ධර්මසේන පතිරාජ: ට්‍රොට්ස්කිවාදයෙන් ආවේශ ගැන්වී සුවිශිෂ්ට කලා කෘති නිර්මානය කල සහ පසුව පරිහානියටපත් කලාකරුවෙක්

පානි විජේසිරිවර්ධන විසිනි, 2018 මාර්තු 1

ධර්මසේන පතිරාජ

චිත‍්‍රපට සහ රූපවාහිනී මාධ්‍යයන් තුල අර්ථභාරී කලාත්මක ප‍්‍රතිපදානයන් රැසක් සිදුකල සුවිශිෂ්ට කලාකරුවෙකු වූ ධර්මසේන පතිරාජ පසුගියදා මිය ගියේය. පතිරාජගේ නිර්මාන චාරිකාව සහ එමගින් ශ්‍රී ලංකාවේ චිත‍්‍රපට සහ රූපවාහිනී කලා මාධ්‍යයන් තුල ඇති කෙරුනු ගුනාත්මක පරිවර්තනය සහ ආනුභාවය කවර ලෙසකින් හෝ නොතකා සිටිය නොහැකි බව, ඔහුගේ මරනයත් සමග විවිධ මාධ්‍යයන් තුල ඇතැම් ලේඛකයන් විසින් තබන ලද සටහන් මගින් ප‍්‍රකාශයට පත් වෙයි.

සැබැවින්ම, පතිරාජ යනු 1970 දශකයේ ශ්‍රී ලාංකික සිනමාව තුල ඇති කෙරුනු ගුනාත්මක පරිවර්තනයේ පුරෝගාමියා වෙයි. ඔහුගේ සුවිශේෂීම ලක්ෂනය වනුයේ, කම්කරුවන්ට, තරුනයන්ට සහ අවශේෂ පීඩිතයන්ට තම ජීවිත සුපුෂ්පිත කර ගැනීමට ආවශ්‍යක සමාජ-ආර්ථික කොන්දේසි අහුරාලන ව්‍යසනකාරී ධනේශ්වර නිශ්පාදන සහ සමාජ සබඳතා පිලිබඳව අනාවරනය කිරීමට දැරූ ප‍්‍රයත්නයයි. පතිරාජගේ කෘතීන් හි නවමු සහ ප‍්‍රබල අන්තර්ගතයන් ශ්‍රී ලංකාවේ සිනමාවේ එවකට පැවති සුපුරුදු ආකෘතීන් සමග ගැටී ඒවා පුපුරුවා හැර නව ආකෘතීන් සහිත අපූර්ව සිනමා සම්ප‍්‍රදායකට සම්භවය ලබාදුනි. පතිරාජගේ සිනමා නිර්මානකරනයේ ප‍්‍රථම ආයාමය තුල, එනම් ඔහු සිනමාවට ආගමනය වූ අහස් ගව්ව (1974) හි සිට සොල්දාදු උන්නැහෙ (1981) දක්වා වූ ඔහුගේ කෘති තුල මෙම ලක්ෂනය වඩාත් විශදව ප‍්‍රකට විය.

ධනේශ්වර රාජ්‍යය, යුද්ධය සහ “ජනතා පරමාධිපත්‍යය” යන්න පවා විමසමින් ඔහු නිර්මානය කල සොල්දාදු උන්නැහෙ චිත‍්‍රපටය විවරනය කරමින්, එකල විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප‍්‍රකාශනය වූ කම්කරු මාවත හි පලවූ ලිපියක මෙසේ සඳහන් වෙයි: “ධර්මසේන පතිරාජයෝ සුපුරුදු සිනමාවේ අන්තර්ගතය පිටු දකිමින් ධනේශ්වර ක‍්‍රමය විසින් ආර්ථික වශයෙන් පල්ල ගලවා හරිනු ලබන තරුන ජීවිත සහ රාජ්‍ය යන්ත‍්‍රයේ ස්වභාවය නමැති අන්තර්ගතයෙන් සන්නද්ධව පවත්නා සිනමා ආකෘතිය සමග එකමුතුවෙන් යුතු ගැටුමකට එලැඹෙති. එහි ඵල වශයෙන් පවත්නා සිනමා ආකෘතිය පුපුරා යයි: ධනේශ්වර ක‍්‍රමයේ ඇතැම් තතුවල ඇතුල් පැත්ත ඇති සැටියෙන් එලි දකී. පවත්නා ධනේශ්වර විඤ්ඤානය අභියෝගයට ලක්වෙයි. නව යොවුන් තරුන පරපුරක් සොල්දාදු උන්නැහෙ ට ආකර්ශනය වීමට හේතුව මෙය යි.” (සොල්දාදු උන්නැහෙ, සුචරිත ගම්ලත් සහ මානෙල් හපුගල විසිනි, කම්කරු මාවත 1981 මැයි 14, මානෙල් හපුගල යනු පියසීලි විජේගුනසිංහ ගේ අන්වර්ථ නාමයයි)

එම ලිපියේ මෙසේද සඳහන් වෙයි: “යුද්ධය මත විදාහල මායා දැලින් වසඟ වන්නාවූ මිනිසුන් යුද්ධයට බැඳෙන හැටි පතිරාජයෝ ගෙනහැර දක්වති. පරන සොල්දාදුවා යුද්ධයට යන්නේ ඉන් පඩියක් ලැබ තමාගේත් තම පෙම්වතියගේත් ජීවිතය වඩාත් යහපත් කර ගැනීමටය. එහෙත් ඔහුගේ දෘෂ්ටියෙන්, අපට යුද්ධයෙන් සිදු කෙරෙන සම්පත් විනාශයම දිස්වෙයි: ඔහුගේ මිතුරා මරුමුව වැටෙයි. සොල්දාදුවන් පැතූ ජීවිතය වෙනුවට ඔවුනට එලැඹෙන්නේ මරනයයි. සොල්දාදුවාගේත් ඔහුගේ පෙම්වතියගේත් ජීවිත යහපත්වනු වෙනුවට ඔහු උමතු වෙයි. පෙම්වතිය අනාථ වෙයි.”

දෙවන ලෝක යුද්ධයේ ව්‍යසනය ද පාදක කර ගනිමින් පතිරාජ විසින් සොල්දාදු උන්නැහෙ නිර්මානය කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය ඇරැඹීමට වසර දෙකකට පෙරාතුව 1981 දී ය. යුද්ධයේ ව්‍යසනකාරිත්වය මෙන්ම, සිවිල් යුද්ධයක දී සහ අධිරාජ්‍යවාදී යුද්ධයකදී, කම්කරු පන්තිය ගතයුතු ආස්ථානය, එනම් තමාගේම රටේ ධනපති පාලක පන්තියට එරෙහි පන්ති යුද්ධය තීව‍්‍ර කිරීම හෙවත් විප්ලවීය පරාජකවාදී ආස්ථානය පිලිබඳ ඉඟි පතිරාජ විසින් සොල්දාදු උන්නැහෙ තුලින් ප්‍රේක්ෂකයාට ලබා දුනි.

පතිරාජ විසින් ශ‍්‍රී ලාංකික සිනමාවට හඳුන්වා දුන් බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ දුරස්ථකරන රීතිය සොල්දාදු උන්නැහෙ තුලින් වඩාත් විශද විය. ඒ පිලිබඳව ඉහත කම්කරු මාවත ලිපියේ මෙසේ සඳහන් වෙයි: “තතු එසේ හෙයින් පතිරාජයන් තැත් කරන්නේ ධනේශ්වර ක‍්‍රමයේ සම්බන්ධතා මාලාවන් ඇති සැටියෙන් ග‍්‍රහනය කර ගැනීමට ප්‍රේක්ෂකයන් මෙහෙයවීමට විනා ඒවා මත පැද්දීමට ඕවිල්ලක් තනා දීමට නොවේ. නිරූපිත චරිත සහ ඒවාට හේතුභූත වන බලවේග ප්‍රේක්ෂකයාගෙන් දුරස්ථ කොට, ස්වාත්මයෙන් බිඳ වෙන්කොට, බාහිර විෂයක් ලෙස, එනම් ඥානනයේ විෂයක් ලෙස ඔහුගේ අනාසක්ත පර්යාලෝචනයටත් දුරස්ථ විමර්ශනයටත් ගෝචර කිරීම පතිරාජගේ ප‍්‍රයත්නයයි.”

සොල්දාදු උන්නැහෙ ට අමතරව, අප විසින් පතිරාජගේ විශිෂ්ඨතම නිර්මාන ලෙස සලකනු ලබන සිනමා ත්‍රිත්වයට, බඹරු ඇවිත් (1978) සහ පාරදිගේ (1980) යන චිත‍්‍රපට ද අයත් වෙයි. ධනේශ්වර ප‍්‍රාග්ධනය දුගී ධීවර ගම්මානයකට කඩා වැදීමෙන් අනතුරුව එහි මානව සබඳතා ව්‍යසනකාරී පරිවර්තනයකට හසුවන අයුරු බඹරු ඇවිත් තුලින් ප‍්‍රකාශයට පත් කෙරුනු අතර, පාර දිගේ යනු රැකියා විරහිත පීඩිත තරුන තරුනියන්ගේ ජීවිත පිලිබඳව කෙරුනු සානුකම්පික විවරනයකි.

මතු නොව, පතිරාජගේ නවමු අන්තර්ගතයන් විසින් ශ්‍රී ලංකාවේ සිනමා සංගීත ආකෘතිය ද පුපුරුවා හැරින. බඹරු ඇවිත් හි ප්‍රේමසිරි කේමදාසයන්ගේ පසුබිම් සංගීතය එහි බලගතුම සාදෘශ්‍ය යි. එහි එන “උදුම්බරා හිනැහෙනවා” සහ “හඳුනා ගත්තොත් ඔබ මා” වැනි සුවිශිෂ්ට ගී නිර්මානයන් අද දිනද සහෘද හදවත් රංජනය කරමින් ඔවුනගේ විඥානය නව තලයකට ඔසවා තබයි.

වැදගත්ම කරුන වන්නේ මෙවන් කලාකරුවෙකුට සහ ඔහුගේ නිර්මානයන්ට සම්භවය ලබා දුන් සමාජ-දේශපාලනික සන්දර්භය ඓතිහාසිකව විමසා බැලීමයි.

පතිරාජ තරුන්‍යයට එලැඹෙනුයේ, ධනපති ප‍්‍රන්සය සමාජ විප්ලවයේ මුව විටටම සේන්දු කල 1968 මැයි-ජූනි අරගල වලින් මුල පිරුනු ජාත්‍යන්තර කම්කරු පන්තියේ රැඩිකලීකරනයක කාල පරිච්ඡේදයකයි. 1968 සිට 1975 දක්වා වූ මෙම කාල පරිච්ඡේදය සනිටුහන් කෙරුනේ, ඉතාලිය, ජර්මනිය, බ්‍රිතාන්‍යය, ආර්ජන්ටිනාව හා එක්සත් ජනපදයේ නැගුනු වර්ජන රල වේගයන් පැන නැංවූවාවූ ද, ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ ෆැසිස්ට් තන්ත‍්‍රයන් බිඳ හෙලුවාවූ ද, දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව පැවැති කාල පරිච්ඡේදයේ දක්නට ලැබුනු විශාලතම ජාත්‍යන්තර විප්ලවවාදී ව්‍යාපාරයෙනි.

1968-75 විප්ලවවාදී රැල්ලෙහි කේන්ද්‍රයෙහි පැවතියේ ධනවාදය ලෝක පරිමානව පෙරලා දැමීමේ විභවය යි. මෙයින්, ලොවපුරා කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් පමනක් නොව ජාත්‍යන්තර පරිමාන කලාකරු පරම්පරාවක්, මිනිසාගේ ජීවන පුෂ්පය විකසිත කරගත හැකි සමාජ සමානතාවයෙන් යුත් සමාජවාදී සමාජයක් බිහිකරගත හැකිය යන සාර දර්ශනයෙන් ආවේශ ගැන්වුනි. මෙම ආවේශයේ ප‍්‍රතිඵලයක් ලෙස තම විඤ්ඤානය සහ සවිඤ්ඤානය නිර්මානශීලීව ඒකාග‍්‍ර කරගත් සුවිශිෂ්ට කලාකරුවන් රැසක් ශ්‍රී ලංකාවේ ද ජාත්‍යන්තරව ද බිහිවිය. පතිරාජ අයත් වන්නේ එම කලාකරු පරම්පරාවටයි.

පතිරාජ සම්බන්ධයෙන් ගත් කල ඔහුගේ කලාත්මක භාවිතාවට, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ, එනම් සමාජවාදී සමානතා පක්ෂයේ පෙරගමන්කරුවූ විකොස හි දේශපාලනික සහ සංස්කෘතික වැඩ කටයුතු ඉමහත් බලපෑමක් ඇති කලේය.

ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල පැන නැගි සංශෝධනවාදී ප‍්‍රවනතාවක් වන පැබ්ලෝවාදයට වඩවඩාත් අනුගත වෙමින් අවසානයේදී ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පෙරමුනකට ගාල් වෙමින් ලංකා සම සමාජ පක්ෂය (ලසසප) කල මහා පාවා දීමට එරෙහිව කම්කරුවන්ගේ හා තරුනයන්ගේ පුලුල් පෙරලිකාරිත්වයක් 1960 ගනන් මැද භාගයේදී මතු විය. සම සමාජ පාවා දීමට, ජාත්‍යන්තර සමාජවාදයට විරුද්ධව ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය තොරොම්බල් කල ‘තනිරටේ සමාජවාදය’ ට සහ ජනතා විමුක්ති පෙරමුන වැනි සුලු ධනේශ්වර ව්‍යාපාරයන්හි ජාතිකවාදී සහ ස්වෝත්තමවාදී දේශපාලනයට එරෙහිව, කම්කරු පන්තියේ දේශපාලනික ස්වාධීනත්වය සහ ජාත්‍යන්තරවාදය වෙනුවෙන් විකොස කල ස්ථිරසාර සහ සප‍්‍රතිපත්තික අරගලයට පතිරාජ ආකර්ශනය විය.

කලාත්මක නිර්මාන සඳහා තමාට ගාමකය සපයමින් වැඩුනු ජාත්‍යන්තර විප්ලවවාදී ව්‍යාපාරයට ඉදිරියට යා හැක්කේ විකොස ඉදිරිපත් කරන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල තුලින් පමනක් බව, තම නිර්මානකරනයට අවතීර්න වූ පතිරාජ වටහා ගත්තේය.

හුදෙක් දේශපාලනික සූත‍්‍රපාඨ කීපයක් ඉදිරිපත් කිරීමෙන් කම්කරු පන්තිය තුල විප්ලවවාදී විඥානය වර්ධනය කල නොහැකි බව සහ ඒ සඳහා ඉතිහාසය සහ සංස්කෘතිය පිලිබඳ ප‍්‍රශ්න මත දැඩි අවධානයක් යොමුකලයුතු බව, 1968 දී තම සංවිධානය ආරම්භ කල දා පටන් විකොස දැරූ ආස්ථානයයි. මේ අනුව සම්භාව්‍ය මාක්ස්වාදී සම්ප‍්‍රදායන් මත පිහිටා ගත් විකොස, විවිධ කලා න්‍යායන් සහ කලා නිර්මාන පිලිබඳව මාක්ස්වාදී ආස්ථානය පැහැදිලි කරමින්, ලිපි සරනි, දේශන සහ සම්මන්ත‍්‍රන හරහා සංස්කෘතික ක්ෂේත‍්‍රය තුල කල මැදිහත්වීම නව තරුන පරම්පරාවක සංස්කෘතික බුද්ධි ප‍්‍රබෝධයෙහි ලා අර්ථභාරී කාර්යයක් ඉටු කලේය. මතු නොව, එම මැදිහත්වීම හේතුවෙන්ම, එවක දී තරුන පරම්පරාවෙන් සැලකියයුතු කොටසක් මාක්ස්වාදයට සහ විප්ලවවාදී ව්‍යාපාරයට ආසක්ත කෙරුනි.

පතිරාජගේ කලාත්මක භූමිකාව හැඩගැන්වීමේ ලා මෙම වැඩකටයුතු කේන්ද්‍රීය සහ ප‍්‍රගාඪ බලපෑමක් ඇති කලේය. ලියොන් ට්‍රොට්ස්කි විසින් සාහිත්‍ය කලා ක්ෂේත‍්‍රයට කරන ලද මාහැඟි ප‍්‍රතිපදානයන් ඔහු විකොස සමග එක්ව හැදෑරුවේය. කලාවට මාක්ස්වාදී ප‍්‍රවේශයක් වර්ධනය කිරීමේ ලා කෙරී ඇති විශිෂ්ටතම සම්ප‍්‍රදානය වන සාහිත්‍ය සහ විප්ලවය කෘතිය ඔහුගේ කලාත්මක දෘෂ්ටිය වර්ධනය කිරීමේ ලා ඉමහත් පිටුවහලක් වූ බව නිසැකය. ඔහු ට්‍රොට්ස්කි ගේ ලිපි ලේඛන වලින් කෙතරම් ආවේශ වූයේද යත්, ට්‍රොට්ස්කි ගේ සංස්කෘතිය සහ සමාජවාදය නම් වූ කෘතියේ සිංහල පරිවර්තනය එලි දැක්වීමට 1979 දී විකොස ගත් ආයාසයේදී එහි මුද්‍රන බරපැන් දැරීමට පවා ඉදිරිපත් විය.

කලාකරුවෙකු ඔහුගේ යුගය තෙක් සමාජයීය ඉතිහාසය සහ අදාල කලා මාධ්‍යයේ ඉතිහාසය ඒකාග‍්‍ර කොට නොසලකන්නේ නම් බැරෑරුම් කලා කෘති නිර්මානය කල නොහැකි බවට 1935 දී ආන්ද්‍රේ බ්‍රෙටන් කල ප‍්‍රකාශය පතිරාජගෙන් සනාථ වෙයි. ඔහු විකොස හි ඇසුර යටතේ සමාජයීය ඉතිහාසය හදාල අතර ඔහුගේ මාධ්‍යය වන සිනමාවේ ඉතිහාසය පිලිිබඳව ද බැරෑරුම් අධ්‍යනයක් කලේය. තමා, පෝලන්ත, ඉතාලියානු, ප‍්‍රන්ස නව රැල්ලේ සිනමාවෙන් සහ ඉන්දියාවේ රිට්වික් ඝටක්, මිර්නාල් සෙන් සහ සත්‍යජිත් රායි ගේ සිනමා කෘති වලින් ආභාෂය ලැබූ බව පතිරාජ ම පවසා ඇත.

මේ අනුව පතිරාජ යනු, 1968-75 විප්ලවවාදී නැගිටීම් වල සහ විකොස හි ට්‍රොට්ස්කිවාදී භාවිතාවේ අන්තර්ඡේදනයෙන් නිර්මිත සුවිශිෂ්ට කලාකරුවෙකු බව පැහැදිලිය.

පතිරාජ ට පමනක් නොව, එකල සිනමා, නාට්‍ය ආදී විවිධ කලා ක්ෂේත‍්‍රයන් හි විශිෂ්ට නිර්මානයන් බිහිකල කලාකරුවන් බොහොමයක් සම්බන්ධයෙන් ඉහත සඳහන වලංගු වෙයි.

එනමුදු, මෙහිලා විකොස ඉටුකල සුවිශේෂී කාර්ය භාරය අකාමකා දැමීමේ ප‍්‍රයත්නයක ඉන් ඵල නෙලා ගත්තවුන් පවා යෙදී සිටී.

පතිරාජ පිලිබඳව, ශ්‍රී ලංකාවේ ප‍්‍රවීන සිනමාකරුවෙකු වන අශෝක හඳගම, පෙබරවාරි 18 දා ලක්බිම පුවත්පතෙහි තබා ඇති සටහන මේ පිලිබඳ මනා සාදෘශ්‍යයකි. ඔහු මෙසේ ලියයි:

“ඇත්තටම පතිරාජ මට මුන ගැසෙන්නේ මහාචාර්ය ගම්ලත් හරහාය. පතිරාජගේ සිනමාව දේශපාලනිකව අපට මුන ගස්වන්නේ ඔහුයි. ගම්ලත් නොවන්නට පතිරාජව අපි බොහෝ දෙනෙකුට මග හැරෙන්න තිබුනා. ඉතින් අහස් ගව්වෙදි නොදුටු, බඹරු ඇවිත් තුලින් යන්තම් මුනගැසුනු පතිරාජගේ වීර ප‍්‍රතිරූපය මගේ හිස ගොඩනැගීමේ ගෞරවය හිමි වන්නේ සුචරිත ගම්ලත් මහාචාර්යවරයාටයි. ඒක මට විතරක් නොවෙයි, අපේ පරම්පරාවෙ බොහෝ දෙනෙකුට අදාල සත්‍යයක්.”

පතිරාජගේ නිර්මාන පිලිබඳ විචාර ද ඇතුලත්, ගම්ලත්ගේ ඉතා වැදගත් සම්ප‍්‍රදානනයන් සියල්ලක්ම සිදු කෙරුනේ ඔහු එකල සාමාජිකත්වය දැරූ විකොස හිි මගපෙන්වීම යටතේ බව, ඒවා සියල්ල පලවූයේ විකොස හි නිල පුවත්පත වන කම්කරු මාවත හි බව සහ පතිරාජ පමනක් නොව ගම්ලත් පවා තමා විසින් හඳුනා ගනු ලැබුවේ කම්කරු මාවත තුලින් බව හඳගම දැනුවත්ව වසන් කරයි.

කලාව ද ඇතුලු වෛෂයික ලෝකය නිවරැදි ලෙස ඥානනය කර ගැනීමේ ලා තමන්ට උපකාරී වූ මාක්ස්වාදය ද මාක්ස්වාදී ව්‍යාපාරය ද සමග පැවති අතීත සබඳතා පසුකාලීනව බැහැර කරලීමේ මධ්‍යම පන්තික බියගුලුකම, පතිරාජට හා ගම්ලත්ට මෙන්ම හඳගමට ද සීමා වූවක් නොවේ. අවසාන විග‍්‍රහයේදී මෙය පන්ති ප‍්‍රශ්නයකි.

මෙම සන්දර්භයෙහි ලා සලකන විට පතිරාජගේ පසුකාලීන නිර්මානයන් හි පැවති දුබලතා සම්බන්ධයෙන් හඳගම තබන සටහන වැදගත්ය.

හඳගම මෙසේ ලියයි: “පතිරාජ ගේ ඇත්ත සිනමා ජීවිතය ප‍්‍රභාමත් ව විහිදෙන්නෙ අහස් ගව්වෙන් ඇරැඹී සොල්දාදු උන්නැහැගෙන් අවසන් වන දශකය තුල තමයි. ඔහු අපේ සිනමාවේ පෙලහර පාන්නේ සහ අප උත්තේජනය ලබන්නේ ද පතිරාජගේ ඒ අභ්‍යාසයන්ගෙනි. එහෙත් සොල්දාදු උන්නැහැගෙන් පසුව පතිරාජ දශක දෙකකට වැඩි කාලයක් සිනමා අභ්‍යාසයේ නියැලෙන්නේ නෑ. විසිඑක්වැනි සියවසේ ඔහුගේ පුනරාගමනය සිදු වුවද එතරම් ප‍්‍රබල සටහනක් තබන්නේ නෑ.”

මෙහිදී ද හඳගම මග හරිනුයේ පතිරාජගේ කලාත්මක භාවිතාවේ පරිහානියට පාදක වූ සමාජ සහ දේශපාලන හේතූන් විභාග කිරීම ය. හඳගම ආකාරයේ විස්තර කිරීම් වලදී හැම විටම සිදු කෙරෙනුයේ කතෲකයාගේ දුබලතා ඔහුගේ පුද්ගලික දෝෂයන්ගෙන් පැන නගින්නක් ලෙස ඉදිරිපත් කිරීමයි. ඊට විපරීතව මාක්ස්වාදී ව්‍යාපාරය හැම විටම මෙවන් සංසිද්ධීන් වලට ප‍්‍රවිෂ්ට වනුයේ ඒවා ඓතිහාසික සන්දර්භයක පිහිටුවමිනි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල 1980 ජූලි මහ වැඩ වර්ජනයෙන් කම්කරු පන්තිය ලද දැවැන්ත පරාජය සහ ඒ සමගම මුදාහල රාජ්‍ය මර්දනය පතිරාජ ඇතුලු කලාකරුවන් බොහොමයකට නිශේධනීය ලෙස බල පෑවේය. ඔවුන් වඩාත්ම දුර්මුඛ වූයේ, කම්කරු පන්තිය භේද කොට මර්දනය තීව‍්‍ර කිරීම සඳහා 1983 දී ආරම්භ කරන ලද සිවිල් යුද්ධයේදී සහ ඒ සමගම මුදා හැරුනු සිංහල වර්ගෝත්තමවාදී උද්ඝෝෂනයේදී නිශ්චිත ආස්ථානයක් ගැනීමට බල කෙරුනු තත්වයේදී ය.

“උතුරෙන් සහ නැගෙනහිරෙන් වහාම හමුදා ඉවත් කරනු”, “වර්ගවාදී යුද්ධයට එක් සතයක් එක් මිනිසෙක් නොදෙනු” සහ “සිංහල සහ දෙමල කම්කරු පන්තියේ ජාත්‍යන්තරවාදී එකමුතුවට සටන් වදිනුු” ආදී සටන් පාඨ ඉදිරිපත් කරමින් විකොස ආරම්භ කල සප‍්‍රතිපත්තික උද්ඝෝෂනය සමග අනන්‍ය වීමට නොහැකිව පය පැකිලුනු පතිරාජ විකොස ඇසුරෙන් ක‍්‍රමයෙන් දුරස්ථ වන්නට විය.

1988-89 කාල පරිච්ඡේදයේදී ජනතා විමුක්ති පෙරමුන කම්කරු පන්තියට එරෙහිව මුදාහල ෆැසිස්ට්වාදී උද්ඝෝෂනයෙන් සහ ගම්බද තරුනයන්ට එරෙහිව ගෙනගිය රාජ්‍ය මර්දනයෙන් ඔහු වඩාත් දුර්මුඛ කෙරුනි.

එපමනක් නොව පතිරාජ ඇතුලූ කලාකරුවන් පරම්පරාවක් විශිෂ්ඨ නිර්මාන සඳහා ආවේශ ගැන්වූ 1968-75 විප්ලවවාදී ව්‍යාපාරය, ස්ටැලින්වාදීන්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් සහ පැබ්ලෝවාදීන් විසින් කරන ලද ඝොරතර පාවාදීම් හේතුවෙන් ලද පරාජයෙන් සහ ඉන්පසුව ගෙවී ගිය දශක හතරක කාලය තුල යලි එවන් ව්‍යාපාරයක් පැන නොනැගීමෙන් ඇතිවූ ඉච්ඡා භංගත්වය සහ අසාර දර්ශනය ද පතිරාජ කෙරෙහි සුවිසල් බලපෑමක් ඇතිකල බව නිසැකය.

1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමග මුදා හැරුනු දේශපාලනික ප‍්‍රතිගාමිත්වයේ රැල්ලත් සමග මෙම අසාර දර්ශනය වඩාත් ගැඹුරු විය. පාලක පන්තිය “ඉතිහාසයේ අවසානය” සැමරූ අතර දිරිසුන් මධ්‍යම පන්තික රැඩිකල්ලු හා දුබල වාම බුද්ධිමත්තු “සමාජවාදයේ අවසානය” නිවේදනය කලහ. ලෝකය වෙනස් කිරීමේ අරමුනෙන් අතීතයේ මෙහෙයවුනු කලාකරුවන්ගෙන් බහුතරයක්, කම්කරු පන්තියේ විප්ලවවාදී ශක්‍යතාව ප‍්‍රතික්ෂේප කල පශ්චාත් නූතනවාදී ප‍්‍රවනතාවන්ට සහ ස්වයං-ග‍්‍රස්ත වර්ගවාදී, ජාතිවාදී, පුමිතුරු හා ලිංගික ආදී වශයෙන් වන අනන්‍යතා දේශපාලනයට අනුගත වූහ.

එහි ප‍්‍රතිඵලයක් ලෙස පෙර දින විශිෂ්ට නිර්මාන බිහිකල කලාකරුවන්ගෙන් කොටසක් අවසානයේ ධනපති පන්තියේ සහ අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා වෙනුවෙන් විවෘතවම සේවය කරන්නන් බවට පත්විය.

පතිරාජ ද මේ ඛේදවාචී ඉරනමට ගොදුරු වූවෙකි. එක්සත් ජනපදයේ මූලෝපායික අවශ්‍යතාවයන් සඳහා ශ්‍රී ලංකාව නතුකර ගැනීමේ ව්‍යායාමයේ කොටසක් ලෙස වොෂින්ටනය තිරයේ පිටුපස හිඳිමින් කල මෙහෙයුමක ප‍්‍රතිඵලයක් ලෙස 2015 ජනවාරියේ දී ශ්‍රී ලංකාවේ සිදු කෙරුනු තන්ත‍්‍ර මාරු උද්ඝෝෂනයට ඔහු විවෘතවම දායක වූයේ “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” සහ “යහපාලනය” ස්ථාපිත කිරීමේ කඩතුරාවට මුවා වෙමිනි. ඉන් නොනැවතුනු පතිරාජ, සිරිසේන-වික‍්‍රමසිංහ තන්ත‍්‍රය ඔහුට පුදකල ශ්‍රී ලංකා මාධ්‍ය පුහුනු ආයතනයේ සභාපතිත්වය ඉතසිතින් භාර ගනිමින් රාජ්‍ය සංස්ථාපිතයටම ඒකාග‍්‍ර විය.

එසේ තිබියදීම, ට්‍රොට්ස්කිවාදය සහ විකොස සමග සමීපව සිටි කාලයේ ඔහු කල සුවිශිෂ්ට නිර්මානයන් හි අගය නොනැසී පවතිමින් වත්මන් සහ අනාගත කලාකරුවන්ට මග පෙන්වනු ඇත.

Share this article: