අරගලය තම අතට ගැනීම සඳහා ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගනු!

විශ්ව විද්‍යාල අනධ්‍යන කම්කරුවන් සඳහා ඉදිරි මාවත

සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රකාශයකි, 2018 මාර්තු 10

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි අනධ්‍යන කම්කරුවන් විසින්, පෙබරවාරි 28 දා ආරම්භ කල වැඩ වර්ජනය දසවන දිනය ද පසු කරමින් ඉදිරියට ඇදී යමින් පවතී. 15,000 කට අධික වර්ජිත කම්කරුවන් විසින් ඉල්ලා සිටින වැඩි වැටුප් ඇතුලු ඉල්ලීම් කිසිවක් ලබාදිය නොහැකි බව යලියලිත් පවසන ආන්ඩුව වර්ජනය නීති විරෝධී කිරීමට පියවර ගන්නා බවට තර්ජනය කරයි.

අනධ්‍යන කම්කරුවන් සටන් වදින ප‍්‍රශ්න සෑමතැනකට ම පොදු ඒවා ය: එනම්, පහල වැටෙන වැටුප්, පිරිහෙමින් පවතින සමාජ යටිතල පහසුකම්, නිදහස් අධ්‍යාපනය මත ප‍්‍රහාරය සහ වැඩෙන සමාජ අසමානතාව ආදිය යි. එබැවින් සමස්ත කම්කරු පන්තිය මෙය තමාගේම අරගලයක් ලෙස සලකමින් අනධ්‍යන කම්කරුවන්ගේ වර්ජනය ආරක්ෂා කිරීමටත් එයට සහයෝගය දීමටත් පෙරට පැමිනිය යුතුය.

මෙම අධිෂ්ඨානශීලී අරගලයෙන් අවශේෂ කම්කරුවන් සහ පීඩිතයන් දිරි ගැන්වෙතැයි ගනන් බලන ආන්ඩුව, වාර්ගික ප‍්‍රචන්ඩත්වයට මුවා වී පනවා ඇති හදිසි අවස්ථාව යොදා ගනිමින්, තම තර්ජනය යථාවක් බවට පත් කිරීමට බොහෝ ඉඩකඩ පවතී. මෙයටම ගැලපෙන පරිදි, වර්ජනය කැඳවූ විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව එය කවර හෝ මොහොතක නතරකර දැමීම සඳහා නිමිත්තක් සොයමින් සිටී.

මෙම පසුබිම තුල විශ්ව විද්‍යාල කම්කරුවන්ගේ අරගලය පැමින ඇත්තේ සන්ධිස්ථානයකටයි.

ඒකාබද්ධ කමිටුව විසින් වර්ජනය කැඳවනු ලැබුවේමත්, තම ඉල්ලීම් ඉටු නොකිරීමට ආන්ඩුව ගෙනඇති ආස්ථානය සම්බන්ධයෙන්, සමිති නායකත්වයේ පසුපසට පැදීමේ ප‍්‍රතිචාරයට එරෙහිව සාමාජිකත්වය අතර වැඩෙමින් පැවති බලගතු විරෝධයේ පීඩනය යටතේ ය.

මෙම ඉල්ලීම් යටතේම 2016 ජූලි මාසයේ දී අනධ්‍යන කම්කරුවෝ වර්ජනයක නිරත වූහ. ඒකාබද්ධ කමිටුව, දින 12 කට පසු එම වර්ජනය නවතා දමනු ලැබුවේ ඉල්ලීම් ලබාදෙන බවට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ලිඛිත පොරොන්දුවක් දුන් බව පවසමිනි. එය ව්‍යාජ පොරොන්දුවක් බව වැඩිකල් නොගොස් හෙලි වුවද වසර දෙකකට ආසන්න කාලයක් ගතවනතුරු කවර හෝ අරගලයක් සංවිධානය නොකල ඒකාබද්ධ කමිටුව අවසානයේදී 2018 ජනවාරි 25 සහ පෙබරවාරි 6, 7 යන දිනයන්හි සංකේත වර්ජන කැඳවූයේ සාමාජිකත්වය අතර වැඩුනු විරෝධය සමහන් කර වෙනතක හැරවීම සඳහායි.

පෙබරවාරි 28 වර්ජනය ආරම්භ කිරීමට ආසන්නයේ සමිති නායකයන් කියා සිටියේ නව උසස් අධ්‍යාපන ඇමති කබීර් හෂීම් තම නිලයේ වැඩ භාර ගැනීමටත් ප‍්‍රථම අනධ්‍යන කම්කරුවන්ගේ ප‍්‍රශ්න විසඳාලීමේ ලා සාධනීය ප‍්‍රතිචාර දක්වා ඇති බවයි. නමුදු නව ඇමතිවරයා වැඩ භාරගෙන දින කීපයකට පසු විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඒකාබද්ධ කමිටුවට දන්වා ඇත්තේ, 2015 දී සහ 2016 දී පිලිවෙලින් ලබාදුන් සියයට 20 ක සහ සියයට 15 ක වැටුප් වැඩිවීම හැර අන් කවර හෝ වැටුප් වැඩි කිරීමක් කල නොහැකි බව මුදල් අමාත්‍යංශය දන්වා ඇති බවයි.

සමිති නිලධරය දැන් කියා සිටින්නේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් නව ඇමතිවරයා නොමග යවා ඇති බවයි. අනධ්‍යන කම්කරුවන් විසින්, මාර්තු 6 වන දා, ප‍්‍රතිපාදන කොමිෂන් සභා භූමිය ඉදිරිපිට කල පිකට් උද්ඝෝෂනය අවසානයේ පැවති රැස්වීම අමතමින් ඒකාබද්ධ කමිටුවේ නායකයෙකු වන ධම්මික ප‍්‍රියන්ත මෙසේ පැවසීය: “ඉල්ලීම් ලබා දීමේ ප‍්‍රධාන බාධකය වෙලා තියෙන්නේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම. පැහැදිලිවම කියනවා නම් එහි සභාපති හා උප සභාපති. ගරු කබීර් හෂීම් ඇමතිතුමා ඉතා පැහැදිලිව අපේ සාකච්ඡාවේ දී ඇතිකරගත් එකඟතා අනුව මේ ඉල්ලීම් ඉටු කල යුතුයැයි පවසා තිබුනත් උප සභාපති එතුමාව නොමඟහැර තියෙනවා.”

ලක්ෂ්මන් කිරිඇල්ල මෙම ඇමති ධුරය දරන විට ඒකාබද්ධ කමිටුව කියා සිටියේ කිරිඇල්ලගේ දරදඬුභාවය නිසා ඉල්ලීම් නොලැබෙන බවයි.

වර්ජිත අනධ්‍යන කම්කරුවන් පලමුකොටම වටහාගත යුත්තේ ඉල්ලීම් නොලැබෙන්නේ ඇමතිවරුන්ගේ හෝ නිලධාරීන්ගේ දරදඬුභාවය නිසා නොවන බවයි. මෙය වෘත්තීය සමිති නිලධරය විසින් සාමාජිකත්වය නොමග යැවීම සඳහා දැනුවත්ව ගොතන බොරුවකි. ඊට විපරීතව, මෙම ඉල්ලීම් නොලැබෙනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලගතු ලෙස එයට එරෙහිව සිටින බැවිනි.

දැවැන්ත ආර්ථික අර්බුදයක ගිලී සිටින සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට මූල්‍ය අරමුදල විසින් පනවා ඇති විධානයන්ට අනුව, 2020 වන විට, රාජ්‍ය අය-වැය පරතරය දල ජාතික නිශ්පාදිතයෙන් සියයට 3.8 දක්වා අඩුකල යුතුය. 2017 අවසන්වන විට මෙම පරතරය සියයට 5.6 ක් විය. ඉලක්කය කරා පැමිනීමට මූල්‍ය අරමුදල විසින් යෝජනා කොට ඇති පියවර අතරින් මූලික වන්නේ, අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු මහජන සේවාවන් හි දැවැන්ත කප්පාදු, පුද්ගලීකරනය සහ ප‍්‍රතිව්‍යූහකරනයයි.

තවත් වැදගත් කරුනක් වන්නේ, අනධ්‍යන කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පන්තියට සහ අවශේෂ පීඩිතයන්ට එල්ල වන ප‍්‍රහාරයන් බිඳ වැටෙමින් පවත්නා ලෝක ධනේශ්වර පද්ධතියේ ඓතිහාසික අශක්‍යතාවේ ප‍්‍රතිඵලයක් බවයි. මෙම ප‍්‍රහාරයන් ලංකාවට සුවිශේෂ වූවක් නොව දියුනු ධනපති රටවල සිට අඩු දියුනු රටවල් දක්වා ලොවපුරා කම්කරු පන්තිය අත් විඳින පොදු තත්වයකි.

කම්කරු-පීඩිත මහජනතාවට එරෙහි ධනේශ්වරයේ ප‍්‍රහාරය ජාත්‍යන්තර වන්නාසේම, එම ප‍්‍රහාරයන්ට එරෙහිව දැවැන්ත පරිමාන කම්කරු පන්තික අරගල පැන නැගීම ද ජාත්‍යන්තර වෙයි. එක්සත් ජනපදයේ බටහිර වර්ජිනියාවේ ගුරුවරුන් ගෙනගිය වර්ජනය, ජර්මනියේ රථවාහන කම්කරුවන්ගේ අරගලය සහ ප‍්‍රන්සයේ ගුවන්සේවා කම්කරුවන්ගේ අරගලය මෙන්ම ශ්‍රී ලංකාවේ අනධ්‍යන කම්කරුවන්ගේ වර්ජනය, කම්කරු පන්තියේ නව ජාත්‍යන්තර රැඩිකලීකරනයේ ප‍්‍රකාශනයන් ය.

ධනපති ක‍්‍රමය මුහුන දී සිටින පෙරනොවූ විරූ අර්බුදයේ ප‍්‍රතිඵලයක් ලෙස, ලොවපුරා ආන්ඩු ක්‍රියාවට නංවමින් සිටින රුදුරු දේශපාලනික සහ ආර්ථික පිලිවෙත් සමග කම්කරුවන්ගේ අරගල විවෘතවම ගැටෙයි. එහි අර්ථය වන්නේ, ධනපති ආන්ඩු වලට මෙන්ම සමස්ත ධනේශ්වර ක‍්‍රමයට එරෙහි දේශපාලන සටනකින් තොරව මෙම අරගලයන්ට ඉදිරියට යා නොහැකි බවයි.

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වාත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ඇතුලු ලොවපුරා වෘත්තීය සමිති එවන් දේශපාලන අරගලයකට සපුරාම එරෙහිය. එසේ වන්නේ ඒවා කම්කරු පන්තියේ අවශ්‍යතා නියෝජනය නොකරන සංවිධාන බැවිනි. ඒවා සංගතයන් හි සහ රාජ්‍යයන් හි උපකරනයන්ය. ඔවුන් කම්කරු පන්තියේ මුදුනත ලැග සිටින්නේ, ධනපති ක‍්‍රමයට එරෙහි දේශපාලන අරගලයකින් කම්කරු පන්තිය වලකාලීම සඳහාය.

කම්කරු පන්තියේ සෑම අරගලයක්ම ඉහත දේශපාලන ප‍්‍රශ්න මතුකරන බැවින්, වෘත්තීය සමිති සැමවිටම යත්න දරන්නේ කම්කරුවන්ගේ වර්ජන සහ විරෝධතා පැන නැගීම වලකාලීමටයි. එක්සත් ජනපද වෘත්තීය සමිති නීතිඥයෙක් පසුගිය මාසයේ දී ශ්‍රේෂ්ඨාධිකරනය තුල කල ප‍්‍රකාශයකින් වෘත්තීය සමිතිවල මෙම ප‍්‍රතිගාමී භූමිකාව සිත් කා වදින අයුරින් සූත‍්‍රගත කෙරුනි:

“වෘත්තීය සමිතිවල ආරක්ෂාව වනාහි වැඩ වර්ජන නොමැතිවීම සඳහා වන සහතිකයයි.”

මෙම සංවිධාන මගින් යම් විරෝධතාවයක් හෝ වර්ජනයක් කැඳවනු ලබන්නේනම් එහි අරමුන වනුයේ, කම්කරුවන්ගේ සටන්කාමිත්වය දියකර හැර, ධනපති ක‍්‍රමයට එරෙහි අරගලයක් වර්ධනයවීම වලකාලීමයි.

“කම්කරු සටන් දේශපාලනික නොවන බැවින් එම සටන් වලට දේශපාලනය ගෙනෙනු එපා” යනුවෙන් වෘත්තීය සමිති ගෙනයන උද්ඝෝෂනය ද මෙම භූමිකාවේ අත්‍යන්ත කොටසකි. “දේශපාලනය එපා” යන නාමය යටතේ ඔවුහු ධනපති දේශපාලනය ප‍්‍රවර්ධනය කරති.

පසුගිය දශක කීපය තුල මෙම භූමිකාව හරහා වෘත්තීය සමිති විසින් පන්ති අරගලය කෘතිමව යටපත් කරගෙන සිටියද, ජාත්‍යන්තර කම්කරු පන්තික අරගලයන්හි යලි මතුවීමත් සමග වෘත්තීය සමිති සහ කම්කරුවන් අතර ගැටුම පෙර නොවූ විරූ අන්දමින් විවෘතව සහ සෘජුව ඉස්මත්තට පැමිනෙනු ඇත.

බටහිර වර්ජිනියාවේ 30,000 කට අධික ගුරුවරුන්, තම වෘත්තීය සමිති නායකයන් ආන්ඩුව සමග අත්සන් කල ගිවිසුමට එරෙහිව දින නවයක් පුරා ගෙනගිය අධිෂ්ඨානවත් අරගලයෙන්ද, ශ්‍රී ලංකාවේ අනධ්‍යන කම්කරු අරගලයට සහභාගි නොවීම සඳහා විශ්ව විද්‍යාල තාක්ෂනික නිලධාරීන්ගේ සංගමය ගත් තීරනයට එරෙහි යෝජනාවක් සම්මත කර ගත් එම සංගමයේ මොරටුව විශ්ව විද්‍යාල ශාඛාවේ සාමාජිකයන් වර්ජනයට සහභාගි වීමෙන් ද පෙන්නුම් කෙරෙනුයේ වෘත්තීය සමිති වලින් බිඳී අරගලය තම අතට ගැනීම සඳහා කම්කරුවන් දරන ආයාසයේ ආරම්භක ලක්ෂනයන් ය. මොරටුව විශ්ව විද්‍යාල ශාඛාව තුල එම යෝජනාව ඉදිරිපත් කරමින් මෙම ආරම්භකත්වය ගනු ලැබුවේමත් සමාජවාදී සමානතා පක්ෂයේ දිගු කාලීන සාමාජිකයෙකු වන එම්. දේහින් වසන්ත විසිනි.

විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව කෙරෙහි කවර හෝ විශ්වාසයක් නොතබන ලෙසත්, අරගලය තම අතට ගැනීම සඳහා වෘත්තීය සමිතිවලින් මුලුමනින්ම බිඳී වෙන්වී, කම්කරුවන්ගේ ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාකච්ඡා මගින් තීන්දු සහ තීරන වලට එලැඹෙන්නා වූ ස්වාධීන ක්‍රියාකාරී කමිටු සෑම විශ්ව විද්‍යාලයකම ගොඩනගා ගන්නා ලෙසත්, අනධ්‍යන කම්කරුවන්ගෙන් සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉල්ලා සිටී.

මෙම ක්‍රියාකාරී කමිටු මගින්, තම අරගලයට සහයෝගය දෙන ලෙස සමස්ත කම්කරු පන්තියෙන් ඉල්ලා සිටිය හැක. එමෙන්ම අනෙකුත් වැඩපොලවල් වලට තම කමිටු නියෝජිතයන් යවමින් අරගලයට එක්වන ලෙස අවශේෂ කම්කරුවන් ද දිරිගැන්විය හැක.

කම්කරු ක්‍රියාකාරී කමිටු පදනම් විය යුත්තේ කිනම් වැඩපිලිවෙලක් මතද යන්න අති මූලිකය. අනධ්‍යන කම්කරුවන්ගේ ඉල්ලීම් ලබාදීම සඳහා මුදල් නොමැති බවට ආන්ඩුව යලියලිත් කරන ප‍්‍රකාශය විමසා බැලීමෙන්මත් මෙම වැඩපිලිවෙලට ප‍්‍රවිෂ්ටයක් සම්පාදනය කරගත හැක. ආන්ඩුවේ ප‍්‍රකාශයෙන් සෘජුවම මතු කෙරෙන ප‍්‍රශ්නය වන්නේ සමාජ, ආර්ථික පිලිවෙත් සැකසෙන්නේ කාගේ අවශ්‍යතාවය මතද? යන්න යි. සංගත හිමියන්ගේ, මූල්‍ය ප‍්‍රභූවේ සහ ධනපති පක්ෂ වල අවශ්‍යතා මතද? නැතහොත් සෑම තැනකම සූරා කෑමට ලක් වෙමින් සමාජයේ සියලු වත්කම් නිපදවන කම්කරුවන්ගේ අවශ්‍යතා මතද?

නිසැකවම සමාජ-ආර්ථික පිලිවෙත් නිර්නය විය යුත්තේ සමාජයේ සියලු වත්කම් නිපදවන කම්කරුවන්ගේ අවශ්‍යතාවයන් මතයි. එය සාක්ෂාත් කිරීමට නම් මහා පරිමාන වතු, බැංකු සහ ෆැක්ටරි කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කොට, ලාභය සඳහා වන නිශ්පාදනය වෙනුවට සමාජ අවශ්‍යතාව සඳහා නිශ්පාදනය තහවුරු කෙරෙන සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට නැංවිය යුතුය.

ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු අත්‍යවශ්‍යයෙන්ම මෙම ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත පාදක විය යුතුය. ජීවත් වීමට සරිලන වැටුප් සහිත රැකියාවක්, මනා සෞඛ්‍යයක්, නිසි අධ්‍යාපනයක් සහ ආරක්ෂිත විශ‍්‍රාම දිවියක් යන අයිතීන් තහවුරු කෙරෙන ඉල්ලීම් ඉදිරිපත්කල හැකි රාමුවක් මෙම ක්‍රියාකාරී කමිටු හරහා නිර්මානය කර ගත හැක.

අනධ්‍යන කම්කරුවන්ට මෙන්ම අවශේෂ කම්කරුවන්ට සහ පීඩිතයන්ට එම ඉල්ලීම් සාක්ෂාත් කරගත හැකි වනුයේ, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනකි.

Share this article: