ආන්ඩුවේ තර්ජන හා වෘත්තීය සමිතිවල සීමා කිරීම් තිබියදී විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් කොලඹ දී විරෝධතාවක් පවත්වයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 මාර්තු 8

පෙබරවාරි 28 වෙනිදා සිට අඛන්ඩ වැඩ වර්ජනයක යෙදී සිටින විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයෝ ආන්ඩුවේ තර්ජන හා වෘත්තීය සමිතිවල සීමා කිරීම් තිබිය දී අඟහරුවාදා කොලඹ දී පාගමනක් සහ විරෝධතා උද්ඝෝෂනයක් පැවැත්වූහ. විරෝධතා උද්ඝෝෂනයට උතුර-නැගෙනහිර විශ්ව විද්‍යාල ඇතුලුව දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල සහ අනුබද්ධ ආයතන නියෝජනය කරමින් දෙදහසකට අධික සේවකයෝ සහභාගී වී සිටියහ. කොලඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසලින් පාගමන ආරම්භකර විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම (යූජීසී) දක්වා ගමන් කල අනධ්‍යන සේවකයයන් එහි දී උද්ඝෝෂනයක නිරත විය. විරෝධතාව කැඳවුම් කලේ විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසිනි.

ආන්ඩුව එකඟ වූ හිලව් දීමනාව වහා ලබාදෙනු, අත්හිටුවා ඇති භාෂා දීමනාව යලි ගෙවනු, දේපල නය සීමා ඉවත් කරනු, විධිමත් විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් ක්‍රියාත්මක කරනු සහ වැටුප් විෂමතා ඉවත් කරනු ආදී ඉල්ලීම් සහිත පුවරු ප‍්‍රදර්ශනය කරමින් උද්ඝෝෂකයෝ සටන් පාඨ හඬ නැගූහ.

කොලඹ දී පාගමනට සහ විරෝධතාවට සහභාගිවූ අනධ්‍යන කම්කරුවෝ

ආන්ඩුවේ පොරොන්දුවලට යටත් කරමින් යලි යලිත් සේවකයන්ගේ අරගලයට ඇබ ගැසීමක යෙදී සිටින වෘත්තීය සමිතිවලට පෙබරවාරි 28 වෙනිදා වර්ජනය සහ අඟහරුවාදා උද්ඝෝෂනය කැඳවීමට බල කෙරුනේ ආන්ඩුව දුන් පොරොන්දු කඩ කිරීමට එරෙහිව සේවකයන් අතර වැඩී ඇති බරපතල කෝපය හා වර්ධනය වන නොසන්සුන්තාවය නිසාවෙනි.

කෙසේ නමුත් සවස ඒකාබද්ධ කමිටු සාකච්ඡාවක් තිබෙන බව ප‍්‍රකාශ කරමින් පැයක පමන කෙටි කාලයක් ඇතුලත උද්ඝෝෂනය අවසන් කිරීමට සමිති නායකයෝ වග බලා ගත්හ.

කම්කරුවන් ආමන්ත‍්‍රනය කල ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ ඇතුලු සමිති නිලධාරීන්, අනධ්‍යන සේවකයන්ගේ විරෝධය, හුදෙක් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිට එරෙහිව යොමු කරමින් යලිත් ආන්ඩුව ගැන මිත්‍යාවන් වැපිරීමට උත්සාහ කලේ ය. ඉල්ලීම වලට විශ්ව විද්‍යාල පරිපාලන නිලධාරීන්ගේ සහයෝගය පලකෙරී ඇති බව ප‍්‍රකාශ කල මල්වත්තගේ ”අද විසඳුමක් නොදුන්නොත් හෙට ශිෂ්‍යයොත් එකතු වෙනවා. අරගලය ජයග‍්‍රහනය දක්වා පෙරට ම ගෙන යන” බව ට වහසි බස් දෙඩුවේය.

ජාතික සේවක සංගමයේ සම ලේකම්, ගයාන් නිමේෂ් පීරිස්, ”අලුතෙන් පත් වී සිටින ඇමති තුමා ප‍්‍රශ්න වලට විසඳුම් දියයුතු බව කීවත් ඇතුලේ ඉන්න නිලධාරි වන්දි භට්ටයෝ එක එක කේලම් කියමින් අපේ සටන පාවා දෙන” බව පැවසුවේය.

ඒකාබද්ධ කමිටු සාමාජික ධම්මික ප්‍රියන්ත මෙසේ පැවසීය: “වෘත්තීය ඉල්ලීම් ලබා දීමේ ප‍්‍රධාන බාධකය වෙලා තියෙන්නේ විශ්වවිද්‍යාාල ප‍්‍රතිපාදන කොමිසම. පැහැදිලිවම කියනවා නම් එහි සභාපති හා උප සභාපති.” උසස් අධ්‍යාපන ඇමතිට සහ ආන්ඩුවට සුදුහුනු ගාමින් ඔහු කීවේ “ගරු කබීර් හෂීම් ඇමතිතුමා ඉතා පැහැදිලිව අපේ සාකච්ඡාවේ දී ලබාදුන් එකඟතා අනුව මේ ඉල්ලීම් ඉටු කල යුතුයැයි පවසා තිබුනත් උප සභාපති එතුමාව නොමඟහැර තියෙන” බවයි.

මෙම සියලුම සමිති වර්තමාන ආන්ඩුව බලයට ගෙන ඒමට සහයෝගය දුනි. ආන්ඩුවට විරුද්ධව මතුවන කවර හෝ අරගල දුර්මුඛ කර විසුවා හැරීම ඔවුන්ගේ ප‍්‍රධාන භූමිකාවකි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කතාකල විශ්ව විද්‍යාාල සේවකයකන් ආන්ඩුව කෙරෙහි කෝපය මෙන් ම වෘත්තීය සමිති වල ක්‍රියා කලාපය ගැන නො සතුට පල කලහ.

රුහුනු විශ්ව විද්‍යාාලයේ තාක්ෂනික සේවකයෙකු ආන්ඩුව වරින් වර පොරොන්දු දුන් නමුත් ඒවා කඩ කර ඇති බව සඳහන් කලේ ය. “2015 ඉඳල හිලව් දීමනාව ගෙවන්න ආන්ඩුව පොරොන්දු වුනා. අවුරුදු දෙකක් ගෙවල ඒක නතර කලා. දැන් මුදල් ප‍්‍රතිපාදන නැහැයි කියනවා, නමුත් ආන්ඩුවේ මැති ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන සහ සැප පහසුකම් සලසන්න ආන්ඩුවට මුදල් තියෙනව. අපි වැටුප් වැඩි වීමක් ඉල්ලන්නේ ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න බැරි නිසා.”

“ජීවන වියදම දිනපතා ඉහල යන කොන්දේසි යටතේ, ලැබෙන වැටුපෙන් කිසිසේත් ම ජීවත් විය නොහැකි බව කොලඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ තාක්ෂනික සේවකයෙක් ප‍්‍රකාශ කලේ ය. මාසෙකට දල වැටුප රුපියල් 30,000 විතර වෙනවා. නමුත් කැපිල කෙටිල අතට එන්නේ රුපියල් 16,000 ක් පමන මුදලක්. යහපතක් වෙයි කියල හිතාගෙන මේ ආන්ඩුවට චන්දය දුන්නත් හැම ආන්ඩුවක් ම කරන්නේ කම්කරුවන් රැවට්ටවීම” බව ඔහු කීවේය.

විවිධ කම්කරු අරගලයන්හි ඉල්ලීම් අතර යම් වෙනස්කම් තිබුනත් ආන්ඩුවේ ආර්ථික කප්පාදු පිලිවෙත් සමග එම ඉල්ලීම් සෘජුව ගැටෙන කොන්දේසි යටතේ කම්කරු පන්තියේ පොදු අරගලයක් සංවිධානය කිරීම වෘත්තීය සමිති විසින් පැහර හැරීම ගැන විමසු විට එය ගැටලූවක් බව ඔහු සඳහන් කලේ ය.

“සියලුම කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කරනවා නම් කම්කරු පන්තියේ ඉල්ලීම් සඳහා වඩා ශක්තිමත් අරගලයක් සංවිධානය කරන්න පුලුවනි. නමුත් එහෙම එකක් ගැන සමිති නායකයෝ කතා කරන්නේ වත් නැහැ”යි ඔහු පැවසීය.

මොරටුව විශ්ව විද්‍යාලයේ කම්කරුවෙකු පැවසුවේ කිසිදු දේශපාලන පක්ෂයක් ගැන විශ්වාසයක් නැති බවයි. “ජවිපෙ බලයට ඇවිල්ලා රට හදන බව කිව්වට ඒ ගොල්ලෝ බලයට ආවොත් තත්වය මීටත් වඩා නරක් වෙනවා. ඔබ කියනවා වගේ කම්කරු පන්තියට ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි.”

ලංකා විදුලිබල මන්ඩලයේ සමිති නායකයන්ට එරෙහි දඩයම ගැන විමසු විට එය හෙලාදුටු කැලනිය විශ්ව විද්‍යාලයේ කම්කරුවෙක් “ඒකෙන් පැහැදිලි වෙන්නේ රාජපක්ෂ ආන්ඩුව වගේම මේ ආන්ඩුවත් කම්කරුවන් මර්දනය කරන බව” යයි පැවසුවේ ය.

මුදල් ප‍්‍රතිපාදන නොමැතිබව කියමින් ආන්ඩුව දැනටමත් සේවක ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කර ඇති අතර කවර හෝ වෘත්තීය සමිති ක්‍රියාවක් නීති විරෝධී ලෙස සලකා කටයුතු කරන බවට යූජීසී සභාපති මොහාන් ද සිල්වා වෘත්තීය සමිති වලට තර්ජනය කර ඇත. එය හුදෙක් සමිති නායකයන් කම්කරුවන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කරන ආකාරයට සිල්වාගේ තනි තීන්දුවක් මත කෙරුන තර්ජනයක් නොවේ. එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග යටතේ ආන්ඩුව ක්‍රියාවට දමමින් සිටින කම්කරු පන්තියේ රැකියා වැටුප් හා ජීවන තත්වයන්ට එල්ල කරන ප‍්‍රහාරවලට එරෙහිව මතු වන කවර හෝ විරුද්ධත්වයක් රුදුරු ලෙස මර්දනය කරන බවට ආන්ඩුව ගෙන ඇති තීන්දුවකි.

ආන්ඩුව එම තීන්දුව ගෙන ඇත්තේ තම අයිතීන්ට එල්ල වන ප‍්‍රහාරවලට විරුද්ධව දුම්රිය, තැපැල්, වරාය ලංකා විදුලි බල මංඩලය, සෞඛ්‍යය ආදී වශයෙන් එකක් පසුපස එකක් කම්කරු පන්තියේ අරගල පුපුරා එන තතු තුල ය.

වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධ ඉල්ලීම් මත ජනවාරි 17 වෙනිදා ලංකා විදුලි බල මංඩලයේ කම්කරුවන් කල උද්ඝෝෂනය නීති විරෝධී බව ප‍්‍රකාශ කරමින් ආන්ඩුව එහි සමිති නායකයන් 6 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත. පානීය ජල ප‍්‍රශ්නයක් මත පසුගිය සතියේ උද්ඝෝෂනයක යෙදුන තඹුත්තේගම ගොවීන්ට ආන්ඩුව මෘග පොලිස් ප‍්‍රහාරයක් එල්ල කලේ ය. සිංහල අන්තවාදීන් අම්පාරේ සහ නුවර තෙල්දෙනියේ කරන ලද වාර්ගික ඇවිස්සීම් කඩතුරාවක් කර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අඟහරුවාදා සිට රට පුරා හදිසි නීතිය ප‍්‍රකාශයට පත් කර ඇත. මේවා කම්කරු පන්තිය හා මහජනතාව ත‍්‍රස්ත කිරීමේ සහ ඔවුන්ගේ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් ඩීමේ පොලිස් රාජ්‍ය විධි ක‍්‍රමයන් ය.

වෘත්තීය සමිති නායකයන් උත්සාහ කරන්නේ අනධ්‍යන සේවකයන් ඇතුලු කම්කරු පන්තිය මුහුන දෙන මෙම තීරනාත්මක දේශපාලන ප‍්‍රශ්න යට ගසා ආන්ඩුවේ පොරොන්දුවකට යටත් කර අරගලය යලිත් පාවා දීමට ය. අනධ්‍යන සේවකයන් එයට ඉඩ නොදිය යුතුය. ආන්ඩුවේ ඒජන්තයන් ලෙස ක්‍රියා කරමින් අරගලය පාවා දෙන වෘත්තීය සමිතිවලින් බිදී සෑම විශ්ව විද්‍යාාලයක් තුල ම තම ඡන්දයෙන් පත් කර ගන්නා ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගනිමින් සිය අරගලය බලගතු ලෙස සංවිධානය කිරීමට සහ තමන් හා සමාන ප‍්‍රහාරවලට මුහුන දී සිටින කම්කරු පන්තියේ අවශේෂ කොටස් සමග ඒකාබද්ධ වූ අරගලයක් සංවිධානය කිරීමේ සටන ඔවුන් තමන් අතට ගත යුතුය.

එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග යටතේ ආන්ඩුව ක්‍රියාවට දමන ආර්ථික කප්පාදු පිලිවෙත් හා කම්කරු පන්තියට එරෙහි පොලිස් රාජ්‍ය සැලසුම්වලට විරුද්ධව සමාජවාදී පිලිවෙතක් ක්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමේ සටන හා බද්ධ වූ අරගලයක් විය යුතු ය.

Share this article: