නියමිත වැටුප් වැඩිවීම ලබා නොදීමට එරෙහිව ජල සම්පාදන කම්කරුවන් වර්ජනයේ

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 ජූනි 6

ගිවිසුම් ප්‍රකාර ත්‍රෛවාර්ෂික වැටුප් වැඩිවීම ලබා නොදීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කීපයක් මත ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මන්ඩලයේ කම්කරුවෝ ජූනි 4 වන දා සිට වර්ජනයක නිරත වෙති. දිවයින පුරා 12,000 කට අධික ජල සම්පාදන කම්කරුවෝ ජල පිරිපහදුවල කටයුතු හැර අනෙක් සියලුම සේවාවන්ගෙන් ඉවත් ව සිටිති. මේ අනුව බිඳවැටීම් අලුත්වැඩියා, නව සබඳතා ලබා දීම්, මනු කියවීම් සහ සියලු කාර්යාල කටයුතු නතර වී ඇත.

වර්ජනයට නායකත්වය දෙනු ලබන්නේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය යි. මේ සතිය පුරා ම වර්ජන සහ විරෝධතා සංවිධානය කර ඇතිබව එම සන්ධානය පවසයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලයේ කලමනාකාරිත්වය සහ වෘත්තීය සමිති අතර ඇතිකරගත් ගිවිසුමකට අනුව එහි සේවකයන්ට වසර තුනකට වරක් සියයට 33 ක පදනමින් මූලික වැටුප වැඩි විය යුතුය. ඒ අනුව 2018 වසරේ ජනවාරි මස සිට වැටුප් වැඩි වීමක් සිදු විය යුතු නමුදු එය සිදු නොවුනි. එයට එරෙහිව ජනවාරි සහ පෙබරවාරි මාසවල සිදු කල අරගලයන් හි ප්‍රතිඵලයක් ලෙස සියයට 25 ක වැටුප් වැඩි වීමක් ලබා දීමට පෙබරවාරි මාසයේදී පාලකයන් ලිඛිතව එකඟ වුව ද එය මෙතෙක් ලබා දී නොමැත.

ජූනි 4 වන දා සිට ජලාපවහන කම්කරුවන් වර්ජනයේ යෙදී සිටින්නේ එම සියයට 25 ක වැටුප් වැඩි වීම වහා ලබා දෙන ලෙස ඉල්ලමිනි. මීට අමතරව වැටුප් විෂමතා ඉවත් කරන ලෙස සහ පීපීපී හෙවත් රාජ්‍ය පුද්ගලික හවුල්කාරිත්වය (Public Private Partnership) නතර කරන ලෙස ඔවුහු ඉල්ලති.

කෙසේ නමුදු එකඟව ඇති සියයට 25 ක වැටුප් වැඩි වීම ද මූලික වැටුප සියයට 25 කින් වැඩි කිරීමක් නොවේ. මූලික වැටුපෙන් සියයට 33 ක් වැඩි කිරීමේ පැරනි ගිවිසුමෙන් ඉවත් වෙමින් සමිති නිලධරය තම සාමාජිකත්වය පාවා දී ඇති ආකාරය “වෘත්තීය ක්‍රියා මාර්ග” කැඳවමින් සමිති සන්ධානය නිකුත් කල නිවේදනයෙන් ප්‍රකාශයට පත්වෙයි. “පවතින තත්වයන් සලකා මූලික වැටුපට සියයට 15 ක් පමනක් ලබා ගැනීමටත් ඉතිරි සියයට 10 දීමනාවක් ලෙස එල්ලා ලබා ගැනීමටත් අපි එකඟ වුනෙමු” යැයි එහි සඳහන් ව ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ගෙනයන කප්පාදු පියවර හේතුවෙන් නිර්මානය කෙරී ඇති දුෂ්කර ජීවන කොන්දේසි හමුවේ ජනවාරියේ සිට වැටුප් වැඩිවීම ලබා නොදීම සම්බන්ධයෙන් ජලාපවහන කම්කරුවන් අතර වැඩුනු තියුනු විරෝධය මධ්‍යයේ මෙම වර්ජනය කැඳවුවද සමිති සන්ධානයේ අරමුන කම්කරුවන් විරෝධතා වටවංගුවල ගෙනගොස් විඩාවට පත්කොට ඔවුනගේ දිරිය සිඳ එම විරෝධය දියකර හැරීමයි.

රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොකිරීම මූලික වශයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත සිදු වන්නකි. වැටුප් කැටි කිරීම, ප්‍රතිව්‍යූහකරනයේ නාමයෙන් සේවක සංඛ්‍යාව අවම කිරීම සහ වැඩ වේගවත් කිරීම මෙන්ම රාජ්‍ය ආයතන පුද්ගලීකරනය මෙම නියෝග අතරෙන් ප්‍රමුඛ වෙයි. 2020 වන විට අයවැය පරතරය දල දේශීය නිශ්පාදිතයෙන් සියයට 3.5 දක්වා අඩු කිරීමේ ජාමූඅ නියෝගය සාක්ෂාත් කිරීම සඳහා මෙම කප්පාදු වඩා වේගවත් කිරීම ආන්ඩුවේ අරමුනයි.

ජලාපවහන කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම ඇතුලු අනෙක් ඉල්ලීම් ජයගත හැක්කේ ආන්ඩුවේ ප්‍රහාර වලින් බැටකන අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන් සහ තරුනයන් ඇතුලු අවශේෂ පීඩිතයන් බලමුලුගන්වා ගනිමින් කරන දේශපාලනික අරගලයක් තුලින් පමනි. එහෙත් එවන් අරගලයකට පරම ලෙසම සතුරු සමිති නිලධරය මෙම ප්‍රහාරයන්ගේ මූලික වගකීම දරන ආන්ඩුව එයින් මුදා හැරීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන සිටියි. ඉහත නිවේදනයේ ඔවුන් මෙසේ සඳහන් කරයි: “ඇත්ත වශයෙන්ම කප්පාදුව කලේ කැබිනට් එක නොවේ. එය කර ඇත්තේ අපේ ජල සම්පාදන මන්ඩලයේ සභාපතිවරයාගේ පැතුම සහ යටි උවමනාව මතය. ...මේ නිසා මෙවර ඔහු පරාජය කල යුතූය.”

රත්මලාන ජල මන්ඩලයේ වර්ජිතයින්ගේ රැස්වීමක්

“ජූනි 5 වන දා විසඳුමක් නොලැබුනහොත්” ජූනි 6 වන දා ද වර්ජනයේ යෙදෙන බවත් ජූනි 7 වන දා දිවයින පුරා සියලු සේවකයන් කොලඹට රැස්කර “දැවැන්ත විරෝධතාවයක්” පවත්වන බව ඒකාබද්ධ සන්ධානය තම ෆේස්බුක් පිටුවේ සඳහන් කොට ඇත.

කෙසේ නමුදු, පසුගිය මාස කීපය පුරා එක දිගට පැන නැගි, විශ්ව විද්‍යාල අනධ්‍යන, තැපැල්, සහ දුම්රිය කම්කරුවන්ගේ අරගලයන්හි දී මෙන්ම ජලාපවහන කම්කරුවන්ගේ අරගලයේ දී ද සහභාගිත්වයේ සහ අධිෂ්ඨානයේ කවර හෝ අඩුවක් නොමැත.

බත්තරමුල්ලේ පිහිටි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන අමාත්‍යංශය ඉදිරිපිට ජූනි 5 වන දා පැවැත්වූ විරෝධතාවයට බස්නාහිර පලාතේ ජල සම්පාදන කම්කරුවෝ 2000 ක් පමන ඉතා උද්යෝගයෙන් සහභාගි වූහ. “සභාපති අන්සාර් ගෙදර යනු!, කප්පාදු නොකර සියයට 25 ක වැටුප් වැඩි කිරීම වහා ලබා දෙනු!, ජල මන්ඩලය පෞද්ගලීකරනය වහා නවතනු!, පීපීපී ක්‍රමය හරහා ජල මන්ඩලය විකිනීමට කරන කුමන්ත්‍රන නතර කරනු! 2015 දී සිදු වූ වැටුප් විෂමතා ඉවත් කරනු! ආන්ඩුවේ බලධරයින් හොර නින්දෙන් අවදි වනු!” ආදී සටන් පාඨ සමිති නිලධරය විසින් ඔවුනට ලබා දී තිබුනි.

එම සටන් පාඨ වලට අමතරව “පැට්‍රල් මිල ඉහල ගියා, පඩි පතටත් බදු ගැහුවා” ආදි විරෝධතා පාඨ හඬ නගමින් බත්තරමුල්ලේ “අපේගම” සිට පැලවත්ත හන්දිය තෙක් පාගමනේ යෙදුනු කම්කරුවෝ දහවල් 12.00 ට පමන අමාත්‍යාංශය ඉදිරිපිටට රැස් වූහ. අමාත්‍යාංශ පිවිසුම පොලිස් බාධකයක් යොදා අවහිර කර තිබුනු අතර අමාත්‍යාංශ භූමියේ අධි පීඩන ජල ප්‍රහාරක රථයක් සහ පොලිස් කැරලි මර්දන භට කන්ඩායමක් රඳවා තිබුනි.

රැස් වූ පිරිස ඇමතූ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක මෙසේ පැවසීය:

“මේ වසර මුල දී සියයට 25 ක වැඩිවීමක් ලිඛිතව පොරොන්දු වුනා. මන්ඩලයේ සාමාන්‍යාධිකාරී සහ භාන්ඩාගාර නිලධාරීන් මෙයට එකඟ වුනා. අමාත්‍ය මන්ඩල සංදේශය පවා නිකුත් කලා. නමුත් අතන බැරියර් එකේ (ජල මන්ඩලයේ සභාපති ලඟ) හිර වුනා. දේශපාලන වුවමනාවන් සඳහා මේ විරෝධතාවන් කරන බව ඇමතිතුමා කියනවා. ඇමතිතුමාගේ වෘත්තීය සමිතිය වන ජාතික සේවක සංගමයේ නායකයන් සහ සාමාජිකයන් පවා මෙතන ඉන්නවා. ඇමතිතුමා නෙවෙයි මේකට වැරැදි. ඇමතිතුමාට හොරෙන් මේක කලේ කවු ද? අන්සාර්.”

රත්නායක ඇතුලු සමිති නිලධරය ආන්ඩුව කොක්කෙන් ගලවා අරගලය අපසරනය කිරීමට දරන තැත සම්බන්ධයෙන් සාමාන්‍ය කම්කරුවන් අතර වැඩෙමින් පවත්නා විරුද්ධත්වය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් ඔවුන් සමග කල සාකච්ඡා වලදී ප්‍රකාශයට පත්විය.

විරෝධතාවයට සහභාගිවී සිටි බත්තරමුල්ල කාර්යාලයේ මනු කියවන්නෙකු විම්සර ජයනාත් සහ තරුනයෙකු

විරෝධතාවයට සහභාගිවී සිටි බත්තරමුල්ල කාර්යාලයේ මනු කියවන්නෙකු වන විම්සර ජයනාත් සහ තරුනයෙකු මෙසේ පැවසීය: “ඉල්ලීම් නොලැබීමට හේතුව ජාමූඅ නිර්දේශ බව ඉතා පැහැදිලියි. ඒත් මෙතන හුවා දැක්වෙන්නේ නිලධාරින් ගේ වරදක් හැටියට. ඒක හරියට ශිෂ්‍ය සංගම් ආන්ඩුවේ අධ්‍යාපනයේ පුද්ගලීකරන වැඩපිලිවෙල විරුද්ධව දේශපාලන සටනක් කරන්නෙ නැතුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමත් එක්ක හැප්පෙන එකට එයට සමාන දෙයක්.”

විවිධ ශ්‍රේනි වලට විවිධ ප්‍රතිශතයන්ගෙන් වැටුප් වැඩි කිරීම හරහා කම්කරුවන් අතර භේද නිර්මානය කිරීමට සමිති නිලධරය පාලකයන් සමග එක්ව ක්‍රියා කරන බව ද ඔහු පැවසීය. “ඉංජිනේරුවන් වැනි අයට සියයට 40 කිනුත් පහල ශ්‍රේනිවල අයට සියයට 20 ක් වැනි අඩ ප්‍රමානවලිනුත් තමයි වැඩි වීම් සිද්ධ වුනේ. මේක කම්කරුවන් අතර අසමගියක් ඇති වීමට හේතු වුනා. දැන් මේ පාර වැටුප් විෂමතා ඉවත් කිරීම ඉල්ලීමක් විදියට දාලා තියෙනවා.”

ජල සම්පාදන මන්ඩලයේ සිදුවෙමින් පවත්නා පුද්ගලීකරනය සහ ප්‍රතිව්‍යුහකරනය සම්බන්ධයෙන් කතා කරමින් ඔහු පැවසුවේ මනු කියවන්නන් විශ්‍රාම යාමේදී ඇතිවන පුරප්පාඩු පුරවනු ලබන්නේ කොන්ත්‍රාත් පදනමේ කම්කරුවන්ගෙන් බව සහ නව ජල සබඳතා ලබා දෙන්නේ පුද්ගලික කොන්ත්‍රාත්කරුවන් හරහා බවයි. “මෙම පුද්ගලීකරන වැඩපිලිවෙලේ වේගය අනුව බැලුවම ඊලඟ වසර තුනේ වැටුප් වැඩි වීම එන කොට මන්ඩලය පවතීද යන්නත් සැක සහිතයි.”

“මගේ මූලික වැටුප දීමනා සමග 50, 000 ක් විතර වෙනව. නිවාස නයකට 13, 000 කුත් තවත් නයකට 10,000කුත් වාරික ලෙස කැපෙනවා. ඉන්සෙන්ටිව් එකකට යන්න බැරි වුනොත් ඒ මාසෙ හරි අමාරුයි. කෙටි කාලීන නය මගින් තමයි හිඟ වියදම් කර ගන්නෙ. අලුත් බදු පනතට අනුව ඒකටත් තව කොටසක් වැටුපෙන් කැපෙනවා.”

ලංකාවේද ලෝක පරිමානවද වර්ධනය වෙමින් පවත්නා පන්ති අරගල සම්බන්ධයෙන් ද, එම අරගල පාවා දීමට සහ ඊනියා විරෝධතා තුල කොටු කිරීමට සමිති නිලධරය ගන්නා ප්‍රයත්නයන්ට එරෙහිව කම්කරුවන් ගනමින් සිටින ආරම්භකත්වයන් ගැන ද ලෝසවෙඅ වාර්තාකරුවෝ පැහැදිලි කලහ.

තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා වෘත්තීය සමිති වලින් ස්වාධීනවූ කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමේ සහ එම කමිටු ජාත්‍යන්තර සමාජවාදය මත පාදක කර ගැනීමේ අවශ්‍යතාව ලෝසවෙඅ වාර්තාකරුවෝ පෙන්වා දුන්හ.

එම කමිටු වටා අවශේෂ කම්කරුවන් මෙන්ම, ගොවියන් සහ තරුනයන් ඇතුලු පීඩිතයන් බලමුලු ගන්වමින්, සියලු ප්‍රහාරයන්ගේ මූලය වන ධනපති ක්‍රමය පෙරලා දමා කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සටන් වදින බව පැවසූ විට ඔහු මෙසේ ප්‍රතිචාර දැක්වීය: “ඇත්තෙන්ම කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවීම අලුත් අදහසක් වගේම නිරවද්‍ය අදහසක් කියල මට හිතෙනව. සමාජවාදී සමානතා පක්ෂය (සසප) හැටියට ඉදිරිපත් කරන මේ අදහස් හදාරන්න මම උනන්දු සහගතයි.”

බත්තරමුල්ල ජල සම්පාදන කාර්යාලයේම තවත් කම්කරුවෙකු වූ ජානක ද තම අදහස් දැක්වීය: “වෘත්තීය සමිති නායකයෝ ආන්ඩුවත් එක්ක එකතු වෙලා වැඩ කරන එක පැහැදිලි යි. අනෙක් අංශවල කම්කරුවන් සමඟ ඒකාබද්ධ වීමට සූදානමක් නැති වුනත් කොයි වෙලෙත් ඇමතිත් එක්ක සාකච්ඡාවකට නම් සමිති නායකයො සූදානම්. සමාජවාදී සමානතා පක්ෂය ඉදිරිපත් කරන සමාජවාදී විකල්පය ගැන කම්කරුවන් හැමෝට ම කියන්න විදියක් හදා ගන්න ඕන.”

රත්මලාන ජල සම්පාදන කාර්යාලයේ කාර්මිකයෙකු වන ලලිත්: “අපිට අයවැයෙන් කිසිම දෙයක් වැඩි වෙන්නෙ නෑ; අපිට ලැබෙන්නේ මේ වසර තුනකට වරක් ලැබෙන වැටුප් වැඩි වීම විතරයි. මම අවුරුදු 23 ක් සේවය කරල තියෙනව. මේ ඉල්ලීමක් දිනා ගන්න අමාත්‍යාංශය ඉස්සරහට එන්න වුනු පලමු අවස්ථාව.”

Share this article: