අනධ්‍යන වෘත්තීය සමිති නිලධාරීන් ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන්ට එරෙහිව කරන මැරකම් හෙලා දකිනු!

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය, 2018 මාර්තු 31

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සාමාජිකයන්ට ද ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට ද එරෙහි ව අනධ්‍යයන වෘත්තීය සමිති නිලධරයන් සිදුකල තර්ජන හා කායික ප්‍රචන්ඩත්කම් සමාජවාදී සමානතා පක්ෂය තරයේ හෙලා දකී.

16,000කට ආසන්න අනධ්‍යයන කම්කරුවන් තම අඛන්ඩ වැඩ වර්ජනය ආරම්භ කලේ පෙබරවාරි 28දා ය. එය ආරම්භයේ පටන් ම කම්කරුවන්ගේ යුක්ති සහගත අරගලය ආරක්ෂා කරමින් හා සසප ප්‍රකාශන පල කරමින් පුලුල් ආවරනයක් සම්පාදනය කලේ ලොසවෙඅ පමනි.

මාර්තු 27 දා දහවල් විරෝධතා රැස්වීමක් ආවරනය කිරීමට ගිය ලෝසවෙඅ වාර්තාකාරුවෙක් හා ඡායාරූප ශිල්පියෙක් වන අපගේ සහෝදරයෙකුට (ආරක්ෂක හේතූන් මත අපි නම හෙලි නො කරන්නෙමු) තර්ජනය කොට, අඩන්තේට්ටම් කල මෙම නිලධාරීන් ඔහුගේ වාර්තාකරනය වලක්වා තිබේ. රැස්වීම පැවැත්වුනේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨයේ දී ය.

රැස්වීම් භූමියට අපේ වාර්තාකරුවා පැමිනීමෙන් මිනිත්තු කිහිපයක් තුල සමිති නිලධරයන් කිහිප දෙනෙක් ඔහු වේදිකාව අසලට ඇදගෙන ගිය හ. සමිති නිලධාරීන් 20ක් පමන දෙනා ඔහු වටකරගත් අතර කලින් අවස්ථාවක දී රැස්වීම් ආවරනය නො කරන ලෙස අනතුරු අඟවා තිබිය දී මෙම රැස්වීම ආවරනය කිරීමට පැමිනියේ මන්දැයි ඔවුන්ගෙන් එක් පුද්ගලයෙක් තර්ජනාත්මක ව ප්‍රශ්න කලේය. තමන් පැමිනියේ ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් බව ද රැස්වීම ආවරනය කිරීමට තමන්ට අයිතියක් ඇති බවද අපගේ සහෝදරයා අවධාරනය කල විට තවත් නිලධරයෙක් ඔහුගේ බෙල්ලෙන් අල්ලා තර්ජනය කරමින් කැමරාව උදුරා ගැනීමට තැත් කර තිබේ. වේදිකාව මත සිටි තවත් නිලධරයෙක් ඔහුගේ බෙල්ලට පයින් ගැසී ය. ඉන්පසු ඔහු ඇදගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙක් පිටවන ලෙස ඔහුට නියෝග කර රැස්වීම් භූමියෙන් ඔහු පිට ව යන බව තහවුරු කරගැනීමට පසු පසින් පැමිනිය හ.

මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව සිදුකල වෘත්තීය සමිති නිලධරයන් අතර කේ. එල්. ඩී. ජේ. රිච්මන්ඩ්, සිසිර පෙරේරා හා එච්. එම්. ආර්. පී. බී. හේරත් සහ තවත් කිහිප දෙනෙක් සිටි බව අපි සොයාගත්තෙමු. රැස්වීමේ සිටි සාමාන්‍ය කම්කරුවෝ මෙම බියගුලු ප්‍රහාරයට සහයෝගය නුදුන් හ.

සමිති මැරයන් ලෝසවෙඅ වාර්තාකරුවන්ට කලින් තර්ජනය කලේ මාර්තු 20 දා ය. තම ඉල්ලීම් ඉටුකරන ලෙස ආන්ඩුවට බලපෑම් කිරීමට විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව (විවිවෘසඒක) එදින පාර්ලිමේන්තුව වෙත විරෝධතා පාගමනක් පැවැත්වී ය. මාර්ග බාධක යොදා පාර්ලිමේන්තුව වෙත මාවත වැටෙන බත්තරමුල්ලේ මංසන්ධියක දී පෙලපාලිය නැවැත්වීමට පොලීසිය කටයුතු කලේ ය.

විරෝධතාව ආවරනය කල ලෝසවෙඅ වාර්තාකරුවන් පත්‍රිකාවක් බෙදාහරින විට හේරත් ඇතුලු සමිති නිලධරයන් කන්ඩායමක් එය වැලැක්වීමට මැදිහත් වූහ. මොරටුව සරසවියේ අනධ්‍යයන කම්කරුවෙක් හා සසප නායක සාමාජිකයෙක් වන දේහින් වසන්තගෙන් හේරත් පත්‍රිකා උදුරා ගත්තේ ය. “ලෝසවෙඅ බොරු ලියමින් අප ව විවේචනය කරන නිසා” සසජාතශි හා සසපට පත්‍රිකාව බෙදීමට ඉඩ දිය නො හැකි බව ඔවුහු කී හ.

අපේ සහෝදරවරුන්ට එරෙහි ව හේරත් ප්‍රකෝපකාරීත්වය අවුලන විට එම ස්ථානයට පොලීසිය පැමිනිය හ. සමිති නායකයන් වෙනුවෙන් මැදිහත් වූ පොලීසිය එතැන කිසිදු ක්‍රියාවක නො යෙදෙන ලෙස සසප සාමාජිකයන්ට කී හ. එහෙත් දේශපාලනික ව මැදිහත් වීමට පක්ෂයට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අවධාරනය කල අපේ සහෝදරවරු තම උද්ඝෝෂනය අඛන්ඩ ව කරගෙන ගිය හ.

ලෝසවෙඅ බොරු ලියනවා යයි සමිති නායකයන් කරන චෝදනාව අමු පචයකි. ඔවුන් ලෝසවෙඅ ලිපි තුල තිබෙන “බොරු” යයි කියන්නේ ඔවුන්ගේ ක්‍රියා කලාපය පිලිබඳ ව කරන යුක්ති සහගත දේශපාලනික විවේචනයන් ය.

පෙබරවාරි 28දා ඇරඹුනු වැඩ වර්ජනය පිලිබඳ ව ලෝසවෙඅ සිංහල අංශය මාර්තු 26දා වන විට ලිපි හා සසප ප්‍රකාශ 9ක් පලකර තිබුනි. ප්‍රධාන ලිපි දෙකක් හා ප්‍රවෘත්ති දෙකක් ඉංග්‍රීසියෙන් පලකල අපි දෙමල භාෂාවෙන් ලිපි 4ක් පලකලෙමු. වැඩ වර්ජනය මේ ආකාරයෙන් පුලුල් ලෙස ආවරනය කල වෙනත් කිසිදු මාධ්‍යයක් නැත.

වැඩ වර්ජනයට මාධ්‍ය ආවරනයක් ලැබෙන්නේ නැතැයි නුගේගොඩ රැස්වීමේ දී එක සමිති නායකයෙක් අඳෝනා කිවේය. මාධ්‍ය ආවරනය ලෙස ඔවුන් සලකන්නේ ඔවුන්ගේ ක්‍රියාවන් පිලිබඳ ව ධනේශ්වර මාධ්‍යයන් තුල පලවන වාර්තා ලිපි ය. මාර්තු මාසයේ පැවැත් වූ රැලියක දී තමන්ගේ අරගලයට සසප සහයෝගය දක්වන බව පිලිගැනීමට විශ්ව විද්‍යාල වෘත්තීය සමිතියේ යාපනය සරසවි ශාඛා නායක එස්. කලාරාජ්ට සිදුවිය. විශ්ව විද්‍යාලය ඇතුලු වන ස්ථානය ඉදිරිපිට පිකට් උද්ඝෝෂනයක් පැවැත්වීමෙන් යාපනය සරසවි කම්කරුවන් වැලැක්වීම සඳහා උප කුලපතිගේ ඉල්ලීම මත පොලීසිය ලබාගත් උසාවි නියෝගය හෙලාදැක්කේ ලෝසවෙඅ පලකල සසප ප්‍රකාශය පමනි.

ලෝසවෙඅ ලිපි අනධ්‍යන සේවකයන් මෙන් ම අනෙකුත් කම්කරුවන්ගේ ද සාධාරන ඉල්ලීම් ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමේ සැබෑ හේතුව විස්තර කර ඇත. ආන්ඩුවේ ප්‍රහාර ගෝලීය ආර්ථික බිඳවැටීම් මගින් නිෂ්පන්නිත ලංකාවේ ගැඹුරු වන ආර්ථික අර්බුදය සමග බැඳී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවරයන් ක්‍රියාවට දමන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ආර්ථික අර්බුදයේ බර මහජනයා මත පටවමින් සිටී.

ආන්ඩුවේ පිලිවෙත් පරාජය කිරීම සඳහා අවශ්‍ය වන දේශපාලන අරගලයකින් තොර ව සමාජ අයිතීන් හා ජීවන කොන්දේසි ආරක්ෂා කරගත නො හැකි බව සසප ප්‍රකාශයන් තුල අපි පෙන්වා දී ඇත්තෙමු. මෙම අරගලය සමාජවාදී පිලිවෙත් සහ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීම මත පදනම් කල යුතු ය.

වෘත්තීය සමිති නිලධරය මෙම අරගලයට මුලුමනින් ම හතුරු ය. වර්ජනය ආරම්භයේ පටන් ම ඔවුන් ක්‍රියාකලේ කම්කරුවන් ආන්ඩුවට කරන ආයාචනාවන්ට යොමුකරමින් ඔවුන්ගේ කෝපය වාෂ්ප කරදැමීමට ය. මෙම බංකොලොත් පිලිවෙත තුඩුදෙනු ඇත්තේ වැටුප් ඉහල දැමීම් සහ අත්‍යවශ්‍ය විශ්‍රාම වැටුප් හා වෛද්‍ය රක්ෂනය සඳහා වන කම්කරුවන්ගේ ඉල්ලීම් පාවාදීමට පමනි.

උදාහරනයක් ලෙස එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත ජාතික සේවක සංගමයේ ශාඛා නායකයෙක් වන ගයාන් පීරිස් මාර්තු 20දා රැස්වීමේ දී මෙසේ කීවේ ය: “(ආන්ඩුවේ) නිලධාරීන් අපිට සතයක් වත් දෙන්නෙ නෑ කියල කිවුවා. ඒත් සමිති නායකයො හැටියට අපි ගරු ඇමතිතුමා ව වර්ජනය අවසන් කරන්න යමක් දෙන්න ඕන කියන තැනට ගේන්න සමත් වුනා.” එනම්, ඇස්බැන්දුමක් ලෙස ඇමතිවරයා “යමක්” දෙන්නේ නම් වර්ජන ක්‍රියාමාර්ගය ක්ෂනික ව අවසන් කිරීමට වෘත්තී සමිති සැදී පැහැදී සිටිති. පසුගිය කාල පරිච්ඡේදය පුරා කම්කරු පන්තියේ සෑම කොටසක් ම සමිති නිලධරයන් සම්බන්ධයෙන් ලබා ඇති අත්දැකීම මෙය යි.

කම්කරුවන්ගේ ඉල්ලීම් සඳහා වන අරගලයන්ට බාධාවක් බවට පත් ව ඇති වෘත්තීය සමිති කාර්මික පොලීසියක් ලෙස ක්‍රියා කරයි. මෙම බාධකය බිඳීම සඳහා වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව තමන් විසින් ම පජාතන්ත්‍රවාදී ව තෝරා පත්කර ගන්නා ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සසප හා ලෝසවෙඅ කම්කරුවන්ට ආයාචනා කල හ. කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින එවැනි ක්‍රියාකාරී කමිටු, ඔවුන්ගේ අරගලය ප්‍රසාරනය කරමින් අනෙකුත් කම්කරුවන්, තරුනයන් හා දුගීන්ගේ ද සිය ජාත්‍යන්තර පන්ති සහෝදරවරුන්ගේ ද සහයෝගය රැලි කරගැනීම අවශ්‍ය ය. දැනට කෙරීගෙන යන විශ්ව විද්‍යාල කම්කරුවන්ගේ වර්ජනයේ එක් පාඩමක් වන්නේ එය යි.

ශ්‍රී ලංකාවේ වැඩකරන ජනයාගේ පැනනගිමින් පවතින අරගලවල කොටසක් වන විශ්ව විද්‍යාල කම්කරුවන්ගේ අධිෂ්ඨානවත් ක්‍රියාව ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල යලි පුනර්ජීවනය වීමේ ප්‍රකාශනයකි.

පාවාදීමේ මාවතක් අනුයමින් සිටින විශ්ව විද්‍යාල වෘත්තීය සමිති නායකයන් කම්කරුවන් අපගේ ක්‍රියාමාර්ගය සාකච්ඡා කිරීම වලකාලීම උවමනා ය. එහෙත් ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම ඇතුලු එවන් ක්‍රියාමාර්ගයකට බොහෝ කම්කරුවන් සහයෝගය ප්‍රකාශ කලේ පුලුල් ස්ථරයන් එය වෙත ඇදී ඒමේ විභවය පෙන්නුම් කරමිනි.

ලෝසවෙඅ හා සසප කම්කරුවන්ට කීවේත් දැන් කියමින් සිටින්නේත් වෛෂයිකව ඔවුන් මුහුන දෙන සත්‍යයයි. ලෝසවෙඅහා සසප ඉදිරිපත් කරන්නේ කම්කරු පන්තියේ වෛෂයික අවශ්‍යතාවට අනුරූපී ක්‍රියාමාර්ගයකි.

මැර ක්‍රියා නවත්වන ලෙස හා අපගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් මත අත තැබීම නවත්වන ලෙස අපි වෘත්තීය සමිති නිලධරයන්ට අනතුරු අඟවන්නෙමු.

සමිති නිලධරයන්ගේ මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවන්ට විරුද්ධ වන ලෙසත් අපගේ ක්‍රියාමාර්ගයට සහයෝගය දෙන ලෙසත් විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනැගීම සඳහා එයට බැඳෙන ලෙසත් කම්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: