වොෂින්ටනය රුසියාවට එරෙහිව සම්බාධක පනවයි

Washington imposes sanctions against Russia

බිල් වෑන් ඔකන් විසිනි, 2018 මාර්තු 16

රටේ ප‍්‍රධාන ඔත්තු ආයතන වන, ෆෙඩරල් ආරක්ෂක සේවය හෙවත් මිලිටරියේ ඔත්තු අංශය වූ කේජීබීයේ අනුප‍්‍රාප්තිකයාට හා ජීආර්යූව ද ඇතුලු සංවිධාන පහක් ද පුද්ගලයින් 19 දෙනෙක් ද ඉලක්ක කරමින් ට‍්‍රම්ප් ආන්ඩුව රුසියාවට එරෙහිව 15දා නව දන්ඩන සම්බාධක පනවන බව නිවේදනය කලේය.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය හා ප‍්‍රන්ස ආන්ඩුවල නායකයින්, රුසියානු ඔත්තු සේවයේ නිලධාරියෙකු හා ඔහුගේ දියනිය රෝහල්ගත කිරීමට තුඩු දුන් ස්නායු ගෑස් ප‍්‍රහාරයකට වගකිව යුතු බවට චෝදනා කරමින් රුසියාව වරදකරු ලෙස නම්කරන පෙර නොවූ විරූ ආකාරයේ ඒකාබද්ධ ප‍්‍රකාශනයක් නිකුත් කිරීමට අත්වැල් බැඳගත්හ. මෙම සම්බාධක ප‍්‍රධාන න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර ආතතීන් තියුනු ලෙස ඉහල නැංවීමට තුඩු දෙයි.

නවතම සම්බාධක සඳහා කඩතුරාව ලෙස යොදාගෙන ඇත්තේ, 2016 ජනාධිපතිවරනයට රුසියාවේ “මැදිහත්වීම” හා “දුෂ්ඨ” සයිබර් ප‍්‍රහාර පිලිබඳව මොස්කෝව වගකිව යුතුයයි පවසන චෝදනාය. ඇමරිකානු භාන්ඩාගාර ලේකම ස්ටීවන් මුන්චින් ප‍්‍රකාශයක් නිකුත් කරමින් 15දා කියාසිටියේ, “ආන්ඩුව, ඇමරිකානු මැතිවරනයට මැදිහත්වීමේ ව්‍යායාමය ද ව්‍යසනකාරී සයිබර් ප‍්‍රහාර ද තීරනාත්මක යටිතල ව්‍යූහය ඉලක්ක කල කඩාවැදීම් ද ඇතුලු, දුෂ්ඨ රුසියානු සයිබර් කටයුතු වැලැක්වීමේ යෙදී සිටින” බවය.

කිසිදු සාක්ෂ්‍යයක් ඉදිරිපත් නොකරමින් කල එම ප‍්‍රකාශය, සයිබර් ප‍්‍රහාර මගින්, “ඇමරිකානු ආන්ඩුවේ ආයතන ද වැදගත් නිෂ්පාදන අංශ, ගුවන් සේවා, ජලය, වානිජ්‍ය ව්‍යවසායන්, න්‍යෂ්ටික කටයුතු, බලශක්තිය ඇතුලු ඇමරිකාවේ විවිධ තීරනාත්මක අංශ ඉලක්ක කිරීම ගැන රුසියානු ආන්ඩුවට චෝදනා කරයි.

ඇමරිකාවට එල්ල කෙරෙන සැලකිය යුතු සයිබර් ප‍්‍රහාරයක්, න්‍යෂ්ටික අවි යොදාගත් ප‍්‍රතිප‍්‍රහාරයක් යුක්තිසහගත කල හැකි යයි සලකන, නව න්‍යෂ්ටික මූලෝපායක් ගෙනහැර දැක්වූ, මෑතකදී නිකුත් කල, ඇමරිකානු ජාතික ආරක්ෂාව හා න්‍යෂ්ටික පිලිවෙත් සම්බන්ධ ලේඛන මාලාවක් සමග ගත් කල, චෝදනා අනතුරු ඇඟවීමකි.

භාන්ඩාගාර ලේකම් ගෙනහැරපෑ සිද්ධීන්, ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් කලින් “දඩයමක්” යයි හෙලා දකින ලද, බොහෝකොටම, විශේෂ නීති නියෝජිත රොබට් මුලර්ගේ පරීක්ෂනයෙන් නම්කල සංවිධාන හා එම පුද්ගලයින්ම බොහෝ දෙනෙකුට එල්ල කරන ලද චෝදනා කැටිකරගත් හෙල්ලකි.

ඇමරිකානු ඔත්තු සේවා සංස්ථාපිතයේ ප‍්‍රමුඛ ස්ථරයන් හා මාධ්‍ය සමග සමීප සම්බන්ධතාවකින් වැඩකරන ඩිමොක‍්‍රටික් පක්ෂය, ඇමරිකානු සමාජය කඩාකප්පල් කරන ආතතීන් හා සමාජ බෙදීම් සඳහා මොස්කෝව වගකිවයුතු යයි පැවසීම ද ඇතුලු රුසියාව ඇමරිකානු මැතිවරන වලට “ඇඟිලිගසන” බවට කෙරෙන ඊනියා චෝදනා වටා නිර්දය උද්ඝෝෂනයක් ගෙනයනු ලබයි.

මේ උද්ඝෝෂනය සලකුනු කරන්නේ, මැදපෙරදිග, නැගෙනහිර යුරෝපයේ හා සමස්ත යුරේසියානු භූ ස්කන්ධයම මත සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ ඇමරිකානු මිලිටරි ව්‍යායාමයට ප‍්‍රමුඛ බාධකය ලෙස දැකගන්නා රුසියාවට එරෙහි ආක‍්‍රමනකාරිත්වයේ කිසිදු ලිහිල් වීමකට, පාලක පන්ති සංස්ථාපිතය දක්වන විරුද්ධත්වයයි. ඒ අතරම, රුසියාවට එරෙහි චෝදනා යොදාගෙන ඇත්තේ, අන්තර්ජාල වාරනය හා රටතුල සූදානම් කෙරෙන දේශපාලන මර්දනය යුක්තිසහගත කිරීමටය.

ප‍්‍රමුඛ ඩිමොක‍්‍රටිකයින් නව සම්බාධක වලට සහාය පලකරන අතර සෙනේට් සභාවේ සුුලුතර නායක චක් ෂූමර් 15දා පැවසුවේ, ඒවා “ප‍්‍රමානවත් නැති” බවයි. ට‍්‍රම්ප් තවත් දන්ඩන පියවර ගත යුතු බවත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප‍්‍රසිද්ධියේ හෙලාදැකිය යුතු බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

එසේම සෙනේට් බුද්ධි කමිටුවේ පසුපෙල ඩිමොක‍්‍රටිකයෙක් වන වර්ජිනියාවේ මාර්ක් වෝනර්, සම්බාධක “පලමු පියවර” වන බවත් මේ කටයුතු කිරීමට ආන්ඩුව මෙතරම් කල් ගත්තේ කුමක් නිසාදැයි තමන්ට නොතේරෙන බවත් පැවසීය. මාස නවයකට පෙරාතුව කොන්ග‍්‍රසය, මැතිවරන සම්බන්ධ සම්බාධක පැනවීමට ඉහලින්ම අනුමැතිය පලකර තිබුනි.

භාන්ඩාගාර දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයක වැඩිදුරටත් සඳහන් වුනේ, “බ්‍රිතාන්‍ය පුරවැසියන් දෙදෙනෙකු ඝාතනය කිරීම සඳහා දරන ලද උත්සාහය තුල, මෑතකදී, මිලිටරි වර්ගයේ ස්නායු ගෑස් උපයෝගී කර ගැනීමෙන්”, රුසියානු ආන්ඩුවේ “වගකීම් විරහිත හා නොබැරෑරුම් චර්යාව තවදුරටත් පෙන්නුම් කරයි” යනුවෙනි.

ට‍්‍රම්ප් 15දා, බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ, ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල් හා ප‍්‍රන්ස ජනාධිපති එමෑනුවෙල් මැක්රෝන් සමග එක්ව ඒකාබද්ධ ප‍්‍රකාශයකට අත්සන් තැබීය. එය, රුසියානු ආන්ඩුව, “ප‍්‍රහාරයට සම්බන්ධ සියලු ප‍්‍රශ්න වලට පිලිතුරු බැඳිය යුතු” යයි කියා සිටී. චෝදනා මුඛයෙන් එය පවසන්නේ, පසුව බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවේ ද්විත්ව ඒජන්තයෙක් බවට පත්වූ, රුසියානු ජීආර්යූහි හිටපු කර්නල් වරයෙක් වන සර්ගි ස්ක්‍රිනපාල් හා සැලිස්බරි නම් දකුනු ඉංග්‍රීසි නගරයක වසන ඔහුගේ දියනියට එරෙහිව මිලිටරි වර්ගයේ විස වායුවක් යොදාගෙන ඇති බවකි.

සඳහන් කරන්නේ එය “අප සියල්ලන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බවට පත්වන පරිදි බ්‍රිතාන්‍යයේ ස්වෛරීත්වයට එල්ල කලල ප‍්‍රහාරයකි යනුවෙනි.

සෝවියට් සංගමයේ මිලිටරිය විසින් පලමුවෙන් වර්ධනය කල නොවිචොක් නමැති ස්නායු වායුවක් මගින් ප‍්‍රහාරය එල්ල කල බවට බ්‍රිතාන්‍යය චෝදනා කරන නමුත් එය සනාථ කරන කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැත.

ස්ක්‍රිපාල්ට පහර දීම පිලිබඳ කිසිදු වගකීමක් භාර ගැනීම රුසියාව විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. ඔහු රුසියානු ඒජන්තයින් රැසක් බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවන්ට පාවාදීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන, 2006දී වසර 13කට බන්ධනාගාර ගත කරන ලදුව, ඇමරිකානු-රුසියා ඔත්තුකරුවන් හුවමාරු කර ගැනීමේ වැඩ සටහනක් යටතේ නිදහස් කිරීමෙන් පසුව බ්‍රිතාන්‍යයේ පුරවැසි භාවය ලබාගත් අයෙකි.

ප‍්‍රකාශනය කියන්නේ, “රුසියාව ප‍්‍රහාරයට ඉහලින්ම වගකිව යුතු යයි සැලකිය හැකි” බවකි. කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකරම බ්‍රිතාන්‍ය ආන්ඩුව, රුසියානු තානාපති නිලධාරීන් 23 දෙනෙක් පිටුවහල් කරමින් මොස්කෝවට එරෙහි ප‍්‍රති ප‍්‍රහාරයක් එල්ල කලේය. ඊට ප‍්‍රතිචාර දක්වන බවට මොස්කෝව දිව්රා ඇත.

ස්ක්‍රිපාල්ට පහර දීම පිනිස යොදාගත් ස්නායු වායුවේ සාම්පලයක් ලබාදෙන ලෙස රුසියානු ආන්ඩුව ලන්ඩනයෙන් කිහිප වතාවක්ම ඉල්ලීම් කර තිබුනි. එය, රසායනික අවි තහනම් කිරීම සඳහා වන සංවිධානයේ නියෝගයක් අනුව අවශ්‍යතාවකි. එහෙත් මේ ආන්ඩුව එම ඉල්ලීම් නොතකා හරින ලදී.

මේ ආන්ඩුව විසින් එල්ල කරන චෝදනා වලට ප‍්‍රසිද්ධියේ ප‍්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපති පුටින්, 15දා කියා සිටියේ, තමන් “බ්‍රිතාන්‍යය පැත්තෙන් ගෙන තිබෙන විනාශකාරී හා ප‍්‍රකෝපකාරී ආස්ථානය” පිලිබඳව “දැඩි අවධානයකින්” පසුවන බවයි.

ඊට පෙර ක්‍රෙම්ලිනයේ ප‍්‍රකාශක ඩිමිත්‍රි පෙස්කොව් මාධ්‍ය වෙත මෙසේ පැවසීය: “බ්‍රිතාන්‍ය බලධාරීන් ගෙන ඇති ආස්ථානය ගැන රුසියාව බලවත් නොසංසුන්තාවටත් කැලඹීමටත් පත් විය... චෝදනා පදනම් විරහිතය. තව ද, මෙම චෝදනා එල්ල කර ඇත්තේ, යොදාගත් මූලද්‍රව්‍ය ගැන කිසිදු තොරතුරක් පලවීමට පෙරය, රුසියාවට එරෙහි ප‍්‍රකෝපකරනයක සියලු සලකුනු ඉන් පෙන්නුම් කරයි.”

මේ ආන්ඩුව විසින් එල්ල කර තිබෙන චෝදනාවන්හි හෙලි තුඩ බ්‍රිතාන්‍ය ආරක්ෂක ඇමති කැටිකර දැක්වීය. ඔහු 15දා මෙසේ පැවසීය. “රුසියාව පැත්තකටවී කට පියාගත යුතුය”. ඔහු සිය ප‍්‍රකාශය කලේ, රුසියාව සමග මිලිටරි ගැටුමකට සූදානම් වීම පිනිස රටේ මිලිටරි වියදම් ප‍්‍රධානකොටම වැඩි කිරීමේ අවශ්‍යතාව අවධාරනය කරමින් පැවැත්වූ කථාවෙන් පසුවය.

ඔහු මෙසේ පැවසීය: “බ්‍රිතාන්‍යය ප‍්‍රහාරක ගුවන් යානා, රුසියාවේ නැගී එන තර්ජනයට එරෙහිව, නැගෙනහිර යුරෝපයේ අහසෙහි පොලිස්කාරකමේ යෙදී සිටියි, අපගේ සෙබලුන්, මෙම තර්ජනය පරාජය කිරීම පිනිස එස්තෝනියාවේ හා පෝලන්තයේ නේටෝ සගයින් සමග පෙලගැසී සිටියි.”

කෙසේ වුවත් මේ ආන්ඩුව හා එහි ප‍්‍රධාන සහචරයා වන වොෂින්ටනය, මේ ප‍්‍රශ්නය රුසියාව සමග යුද්ධය සඳහා යොදාගනිමින් සිටින බව පැහැදිලිය.

නිකුත්කර තිබෙන ඒකාබද්ධ ප‍්‍රකාශය, රුසියාවට එරෙහිව නිශ්චිත ක්‍රියාවක් සඳහා රටවල් හතර කැපකර නැත. ජර්මනිය හා ප‍්‍රන්සය, මොස්කෝවට එරෙහිව ඇමරිකාව විසින් පනවන ලද පූර්ව සම්බාධක වලට එකඟ නොවුනි. ඒවා සලකන ලද්දේ, යුරෝපය තුල ඇමරිකාවේ උත්සුකයන්ට වාසිදායක වන පරිදි, විශේෂයෙන්ම ඇමරිකානු බලශක්ති සංගත වල පැත්තෙන්, රුසියාව සමග ඇති තමන්ගේ ආර්ථික බැඳීම් වලට සිතාමතාම එල්ල කෙරෙන තර්ජනයක් ලෙසය.

එසේම යුරෝපීය බලවතුන්, ඉරානය සමග 2015දී ඇතිකරගත් න්‍යෂ්ටික ගිවිසුම කටුගා දැමීමේ ට‍්‍රම්ප් ආන්ඩුවේ අභිලාශයට ද සතුරුය. එය, ඉරානය සමග ලාභදායක වෙලඳ හා ආයෝජන ගිවිසුම් ඇතිකර ගැනීමට ඔවුන් තබා ඇති බලාපොරොත්තු සුන්කර දමයි.

මැක්රොන් ඒකාබද්ධ ප‍්‍රකාශයට අත්සන් තැබීමට දිනකට පෙර, ඔහුගේ ප‍්‍රකාශකයා මාධ්‍ය හමුවකදී ඇඟවුම් කලේ, තහවුරු නොකල චෝදනා මත රුසියානු විරෝධී බ්‍රිතාන්‍ය යුද කරත්තයට ගොඩවීමට පැරිසිය සූදානම් නැති බවයි. “අපි මනංකල්පික දේශපාලනය නොකරන්නෙමු. දේවල් සනාථ කල අවස්ථාවක, තීන්දු ගැනීමේ වාරය එලඹෙයි.”

රුසියාවට එරෙහිව උග‍්‍ර යුදවාදී පිලිවෙතක් හඳුන්වා දීම පිනිස දැවැන්ත පීඩනයක් යෙදෙමින් ඇති බව පැහැදිලිය. පාර්ශවීය වශයෙන් මෙම තල්ලුව, සිරියාවේ තන්ත‍්‍ර මාරුවක් සඳහා ඇමරිකාවේ මූලිකත්වයෙන් සිදුවන සත් අවුරුදු යුද්ධය ගොහොරුවක එරී යාමේ තත්වයේ ප‍්‍රකාශනයකි. එහිදී රුසියාවේ පිටුබලය සහිතව අසාද් ආන්ඩුව, ගම්බද ඩැමස්කස් නගරයක් වන නැගෙනහිර ගෞටාහි බටහිර පිටුබලය ලබන ඉස්ලාමීය “කරලිකරුවන්ගේ” අවසාන බල කඳවුර යටත් කිරීමට ඔන්න මෙන්න කියා ඇත.

වොෂින්ටන් පෝස්ට් පත‍්‍රය 15දා පල කල අදහස් තීරුවක, බ්‍රිතාන්‍ය විදේශ ඇමති බොරිස් ජොන්සන්, ස්කිපාල් සිද්ධියේදී චෝදනා ලත් රුසියානු ක්‍රියාකලාපය සමග සිරියානු ප‍්‍රශ්නය කෙලින්ම සම්බන්ධ කිරීමට උත්සාහ කලේය. “සිරියාව තුල අසාද්ගේ අපරාධ පිලිබඳව පුටින් දක්වන නොතැකීම හා බ්‍රිතාන්‍ය භූමිය තුල රසායනික අවි යෙදීමට රුසියානු ආන්ඩුව දක්වන කැමැත්ත ද අතර සෘජු සම්බන්ධයක්” ඇති බවට ඔහු තර්ක කලේය.

එම ලිපිය මේ සතියේදී එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපති නිකී හැලේ කල තර්ජයත් සමග එකට පිහිටයි. ඒ අනුව ඇමරිකාව, ගෞටාහි සිදුකරනු ලබනවා යයි කියන රසායනික අවි ප‍්‍රහාර යොදාගෙන, සිරියාවේ අසාද් ආන්ඩුවට එරෙහි ඒකපාර්ශවික මිලිටරි ප‍්‍රහාරයක් දියත් කිරීමට සැරසෙයි. ඊට ප‍්‍රතිචාර වශයෙන් රුසියානු මිලිටරියේ මාන්ඩලික ප‍්‍රධානී ජෙනරාල් වැලරි ගෙරාසිමොව් පැවසුවේ, සිරියාවේ රුසියානු මිලිටරි සාමාජිකයින්ගේ ජීවිත අනතුරේ හෙලන ඇමරිකානු ප‍්‍රහාරයකට රුසියාව ප‍්‍රති ප‍්‍රහාර එල්ල කරන බවයි.

Share this article: