ලංකාවේ ජනගහනයෙන් හතරෙන් එකක් දරිද්‍රතා උගුලේ

සකුන ජයවර්ධන විසිනි , 2018 ජූනි 21

ලංකාවේ ජනගහනයෙන් හතරෙන් එකක් ජීවත් වන්නේ රුපියල් හාරසියයකට වඩා අඩු දෛනික ආදායමකිනි. අන්ත දරිද්‍රතාවයේ සිටින ජනගහනයෙන් සියයට 3.3 ක් ජීවිතය ගැටගසා ගන්නේ ඇමරිකානු ඩොලර් 1.30 කට අඩු එනම් රුපියල් 208 ක ජීවත් වීමටවත් ප්‍රමානවත් නොවන දෛනික ආදායමකින් ය. මෙමගින් ප්‍රකාශයට පත් වන්නේ ලංකාවේ මහජනතාව මුහුන දී ඇති සමාජ ඛාදනයේ පරිමාවයි.

තරුන ව්‍යවසායකයන්ට උපහාර දැක්වීමට සංවිධානය කරන ලද උත්සවයකට සහභාගී වෙමින් මේ කරුනු සඳහන් කලේ මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී විසිනි.

දරිද්‍රතා උගුලේ සිර කෙරුනු වැඩි දෙනා සිටින්නේ ගම්බද ප්‍රදේශවල බව කුමාරස්වාමි ඇඟවුම් කලේය. රටේ ජනගහනයෙන් සියයට හැටක් ජීවත්වන්නේ ගම්බද ප්‍රදේශයන්හි වන අතර ඔවුන්ගෙන් සියයට 27ක් කෘෂි කර්මාන්තයේ නියැලී සිටිති. කෘෂිකර්මාන්තයෙන් දල ජාතික නිෂ්පාදනයට එකතු වන්නේ සියයට 7ක් තරම් අඩු ප්‍රමානයකි.

දරිද්‍රතාවයෙන් ජනතාව මුදා ගැනීමේ මාර්ගය අලුතින් ව්‍යවසායන් ඇරැඹීම බව සඳහන් කල ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ “සුලු පරිමාන හා මධ්‍යම පරිමාන ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘති ගනනාවක් තිබුනද ඉන් බහුතරයක් සාර්ථක වී නොමැති බවයි”.

මහ බැංකු අධිපතිගේ සැඳහුම් මගින් ප්‍රකාශයට පත් වන්නේ වර්ධනය වන දරිද්‍රතාව හා විරැකියාව සම්බන්ධයෙන් පාලක ප්‍රභුව තුල ඇති කනස්සල්ලයි. මෙමගින් ඇති වන සමාජ අසහනය කැරලිකාරී ලෙසින් ඉදිරියට පැමිනෙනු ඇතැයි යන භීතිය පාලක පන්තිය තුල වැඩෙමින් පවතී. සීමිත සහනාධාර, රාජ්‍ය අධ්‍යාපනය හා සෞඛ්‍ය ඇතුලු සමාජ අයිතීන් අතුගා දැමීම, බඩු මිල ඉහල දැමීම ඇතුලුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අනවා සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට දැමෙන මුර්ග කප්පාදු වැඩපිලිවෙල ගම්බදත් නගරබදත් මෙම පෙරලිකරිත්වය අවුලුවමින් පවතී.

මහා ධනපති රටවල පටන් පසුගාමී රටවල් දක්වා ජාත්‍යන්තරවම දරිද්‍රතාවය වර්ධනයවීම එක දිගට සිදුවෙයි. එය අනෙක් අතට බැඳී ඇත්තේ සමාජ අසමානතාව ජාත්‍යන්තරවම පලල්වීම සමගය. ලෝක ධනවාදය වඩවඩාත් ගැඹුරුවන කොන්දේසි තුල සමාජ අයිතීන් හා ජීවන කොන්දේසි තලා දැමීමට පාලක පන්තීන් ගන්නා රුදුරු පියවර මගින් දරිද්‍රතාවය සමාජ අසමානතාවය උග්‍රකෙරෙයි.

ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් පසුගිය වසරේ නිකුත් කල වාර්තාවක අඩංගු කරුනු මගින් ලංකාවේ දුගීභාවයේ ගැඹුර ප්‍රකාශයට පත්වේ. එමගින් ප්‍රාදේශීයව සහ ගෘහ මූලිකයාගේ රැකියාව අනුව දරිද්‍රතාව ව්‍යාප්ත වී ඇති ආකාරය විශ්ලේෂනය කර ඇත. වාර්තාවට අනුව ජනගහනයෙන් සියයට 4ක් එනම් 791,874 බහුමාන දරිද්‍රතාවයෙන් පෙලේ. සියයට 11.2 ක්, එනම් මිලියන 2.2 ක් බහුමාන දරිද්‍රතාවයට ආසන්න තත්වයක ජීවත් වේ. බහුමාන දරිද්‍රතාවයේදී නිවෙස් වල සාමාජිකයින්ගේ අධ්‍යාපන, ජීවන හා සමාජ කොන්දේසි සලකා බලනු ලබයි.

ජනගහනයෙන් සියයට 6.7ක්, එනම් මිලියන 1.34 ක් ජීවත් වන්නේ ආදායම් දරිද්‍රතාවයෙනි. මෙහිදී ආන්තික දරිද්‍රතා රේඛාව ලෙස සලකා ඇත්තේ ඇමරිකානු ඩොලර් 1.90 ක දෛනික ආදායමයි. ආදායම් දරිද්‍රතා රේඛාව සියයට දහයකින් ඉහල නැංවුවහොත් ඉන් පෙලෙන සංඛ්‍යාව සියයට 9.9 දක්වා ඉහල නගිනු ඇති බව වාර්තාව සඳහන් කරයි.

මහජනතාව මෙවන් දරිද්‍රතාවයකට ඇද වැටීම සම්බන්ධයෙන් ලංකාවේ ධනපති පන්තිය හා බලයේ සිටි ආන්ඩු සියල්ල වග කිව යුතුය. බලයට පත්වූ ආන්ඩු විසින් පසුගිය දශක කිහිපය තුල වේගවත් කරන සමාජ සුභ සාධන කප්පාදු කිරීම මෙම තත්වය ඇතිවීමට බලපා ඇත.

දරිද්‍රතාවයේදි සලකා බලන මිනුම් වලදී ඉහලම ප්‍රතිශතය වාර්තා වන්නේ වතුකරයෙනි. වතුකරයේ ජීවත් වන ජනගහනයෙන් හතරෙන් එකක් බහුමාන දරිද්‍රතාව හා ආදායම් දරිද්‍රතාවය යන දෙකෙන් එක් දරිද්‍රතාවයකට හෝ අයත් වේ. එම ජනයාගෙන් සියයට 23.5 ක් ජීවත් වන්නේ බහුමාන දරිද්‍රතාවයට ආසන්න මට්ටමේ ය. වතුකරයේ ජීවත් වන්නන්ගෙන් සියයට 10.9 ක් ජීවත් වන්නේ ආදායම් දරිද්‍රතා රේඛාවට පහල දෛනික ආදායමකිනි. එම ප්‍රදේශයේ සියයට 17.9 ක් බහුමාන දරිද්‍රතාවයෙන් පෙලේ.

වතු කම්කරුවන් ඉතා අඩු වැටුප් ලබන කොටසකි. ඔවුන්ට හිමිවන දෛනික වැටුප මූලික අවශ්‍යතා සපුරා ගැනීමට කිසිසේත්ම ප්‍රමානවත් නොවේ. වාර්තාව සඳහන් කරන්නේ වතුකරයේ බහුමාන දරිද්‍රතාවය අධික වීමට ඔවුන්ට සනීපාරක්ෂක වැසිකිලි පහසුකම් නොතිබීම හා පිරිසිදු පානීය ජලය නොතිබීම හේතු වී ඇති බවයි. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් නිකුත් කල වෙනත් වාර්තාවකට අනුව වතුකරයේ ඒකපුද්ගල මාසික ආදායම රු 8,566 කි. එය ලංකාවේ ඒක පුද්ගල මාසික ආදායමෙන් අඩක් පමන වේ. වතුකරයේ ජීවත් වන්නන් ගෙන් සියයට 57 කට පිරිසිදු පානීය ජල පහසුකම් නොමැත. සියයට 21 කට සනීපාරක්ෂක වැසිකිලි පහසුකම් නැත.

නාගරිකව වෙසෙන්නන්ගෙන් සියයට 4.0 ක් බහුමාන හා ආදායම් දරිද්‍රතාවය යන දෙකෙන් එකකට හෝ මුහුන දෙනු ලබයි. සියයට 11 ක් ජීවත් වන්නේ බහුමාන දරිද්‍රතාවයට ආසන්න මට්ටමේය. සංඛ්‍යා ලේඛන සැලකූ කල නාගරිකව දරිද්‍රතාවය අඩු මට්ටමක පැවතුනද ඔවුන් මුහුන දෙන්නේද දරුනු සමාජ හා ජීවන කොන්දේසි වලටය.

ගම්බදව ගත් කල සියයට 10.5 ක් බහුමාන දරිද්‍රතාවයට ආසන්න මට්ට්මේ ද සියයට 9.6 ක් බහුමාන හා ආදායම් දරිද්‍රතාවය යන ඒවායින් එක් ප්‍රභේදයක හෝ ජීවත් වේ. ගම්බදව සියයට 2.2 ක් ආන්තික දරිද්‍රතාවය තුල ජීවත් වේ. ආන්තික දරිද්‍රතාවයෙන් පෙලෙන්නන්ගෙන් සියයට 89 ක් ගම්බදව ජීවත් වේ. ආදායම් දරිද්‍රතාවයෙන් පෙලෙන්නන්ගෙන් සියයට 86.8 ක් ජීවත් වන්නේ මේ ප්‍රදේශයේ ය. මෙම සංඛ්‍යා ලේඛන වලින් පැහැදිලි වන්නේ ලංකාවේ ජීවත් වන දුප්පතුන්ගෙන් බහුතරයක් ගම්බදව වාසය කරන බවයි.

වතුකරයේ හා ගම්බදව දරිද්‍රතාවයේ මෙවන් ඉහල මට්ටමක පැවතීමට හේතු වන්නේ ඔවුන් මුහුන දෙන දුෂ්කර ජීවන හා සමාජ කොන්දේසි ය. ගම්බදව ජීවත් වන්නන්ගෙන් බහුතරය කෘෂිකාර්මික කටයුතු වලින් ජීවිතය පවත්වා ගෙන යන ගොවියන් ය. ඔවුන්ගේ අස්වනු වලට ස්ථාවර හා සරිලන මිලක් නොලැබීම වැනි කාරනා නිසා ඔවුන්ගේ ආදායම් පවතින්නේ අස්ථාවර තත්වයක ය. මෙවන් තත්වයන් නිසා ගොවීන් බහුතරයක් ගෙවා ගැනීමට නොහැකි නයබරකින් මිරිකී සිටිති.

වාර්තාවට අනුව දරිද්‍රතාවයෙන් පෙලෙන ප්‍රතිශතය ඉහලම අගය වාර්තා වන්නේ ගෘහ මූලිකයා කෘෂි කාර්මික, වන හා ධීවර ආශ්‍රිත කටයුතු වල නිරත වන කම්කරුවන් වන කාන්ඩයේය. එම කාන්ඩයේ ආදායම් හා බහුමාන දරිද්‍රතාවය යන ඒවායින් එක් මිනුමකට හෝ අයත්වන ප්‍රතිශතය සියයට 21.8කි.

වැඩකරන ජනතාවන්ගේ හා දුගීන්ගේ පෙරලිකාරිත්වයට තුඩුදී ඇත්තේ ඔඩුදුවන මෙම සමාජ ඛාදනයයි. ධනපතිවාදය තුල ඊට විසඳුමක් නැත.

Share this article: