“වෘත්තීය සමිති ආරක්ෂාව වැඩවර්ජන නො කිරීම සඳහා තුටුපඬුරකි”- වෘත්තීය සමිති නීතිඥයා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනයට කියයි

Union lawyer tells US Supreme Court: “Union security is the tradeoff for no strikes”

2018 පෙබරවාරි 28

එක්සත් ජනපදයේ බටහිර වර්ජීනියා ප‍්‍රාන්තයේ ගුරුවරුන්ගේ වෘත්තීය සමිති තමන් ගුරුවරුන් හා පාසල් සේවකයින්ගේ ප‍්‍රාන්ත මට්ටමේ වැඩවර්ජනය අවසන් කරන බව ඊයේ නිවේදනය කල අතර, බ‍්‍රහස්පතින්දා ආපසු වැඩට එන ලෙස කම්කරුවන්ට උපදෙස් දුන්හ. සුලු වැටුප් වැඩි කිරීමක් සඳහා ප‍්‍රාන්ත නිලධාරීන් සමග ඇති කර ගැනුනු කමකට නැති ගිවිසුමකට වෘත්තීය සමිති විධායකයින් ප‍්‍රශංසා කල ද, එය කිසි දා ක‍්‍රියාවට නො නැගෙනු ඇති අතර, ඉහල යන සෞඛ්‍ය සත්කාර වියදම්වලට අත නො තබා අතහැර දැමීමේ අර්ථය වනු ඇත්තේ ගුරුවරුන්ගේ සැබෑ අදායම් නොකඩවා පිරිහීමයි.

ප‍්‍රාන්තය පුරා ගුරුවරුන් හා අනෙකුත් කම්කරුවන්ගේ වැඩිවන සහාය දිනා ගනිමින් තිබිය දී පවා, ඉහත පදනම මත වැඩවර්ජනය අත්හැර දැමීමේ උත්සාහය එවැනි දීර්ග පාවාදීම් මාලාවක මෑත ම එක යි. එය තහවුරු කරන්නේ, රිපබ්ලිකානු හා ඩෙමොක‍්‍රටික් නිලධාරීන්ට පමනක් නො ව සාමාජික ගාස්තු ලෙස කම්කරුවන්ගේ මුදල් උදුරා ගන්නා වූ ද ඔවුන්ගේ උත්සුකයන් නියෝජනකය කරනවා යයි පවසන්නා වූ ද සංවිධානවලට ද ගුරුවරු කටුක සතුරන් ලෙස මුහුන දෙතැ යි වර්ජනය පුරා ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් කරන ලද අනතුරු ඇඟවීම යි.

වෘත්තීය සමිතිවල මෙම අත්‍යාවශ්‍ය කාර්යය, (එනම් සංගත හා ආන්ඩුව විසින් කරනු ලබන ප‍්‍රහාරයන්ට එරෙහි කම්කරු පන්තියේ ප‍්‍රතිරෝධය මර්දනය කිරීම) යන්තම් දිනකට පෙර විශේෂයෙන් ම පැහදිලි කෙරුනේ එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනයේ ජානුස්ට එරෙහිව ප‍්‍රාන්ත කෝරල හා නාගරික සේවකයින්ගේ ඇමරිකානු සම්මේලනයේ (ඒඑෆ්එස්සීඑම්ඊ) නඩුවේ වාචික වාදවිවාද තුල දී ය. එම නඩුවේ දී සැකිල්ලට භාජනය වන්නේ වෘත්තීය සමිතියේ “ඒජන්සි ගාස්තුවල” ව්‍යවස්ථානුකූල භාවය යි ― ඇතම් ප‍්‍රාන්තවල රාජ්‍ය අංශයේ සේවකයින් ඔවුන් වෘත්තීය සමිතියට බැඳීමට තීරනය නො කල ද නියමිත ගාස්තුවට සමාන මුදලක් ගෙවීම අවශ්‍ය ය.

උසාවිය ඉදිරියේ ඔහුගේ තර්ක කිරීමේ දී, ඉලිනොයිස් ප‍්‍රාන්තයේ ඒඑෆ්එස්සීඑම්ඊ සභා 31 නියෝජනය කරමින්, ඬේවිඞ් ෆ්‍රෙඞ්රික් මෙසේ පැවසුවේ ය: “ඒජන්සි ගාස්තු සඳහා මෙම කොන්ත‍්‍රාත්තුව තුල හෙට්ටු කෙරී ඇති ප‍්‍රධාන දෙය වන්නේ ගැටුම් මත (වැඩවර්ජන) මත සීමාවකි. එමෙන් ම බොහෝ සාමූහික කේවෙල් කිරීමේ ගිවිසුම්වල දී එය සත්‍ය ය.”

ෆ්‍රෙඩ්රික් මෙසේ ද පැවසුවේ ය: “ගාස්තු තුටුපඬුරකි. වෘත්තීය සමිති ආරක්ෂාව වැඩ වර්ජන ඇති නොවීම සඳහා තුටුපඬුරකි.” ඒජන්සි ගාස්තු නියම කිරීමට ප‍්‍රාන්තවලට ඉඩ දෙමින් පූර්වාදර්ශ අවලංගු කිරීමට උසාවිය තීරන ගන්නේ නම්, “ඔබට රට පුරා කම්කරු අසහනයේ අනන්ත අවතාර ප‍්‍රාදූර්භූත කල හැක.”

තර්කය ඊට වඩා පැහැදිලි කල නො හැකි වනු ඇත: කම්කරු පන්තික විරුද්ධත්වයේ වර්ධනය වැලක්වීම සඳහා වෘත්තීය සමිති සංවිධානවල මූල්‍ය ස්ථාවරත්වය අත්‍යාවශ්‍ය ය. මෙම අත්‍යසමාන අවංක ප‍්‍රකාශනය කෙරුනේ පාලක පන්තියේ ඉතා වැදගත් රාජ්‍ය ආයතනවලින් එකක්, එනම් ශ්‍රේෂ්ඨාධිකරනය ඉදිරියේ දී ය. එය ප‍්‍රදර්ශනය කලේ එක්සත් ජනපද සංගත ප‍්‍රභූව හා එහි රාජ්‍ය ආයතන සඳහා කාර්මික පොලීසියක් ලෙස තමන්ගේ කාර්යභාරය පිලිබඳ ව වෘත්තීය සමිති කෙසේ දැනුවත් ද යන්න යි.

උසාවිය ඉදිරියේ ඒඑෆ්එස්සීඑම්ඊ ආස්ථානයට සහාය දුන්නේ ඉලිනොයිස් ප‍්‍රාන්තය යි; එය ඒජන්සි ගාස්තු අවශ්‍ය කෙරෙන කොන්ත‍්‍රාත්තුවලට අවසර දෙන ප‍්‍රාන්ත 20න් එකකි. ඉලිනොයිස් නීතිපති ඬේවිඞ් ෆ‍්‍රෑන්ක්ලීන් තර්ක කලේ “එයට අප සමග හවුල්කරුවෙකු විය හැකි, ප‍්‍රමානවත් තරම් සම්පත් ඇති, ස්ථාවර, වග කිව යුතු, ස්වාධීන ප‍්‍රතිපක්ෂයක් සමග වැඩ කිරීමේ හැකියාව පැවතීම ගැන...උත්සුකයක්” ප‍්‍රාන්තයට ඇති බව යි. මෙම “වග කිව යුතු” හවුල්කාරිත්වයේ අරමුන අවධාරනය කෙරෙන්නේ ඉලිනොයිස් ප‍්‍රාන්තයේ තත්වය මගිනි; මෙම ප‍්‍රාන්තය කුරිරු කප්පාදු පියවර ක‍්‍රියාත්මක කර ඇති අතර මහජන අධ්‍යාපනය, සෞඛ්‍ය රැකවරනය හා ප‍්‍රාන්ත කම්කරුවන්ගේ වැටුප් කප්පාදු පැටවීමට වෘත්තීය සමතිය මත විශ්වාසය තබා ඇත.

ෆෙඩ්රික් හා ෆ‍්‍රෑන්ක්ලීන් විසින් විස්තර කෙරුනු වෘත්තීය සමිති හා ප‍්‍රාන්තය අතර සම්බන්ධය සමස්ථ ඒඑෆ්එල්-සීඅයි ඕවට අදාල ය. පසු ගිය දශක හතර තිස්සේ, වෘත්තීය සමිතිය ක‍්‍රමානුකූල ව වැඩ කර ඇත්තේ ඇමරිකානු පාලක පන්තිය විසින් ගෙන යනු ලබන සමාජ ප‍්‍රතිවිප්ලවයට එරෙහි ඕනෑ ම විරුද්ධත්වයක් මර්දනය කිරීමට ය.

2017දී, කම්කරුවන් 1,000ට වඩා සහභාගී වූ වැඩවර්ජන වූයේ හතක් පමනි, එය 1947ට පසු දෙවැනි කුඩා ම සංඛ්‍යාව යි. පහලම එක වූයේ 2009යි, ඔබාමා පාලනාධිකාරියේ පලමු වසර වූ මෙය, 2008 මූල්‍ය අර්බුදය ද ආන්ඩුව වෝල් වීදියට ඇප දීම ද පසු පස වහාම පැමිනියේ ය. විශාල පරිමානයේ වැඩ නතර කිරීම්වලට සහභාගී වන කම්කරුවන්ගේ සංඛ්‍යාව 1970 ගනන්වල මිලියන1.5ක සාමාන්‍යක සිට මෙම දශකයේ දී 70,000 දක්වා පහල ගියේ ය (ගිය වසරේ එය 25,000ක් පමනි), එය සියයට 95ට වඩා පරිහානියකි.

1980 ගනන්වල සිට අද දක්වා වන මෙම එකම කාලය, පාලක ප‍්‍රභූවේ අදායම හා ධනයේ අතිවිශාල සමුච්චනයක් අත් දැක ඇත. ජනගහනයේ පතුලේ අර්ධයේ ජාතික ආදායමේ පංගුව 1980 සියයට 20 සිට 2014 සියයට 12 දක්වා වැටුනු අතර, ඉහල සියයට 1 ආදායමේ පංගුව සියයට 12 සිට සියයට 20 දක්වා ඉහල ගියේ ය. ධනය හා ආදායම ඊටත් වඩා විශාල වසයෙන් ජනගහනයේ ඉහල සියයට 0.1 හා 0.01තුල සංකේන්ද්‍රනය විය.

කම්කරු පන්තියේ සිට පොහොසතුන් දක්වා මෙම ධනය මාරුවීමට බලපෑමේ දී වෘත්තීය සමිති නැතුව ම බැරි වී ඇත. මෙය මූලික වසයෙන් තනි තනි වෘත්තීය සමිති නිලධාරීන් කොටසකගේ දූෂනයන් පිලිබඳ කාරනයක් නො වේ. මේ පිලිබඳ ව ඕනෑ තරම් උදාහරන ඇත; වෘත්තීය සමිති කොන්ත‍්‍රාත්තු සාකච්ඡා කිරීමට සම්බන්ධ යුනයිටඩ් ඔටෝ වර්කර්ස් (යූඒඩබ්ලිව්) විධායකයන්ට මෝටර් රථ සමාගම්වල ගෙවීම්වල දී එකී වෘත්තීය සමීතිය පැටලීම ගැන පිපිරී ඇති සෝලියේ දී මෙය ප‍්‍රකට කෙරුනි .කෙසේ නමුත්, මෙම දූෂන, එම සංවිධානවල ම ස්වභාවය හා ක‍්‍රියාකාරිත්වයේ ප‍්‍රකාශනයකි.

1980 ගනන්වල, රේගන් විසින් පැට්කෝ ගුවන් ගමන් පාලකයින් දොට්ට දැමීම හා අසාදු ලේඛනගත කිරීමෙන් පසු, වැඩ පොල වසා දැමීම, විශාල දොට්ට දැමීම්, වැටුප් කප්පාදු හා වෘත්තීය සමති කම්මුතු කිරීමට එරෙහිව දැවන්ත කම්කරු විරෝධයේ දශකයක් තිබුනි. නමුත් පතල්, මෝටර්රථ, වානේ, ප‍්‍රවාහන හා මස්ඇසිරීම, මෙන් ම ගුරුවරුන් හා රාජ්‍ය අංශයේ කම්කරුවන් අතර පැවති සිය ගනනක් සටන්වලින් සෑම එකක ම පරාජය තහවුරු කරන ලද්දේ වෘත්තීය සමිති විසිනි. ඔවුන් මෙම අරගල කඩාකප්පල් කලේ කම්කරුවන්ගේ සටන්කාමිත්වය බිඳීමට මෙන්ම සංගතවල හා රජයේ ඒකාබද්ධ හවුල්කාරයන් බවට වෘත්තීය සමිති පරිවර්තනය කිරීමට පහසුකම් ඇති කිරීමට ය.

1980 ගනන්වල පන්ති අරගල මධ්‍යයේ දී, සමාජවාදී සමානතා පක්ෂයේ පුරෝගාමී, වර්කර්ස් ලීගය, වෘත්තීය සමිතිවල පවාදීමට එරෙහි විරෝධය සංවිධානය කිරීමේ දී කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කලේ ය. කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලනික හා සමාජවාදී නායකත්වයක් වර්ධනය කිරීමේ සටනක කොටසක් ලෙස ධනේශ්වර ගැති වෘත්තීය සමිති නායකත්වයට එරෙහිව සාමාජිකයින් ඒකාරාශී කිරීමට එය උත්සාහ කලේ ය.

මෙම අරගලවලින් පසු, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව වෘත්තීය සමිතිවල ස්වභාවය සම්බන්ධයෙන් බොහෝ දුර යන නිගමනයක් උකහා ගත්තේ ය. නිෂ්පාදනයේ ගෝලීයකරනය හා ඇමරිකානු ධනවාදයේ පරිහානියට මෙම ජාතික පාදක සංවිධානවල ප‍්‍රතිචාරය වූයේ සංගත කලමනාකරන රූපරාමුවට හා රාජ්‍යයට තෙමේ ම ඒකාබද්ධ වීම හා කම්කරුවන් සූරා කෑම තීව‍්‍ර කිරීමේ දී “වග කිව යුතු” හවුල්කරුවන් වීම යි. ඊට ප‍්‍රතික‍්‍රියා වසයෙන්, සංගත කොටස්, සෞඛ්‍ය රැකවරන භාරයන්ගේ පාලනය, වෘත්තීය සමිති කලමනාකරන දූෂන අරමුදල්වලට ප‍්‍රවේශය හා සෘජු හා විවෘත අල්ලස් රූපාකාරයෙන් වෘත්තීය සමිති සංවිධානවල විධායකයින්ට විශාල තුටුපඬුරු දෙන ලදී.

වෘත්තීය සමිති තව දුරටත් “කම්කරුවන්ගේ” සංවිධාන යැයි කිව නො හැකි බව හජාජාක නිගමනය කලේ ය. මුල් කාල පරිච්ඡේදයක, ඒවායේ ධනේශ්වර ගැති නායකත්වය හා ඔවුන් විසින් කම්කරු පන්තිය ඩෙමොක‍්‍රටික් පක්ෂයට යටත් කිරීම නො තකා, වෘත්තීය සමිති කම්කරුවන්ගේ ආදායම් වැඩි කිරීමට හෝ අඩු වසයෙන් කම්කරු පන්තිය මෙම ක්ෂයවීම්වලින් ආරක්ෂා කිරීමට සේවය කල අවස්ථාවේ, මෙම අර්ථ දැක්වීම යුක්තියුක්ත විය. නමුත් හතරවැනි ජාත්‍යන්තරයේ ආදී කර්තෘ, ලියොන් ට්‍රොට්ස්කි, 1937දී පැහදිලි කල පරිදි, මෙම සංවිධාන “කම්කරු පන්තියේ කොටසක් මත ප‍්‍රහාර මගින් ධනෙශ්වරයේ ආදායම ආරක්ෂා කරන්නේ නම්; ඔවුන් වැඩවර්ජනවලට එරෙහිව, වැටුප් වැඩි වීමට එරෙහි ව, රැකියා නැතියවුන්ට උදව් කිරීමට එරෙහිව අරගලයක් ගෙන යෙන්නේ නම්; එවිට අපට තිබෙනු ඇත්තේ හොරිකඩ සංවිධාන මිස වෘත්තීය සමිති නො වේ.”

මෙය අද එක්සත් ජනපදයේ පමනක් නො ව ජාත්‍යන්තර වසයෙන්, නිශ්චිතව ම වෘත්තීය සමිතිවල කාර්යභාරය යි. කම්කරු පන්තිය මත වෘත්තීය සමිතිවල සංවිධානාත්මක ගෙල මිරිකීම තහවුරු කිරීම ගැන අවධාරනය කරන සියලූ ව්‍යාජ-වාම ප‍්‍රවනතා ක‍්‍රියාත්මක වන්නේ ඒවායේ කම්කරු විරෝධී න්‍යායපත‍්‍රයේ හවුල්කාරයන් ලෙස ය.

බටහිර වර්ජීනියා ප‍්‍රාන්තයේ ගුරුවරුන්ගේ වැඩවර්ජනය වඩා පුලූල් වර්ධනයක ප‍්‍රකාශනයකි. සමාජ අසමානතාව, පිරිහෙන වැටුප්, අහස උසට නගින සෞඛ්‍ය රැකවරන වියදම් හා සමාජ අර්බුදයේ සියලු අනේකාකාර ප‍්‍රකාශනයන් සම්බන්ධයෙන් කම්කරු පන්තියේ සියලු ම කොටස් අතර ගැඹුරු කෝපයක් ඇත. එය පාලක පන්තිය බිය ගන්වනවාට අඩු නැතිව වෘත්තීය සමිති බිය ගන්වන “කම්කරු අසහනයේ අවතාරය” මූර්තිමත් වීම ඇරඹෙමින් තිබේ.

කම්කරු පන්තියේ මතුවෙමින් පවතින ව්‍යාපාරයේ වර්ධනය ඉල්ලා සිටින්නේ නව සංවිධාන පිහිටුවීම යි; එනම් වෘත්තීය සමිතිවලින් මෙන් ම මහා ව්‍යාපාරික පක්ෂ දෙකෙන් ස්වාධීන වූ ද ප‍්‍රජාතාන්ත‍්‍රිකව පාලන කෙරෙන අතර කම්කරු පන්තියට වග කියන්නා වූ ද ෆැක්ටරි, ජනාවාස හා වැඩපොල ක‍්‍රියාකාරී කමිටු ගොඩ නැගීම යි. එවැනි කමිටු ගොඩනැගීම සලකුනු කරනු ඇත්තේ එක්සත් ජනපදය තුල මෙන් ම ජාත්‍යන්තරව ධනේශ්වර පන්තියට හා එහි දේශපාලන උපකරනයන්ට එරෙහිව පොදු ප‍්‍රහාරයකට කම්කරුවන්ගේ ආරම්භකත්වයන් වර්ධනය කිරීම හා ඔවුන්ගේ අරගල එකට ගෙන ඒම තුල අතිමහත් ප‍්‍රගතියකි.

ධනේශ්වර පද්ධතිය හා එය විසින් ඇති කරනු ලබන සමාජ අසමානතාව, මර්දනය හා යුද්ධයට එරෙහිව එල්ල කෙරුනු සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් එහි අරගලය තුලට ගෙන ඒමට කම්කරු පන්තිය තුල දේශපාලන නායකත්වයක් ගොඩැනැගීම සමග එවැනි සංවිධාන පිහිටුවීම බැඳී ඇත.

ජෝශප් කිෂෝර්

Share this article: