්, ඔවුන් වොෂින්ටනය විසින් පනවනු ලබන ආර්ථික හා මූල්‍ය සම්බාධකවලට මුහුන දෙනු ඇතැ යි එක්සත් ජනපදය තර්ජනය කර ඇත.

ඕනෑම සම්බාධක පැනවීමක්, යුරෝ බිලියන ගනනාවක් වටිනා යුරෝපීය වෙලඳාම හා ආයෝජන ද, ස්විෆ්ට් (Swift) ලෙස ප්‍රසිද්ධ ලෝක පරිමාන ජාත්‍යන්තර බැංකු සමාජයේ මෙහෙයුම් ද අනතුරේ හෙලීමට තර්ජනය කර යි. බැංකු හා මූල්‍ය ආයතන 2,400ට අයත් එම සමාගම, දේශසීමා හරහා මූල්‍ය ගනුදෙනුවලට පහසුකම් සපයන ගෝලීය ජාලයක කේන්ද්‍රයෙහි පිහිටියේය.

එක්සත් ජනපද වෙලඳපොලේ ප්‍රමානය පමනක් නො ව ප්‍රමුඛ ගෝලීය මුදලක් ලෙස ඩොලරයේ කාර්යභාරය නිසා ද එරටට දැවැන්ත පීඩනයන් යෙදීමට හැකි ය.

යුරෝපීය බලවතුන්ට එරෙහි ක්‍රියාව, 1974 වෙලඳ පනතේ 301වැනි වගන්තිය යටතේ චීනයට එරෙහි වෙලඳ පියවරයන් සමඟ අත්වැල් බැඳ ගනී. එක්සත් ජනපදය ජූනි 15වැනිදා වන විට ඩොලර් බිලියන 50ක් වටිනා චීන භාන්ඩවලට තීරු බදු පැනවීමට අපේක්ෂා කරන අතර, මාසය අවසානයේ දී සම්බාධක ගනනාවක් අලුතෙන් පැනවෙනු ඇත.

එක්සත් ජනපදය සමග වෙලඳ අතිරික්තය ඩොලර් බිලියන 200කින් අඩු කිරීමේ වොෂින්ටන් ඉල්ලීම ඉටු කරනු පිනිස, වසරකට ඩොලර් බිලියන 70ක එක්සත් ජනපද කෘෂිකාර්මික හා බලශක්ති නිෂ්පාදන ආනයන ඉහල දැමීමට චීනය එකඟ වී ඇති බව වාර්තාවේ. නමුත් චීනය මෙම සහනය දී ඇත්තේ තමන්ට එරෙහි බදු ඉවත් කිරීමේ කොන්දේසි මත ය. ට්‍රම්ප් පාලනාධිකාරියේ ආරංචි මාර්ග මෙම ඉල්ලීම “ආරම්භකයක් නො වේ” යයි හඳුන්ව යි.

වොෂින්ටනය සම්බන්ධයෙන් ගත් විට, චීනය සමග මූලික ප්‍රශ්නය වෙලඳ ශේෂය නො වේ. එක්සත් ජනපදය ඉල්ලමින් සිටින්නේ තමන්ගේ නැගී එන තරඟකරුවා “2025 චීනයේ නිපදවනු” සැලැස්ම යටතේ අධි-තාක්ෂනික සංවර්ධනය අභිවර්ධනය කිරීම නතර කිරීම යි. එමෙන් ම මූලික වසයෙන් චීනය, එක්සත් ජනපද ආර්ථික උප-කොලනියක තත්වයට පත් කිරීම යි.

පශ්චාත්-යුද පර්යාය කඩා බිඳ නො දමන්නැ යි කරන ආයාචනා බීරි අලීන්ට වෙන වැයුමක් වන්නේ ය. මෙය ට්‍රම්ප් පාලනාධිකාරියේ විශේෂ ලැදිකම් නිසා ඇතිවන්නක් නොවේ. යුරෝපයේ තම ඓතිහාසික තරඟකරුවන් හා නව චීන තරඟ කරුවා අභිමුඛයෙහි ඇමරිකානු ධනවාදයේ ආර්ථික පරිහානියේ ප්‍රධාන හේතුව, තමන් නිර්මානය කල පද්ධතිය ම යි යන වැඩෙන දෘෂ්ටියක් ඇමරිකානු පාලක කවයන් තුල තිබේ.

එක්සත් ජනපද නැඹුරුවේ වෙනස ඇරඹුනේ ට්‍රම්ප් සමග නො වේ. එය ඇරඹුනේ ඔබාමා පාලනාධිකාරිය යටතේ ය. ඔබාමාගේ වෙලඳ ප්‍රතිපත්තිය බහුපාර්ශ්වීයවාදය මත ගොඩ නො නැගුනු නමුත් උත්සාහ කලේ, ගෝලීය ආර්ථික හා මූල්‍ය ජාලයන් හරි මැද එක්සත් ජනපදය තබමින් ඇමරිකානු ආධිපත්‍යය තහවුරු කිරීමට ය.

එය ප්‍රධාන ආර්ථික පිරිහීමක් අත් විඳ ඇති අතර, එක්සත් ජනපදය අතේ තවමත් තීරනාත්මක ආයුධ දෙකක් ඇත: එනම් ගෝලීය මූල්‍ය පද්ධතියේ අත්තිවාරම ලෙස ඩොලරය මත පවතින පාලනය හා එහි දැවැන්ත මිලිටරි ශක්තිය යි. දැන් ජී7 තුල විවෘතව ප්‍රදර්ශනය වන පරිදි, දෙදරීම් හා බෙදීම් වැඩි වෙත් ම, එලඹෙන අරගලයන්හි දී එම අවි දෙකම ප්‍රයෝජනයට ගැනීමට ඇමරිකාව බලාපොරොත්තු වෙයි.

Share this article: