රාජාංගනයේ ගොවීහු තමන්ට එල්ල වූ මුර්ග පොලිස් ප‍්‍රහාරය හෙලා දකිති

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 මාර්තු 21

රාජාංගනය ප‍්‍රදේශයේ 5,000 ට අධික ගොවීන් පෙබරවාරි 28 දා තඹුත්තේගම නගරයේ දී සිදු කල විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය මුර්ග ප්‍රහාරයක් දියත් කලේ ය.

දැනටමත් සිය කෘෂිකර්මාන්තය සඳහා ජල හිඟයට මුහුන දී සිටින ගොවීන් විරෝධතාවයේ යෙදුනේ රාජාංගන වැවේ ජලය, යෝජිත පානීය ජල ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට එරෙහිවය. ගොවි විරෝධතාවයට පොලීසිය එල්ල කල ජල, කඳුලූ ගෑස් හා දරුනු බැටන් ප‍්‍රහාරවලින් ගොවීන් 8 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුනි. කාන්තාවන් 5 ක් හා රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඩබ්ලිව්.ඒ. වන්නිආරච්චි ඇතුලු 60 ක් පොලිස් අත්අඩංගුවට ගත් අතර ඉන් 9 දෙනෙකු නිදහස් කර අනෙක් අය මාර්තු 5 දක්වා බන්ධනාගාර ගත කෙරුනි. පසුව ඇප මත මුදා හැරි මුත් අප්‍රේල් මස 02 දා ඔවුන්ට එරෙහි නඩුව විභාග වීමට නියමිතය.

ගොවීන් ප‍්‍රකාශ කරන ආකාරයට උද්ඝෝෂකයන්ට එරෙහිව පොලීසිය සැලසුම් සහගත ප‍්‍රකෝපකරනයක් නිර්මානය කර ඇත. යාය 04 හි පදිංචි නිමල් ද සිල්වා සඳහන් කල ආකාරයට පොලීසියට මුලින් ම ගල් ප‍්‍රහාරයක් එල්ල කර ඇත්තේ උද්ඝෝෂකයන් අතරට වැදී සිටි සුදු ඇඳ ගත් සංවිධානාත්මක කල්ලියකි:

“අපිට පොලීසියට ගහන්න උවමනාවක් තිබුනේ නැහැ. ගොවීන්ගේ පැත්තේ සිටි සුදු ඇඳගත් සංවිධානාත්මක පිරිසක් තමයි මුලින් ම ගල් ගහන්න පටන් ගත්තේ. ඊට පස්සේ ගොවීනුත් ගල් ගැහුවා. පසුව ඒ පිරිස අපේ ගොවීන්ට පහරදුන් ආකාරයත් පොලීසිය සමග එක්ව ගොවියන්ව අත්අඩංගුවට ගන්නවාත් අපි දැක්කා. වයසක කෙනෙක්ටත් දරුනුවට පහර දුන්නා අපි හිතුව මැරුනා කියලා. අත්අඩංගුවට ගත් ගොවීන්ටත් පොලිසියේ දී ගහලා තියෙනවා. එක ගොවියෙක්ගේ කකුල කැඩෙන්න ගහලා. අපි විරෝධතාවයට ආවේ බැරිම තැන.” සිල්වා ප‍්‍රකාශ කලේ ය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද ඇතුලත් කෘෂිකර්ම කමිටුවේ ජල ව්‍යාපෘතියෙන් මතුවන ගැටලු ගැන කිහිප විටක් සාකච්චා කලත් බලධාරීන් ප‍්‍රශ්නය මගහැරී බව ඔහු කීවේ ය.

තඹුත්තේගම ගොවි උද්ඝෝෂනය තුලින් ප‍්‍රකාශයට පත් වූයේ සිය ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට ධනපති ආන්ඩු යටතේ එල්ල කෙරෙන ප‍්‍රහාර කෙරෙහි ගම්බද දුගී ගොවීන් අතර පැසවන බරපතල කෝපයයි.

ගම්බද ගොවීන්ගේ අරගල මුදුනට පැනගෙන සිටින ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ආන්ඩුවට බලපෑම් දැමීමේ උද්ඝෝෂනවලට ගොවීන් සිරකොට ඔවුන්ගේ අරගල දේශපාලනිකව පීලි පැන්නවීමට වැඩ කරන අතර සිය පාලන කාලය තුල ගොවි සහනාධාර කැපීම ඇතුලු ප‍්‍රහාර ක්‍රියාවට දැමු මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ඒකාබද්ධ විපක්ෂය වැඩෙන විරුද්ධත්වය අන්ත දක්ෂිනාංශික දේශපාලන ව්‍යාපාරයක් සඳහා ගසා කෑමට තැත් කරයි.

යෝජිත පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පවරා ඇත්තේ චීන සමාගමකට ය. මහින්ද රාජපක්ෂ ආන්ඩුව යටතේ 2011 සැලසුම් කෙරුන මෙම ජල ව්‍යාපෘතිය 2021 දී නිම කිරීමට වර්තමාන ආන්ඩුව අපේක්ෂා කරයි. ව්‍යාපෘතිය සඳහා දෛනිකව ජල කියුබික් මීටර් 18,000 (කියුබික් මීටරයක් ජලය ලීටර 1,000 කි)අ වශ්‍ය බව තක්සේරු කර ඇති අතර ඇස්තමේන්තු ගත මුලුවියදම රුපියල් මිලියන 18,000 කි.

යෝජිත ජල ව්‍යාපෘතිය මගින් රාජාංගනය, තඹුුත්තේගම සහ නොච්චියාගම ප‍්‍රදේශවල පවුල් 30,000 ට පමන පානීය නල ජලය සැපයීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා වර්ෂයකට අවශ්‍ය වන්නේ ජලය අක්කර අඩි 5,400 ක් බවත් බලධාරීහු කියති. එය වියලි කලාපයේ පවතින දරුනු වකුගඩු රෝගයට පිලියමක් ලෙස පිරිසිදු පානීය ජලය සැපයීමේ සැලැස්මක කොටසක් බව ද ආන්ඩුව ප‍්‍රකාශ කරයි.

කෙසේ නමුත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැගිය හැක්කේ රාජාංගනය වැවට අතිරේක මහවැලි ජලය ලැබුනොත් පමනක් බවත් නැතිනම් එය ප‍්‍රදේශයේ කෘෂි කර්මාන්තයට බලපෑ හැකි බව අනුරාධපුර වාරිමාර්ග කලාප අධ්‍යක්ෂ එම්. ඩබ්ලිව්. පී. ද සිල්වා පසුගිය සැප්තැම්බර් මාසයේ පැවතී වගා කමිටු රැස්වීමක දී සඳහන් කර ඇත.

රාජාංගනය උතුරු මැද පලාතේ අනුරාධපුරයට ආසන්නයේ පිහිටි වියලි කලාපයට අයත් ගොවි ජනපදයකි. එහි ගොවි පවුල් 30,000 කට අධික සංඛ්‍යාවක්, වී, කෙසෙල් සහ විවිධ එලවලු වගාවන්හි නිරතව සිටිති. මහවැලි ජල යෝජනා ක‍්‍රමය යටතේ රාජාංගනය වැවට ජලය සෘජුව නො සැපයෙයි. එයට ජලය ලැබෙන්නේ ඉහලින් පිහිටි කලා වැවෙන් වගා කටයුතුවලට යොදා ගැනීමෙන් පසු ඉතිරි වන ජලය කලාඔය ඔස්සේ මුදා හැරීමෙන් හෝ කලාවැවේ වැඩි ජලය පිට කිරීමට සොරොව් විවෘත කිරීමෙනි. කලා ඔයේ වම් ඉවුරේ යාය (වගා බිම් ප‍්‍රදේශ) 18 ක් සහ දකුනු ඉවුරේ යාය 7 ක් පුරා මෙම ජලය බෙදා හැරෙයි.. දකුනු ඉවුරේ කෙලවර වන්නට එනම් යාය 13 සිට 18 දක්වා ප‍්‍රමානවත් තරම් ජලය නොලැබෙන බව ගොවීහු කියති.

එවන් තතු තුල යෝජිත ජල ව්‍යාපෘතිය යටතේ ගොවිතැනට අවශ්‍ය ජලය තවදුරටත් සීමා වනු ඇතැයි ගොවීන් අතර සාධාරන බියක් ඇත. ජල ගැටලු සම්බන්ධ සාකච්ඡාවක් ඉල්ලා සිටිය ද ආන්ඩුවේ බලධාරීන් එය දිගින් දිගට ම නොතකා හරින බවට ගොවීහු චෝදනා කරති.

සිල්වා

ගොවීන් දැනටමත් මුහුන දෙන ජල ගැටලුව පැහැදිලි කල සිල්වා ලැබුන අඩු වර්ෂාපතනය නිසා පසුගිය කන්න තුන ම ගොවීන්ගේ වගා පාලු වූ බව සඳහන් කලේ ය: “රාජාංගන වැවේ ජල ධාරිතාවය අක්කර අඩි 86,000 යි. ප‍්‍රදේශයේ ගොවීන් ට කන්නයක් වැඩ කරන්න ජලය අක්කර අඩි 150,000 ක් අවශ්‍යයි. කන්න දෙකක් අවුරුද්දකට වගා කරන්නේ වර්ෂා ජලයත් බලාපොරොත්තුවෙන්. ලැබුන වර්ෂාව ප‍්‍රමානවත් නොවූ නිසා පසුගිය කන්න තුනම සාර්ථක නැහැ. කුඹුරු වපුරන කාලයට පමනක් දින 20 ක් වතුර දුන්නට පස්සේ අපිට වතුර දෙන්නේ දින දහයකට වරක් දින තුනයි. එය ප‍්‍රමානවත් නැහැ. නමුත් පානීය ජල ව්‍යාපෘතියට වසර පුරාම ජලය අවශ්‍යයි. පානීය ජල ව්‍යාපෘතියට අපි විරුද්ධ නැහැ දැනටමත් වගාවට ජල හිඟයක් පවතින තත්වය තුල මෙම ව්‍යාපෘතිය මගින් එය තවත් උග‍්‍ර වෙන නිසයි ගොවියෝ විරුද්ධ වෙන්නේ”

පානීය ජල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගොවීන් ඉදිරපත් කරන විකල්ප යෝජනා ආන්ඩුව නොතකා හැර ඇත. නීලබැම්ම ව්‍යාපෘතියෙන් හෝ මහවැලි ජලයෙන් හෝ ජලය ගැනීමේ හැකියාව තිබිය දී හා එම විකල්ප ආන්ඩුවට ඉදිරිපත් කර තිබිය දී සමාගමට හා මැති ඇමතියන්ට ලාභදායි වන විදිහට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ආන්ඩුව උත්සාහ කරන බවට ගොවීහු චෝදනා කරති.

යාය 18 ගොවි නිවසක්

ජල හිඟයට අමතරව ප‍්‍රවාහනය, අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් ඇතුලු යටිතල පහසුකම් ප‍්‍රමානවත් නොවන බවත් පොහොර, කෘමි නාෂක මිල ගනන්වල ඉහල යාමට සහ අස්වනු අලෙවියේ දරුනු ගැටලුවලට තමන් මුහුන දී සිටින බව ගොවීහු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට පැවසුහ.

ගොවි විරෝධතාවය ආන්ඩුවට එරෙහි කුමන්ත‍්‍රනයක් බවත් වෙනත් දේශපාලන බලවේග ඒ පිටුපස සිටින බවටත් ආන්ඩුව සහ එහි මාධ්‍ය චෝදනා කලේ ය.

විරෝධතාවයෙන් පසු ගොවි නියෝජිතයන් වාරිමාර්ග ඇමති විජිත් විජිතමුනි සොයිසා ඇතුලු ආන්ඩුවේ දේශපාලනඥයන් සම්බන්ධ වූ සාකච්චාවකට සහභාගි වී ඇත. එම සාකච්ඡාවට සම්බන්ධ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) ලේකම් දුමින්ද දිසානායක “මේක පොහොට්ටු කාරයන්ගේ (මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂයේ) වැඩක් කියලා චෝදනා කරමින් සාකච්චාවෙන් මග හැර ගිය බව ගොවීහු කීහ.

රාජාංගනයේ ජනයාහට අක්කර 2 ක ඉඩමක් ලබා දී එහි පදිංචි කොට ඇත්තේ 1964 බලයට පත් වූ සිරිමා බන්ඩාරනායකගේ සභාග ආන්ඩු සමයේ ය. පසුගිය දසක වල එම පවුල්වල ඇති වූ ප‍්‍රසාරනයත් සමග බරපතල ඉඩම් හිඟයකට ප‍්‍රදේශයේ ගොවි පවුල් මුහුන දී සිටිති.

දරුවන් හට ද ඉඩම් ලබා දෙන බවත්, ප‍්‍රදේශය තුල ගොවිතැනට අමතරව කර්මාන්ත ඉදි කරන බවත්, ජල විදුලිය ව්‍යාපෘති ආරම්භ කොට ජන ජීවිතය ඉහල නංවන බවත් ගොවි ජනපද ව්‍යාපෘතිය ආරම්භයේ දී දුන් පොරොන්දු, බලයට පත් සියලූ ආන්ඩු විසින් කඩ කොට ඇතුවා පමනක් නොව පොහොර ඇතුලු සහනාධාර කප්පාදුව, නිෂ්පාදන වියදම් අධිකවීම සහ නිශ්පාදනයන් සඳහා සාධාරන මිලක් නොලැබීම හා අතරමැදියන්ගේ ගසා කෑම නිසා ගොවීන් දරනු අගාදයකට ඇද වැටී ඇත.

සෙනෙවිරත්න

ගොවිතැනේ මෙන් ම එලවලු වෙලඳාමේ නිරත ඝෝඨාභය සෙනවිරත්න ලෝසවෙඅ ට මෙසේ පැවසීය. “1964 අපි කැලේ කපන කොට දරටවත් ගස් තියා ගන්න එපා කිව්වා. යෝධ ගස් පවා පුච්චන්න කිව්වා ඉක්මනින් විදුලිය දෙනවා කිව්වා.. අක්කර දෙක දැන් දරුවෝ පස් හය දෙනාට බෙදිලා. බොහෝ තැන්වල පවුල් ආරවුල් ඇති වෙනවා.”

ගොවිතැනින් ලාබ නො ලැබීම නිසා තරුනයන් ගොවිතැනින් ඈත් වෙමින් සිටින බව ද ඔහු පැවසීය.

අස්වැන්න ඉහල දමා ගැනීම සඳහා ගොවීන් අධික ලෙස රසායනික පොහොර භාවිතයට නැඹුරු වී සිටී. කෙසෙල් අක්කරයකට අවුරුද්දකට යූරියා කිලෝ 50 මිටි 100 ක් පමන යොදන බැවින් පොහොර වියදම පමනක් ලක්ෂ 3 ක් ඉක්මවන බවද නමුත් නිසි මිලක් නො ලැබෙන බවද ඔහු සඳහන් කලේ ය.

අම්පාර සහ දිගන මුස්ලිම් ජනයාට එල්ල කල වාර්ගික ප‍්‍රහාර මෙන් ම ශිෂ්‍යයන්ට සහ කම්කරු පන්ති අරගලවලට එල්ල කල ප‍්‍රහාර හෙලා දුටු ගොවීන් “යහපාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ” තහවුරු කරන බවට පොරොන්දු දුන් ආන්ඩුව මහ ජනතාවගේ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් බරපතල ලෙස උල්ලංඝනය කරන බවට චෝදනා කලේ ය.

Share this article: