ආන්ඩුවේ පිලිවෙත්වලට සරිලනසේ ඉල්ලීම් කප්පාදු කරමින් සමිති නිලධරය ජල සම්පාදන කම්කරුවන්ගේ වර්ජනය අවසන් කරයි

පානි විජේසිරිවර්ධන විසිනි, 2018 ජූනි 8

වැඩි වැටුප් ඇතුලු තවත් ඉල්ලීම් කීපයක් මත ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මන්ඩලයේ කම්කරුවන් විසින් ජූනි 4 වන දා ආරම්භ කල වර්ජනය ජූනි 6 වන දා අවසන් කෙරුනි. 12,000 කට අධික ජල සම්පාදන කම්කරුවෝ වර්ජනයට සහභාගි වී සිටියහ.

වර්ජනය කැඳවූ ජාතික ජල සම්පාදන හා ජලාපවහන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය කියා සිටින්නේ, ජල සම්පාදන සහ නගර සැලසුම් අමාත්‍ය රවුෆ් හකීම් සහ ජල සම්පාදන මන්ඩලයේ නිලධාරීන් සමග ජූනි 6 වන දා සවස් වරුවේ පැවති සාකච්ඡාවේදී, සියයට 25 කින් වැටුප් වැඩි කිරීමේ තම ඉල්ලීම ලබා දීමට එකඟ වූ බැවින් වර්ජනය නතර කල බවයි. මේ අනුව මූලික වැටුප සියයට 15 කින් වැඩි කෙරෙන බවත් මූලික වැටුපෙන් තවත් සියයට 10 ක් දීමනාවක් ලෙස වැටුපට එකතුවන බවත් සන්ධානය පවසයි.

ඒකාබද්ධ සන්ධානයේ මෙම සියයට 25 ඉල්ලීම ජල සම්පාදන කම්කරුවන්ගේ සැබෑ වැටුප් ඉල්ලීම් යටපත්කොට ආන්ඩුවේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා සූත්‍රගත කරන ලද්දකි. වර්ජනය කැඳවමින් සන්ධානය නිකුත් කල නිවේදනයෙන්මත් එය සනාථ වෙයි. “පවතින තත්වයන් සලකා මූලික වැටුපට සියයට 15 ක වැඩිවීමක් පමනක් ලබා ගැනීමටත් ඉතිරි සියයට 10 දීමනාවක් ලෙස එල්ලා ලබා ගැනීමටත් අපි එකඟ වුනෙමු” යැයි එහි සඳහන් වෙයි.

“පවතින තත්වයන් සලකා” හෙවත් ආන්ඩුව මුහුන දී සිටින ආර්ථික සහ දේශපාලනික තත්වයන් සලකා කම්කරුවන්ගේ ඉල්ලීම් කප්පාදු කිරීම විවෘත පාවා දීමකි.

2003 බී.සී. පෙරේරා වැටුප් කොමිසමේ නිර්දේශයන්ට අනුව ජල සම්පාදන, වරාය, ඛනිජ තෙල් සහ විදුලිබල කම්කරුවන්ගේ මූලික වැටුප, වාර්ෂිකව සියයට 11.5 කින් වැඩිවිය යුතුය. ජල සම්පාදන මන්ඩලයේ වැටුප් වැඩි කරනුයේ තෙවසරකට වරක් බැවින් මෙවර එම වැඩිවීම සියයට 34.5 ක් විය යුතු බවත්, පසුගිය තෙවසර තුල අහස උසට නැග ඇති ජීවන වියදම හා සසඳන කල එම 34.5 ක වැඩිවීම පවා නොසෑහෙන බවත් ජල සම්පාදන කම්කරුවෝ පවසති.

ඒකාබද්ධ සන්ධානය ඉදිරිපත් කල වැටුප් වැඩිවීමේ සූත්‍රය නිර්නය කරන ලද්දේ සාමාජිකත්වය සමග කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකින් නොව, සාමාජිකයන්ට හොර රහසේ පාලකයන් සමග කරන ලද සාකච්ඡාවන් තුලිනි. එමෙන්ම වර්ජනය අවසානයේ සාක්ෂාත් වී ඇත්තේ පාලකයන්ගේ අභිලාෂයන් මිස කම්කරුවන්ගේ අභිලාෂයන් නොවේ.

ඒකාබද්ධ සන්ධානය ඇතුලු ලොව පුරා වෘත්තීය සමිති යෙදී සිටිනුයේ කම්කරුවන්ගේ ඉල්ලීම් පාලකයන්ගේ අවශ්‍යතාවයන්ට අනුව කපාකොටා සකස්කර දීමේ සහ ප්‍රහාරයන් එල්ල කරන ආන්ඩු වලට එරෙහිව කම්කරුවන් අතර වැඩෙන විරෝධය වෙනතක හැරවීමේ ද්‍රෝහී කර්තව්‍යයේ ය.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව වැඩෙන විරෝධය වෙනතක හැරවීම සඳහා ඒකාබද්ධ සන්ධානය ඉටු කරන ක්‍රියාකලාපය වර්ජනය කැඳවමින් ඔවුන් නිකුත් කල නිවේදනයෙන්ම ප්‍රකාශයට පත්වෙයි. එහි මෙසේ සඳහන් වෙයි: “ඇත්ත වශයෙන්ම කප්පාදුව කලේ කැබිනට් එක නොවේ. එය කර ඇත්තේ අපේ ජල සම්පාදන මන්ඩලයේ සභාපතිවරයාගේ පැතුම සහ යටි උවමනාව මතය.”

ඒකාබද්ධ සන්ධානයේ මෙම ප්‍රකාශය අමූලික බොරුවකි. මෙම කප්පාදුව ගලා එන්නේ කැබිනෙට්ටුව ද ඇතුලත් ආන්ඩුවේ පිලිවෙත් වලිනි. දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින සිරිසේන-

වික්‍රමසිංහ ආන්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධානය කර ඇත්තේ රාජ්‍ය වියදම් දැවැන්ත ලෙස කප්පාදු කරමින් 2020 වන විට අයවැය පරතරය දල ජාතික නිශ්පාදිතයෙන් සියයට 3.5 දක්වා පහත හෙලන ලෙසයි. මෙම තතු තුල රාජ්‍ය අංශයේ කුමන හෝ වැටුප් වැඩි කිරීමකට මූල්‍ය අරමුදල එරෙහිව සිටී. ආන්ඩුවේ පිලිවෙත් මූලික වශයෙන් නිර්නය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ මෙම විධානයන්ගෙනි.

බිඳ වැටීමක් තුලින් ගමන් කරන ලෝක ධනේශ්වර ආර්ථිකය තුල ලොවපුරා සෑම ආන්ඩුවකම පිලිවෙත බවට පත්ව ඇත්තේ කම්කරු-පීඩිත මහජනතාවගේ සියලු සමාජ සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන් යලි උදුරා ගැනීමයි.

මිලියනයක සහභාගිත්වයෙන් පසුගිය දා ඉන්දියාවේ පැවති බැංකු කම්කරුවන්ගේ වර්ජනය, ප්‍රන්සයේ දහස් සංඛ්‍යාත දුම්රිය කම්කරුවන්ගේ වර්ජනය, එක්සත් ජනපදයේ ගුරුවරුන්ගේ අරගලය, ග්‍රීසියේ සිරිසා ආන්ඩුවේ කප්පාදු වලට එරෙහිව ලක්ෂ සංඛ්‍යාත මහජනතාවගේ සහභාගිත්වයෙන් කෙරෙන උද්ඝෝෂන සහ ලංකාවේ ජල සම්පාදන කම්කරු අරගලය ඇතුලු වේගයෙන් වර්ධනය වෙමින් පවත්නා පන්ති අරගල මාලාව ධනේශ්වරයේ ප්‍රහාරයන්ට එරෙහි ජාත්‍යන්තර කම්කරු පන්තියේ ප්‍රතිචාරය යි.

මෙම අරගලයන්හි දී කම්කරු පන්තිය ජාත්‍යන්තර පරිමානව අත් දකිමින් සිටින්නේ පාලකයන්ට පීඩනය යෙදීමෙන් ඔවුන්ගේ ප්‍රහාරාත්මක පිලිවෙත් ආපසු හැරවිය නොහැකි බවයි. එම ප්‍රහාර පරාජය කිරීම සඳහා ධනපති ආන්ඩු වලට සහ සමස්තයක් ලෙස ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයක් අත්‍යවශ්‍ය කෙරී ඇත.

නමුදු, ධනේශ්වරයේ උපකරන බවට පත්ව ඇති ලොවපුරා වෘත්තීය සමිති සහ එම නිලධරය එවන් දේශපාලන අරගලයකට පරම ලෙසින්ම සතුරු ය.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාර මගින් නිර්මානය කෙරී ඇති රුදුරු ජීවන කොන්දේසි හේතුවෙන් ජල සම්පාදන කම්කරුවන් අතර වැඩුනු බලගතු විරෝධය හමුවේ මෙම වර්ජනය කැඳවීමට ඒකාබද්ධ සන්ධානයට සිදු වුව ද ඔවුනගේ අරමුන වූයේ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකට කම්කරුවන් යොමුවීම වලකා ඔවුන් විරෝධතා වටවංගුවල සිරකොට එම විරෝධය දියකර හැරීමයි.

කම්කරුවන් අරගලය තම අතට ගත යුතුය. ඒ සඳහා වෘත්තීය සමිති වලින් ස්වාධීනවූ කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය ය. සමිති නිලධරය සහ පහල සාමාජිකත්වය අතර ජාත්‍යන්තරව වර්ධනය වෙමින් පවත්නා අගාධය මේ සඳහා අවශ්‍ය කොන්දේසි සකසයි.

ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත පාදක කර ගත යුතු මෙම කමිටු වටා ආන්ඩුවේ ප්‍රහාර වලින් බැටකන අවශේෂ කම්කරුවන්, ගොවියන් සහ තරුනයන් ඇතුලු පීඩිතයන් බලමලුු ගන්වමින්, ධනපති ක්‍රමය පෙරලා දමා කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට ජල සම්පාදන කම්කරුවන් ඇතලුු සියලු කම්කරුවන් සටන් වැදිය යුතුයි.

ජල සම්පාදන කම්කරුවන් ඇතුලු අවශේෂ කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ දැවෙන ප්‍රශ්න විසඳා ගත හැකි වන්නේ, එම කම්කරු-ගොවි ආන්ඩුව මගින් මහා පරිමාන බැංකු, ෆැක්ටරි සහ වතු, කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කොට, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් මත ආර්ථිකය ප්‍රතිසංවිධානය කර ගැනීමෙන් පමනකි.

මේ සඳහා අවශ්‍ය ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශන සම්පාදනය කරමින් නායකත්වය දෙන කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීම මෙහි ලා අති මූලික වෙයි.

Share this article: