ශ්‍රී ලංකාව: කසල ව්‍යසනය පිලිබඳ කම්කරු පරීක්ෂනයේ වාර්තාව ඉදිරිපත් කරන රැස්වීම

Sri Lankan workers’ inquiry meeting to announce findings on garbage disaster

ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව විසිනි, 2018 මාර්තු 17

පසුගිය වසරේ මීතොටමුල්ලේදී සිදුවූ කසල ව්‍යසනය පිලිබඳව සිය පරීක්ෂනයේදී හෙලිකරගත් තොරතුරු එලිදැක්වීම පිනිස ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව අප්‍රේල් 1දා සවස 2.00ට කොලඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේදී රැස්වීමක් පවත්වයි. අඩුම තරමින් 32ගේ ජීවිත බිලිගනිමින් ද නිවාස 146ක් මුලුමනින්ම හෝ අර්ධ වශයෙන් හානියට පත් කරමින් ද දුප්පත් පවුල් 200කට පමන හානි සිදුකරමින් ද පසුගිය අප්‍රේල් 14දා දැවැන්ත කසල කන්ද කඩා වැටුනි.

මෙම සමාජ අපරාධයට හේතුවූ කරුනු සොයා බැලීමට සමාජවාදී සමානතා පක්ෂයේ මූලිකත්වයෙන්, පසුගිය මැයි මාසයේදී කමිටුව පිහිටුවන ලදී. මීතොටමුල්ලේ කසල කන්ද ගොඩගැසෙන්නට පටන්ගත්තේ, දශකයකටත් වැඩි කාලයක් තිස්සේ, ප‍්‍රධානකොටම කොලඹ මහ නගර සභා ප‍්‍රදේශයේ කැලි කසල එහි දැමීම ආරම්භ කිරීමත් සමගින්ය.

ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු හා වෙනත් අනතුරු මුල්කරගෙන ආරම්භයේ පටන්ම ප‍්‍රදේශවාසීන් එයට විරෝධය පල කර තිබුනි. බලයට පත් ආන්ඩු මේ කාරනා නොසලකා හැරියා පමනක් නොව, විරෝධතාකරුවන්ට පහර දීම පිනිස පොලිසිය ද යොදවනු ලැබීය.

පසුගිය වසරේ සිදුවූ ව්‍යසනයෙන් පසුව, පුලුල් ලෙස පැතිරගිය මහජන කෝපය යටපත් කිරීමේ උත්සාහයක් ලෙස, ජනාධිපති මෛෙත්‍රීපාල සිරිසේන, ඒ ගැන “පරීක්ෂා කිරීමට” විශේෂ කොමිසමක් පත් කලේය. කොමිසමේ වාර්තාව පසුගිය මාසයේදී සිරිසේන වෙත භාරදී ඇතත් එහි දැක්වෙන තොරතුරු ප‍්‍රසිද්ධියට පත්කර නැත. එවෙනුවට, සැබවින්ම වගකිවයුත්තන් ආවරනය කිරීමට දඩමීමෙක් සොයා ගනිමින් කොලඹ නාගරික කොමසාරිස්ට පමනක් දඬුවම් දී අත.

ආන්ඩුව වඩාත් උනන්දු වන්නේ, සිය සාපරාධී නොතකා හැරීම වසංකර ගැනීමටය. මාධ්‍ය හා නොයෙකුත් විශේෂඥයින්, ව්‍යසනයට බලපෑ මූලික සමාජ හා දේශපාලන හේතු මුලුමනින්ම පාහේ නොතකා හැර තිබේ.

මීතොටමුල්ල ව්‍යසනය, ජාත්‍යන්තර පරිමානයකින් වැඩකරන ජනතාවට එරෙහිව සිදුව ඇති සමාජ අපරාධ වලින් එකක් පමනි.

පසුගිය මාර්තුවේදී ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර යෝධ කසල කන්දක් කඩාවැටීමෙන් පුද්ගලයින් 115ක් මිය ගියේය. 80 දෙනෙක් තවමත් අතුරුදහන්ව ඇත.

පසුගිය ජූනියේදී ලන්ඩන් නගරයේ ග්‍රෙන්ෆෙල් තට්ටු නිවාසවල ඉදිකර තිබු ගිනිගන්නා සුලු ආවරන ගිනි ඇවිලීම නිසා අඩුම තරමින් පුද්ගලයින් 79 දෙනෙක් මිය ගියේය. නගර සභාව විසින් එවන් අනතුරුදායක ආවරන යොදාගෙන තිබුනේ වියදම් අඩුකර ගැනීම පිනිසය.

ඇමරිකාවේ මිචිගන් ප‍්‍රාන්තයේ ෆ්ලින්ට්හිදී ද නාගරික බලධාරීන්,ගංගාවේ දූෂනයවූ ජලය ප‍්‍රදේශයේ ජල සැපයුමට එක් කිරීම මගින් දස දහස් ගනන් ප‍්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය තත්වය, පරදුවට තැබීය.

වියදම් කැපීම හා කම්කරු පීඩිත ජනතාව කෙරෙහි දක්වන නොතැකීම මෙම ව්‍යසනයන්ට තුඩුදුන්නේය. ආන්ඩුවලට විරෝධය පලකිරීමෙන් හෝ ආයාචනා කිරීමෙන් මේ තත්වය වෙනස් නොවනු ඇත.

පරීක්ෂන කමිටුව මීතොටමුල්ලේ ව්‍යසනය පිලිබඳ පුලුල් පරීක්ෂනයක් පවත්වා ඇත. එහි කටයුතු වලට, ව්‍යසනයෙන් දිවි ගලවාගෙන ඇති අයගෙන් ලබාගත් තොරතුරු, කොලඹ කසල පිලිබඳ වාර්තා පරීක්ෂා කිරීම මෙන්ම අනෙකුත් පාරිසරික හා සෞඛ්‍ය ප‍්‍රශ්න ද ඒ හා සම්බන්ධ ජාත්‍යන්තර වර්ධනයන්, රටේ බලයට පත් ආන්ඩු දක්වා ඇති ප‍්‍රතිචාර හා මේ මූලික ප‍්‍රශ්න විසඳීමට පාලක පන්තීන් අපොහොසත්ව ඇත්තේ මන් ද යන කරුනු පිලිබඳ විමර්ශනයක් ඇතුලත් විය.

ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ අප්‍රේල් 1 රැස්වීම තුල, පරීක්ෂනය හා තොරතුරු පිලිබඳ සවිස්තරාත්මක වාර්තා ඉදිරිපත් කෙරෙනු ඇත. ඉන් පසුව ප‍්‍රශ්න හා පිලිතුරු සඳහා කාලය වෙන්වේ. මෙම වැදගත් රැස්වීමට හා සාකච්ඡාවට එක්වන ලෙස කම්කරුවන්, තරුනයින්, සිසුන් හා උනන්දුවක් ඇති සියල්ලන්ට අපි ආරාධනය කරමු.

ස්ථානය: කොලඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරය

දිනය: 2018 අප්‍රේල් 1

වේලාව: සවස 2.00

Share this article: