ජාත්‍යන්තර කාන්තා දිනයේ දී කාන්තා කම්කරුවන් මුහුන දෙන තත්ත්වය

The condition of working-class women on International Women’s Day

2018 මාර්තු 9

සමහර විට ඉතිහාසයේ මින් පෙර කවරදාටත් වඩා දැන් ඇමරිකානු හා ගෝලීය මාධ්‍ය ලිංගිකත්වය ගැන කතා කරයි. එක්සත් ජනපදයේ #මීටූ උද්ඝෝෂනය අන් කවරදාටත් වඩා කාන්තාවන්ගේ කොන්දේසි ඉස්මත්තට ගෙනැවිත් ඇතැයි කියනු ලැබේ. එක්සත් ජනපදයේ මාධ්‍ය හා හොලිවුඩ් ලෝකය අන්කිසිවකින් මෙතරම් චිත‍්‍රනය වී නැත.

නමුත් මෙය ප්‍රෝඩාවකි. සෑම අයුරකින්ම අනුග‍්‍රහය ලබන කාන්තාවෝ සමාජයේ පොහොසත් ම සියයට පහට හෝ දහයට අයත් වන ඉහල තරාතිරම්වල අය වෙති. අතලොස්සක් වන ව්‍යතිරේකයක් හැරෙන්නට කම්කරු පන්තික කාන්තාවන් මේ කිසිවක් තුල දක්නට නො ලැබෙන්නේ මෙම නීතිය සාධනය කරමිනි.

මාධ්‍ය ආවරන තුල පවත්නා මෙම කුටික වූ පන්ති පෙලගැස්ම මහා සමාජ යථාර්ථයක්, එනම්, පසුගිය දශක කිහිපය තුල ධනවත් කාන්තාවන් හා කම්කරු පන්තික කාන්තාවන් අතර අගාධය නාටකාකාර ව පුලුල් වී තිබීම පිලිබිඹු කරයි. 2018 ජාත්‍යන්තර කාන්තා දිනයේ දී මාධ්‍යයන් විසින් නො සලකා හරින සහ සවස ප‍්‍රවෘත්ති තුල තම මුහුනු හා පැමිනිලිවලට තැනක් නැති ලෝකයේ අතිමහත් බහුතර කාන්තාවන්ගේ කොන්දේසි මොනවා ද?

අද වන විට පෘථිවිය මත ජීවත් වන බිලියන 7.6ක් වන පුද්ගලයන්ගෙන් බිලියන 1.3ක් ආන්තික දරිද‍්‍රතාවෙන් පෙලෙන අතර, ප්‍රොජෙක්ට් කන්සර්න් ඉන්ටර්නැෂනල්ට අනුව ඉන් සියයට 70ක් ම කාන්තාවන් හෝ ගැහැනු ලමුන් ය.

ලෝකයේ යුද්ධය, සාගතය හා ප‍්‍රචන්ඩත්වය හේතුවෙන් පලායන සරනාගත ජනගහනය වන මිලියන 65.6කින් හරි අඩක් පමන දෙනා ගැහැනුන් ය. විශේෂයෙන් ම, අභ්‍යන්තර විතැන් වීම හෝ සහකරුවෙක් නැති, ගැබිනි, නිවසේ ප‍්‍රධානත්වය දරන, ආබාධිත හෝ වැඩිහිටි කාන්තාවන් මේවාට ගොදුරු වේ.

සෑම දිනක් පාසා ම ලොව පුරා 830ක් ගැහැනු ගැබිනි භාවය හා දරු උපත් සිදු වීමේ දී සිදුවන වැලැක්විය හැකි හේතූන්ගෙන් මිය යති. සියලුම මාතෘ මරනවලින් සියයට 99ක් ම සිදුවන්නේ ඊනියා සංවර්ධනය වෙමින් පවත්නා රටවල ය. මේ අංශයේ යම් ඉදිරි පියවර කිහිපයක් තැබීම නිසා ගෝලීය මාතෘ මරන අනුපාතිකය 1990 සහ 2015 අතර කාලසීමාවේ සියයට 30කින් පමන පහල ගොස් ඇත.

එහෙත් 1990 දී 100,000කට මරන 16.9 සිට 2015 දී 24.7 දක්වා මාතෘ මරන අනුපාතිකය එක්සත් ජනපදය තුල සියයට 56කින් ඉහල නැගුනි. මේ අංශයේ දී එක්සත් ජනපදය උප සහරනු අප‍්‍රිකා කලාපයේ දුප්පත් ම රටවල් අතරට වැටේ. ලක්සම්බර්ග්, කැනඩාව හා ග‍්‍රීසිය මාතෘ මරන අනුපාතිකය ඉහල ගිය අනෙකුත් දියුනු රටවල් වන අතර, එතෙකුදු වුවත් ඒවායේ සමස්ත අනුපාතිකය එක්සත් ජනපදයට සන්සන්දනාත්මක ව දෙතුන් ගුනයකින් අඩු ය. 2018 වසර තුල පෘථිවියේ පොහොසත් ම ජාතිය මෙම තත්ත්වයට වග උත්තර බඳින්නේ කෙසේ ද?

ඇමරිකාවේ කම්කරු පන්තික කාන්තාවන්ගේ ඉරනම සමස්තයක් ලෙස කම්කරු පන්තියේ ඉරනම සමග වෙන්කල නොහැකි ලෙස බැඳී ඇත. ආදායම් අසමානතාව අතින් එකදිගට ම වඩාත් ම අසමාන රට ලෙස ශ්‍රේනිගත වන්නේ එක්සත් ජනපදය යි. ඇමරිකානු කාන්තාවන්ගේ මාතෘ මරන, දරිද‍්‍රතාව, වැටුප් හා විරැකියාව පිලිබඳ අපකීර්තිමත් සංඛ්‍යානමය දත්තයන් වනාහි ජාතික ධනයේ වඩ වඩා ඉහල යන පංගුවක් එක්සත් ජනපදයේ පාලක ප‍්‍රභූව විසින් අත්කර ගැනීම හා සමාජ ආරක්ෂන ජාලයේ ඉතුරු පහදු මහ ව්‍යාපාරිකයේ පක්ෂ දෙක විසින් කප්පාදු කරනු ලැබීම පිලිබඳ පිලිබිඹුවකි.

ජොන්සන් පරිපාලනය විසින් “දරිද්‍රතාවට එරෙහි යුද්ධය” ආරම්භ කිරීමෙන් අඩසියවසකට පසුව නිල වසයෙන් දුප්පත් යයි ගනන් බැලෙන ඇමරිකානුවන් මිලියන 37න් අඩකට වැඩි පිරිසක් කාන්තාවන් ය. තවත් සංඛ්‍යාන දත්තයක් මිලියන 100කට වැඩි ඇමරිකානුවන් පිරිසක් දරිද‍්‍රතා වාටියේ හෝ එය තුල හා පිටත මාරුවෙමින් ජීවත් වන අතර ආසන්න වසයෙන් ඉන් සියයට 70ක් කාන්තාවන් හා ලමුන් ය.

වයස 18ට අඩු ලමුන් සහිත සියලු නිවහන්වලින් සියයට හතලිහක ම ප‍්‍රධාන හෝ එක ම ආදායම් ලාභීන් වන්නේ මව්වරුන් ය. එක්සත් ජනපදය තුල අවම වැටුප් ලබන කම්කරුවන්ගෙන් ආසන්න වසයෙන් තුනෙන් දෙකක් ම සමන්විත වන්නේ කම්කරු කාන්තාවන්ගෙනි. පූර්න කාලීන කාන්තා කම්කරුවන්ගේ මධ්‍යන්‍ය ඉපයීම් පිරිමි කම්කරුවන්ගේ මධ්‍යන්‍ය ඉපයීම්වලින් හතරෙන් තුන් පංගුවකි. වයස 18 සිට 56 දක්වා කම්කරුවන්ගෙන් සියයට 47ක් ම කාන්තාවන් වුවත් රැකියාවක් තිබුනත් දරිද්‍රතාවෙන් පෙලෙන දුගී කම්කරුවන්ගෙන් සියයට 56ක් වන්නේ එම ගැහැනුන් ය.

කම්කරු පන්තික ගැහැනුන් මුහුන දෙන ප‍්‍රශ්න දුප්පත් කම, සූරාකෑම, විරැකියාව, සෞඛ්‍යාරක්ෂනය හා නිදහස් අධ්‍යාපනය මත ප‍්‍රහාරය සහ අධිරාජ්‍යවාදී යුද්ධය මගින් නිෂ්පන්නිත හායනය හා ලිංගික ප‍්‍රචන්ඩත්වය ඇතුලු ප‍්‍රචන්ඩත්වය යනා දී සමස්ත කම්කරු පන්තිය මුහුන දෙමින් සිටින ප‍්‍රශ්න ම ය. ගබ්සා කරගැනීමේ අයිතිය ඇතුලු ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් පිලිබඳ මූලික ප‍්‍රශ්න ප‍්‍රහාරයට ලක්වෙමින් පවතී. අත්‍යවශ්‍ය ම අවස්ථාවන්හි දී හැරුනු කොට පෝලන්තය තුල ගබ්සාව මුලුමනින් ම තහනම් කෙරී ඇත. ගර්භනී භාවය අවසන් කිරීමේ ක‍්‍රම සොයන කාන්තාවන් මත එක්සත් ජනපදයේ ප‍්‍රාන්තයන් පාසා සීමාකිරීම් පැනවී ඇති අතර මිසිසිපි ප‍්‍රාන්තය සති 15කින් පසු ගබ්සාව තහනම් කිරීමට සැරසෙයි.

එහෙත් 2016 දී එක්සත් ජනපදය තුල ඉහල ම ගෙවීම් ලැබූ ප‍්‍රධාන විධායක නිලධාරීන් 10 දෙනාගෙන් හතර දෙනෙක් ම කාන්තාවන් වන අතර ඒ සියලු දෙනා වසරේ ඉහල ම ගෙවීම් ලද 100 දෙනාගේ ඊක්විලර් ලැයිස්තුව තුල පෙනී සිටිය හ. සමස්ත ගෙවීම් පහත පරිදි විය:

ඔරැක්ල්හි සෆ්රා කැට්ස්: ඩොලර් මිලියන 40.9යි

අයිබීඑම්හි ගින්නි රොමෙටි: ඩොලර් මිලියන 33.3යි

හෙල්වෙට් පැකාඩ් එන්ටප‍්‍රයිස්හි මෙග් විට්මන්: ඩොලර් මිලියන 32.9යි

පෙප්සිකෝහි ඉන්ද්‍රා නූයි: ඩොලර් මිලියන 25.1යි

සෑම අංශයකින් ම ගත් කල, මෙම කාන්තා විධායිකාවන් හා ඔවුන්ගේ ප‍්‍රකෝටිපති කාන්තා සහචරයන්ගේ කුඩා සමාජයන් සිටින්නේ අතිමහත් බහුතර කාන්තා කම්කරුවන් හා ඔවුන්ගේ පවුල්වලට ආලෝක-වර්ෂ ගනනක් දුරිනි. ඔවුන්ගේ ප‍්‍රධානතම තැකීම වන්නේ තමන්ගේ ම ව්‍යාපාරික තානාන්තරයන් හා සංගත ඉනිමගේ වඩ වඩා ඉහල නැගීමට මූලෝපායන් සකස් කිරීම යි. ඔවුන් ලමුන් බලාගන්නියන් මිලට ගන්නා අතර කම්කරුවෝ දිවාසුරැකුම් වෙනුවෙන් ගෙවාගත නො හැකි ව ලතවෙති. ඔවුන් බීමට හොඳ වයින් වර්ගය හා යාමට හොඳ අවන්හල ගැන විවාද කරද්දී මිලියන ගනන් පවුල් කෑම මේසය සකස් කරගැනීමට නො හැකි ව අරගලයේ යෙදෙති. ගුවන් යානාවෙන් ගොඩබසින ඉහල මාලය හෝ මහා මන්දිරය කුමක්දැයි ඔවුන් තෝරමින් සිටිද්දී කම්කරුවෝ කුලිය ගෙවා ගත නො හැකි ව පන්නා දැමීමෙන් වැලකීම පිනිස සටනේ යෙදෙති.

ආත්මාර්ථකාමී, ඉහල මධ්‍යම-පන්තික “කාන්තා අයිතීන්” පිලිබඳ කප්පිත්තන්ට අවශ්‍ය වන්නේ සංගත ලෝකය තුල ගැහැනුන් එලෙස ආරෝහනය වීම සියලූ ගැහැනුන් සඳහා ඉදිරි පියවරක් බව අප ලවා විශ්වාස කරවීමට යි. එහෙත් යථාර්ථය ඊට බොහෝසෙයින් වෙනස් ය.

සාමාන්‍යයෙන් ස්ත‍්‍රීවාදී කවවල තහනම් කෙරී ඇති විෂයයක් වන සොෂියෝලොජිස්ට් (සමාජවිද්‍යාඥයා) සඟරාවට 2017 දී ලියූ සීයූඑන්වයි උපාධිධාරී මධ්‍යස්ථානයේ සමාජ විද්‍යා මහාචාර්ය රූත් මිල්ක්මන් “කාන්තාවන් අතර පන්තිමය අසමානතාවන් අන්කවරදාටත් වඩා වැඩි ය” යන්න ප‍්‍රතික්ෂේප කල නො හැකි බව සඳහන් කලේ ය. එහෙත්, පසුගිය වසර පුරා ප‍්‍රධාන වසයෙන් පිරිමින් වන ගනන් නැති පුද්ගලයන් සංඛ්‍යාවක් අපකීර්තියට හා අවනම්බුවට පත්කිරීමේ සිය කුරුස යුද්ධයේ දී විධිමත් ක‍්‍රියාවලිය හා නෛතික පිලිගැනීම් කාන්තා අයිතීන්ගේ නාමයෙන් අතහැර දමා ඇති #මීටූ ව්‍යාපාරයේ ඉදිරියේ සිටින්නන් මෙම යථාර්ථය සඟවාලයි. සියලු “කාන්තාවන්ගේ” නාමයෙන් මෙම විකාර රූපය ගොතා ඇති නමුත් කාන්තා ජනගහනයේ පුලුල් ස්ථරවල අයිතීන් හා තැකීම් දිරිමත් කිරීම සමග මෙලොව සම්බන්ධයක් එයට නැත.

කාන්තා අයිතීන් සඳහා වන සටන වනාහි සංගත මන්ඩල කාමර හා හොලිවුඩ් පුරවරයේ සුඛනම්‍ය පරිසරය වෙනුවට පන්ති අරගල ක්ෂේත‍්‍රයේ විසඳනු ලැබිය යුතු සමාජීය ප‍්‍රශ්නයකි. රෝසා ලක්සම්බර්ග් වරක් මෙලෙස විස්තර කලා ය: “දේපොල හිමි පන්තියේ ගැහැනුන් සෑම විට ම අන්තගාමී ලෙස වැඩකරන ජනයා සූරාකෑම හා වහල් බවේ තැබීම ආරක්ෂා කරනු ඇත්තේ, ඔවුන්ගේ සමාජීය වසයෙන් නිෂ්ඵල පැවැත්මේ මාධ්‍යය වක‍්‍ර ව ලැබෙන්නේ ඒ මාර්ගයෙන් වන නිසා ය.”

ජාත්‍යන්තර කාන්තා දිනයේ සම්භවයන් ඇමරිකානු සමාජවාදී පක්ෂය ජාතික කාන්තා දිනය නිව් යෝක් නගරයේ දී සංවිධානය කල 1909 පෙබරවාරි 28දා දක්වා දිව යයි. දෙවසරකට පසු 1911 මාර්තු 25දා එම නගරයේ දී ම ට‍්‍රෑන්ගල් ෂර්ට්වේස්ට් කර්මාන්තශාලාවේ ගින්නක් හටගත් විට එහි ගිනිදලූවලට නිරාවනරය වීම හෝ දුම් ආග‍්‍රහනය වීම සහ ගින්නට ඇද වැටීම හෝ පැනීම හේතුවෙන් රෙදිපිලි කම්කරුවන් 146ක් මරුමුවට වැටුනි. ඉන් බොහෝ දෙනෙක්, එනම් 123ක් පමන 16-23 අතර වයසේ පසු වූ ආසන්න සමයේ ඉතාලියානු හෝ යුදෙව් සංක‍්‍රමනිකයන් විය.

කම්කරු පන්තික ගැහැනුන්ගේ සමාජ සුභ සාධනය, ආත්මාභිමානය හා අයිතිවාසිකම් සඳහා වන අරගලය ඉදිරියට ගනු ලැබිය හැක්කේ සමාජය සමාජවාදී ලෙස පරිවර්තනය කිරීම සඳහා සමස්ත ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලයේ කොටසක් ලෙස ගන්නා මෙම ශ්‍රේෂ්ඨ සමාජවාදී සම්ප‍්‍රදායේ පදනම මත පමනි.

කේට් රැන්ඩෝල්

Share this article: