2018 මියුනිව් ආරක්ෂක සම්මේලනය සහ එක්සත් ජනපදය හා යුරෝපය අතර මතු වෙමින් ඇති ගැටුම

The 2018 Munich Security Conference and the emerging conflict between the US and Europe

2018 පෙබරවාරි 22

අධිරාජ්‍යවාදී බලවතුන් හා රුසියාව හා චීනය ද අතර නැගී ඒන විභවාත්මක ප‍්‍රචන්ඩ ගැටුම් වලින් පසුගිය සති අන්තයේ පැවැති මියුනිච් ආරක්ෂක සමුලුව වසාගනු ලැබින. බලවතුන් අතර කෙරෙන න්‍යෂ්ටික යුද්ධයක් වෙත ලෝකය කොතරම් දුරකට සමීපද යන්න මූර්තිමත් වූයේ, සභාපති වොල්ෆ්ගන්ග් ඉෂින්ගර් විසින් ඉදිරිපත් කරන ලද හැඳින්වීම සහිත ප‍්‍රධාන වාර්තාව මගිනි. “ලෝකය සැලකියයුතු ගැටුමක් අද්දරට වඩාත් සමීප වී ඇත.” යනුවෙන් අනතුරු ඇඟවූ මෙම වාර්තාව එම තක්සේරුව තහවුරු කිරීම සඳහා උතුරු කොරියාවට එරෙහි ඇමරිකානු යුද තර්ජනය, චීනයේ වේගවත් ආර්ථික වර්ධනය, නැගෙනහිර යුරෝපයේ රුසියාව සමග ගැටුම, සහ ඉරානය සමග ඇමරිකාවේ හැප්පීම ලැයිස්තුගත කර තිබින.

රුසියාව, චීනය හා ඉරානයේ “බාහිර තර්ජන” ගැන පොදුවේ කථා කරන අතර සමුලූව, ස්වාධීන යුරෝපීය මිලිටරි බලයක් ගොඩනැගීමේ හැකියාව සැලසුම් කිරීම කේන්ද්‍රීය කොටගෙන, ඇමරිකාව සහ යුරෝපීය සංගමය අතර පුලුල් වන භේදයක් මගින් අංගලක්ෂනය කෙරුනි. මෙය පසුගිය වසරේ පෙස්කෝ ගිවිසුම මගින් ආරම්භ කෙරුනු අතර “අනාගතයේදී යුරෝපීය හමුදා බලය ගොඩනැගීම, වඩාත් සම්බන්ධීකරනයවූ, වඩාත් හැකියාවන් ඇති, වඩාත් යුරෝපීයවූ” යනුවෙන් දෙවැනි සමුලු වාර්තාවෙන් විස්තර කර තිබුනි.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව අධිරාජ්‍යවාදී ලෝක බලවතා ලෙස වොෂින්ටනය විසින් නිර්මානය කරන ලද ලෝක ධනවාදයේ ආයතනවල සිදුවෙමින් ඇති ඓතිහාසික බිඳවැටීම සැඟවිය නොහැකිය.

යන්තම් මාස නවයකට පෙර, නැටෝව යල්පැන ගිය ආයතනයක් බව තමන් විශ්වාස කරන බව ප‍්‍රකාශ කල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ට පිලිතුරු වශයෙන් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මෙර්කල් පැවසුවේ, බර්ලීනය දැන් වොෂින්ටනයෙන් ස්වාධීන විදේශීය ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. අනාගතයේදී “අපට අප සඳහා සටන් කිරීමට සිදුවන බව” ඇය පැවසුවාය.

2018 සම්මේලනයේදී බර්ලීනය සහ පැරීසිය විසින් මෙහෙයවන ලද යුරෝපීය සංගමය ප‍්‍රකාශ කලේ, ඇමරිකාව විසින් ආධිපත්‍යය දරන නැටෝවේ ව්‍යූහයන්ගෙන් තමන්ගේ කටයුතතු වලට තව දුරටත් බාධා නොවනු ඇති බවත්, තමන්ගේම මිලිටරි යාන්ත‍්‍රනය සඳහා වසරකට යුරෝ බිලියන ගනනක් වියදම් කරමින්, ස්වාධීන ලෝක බලවතෙක් බවට පත් වීමට උත්සාහ කරනු ඇති බවත්ය. සමුලුවට පෙරාතුව, බර්ලීනය සහ මැඩ්රිඩ් ආන්ඩු දෙකම හමුදා වියදම් දෙගුනයක් කිරීමේ සැලසුම් නිවේදනය කල අතර පැරීසිය 2018-2024 සඳහා යුරෝ බිලියන 300 ක මිලිටරි අයවැයක් නිවේදනය කලේය.

හමුදා වියදම් වැඩි කිරීම සඳහාත්, ලෝකයේ පොලිස්කාරකම් කිරීමේ වගකීමේ තම කොටස යුරෝපයට භාරකිරීම සඳහාත් ඇමරිකාව කරන බලපෑම්වල වාසිය ගනිමින් යුරෝපීය සංගමයේ බලවතුන් ප‍්‍රකාශ කලේ, තමන් දැන් නව බහු ධ‍්‍රැවීය ලෝකයක තමන්ට උරුම ස්ථානය ලබාගන්නා බවයි. ලියවිල්ල ප‍්‍රකාශ කලේ: “‘පලමුව ඇමරිකාව’ සහ බ්‍රෙක්සිට් වැඩපිලිවෙල, ජාත්‍යන්තරවාදී ඇන්ග්ලො-සැක්සන්වරුන්ගේ හිදැස පිරවීමේ ප‍්‍රයත්නය සඳහා ලිබරල් පර්යායේ අනෙකුත් හවුල්කරුවන්ට බලපෑමක් කර ඇත.... ආසියා පැසිෆික් හි නවීකරනය කරන ලද චතුර්පාර්ශවික (ඇමරිකාව, ජපානය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව) ප‍්‍රජාතන්ත‍්‍රයන්ගේ අනෙකුත් කන්ඩායම් වලට හැකිවන සේම යුරෝපීය සංගමයට, සමස්තයක් ලෙස ලිබරල් ජාත්‍යන්තර පර්යාය සඳහා ස්ථාවර කිරීමේ කර්තව්‍යයක් ඉටු කිරීමට හැකිය.” යනුවෙනි.

ලෝක බලවතෙක් වීම සඳහා යුරෝපීය සංගමයට ඉදිරිපත් වී ඇති වාර්තාවේ යෝජනා, ප‍්‍රන්සයේ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් සමග සන්ධාන ගතවී වැඩකරන නව මහා සභාග ආන්ඩුවක් ගොඩ නැගීමට අදහස් කරන ජර්මනියේ ක්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් සහ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ගිවිසුමෙන් දෝංකාරය නංවයි. මෙම ගිවිසුම, බෝල්කන් කලාපයේ, රුසියාව, තුර්කිය, ඇෆ්ගිස්ථානය, මැද පෙරදිග, පර්සියානු බොක්ක සහ උතුරු අප්‍රිකාව එනම් දැවැන්ත ප‍්‍රදේශයක, යුරෝපීය සංගමයේ බලපෑම තහවුරු කිරීමට පදනම දමයි. එනම්, යුරෝපීය සංගමය, හිට්ලර්ගේ රටවල් යටත් කිරීමේ කූටප‍්‍රාප්තයේ තුන්වන රයිකයට වඩා විශාල ප‍්‍රදේශයක බලපෑම් සහගත තත්වයක් ඇති කිරීමට ඉලක්ක කරයි. ප‍්‍රන්සයේ මිලිටරි සේවය අනිවාර්ය කිරීම සඳහා මැක්රොන්ගේ කැඳුවුම සහ සිරියාවට බෝම්බ හෙලීමේ තර්ජන ඇඟවුම් කරන්නේ, යුරෝපීය සංගමය, මහා පරිමානයේ ආයුධවල ආධාරයෙන් මෙම ඉලක්ක සපුරා ගැනීමට සැලසුම් කරන බවයි.

ඇමරිකාවේ ආරක්ෂක ලේකම් ජේම්ස් මැතිස්, මෙම සැලසුම් පිලිබඳව අනතුරු අඟවයි. ඔහු පැවසුවේ, යෝජිත සමහර ආරම්භකත්වයන් “නැටෝවෙන් සම්පත් සහ හැකියාවන් ඉවතට යාමේ” අවදානමක් මතු කරන බව වොෂින්ටනය සැලකිල්ලට ගෙන ඇති බවයි. යුරෝපීය සංගමයේ හමුදා සැලසුම්, නැටෝ සන්ධානය සමග තරඟ නොකරන බව ලිඛිතව සහතික කරන ලෙස මැතිස් යුරෝපීය බලවතුන්ගෙන් ඉල්ලුව ද යුරෝපීය සංගමය එය ප‍්‍රතික්ෂේප කලේය.

1991 ස්ටැලින්වාදීන් විසින් සෝවියට් සංගමය දියකර හැරීමේ පටන් ඇමරිකානු ප‍්‍රතිපත්තිය වී තිබුනේ, ලෝක කටයුතු මත තම ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා තම සුපිරි මිලිටරි බලය භාවිතා කිරීමය. 1992 දී පලවූ ලියවිල්ලක පෙන්ටගන් සැලසුම්කරුවන් ප‍්‍රකාශ කලේ, “තම විභව තරඟකරුවන් වඩා ප‍්‍රමුඛ ක්‍රියාකලාපයක් හෝ වඩා ආක‍්‍රමනකාරී පිලිවෙතක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති” යයි වොෂින්ටනය විශ්වාස කරන බව ය. එසේම ඔවුන්, “අපගේ නායකත්වයට අභියෝග කිරීම හෝ ස්ථාපිත දේශපාලන සහ ආර්ථික පර්යාය පෙරලා දැමීම අධෛර්යමත් කිරීමට” කටයුතු කල යුතුව තිබුනු බවය.

මෙය අසාර්ථක වී ඇත. බර්ලීන සහ පැරීසිය මත පාදකව, යුරෝපීය අධිරාජ්‍යවාදී ධනේශ්වරයේ බලගතු කොටස් දැන් අවිවාදිත ලෝක බලවතා ලෙස වොෂින්ටනයේ ක්‍රියාකලාපයට විවෘතවම අභියෝග කරමින් සිටියි.

මෙම මිලිටරි ආතතීන්, දේශපාලන සහ ආර්ථික සබඳතාවල කඩිනම් පිරිහීමක් සමග බද්ධ වී ඇත. යුරෝපීය බලවත්තු සියල්ලෝම, ඉරානයේ න්‍යෂ්ටික ගිවිසුම ඇමරිකාව විසින් ප‍්‍රතිසංවිධානය කිරීම හෝ අලූත් කරන ලද සම්බාධක පිලිගැනීම සඳහා ඇමරිකාව ගෙන ආ අවසන් නිවේදන ප‍්‍රතික්ෂේප කලහ. මෙම සම්බාධක මගින් ඉරානය සමග ඩොලර් බිලියන ගනන් ව්‍යාපාරික කටයුතුවල යෙදෙන යුරෝපීය සමාගම්වලට පහර එල්ල වනු ඇත. ජර්මානු විදේශ ඇමති ගාබ්රියෙල් සිග්මාර් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ගැන සමුලුවේදී දැඩි ප‍්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ: “අපි එකතුවී මෙම ගනුදෙනුව සාකච්ඡා කලෙමු. අපි එය අත් හැර දැමීම ප‍්‍රතික්ෂේප කෙලෙමු, අපි එයට එකඟ නොවන්නෙමු. අනෙක් අතට අපි, අපගේ ඇමරිකානු මිතුරන්ට උපදෙස් දෙන්නේ මෙම ගිවිසුම අසාර්ථක වීමට ඉඩ නොදෙන ලෙසටයි.” යනුවෙනි.

වානේ මත සියයට 25 ක් හා ඇලූමීනියම් මත සියට 7.7 තීරු බදු පැනවීමේ ඇමරිකානු තර්ජන යුරෝපීය කොමිසම විසින් හෙලා දුටු අතර ඇමරිකාවෙන් කෙරෙන ආනයන රාශියකට ඒ ආකාරයෙන්ම ප‍්‍රතිචාරය දක්වන බවට තර්ජනය කලේය. සම්මේලනය අවසන්වී දින දෙකකට පසුව යුරෝපීය සංගමයේ මුදල් ඇමතිවරු, මෙම තර්ජනයට එරෙහිවත් ඇමරිකාව වෙත තාක්ෂනික කර්මාන්ත ආයෝජන යලි ඇද ගැනීම පිනිස සංගත බදු කපා හැරීමේ ට‍්‍රම්ප්ගේ යෝජනා ගැනත්, තම සාමුහික ප‍්‍රතිචාරය පිලිබඳව සාකච්ඡා කිරීමට හමුවූහ.

ජර්මනියේ ප‍්‍රමූඛ ව්‍යාපාරික පුවත්පතක් වන හන්ඩ්ල්බ්ලාට් සඳහන් කලේ: “ඇතැම්විට යුද්ධ ඇරඹෙන්නේ අතපසු වීමකින් හෝ වැරදීමකින් විය හැක. නිදසුනක් ලෙස ඉතිහාසඥයො නිතරම, පලමුවන ලෝක යුද්ධයට පෙර සමය, නින්දෙන් ඇවිදින අයෙකු ඇද වැටීමකට සමාන කලහ. මෙය වෙලඳ යුද්ධ සම්බන්ධයෙන් ද වෙනස් නොවේ. ලාභ වානේ සහ ඇලුමීනියම් ආනයන පිලිබඳව ඇමරිකාව, යුරෝපය සහ චීනය අතර දැන් පැනනැගී ඇති මතභේදය, විවෘත වෙලඳ යුද්ධයක් බවට වර්ධනය වීමේ අවදානම පවතී.” යනුවෙනි.

වෙලඳ සහ මිලිටරි ගැටුම් එකිනෙකට වෙලී පවතී. වෙලඳපොලවල් සහ මූලෝපායික අනුහස සඳහා නින්දිත පොරයක් පොහොසත්ම ධනපති බලවතුන් අතර දිග හැරෙමින් ඇත. මෙම පොරය යුද්ධයක් දක්වා ගමන් නොකරන්නේ යයි සිතීම ඉතිහාසයට එරෙහිව ඔට්ටු ඇල්ලීමකි. යුරෝපයේත් ජාත්‍යන්තරවත් කම්කරු පන්තිය මුහුනදී සිටින්නේ, ශතවර්ෂයකට පෙරාතුව පලමුවන ලෝක යුද්ධයටත්, 1917 ඔක්තෝබර් විප්ලවයටත් මග හෙලි කල, මීට සමාන ආකාරයේ ලෝකය යලි බෙදා ගැනීමේ බිහිසුනු අන්තර් අධිරාජ්‍යවාදී ගැටුම් යලි මතුවීමටය. බංකොලොත් ධනපති ක‍්‍රමයට විකල්පයක් ලෙස මතුවෙමින් පවතින බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තියයි.

යුද්ධය සඳහා වන අධිරාජ්‍යවාදී ධාවනය, ලෝකයේ බිලියන සංඛ්‍යාත කම්කරුවන් හමුවේ ධනපති ක‍්‍රමය වඩ වඩාත් අප‍්‍රසාදයට පත් කරන සමාජ හා ආර්ථික අර්බූදයක් සමග අත්වැල් බැඳගෙන ගමන් කරයි. පසුගිය වසරේ පැවති මත විමසීම් අනාවරනය කලේ, ඇමරිකානු තරුනයින් ධනවාදයට එරෙහිව කොමියුනිස්ට්වාදයට හෝ සමාජවාදයට වඩා ප්‍රියකරන බවත් යුරෝපයේ තරුනයින්ගෙන් අඩක් තමන්ට අවස්ථාවක් වෙතොත් පවතින සමාජ පර්යායට එරෙහිව මහජන නැගිටීමකට සහභාගි වන බවත්ය.

මෙම සිද්ධීන් සනාථ කරන්නේ, සෝවියට් සංගමය විසුරුවා හැරීම ධනවාදයේ අවසාන ජයග‍්‍රහනය සනිටුහන් නොකලේය යන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අවධාරනයයි. මෙය 20 වන සියවසේ ශ්‍රේෂ්ඨ මාක්ස්වාදීන් හඳුනා ගත් මූලික පරස්පරයන් -ලෝක ආර්ථිකයත් ජාතික රාජ්‍ය පද්ධතියත් අතර සහ සමාජයීය වූ නිශ්පාදනයත් පෞද්ගලික ලාභය අතරත්- ජයගෙන නොමැත. මෙම පරස්පරයන් යුද්ධයට මෙන්ම විප්ලවයටත් මග පෑදීය. තවදුරටත්, පාලක ප‍්‍රභූව දශකයක අර්බූදය මගින් විනාශ කරන ලද ආර්ථිකයෙන් මිරිකා ගන්නා ලද බිලියන සිය ගනන් යුරෝ මුදල් යුද්ධය සඳහා වන නව ව්‍යායාමය වෙනුවෙන් වියදම් කරයි.

අනෙකුත් රටවල තම පන්ති සහෝදර සහෝදරියන්ගෙන් බෙදා වෙන්කිරීම කම්කරුවන්ට පිලිගත නොහැක. හිට්ලර් බලයට පැමින වසරකට පසුව, 1934 දී රුසියානු විප්ලවවාදී ලියොන් ට්‍රොට්ස්කි ලිව්වේ, කර්තව්‍යය වන්නේ “යුද්ධයේ සිතියම නොව පන්ති අරගලයේ සිතියම අනුගමනය කිරීමයි.” දැනටමත්, ඇමරිකානු සහ යුරෝපීය කම්කරු පන්තිය තුල යුද්ධයට එරෙහිවත් එකිනෙකාට එරෙහි මිලිටරි යාන්ත‍්‍රනයන්ට අරමුදල් සැපයීම සඳහා සමාජ කප්පාදු ප‍්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එරෙහිවත් දැවැන්ත විරෝධයක් පවතී. ඔඩුදුවමින් පවතින ධනපති අර්බූදයට දැක්විය යුතු ප‍්‍රතිචාරය, සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් මත කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමයි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: