ඉරාක යුද්ධය දියත් කිරීමේ තැන් සිට පහලොස් වසරක්

Fifteen years since the launching of the Iraq War

2018 මාර්තු 21

අදට වසර පහලොවකට පෙර, 2003 මාර්තු 20-21 රාත‍්‍රියේ, එක්සත් ජනපද හා මහා බ්‍රිතාන්‍යයේ සන්නද්ධ හමුදා, පුද්ගලයන් මිලියන 26කින් යුත් රටක් වන ඉරාකය තුල නීතිවිරෝධි හා අප‍්‍රකෝපිත ආක‍්‍රමනයක් ඇරඹූහ. ඉරාක නගර මත බෝම්බ හා මිසයිල වර්ෂාවක් පතිත කිරීම ඇරඹීමත්, එමෙන් ම යුදටැංකි හා සන්නද්ධ රථ කුවේටයේ දේශසීමා පසු කිරීමත් සමග, එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ආක‍්‍රමනකාරී යුද්ධයක් දියත් කලේ ය. අද ලෝක දේශපාලනය හැඩ ගස්වනු ලබන්නේ එහි විනාසකාරී ප‍්‍රතිවිපාක විසිනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉරාක ජනතාව මත මෙම සංහාරයේ ප‍්‍රතිවිපාක විස්තර කලේ “සමාජ ඝාතනයක්”, එනම් නූතන ශිෂ්ටාචාරයේ සම්පූර්න පොදුකාර්ය පද්ධතිය ම ඕනෑකමින් කල විනාසයක් ලෙස ය. ඉරාකයට සමාන ම විනාසයක් දැන් සිරියාව, ලිබියාව හා යේමනයට පැමිනී ඇත්තේ, බුෂ්ගේ ඩෙමොක‍්‍රටික අනුප‍්‍රාප්තික බරක් ඔබාමා විසින් එක්සත් ජනපද ආක‍්‍රමනය ඉදිරියට ගෙන යාම හා ව්‍යාප්ත කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ය. දැන් ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඉරාකය හා කොරියාව මෙම ලැයිස්තුවට එකතු කිරීමට තර්ජනය කරයි.

“බ‍්‍රවුන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර හා මහජන කටයුතු පිලිබඳ වොට්සන් ආයතනය විසින් අනුග‍්‍රහ දැක්වුනු, යුද ව්‍යාපෘතියේ වියදම් පිලිබඳ අඛන්ඩ අධ්‍යයනයකට අනුව, ඉරාක හා ඇෆ්ගනිස්තානයේ යුද්ධ එක්ව සෘජුව පුද්ගලයන් 370,00ක් ද වක‍්‍රව 800,000ක් ද ඝාතනය කර ඇත. (ඉරාකයේ සංඛ්‍යාව ඉන් වැඩි පංගුව නියෝජනය කරයි) මරන අනුපාත අධ්‍යයන හා අනෙකුත් මහජන සෞඛ්‍ය මිනුම් මත පදනම්, අනෙකුත් ඇස්තමේන්තු මරන සංඛ්‍යාව මිලියන 2.4ක් තරම් ඉහල තැනක තබයි.

ජනාධිපති බුෂ් හා බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් විසින් ඉරාක යුද්ධය දියත් කරන ලද්දේ දැනුවත් හා අතිශයින් නින්දිත බොරු මත ය: ඉරාක ජනාධිපති සදාම් හුසෙන් සතුව ලෝක ජනතාවට තර්ජනය කරන “ජනඝාතක අවි” තිබුනි; එමෙන් ම නිව් යෝක් හා වොෂින්ටන් නගර මත 9/11 ත‍්‍රස්ත ප‍්‍රහාරය ගෙන ගිය, ඔසාමා බින්ලාඩන්ගේ අල් කයිඩා ව්‍යාපාරය සමග ඔහුට සම්බන්ධකම් තිබුනි.

එම අවස්ථාවේ අධිරාජ්‍යවාදීන්ගේ ප‍්‍රචාරකයන් හොඳින් ම දැන සිටි පරිදි, සත්‍ය වන්නේ 1980 ඉරාන-ඉරාක යුද්ධය අතරතුර දී එක්සත් ජනපදය හා යුරෝපීය බලවතුන් විසින් ඔහුට සපයන ලද ප‍්‍රාථමික රසායනික අවිවලට වඩා වැඩි අවි හුසේන්ට කවර දා වත් නො තිබූ බව යි. ඔහුගේ ප‍්‍රාථමික න්‍යෂ්ටික වැඩසටහන මුලුමනින් ම වසා දමා තිබුනේ එක්සත් ජනපද හා එක්සත් ජාතීන්ගේ සුපරීක්ෂනය යටතේ ය. එමෙන් ම අනෙක් අතට හුසේන් ඔහුගේ අනාගමික ජාතිකවාදී තන්ත‍්‍රය පෙරලා දැමීමට උත්සාහ කල, අල් කයිඩාවේ සුන්නි මූලධර්මවාදීන් සමග බද්ධ වෛරයෙන් සිටියේ ය.

ලෝසවෙඅ පැහදිලි කල පරිදි, යුද්ධයේ සැබෑ අභිචේතනය වූයේ, ලෝකයේ පොහොසත් ම ඒවා අතර වූ, ඉරාකයේ තෙල් සම්පත්වල පාලනය අල්ලා ගැනීම, හා ලෝක තෙල් අපනයනයේ වැඩි පංගුවේ මූලාශ‍්‍රය වන මැද පෙරදිග එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ට ප‍්‍රමුඛ මූලෝපායික තත්වයක් අත් කර ගැනීමට මෙන් ම ඒ මගින් යුරෝපය හා ආසියාවේ තම ප‍්‍රධාන තරඟකරුවන්ගේ තෙල් ජීවනාලය මත වොෂින්ටනයට දැඩි ග‍්‍රහනයක් ලබා දීම යි.

ජාත්‍යන්තර නීතිය සම්බන්ධ කාරනයක් ලෙස ගන්නා විට, එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය ඉරාකය ආක‍්‍රමනය කිරීම සාපරාධී ක‍්‍රියාවකි, ස්වාධීන රාජ්‍යයක් වන ඉරාකයේ අයිතීන් නිර්ලජ්ජී ලෙස අයුක්ති සහගතව උල්ලංඝනය කිරීමකි. හොලෝකෝස්ටය ඇතුලුව, බොහෝ වෙනත් අපරාධ ගලා ඒමට මග පෑදුවා වූ, යුද්ධය සැලැසුම් කිරීම හා දියත් කිරීම නාසීන්ගේ අග‍්‍රතම අපරාධය බව ප‍්‍රකාශ කල, න්‍යුරෙම්බර්ග් අධිකරනයේ දී නියම කෙරුනු මූලධර්ම යටතේ, බුෂ්, බ්ලෙයාර්, උප ජනාධිපති චේනී හා කොලින් පවෙල්, ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්, කොන්ඩලීසා රයිස් වැනි සාහයකයින්ට යුද අපරාධකරුවන් ලෙස නඩු පවරා, ඔවුන්ගේ සෙසු ජීවිත කාලය හිරේ දැමිය යුතුව තිබුනි.

මහජනතාවගේ යුද විරෝධී මනෝගතිය මර්දනය කිරීමට සහයෝගයෙන් යුතු හා දැනුවත් උත්සාහයක දී, බුෂ් පාලනාධිකාරියේ බොරු පැතිරුවා වූ ද යුද ප‍්‍රචාරයෙන් ඇමරිකානු මහජන මතය යට කර දැමුවා වූ ද මාධ්‍ය පන්ඩිතයින් හා සංස්කාරකයින් ඔවුන් සමග එකට කූඩුවේ තැපීමට එක් කල යුතුව තිබුනි. නිව් යෝක් ටයිම්ස් ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කලේ, “ජනඝාතක අවි” පිලිබඳ නිල ප‍්‍රකාශ සඳහා ප‍්‍රධාන හොරනෑව ලෙස ජුඩිත් මිලර් සේවය සැපයූ අතර, තමන්ට “තෙල් සඳහා යුද්ධයක් සමග ගැටලුවක්” නැත යි ප‍්‍රකාශ කල තෝමස් ෆ‍්‍රීඞ්මාන් සමගිනි. ඉරාක රසායනික අවි ගබඩා පිලිබඳ ගෙතූ “සාක්ෂි” මත පදනම්ව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉදිරියේ කොලින් පවල්ගේ ඉදිරිපත් කිරීම වොෂින්ටන් පෝස්ට් පත‍්‍රයේ තීරු ලිපි රචක රිචඞ් කොහෙන් තෝමස් විසින් වර්නනා කෙරුනේ, යුද්ධයට යාම හැර “තෝරා ගැනීමට අන් දෙයක් නැති” බව “එතරම් දැඩිව, බොහෝ සේ ඒත්තු ගන්වන” එකක් ලෙසට ය.

සංගත පාලිත මාධ්‍යයේ උදාසීන ක්ෂමාලාපකයින්ට ඒකාන්ත ලෙස වෙනස්ව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය බුෂ් පාලනාධිකාරියේ බොරු පිලිබඳව අඛන්ඩ හෙලිදරව් කිරීමක් ගෙන ගියේ, එක්සත් ජනපද-එක්සත් රාජධානියේ ප‍්‍රහාරයට පෙර මාස කීපය තිස්සේ ලෝකය පුරා පැවත්වුනු පෙර නො වූ විරූ පෙලපාලිවල දී හඬ නැගුනු යුද්ධයට එරෙහි මහජන විරුද්ධත්වය දිරිමත් කිරීමට උත්සාහ කරන අතරතුර දී ම ය.

ප‍්‍රසිද්ධ කෙරුනු, ප‍්‍රකාශනයක් තුල, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත්, විශාල වශයෙන් අනාරක්ෂිත රටක් මත එල්ල කෙරුනු අප‍්‍රකෝපිත ප‍්‍රහාරය 1939 පෝලන්තයේ නාසි ආක‍්‍රමනයට සමාන කලේ, නාසීන් මෙන්, බුෂ් පාලනාධිකාරය ද විනාසයක අවසන් විය යුතු ක‍්‍රියාමාර්ගයකට පිවිසී ඇත යි සඳහන් කරන අතර ය.

“ආරම්භ වී ඇති ගැටුමේ මුල් අවස්ථාවල ප‍්‍රතිඵලය කුමක් වුවත්, ඇමරිකානු අධිරාජ්‍යවාදීන් විනාසය සමග යම් නැවතීමේ ස්ථානයකට පැමින ඇත. එයට ලොව ජයගත නො හැක. මැද පෙරදිග මහජනතාව මත එයට යටත් විජිත විලංගු ප‍්‍රත්‍යාරෝපනය කල නො හැක. එය යුද මාධ්‍ය ඔස්සේ අභ්‍යන්තර ව්‍යාධීන්ට ශඛ්‍ය විසඳුමක් සොයා නො ගනු ඇත. ඊට වෙනස්ව, යුද්ධය විසින් ජනනය කෙරෙන අනපේක්ෂිත දුෂ්කරතාවන් හා ප‍්‍රතිරෝධයන් ඇමරිකානු සමාජයේ සියලු අභ්‍යන්තර ප‍්‍රතිඝතිතා තීව‍්‍ර කරනු ඇත.”

මෙම අනතුරු ඇඟවීම මුලුමනින් ම සනාත කෙරී ඇත. ඇමරිකානු සමාජය මත යුද්ධයේ බලපෑම විනාසකාරී වී ඇත. 2017 නොවැම්බරයේ දී “යුද ව්‍යාපෘතියේ වියදම්” (Cost of War Project)නමැති කන්ඩායම විසින් ප‍්‍රසිද්ධ කෙරුනු සංඛ්‍යා, නැවත වතාවක් සඳහන් කරන්නේ නම්, වර්තමාන මුදල් වර්ෂයේ අවසානය, එනම්, 2018 සැප්තැම්බර් වන විට, එක්සත් ජනපද ෆෙඩරල් ආන්ඩුවට පශ්චාද්-9/11 යුද්ධ මත, (වැඩි පංගුව ඉරාකය මත) ඩොලර් ට්‍රිලියන 5.6ක් වැය කිරීමට හෝ නය ගැනීමට බල කෙරෙනු ඇත, ඔවුන්ගේ ජිවිතවල සෙසු කාලය සඳහා ප‍්‍රවීනයන්ට වෛද්‍යාධාර හා ආබාධිත ගෙවීම් මෙයට ඇතුලත් ය.

තව ද, බුෂ් හා ඔබාමා පාලනාධිකාරිය පොහොසතුන්ගෙන් බදු අය කරනවා වෙනුවට නය ගැනීමෙන් යුද වියදම්වලට මුදල් සැපයීම හේතුවෙන්, ෆෙඩරල් ආන්ඩුව අවසානයේ දී ඩොලර් ට්‍රිලියන 8ක් වනු ඇති පොලී පිරිවැයකට අසු වී ඇත, එය යුද්ධයේ සැබෑ වියදමට වඩා වැඩි ය. වෙනත් වචනවලින් කිව හොත්, ඔවුන් ඇමරිකානු ජනතාව මත පැට වූ යුද්ධයෙන් වෝල් වීදිය ඒ තාක් දුරට අතිරේක ආදායම් එකතු කර ගන්නවා ඇත.

ඉරාකය තුල ඇමරිකානු සොල්දාදුවන් 4,800ක් මියගිය අතර, මානව වියදම එය ඉක්මවා බොහෝ දුර යයි. ඉරාකය හා ඇෆ්ගනිස්තානයේ රාජකාරියට ගොස් සිටි සොල්දාදුවන් මිලියන දෙකෙන් මිලියනයක් හිමිකම් දීමනා ඉල්ලා ඇති අතර, සියදහස් ගනනක් පශ්චාද්- ක්ෂතික ආතතීන් හා ක්ෂතික මොලයේ හානිවලින් පීඩා විඳීම ඇතුලු, ආබාධ ප‍්‍රතිලාභ ලැබීම අරඹා ඇත.

සමස්තයක් ලෙස ඇමරිකානු සමාජයට ඒ සමාන ම වෙනත් ප‍්‍රතිවිපාක ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් එකින් එක ගලවා ඇත්තේ, විදුලිසංදේශ, අන්තර්ජාල හා සමාජ මාධ්‍ය ද ඇතුලුව, සමස්ත මහජනයා පිලිබඳ මහා සෝදිසියක නියලෙන ජාතික ආරක්ෂක රාජ්‍යයක් ශක්තිමත් කිරීම මගිනි. සමස්ත සමාජයම ප‍්‍රචන්ඩත්වයෙන් පිරී ඇත්තේ, ඉරාකයෙන් පමනක් නො ව, මැද පෙරදිග, මධ්‍යම ආසියාව, පැරනි යුගෝස්ලාවියාව, අප‍්‍රිකාව තුල සැබවින්ම බාධා රහිත මිලිටරි ආක‍්‍රමනයේ විසිපස්වසරක ප‍්‍රතිඵල වශයෙනි. සමහර විට මීට කල්නොයවාම ඈත පෙරදිගද ඈඳෙනු ඇත.

ලෝක ආර්ථිකය තුල එක්සත් ජනපදයේ සැබෑ බරට අසමානුපාතයකින් (එක්සත් ජනපදය ඊ ලඟ රටවල් දොලහේ එකතුවට වඩා මිලිටරිය වෙනුවෙන් වියදම් කරයි) ලෝක ආධිපත්‍යයේ තත්වයක් පවත්වා ගැනීමේ උත්සාහය, අධ්‍යාපනය, යටිතල පහසුකම්, සෞඛ්‍ය රැකවරනය හා සමාජ අවශ්‍යතාවන් ඉවත දමමින් සමාජ ශුභසාධන වියදම්වල උග‍්‍ර කප්පාදු සඳහා ගාමක බලය වී ඇත.

ඉරාකය තුල යුද්ධයේ තවත් ප‍්‍රතිවිපාකයක් වී ඇත්තේ ඇමරිකානු දේශපාලන ජීවිතයේ කේන්ද්‍රීය භූමිකාවකට මිලිටරි-ඔත්තුසේවා සංවිධානවල නැගීම යි. ඉරාකය හා ඇෆ්ගනිස්තානයේ යුද අපරාධකරුවන් වන කෙලී, මැටිස් හා මැක්මාස්ටර් ට‍්‍රම්ප් පාලනාධිකාරියේ ජාතික ආරක්ෂක ප‍්‍රතිපත්තිය මෙහෙයවති. ඩෙමොක‍්‍රටික් පක්ෂය වර්තමානයේ දී පාලනය කෙරෙන්නේ මිලිටරි-ඔත්තුසේවා ක‍්‍රියාකාරීන් රාශියක් විසිනි, ආසන්න වශයෙන් ඔවුන් සියලු දෙනාම පාහේ ඉරාක හා ඇෆ්ගනිස්තානු යුද්ධවල ප‍්‍රවීනයෝ ය. බෝහෝ දෙනා සාමාන්‍ය සොල්දාදුවන් නො ව, යුද්ධය සංවිධානය කර, කුපිත කල අයගේ දේශපාලනික දෘෂ්ටිය හා සාපරාධී වගකීම හුවමාරු කර ගත් ආඥාපතීහු, විශේෂ හමුදා ක‍්‍රියාකාරීහු හෝ ඔත්තුසේවා ඒජන්තයෝ වෙති.

යුද්ධයේ පහලොස් වැනි සංවත්සරය ඇමරිකානු මාධ්‍ය තුල සඳහන් නො කෙරී ඇත්තේ අල්ප වශයෙනි. අධිරාජ්‍යවාදයේ අපරාධ ද තමන්ගේ ම උදාසීනත්වය ද සැබෑ නිශ්ශබ්දතාවකින් අමතක කර දැමීමට ඒවා වඩාත් කැමති ය. ඉරාකය සමග යුද්ධය යුක්තිසහගත කිරීමට යොදා ගැනුනු ක‍්‍රමවේදයන් ම දැන් ඊටත් වඩා බියකරු විපත්තියක්, එනම් න්‍යෂ්ටික අවි සම්බන්ධ වන පූර්න යුද්ධයකට තර්කාන්විතව තල්ලු වන රුසියාවට එරෙහිව ප‍්‍රකෝපකරනයේ හා ආක‍්‍රමනයේ උද්ඝෝෂනයක් කුපිත කිරීමට යොදා ගැනෙමින් පවතිත් දී මෙය වඩාත් අත්‍යාවශ්‍ය ය.

කොහොම නමුත්, යක්ෂාවේෂ ගැන්වීමේ ඉලක්කය ලෙස සදාම් හුසෙන් ඉවත් කරමින් ව්ලැඩිමීර් පුටින් තැබීම සමග රුසියාවට එරෙහි වර්තමාන උද්ඝෝෂනය පදනම් කෙරෙන්නේ ඊටත් වඩා ඉතා තුනී මෙන් ම විනිවිද පෙනෙන ගජබින්න මත ය. චෝදනා කෙරෙන පරිදි, බ්‍රිතාන්‍ය ඔත්තුකරු සර්ගේයි ස්ක‍්‍රිපාල්ට රුසියානු විෂ වැද්දීම, මෙම ආඛ්‍යානයේ දී සදාම් හුසෙන්ගේ “ජන ඝාතක අවි” පිලිබඳ චෝදනාවට සමාන වී ඇත. වොෂින්ටනය හා ලන්ඩනය විසින් ඉලක්ක කෙරෙන තන්ත‍්‍රය සමග ගැටුම උත්සන්න කිරීමක් සඳහා අත්‍යාවශ්‍ය “ඔප්පු කිරීම” බෙදා හැරීමේ දී බ්‍රිතාන්‍ය විදේශ ලේකම් බොරිස් ජොන්සන් උත්සාහ ගන්නේ කොලින් පවෙල්ගේ භූමිකාව පුනරුච්චාරනය කිරීමට යි.

කෙසේ නමුත්, මෙම පහලොස් වසර නොවටිනා ලෙස ගෙවී නො ගියේ ය. ලෝකය පුරා, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි එක් අචල හඬක් සඳහා, එනම් ලෝක සමසාජවාදී වෙබ් අඩවිය සඳහා වැඩිවෙන ශ‍්‍රාවක පිරිසක් සිටිති. ලෝසවෙඅ විසින් ඉදිරිපත් කෙරෙන මාක්ස්වාදී ඉදිරිදර්ශනය ජාත්‍යන්තර කම්කරු පන්තියට ඉදිරි මාවත පෙන්ව යි. යුද්ධයට එරෙහි සටනට අද අවශ්‍ය වන්නේ එක්සත් ජනපදය තුල මෙන් ම ජාත්‍යන්තරව ද හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සමාජවාදී සමානතා පක්ෂ ශාඛා ගොඩනැගීමයි.

පැට්‍රික් මාටින්

Share this article: