සංවිධානාත්මක ප‍්‍රචන්ඩත්වය හටගත්තේ කෙසේදැයි මුස්ලිම්වරු විස්තර කරති

Sri Lankan president declares emergency rule amid violence against Muslims

රොහන්ත ද සිල්වා හා ගාමිනී කරුනාතිලක විසිනි, 2018 මාර්තු 13

මාර්තු 4දා මහනුවර තෙල්දෙනිය හා දිගන ප‍්‍රදේශවල අන්තවාදී සිංහල-බෞද්ධ කන්ඩායම් විසින් ආරම්භ කරන ලද මුස්ලිම්-විරෝධී ප‍්‍රචන්ඩත්වය දින හතරක් පුරා පැවතුනි. මුස්ලිම් මිනිසුන් හතර දෙනෙකු විසින් කරන ලද පහර දීමෙන් සිංහල ලොරි රියැදුරෙක් මිය යාම, දක්ෂිනාංශික සිංහල-බෞද්ධ සංවිධාන විසින් තම ප‍්‍රහාර දියත් කිරීම සඳහා උපයෝගී කරගෙන තිබුනි.

පොලීස් ඇඳිරි නීතිය මාර්තු 11දා ඉවත් කල ද මහනුවර ප‍්‍රදේශයේ සමාජ ආතතීන් තවමත් තියුනු අන්දමින් පැතිර පවතී. සමහර ස්ථානවල සොල්දාදුවන් රඳවා සිටින අතර පොලීසියේ හා මිලිටරිය වරින් වර මහනුවර නගරයේ හා ප‍්‍රහාරය සිදුවුනු ප‍්‍රදේශවල මුර සංචාරයේ යෙදී සිටිති.

පොලීසිය පවසන ආකාරයට, මිලිටරියේ හා ගුවන් හමුදාවේ 3,250ක් ඇතුලු ආරක්ෂක නිලධාරීන් 7,000ක් යොදවා ඇත. 220කට වැඩි පුද්ගලයන් සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඉන් 161ක් මහනුවර ප‍්‍රදේශයෙන් හා තවත් 69ක් වෙනත් ප‍්‍රදේශවලිනි.

දිගන ප‍්‍රදේශයේ ආරක්ෂක හමුදා රැකවල්

දින කිහිපයකට පෙර ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් තෙල්දෙනිය-දිගන ප්‍රදේශයේ සංචාරය කල අතර ප‍්‍රචන්ඩත්වයෙන් සිදුව ඇති විනාශය පැහැදිලි ව දැකගත හැකි විය. නිවාස හා කඩසාප්පුවලට ප‍්‍රහාර එල්ල කර ගිනිතබා තිබුනි. වැසියෝ තමන්ට එරෙහි ව සිදුකරන ලද විනාශකාරී ප‍්‍රහාරය කෙරෙහි අතෘප්තිය, කෝපය හා බිය පල කලහ.

ලෝසවෙඅ සමග සාකච්ඡා කල පුද්ගලයන් පැවසූ ආකාරයට ප‍්‍රචන්ඩත්වය ඇරඹුවේ ෆැසිස්ට්වාදී මහසොහොන් බලකාය හා බොදු බල සේනා යන සංවිධාන විසිනි. වසර කිහිපයකට පෙර පිහිටුවාගත් මහසොහොන් බලකායේ කාර්යාලයක් දිගන මාර්ගයේ දී දැකගත හැකිය. සිංහල ජාතිය හා බුද්ධාගම “ආරක්ෂා කරනවා” යයි කියන මෙම සංවිධාන දෙක මුස්ලිම්වරුන්ට එරෙහි ප‍්‍රහාර පිලිබඳ ව කුප‍්‍රකට ය. කෝලාහලයට මූලිකත්වය ගැනීම පිලිබඳ ව සැකපිට මහසොහොන් බලකායේ නායක අමිත් වීරසිංහ හා තවත් නායකයින් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එක් අයෙක් ලෝසවෙඅ වෙත මෙසේ පැවසී ය: “මේ විනාශයට මූලික වෙලා ඉන්නෙ මහසොහොන් බලකාය. ඒකෙ ප‍්‍රධානියෙක් වන අමිත් වීරසිංහ (යකා) අවුරුදු තුන කට පෙර දිගන ටවුමේ කල මැදිහත්වීමක් ගැන වීඩියෝ අපි ලඟ තියෙනවා. එයා කියන්නෙ දිගනෙ කොලයක් බෙදා ගන්න සිංහල කඩයක් නෑ. ඔක්කොම මුස්ලිම් කඩවල්, දිගන මුස්ලිම් රාජ්‍යයක්.”

මැරයන් විසින් හානි කල මුස්ලිම් පල්ලියක්

තරුනයෙක් මෙසේ කීවේ ය: “අපිට ගැහුවෙ මේ පලාතෙ සිංහල-බෞද්ධ මිනිස්සු නෙවෙයි. ඔය කියන අන්තවාදී කන්ඩායම් තමයි මේ ගිනිතැබීමයි විනාශයයි කෙරුවෙ. කෙන්ගල්ලෙ විතරක් කඩවල් 25ක්, ගෙවල් 50ක් විතර විනාශ කලා. මුස්ලිම් පල්ලියටත් හානි කලා. එදා මේක ගිනි ජාලයක් කලු දුමාරයෙන් මුලු පලාත ම වැහිල තිබුන.”

“සිංහල අය අපිට සහෝදරයො වගේ උදවු කලා. අපිට ආරක්ෂාව ලබා දුන්නෙ ඒ අය. අපිට වෙච්ච දේට ඒගොල්ලන්ට හරි දුකයි... වෙසක් කාලෙට අපිම උයල මෙතැන දන්සල් දෙනවා. අපි කියන්නෑ රියදුරා මරපු හතර දෙනා හරියි කියල, ඒත් අහිංසක අපිට ගැහුවෙ ඇයි?”

තවත් පුද්ගලයෙක් පැවසුවේ, අන්තවාදී තරුන තරුනියන් බොහෝ දෙනෙක් ප‍්‍රදේශයට පැමිනියේ මෝටර් සයිකල්වලින්. ලොරියකින් ද කන්ඩායම් පැමිනියා. පෙට්රල් බෝම්බ, යකඩ හා ලී පොලු සහ ගල් ප‍්‍රහාරයට යොදාගෙන තිබේ. විනාශය බොහෝසෙයින් සීසීටීවී කැමරාවල වාර්තාගතවී ඇති අතර මැරයින් රෙදිවලින් තමන්ගේ මුහුනු ආවරනය කරගෙන සිටි අතර පොලීසිය ප‍්‍රචන්ඩත්වයට ඉඩ දී බලා ඉඳ ඇත.

පහර දුන් නිවසක් ඇතුලත

එක්සත් ජාතික පක්ෂයේ (එජාප) හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) ආන්ඩුව කරන්නේ කුමක්දැයි බලා සිටින බව පැවසූ එම පුද්ගලයා, අධ්‍යාපනය පුද්ගලීකරනයට විරුද්ධ ව විරෝධතාවේ යෙදෙන සරසවි ශිෂ්‍යයන්ට එරෙහි ව ආන්ඩුව පොලීසිය යොදා සිදු කල පහරදීම් ගැන ද සඳහන් කලේ ය.

“මාර්ග බාධක හා කඳුලු ගෑස් යොදාගෙන ඒගොල්ලන්ට කිලෝමීටර් ගානක් දිග විරෝධතා පෙලපාලි නවත්තන්න පුලුවන් වුනත් කිහිප සියයක මැරයන්ට විරුද්ධ ව කිසිම දෙයක් කලේ නෑ. මැරයො ඇවිල්ල පහර දීල ඊට පස්සෙ ආපහු යනව...නුවර දේශපාලකයො හිටියෙ නිදාගන. ඒගොල්ලො මේ ගැන කිසි දෙයක් කලේ නෑ.”

ලොරි රියදුරාගේ මරනය ගැන එම පුද්ගලයා ශෝකය පලකලේ ය. “එයා හරි හොඳ කෙනෙක්. මුස්ලිම් කට්ටියට හරි හිතවත්.”

එම්. සහීඩ්

එම්. සහීඩ් මෙසේ කීවේ ය: “මැරයන්ට ඕන කලේ අපි ව කේන්ති ගස්සල ප‍්‍රතිප‍්‍රහාරයට පොලඹවල අපිට අයිඑස්අයිඑස්වරු කියල කියන්න. ඒත් අපි සාමයට කැමති මිනිස්සු, බහුතර සිංහල මිනිස්සු ඉන්නෙ අපිත් එක්ක. ආහාර, ඉඳුම් හිටුම් වගේ ම තාවකාලික නවාතැන් දීල ඒගොල්ලො අපිට උදවු කරනව.”

කුවේට් රාජ්‍යයේ සේවය කරන රිස්වි ඔහුගේ පවුලේ ආරක්ෂාව ගැන කනස්සල්ල නිසා පසුගිය සතියේ ආපසු මෙරටට පැමිනියේ ය.

“මම හැමදාම මගේ පවුලෙ අයට කතා කරනවා. ප‍්‍රහාරය පටන් අරන් දවසකට පස්සෙ උදේ 10.30ට විතර මම ඒගොල්ලන්ට කතා කලා. කිසි ප‍්‍රශ්නයක් නැහැ කියල මගේ බිරිඳ කිවුවත් පැය දෙකකට පස්සෙ තත්ත්වය හොඳ නැහැ කියල මම දැනගත්ත.” පසුව දුරකථනයට කිසිවෙක් පිලිතුරු නො දුන් නිසා කුවේට්හි ඔහු වැඩ කරන සාප්පුවේ සිට හඬාවැටුනේ ය.

“අන්තිමේදී මගේ බිරිඳයි ලමයි දෙන්නයි බිරිඳගෙ නෑනයි එයාගෙ අවුරුදු 8 හා 2 දූල දෙන්නයි කැලේ හැංගිලා ඉන්නව කියල දැනගත්ත. ඒගොල්ලො එතන පැය තුනක් විතර බයේ ගැහි ගැහි ඉඳල තියනව” යයි ඔහු කීවේ ය.

“සිංහල කාන්තාවක් ඒගොල්ලන් ව දැකල එයාගෙ ගෙදරට එක්කගෙන ගිහිල්ල. එයාගෙ මහත්තයයි දුවයි ඒ වෙලාවේ වැඩටගිහිල්ල හිටියෙ. ඒත් ඈ නිර්භීත ව ඒගොල්ලන් ව ඇතුලට අරගෙන තේයි කෑමයි දීල ඔක්කොම දොරවල් වහල ඒගොල්ලන් ව ආරක්ෂා කරලා තියෙනවා.”

රිස්විගේ බිරිඳ හා ලමුන් මුහුන දුන් භීෂනකාරී තත්ත්වය ප‍්‍රදේශයේ බොහෝ මුස්ලිම් ජනයා මුහුන දෙන තත්ත්වයට උදාහරනයකි.

තම පිලිස්සුනු පොත් පත් අවුස්සන සිසුවියක්

ලෝසවෙඅ වාර්තාකරුවෝ දිගන ප‍්‍රදේශයේ මුස්ලිම් වැසියන් සමග ද කතා කලහ. එම වැසියන් පවසන ආකාරයට මැරයන් හිස් මිනීපෙට්ටියක් ගෙනැවිත් දිගන ප‍්‍රදේශයේ නව නගරයේ සිට ප‍්‍රහාර ආරම්භ කරන ලදී. ප‍්‍රහාරය ඇරඹූ 500 දෙනා අතර බෞද්ධ භික්ෂුවක් සිටියේ ය. එක් කන්ඩායමක් කෙන්ගල්ලට ගිය අතර තවත් කන්ඩායමක් දිගන ප‍්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන හා නිවාසවලට පහර දුනි. මැරයන්ට සහයෝගය දීම පිලිබඳ ව ප‍්‍රදේශ වාසීන් පොලිස් කොමාන්ඩෝ භටයන්ට චෝදනා කර තිබේ.

මොහොමඩ් මෙසේ කීවේ ය: “මේක දිගන අතුරු පාරක්. අපි ඔවුන් මෙහාට එයි කියල හිතුවෙ නැති හින්ද හැංගෙන්න වෙලාවක් තිබුනෙත් නැහැ. විනාශ වෙච්ච බඩු අතරට රුපියල් දහස් ගනනක් වටින සිගරැට් හා දුරකථන කාඩ් තිබුන. අපේ ෆ්‍රිජ් එකටයි ටීවී එකටයි හානි වුනා.”

දිගන ප‍්‍රදේශයේ වැසියන් ගනනාවක් නිවාසවලින් පලාගොස් ගොස් තිබේ. “සිංහල මිනිස්සුත් එක්ක අපි සාමයෙන් ජීවත් වුනා. ඒගොල්ලො අපිත් එක්ක හරි හිතවත්. (සිංහල රියදුරාට පහරදුන්) හතර දෙනාට වෙච්ච දේ ගැන අපිට ගානක් නෑ, ඒත් අපිට පහර දුන්නෙ ඇයි? අපේ පුතා පොඩි ව්‍යාපාරයක් පටන් ගත්ත විතරයි එයාගෙ කන්තෝරුව විනාශ වුනා. ඉස්සරහ දොර කැඩිල, ෆාතිමා බීබී පැවසුවාය.

“මේ සිද්ධිය වෙනකොට මගේ දුවයි එයාගෙ බබයි ගෙදර හිටිය, ඒත් පස්සෙ ආරක්ෂිත ස්ථානයක හැංගුනා. ඒගොල්ලන්ගෙ පුංචි දුව අඬයි කියල බයට රෙදි පටියකින් එයාගෙ කට බැන්ද” යයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

මෙම වර්ගවාදී ප‍්‍රහාර මුලාවීමක් නිසා හටගන්නා ඒවා නොව, නිශ්චිත ආකාරයකට සිදුව ඇති දේය. බොදු බල සේනා, සිහල රාවය හා මහසොහොන් බලකාය වැනි ෆැසිස්ට්වාදී සංවිධාන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයේ සිටිය දී දිරිමත් කරනු ලැබූ අතර වත්මන් ආන්ඩුව විසින් ඒවා පෝෂනය කරයි.

මාර්තු 10දා අගමැති රනිල් වික‍්‍රමසිංහ ඔහුගේ සිංහල හා මුස්ලිම් කැබිනට් ඇමතිවරුන් සමග විනාශ වූ ප‍්‍රදේශවල සංචාරය කලේ ය. හානියට පත්වූවන්ට වන්දි ගෙවීමට පොරොන්දු වූ ඔහු ඇමතිවරුන් හා ආන්ඩුවේ විවිධ නිලධාරීන් සහභාගි වූ රැස්වීමකට සහභාගී විය. මුස්ලිම්-විරෝධී ප‍්‍රහාර නිසා නිවාස 465ක් -86ක් මලුමනින්, 196ක් පාර්ශවීයව හා 182ක් සුලු වසයෙන්- සහ කඩසාප්පු හා වාහන හානියට පත් ව තිබේ.

ප‍්‍රහාරයෙන් මුලුමනින් විනාශ වූ නිවසක්

තම සැබෑ උත්සුකය කුමක්දැයි ඉඟිකරමින් වික‍්‍රමසිංහ, ප‍්‍රචන්ඩත්වය සංචාරක කර්මාන්තයට “අභියෝගයක්” යයි ප‍්‍රකාශ කරමින් ”එක්සත් කම හා සහජීවනය ගැන මහජනයා දැනුවත් කරන ලෙස බෞද්ධ භික්ෂූන්ට ආයාචනා කලේ ය.

වික‍්‍රමසිංහගේ අදහස් නරුමත්වයෙන් හා කුහකත්වයෙන් පිරී තිබේ. කොමිසම් හෝ දේශපාලන ආයාචනා කුමකින්වත් පවතින අන්තවාදී ප‍්‍රචන්ඩත්වයේ මූලික හේතුව ඉවත් නො කරනු ඇත.

බෞද්ධ සංඝ නායක්ත්වය සහ බලයට පත් සෑම ආන්ඩුවක්ම, කම්කරු පන්තිය බෙදීමටත් පාලක ප‍්‍රභූ පැලැන්තියේ බලය හා වරප‍්‍රසාද රැකගැනීමටත් දෙමල හා මුස්ලිම්-විරෝධී වර්ගවාදය දිරිමත් කර ඇත. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව හා රාජපක්ෂ නායකත්වය දෙන විපක්ෂය විසින් මෙම ප‍්‍රතිගාමී බලවේග දිරිගැන්වීම, ඔවුන් රටේ ගැඹුරු වන ආර්ථික හා දේශපාලන අර්බුදයට දක්වන සෘජු ප‍්‍රතිචාරය යි.

Share this article: