ධනපති මාධ්‍ය විශ්ව විද්‍යාල සේවක අරගලයට එරෙහිව ශිෂ්‍යයන් උසි ගැන්වීමේ තැතක

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2018 මාර්තු 26

“වර්ජනය නිසා පව් ගෙවන සරසවි සිසුවෝ” යන හිසෙන් මාර්තු 22 දා කතු වැකියක් ලියා ඇති ලංකාදීප පුවත්පත විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක අරගලයට එරෙහිව ශිෂ්‍යයන්, ඔවුන්ගේ දෙමව්පියන් සහ මහජනයා ඇවිස්සීමේ උත්සාහයක යෙදී ඇත.

සියලු විශ්ව විද්‍යාල අකර්මන්‍ය වීඇති තත්වය යටතේ “මෙය දැන් රටේ සියලු විශ්ව විද්‍යාල සිසුන්ගේත් ඔවුන්ගේ මව්පියන්ගේත් ගැටලුවක් බවට පත් වී තිබේ” යැයි කතුවැකිය සඳහන් කරයි.

ආන්ඩුව පොරොන්දු වූ හිලව් දීමනාව ගෙවීම, වෛද්‍ය රක්ෂන ක්‍රමයක් සහ විශ්‍රාම වැටුපක් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන පෙබරවාරි 28 වන දා ආරම්භ කල අනධ්‍යන සේවක වර්ජනයට මාසයකට ආසන්න කාලයක් ගත වී ඇත. වර්ජනය දිග්ගැස්සීමට වගකිව යුත්තේ විශ්ව විද්‍යාල සේවකයන් නොව, පොරොන්දු කඩකරන සහ ජීවන තත්වයන්ට හා සේවා කොන්දෙසිවලට පහර එල්ල කරන ආන්ඩුවයි.

සියයට 20 වැටුප් ඉල්ලීම දීමට ආන්ඩුව තවමත් එකඟ වී නැති බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මාධ්‍යයට පවසා ඇත. “අපි පසුගිය සති කිහිපය තුල උසස් අධ්‍යාපන ඇමති කබීර් හසීම් සහ උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති මොහාන් ග්‍රේරෝ මුන ගැසුනෙමු. ගැටලුව පිලිබඳව සලකා බලන බව ට ඔවුන් දෙදෙනාම පොරොන්දු විය. එහෙත් කිසිවෙකුත් එය (වැටුප් ඉල්ලීම) ගෙවීමට මෙතෙක් පොරොන්දු වී නැත”.

වර්ජනය, 150,000 වන අභ්‍යන්තර සහ බාහිර සිසුන්ට මෙන් ම, විශ්ව විද්‍යාල හා අනුබද්ධ ආයතනවල ජලය, විදුලිය සැපයුම, විද්‍යාගාර, පැල තවාන්, පර්යේෂන සත්ව ගොවිපොලවල් පවත්වාගෙන යාම, විභාග ප්‍රශ්න පත්‍ර සැකසීම හා මුද්‍ර්‍රනය සහ පරිපාලන සේවාවන් ට ද බල පා ඇත.

පිම්මේ ඉහල යන ජීවන වියදම සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජමුඅ) නියෝග යටතේ ධනපති පාලක පන්තිය විසින් ක්‍රියාවට දමනු ලබන කප්පාදු පිලිවෙත් යටතේ රැකියා සුරක්ෂිත භාවය සහ අනාගතය පිලිබඳ අවිනිශ්චිත කොන්දේසි තුල අනධ්‍යන සේවකයන් ගේ සාධාරන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත්තේ ආන්ඩුව විසිනි. ඔවුන්ගේ ඉල්ලීම් ලබා දීමට ප්‍රතිපාදන නොමැති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ප්‍රකාශ කරන අතර වර්ජනය නීති විරෝධී බව එහි සභාපති මොහාන් ද සිල්වා කියා ඇත. එය වර්ජනයට එරෙහිව වඩා මර්දනකාරී පියවර ගැනීමට ආන්ඩුවේ පවතින සූදානම පිලිබඳ ඉඟියකි.

එමෙන් ම විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව හා ප්‍රතිපාදන කොමිසමේ බලධාරීන් අතර පැවති අවසන් සාකච්ඡාවේ දී සේවකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් තමන්ගේ ලන්සුව “බින්දුව” යයි සභාපති සිල්වා විසින් කර ඇති ප්‍රකාශය මගින් යලිත් ඇඟවුම් කර ඇත්තේ අනධ්‍යන සේවකයන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට ආන්ඩුව නුසුදානම් බවය.

වර්ජනය නිසා ශිෂ්‍යයන් හා ඔවුන්ගේ දෙමව්පියන් මුහුන දෙන අපහසුව ගැන කිඹුල් කඳුලු හෙලමින් ලංකාදීප කතුවැකිය මගින් සේවකයන්ගේ වර්ජනයට එරෙහිව මහජන මතයක් සහ ප්‍රකෝපකරනයක් නිර්මානය කිරීමට උත්සාහ කර ඇත්තේ එවන් තතු තුලය.

ධනපති මාධ්‍යයන් මෙවන් ප්‍රකෝපකරනයන් සහ මර්දනයන් සඳහා මංපෙත් සපයා දෙනුයේ කම්කරු අරගලයන් ට එරෙහිව පමනක් නොවේ. සෑම ශිෂ්‍ය අරගලයකදීම පාහේ, මහජනතාවගේ දෛනික කටයුතු වලට සහ අනෙකුත් සිසුන්ගේ අධ්‍යාපන අයිතියට “බාධා” සිදු වෙතැයි චෝදනා කරමින් සිසුන්ට එරෙහිව ද මහජනතාව උසි ගැන්වීමේ සහ රාජ්‍ය මර්දනය සාධාරනීකරනයේ තුච්ඡ වෑයමක මෙම මාධ්‍යයන් නිරන්තරව යෙදී සිටී.

ලංකාදීප කතු වැකිය පල වූ මාර්තු 22 දා ම යාපනය විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරි විසින් කල පැමිනිල්ලකට අනුව විශ්ව විද්‍යාල දොරටුව අභියස විරෝධතාවයේ යෙදී සිටි වර්ජිත සේවකයන් ඉවත් කිරීමට පොලීසිය විසින් පියවර ගත්තේ ය.

ලංකාදීප කතුවැකිය තව දුරටත් මෙසේ සඳහන් කරයි “මේ රජය බලයට පත් වීමෙන් පසුව රුපියල් දස දහසකින් රජයේ සේවකයන් ට කල වැටුප් වැඩිවීම සරසවි අනධ්‍යන සේවකයන් ට ද ලැබිනි. නිරතුරුව වැටුප් සහ දීමනා ලබා ගැනීමට සටන් කිරීම මගින් රටේ මහ ජනතාවත් කල කිරීමට පත්වන බව සිහි තබා ගනිමින් හැකි ඉක්මනින් වැඩ වර්ජනය අවසන් කිරීමට නම්‍යශීලී වන්නැයි ඉල්ලා සිටීමට කැමැත්තෙමු.”

මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික්‍රමසිංහ ආන්ඩුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 ක දීමනාවක් ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ ආන්ඩුව යටතේ දිගට ම වැටුප් කැටිකර තැබීම සහ ජීවන තත්වයන්ට එල්ල කල ප්‍රහාර කෙරෙහි කම්කරු පන්තිය තුල පැවති කෝපය ගසාකමින් ආන්ඩු බලය අල්ලා ගැනීමට දුන් පොරොන්දුවක් ලෙසය. එහෙත් පොරොන්දු වූ පරිදි එම දීමනාව ද මුලුමනින් ම තවමත් මූලික වැටුපට එකතු කර නැති අතර පසුගිය වසර තුන තුල සිදු වී ඇති අත්‍යවශ්‍ය භාන්ඩ සහ සේවා මිල ඉහලයාම මගින් රුපියල් 10,000 වැඩි කිරීම වාෂ්ප කර දමනු ලැබ ඇත.

පාලක පන්තියේ මෙන් ම, ධනපති මාධ්‍ය වල ද සැබෑ උත්සුකය යොමු වී ඇත්තේ ජාමුඅ නියෝග වලට අනුව ආන්ඩුව ක්‍රියාවට දමන ප්‍රහාර වලට එරෙහිව සමස්ත වැඩ කරන ජනතාව තුල වර්ධනය වන බරපතල කෝපය සහ නොසන්සුන්කම පිලිබඳවය. වෘත්තීය සමිතිවල සීමා කිරීමේ හා මග ඇවිරීම් තිබියදීම පසුගිය මාස කිහිපය තුල දුම්රිය, විදුලිබල, තෙල්, තැපැල්, වරාය, ජල සම්පාදන, සෞඛ්‍යය, රජයේ මිනින්දෝරු සේවකයන් ඇතුලු කම්කරු පන්තියේ විවිධ කොටස් අතර අරගල පැන නැගුනේ මෙම ප්‍රහාරවලට එරෙහිව ය.

අනෙක් අතට ඒවා ධනපති ආන්ඩුවල ආර්ථික කප්පාදු පිලිවෙත් වලට විරුද්ධව ලෝක පරිමානව සිදුවෙමින් පවතින ජාත්‍යන්තර කම්කරු පන්තියේ රැඩිකලීකරනයක කොටසකි. එවන් තතු තුල දිග්ගැස්සෙන අනධ්‍යන සේවක අරගලයට කම්කරු පන්තියේ සෙසු කොටස් ද ආකර්ෂනය වනු ඇතැයි ධනපති පාලක පන්තියත්, මාධ්‍යයත් තැති ගෙන සිටිති.

එවන් තත්වයක් ඇතිවීම ගැන ලංකාදීප කතුවැකිය ආන්ඩුවට මෙලෙස අනතුරු අඟවයි. “විශ්ව විද්‍යාල පද්ධතිය අඩපන වීමෙන් ගොඩ නැගෙන අසහනය රටේ වෙනත් ආයතන වලට ද පැතිරයාමට ඉඩකඩ ද බැහැර කල යුතු නැත. එසේම මේ ගැටලු අනධ්‍යන සේවයේ දෙතුන් දහසකගේ ප්‍රශ්නයක් යයි සිතා කටයුතු කිරීම ද අනුවන කමකි”.

කෙසේ නමුත් ගැඹුරුවන ලෝක ධනවාදයේ අර්බුදය විසින් ශ්‍රී ලංකාව තුල වඩ වඩා තීව්‍ර කෙරෙන ආර්ථික අර්බුදය තුල වැඩකරන ජනතාවගේ ආර්ථික ඉල්ලීම් මෙන් ම මහජනතාවගේ සමාජ සුබසාධන පවත්වා ගෙන යාමේ හැකියාවක් ධනපති ආන්ඩු වලට නැත. නියම කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරන රටතුල ක්‍රියාවට දැමීම පිලිබඳව දෙසැම්බර් මාසයේ යලි සමාලෝචනයක යෙදුන ජාමුඅ කොටස් තුනකින් ශ්‍රී ලංකාවට දීමට පොරොන්දු වූ ඩොලර් බිලියන 1.45 හි අවසන් කොටස වූ ඩොලර් මිලියන 251.4 මුදා හැරීමට එකඟ වී ඇත්තේ රාජ්‍ය ආයතන පුද්ගලීකරනය හා ප්‍රතිව්‍යූහකරනය, සමාජ සුබ සාධන කප්පාදුව හා අයවැය පරතරය පහත හෙලීම ඇතුලු යෝජිත ආර්ථික ප්‍රතිසංස්කරන තවත් කඩිනම් හා ක්‍රමවත් කිරීමේ නියෝගය සහිතවය.

ආන්ඩුව මෙතෙක් ක්‍රියාවට දමා ඇති ආර්ථික ප්‍රතිසංස්කරන ගැන ප්‍රසාදය පල කරමින් ජාමුඅ නියෝජ්‍ය ක්‍රියාකාරී අධ්‍යක්ෂ මිට්සුහිරෝ ෆුරුසාවා මෙසේ සඳහන් කර ඇත: “ඉදිරියට යාමේ දී, ඇතිකරගත් ප්‍රගතිය මත පාදක වෙමින් සහ මූල්‍ය සහ බාහිර උපද්‍රවයන් තවදුරටත් අඩුකර ගැනීම සඳහා ප්‍රතිසංස්කරන කඩිනම් කරමින් (ආර්ථිකය) ගොඩනැගීම වැදගත් ය.”

ජාමුඅ නියෝග වලට අනුව වැඩකරන ජනතාවගේ වැටුප්, රැකියා හා නිදහස් අධ්‍යපනය සෞඛ්‍ය ඇතුලු සමාජ සුබසාධන කැපීම හැර ආන්ඩුවට වෙනත් මගක් නැත. විශ්ව විද්‍යාල සේවකයන්ගේ, මෙන් ම කම්කරු පන්තියේ අවශේෂ කොටස්වල ද ශිෂ්‍යයන්ගේ සහ ගම්බද දුගීන්ගේ ඉල්ලීම් ද සෘජුව ම ගැටෙන්නේ පාලක පන්තියේ මෙම පිලිවෙත සමගය.

මෑත සෑම අරගලයක දීම පෙන්නුම් කෙරුන පරිදි ආන්ඩුව නියැලී සිටින්නේ පොලිස් රාජ්‍ය විධික්‍රම යොදා ගනිමින් එම අරගල මෘග ලෙස මැඩලීමක ය.

එහෙත් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සේවකයන් මුහුන දෙන මෙම තීරනාත්මක ප්‍රශ්න මුලුමනින් ම නොතකා හරිමින් ඔවුන්ගේ අරගලය වටා අවශේෂ කම්කරුවන් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් හා ආචාර්යවරුන් බලමුලු ගන්වා ගැනීම ද ප්‍රතික්ෂේප කර ඇත. එමගින් ඔවුන් දැනුවත්වම නිරතව සිටින්නේ සේවකයන්ගේ අරගලය හුදකලා කර විසුරුවා ලීමේ ප්‍රයත්නයක යි. ඔවුන් උත්සුකව සිටින්නේ, තිරයට පිටුපසින් හා සේවකයන්ට හොරෙන් කෙරෙන සාකච්ඡා මගින් ආන්ඩුව සමග ඇති කර ගන්නා සම්මුතියකින් අරගලය නතර කිරීමට ය.

එමෙන් ම විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය හා ව්‍යාජ වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් පාලනය කරනු ලබන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබය) සහ සෙසු වෘත්තීය සමිති කටින් බතල සිටුවීම වැනි සටනට “සහයෝගය” දීමේ කනින් කොනින් නිකුත් කරන ප්‍රකාශ වලට සීමා වෙමින් අනධ්‍යන සේවක අරගලය මුලුමනින් ම හුදකලා කිරීම මගින් ආන්ඩුවේ අත ශක්තිමත් කරනු ලැබ ඇත.

රාජ්‍ය මර්දනයට සහ ධනපති ජනමාධ්‍යයන් හි ප්‍රකෝපකරනයන්ට එරෙහිව විශ්ව විද්‍යාල සේවක අරගලය ආරක්ෂා කිරීමට සහ ආන්ඩුවේ ආර්ථික කප්පාදු පිලිවෙත්වලට එරෙහිව සමාජවාදී වැඩ පිලිවෙලක් මත පාදක වූ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමට පෙරට එන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා එහි තරුන සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය (සසජාතශි) කම්කරුවන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටී.

Share this article: