රුසියාවට එරෙහි උද්ඝෝෂනය මධ්‍යයේ ඇමරිකාව, පෝලන්තයට පේට්‍රියට් බැලිස්ටික් මිසයිල් නාශක පද්ධතීන් අලෙවි කරයි

US sells Poland Patriot anti-missile system amid continued campaign against Russia

බිල් වෑන් ඕකන් විසිනි, 2018 මාර්තු 29

පෙන්ටගනය, නැගෙනහිර යුරෝපීය රාජ්‍යයක් වන පෝලන්තය සමග ඩොලර් බිලියන 4.75ක් වටිනා පේට්‍රියට් බැලිස්ටික් මිසයිල් නාශක පද්ධතීන් අලෙවි කරන ගිවිසුමකට එලඹියේය.

පෝලන්තයේ අන්ත දක්ෂිනාංශික ආන්ඩුව, එරට ඉතිහාසයේ විශාලතම අවි ගනුදෙනුව හුවා දක්වද්දී, න්‍යෂ්ටික ප්‍රහාරයකින් ආරක්ෂා වීමට තමන්ට ඇති හැකියාව අඩපන කිරීමට වොෂින්ටනය හා එහි සහචරයින් දරන උත්සාහයේ කොටසක් ලෙස එම පද්ධතීන් ස්ථානගත කිරීම දැකගන්නා රුසියාව හා බටහිර අතර තවදුරටත් ආතතිය තියුනු කිරීම නිසැක බව පෙනී යයි.

“එය වනාහි අසාමාන්‍ය, ඓතිහාසික අවස්ථාවකි, එමගින් පෝලන්තයට නව තාක්ෂනික හැකියාවක් සහිතව ලෝකය හමුවේ පෙනී සිටීමට ඉඩ සලසයි, නවීන අවි හා ආරක්ෂක පද්ධතීන්ගේ අර්ථය එයයි” යනුවෙන් ජනාධිපති ඇන්ඩ්‍රේස් ඩූඩා අත්සන් තැබීමේ උත්සවයේදී පැවසීය. එය පෝලන්ත මිලිටරි සේනාංක හමුවේ අවි ආයුධ ගබඩාවක් ලෙස පෙන්වා දේ.

“එයට දැවැන්ත මුදලක් වැයවනු ඇත. එහෙත් අපගේ ඓතිහාසික අත්දැකීමෙන් අපට උගන්වා ඇත්තේ ආරක්ෂාවට මිලක් නැති බවයි.” ඔහු පැවසීය. ඔහුගේ ආඥාදායක තන්ත්‍රය නිසැකවම එම මිසයිල සඳහා ගෙවීමට මුදල් සොයාගන්නවා ඇත්තේ, පෝලන්ත වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් කාබාසීනියා කිරීමට එල්ල කරන ප්‍රහාර දෙගුන කරමින් බවට සැකයක් නැත.

ස්ක්‍රිපාල් සිද්ධිය දඩමීමා කරගෙන රුසියාවට එරෙහිව ඇමරිකාව හා නැටෝව විසින් වඩාත් උත්සන්න කරන මිලිටරි ව්‍යායාමයේ කුලුනක් ලෙස යොදාගනු ලබන පෝලන්තය, ජර්මනිය, ප්‍රන්සය හා කැනඩාව සමග එක්ව රුසියානු තානාපතීන් සිව් දෙනෙක් පිටුවහල් කලේය.

ට්‍රම්ප් ආන්ඩුව බලයට පත්වූ තැන් පටන්ම වොෂින්ටනය, 1920 ගනන්වල ඊනියා ඉන්ටර්මාරියම් ව්‍යාපෘතිය පනගන්වමින්, වෝසෝව හා අනෙකුත් නැගෙනහිර යුරෝපීය ආන්ඩු සමග සමීප සම්බන්ධකම් ගොඩනගා ගැනීමට විවෘතවම වැඩ කර ඇත. එම ව්‍යාපෘතිය තුලින් ඇමරිකාව, සෝවියට් සංගමයට මෙන්ම මහාද්වීපික අධිපතියා බවට පත්වීමේ ජර්මානු අභිලාෂයන්ට ද එරෙහිව යොමු කිරීම පිනිස, කලාපයේ ෆැසිස්ට්වාදී හා දක්ෂිනාංශික පාලනයන් සමග සන්ධාන ගොඩනැගීමට උත්සාහ කලේය.

නැගෙනහිර යුරෝපය වෙත හැරීම ප්‍රධානකොටම, රුසියාව සමග වානිජ්‍ය හා අනෙකුත් බැඳීම් ඇතිකර ගැනීම තුලින් තමන්ගේම මහ බලවතෙකු වීමේ අභිලාෂයන් ඔස්සේ ගමන් කරන ජර්මනිය හා වොෂින්ටනය අතර තියුනු වන ආතතීන් කෙරෙහි දක්වන ප්‍රතිචාරයකි.

ලන්ඩනය හා වොෂින්ටනය ස්ක්‍රිපාල් සිද්ධිය මත රුසියාව සමග තව තවත් ආතතීන් තියුනු කරද්දී, මොස්කෝව වෙත ආක්‍රමනශීලී ආස්ථානයක් වර්ධනය කිරීම මත යුරෝපීය සංගමය තුල විවේචන මතුවෙමින් තිබේ. විශේෂයෙන්ම ජර්මනියේ ප්‍රමුඛ දේශපාලඥයෝ, බි්‍රතාන්‍ය ආන්ඩුව විසින් නගනු ලබන චෝදනාවන්ට එරෙහිව මෑත දිනවල කථා කර ඇති අතර තත්වය නරක අතට පත්වීමේ හා යුද තත්වයක් පැනනනැගීම පිලිබඳව පවා අනතුරු අඟවා ඇත.

“ක්‍රිමියාව ඈඳා ගැනීම, සිරියානු යුද්ධය හා සයිබර් ප්‍රහාර” වැනි රුසියානු “අකටයුතුකම්” පිලිබඳව මාධ්‍යවේදී මිට්රින සිරින් ඔහුගෙන් විමසූ කල වර්හිජෙන් පැවසුවේ, “යථාර්තයේදී රුසියාවට එල්ල කල හැකි චෝදනාවන්ගේ අඩුවක් නැත, කෙසේ වෙතත් කල්පනාකාරී විය යුතු කාරනාව නම්, චෝදනා බටහිරට විරුද්ධව ද එල්ල කල හැකි බවයි.”

“බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ආන්ඩු සමස්ත ලෝකයටම බොරු කියා වැඩි කලක් නැත: ඉරාකයට පහරදීම යුක්තිසහගත කිරීමට හිතාමතාම බොරු කියා ඇත. බ්‍රිතාන්‍ය විදේශ ඇමති කෙතරම් උනුසුම් ලෙස කථා කල ද බ්‍රික්සිට් ව්‍යාපාරයේදී ඔහු විශාල වශයෙන් බොරු කීවේය. එබැවින් මේ චෝදනා විශේෂයෙන්ම විශ්වාස කටයුතු නැත. මේ ගැටුමෙන් ඉවත්වී සහයෝගිතාව ඇතිකල හැකි තත්වයකට ගමන් කල යුතුය.”

විවිධ පක්ෂවල ප්‍රමුඛ සාමාජිකයෝ පාර්ලිමේන්තුව තුල ඒ හා සමාන අදහස් පල කරමින් ආන්ඩුවේ ආස්ථානය විවේචනය කලහ. සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ පාර්ලිමේන්තු කන්ඩායමෙහි නියෝජ්‍ය නායක රොල්ෆ් මුට්සෙනික් ඩි වෙල්ට් වෙත පැවසුවේ, “ස්ක්‍රිපාල් සිද්ධිය සම්බන්ධ දේශපාලන උපමානයක් මගින් ඔත්තු සේවා පසුබිමක, රුසියානු තානාපතීන් සිව් දෙනෙක් නෙරපීම නොමේරූ හා යුක්ති සහගත කල නොහැකි කාරනයකි.”

වාම පක්ෂයේ යුරෝපීය ප්‍රතිපත්ති පිලිබඳ ප්‍රකාශක ඇන්ෙඩ්‍ර්ජ් හුන්කෝ “බෙල්ජියම, බල්ගේරියාව, ග්‍රීසිය, ලක්සම්බර්ග්, මෝල්ටා, ඔස්ට්‍රියා, පෘතුගාලය, ස්ලොවෑකියා, ස්ලෝවේනියා, හංගේරියාව හා සයිප්‍රසය යන යුරෝ සංගමයේ රටවල් සාක්ෂි නොමැතිව රුසියානු තානාපතීන් නෙරපීමේ වගකීම් විරහිත ක්‍රියාවට සහභාගී නොවුන බව සඳහන් කිරීම ගැන ට්විටර් වෙත ප්‍රසංශා කලේය.

එහි පාර්ලිමේන්තු කන්ඩායම් නායක සාරා වගෙනෙක්ට් මෙසේ ලිවීය. “ව්‍යවස්ථාදායක මූලධර්ම උල්ලංඝනය කරමින් රුසියාව සමග දැනටමත් උත්සන්නවී ඇති තත්වය තවත් උනුසුම් කිරීම සහයෝගිතාව නොව, අවබෝධය මඳකමයි.”

ආර්ථිකය හා බලශක්තිය පිලිබඳ පාර්ලිමේන්තු කමිටු සාමාජික හැන්ස්ජොර්ග් මුලර් විදේශ ඇමති මාස්ට චෝදනා කරමින් ඔහු “අධිකරනය හමුවට” ගෙනා යුතු බව පැවසීය.

සමහර අංශ වලින් පලවන තියුනු ප්‍රතික්‍රියා පෙන්නුම් කරන්නේ, බ්‍රිතාන්‍යය සමග සහයෝගීව රුසියානුවන් නෙරපා හැරීම ගැන ප්‍රකාශ තිබියදීම, පාලක පන්තියේ කොටසක්, ජර්මානු අධිරාජ්‍යවාදයේ භූ-මූලෝපායික හා ආර්ථික අවශ්‍යතා හඹා යාමේදී රුසියාව සහකරුවෙක් ලෙස සලකන බවයි. තමන්ගේ ලාභ රුසියානු වෙලඳපොලට ගැටගැසී ඇති ප්‍රමුඛ ජර්මානු ව්‍යාපාරික හා මූල්‍ය ආසක්තයන්හි දෘෂ්ටිය ඉන් පිලිබිඹු කෙරේ.

මාස් වෙත තම ආස්ථානය දැනුම් දෙමින්, තම ධුර කාලයේදී ඇමරිකාව විවේචනය කරමින් රුසියාවට එරෙහි සම්බාධක ඉවත් කල යුතු බව කියා සිටි, හිටපු විදේශ ඇමති සිග්මා ගේබ්‍රියෙල් ද මේ මාවතම අනුගමනය කලේය.

“මේ කාලයේ නිර්භීතකම අවශ්‍ය වන්නේ ජර්මානු-රුසියානු හොඳහිත වර්ධනය කිරීමටයි.” සිරියානු ප්‍රශ්නය විසඳීමේදී රුසියාව “තීරනාත්මක සහකරුවෙකි” ඔහු පැවසීය. “යුරෝපය හා ජර්මනිය මිල අධික ඇමරිකානු ස්වාභාවික ගෑස් මිලට ගැනීමේ තත්වයකට පත්වන පරිදි, රුසියාව සමග දශක ගනනාවක් තිස්සේ පවත්වාගෙන යන හවුල්කාරිත්වය අත්හරින තැනකට තල්ලු කෙරෙන ඇමරිකානු පිලිවෙත අපට කිසිසේත්ම පිලිගත නොහැකි” යයි ඔහු පැවසීය.

නැගෙනහිර යුරෝපීය ආර්ථික සම්බන්ධතා පිලිබඳ ජර්මානු කමිටුවේ සාමාජිකයින් වන ජර්මානු සමාගම් 200ක්, “හදිසි තීන්දු ගැනීම” පිලිබඳව අනතුරු අඟවා ඇත.

ලන්ඩනය හා වොෂින්ටනය ස්ක්‍රිපාල් සිද්ධිය ගසාකනු ලබන්නේ, හරියටම එවැනි අරමුනක් වෙනුවෙන්ය. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ, සිය ආර්ථික ආසක්තයන් ඇමරිකාවෙන් ස්වාධීන කර ගනිමින්, රුසියාව සමග වෙලඳ සන්ධානයක් ඇතිකර ගැනීම සඳහා යුරෝපීය මිලිටරි සන්ධානයක් පිහිටුවා ගැනීමෙන්, කුමන වියදමකින් හෝ ජර්මනිය වැලැක්වීමටය. බලශක්තියෙන් හා වෙනත් සම්පත් වලින් පොහොසත් යුරේසියානු භූ ස්කන්ධයේ ඇමරිකානු ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ වොෂින්ටනයේ උත්සාහයන්හි කොටසකි, රුසියාව යටත්කර ගැනීම සඳහා නිරතුරුව තීව්‍ර කෙරෙන සම්බාධක.

මේ අතර ජර්මානු ආන්ඩුව 27දා, බෝල්ටික් මුහුදට යටින් ජර්මනියට රුසියානු ස්වාභාවික ගෑස් ගෙන යන, නෝර්ඩ් ස්ට්‍රීම් 2 නල මාර්ගය ඉදිකිරීමට හා ක්‍රියාත්මක කිරීමට අවසාන අනුමැතිය නිවේදනය කලේය. මේ ව්‍යාපෘතියට වොෂින්ටනය මෙන්ම එහි නැගෙනහිර යුරෝපීය සහකරුවන්ද එකසේ විරුද්ධව සිටී.

ඇමරිකාවේ ආරක්ෂක ලේකම් ජෙනරාල් ජේම්ස් මැටිස් පෙන්ටගනයේදී වාර්තාකරුවන්ට කථා කරද්දී, එවන් ආතතීන් පිලිබඳව සැලකිල්ල යොමු කරන්නට ඇති බව නිසැකය. ඔහු මෙසේ පැවසීය. “රුසියාව බටහිර සන්ධානයේ එකමුතුව බිඳීමට උත්සාහ කරයි.”

නැටෝ බලවතුන් අතර තියුනු මතභේද මතුව තිබුනේවී නමුත් රුසියාව සමග යුද්ධය සඳහා ක්‍රියාකාරී සූදානම් කටයුතු සිදුවෙමින් ඇති බවට නිරතුරු ඇඟවුම් පවතී.

ඇමරිකානු හමුදාවේ ගෝලීය බලය පිලිබඳ සමුලුවේදී කථා කරමින් මිලිටරියේ ඉහල නිලධාරීන් 26දා අනතුරු ඇඟවූයේ, “යුරෝපය තුල යුද්ධයක පලමු සතිය තුල ගොඩබිම් හමුදාවට ගුවන් සහාය නැතිව යා හැකි රුසියානු තර්ජනය වැලැක්වීමට සේවයේ කාලතුවක්කු පරාසය හා මිසයිල් පද්ධතීන් පෙන්ටගනය විසින් විශාල ලෙස වැඩිකල යුතු බවටය. එසේ සඳහන් වුනේ මිලිටරි ඩොට් කොම් වෙබ් අඩවියේය. ඇමරිකානු මිලිටරිය නව අවි පද්ධතීන් සැලසුම් කිරීමටත් සතුරා පසු බැස්සවීමටත් සමත් අවි සැලසුම් කර ඇති බව ඇමරිකාවේ පැසිෆික් ආඥාපති මන්ඩල ප්‍රධානී ජෙනරාල් රොබට් බ්‍රවුන් මිලිටරි හා ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන්ගේ රැස්වීමකදී පැවසීය.

මේ අතර යුරෝපීය සංගමයේ විධායක හස්තය වන යුරෝපීය කොමිසම 28දා නිවේදනය කලේ, තමන් මිලිටරි කලාපයක් වෙන්කර ඇති බවයි. ඒ තුලින් නැටෝ හමුදාවන්ට යුරෝපා දේශසීමා හරහා නිදහසේ ගමන් කල හැකිය. දශක දෙකක් තිස්සේ ක්‍රියාත්මකව පැවති, රටවල් 26ක් අතර, දේශසීමා පාලනයකින් තොරව ගමන් කල හැකිවීමට ඉඩ ලැබුන, කලාපය පිලිබඳ ගිවිසුම විවෘතව ප්‍රතික්ෂේප කරමින් දක්ෂිනාංශික ජාතිකවාදී හා සංක්‍රමන විරෝධී යුරෝපීය දේශපාලඥයින් ද මිලිටරි ව්‍යාපෘතියට සම්බන්ධ විය. එයට ජර්මනියේ අලුතෙන් පත්වූ අභ්‍යන්තර ඇමති හෝස්ට් සියෝෆර් ද ඇතුලත් විය.

“අපට යුරෝ සංගමය තුල හෝ ඉන් පිටත වේගවත් මිලිටරි ක්‍රියාන්විතයන් දියත් කිරීමට හා ඉක්මනින් හමුදාව යෙදවීමට සුදුසු යටිතල ව්‍යූහයක් අවශ්‍යය.”

රුසියානු නියෝජ්‍ය ආරක්ෂක ඇමති ඇලෙක්සැන්ඩර් ෆොමින් ඊට ප්‍රතිචාර වශයෙන් පැවසුවේ, “සැබෑ අරමුන නම්, රුසියානු දේශසීමා වෙත යෙදවීමට (හමුදාව) හැකිතාක් දිග වේගවත් මාවතක්......”යනුවෙනි.

ඔහු රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ නිල පුවත්පතට ද පවසා ඇත්තේ, රුසියාව සමග යුද්ධය සඳහා ඇමරිකාව හා නැටෝව, අවි, මෙවලම්, වෙඩි උන්ඩ හා ආහාර තොග විවිධ රටවල ස්ථානගත කරමින් සිටින බවයි. ඒ අතර පෝලන්තය, රුමේනියාව, හංගේරියාව, බල්ගේරියාව, ස්ලොවේකියාව, ලිතුවේනියාව, ලැට්වියාව හා එස්තෝනියාව වේ.

Share this article: