ආන්ඩුව ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට යොදාගත් මිලිටරි ඝාතක ජාලය ආරක්ෂා කරයි

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2018 මාර්තු 7

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය ගැන විමර්ශන භාරව සිටි ඉහල පොලිස් නිලධාරියෙකු වූ හේමන්ත අධිකාරී ගල්කිස්ස මහේස්ත‍්‍රාත් විනිසුරු වෙත පසුගිය සතියේ ලබාදුන් ප‍්‍රකාශයකින් හෙලිදරව් වූයේ එම විමර්ශනය කඩාකප්පල් කරදැමීම සඳහා පොලිසියේ ඉහලම නිලධාරීන්ගේ මැදිහත් වීම යටතේ වැඩකටයුතු සිදු කෙරී ඇති බවයි.

ඔහුගේ ප‍්‍රකාශයන්ට අනුව දැනට අත්අඩංගුවේ පසුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසන්න නානායක්කාර, කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ට ඝාතනය සම්බන්ධ තොරතුරු වසන් කිරීමට සහ සාක්ෂි විනාශ කිරීමට උපදෙස් ලබා දී ඇත.

වසර නවයකට පෙර මහ මගදී සිදුකෙරුනු මෙම ඝාතනය සාමාන්‍ය මහජනතාව අතර දැඩි අවධානයකට බඳුන් වූ කම්පනකාරී සිද්ධියක් විය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ වික‍්‍රමතුංග එවක සන්ඩේ ලීඩර් පත‍්‍රයේ ප‍්‍රධාන කතෘ ලෙස වැඩ කරමින් සිටියේය. මේ සා බරපතල අපරාධයක විමර්ශන නොමග යැවීම සඳහා පොලිසියට අවකාශ ලැබෙන්නේ ඝාතනයෙන් පසු ගෙවුනු වසර නවය පුරා පැවති රාජපක්ෂ ආන්ඩුවත්, වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවත් අපරාධය සඳහා යොදාගැනුනු ම්ලේච්ඡ මිලිටරි ඝාතක ජාලය හෙලිදරව් වීම වලක්වාලමින් සිටින නිසාය.

පසුගිය වසරේ මාර්තු මස, පොලීසියේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහේස්ත‍්‍රාත්වරයාට කරුනු දක්වමින් කියා සිටියේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ දිවුරුම් ප‍්‍රකාශයකින් හෙලිදරව් වන පරිදි වික‍්‍රමතුංග ඝාතනය කර ඇත්තේ විශේෂ මිලිටරි ඝාතක කන්ඩායමක් විසින් බවයි. එවක හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂකව සිටි මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරන යටතේ එය ක‍්‍රියාත්මක වී ඇත. එකල, ද නේෂන් පුවත් පතේ ජ්‍යෙෂ්ඨ ලඛකයෙකු වූ කීත් නොයාර්ට බරපතල ලෙස පහර දීම ඇතුලු මාධ්‍යවේදීන්ට එල්ලවූ ප‍්‍රහාර වලට වගකිව යුත්තේ මෙම එකම කන්ඩායම බව ද ප‍්‍රකාශයෙන් එලිවන්නේ යයි රහස් පොලීසිය පැවසීය.

මෙම පැරා මිලිටරි කල්ලියට අනදෙමින් වික‍්‍රමතුංග ඝාතනය කරවීමේ චෝදනාව ෆොන්සේකා විසින් එල්ල කරනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙතයි. තමන්ට එල්ලවන චෝදනා බැහැර කල රාජපක්ෂ, ෆොන්සේකා වෙත ඇඟිල්ල දිගු කරමින් කිහිප වතාවකදීම ප‍්‍රකාශ නිකුත් කලේ "එවන් රහස් කල්ලියක් පැවති බව දැන සිටියේ නම් හමුදාපති වශයෙන් ඔහු (ෆොන්සේකා) ඊට එරෙහිව ගත් පියවර මොනවාදැ"යි අසමිනි.

තමන් සමස්ත හමුදාවේ ආඥාපතිව සිටියදී මෙවන් කල්ලියක් ක්‍රියාත්මක වීම ගැන "නිදහසට කරුනු" ඉදිරිපත් කරමින් ෆොන්සේකා පැවසුවේ "හමුදා බුද්ධි අංශය රාජකාරි මට්ටමෙන් කල කටයුතු හැරෙන්නට ශ‍්‍රී ලංකාවේ සිදු වන අපරාධ පිලිබඳව විමසා බැලීමට හමුදාපතිවරයාට වගකීමක් පැවරී නැති" බවයි.

දැන් දේශපාලන පිලිමලුන් වී සිටින ෆොන්සේකා සහ රාජපක්ෂ මෙලෙස එකිනෙකාට චෝදනා කරන නමුත් ඔවුහු, රාජපක්ෂ ආන්ඩුව දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව ගෙන ගිය යුද්ධයේදී මිලිටරි සංස්ථාපිථයේ ඉහලම පුටුවල හිඳිමින් එකාවන්ව ඊට නායකත්වය දුන්හ. එල්ටීටීඊයට එරෙහිව උතුරේ ගෙන ගිය යුද්ධයේදී වර්ධනය කෙරුනු මිලිටරි යාන්ත‍්‍රනය ආන්ඩුව විසින් දකුනේ සිය දේශපාලන විරුද්ධවාදීන් මැඩලීම සඳහා ද යහමින් යොදාගනු ලැබුනි. එම අපරාධයන් පිලිබඳ වගකීම සෘජුවම දරා සිටින්නන් දෙපලක්, වික‍්‍රමතුංග ඝාතනය කලැයි කියන මිලිටරි කල්ලිය ගැන තමන් "නොදැනුවත්" බවට කරන ප‍්‍රකාශ ප‍්‍රලාපයන් බව වටහා ගැනීම සාමාන්‍ය සිහිබුද්ධියක් සහිත ඕනෑම කෙනෙකුට අපහසු නොවනු ඇත.

වික‍්‍රමතුංග ගේ ඝාතනය සිදුවූයේ රාජපක්ෂ ආන්ඩුවේ වංචා, දුෂන සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩකටයුතු වඩාත් නිරාවරනය වෙමින් පැවති තත්වයක් තුලදීය. එම නිරාවරනයන්ගේ කොටසක් ලෙස වික‍්‍රමතුංග, යුද සමයේ රුසියානු සමාගමකින් මිග් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක දී සිදුවූ දූෂන හෙලි කිරීම නිසා ඔහු ගෝඨාභය රාජපක්ෂගේත් ෆොන්සේකාගේත් දේශපාලන සතුරෙකු බවට පත්වී සිටියේය.

මහින්ද රාජපක්ෂ ඇතුලුව ඔහුගේ ආන්ඩුවේ ප‍්‍රබලයන්ගෙන් සිය ජීවිතයට එල්ල වී ඇති තර්ජනය පිලිබඳව වික‍්‍රමතුංග දැනුවත්ව සිටි බව හෙලි කෙරෙන කතුවැකියක් ඔහුගේ ඝාතනයට පසුව සන්ඩේ ලීඩර් පුවත්පතේ පල විය. එය ඔහුගේ ඝාතනයට පෙර ඔහු විසින්ම ලියන ලද්දකි. එහි සඳහන් වූයේ "අවසානයට මා මරා දමන්නේ නම්, එලෙස මා මරාදමන්නේ ආන්ඩුවයි" යනුවෙනි.

කතෘවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට එලිමහනට පැමිනි ඇති සීමිත කරුනු වලට අනුව පවා පැහැදිලි වන දෙයක් වන්නේ පැවති රාජපක්ෂ ආන්ඩුවේ මුදුනේම සිටි පිරිස් සහ මිලිටරියේ ඉහල නිලයන්ගේ ඒකාබද්ධතාවයෙන් දේශපාලන විරුද්ධවාදීන් විනාශ කිරීම සඳහා ඉතා සංවිධානාත්මක ලෙස දඩයම් කිරීමේ ජාලයක් ගොඩ නගා තිබූ බවයි. වික‍්‍රමතුංග ගේ ඝාතනය වනාහී එම ජාලයේ ක්‍රියාකාරිත්වය ලේවැකි අන්දමින් මුදුන් පමුනුවනු ලැබූ අවස්ථාවකි.

මෙම මර්දන යාන්ත‍්‍රනයන් රාජපක්ෂ පාලන සමයේ හිටි වනම පහල වූ ඒවා නොවන අතර ලංකාවේ අනුප‍්‍රාප්තික ආන්ඩු කම්කරු, පීඩිත මහජනතාවන් අතර තමන්ට එරෙහිව වර්ධනය වන විරුද්ධත්වයට කවර හෝ ප‍්‍රකාශනයක් ලබාදෙමින් ඉදිරියට එන පුද්ගලයන් හෝ සංවිධාන තුරන් කර දැමීම සඳහා කාලයක් මුලුල්ලේ වර්ධනය කරන ලද ක‍්‍රම විධීන්ය.

රාජපක්ෂ පාලන සමයේදී උග‍්‍රවන ධනපති ක‍්‍රමයේ අර්බුදය හමුවේ පෙරලිකාරී වන කම්කරු, පීඩිත මහජනතාවන්ගේ අරගල වලට මුහුන දීම සඳහා පොලිස් රාජ්‍යයක් වර්ධනය කරමින් එම අලුගෝසු ක‍්‍රම විධි වඩාත් මුවහත් කෙරුනි.

අනිත් අතට ඝාතනයෙන් පසු ගෙවී ඇති වසර නමයක කාලයෙන් අවසන් වසර තුනක කාලය තුල බලයේ සිටින සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ ඒ ගැන විමර්ශන ඇදි ඇදී යෑම විසින් පෙන්නුම් කරන්නේ රාජපක්ෂ ආන්ඩුව යටතේ ඉහල තලයකින් ක්‍රියාත්මක කෙරුනු මෙවැනි ම්ලේච්ඡ මෙහෙයුම් මහජනතාවට හෙලිදරව් වීම වලක්වාගැනීමට ආන්ඩුව උත්සාහ ගන්නා ආකාරයයි. අපරාධකරුවන් හෙලිදරව් නොකිරීම ගැන මහජනතාව අතර වර්ධනය වන අප‍්‍රසාදය සමහන් කරගැනීම සඳහා ආන්ඩුවට කඩින් කඩ විමර්ශනය ඉදිරියට ගෙන යන බවට මවා පෑම් කරයි.

වොෂින්ටනයේ පිටුබලය ලැබ 2015 වසරේදී එවක ජනාධිපති රාජපක්ෂ බලයෙන් පහකිරීම සඳහා ක්‍රියාවට දැමූ "තන්ත‍්‍ර මාරුව" සඳහා ඔහුට එරෙහිව විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත‍්‍රිපාල සිරිසේන රාජපක්ෂගේ ආන්ඩුවෙන් පිටවුයේ එම ආන්ඩුවේ වංචා, දුෂන සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක්‍රියාවන් විභාග කර දඬුවම් පමුනුවන බවට සපථ කරමිනි. එතකුදු වුවත් වික‍්‍රමතුංග ඝාතනය ඇතුලු රාජපක්ෂ සමයේ සිදුවූ මිනීමැරුම්, පැහැරගෙන යෑම්, වධ බන්ධනයට ලක්කිරීම් සහ අතුරුදහන් කිරීම් ආදී කිසිවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන අවසානයකට ගෙන ඒම වත්මන් ආන්ඩුව විසින් පසුපසට දමමින් සිටියි.

එය එසේ වන්නේ, ඉමහත් වේගයෙන් වර්ධනය වන, කම්කරුවන්ගේ, තරුනයන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල මෙන්ම දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා, රාජපක්ෂ යොදාගත් ක‍්‍රමවේදයන් රුදුරුම ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමේ අරමුනෙන්, ආන්ඩුව මිලිටරිය මත වඩවඩාත් වාරුවෙමින් සිටිනා බැවිනි. "ලොව කවරෙකුට හෝ ශ්‍රී ලංකාවේ රනවිරුවන්ට අත තැබීමට ඉඩ නොදෙන" බවට ජනාධිපති සිරිසේන යලි යලිත් කරන සපථවීම් පිටුපස පවතින්නේ මෙම අභිලාෂය යි. වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකපිට, හමුදා බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිරිසේන එයට එරෙහිව දැඩි විවේචන එල්ල කලේය. විවේචනයෙන් අනතුරුව උසාවිය විසින් 2016 ඔක්තෝබර් මාසයේදී අත්අඩංගුවේ සිටි බුද්ධි අංශ නිලධාරියෙකු ඇප මත නිදහස් කලේය.

බලයට පත්ව වසර තුනක් ගෙවී යද්දී වත්මන් ආන්ඩුව මහජනතාව අතරින් නැගෙන බරපතල විරුද්ධත්වයකට මුහුන දී සිටී. පසුගිය පලාත් පාලන මැතිවරනයේ දී රාජපක්ෂගේ පොදු ජන පෙරමුනට වැඩි ඡන්ද ප‍්‍රමානයක් ලබාදෙමින් මහජනතාව ආන්ඩුවට ප‍්‍රකාශ කල එම විරුද්ධත්වය ගැන ආන්ඩුව ගැඹුරින්ම කම්පනයට පත් වී ඇත.

එහෙත් අධික නය බර සහ ගෙවුම් ශේෂ හිඟය විසින් තියුනු කර ඇති ආර්ථික අර්බුදය මැද ආන්ඩුව තදින්ම ගැටගැසී සිටින්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු ක්‍රියාත්මක කිරීමටයි. එම කප්පාදුවලට එරෙහිව පැන නගින කම්කරුවන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල මර්දනය කිරීම සඳහා ආන්ඩුවට පවතින සූදානම ප‍්‍රකාශයට පත්කරමින් "රට විනය ගත කිරීමේ" කාර්යය දෑවුරුද්දකට භාර ගන්නා ලෙස පසුගිය වසර මැදදී සිරිසේන ෆොන්සේකාට යෝජනා කලේය.

එහි අර්ථය වනුයේ මිලිටරියේ හෝ පොලීසියේ ප‍්‍රධාන තනතුර භාරගෙන ආන්ඩුවේ වැඩ පිලිවෙලට බාධා කරන්නා වූ වර්ජන, විරෝධතා හා උද්ඝෝෂන නතර කර "රට විනය ගත" කිරීමයි. කැබිනට් තීරන දැනුම් දීම සඳහා පෙබරවාරි 28 පැවති මාධ්‍ය හමුවකදී කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න පැවසුවේ තවත් සති දෙකකින් නීතිය සහ සාමය පිලිබඳ ඇමති ලෙස ෆොන්සේකා පත්කරනු ඇති බවයි.

ආන්ඩුව නියත වශයෙන්ම පොලිස් රාජ්‍යයක් වෙත ගමන් කිරීමට පය පෙරට තබා ඇත. රාජපක්ෂ විසින් එල්ලකර ඇති දේශපාලන අභියෝගය ආපසු හරවා ගැනීම සඳහා එම කඳවුරේ නායකයින්ට විරුද්ධව අන්ඩුව වික‍්‍රමතුංග ඝාතන විමර්ශනය යොදා ගැනීමට ඉඩක් ඇතත් එහිදී තමන්ට අවශ්‍ය කෙරෙන මර්දනකාරී පාලනය වෙනුවෙන් එම ඝාතනය සදහා උපයෝගී කරගත් මිනීමරු පොලිස්-මිලිටරි මෙවලම් දුර්වල වීමට ඉඩ නොතබනු ඇත.

Share this article: