විශ්ව විද්‍යාල අනධ්‍යන කම්කරු අරගලය වටා අනෙකුත් කම්කරුවන් බලමුලු ගන්වමු !

සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රකාශයකි, 2018 මාර්තු 24

විශ්ව විද්‍යාල අනධ්‍යන කම්කරුවන්ගේ වර්ජනය දින 23 ක් ඉක්මවමින් ඉදිරියට යමින් පවතී. වැඩි වැටුප්, වෛද්‍ය රක්ෂනයක් සහ විශ‍්‍රාම වැටුපක් ඇතුලූ ඉල්ලීම් කීපයක් මත පෙබරවාරි 28 දා ආරම්භ කෙරුනු මෙම වර්ජනය ලංකාවේ මෑතක පැවති දීර්ඝතම වැඩ වර්ජනය යි.

ආන්ඩුව අනධ්‍යන කම්කරුවන්ගේ ඉල්ලීම දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කරන අතරේ, වර්ජනය කැඳවූ විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවට සාකච්ඡාවක් හෝ ලබාදිය හැක්කේ වැඩ වර්ජනය නවතා දැමුවහොත් පමනක් බවට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති මොහාන් ද සිල්වා තර්ජනය කලේය.

ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ, මාර්තු 16 දා, මාධ්‍යයට පැවසුවේ මුදල් අමාත්‍යංශය සහ අගමැති සම්බන්ධීකරන ලේකම් සමග පැවැත්වූ සාකච්ඡා ද මුලුමනින්ම අසාර්ථක වූ බැවින් වර්ජනය ඉදිරියට ගෙනයාම හැර අන් විකල්පයක් නොමැති බවයි.

මේ අතර, උසස් අධ්‍යාපන ඇමති කබීර් හසීම් මාධ්‍යයට පවසා තිබුනේ, මාර්තු 18 වන දා තමා සහ ඒකාබද්ධ කමිටුව අතර පැවති සාකච්ඡාව අනුව, 20 වන දා වන විට ප‍්‍රශ්නය විසඳන ලෙස උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ෙග්‍ර්රෝ ට උපදෙස් දුන් බවයි.

කෙසේ නමුත්, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව සමග මාර්තු 22 දා පැවැත්වූ සාකච්ඡාවද විසඳුමකින් තොරව අවසන් වූ බව ඒකාබද්ධ කමිටුව පවසයි. තමාගේ ලන්සුව “බින්දුව” බව පවසමින් “ ඔ ෙබ් ලන්සුව කුමක්දැ”යි සභාපති ද සිල්වා ඇසූ බවත් “අපේ ලන්සුව දුන් නමුත්” මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් කවර හෝ ප‍්‍රතිචාරයක් නොමැති බව ඒකාබද්ධ කමිටුව තවදුරටත් කියයි.

අනධ්‍යන කම්කරුවන්ගේ ඉල්ලීම් මුලුමනින්ම ප‍්‍රතික්ෂේප කරමින් සිටින ආන්ඩුවට එරෙහිව වචනයකුදු කතා නොකරන සමිති නායකත්වය දොස් පවරනුයේ කොමිසමේ සභාපති මොහාන් ද සිල්වා ඇතුලු නිලධරයටයි.

ආන්ඩුව විසින් තම ඉල්ලීම් නොතකා සිටීම සම්බන්ධයෙන් අනධ්‍යන කම්කරුවන් තුල වැඩී ඇති කෝපය සමහන් කරනු වස්, ඒකාබද්ධ කමිටුව විසින් මාර්තු 20 දා කැඳවූ විරෝධතා පා ගමනට 4000 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වීමෙන් යලිත් පෙන්නුම් කෙරුනේ සටන ඉදිරියට ගෙනයාම සඳහා කම්කරුවන් තුල පවත්නා අධිෂ්ඨානය යි.

සමිති නායකයන් ආන්ඩුව සමග වැසුනු කාමර වල ලන්සු තැබීම් කරගෙන යද්දී ආන්ඩුව අනෙක් පසින් වර්ජිත කම්කරුවන්ට එරෙහි මර්දනය අරඹා ඇත. මාර්තු 22 වන දා, යාපනය විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා ලවා පොලීසියට පැමිනිල්ලක් ඉදිරිපත්කල ආන්ඩුව, විශ්ව විද්‍යාලයේ ප‍්‍රධාන දොරටුව අසල විරෝධතාවයේ යෙදී සිටි අනධ්‍යන කම්කරුවන් ඉන් ඉවත් කිරීමට කටයුතු කලේය. ඉහත පැමිනිල්ල මත පොලීසිය විසින් ලබාගත් අධිකරන නියෝගයක් මේ සඳහා යොදාගෙන තිබුනි. -විශ්ව විද්‍යාල ප‍්‍රවේශය අවහිර නොවන, පරිපාලනයට සහ සිසුන්ට බාධා නොවන සහ විශ්ව විද්‍යාල දේපොල වලට හානි නොවන- අයුරින් හැසිරෙන ලෙස, අනධ්‍යන වෘත්තීය සමිති නායක එස්. කලාරාජ් සහ තවත් අනධ්‍යන කම්කරුවන් 25 දෙනෙකුට පනවා ඇති මෙම නියෝගය ඕනෑම මොහොතක ඔවුන් දඬුගැසීම සඳහා යොදාගත හැක.

යාපනය විශ්ව විද්‍යාලයේ අනධ්‍යන කම්කරුවන්ට පමනක් නොව, වර්ජනයේ යෙදී සිටින සියලුම අනධ්‍යන කම්කරුවන්ට එරෙහිව එවන් අධිකරන නියෝගයක් නිකුත් කිරීමේ අන්තරාය පවතී.

ආන්ඩුවේ මෙම ප‍්‍රතිචාරයන් හමුවේ, සියයට 5ක සොච්චම් වැටුප් වැඩි කිරීමකට වර්ජනය පාවා දීම සඳහා ඒකාබද්ධ කමිටුව අර අදිමින් සිටින බව පහල සාමාජිකත්වය පවසයි.

සමාජවාදී සමානතා පක්ෂය, සමිති නිලධරයේ ෙද්‍රා්හී භූමිකාව අනාවරනය කරමින් වර්ජනය ආරම්භයේ ම අනධ්‍යන කම්කරුවන්ට ඉදිරි දර්ශනයක් සම්පාදනය කලේය. “විශ්ව විද්‍යාල අනධ්‍යන කම්කරුවන් සඳහා ඉදිරි මාවත” යන හිසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කල එම ඉදිරි දර්ශනයෙන් සසප මතුකල වැදගත් කරුනු යලි අවධාරනය කරන්නෙමු.

අපි මෙසේ කීවෙමු: “වර්ජිත අනධ්‍යන කම්කරුවන් පලමුකොටම වටහාගත යුත්තේ ඉල්ලීම් නොලැබෙන්නේ ඇමතිවරුන්ගේ හෝ නිලධාරීන්ගේ දරදඬුභාවය නිසා නොවන බවයි. මෙය වෘත්තීය සමිති නිලධරය විසින් සාමාජිකත්වය නොමග යැවීම සඳහා දැනුවත්ව ගොතන බොරුවකි. ඊට විපරීතව, මෙම ඉල්ලීම් නොලැබෙනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලගතු ලෙස එයට එරෙහිව සිටින බැවිනි.”

එමෙන්ම “කම්කරු-පීඩිත මහජනතාවට එරෙහි ධනේශ්වරයේ ප‍්‍රහාරය ජාත්‍යන්තර වන්නාසේම, එම ප‍්‍රහාරයන්ට එරෙහිව දැවැන්ත පරිමාන කම්කරු පන්තික අරගල පැන නැගීම ද ජාත්‍යන්තර” වන බව පෙන්වා දුනිමු.

අධ්‍යාපන ක්ෂේත‍්‍රය පමනක් හෝ සැලකුවද මෙය පැහැදිලිය. නයිජීරියාවේ සහ කෙන්යාවේ විශ්ව විද්‍යාලයන්හි අධ්‍යන සහ අනධ්‍යන කම්කරුවන් වැඩි වැටුප් ඉල්ලා ගෙනයන අරගලයන් ද එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍යයේ ලක්ෂ සංඛ්‍යාත ගුරුවරුන් සහ සිසුන් අධ්‍යාපනයට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට එරෙහිව ගෙනයන අරගලයන් ද මෙම ජාත්‍යන්තර රැඩිකලීකරනයේ ප‍්‍රකාශනයන් ය.

මෙම තතු තුල, අනධ්‍යන කම්කරුවන්ට තම ඉල්ලීම් සාක්ෂාත් කල හැක්කේ, ආන්ඩුවට සහ සමස්ත ධනපති ක‍්‍රමයට එරෙහි දේශපාලන අරගලයකින් බව අපි පෙන්වා දුන්නෙමු. එමෙන්ම, ධනපති පන්තියේ උපකරනයන් වන වෘත්තීය සමිති එවන් අරගලයකට පරම වශයෙන්ම සතුරු බවත් ඒවා සෑම විටම උත්සාහ දරන්නේ කම්කරුවන් මුහුන දෙන ප‍්‍රශ්න ධනපති ක‍්‍රමයේ නිර්මිතයන් බව වසන් කරමින් ධනේශ්වර පද්ධතිය ආරක්ෂා කිරීම බවත් අපි පැහැදිලි කලෙමු.

“විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව කෙරෙහි කවර හෝ විශ්වාසයක් නොතබන ලෙසත්, අරගලය තම අතට ගැනීම සඳහා වෘත්තීය සමිතිවලින් මුලුමනින්ම බිඳී වෙන්වී, කම්කරුවන්ගේ ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාකච්ඡා මගින් තීන්දු සහ තීරන වලට එලැඹෙන්නා වූ ස්වාධීන ක්‍රියාකාරී කමිටු සෑම විශ්ව විද්‍යාලයකම ගොඩනගා ගන්නා ලෙසත්, අනධ්‍යන කම්කරුවන්ගෙන්” සසප ඉල්ලා සිටියේය.

ආන්ඩුවේ නරුම නොතැකීම සහ සමිති වල ෙද්‍රා්හී භූමිකාව බැරෑරුම් ව සලකන යමෙකුට පැහැදිලිව පෙනෙනුයේ සසප ඉදිරිපත් කල ඉදිරි දර්ශනය මත පාදක නොවී අනධ්‍යන කම්කරු අරගලයට දශමයකුදු ඉදිරියට යා නොහැකි බවයි.

එම ඉදිරි දර්ශනයට අනධ්‍යන කම්කරුවන් ආකර්ශනය වෙතැයි බියවැදී සිටින සමිති නිලධරය, අනධ්‍යන කම්කරුවන් අතර මැදිහත් නොවන ලෙස සසප සාමාජිකයන්ට තර්ජනය කරන අතරේ සසප සමග සාකච්ඡා නොකරන ලෙස සාමාජිකත්වයට බල කරමින් සිටී. සසප සාමාජිකයන්ට කායිකව පහර දීමට සහ කම්කරුවන් අතර බෙදා හරිමින් සිටි ඉදිරි දර්ශන පත්‍රිකා උදුරා ගැනීමට සමිති නිලධරය කීපවිටක්ම දැරූ උත්සාහයන් පහල සාමාජිකත්වයේ ආධාරය ද සහිතව පරාජය කිරීමට සසප ට හැකි විය.

වේගයෙන් ඉහල යන ජීවන වියදම හමුවේ, අනධ්‍යන කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම මුලුමනින්ම යුක්ති යුක්තය. එමෙන්ම, පිරිහෙමින් පවත්නා මහජන සෞඛ්‍ය සේවය සහ පුද්ගලික රෝහල්වල ඉසිලිය නොහැකි අයකිරීම් හමුවේ තම ජීවිත අනතුරේ වැටී ඇති බව හගින කම්කරුවන් වෛද්‍ය රක්ෂනයක් සඳහා කරන ඉල්ලීම අතිශයින්ම සාධාරනය.

තම මූලික අවශ්‍යතාවයන් සඳහා ලබා ගන්නා ඉමහත් නය කන්දරාව හේතුවෙන්, විශ‍්‍රාම යාමේදී ඔවුනට ලැබෙන සොච්චම් අර්ථ සාධක අරමුදල වාෂ්ප වී යන තත්වයක් තුල විශ‍්‍රාම වැටුපක් සඳහා ඔවුන් කරන ඉල්ලීම ද වැදගත් අර්ථභාරයක් දරයි.

අනධ්‍යන කම්කරුවන්ට එල්ල කෙරී ඇති ප‍්‍රහාරය සමස්ත කම්කරු පන්තියට එල්ල කෙරී ඇති ප‍්‍රහාරයේ කොටසක් වන අතර ඔවුනගේ ඉල්ලීම් වලින් ප‍්‍රකාශයට පත් වන්නේ සමස්ත කම්කරු පන්තියේ දැවෙන අවශ්‍යතාවයන් ය.

අනෙක් අතට, අනධ්‍යන කම්කරුවන්ගේ සටන මූලික වශයෙන්ම අභිමුඛ වී ඇත්තේ මහජන අධ්‍යාපනයට එල්ල කෙරෙමින් පවත්නා ප‍්‍රහාරයට බැවින් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් වැද සිටින සිසුන් මෙය තමාගේම අරගලයක් ලෙස සලකා එය වටා එක්විය යුතු වෙයි.

ව්‍යාජ-වාම දේශපාලන සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් නායකත්වය දෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය එවන් ඒකාග‍්‍රතාවයකට, එනම් කම්කරු පන්තියේ නායකත්වය යටතේ සිසුන් බලමුලු ගැන්වීමේ වැඩපිලිවෙලකට, පරම සතුරු බැවින් අනධ්‍යන කම්කරු අරගලය සම්බන්ධයෙන් දක්වන්නේ ඇල් මැරුනු පිලිවෙතකි.

මේ අතර , සේවාවන් වලින් ඉවත්ව සිටින කම්කරුවන්ට එරෙහිව, නියෝගයේ සඳහන් “සිසුන්ට බාධා කිරීම” යටතේ පොලීසිය මැදිහත් කිරීමේ හැකියාව පවතී. එවන් ප‍්‍රකෝපකරනයන්ට ඉඩ නොදමින්, අනධ්‍යන කම්කරුවන්ගේ අරගලය ආරක්ෂා කිරීමට සිසුන් පෙරට පැමිනිය යුතුය.

කල යුත්තේ කුමක්ද?

දීර්ඝ වැඩ වර්ජනයක සහ දහස් ගනනින් සහභාගිවන විරෝධතාවන් හි නිරත වෙමින් අනධ්‍යන කම්කරුවන් එක දිගට පෙන්වා ඇත්තේ ඔවුනගේ අධිෂ්ඨානයෙහි කවර හෝ අඩුවක් නොමැති බවයි. ඔවුනට නොමැත්තේ නිරවද්‍ය ඉදිරි දර්ශනයක් සහ නායකත්වයක් ය.

සසප ඉදිරිපත් කරන ඉහත ඉදිරි දර්ශනය මත පාදක වෙමින් ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට වර්ජිත අනධ්‍යන කම්කරුවන් වහා ආරම්භකත්වය ගත යුතුය. එම කමිටුවල නියෝජිතයෝ, ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහිව දැනටමත් අරගලයට පිවිස සිටින විදුලිබල, තැපැල් කම්කරුවන් ඇතුලු අවශේෂ කම්කරුවන් ද අධිෂ්ඨානවත් අරගලයන්හි නිරතව සිටින පීඩිත ගොවි ජනතාව සහ සිසුන් ද තම කමිටු වලට ඒකාග‍්‍ර කර ගනිමින් ආන්ඩුවට එරෙහි බලගතු දේශපාලන ප‍්‍රතිප‍්‍රහාරයක් සූදානම් කල යුත්තෝ ය.

ධනපති ආන්ඩුව පෙරලා බලයට ගෙන එන කම්කරු-ගොවි ආන්ඩුවක් මගින් මහා පරිමාන වතු, බැංකු සහ ෆැක්ටරි කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කොට, ලාභය සඳහා වන නිශ්පාදනය වෙනුවට සමාජ අවශ්‍යතාව සඳහා නිශ්පාදනය තහවුරු කෙරෙන සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට නැංවිය යුතුය. ජීවත් වීමට සරිලන වැටුප් සහිත රැකියාවක්, මනා සෞඛ්‍යයක්, නිසි අධ්‍යාපනයක් සහ ආරක්ෂිත විශ‍්‍රාම දිවියක් තහවුරු කල හැක්කේ එමගින් පමනි.

මෙම සටනට නායකත්වය දෙන කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස සමාජවාදී සමානතා පක්ෂය ගොඩ නැගීමට පෙරට එන ලෙස විශ්ව විද්‍යාල අනධ්‍යයන කම්කරුවන්ගෙන් ද තරුනයන් ශිෂ්‍යයන් සහ ගොවීන් ඇතුලු අවශේෂ පීඩිතයන්ගෙන් ද ඉල්ලා සිටිමු.

Share this article: