“ඉරාන ඉස්ලාමීය විප්ලවයේ” අධිවාචකයෙකුට පිලිතුරක්

අධිරාජ්‍යවාදයට එරෙහිව හා ඉරානයේ කම්කරු බලය සඳහා අරගලය - 2 කොටස

A reply to a proponent of “Iranian Islamic socialism”
The struggle against imperialism and for workers’ power in Iran—Part 2

කීත් ජෝන්ස් විසිනි , 2018 පෙබරවාරි 15

මෙය, ඉරානයේ ධනපති - දේවගැති තන්ත‍්‍රයට එරෙහිව මෑතකදී ඇවිල ගිය කම්කරු පන්තියේ විරෝධය පිලිබඳව වාර්තා කරමින් හා ඊට සහාය පල කරමින් ලෝසවෙඅහි පල වූ ලිපි පිලිබඳව ඉරාන පුවත්පත් හා රූපවාහිනී මාධ්‍යවේදී රමින් මසහෙරිගේ විවේචනවලට පිලිතුරු වශයෙන් පලකෙරුනු ලිපි තුනකින් සමන්විත ලිපි මාලාවේ දෙවැන්නයි. මෙහි මුල් කොටස මෙතනින් ලබා ගත හැකිය.

තුඬේ පක්ෂය හා ඉරාන විප්ලවයේ පන්ති ගතිකයෝ

දීර්ඝ අනාගමික සමාජවාදී සම්ප‍්‍රදායයක් ඉරානය සතුව ඇති බවටත්, තුඬේ පක්ෂයට කම්කරු පන්තිය තුල ගැඹුරින් ඇදුනු මුල් ඇති බවටත් ඉදිරිපත් කල අපේ තර්කය මසහෙරිගේ පෙර ලිපිය තුල සමච්චලයට භාජනය කෙරුනු නමුදු, සිය දෙවැනි බ්ලොග් ලිපිය තුල ඔහු ස්ටැලින්වාදී තුඬේ පක්ෂය පිලිබඳ සඳහනක් හෝ නොකරයි.

තුඬේ පක්ෂයේ හා එහි පූර්වගාමී සංවිධානය වූ පර්සියානු (එනම්, ඉරාන) කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය පිලිබඳ සවිස්තරාත්මක පරීක්ෂාවක් සිදු කිරීම මෙම ලිපියේ විෂය පථයෙන් ඔබ්බෙහි පවතින්නකි. එහෙත් එහි කාර්යභාරය පිලිබඳව ද, 1905 හා 1917 රුසියානු විප්ලව ඉරානයට බලපෑවේ කෙසේද යන්න පිලිබඳව ද පරීක්ෂා කිරීමෙන් තොරව යමෙකුට 20 වන සියවසේ ඉරාන ඉතිහාසය පිලිබඳව බැරෑරුම් සාකච්ඡාවක් කල නොහැකිය.

ඉරාන කම්කරුවන් අතරින් විප්ලවවාදී සමාජවාදය සඳහා පලමුවෙන්ම දිනා ගැනුනේ රුසියාව තුල, විශේෂයෙන්ම සාර්වාදී අධිරාජ්‍යයේ ඛනිජ තෙල් නිෂ්පාදනයේ කේන්ද්‍රය වූ බාකු නගරයේ, වැඩ කිරීමේ දී බෝල්ශෙවිකයන් සමඟ සම්බන්ධකම් ගොඩ නඟා ගත් සංක‍්‍රමනික කම්කරුවන්ය.

1905 හා 1917 රුසියානු විප්ලව දෙකම ඉරානයේ අභ්‍යන්තර දේශපාලනය මත ප‍්‍රබල බලපෑමක් ඇති කලේය. ඉන් පලමුවැන්න පරාජයෙන් අවසන් වූ නමුදු, 1917 විප්ලවය මෙන්ම එය ද අරුත් ගැන්වූ විශේෂාංගය වූයේ තරුන කම්කරු පන්තිය විසින් ප‍්‍රදර්ශනය කෙරුනු විප්ලවවාදී ශක්තිය හා මූලිකත්වයයි.

1905 විප්ලවය ඉරානයේම ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ව්‍යවස්ථාමය විප්ලවයේ ප‍්‍රධාන ප‍්‍රගාමකයක් ලෙස ක‍්‍රියා කලේය. රූපිකව කිවහොත් තවමත් සිය බිලිඳු තොටිල්ලේ සිටි කම්කරු පන්තිය හා ඉරානයේ අලුතින් පිහිටුවා ගැනුනු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය එහි සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කලේය. කෙසේවෙතත්, විප්ලවය ඉදිරියේ වෛෂයිකව මුනගැස්වූ කර්තව්‍යයන් - එනම්, බ්‍රිතාන්‍ය හා රුසියානු අධිරාජ්‍යවාදයේ විය ගසින් ඉරානය විමුක්ත කොට ගැනීම, රාජාන්ඩුව පෙරලා දැමීම, පල්ලිය රාජ්‍යයෙන් වෙන් කිරීම, සහ ග‍්‍රාමීය ප‍්‍රදේශවල වැඩවසම් සබඳතා උගුලුවා දැමීම - ඉරාන ධනපති පන්තියේ ධාරිතාවයට බෙහෙවින් ඔබ්බේ පැවැති ඒවා විය. 1906 සිට 1921 දක්වා ඉරානය කැලඹීම් මාලාවක් තුලින් ගමන් කලේය. බුරුල් වූ දතක් මෙන් වැනෙමින් පැවැති කජා රාජවංශය බලයේ තබා ගනිමින්, තමාට රට තුල ආර්ථික හා දේශපාලන ආධිපත්‍යය තහවුරු කර දුන් “අසමාන ගිවිසුම්” පවත්වා ගැනීම හා ඒවා වඩාත් ප‍්‍රසාරනය කිරීමේ අරමුනින් පලමුව සාර් අධිරාජයා ද, ඉනික්බිති බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය ද එහි ස්වකීය හමුදා බල ඇනි යෙදවූහ.

1919 දී කයිරාටික අධිරාජ්‍යවාදියෙකු වූ කර්සොන් සාමිවරයා, ඉරානය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් රාජ්‍යයක් බවට පත් කර ගැනීම හා එය විප්ලවවාදී රුසියාවට එරෙහි යුද මෙහෙයුම් සඳහා පර්යන්ත කඳවුරක් බවට හරවා ගැනීම ඉලක්ක කල නව ඇන්ග්ලෝ-පර්සියානු ගිවිසුමක් පිලිගන්නා ලෙස ටෙහෙරානයට අයුතු බලපෑම් කලේය. 1907 දී රුසියාව පර්සියාව සමඟ ඇති කර ගෙන තිබූ “අසම ගිවිසුම” ඒ වනවිට ද හෙලා දැක තිබූ, සෝවියට් පාලනය යටතේ පැවැති බාකු හරහා ඉරාන විප්ලවවාදී සමාජවාදීන් සමඟ සම්බන්ධ වී සිටි බෝල්ශෙවිකයෝ ඊට ප‍්‍රතිචාර දක්වමින්, ඉරාන ජාතිකවාදී ජන්ග්ලි ගරිල්ලා නැඟිටීම තුල ආනුභාවය පැවැත්වීමේ හා එතුලින් සහයෝගය ගොනු කර ගැනීමේ අරමුනින් උතුරු ඉරානයට කුඩා හමුදා බල ඇනියක් යැවූහ.

ඉරානයේ ඛනිජ තෙල් සම්පත් මත බ්‍රිතාන්‍යයේ පැවැති මාරාන්තික ගල ග‍්‍රහනය තව බොහෝ කල් ඔවුන් විසින් පවත්වා ගෙන යාමට නියමිත විය. එහෙත් 1919 ඇන්ග්ලෝ - පර්සියානු ගිවිසුම තමන්ට වැරදුනු තැනක් ලෙස ඉතා ඉක්මනින් නිගමනය කල ඔවුහු, එය ක‍්‍රියාත්මක කල යුතුය යන තමන්ගේ ඉල්ලීම අත හැර දැමුහ. එකී ගිවිසුම හුදෙක් ඉරාන ප‍්‍රභූවේ ඉතා කුඩා කන්ඩායමක් හැර අන් සියලු දෙනා අතරේ බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට එරෙහි විරෝධය ඇවිලවීමෙන් පමනක් නොනැවතින. ඉරාන ජනයා වැඩිවැඩියෙන් බෝල්ශෙවිකයන් කෙරේ සහානුභුතිය දැක්වීමට වන්හ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඉහලම නිලධාරියෙකු පැවැසු පරිදි, “ඔවුහු මෙසේ සිතූහ... මෙය මීට වඩා නරක් විය නොහැක. ඉදින් ඇතැම්විට, පීඩිත පන්තිවලට සාධාරනත්වය තහවුරු කරන බවට කෙරෙන ඔවුන්ගේ ප‍්‍රකාශ අව්‍යාජ නම් තතු දැනට වඩා බොහෝ සෙයින් හොඳ වනු ඇත.” 5

1920 ජූනියේ පිහිටුවා ගත් ඉරාන කොමියුනිස්ට් පක්ෂය ආසියාවේ ප‍්‍රථමයෙන්ම පිහිටුවන ලද කොමියුනිස්ට් පක්ෂ අතරින් එකක් විය. එය කෙටිකලකින්ම, 15,000 ක සාමාජිකත්වයක් සහිත ඉරානයේ පලමුවන වෘත්තීය සමිති සම්මේලනය ගොඩ නැඟීය. එහි ප‍්‍රාරම්භක සමුලුවේ විවාදවලදී සාකච්ඡාවට ගැනුනේ විප්ලවවාදී ඉදිරි දර්ශනයේ වඩාත්ම තීරනාත්මක ගැටලු පිලිබඳවය; එනම්, අධිරාජ්‍ය-විරෝධී අරගලය හා ධනේශ්වර-ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය තුල කම්කරු පන්තිය ඉටු කිරීමට අපේක්ෂා කල යුතු කාර්යභාරය කුමක්ද, අධිරාජ්‍යවාදයේ හා සෝවියට් බලයේ යුගය තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජවාදී විප්ලව අතර සම්බන්ධතාවය කුමක්ද යන ගැටලු සම්බන්ධයෙනි.

ඛේදජනක ලෙස, මෙම ගැටලු පිලිබඳ කවර හෝ පැහැදිලිකමක් අත්පත් කර ගැනීමට පෙර කොමියුනිස්ට් ජාත්‍යන්තරය ස්ටැලිනීකරනයට පාත‍්‍රවීම ද, “නොනවතින විප්ලවයේ න්‍යාය” විශාලතම මිත්‍යාවාදය ලෙස ප‍්‍රකාශයට පත් කිරීම ද සිදු විය. ආසියාකරය, අප‍්‍රිකාව හා ලතින් ඇමරිකාව පුරා සිදු කෙරුනු පරිද්දෙන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ ධනපති නායකත්වය බවට පත්වෙතැයි අපේක්ෂිත “වාම” අනුචරයන්ගේ කාර්යභාරයට කම්කරු පන්තිය හා විප්ලවවාදී සමාජවාදීන් යටත් කල මෙන්ෂේවික්-ස්ටැලින්වාදී “අවධි-දෙකේ න්‍යාය” ඉරාන කොමියුනිස්ට් පක්ෂය මත ද පටවන ලදී.

ඉරාන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමෙන් පසු අඩ වසකට මඳක් වැඩි කලක ඇවෑමෙන් ජනරාල් රේසා පාලවි දියත් කල කුමන්ත‍්‍රනයක් මඟින්, “කුප‍්‍රකට ඇන්ග්ලෝ අනුරාගිකයෙකු (ඉංග‍්‍රීසින් කෙරේ උන්මත්තක ලෙස ආසක්ත වූවෙකු)” ලෙස බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයම හඳුන්වා දෙන ලද, සයිඩ් සියා තබතබායි ඉරානයේ නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන ලදී. 1921 කුමන්ත‍්‍රනයට සහ ඉනික්බිතිව 1925 දී ෂා රජුගේ මයුර සිහසුනට නැඟ ගැනීමට ද බ්‍රිතාන්‍යයේ සහ ඉරාන ඉඩම්පති හා වෙලඳ ප‍්‍රභූවේ සහාය දිනා ගැනීමට ද රේසා පාලවිට හැකි වූයේ, බෝල්ශෙවික් උවදුර පරාජය කිරීමට හැකි බලපුලුවන්කාරයා ලෙස තම ප‍්‍රතිරූපය ඔවුන් හමුවේ ගොඩ නඟා ගැනීමෙනි. කෝඩුකාර කොමියුනිස්ට් පක්ෂය නිර්දය ලෙස මර්දනය කල ඔහු සියලූ වෘත්තීය සමිති නීතිවිරෝධී කලේය.

1941 දී පිහිටුවනු ලැබූ හිස්බ් ඉ තුඬේ ඉ ඉරාන් (ඉරාන මහජන පක්ෂය හෙවත් තුඬේ පක්ෂය) වූ කලි, පර්සියානු කොමියුනිස්ට් පක්ෂයේ අනුප‍්‍රාප්තිකයාය. පොදුවේ සලකනු ලබන්නේ, එය ඉරානයේ ප‍්‍රථම බහුජන දේශපාලන පක්ෂය ලෙසය. 1945 වන විට ඊට දසදහස් සංඛ්‍යාත කම්කරු පන්ති සාමාජිකත්වයක් හිමි ව තිබූ අතර, සාමාජික සංඛ්‍යාව 275,000 ඉක්මවා ගිය වෘත්තීය සමිති සම්මේලනයක් වූ ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යම කවුන්සිලයට (සීසීඑෆ්ටීයූ) එය නායකත්වය සැපයීය.

මිත‍්‍ර හමුදා ඉරානය අත්පත් කර ගෙන සිටි තතු, නිසැකවම තුඬේ පක්ෂයේ ප‍්‍රාරම්භක වර්ධනයට ආධාරකාරී විය. (නාසීන්ට පක්ෂපාතී වූ රේසා ෂා නෙරපා හරිමින් ඔහුගේ පුත් මොහොමඩ් රේසා පාලවි බලයට පත් කල ඒකාබද්ධ මෙහෙයුමක් මඟින් රතු හමුදාව, උතුරුදිග ඉරානය ද බ්‍රිතාන්‍ය හමුදා දකුනුදිග ප‍්‍රදේශ ද අත්පත් කර ගත්හ. එමඟින් සෝවියට් දේශයට මිත‍්‍ර හමුදා සැපයුම් සහතික කෙරුනු අතර ඉරානයේ ඛනිජ තෙල් සම්පත් මත බ්‍රිතාන්‍ය ග‍්‍රහනය දිගටම පවත්වා ගත හැකි විය.)

එහෙත් පොදුවේ අධිරාජ්‍ය-විරෝධය, සමාජවාදය හා ඔක්තෝබර් විප්ලවය සමඟ අනන්‍ය වී තුබූ තුඬේ පක්ෂය දිනා ගත් මහජන සහාය සැබෑ එකක් විය. එහි බලපෑම බ්‍රිතාන්‍ය පාලනයේ පැවැති දකුන හා (බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් ලෙස පසුව නම් කෙරුනු) ඇන්ග්ලෝ-ඉරාන ඛනිජ තෙල් සමාගමේ කේන්ද්‍රය වූ ඇබඩන් ද ඇතුලුව රට පුරාම වහා පැතිර ගියේය. යුද්ධය අවසාන වූ වහා, තමන් වර්ජන රැල්ලක නායකත්වයේ සිටින බව තුඬේ පක්ෂයට පෙනී ගියේය. සීසීඑෆ්ටීයූ අනුබද්ධ ශාඛා 1946 මුල් මාස නවය තුල වර්ජන 160 කට වැඩි සංඛ්‍යාවක් සිදු කල අතර, පේෂකර්ම කම්කරුවන්ගේ, නැව් තටාකාංග සේවකයන්ගේ, පතල් කම්කරුවන්ගේ සහ ටෙහෙරානයේ බස් රියදුරන්ගේ වෝක් අවුට් සටන් මීට ඇතුලත් විය. මේවා අතර විශාලතම එක වූයේ (ඇබඩන් පිහිටි පලාත ) කුසිස්ථානයේ පැවැති 65,000 ක් සහභාගී වූ මහා වැඩවර්ජනයයි. එය මේ දක්වා මැද පෙරදිග ඇති වී ඇති විශාලතම කාර්මික වැඩ වර්ජනයයි.

ලෝක යුද්ධයේ අවසානයේ පටන් ඉරානය මත ෂා රජුගේ හා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යය තහවුරු කල 1953 අගෝස්තු කුමන්ත‍්‍රනය දක්වාම ඉරානය ගිල ගන්නා ලද දේශපාලන හා සමාජ අර්බුදයේ දිග ඇදුනු කාල පරිච්ඡේදය තුල, තුඬේ පක්ෂය බලය සඳහා අභියෝග කිරීමේ විභවයක් සහිත තරඟකරුවෙකු විය. එහෙත් එය පිහිටවූ තැන් පටන්ම ස්ටැලින්වාදීහු සමාජවාදී විප්ලවයේ කවර හෝ ඉදිරි දර්ශනයක් ඉදිරිපත් කිරීම ප‍්‍රතික්ෂේප කලෝය. තුඬේ පක්ෂයමත් අර්ථකථනය කොට තිබුනේ විප්ලවවාදී කම්කරු පන්ති පක්ෂයක් ලෙස නොව, “දේශප්‍රේමී ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් පෙරමුනක්” ලෙසය. එහි දිනපතා පුවත්පතේ 1944 වසරේ දිනෙක පල කෙරුනු කතුවැකියකින් එය, 1906 විප්ලවයේ ප‍්‍රතිඵලයක් ලෙස පනවන ලද, ව්‍යවස්ථානුකූල රාජාන්ඩුවකට ඉඩ සැලසූ ධනේශ්වර ව්‍යවස්ථාවට සිය සහාය සහතික කලේය: “මක්නිසාදයත්, කොමියුනිස්ට්වාදය යනු ඉරානයේ නොපවත්නා සමාජ කොන්දේසිවලට උචිත දෘෂ්වාදයකැයි අප විශ්වාස නොකරන නිසාය. කොමියුනිස්ට් පක්ෂයක් අපේ පරිසරය තුල මුල් බැසීමට අසමත් වනු ඇත.” 6

1949 දී අසාර්ථක ඝාතන ප‍්‍රයත්නයක් පාවිච්චි කරමින් තුඬේ පක්ෂය හා සීසීඑෆ්ටීයූව තහනම් කිරීමට ද, දේශපාලන බලය යලි අල්ලා ගැනීමට ද, 1941 දී රජයට පවරා දීමට ඔහුට බල කෙරී තිබුනු රාජකීය වතුවල හිමිකම් යලි ලබා ගැනීමට ද ෂා ක‍්‍රියා කලේය. කෙසේවෙතත් ඔහු සිය තුරුම්පු පමන ඉක්මවා භාවිතා කලේය. රාජ්‍යභාගයේ සුලු වැඩි කිරීමකට හිලව් කොට ඉරානයේ ඛනිජ තෙල් කර්මාන්තයේ බ්‍රිතාන්‍ය පාලනයේ කාලය දීර්ඝ කිරීමට ඔහු යෝජනා කල කල්හි, රාජාන්ඩුවට හා අධිරාජ්‍යවාදයට එරෙහිව මහජන විරෝධය යලිත් මතු වී ආවේය.

ඉරානයේ ඛනිජ තෙල් කර්මාන්තය රජයට පවරා ගැනීමට බල කෙරෙන මහජන ව්‍යාපාරයක්, ආචාර්ය මොහොමඩ් මොසදීගේ හා ඔහුගේ ධනපති ජාතික පෙරමුනේ නායකත්වයෙන් වහා ඉස්මතුව ආවේය. තුඬේ පක්ෂය දේශපාලන බලයක් වීමේ විභවය සහිතව යලි මතු වී එමින්, කුසිස්ථානයේ මහා වැඩ වර්ජනයකට ද අනෙකුත් නගරවල ඊට සහාය දැක්වීමේ වර්ජනවලට ද නායකත්වය දෙමින්, ඉරානයේ දේශපාලන ප‍්‍රභූව සසල කල කල්හි අගමැති පදවියට පත් වන ලෙස මොසදීට දැනුම්දෙන ලදී.

ඇන්ග්ලෝ-පර්සියානු තෙල් සමාගම ජනසතු කිරීම සඳහා පීඩනය යෙදීමේදී මෙන්ම, ඉරානයේ ඛනිජ තෙල් අපනයනයන් අත්හිටුවීම මඟින් ඉරානයේ ගෙල සිර කිරීමට දැරුනු බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ප‍්‍රයත්නයන්ට එරෙහි වීමේ දී ද යලියලිත් මොසදීට රැඳී සිටීමට සිදුවූයේ, කම්කරු පන්තියේ ආධාරය මතය. උදාහරනයක් ලෙස 1952 ජූලියේ ෂා සමඟ ගැටුමකින් පසු ඔහු අගමැති ධුරයෙන් ඉල්ලා අස් වූ කල්හි, දින පහක් පුරා පැවැති වර්ජන, පෙලපාලි හා ලේ වැකි ගැටුම්වලින් පසු යලි සේවය භාර ගන්නා ලෙස ඔහුට දැනුම් දෙන ලදී, මෙකි වර්ජන, පෙලපාලි හා ගැටුම් තුල තුඬේ පක්ෂය හා එහි නායකත්වය ලද වෘත්තීය සමිති ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කලේය.

එහෙත් ෂා හා බ්‍රිතාන්‍යයන් මත පීඩනය යෙදීමට තුඬේ පක්ෂයේ සහයෝගය පාවිච්චි කරන අතරම, වමෙන් එල්ල විය හැකි අනතුරු පිලිබඳව මොසදී ඇත්තෙන්ම දැනුවත්ව සිටියේය. ඇමරිකානු සහාය දිනා ගැනීමේ උපාමාරු යොදමින් සිටි අතර ඔහු, තුඬේ පක්ෂය හා සීසීඑෆ්ටීයූව මත පැනවූ නිල තහනම ඉවත් කිරීම සිය අගමැති ධුර කාලය පුරාම ප‍්‍රතික්ෂේප කර සිටියේය. 1951 ඔක්තෝබරයේ දී ඔහු බ්‍රිතාන්‍යය සමඟ ඉරානයේ ආරාවුල සම්බන්ධයෙන් මැදිහත්කරුවෙකු වන ලෙස ප‍්‍රසිද්ධියේ වොෂින්ටනයෙන් ඉල්ලා සිටියේය. ඒ අතරතුර ඔහු දිගින්දිගටම ඉරාන පර්සියානු මුහුදු බොක්කේ ඛනිජ තෙල් සඳහා බ්‍රිතාන්‍යයේ ඒකාධිකාරය බිඳීමෙන් ඇමරිකානු අධිරාජ්‍යවාදයට ඇති වන අර්ථලාභය පිලිබඳව තිරය පසුපස සිට තර්ක කරන්නට ඇත.

1951 දී මොසාදී ඇමරිකානු ජනාධිපති ටෲමන් සමඟ. පර්සියානු බොක්කේ තෙල් සම්පත් මත බ්‍රිතාන්‍යය පවත්වා ගෙන ගිය ග‍්‍රහනයට අභියෝග කරන අතරතුර ම ජාතික පෙරමුනු නායකයා වොෂින්ටනයේ සහයෝගය අපේක්ෂා කලේය.

තම රජයට එරෙහි අධිරාජ්‍යවාදී කූටෝපායයන්ගේ කේන්ද්‍රය ලෙස ඉස්මතු වෙමින් පැවැති ෂාගේ බලයට අභියෝග කිරීමට බල කෙරුනු නමුදු, ජනසතු ව්‍යාපාරයේ ජනතාවාදී විෂයපථය සීමා කිරීමට මොසදී ප‍්‍රයත්න දැරීය. විශාල ඉඩම්හිමියෙකු වූ ඔහු ඉඩම් ප‍්‍රතිසංස්කරන සඳහා වූ ඉල්ලීම්වලට ප‍්‍රතිරෝධය දැක්වූ අතර රාජාන්ඩුව අහෝසි කිරීම සඳහා කෙරුනු කැඳවීම්වලට එරෙහි විය. එතෙකුදු වුව, කම්කරු පන්තිය මොසදිගේ හා ජාතික ධනේශ්වරයේ දේශපාලන වහලුන් ලෙස කටයුතු කල යුතු බවට ස්ටැලින්වාදීහු බල කර සිටියෝය.

1953 දී සීඅයිඒ සංවිධානය විසින් පිඹුරුපත් සකසා ක‍්‍රියාත්මක කෙරුනු කුමන්ත‍්‍රනයට එරෙහිව කම්කරු පන්තිය වහා බලමුලු ගැන්වීමට අසමත්වීම සම්බන්ධයෙන් ඉරාන ජාතිකවාදීන් දිගු කලෙක සිට තුඬේ පක්ෂය හෙලා දැක ඇත. සත්තකින්ම මෙය අමනකමක් වූ අතර ඒ වෙනුවෙන් මහත් වන්දියක් ගෙවීමට ස්ටැලින්වාදී පක්ෂයේ නායකයින්ට සිදු විය. එහෙත් ඔවුන් යටපත් කර දැමීමට තැත් කරන කරුන වන්නේ, වර්ධනය වෙමින් පැවැති සිදුවීම් විසින් අත්පත් කර ගැනෙමින් තුබූ රැඩිකල් දිශානතිය පිලිබඳ බියපත් වූ මොසාදී විසින්ම, වොෂින්ටනයේ නියෝගය මත, හමුදාව වීථිවලට කැඳවනු ලැබූ බවයි. කුමන්ත‍්‍රනය හමුවේ ස්ටැලින්වාදීන්ගේ නිෂ්ක‍්‍රියභාවය පැන නැඟුනේ ඔවුන්ගේ ජාතික ධනේශ්වර අනුචරයාගේ හදිසි හා තියුනු දක්ෂිනාංශික හැරීම නිසා ඔවුන් තුල හටගත් සංකුලතාවය හා අවුල් ජාලය තුලය.

ඉතිහාසඥ අර්වාන්ඩ් අබ‍්‍රහමියන් පැහැදිලි කොට ඇති පරිදි, 1953 අගෝස්තු 16 වන දින රාජකීය නිලධාරීන් පෙරමුන ගත් හා සීඅයිඒ සංවිධානයේ අනුග‍්‍රහයෙන් දියත් වූ කුමන්ත‍්‍රන ප‍්‍රයත්නයකින් ගැලවීමට මොසාදිට හැකි වූයේ, තුඬේ පක්ෂය විසින් සම්පාදනය කරන ලද රහස් තොරතුරුවලට ස්තුතිවන්නටය. ඊලඟ දිනයේ ෂා රටින් පලා ගියේය. “ජාතික පෙරමුන රාජාන්ඩුවේ ඉරනම තීරනය කිරීමට කමිටුවක් පත් කල අතර, තුඬේ පිරිස් වීථි කරා ගලා එන්නට වූහ.” ඔවුහු ඇතැම් ප‍්‍රාදේශීය නගරවල නගරසභා ගොඩනැඟිලි අත්පත් කර ගත්හ. “ඊලඟ උදයේ මොසාදී, ඇමරිකානු තානාපතිවරයා සමඟ ඉරනම්කාරී සාකච්ඡාවකට සහභාගී වීමෙන් ඉක්බිති, නීතිය හා සාමය යලි පිහිටුවන්නේ නම් ආධාර කරන බවට ඔහු විසින් දෙන ලද පොරොන්දුව මත පිහිටා, සියලු පෙලපාලිකරුවන් වීථිවලින් ඉවත් කිරීමට හමුදාවට උපදෙස් දුන්නේය. දෛවයේ සරදමකට මෙන්, මොසාදී උත්සාහ කලේ, ඔහුගේ පැරනි සතුරන් වූ හමුදාව, ඔහුගේ ප‍්‍රධානතම ආරක්ෂක පවුර වූ ජන සමූහයා මැඩ තලා දැමීම සඳහා යොදා ගැනීමටය.

“මේ උදා වූ අවස්ථාව මොසාදීට පෙරලා පහරදීමට හමුදාව විසින් යොදා ගනු ලැබීම කිසිසේත් පුදුමයක් නොවේ. අගෝස්තු 19 වන දින, තුඬේවරුන් තමන්ට එරෙහිව මොසාදී එල්ල කල පහරින් අන්දමන්දව සිටින අතරතුර, ෂර්මන් යුද ටැංකි තිස් පහක් යොදා අග‍්‍රාමාත්‍ය නිවාස වැටලීමට [ජනරාල්] සහේදී අන දුන්නේය. පැය නවයක සටනකින් පසු ඔවුහු මොසාදී අල්ලා ගත්හ.” 7

ජනයා 1953 අගෝස්තු 16 දින, බ්‍රිතාන්‍ය-ඇමරිකානු සහාය ලත් රාජකීය කුමන්ත‍්‍රන සැලසුම් අසාර්ථක වී ඇති බැව් පෙනී ගිය පසු වීථි අරා ගත්හ. සිදුවීම් හැරෙමින් පැවැති රැඩිකල් දිශාව පිලිබඳ බියට පත් ජාතික පෙරමුනේ අගමැති මොසාදී වීථිවලින් ජනයා ඉවත් කිරීමට හමුදාව කැඳවිය.

අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය තුල ප‍්‍රමුඛ බලවේගය ලෙස මසහෙරිගේ අනුග‍්‍රහයට පාත‍්‍රවන ෂියා පූජකවරුන් හෝ උල‍ෙමාවරු මෙම සිදුවීම් තුල ඔවුන්ගේ කාර්යභාරය කුමක් වීද? ඔවුන් ලන්ඩනය, වොෂින්ටනය හා ෂා රජුගේ පැත්තේ සිටියේය. ඉරානයේ සිටි වඩාත්ම බලගතු පූජකවරයා වූ අයතොල්ලා බොරුජර්දී - ඔහු දශක දෙකකට ආසන්න කාලයක් කොමෙයිනිගේ ප‍්‍රධාන උපදේශකයා වී සිටීම අහම්බ කරුනක් නොවේ - ෂා රජුට හා ඉරානයේ අර්ධ-වැඩවසම් සමාජ ව්‍යුහයට සහයෝගය දුන්නේ අදේශපාලනික නෛෂ්ක‍්‍රම්‍යවාදී නිෂ්ඨාවකින් යුතුවය. එකී නිෂ්ඨාව සමස්තයක් ලෙස උමාවරුන් මත බලාත්මක කිරීමට ඔහු තැත් කලේය.

ටෙහෙරානයේ සිටි වඩාත්ම වැදගත් පූජකවරයා වූ අයතොල්ලා බෙහ්බෙහානි කුමන්ත‍්‍රනයට ආධාර කලේය. ඔහු කෙතරම් විවෘත ලෙස එසේ කලේ ද යත්, කුමන්ත‍්‍රනය සූදානම් කෙරෙමින් පැවැති දිනවල බසාරය (වෙලඳපොල) ට ගලා ආ සීඅයිඒ මුදල් හඳුන්වනු ලැබුනේ “බෙහ්බෙහානි ඩොලර්” ලෙසය. ජාතික පෙරමුන සමඟ වඩාත්ම ප‍්‍රමුඛ ලෙස සම්බන්ධකම් පැවැත්වූ මුල්ලාවරයා වූ අයතොල්ලා කශානි කුමන්ත‍්‍රනයට ඉහත මාසවලදී ප‍්‍රසිද්ධියේ මොසාදිගෙන් බිඳී ගිය අතර, පාර්ලිමේන්තුවේ සිටි ඔහුගේ සමීපතම ආධාරකරුවෝ, පෞද්ගලික දේපලවලට තර්ජනය කරන සමාජවාදියෙකු ලෙස ඉරාන අගමැතිවරයා හෙලා දුටහ.

කුමන්ත‍්‍රනයෙන් ඉක්බිති තවදුරටත් දකුනට පැද්දී ගිය ස්ටැලින්වාදීහු, ෂා පාලනයට එරෙහිව ධනේශ්වර ලිබරලුන්ගේ, විශේෂයෙන්ම ජාතික පෙරමුනේ, බයාදු විරෝධය සමඟ කිසිදා නොවූ විරූ ලෙස කැපීපෙනෙන ආකාරයකින් පෙල ගැසුනහ. 1960 ගනන්වල අග භාගය වන විට ඔවුහු, 1953 කුමන්ත‍්‍රනයෙන් පසු ගෙන ගිය මර්දනය මෙහෙයවූ සවාක්හි හිටපු ප‍්‍රධානියෙකු ද ඇතුලුව, ෂාගේ ඒකාධිපති තන්ත‍්‍රයේ අසන්තෝෂයට පත්ව සිටි කොටස් සමඟ පවා එක්වීමට කුප‍්‍රකට ලෙස තැත් කලහ.

1976 දී තුඬේ මධ්‍යම කාරක සභාවේ ලේකම් නොරෙදින් කියනුරිගේ ලේඛනයක දැක්වෙන්නේ, පක්ෂය එහි යෝජිත “ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුන” “මහා ධනේශ්වරය” දක්වාම පුලුල් කල යුතු අතර, විප්ලවයේ “අධිරාජ්‍ය විරෝධී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවධියේ දී” එය “වමෙන්, හා කවරාකාර හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සියල්ලෙන් බොහෝ සෙයින් පරිබාහිර වූ ..... සමාජ බලවේග” සමඟ පවා එක් වීමට සූදානම් විය යුතු බවයි. [8]

ෂාගේ තන්ත‍්‍රය උසුලා සිටියේ දැවැන්ත හා කෲර ආරක්ෂක උපකරනයකිනි. කෙසේවෙතත්, රහසිගත කටයුතුවල සඵල ලෙස නිරතවීමෙහි ලා තුඬේ පක්ෂය අත්දුටු අසාර්ථකත්වයට ප‍්‍රධාන හේතුව වූයේ, කම්කරු පන්තිය වෙත නොව, ඉරාන සුලූ ධනපතීන් හා ධනපතීන් වෙත යොමු ව තුබූ එහි දේශපාලනික දිශාවනතියයි.

මේ අතරතුර, සෝවියට් හා චීන ස්ටැලින්වාදී නිලධරයන්, ෂාගේ රාජාන්ඩු-ඒකාධිපති තන්ත‍්‍රය සමඟ සමීප ආර්ථික හා රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා වර්ධනය කර ගැනීමේ මං සොයා බැලූහ.

තුඬේ පක්ෂය අතිශයින්ම අපකීර්තියට පාත‍්‍රව තුබූ තතු යටතේ, 1960 ගනන්වල මැද භාගයේ සිට, රැඩිකල්වාදී සිසුහු ඊට එරෙහිව කැරලි ගසමින් “සන්නද්ධ අරගලය” - එනම්, තිගැස්සෙන සුලු උත්තේජනයක් මඟින් මහජනයා පුබුදුවා ලීමෙහි සමත්යැයි අපේක්ෂිත පුද්ගල ත‍්‍රස්ත ක‍්‍රියාවන්හි නිරත වීම - කරා හැරුනහ. එහෙත් ඇත්තෙන්ම කිවහොත් ඔවුන් කලේ, මර්දනය සඳහා රාජ්‍ය තන්ත‍්‍රයට යොදා ගත හැකි නව ව්‍යාජ හේතු සම්පාදනය කර දීම හා අදාල පිරිස් කම්කරු පන්තියට දේශපාලන අධ්‍යාපනය ලබාදීමේ හා එය බලමුලු ගැන්වීමේ අරගලයෙන් ඉවතට හැරවීමයි.

තුඬේ පක්ෂය පිලිබඳව ඔවුන්ගේ විවේචන කෙතෙක් පැවතියේ වී වුව, පීපල්ස් ෆෙඩයීන් වැනි සංවිධාන ද, විශේෂයෙන්ම ජාතික ධනේශ්වරයේ ඇතැයි කියනු ලැබූ ප‍්‍රගතිශීලි විභවය සම්බන්ධයෙන්, දිගටම ස්ටැලින්වාදයේ (එහි මා ඕවාදී ප‍්‍රභේදය ද ඇතුලුව) බලපෑමට දැඩි ලෙස නතුව තිබුනි. 1978 දී ෂා පාලනයට එරෙහිව පුපුරා ගිය මහජන විරෝධය තුඬේ පක්ෂයට සේම ඔවුනට ද හදිසියේ කඩා පාත් වූ විමතියක් වූ අතර, ඔවුහු ද කොමෙයිනි සම්බන්ධ මායාකාරී අපේක්ෂා දිරි ගැන්වීමට එකසේම කටයුතු කලෝය.

ෂාගේ වඩාත් අප‍්‍රතිහත විරුද්ධවාදියා ලෙස ප‍්‍රතිරූපයක් ගොඩ නඟා ගැනීමට කොමෙයිනිට අවස්ථාව උදා වෙමින්, 1975 හා 1979 අතරතුර ඔහු හා ඔහුගේ පූජක පරිවාරකයන්ට වෙලඳ බසාරයේ සිට නාගරික හා ග‍්‍රාමීය දුගීන් දක්වා පැතිර ගිය මහජන අනුගාමිකත්වයක් වර්ධනය කර ගැනීමට ඉඩ සැලසුනේ ස්ටැලින්වාදී තුඬේ පක්ෂයේ දශක ගනනාවක පාවාදීම් විසින් කම්කරු පන්තියට දේශපාලන නායකත්වයක් අහිමි කරනු ලැබීම තුල නිර්මිත රික්තය නිසාය.

ඉරානයේ බසාර් වෙලඳුන් හා ෂියා පූජකයන් අතර ශතවර්ෂාධික කාලයක් සබඳතාවයක් පවතී. 1973-74 තෙල් මිල වැඩිවීම උද්ධමනයේ හා ආර්ථික අවමංගතවීමේ ගිනි ජාලාවට තෙල් ඉසින අතර, ෂාගේ මුදල් පෙට්ටගම් ඉන් පිරීඉතිරී යද්දී, බසාරය කොමෙයිනි නායකත්වය දුන් පූජක කන්ඩායමකට මූල්‍ය ආධාර සැපයීය. මෙම කන්ඩායම රාජාන්ඩු ආඥාදායකත්වයට එරෙහිව විරෝධය ගොනු කිරීමට නව, වෛතුල්‍යවාදී ෂියා ජනතාවාදයක් භාවිතා කරමින් සිටියේය. බුරා ඇවිලෙන උද්ධමනය පිලිබඳව නැගෙමින් පැවැති මහජන කෝපය වෙනතකට හැරවීමේ ප‍්‍රයත්නයක් ලෙස ෂා තන්ත‍්‍රය මිල පාලනයක් ක‍්‍රියාවට නංවමින්, “ලාභ ගරන්නන්ට, වංචාකරුවන්ට හා තොග සඟවා තබා ගන්නවුන්ට” එරෙහිව ඉහල පෙලේ ව්‍යාපාරයක් දියත් කොට, කුඩා කඩ හිමියාගේ සිට විශාල වෙලඳුන් දක්වා දසදහස් සංඛ්‍යාත බසාර්වරුන්ට දඩ සහ / හෝ හිර දඬුවම් පැමිනවූ කල ෂා කෙරේ බසාරයේ සතුරුකම වඩාත් තීව‍්‍ර විය.

ෂියා ජනතාවාදී පූජකයන්ට සිත් සේ ප‍්‍රවිෂ්ට වීමේ අවකාශ සහිත, ඉරානය පුරා පුලුල්ව පැතිර ගිය පල්ලි හා අනෙකුත් ආගමික ආයතන ජාලයක් පැවතින. රහස් පොලිසියේ අවධානය වමෙන් එල්ල වන තර්ජනය කෙරේ යොමුව පැවතීම ද ඔවුන්ගේ වාසිය පිනිස විය.

ෂාගේ ඇමරිකානු සහය ලද ලේ වැකි රාජ්‍ය තන්ත‍්‍රය පෙරලා දැමීමට සුලු වේලාවකට පෙර පෙලපාලිකරුවෝ ඔහුගේ ආරක්ෂක සේනා සමඟ ගැටෙති

ආන්ඩු-විරෝධී මහජන විරෝධතා 1978 මුල් කාලයේ ආරම්භ වූ අතර, වසර ඉදිරියට යත්ම එය සරසවි සිසුන් හා අනෙකුත් මධ්‍යම පන්ති ස්ථරවල සිට නාගරික දුගීන් දක්වා වූ ජනගහනයේ වඩවඩාත් පුලල් කොටස් පුබුදුවා ලීය. එහෙත්, ඉහතදී ද අප සඳහන් කල පරිදි, ෂාගේ ඉරනමට අවසාන මුද්‍රාව තැබුවේ, විශේෂයෙන්ම ඛනිජ තෙල් කම්කරුවන් දේශපාලන වර්ජන දියත් කරමින් නැඟී සිටි වැඩවර්ජන මාලාව මඟිනි.

මසහෙරි ඉස්ලාමීය ජනරජයත්, 1978 සහ 1979 අතර පැවැති “ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතාවාදී” නැඟීටීමත් සම කොට දක්වයි. එහෙත් යථාර්ථයේ දී මෙම නැඟීටීමට සම්බන්ධ, ඉමහත් සේ වෙනස් පන්ති අරමුනු හා අභිලාෂයන්ගෙන් යුත් ප‍්‍රතිවාදී පන්ති බලවේග පවතී.

ඉරානයේ කම්කරුවන් හා වැඩකරන ජනයා ෂා තන්ත‍්‍රයට එරෙහිව සටන් කලේ, මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දිනා ගැනීමට හා සමාජ සාධාරනත්වය, එනම්, රැකියා, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, කම්කරු අයිතීන් හා ගොවිබිම් ගොවීන්ගේ අයිතිය සඳහාය. මෙකි ඉල්ලීම් සපුරා ලීමෙහි ලා සමාජය සමාජවාදී ලෙස ප‍්‍රතිසංවිධානය කිරීම වෛෂයිකව අවශ්‍ය කෙරිනි.

මීට වෙනස් ලෙස, ධනපති පන්තිය රාජාන්ඩු ආඥාදායකත්වය සමඟ ගැටුමට එලැඹුනේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයට ෂාගේ යටත්වීම, ගජමිතුරු ධනපතීන්ගේ තුනී ස්ථරයක් ප‍්‍රවර්ධනය කිරීම හා රටෙහි ඛනිජ තෙල් සම්පත් කොල්ලකෑම හේතු කොට ගෙන, තමන්ට සූරාකෑම හා සශ‍්‍රීකවීම සඳහා පැවැති විභවය සීමා කෙරුනු නිසාය.

1978-79 විප්ලවවාදී නැඟිටීම ඉස මත කඩාවැටෙන තුරු ඒ පිලිබඳ නිනව්වක් නොවූ තුඬේ පක්ෂය, 1979 පෙබරවාරියේ ෂා පාලන තන්ත‍්‍රය පලවා හැරීමෙන් පසුව කොමෙයිනි “ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ” නායකයා ලෙස අභිෂේක කරමින් ඔහුගේ තිරසාරම ආධාරකරුවන් බවට පත්වූහ. තුඬේහි ප‍්‍රධාන ලේකම් ධුරයට පත්ව සිටි කියනුරි ෂියාවාදයට ආචාරය පුද කලේ එය “සමාජවාදය කරා අපේ මාවත හමුවේ කිසිදිනෙක බාධකයක් නොවනු ඇති විප්ලවවාදී හා ප‍්‍රගතිශීලි දෘෂ්ටිවාදයක්” ලෙසය. “.. ඒ අනුව, අපේ පක්ෂයේ සහයෝගය උපායාත්මක ස්වභාවයේ එකක් නොව මූලෝපායික එකක් වනු ඇත.” [9]

පීපල්ස් ෆෙඩයීනය, හෝ අඩු තරමින් එහි නායකත්වයේ බහුතරය, එකී ක‍්‍රියා මාර්ගයම යොදා ගනිමින් තුඬේ පක්ෂයත් සමඟ සංයෝජනය වීමට කටයුතු කලෝය. 1980 ජූනියේ දී නව පාලන තන්ත‍්‍රයට එරෙහිව “සන්නද්ධ අරගලයක්” දියත් කල, සුලු ධනපති බහුජන අනුගාමිකත්වයකින් යුත් “ඉස්ලාමීය සමාජවාදී” කන්ඩායමක් වූ පීපල්ස් මුජහෙදිනය, 1979 දින වලදී විප්ලවයට කොමෙයිනිගෙන් ලද “නායකත්වය” පිලිබඳ ආචාරය පල කලේය. උදාහරනයක් ලෙස, 1979 දී එය, “ප‍්‍රගතිශීලි පූජකවරුන්ට හා විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨ අයතොල්ලා ඉමාම් කොමෙයිනි උතුමානන්ට සෑමවිටම සහයෝගය දෙන” බවට ප‍්‍රතිඥා දුන්නේය. [10]

සිය ඉල්ලීම් පිලිබඳව බල කර සිටීමට වර්ජන ක‍්‍රියාත්මක කරමින් ද, වැඩපොලවල කම්කරු සභා ගොඩ නඟමින් ද, කම්හල් අත්පත් කර ගනිමින් ද කම්කරු පන්තිය තම ස්වාධීන උත්සුකයන් තිරසර ලෙස ප‍්‍රකාශ කර සිටියහ. දේශපාලන වර්ජන සහ ෂා පෙරලා දැමූ සන්නද්ධ නැඟිටීම පසුපස ගොවීන් විසින් ඉඩම් අල්ලා ගනු ලැබීම හා අත්වැල් බැඳගනිමින් පැමිනි මෙම වර්ධනයන් විසින් සිහිපත් කෙරුනේ, බොහෝ විචාරකයන් විසින් ද සඳහන් කර ඇති පරිදි, 1917 රුසියාවයි.

1979 ඉරාන විප්ලවය දැවැන්ත අධිරාජ්‍ය විරෝධී නැඟීටීමක් විය

කෙසේවෙතත් කම්කරු පන්තියට, නොනවතින විප්ලවයේ වැඩ පිලිවෙලින් සන්නද්ධ වූ මාක්ස්වාදී පක්ෂයක් කරා ප‍්‍රවිෂ්ටවීමේ මාවතක් නොවීය. ෂියා ජනතාවාදීන්ගේ දේශපාලන ආධිපත්‍යය හා ඉස්ලාමීය ජනරජය තහවුරුවීම පූර්වනිශ්චිතයක් නොවීය. එය ස්ටැලින්වාදයේ පාවාදීමෙහි ඛේදජනක ප‍්‍රතිවිපාකයක් විය.

එසේ වුවත්, ඉරාන කම්කරු පීඩිත ජනයාගේ සමාජ අභිලාෂයන් රඳවා තැබීමට, හරවා අවමංගත කිරීමට හා මැඩ පැවැත්වීමට ධනේශ්වරයට හැකි වූයේ, දුෂ්කරතා මධ්‍යයේ පමනෙකි. ඉස්ලාමිය තන්ත‍්‍රයට තහවුරු විය හැකි වූයේ තීව‍්‍ර දේශපාලන අර්බුදයක් හරහා ගමන් කිරීමෙන් පසුව සහ, කම්කරුවන්ගේ සියලු සංවිධාන හා වාමාංශික පක්ෂ තලා දැමීමට ප‍්‍රතිසංවිධානය කල රාජ්‍ය යන්ත‍්‍රයක් බලමුලු ගන්වා ගැනීමෙන් පසුව පමනෙකි.

ආරම්භයේදී කොමෙයිනි, තාවකාලික ආන්ඩුවක නායකයා ලෙස, ෂාට එරෙහි සාම්ප‍්‍රදායික ධනේශ්වර විපක්ෂයේ අතිශයින්ම මැදහත් නායකයා වූ මෙහදී බසාර්ගන් පත්කලේය. මෙම ආන්ඩුව පුරවනු ලැබ තුබුනේ බසාර්ගන්ගේ විමුක්ති ව්‍යාපාරයේ හා ජාතික පෙරමුනේ සාමාජිකයන්ගෙනි. මාස නවයක ඇවෑමෙන්, 1979 නොවැම්බරයේ දී කොමෙයිනි ඇමරිකාව සමඟ සබඳතා අලුත් කරගැනීමට ලොල්ව සිටි, හා නොඑසේනම් විප්ලවය සමාප්තියකට ගෙන ඒමට නොඉවසිල්ලෙන් පසු වූ බසාර්ගන්ගේ ආන්ඩුව පසෙකට දැමීය. යෝජිත ඉස්ලාමිය ව්‍යවස්ථාවෙන් ෂියා පූජකයන්ට ලබාදීමට නියමිත වූ උත්කෘෂ්ට දේශපාලන තරාතිරම කෙරේ බසාර්ගන් දැක්වූ විරුද්ධත්වය කොමෙයිනිගේ කෝපයට හේතු විය. එහෙත් ඒ අතරම, බසාර්ගන් රජයට මහජන සහයෝගය නොලැබෙන බව ද, පුලුල් සමාජ වෙනස්කම් සඳහා සාමාන්‍ය ජනයා වෙතින් යෙදවෙන පීඩනය වෙන‘තක හරවා යැවීමට ඔහු අසමත් විය හැකි බව ද ඔහු හඳුනා ගත්තේය.

කොමෙයිනි, ඉස්ලාමිය ජනරජයේ ප‍්‍රථම අගමැති මෙහදී බසාර්ගන් සමඟ. බසාර්ගන් යනු, ෂාට එරෙහි සාම්ප‍්‍රදායික ධනේශ්වර විපක්ෂයට ජාතික පෙරමුන සමඟ උර දුන් අනෙක් ප‍්‍රධාන උපකාරක ස්ථම්භය වූ ඉරාන විමුක්ති ව්‍යාපාරයට නායකත්වය දුන් තැනැත්තාය.

මේ අතර බසාරයේ වෙලෙන්දෝ, නව දේශපාලන පටිපාටිය තම පන්ති උත්සුකයන්ට සේවය සලසන බවට සහතික කිරීම සඳහා හොඳම ස්ථානය අරා සිටින්නන් ලෙස කොමෙයිනි හා ඔහුගේ ෂියා පූජක ආධාරකරුවන් හඳුනා ගනිමින් අන් කවර කලෙකටත් වඩා දැඩිව ඔවුන් වැලඳගත්හ.

කොමෙයිනි විසින් වර්ධනය කොට ප‍්‍රචලිත කෙරුනු ෂියා ඉස්ලාම් ධර්මයේ ජනතාවාදී මාදිලිය, කාර්යයන් ගනනාවක් ඉටු කලේය. ව්‍යාජ-සමාජවාදී වාක්‍ය ඛන්ඩ හා සංකේතන ඇතුලත් කිරීම මඟින් ඔහුට, ෂා-විරෝධී ව්‍යාපාරයේ පන්ති බෙදීම් සඟවා තබමින්, මහජනයාගේ අධිරාජ්‍ය-විරෝධී මනෝභාවයන්ට හා ආර්ථික දුක් ගැනවිලිවලට ආයාචනා කල හැකි විය. පශ්චාත්-විප්ලව කාල පරිච්ඡේදයේ දී එය, “නාස්තිකවාදී” මාක්ස්වාදයට එරෙහිව වඩවඩාත් උත්සන්න කෙරුනු ප‍්‍රචන්ඩ ප‍්‍රහාරයක පිහියා තුඩ ලෙස ක‍්‍රියා කලේය. අවසාන - එහෙත් කිසිසේත් වැදගත්කමින් නොඅඩු - කරුන ලෙස කිවයුත්තේ, නව තන්ත‍්‍රය සිය දේපල සුරකින බවට ධනේශ්වරයට සහතික කරන ඇපකරුවෙකු ලෙස ද එය ක‍්‍රියා කල බවයි. කොමෙයිනි මෙසේ නිවේදනය කලේය: “ඉස්ලාමය පවතිනා තාක් නිදහස් ව්‍යවසායයන් පවතිනු ඇත.” [11]

1979 මැදභාගයේ සිට ඉස්ලාමිය සමූහාන්ඩු පක්ෂය තුල සංවිධානය වූ කොමෙයිනි හා ඔහුගේ ෂියා පූජක ආධාරකරුවෝ ආරම්භයේදී, වමට විරුද්ධ මර්දනය මුදා හැරීම සමඟ අත්වැල් බැඳ ගනිමින්, සමාජ ප‍්‍රතිසංස්කරන සඳහා ඉදිරිපත් කෙරුනු මහජන ඉල්ලීම්වලට යම් අනුග‍්‍රහයන් සැලසූහ. එහෙත් විප්ලවයේ මුල් දෙවසර තුල ගනු ලැබූ “රැඩිකල්” පියවර ගනනාවක් ඉතා ඉක්මනින්ම දියාරු කර දැමීමට හෝ අවලංගු කර දැමීමට ලක්විය. ජනසම්මතයෙන් තේරී පත් වූ මජ්ලිස් සභාවලට යෙදූ තිරිංගයක් ලෙස ක‍්‍රියාකිරීමට සැලසුම් කොට ඇති කෙරුනු, ෂියා පූජකයන්ට පමනක් සීමා වූ රජයේ “අධීක්ෂක” ආයතන මෙම දක්ෂිනාංශික හැරීම බලාත්මක කිරීමේ දී ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කලේය. 1981 හා 1987 අතරතුර දී නීති සම්පාදනය සඳහා කෙරුනු මුල පිරීම් සියයක් පමන භාරකාර කවුන්සිලය විසින් කපා දමනු ලැබුවේ, ඒවා පෞද්ගලික දේපල අයිතිවාසිකම් උල්ලංඝනය කරන හෙයින්, ඉස්ලාම්-විරෝධී යැයි ප‍්‍රකාශ කරමිනි. ඉඩම් හිමිකම් සඳහා උපරිම සීමාවක් පැනවීමේ ඉඩම් ප‍්‍රතිසංස්කරන නීතියක්, කම්කරු අයිතීන් ප‍්‍රසාරනය කෙරෙන පනතක් හා ප‍්‍රගතිශීලි බදු යෝජනා ද ඒ අතර විය.

මෙහිදී කොමෙයිනි තමන්ගේ කොටස ඉටු කලේ, සිය ෂියා ජනතාවාදය මොට කර දැමීමට කටයුතු කරමිනි. මොස්ටසෆින් ලෙස ඔහු හැඳින්වූ පීඩිත ජනයා මත ප‍්‍රශංසා වගුරුවමින්, “කම්කරුවෙකුගේ එක දවසක ජීවිතය සියලු ධනපතියන් හා රදලයන්ගේ මුලු ජීවිත කාලයටම වඩා වටින්නේ යැ”යි ඉහතදී ප‍්‍රකාශ කල ඔහු දැන් බසාරය, උලෙමාවරුන් සහ ඉස්ලාමිය ජනරජය අතර ඇති බැඳුම් පිලිබඳ අවධාරනය කරන්නට විය. බසාරයේ සහාය අහිමිවීම, “ඉස්ලාමිය ජනරජය පෙරලා දැමීම කරා නොවැලැක්විය හැකි ලෙස මඟ පාදනු ඇතැ”යි ඔහු අනතුරු හැඟවීය. [12]

1982 ගිම්හානය ආරම්භයේ දී, සීඅයිඒ සහ බ්‍රිතාන්‍යයේ එම්අයි6 ඔත්තු සේවය විසින් සපයන ලද තොරතුරු යොදා ගනිමින් තුඬේ ක‍්‍රියාධරයන් සියලු දෙනා අත් අඩංගුවට ගැනීමට ඉරාන බලධාරීන් ක‍්‍රියා කරමින්, වධ හිංසා පැමිනවීම මඟින් ලබා ගත් ජ්‍යෙෂ්ඨ තුඬේ නායකයන්ගේ පාපොච්චාරන විකාශනය කරන ලදී. තමන් සෝවියට් සංගමය වෙනුවෙන් ඔත්තු බැලීමේ යෙදුනු බවට පාපෝච්චාරනය කිරීමට කියනුරි හා අන්‍යයන්ට බල කෙරුනු අතර, එපමනකින් නොනැවතී, මාක්ස්වාදය ඉරානයේ යථාර්ථයට ආලෝකයක් විහිදුවීමට අසමත් විදේශීය දර්ශනයක් ලෙස හෙලා දැකීමට ද, ඉස්ලාම් දහමේ ශ්‍රේෂ්ඨත්වය පිලිගැනීමට ද ඔවුන්ට සිදු විය. මෙම ප‍්‍රසිද්ධ ජවනිකා මඟින් ආමන්ත‍්‍රනය කෙරුනේ මාක්ස්වාදය කෙරේ මුල්ලාවරුන්ගේ පැවැති චිරකාලීන වෛරය හා භීතියටයි. පොඩිපට්ටම් වී තුබූ තුඬේ නායකත්වය බාල්දු කිරීම මඟින් එම මාක්ස්වාදයේ අවතාරය ජීවම් කර පලවා හැරීම ඔවුන්ගේ නිෂ්ඵල අපේක්ෂාව විය.

ඔහුගේ අන්තිම කැමති පත‍්‍රය හා තෙස්තමේන්තුව (Vasiyat-nameh-e Elahi va Siyasi) තුල කොමෙයිනි බල කර සිටියේ පෞද්ගලික අයිතිය සහ වෙලඳපොල ක‍්‍රමය ඉස්ලාමිය “සමාජ සාධාරනත්වයේ” මූලයෙහි ම පවතින්නක් බවයි. “ඉස්ලාමය පෞද්ගලික දේපල සුරකින අතර,” කොමියුනිස්ට්වාදය “සියලු දේ - භාර්යාවන් හා සමලිංගිකයන් ද ඇතුලුව - බෙදා ගැනීම වෙනුවෙන් පෙනී සිටී.” [13]

1988 අගෝස්තුවේ ඉරාන-ඉරාක යුද්ධයේ සමාප්තියත් සමඟ - අවුරුදු අටක මෙම බිහිසුනු ගැටුම පිලිබඳව අපට කීමට තවත් දේ ඇත - හා ඉන් දස මසක ඇවෑමෙන් සිදු වූ කොමෙයිනිගේ අභාවයත් සමඟ, උත්තරීතර නායක අයතොල්ලා කමිනි සහ ජනාධිපති හෂෙමි රෆ්සන්ජානි විසින් නායකත්වය දෙන ලද ඉස්ලාමිය ජනරජය, අයිඑම්එෆ් මාදිලියේ “ව්‍යුහාත්මක සීරුමාරු වැඩසටහනක්” සඳහා මුල පිරීය. පෞද්ගලීකරනය, සීමා ලිහිල් කිරීම හා රියාල් මුදල දැවැන්ත ලෙස අවප‍්‍රමාන කිරීම මීට ඇතුලත් විය.

රෆ්සන්ජානිගෙන් පසුව බලයට පත් මොහොමඩ් කටාමි යටතේ ද මෙම පිලිවෙත් දිගටම ක‍්‍රියාත්මක වෙමින් වඩාත් පුලුල් විය. 2004 දී පෞද්ගලීකරන ක‍්‍රියාදාමය වේගවත් කිරීමේ ප‍්‍රයත්නයක් ලෙස තෙහෙරාන් කොටස් වෙලඳපොල “යලි දියත් කිරීමට” ක‍්‍රියා කල රජය පෞද්ගලික බැංකු විවෘත කිරීමට අවසර දුන් අතර, ප‍්‍රමුඛ යටිතල ව්‍යුහය රජය සතුව පැවතිය යුතු බවට වූ සම්ප‍්‍රතිඥාව බැහැර ලමින් ව්‍යවස්ථාවේ 44 වන වගන්තිය සංශෝධනය කලේය.

ඉහල නැගෙමින් පැවැති සමාජ අසමානත්වයට හා දසත පැතිර පැවැති දරිද්‍රතාවයට එරෙහි මහජන විරෝධයට ආමන්ත‍්‍රනය කිරීම මඟින් ඊලඟ වසරේ අහමදිනේජාඩ් ජනාධිපති මැතිවරනය ජය ගත්තේය. එහෙත් ධනේශ්වරයේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ මූලික ආහාර ද්‍රව්‍ය හා සේවා සඳහා සහනාධාර අහෝසි කිරීම අවසාන වශයෙන් සාක්ෂාත් කරන ලද්දේ ඔහුගේ රජය විසිනි. පාන්, ඉන්ධන, විදුලිය, ඖෂධ සහ පොදු ප‍්‍රවාහන සේවා සඳහා වූ සහනාධාර ද මෙම කප්පාදුවට ඇතුලත් විය.

අද දින, ඉරානය තුල සමාජ අසමානතාවය ෂා යටතේ පැවැති මට්ටමට පත්ව ඇත; දස ලක්ෂ ගනනක් විරැකියාවෙන් පෙලෙති - තරුන ජනයාගෙන් සියයට හතලිහක් පමනම මීට අයත්ය. කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යාංශයට අනුව, සියලු ඉරාන කම්කරුවන්ගෙන් හරි අඩක් අනාරක්ෂිත තාවකාලික ගිවිසුම් යටතේ සේවය කරති. (අනෙකුත් අය පවසන පරිදි මෙම ප‍්‍රතිශතය සියයට 80 කට ආසන්නය.) ඉස්ලාමිය විප්ලවවාදී ආරක්ෂක බලසේනාංකයේ සොභේ සදෙක් නම් ප‍්‍රකාශනයේ මෑතකදී පල කෙරුනු වාර්තාවකට අනුව ජනගහනයෙන් අඩක් දරිද්‍රතාවයේ ගිලී සිටිති. මේ අතර ලෝක ධන හා ආදායම් දත්ත ගබඩාවේ ගනන්බැලීම් වලට අනුව, ඉරාන ජාතිකයන් අතර ධනවත්ම සියයට එක රටේ ආදායමෙන් සියයට 16.3 ක් ඒකාධිකාරී ලෙස භුක්ති විඳිති. එය ආදායමේ පහල සිටින සියයට 50ක් භුක්ති විඳින ධනයට වඩා අඩුවන්නේ යන්තමිනි. ඉහලම සියයට 10 සියයට 48.5 ක පංගුවක් සිය පෙට්ටගම්වලට පුරවා ගනිති. එය ඉරාන ජාතික ජනගහනයේ දුගී අර්ධයට ලැබෙන පංගුව මෙන් තුන් ගුනයකට ඉතා ආසන්න වූවකි.

මතු සම්බන්ධයි.

සටහන්:

[5] Ervand Abrahamian, එර්වන්ද් ආබ‍්‍රහමිඅන්, A History of Modern Iran“ නූතන ඉරානයේ ඉතිහාසයක්” හි උපුටා දක්වා ඇති පරිදි(Cambridge: Cambridge University Press, 2008), පි. 62.

[6] එර්වන්ද් ආබ‍්‍රහමිඅන්, Iran Between Two Revolutions “විප්ලව දෙකක් අතර ඉරානය” හි උපුටා දක්වා ඇති පරිදි (Princeton, NJ: Princeton University Press, 1982), පි. 285.

[7] එම, පි. 280.

[8] Fred Halliday, ෆ්‍රෙඞ් හැලිඬේ, Iran: Dictatorship and Development “ ඉරාන ආඥාදායකය සහ සංවර්ධනය” හි උපුටා දක්වා ඇති පරිදි (New York: Penguin Books, 1979), පි. 230.

[9] තුඬේ පක්ෂයෙහි කියනූරි සමග සම්මුඛ සාකච්ඡාව, Middle East Research and Information Project. මැදපෙරදිග පර්යේෂන සහ තොරතුරු ව්‍යාපෘතිය.

[10] එර්වන්ද් ආබ‍්‍රහමිඅන්, Radical Islam: The Iranian Mojahedin සමූලික ඉස්ලාම් - “ඉරානයේ මොජහිදීන්වරු” හි උපුටා දක්වා ඇති පරිදි (London: I. B. Tauris, 1989) පි.196.

[11] Reza Molavi, රේසා මොලාවි, Oil and Gas Privatization in Iran“ඉරානයේ තෙල් සහ ගස් පුද්ගලිකකරනය” හි උපුටා දක්වා ඇති පරිදි (Reading, UK: Ithica Press, 2009), පි. 80.

[12] Radical Islam, “සමූලික ඉස්ලාම් ”හි උපුටා දක්වා ඇති පරිදි, පි. 75.

[13] එර්වන්ද් ආබ‍්‍රහමිඅන්, Khomeinism: Essays on the Islamic Republic “කොමෙයිනිවාදය: ඉස්ලාමීය ජනරජය ගැන ලිපි” හි උපුටා දක්වා ඇති පරිදි(Berkeley: University of California Press, 1993), පි. 42.

Share this article: