වෘත්තීය සමිති ගැන විශ්වාසයක් නොමැතිබව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ වර්ජිත කම්කරුවෝ පවසති

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 මාර්තු 7

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ වර්ජිත අනධ්‍යන කම්කරුවෝ

වැඩි වැටුප් ඇතුලු ඉල්ලීම් කීපයක් මත, විශ්ව විද්‍යාල අනධ්‍යන කම්කරුවන් ආරම්භ කල අඛන්ඩ වැඩ වර්ජනයට දින 9 ක් ගතව ඇත. දිවයිනේ සෑම රජයේ විශ්ව විද්‍යාලයක්ම නියෝජනය කරමින් 15,000 කට අධික කම්කරු පිරිසක් වර්ජනයට සහභාගි වී සිටීම හේතුවෙන් සියලු විශ්ව විද්‍යාලවල වැඩ කටයුතු අඩාලව පවතී. වර්ජනය කැඳවා ඇත්තේ, වෘත්තීය සමිති එකතුවක් වන විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව (වෘසඒක) විසිනි.

2015 පැවති මූලික වැටුපට සමාන මාසික හිලව් දීමනාවක් ඉල්ලා, 2016 දී අනධ්‍යන කම්කරුවන් වර්ජනයට පිවිසි අවස්ථාවේ, වසරකට සියයට 20 බැගින් එම දීමනාව වැඩිකොට 2020 වන විට ඉල්ලා ඇති සම්පූර්න දීමනාව ලබා දෙන බවට උසස් අධ්‍යාපන අමාත්‍යංශය පොරොන්දු වූ බව පවසමින් වෘසඒක, තමා විසින් කැඳවූ එම වර්ජනය දින 12 කට පසු නතර කලේය. නමුදුු, 2017දී සහ 2018 දී එම දීමනාව වැඩි නොකෙරුනි.

වසර දෙකක් ගතවන තුරු මෙයට එරෙහිව කවර හෝ ක්‍රියා මාර්ගයක් ගැනීමෙන් වැලකී සිටි වෘසඒක, සාමාජිකයන් අතර වර්ධනය වූ බලගතු විරෝධය හමුවේ 2018 ජනවාරි 25 සහ පෙබරවාරි 6, 7 යන දිනයන්හි සංකේත වර්ජනයන් කැඳවීය. ආන්ඩුව දිගින් දිගටම දීමනාව වැඩි කිරීම ප‍්‍රතික්ෂේප කරන තතු යටතේ සාමාජිකත්වය අතර ඩී ඇති නොසන්සුන්තාව හේතුවෙන්ම වෘසඒක ට මෙම අඛන්ඩ වැඩ වර්ජනය කැඳවීමට සිදු විය.

මෙම තතු යටතේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් පිරිසක් 04 වන දා සවස පේරාදෙනිය රජවත්තේ පිහිටි විශ්ව විද්‍යාල නිල නිවාසයන්හි පදිංචිව සිටින අනධ්‍යන සේවකයන් මුන ගැසුනි. ඔවුන් සියලු දෙනාම පාහේ පැවසුවේ ඉසිලිය නොහැකි ජීවන වියදම හමුවේ මෙම දීමනාව අත්‍යවශ්‍ය බවත්, එය ලබා ගැනීම සඳහා ගෙනයන අරගලයේ අධිෂ්ඨානවත්ව නිරතව සිටින බවත්ය.

තම සටන පිලිබඳව දීර්ඝ සාකච්ඡාවක නිරත වූ එදිරිසිංහ නැමැති සේවකයකු මෙසේ ප‍්‍රකාශ කලේය: “ඉස්සර අපි වැටුප් අරගල වලට එනකොට අධ්‍යයන, අනධ්‍යයන, ශිෂ්‍ය යන සියලු දෙනාගේම උදව් උපකාර තිබුනා. ඒත් අද කොටස් කොටස් වෙන් කරල තියෙන්නෙ. ඒත් අපේ දීමනා කොහොම හරි ලබා ගන්න ඕනෑ. ඒ නිසා සටන අත් නොහැර දිගටම ගෙනියන්නයි අපේ අදහස. ඉහල ශ්‍රේනි වල වැටුප දෙගුනයකින් විතර වැඩි කරල, අපිට සියයට 35 ක් විතරයි මෙතෙක් වැඩි කරල තියෙන්නේ. ජීවත් වෙන එක දැන් ලොකු ප‍්‍රශ්නයක්. ඒ නිසා මේ වැඩිවීම අත්‍යවශ්‍යයි.”

මෙම මාසික දීමනාව ලබා දීම ආන්ඩුව විසින් දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කෙරෙන්නේ, වෘත්තීය සමිති නායකත්වය පවසන අයුරු උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ හෝ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාගේ දුෂ්ටත්වයක් නිසා නොව, විශාල ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින ආන්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවා ඇති රාජ්‍ය වියදම් කප්පාදු වල ප‍්‍රතිඵලයක් ලෙස බව වාර්තාකරුවෝ ඔහුට පෙන්වා දුන්හ. කම්කරුවන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ සෑම අරගලයක්ම ආන්ඩුවේ මෙම පිලිවෙත් සමග සහ ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ අවශ්‍යතා සමග සෘජුව ගැටෙන බැවින් එම අරගල ජයග‍්‍රහනය කල හැක්කේ ධනපති ක‍්‍රමයට එරෙහි කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයකින් බව ද වාර්තාකරුවෝ පැහැදිලි කලහ.

වෘත්තීය සමිති මගින් කෙරෙන්නේ එවන් දේශපාලන අරගලයක් සඳහා මංපෙත් අහුරනු වස්, ආන්ඩුවට බලපෑම් දැමීමේ විරෝධතාවන්ට කම්කරුවන් කොටු කොට තැබීම බව පැවසූ විට එදිරිසිංහ මෙසේ පැවසීය: “ලංකාවේ අනධ්‍යන කම්කරුවන්ගේ වර්ජනය ගැන බැලුවමත් ඔය අය කීව දේ හරි බව තේරෙනවා. මල්වත්තගේ (වෘසඒක සභාපති) වාගෙ අය ගැනත් අපිට එහෙම තමයි කියන්න තියෙන්නේ. කබීර් හෂීම් ඇමැති කමට ආවට පස්සෙ එයාගෙ ජවය අඩුවෙලා තියෙන්නෙ. එයා කරල දෙයි කියල දැන් බලාන ඉන්නෙ. ඒකම පාවා දීමක් තමා. ඇමැතිවරු හැමදාම කරේ බොරු ලියුම් දෙන එක විතරයි.”

යොදන බලපෑම විශාල වූ විට ආන්ඩුව නම්මවා ගත හැකි වෙතැයි යන්න සමිති නිලධරය කම්කරුවන් අතර වගාදිගා කරන අදහසයි. මෙය ප‍්‍රකාශයට පත් කරමින් වෙනත් අනධ්‍යන කම්කරුවකු මෙසේ පැවසීය: “අපි සටන දිගටම ගෙනියනවා. අපිට තවත් හයිය ලැබිල තියෙනව ශිෂ්‍යයින් අපිත් එක්ක ඉන්න නිසා, අපි කොහොමත් මේ අරගලය ජය ගන්නවා.”

ධනේශ්වර දේශපාලනයේ යෙදී සිටින සමිති නිලධරය විසින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයක් වර්ධනය කිරීමට එරෙහිව තොරොම්බල් කරන “කම්කරු සටන් වලට දේශපාලනය එපා” යන සූත‍්‍රයෙන් අවමංගතව සිටින ඔහු “ඔය අය මොනවටද එන්නෙ කියල හොඳට තේරෙනවා. දේශපාලනය අරගෙන එන්ට එපා” යනුවෙන් වාර්තාකරුවන්ට පැවසීය.

මාර්තු 2 වන දා පේරාදෙනිය විශ්වවිද්‍යාල භූමියේ පැවති අනධ්‍යන කම්කරුවන්ගේ රැස්වීමට සහභාගිවී සිටි කම්කරුවන් සමග ද කතා කිරීමට ලෝසවෙඅ වාර්තාකරුවන්ට හැකි විය. ඔවුන් පැවසුවේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පමනක් අනධ්‍යන කම්කරුවන් 2700 ක් පමන වර්ජනයට සහභාගි වී සිටින බවයි.

එක් කම්කරු කාන්තාවක් මෙසේ පැවසුවාය: “ආන්ඩුවේ සහ සමිතිවල ප‍්‍රතිචාර බැලුවම පැහැදිලිව පේන්නෙ මේ වර්ජනයත් කිසිම දෙයක් නොලබාම නතර කර දමන බවයි. සමිති නායකත්වය ගැන කිසිම විශ්වාසයක් මට නෑ.”

වෛද්‍ය පීඨයේ සේවයේ නියුතු තාක්ෂනික කම්කරුවෙකු කියා සිටියේ, තමා සාමාජිකත්වය දරන විශ්ව විද්‍යාල තාක්ෂනික නිලධාරීන්ගේ සංගමයේ නායකත්වය සාමාජිකත්වයෙන් කවර හෝ විමසීමක් නොකොට ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස වර්ජනයට සහභාගි නොවීමට තීන්දු ගත් බවයි. “ඒ ගැන සාමාජිකත්වය අතර තියෙන්නෙ දැඩි කලකිරීමක්. ඒ සංගමයෙ සාමාජිකයො 340 ක් අපේ විශ්ව විද්‍යාලෙ ඉන්නව. ඒ සියලු දෙනාම වගේ නායකත්වයෙ තීරනය ප‍්‍රතික්ෂේප කරල වර්ජනයට සම්බන්ධ වෙලා ඉන්නවා.”

තාක්ෂනික නිලධාරි සංගමයේ තවත් සාමාජිකාවක් කියා සිටියේ තම සංගමයේ මොරටුව විශ්ව විද්‍යාල ශාඛාව නිලධරයේ තීරනයට එරෙහි යෝජනාවක් සම්මතකර ගනිමින් වර්ජනයට සහභාගිවීමෙන් තමාටද ශක්තිය ලැබුනු බවයි.

“එක සමිතියකට විතරක් බැඳෙන්නෙ නැතිව තවත් සමිතියකටත් බැඳිල ඉන්න එක හොඳයි. එතකොට එකක තීරන වලට යටත් වෙල ඉන්න ඕන නැතැ” යි ඇය පැවසුවාය. සමස්තයක් ලෙස වෘත්තීය සමිති සියල්ල ධනේශ්වර උපකරන බවට පත්ව ඇතැයි යන අවබෝධය ඇයට නොමැති නමුදු ඇයගේ ප‍්‍රකාශයෙන් එලිමහනට පැමිනෙන්නේ වෘත්තීය සමිති සම්බන්ධයෙන් පවත්නා බලගතු අවිශ්වාසයයි.

අරගලය තම අතට ගැනීම සඳහා කම්කරුවන් වෘත්තීය සමිති වලින් බිඳී වෙන්විය යුතු බවත්, තම අරගලය ඉදිරියට ගෙනයාමේ නව සංවිධාන රූපයන් ලෙස, ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගැනීමට පෙරට ආයුතු බවත් පැහැදිලි කරමින් කල සාකච්ඡාවට ඇය ඇතුලු කම්කරුවන් කීප දෙනෙක් උනන්දුවෙන් සහභාගි වූහ.

Share this article: