ශ්‍රී ලංකාව: මුස්ලිම් ප‍්‍රජාවට එරෙහි සිංහල වර්ගවාදී ප‍්‍රචන්ඩත්වයට විරුද්ධවනු!

Oppose Sinhala racist violence against Muslim community in Sri Lanka

සමාජවාදී සමානතා පක්ෂය, 2018 මාර්තු 10

සමාජවාදී සමානතා පක්ෂය, රටේ මුස්ලිම්වරුන්ට එරෙහිව සිංහල-බෞද්ධ වර්ගවාදී කල්ලි විසින් මුදාහරිනු ලබන රුදුරු ප‍්‍රචන්ඩත්වය දැඩි සේ හෙලා දකියි. පාලක පන්තිය විසින් දෙමල සුලූතරයට විරුද්ධ 26 වසරක් තිස්සේ ගෙනගිය යුද්ධය අවසන් කලේ යන්තම් අවුරුදු 9කට පෙර ය. දෙමල විරෝධී ව්‍යාපාරය දිගටම ගෙන යන ගමන්ම ඔවුහු, දැන් මුස්ලිම් සුලුතරයට විරුද්ධ රුධිර ස්නානයක් සූදානම් කරති.

කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන්, ගම්බද පීඩිත ජනතාවගෙන් හා ප‍්‍රගතිශීලී බුද්ධිමතුන්ගෙන් සසප ඉල්ලා සිටින්නේ, මෙම ප‍්‍රචන්ඩත්වයට විරුද්ධ වෙමින් එහි තියුනු අනතුරු ඇඟවීම ග‍්‍රහනය කර ගන්නා ලෙසයි. නැගී එන සමාජ ප්‍රතිරෝධය මගින් නිර්මිත ගැඹුරු දේශපාලන අර්බුදයකට මුහුනපා සිටින ආන්ඩුව හා පාලක පන්තිය, වැඩකරන ජනතාව බෙදීමට මුස්ලිම් විරෝධී වර්ගවාදය යොදා ගනිමින් සූදානම් වන්නේ ආඥාදායක පාලනයක් අටවා ගැනීමටයි.

මෙම ප‍්‍රචන්ඩත්වය පෝෂනය කර, ඊට සහයෝගය දුන්නේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව මෙන්ම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශිලංපොපෙ) ද ඇතුලු විපක්ෂයේ සංවිධානයි.

අලුත්ම ප‍්‍රචන්ඩ ක්‍රියා මාර්තු 4 වන ඉරිදා මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙනිය-දිගන ප‍්‍රදේශයෙන් ආරම්භ වී ඉක්මනින්ම ආසන්නයේ පිහිටි කුඩා නගර හා ගම් වලට පැතිර ගියේය. සුලු මාර්ග අනතුරකින් පසුව හටගත් හබයකින් පසුව ඇතිවූ තුවාල නිසා මාර්තු 3දා මියගිය සිංහල ලොරි රියදුරාගේ අවසන් කටයුතු එදින පැවැත්වුනි. සිංහල බෞද්ධ අන්තවාදී කන්ඩායම් මුස්ලිම් වරුන්ට එරෙහි ප‍්‍රචන්ඩ ක්‍රියා ඇවිලීමට මෙම සිද්ධිය ගසාකෑහ.

ආන්ඩුවේ ද විරුද්ධ පක්ෂවල ද අනුග‍්‍රහය ලබන අන්තවාදී කල්ලි මෙය පිටුපසින් ක්‍රියාත්මක වූ බවට හොඳම ඇඟවීම, ප‍්‍රචන්ඩක්‍රියා ආරම්භ වීමට පෙර අවමංගල්‍ය පැවැත්වෙන නිවසට ෆැසිස්ට් පන්නයේ බොදුබල සේනා සංවිධානයේ නායකයින් පැමින සිටීමය.

ආන්ඩුව රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම, ඇඳිරි නීතිය පැනවීම සහ සාපේක්ෂ වශයෙන් කුඩා ප‍්‍රදේශයකට 7000 පමන පොලිස් හා ආරක්ෂක හමුදා සාමාජිකයින් යොදා තිබුනේ වුවද මුස්ලිම් වරුන්ට පහරදීම නොනැවතී කෙරීගෙන ගියේය. මැර කල්ලිවල එවන් මනා සංවිධානයක් හා සම්බන්ධීකරනයක් ආරක්ෂක හමුදාවල, පොලිසියේ හා පාලක පන්තියේ කොටස්වල අනුග‍්‍රහයකින් තොරව සිදු නොවිය හැක.

මාර්තු 5 වන සඳුදා සවස පටන් මහනුවර දිස්ත්‍රික්කය තුල විටින් විට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබීය. මහනුවර හා අසල ප‍්‍රදේශවල වෙලඳසැල් වසා තිබුනු අතර වාහන ගමනාගමනය සීමාකර හෝ මුලුමනින්ම නතරවී තිබුනි. රටේ අනෙකුත් ප‍්‍රදේශ කරා ද ප‍්‍රචන්ඩ ක්‍රියා පැතිර යනු ඇතැයි ජනතාව පසුවුනේ බියෙනි.

රාජපක්ෂ සමයේ ආරම්භවී වත්මන් ආන්ඩුව යටතේ ද අඛන්ඩව කෙරීගෙන ගිය මුස්ලිම් විරෝධී ප‍්‍රචාර, ප‍්‍රකෝපකරන හා ප‍්‍රචන්ඩ ප‍්‍රහාර උත්සන්න වීමක කොටසක් ලෙස අලුත්ම පහරදීම් සිදුවිය.

මැරයින් වෙනත් ප‍්‍රදේශ වලින් ප‍්‍රවාහනය කල බවටත්, විශ‍්‍රාම ගිය හා සේවයේ නියුතු ආරක්ෂක භටයින් මේවාට සම්බන්ධවී සිටි බවටත් සාක්ෂි ඇතැයි පිලිගැනීමට, මාර්තු 7දා, ආන්ඩුවේ ජ්‍යේෂ්ඨ ඇමතිවරයෙක් වන සරත් අමුනුගමට බල කෙරුනි. එස්ටීඑෆ් භටයින් බලා සිටියදී මැර කල්ලි වෙලඳසැල් හා නිවාස වලට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ හා ඡායාරූප සමාජ මාධ්‍ය ජාලයන්හි දැක්වුනි. සිද්ධි ඇසින් දුටු සාක්ෂි කරුවෝද ඒවා සනාථ කලහ.

ජනාධිපති සිරිසේන මාර්තු 6දා ප‍්‍රකාශයට පත් කල හදිසි නීති යටතේ, වරෙන්තුවකින් තොරව පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටත් රඳවා තැබීමටත් පොලිසියට හා ආරක්ෂක හමුදාවන්ට පුලුල් මර්දනකාරී බලතල ලැබී ඇත. අත්අඩංගුවට ගනු ලැබූවන් වසර 20ක කාලයකට හෝ ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කල හැකිය. සමාජ මාධ්‍ය ජාල හා වට්ස්ඇප් හා වයිබර් සන්නිවේදනය මත මාර්තු 6දා සිට ආන්ඩුව වාරනයක් පනවා ඇත.

‍ප්‍රහාර සංවිධානය කල නායකයින් බව කියන සමහරෙක් ද ඇතුලු පුද්ගලයින් 146 දෙනෙක් මේ දක්වා පොලිසිය හා ආරක්ෂක හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සමහර නායකයින් පන්සල් තුල සැඟව සිටි බවට වාර්තා විය. ආන්ඩුව තදියමේම “තත්වය සාමාන්‍ය අතට හැරී” තිබේ යයි ප‍්‍රකාශ කර ඇත.

ආන්ඩුවේ නායකයින් ද විපක්ෂය ද මාධ්‍ය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඇමරිකාවත්, “ප‍්‍රචන්ඩත්වයෙන් වලකින ලෙස” ජනතාවගෙන් ඉල්ලා සිටිති. මෙම ප‍්‍රකාශවලින් වැගිරෙන්නේ කුහකත්වයෙන් දුර්ගන්ධයයි. එය කම්කරු පීඩිත ජනතාවට කෙරෙන නිග‍්‍රහයකි. ඔවුන් මෙම අපරාධ වලට කිසිසේත්ම වග නොකිය යුතුවා පමනක් නොව, වාර්ගික ලේ වැගිරීම් පිලිබඳ සිය කෝපය ද පල කර ඇත.

හදිසි නීතිය පැනවීමෙන් පසුව නිකුත්කල “විශේෂ ප‍්‍රකාශයකින්” ජනාධිපති සිරිසේන පැවසුවේ: “සම්බන්ධවූ පුද්ගලයින් සම්බන්ධයෙන් තදින් කටයුතු කරන” බවයි. කෙසේ වෙතත් ඔහු මාර්තු 7දා, අන්තවාදී සිංහල-බෞද්ධ සංවිධාන වලට අනුග‍්‍රහය දක්වන බෞද්ධ නායකයින් මුනගැසීමට ගුවනින් මහනුවර බලා පිටත්ව ගියේ ය.

එසේම වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ආන්ඩුව, “සියලු වර්ගවාදී හා ප‍්‍රචන්ඩ ක්‍රියා හෙලාදකින” බවය. විවිධ ”කඩාකප්පල්කාරී ක්‍රියා” සැලසුම් කරන “බලය සඳහා කෑදර සමහර කොටස්” වලට ඔහු චෝදනා කලේය. එහෙත් ඔහු කිසිවෙකුත් නම් කලේ නැත.

සිරිසේන හා වික‍්‍රමසිංහ 2015දී බලයට පත්වුනේ, ජීවන හා සමාජ කොන්දේසි නගා සිටුවන බවටත්, “සංහිඳියාව” හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සුරකින බවටත් පොරොන්දු වෙමිනි. ඔවුහු රාජපක්ෂගේ මර්දනකාරී පාලනය කෙරෙහි පැවති මහජන කෝපය ගසාකෑවෝය. කෙසේ වුව ද පසුගිය වසර තුනක පාලන කාලය තුල, ජීවන තත්වයන්ට නොකඩවා පහර දෙන, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) අනකර ඇති කප්පාදු න්‍යායපත‍්‍රය ක්‍රියාත්මක කරන ආන්ඩුව, වැඩකරන ජනතාවගේ බරපතල කෝපයට ලක්ව සිටී.

විරෝධතාවන්ට හා වැඩවර්ජිත කම්කරුවන්ට රුදුරු පොලිස් ප‍්‍රහාර එල්ල කරන ආන්ඩුව, මුස්ලිම් හා දෙමල විරෝධී ප‍්‍රකෝපකරනයන්හි ක‍්‍රමානුකූලව නියැලී සිටින බොදුබලසේනා හා රාවනා බලකාය වැනි අන්තවාදී කන්ඩායම් වලට නිදහසේ කටයුතු කිරීමට ඉඩහැර බලා සිටී. මුස්ලිම් පල්ලි වලට, නිවාස හා වෙලඳසැල් වලට පහර දුන් අයට නිදැල්ලේ කටයුතු කිරීමේ මුක්තිය ලැබී තිබේ. සිරිසේන බොදුබල සේනා නායකයින් ද ඇතුලු මෙම අන්තවාදීන් සැනසීම පිනිස, ඔවුන් සමග සාකච්ඡා පවා පවත්වා ඇත. රටේ සිංහල බෞද්ධ ස්වභාවය ආරක්ෂා කිරීමට තමන් කැපව සිටින බව යලියලිත් ප‍්‍රකාශ කරමින් සිරිසේන හා වික‍්‍රමසිංහ ස්වෝත්තමවාදී බලවේග පෝෂනය කරති.

ගැඹුරු දේශපාලන අර්බුදය

ආන්ඩුව හා පාලක පන්තිය ආන්තික අර්බුදයකට මුහුනපා සිටියදී මුස්ලිම් විරෝධී ප‍්‍රචන්ඩ ක්‍රියා සිදුකිරීම අහම්බයක් නොවේ. ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහි මහජන විරෝධයකට ඔවුහු මුහුනපා සිටිති. පසුගිය මාස ගනනාව තුල රජයේ සියලුම අංශවල පාහේ සේවකයින් වැඩි වැටුප් හා යහපත් සේවා කොන්දේසි සඳහා අරගලයන්ට පිවිසුනි. සිංහල, දෙමල හා මුස්ලිම් යන සියලු ප‍්‍රජාවන්ට අයත් සිසූහු හා ගොවීහු සමාජ හා ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් වෙනුවෙන් විරෝධතා පැවැත්වූහ.

උග‍්‍ර වන මහජන විරෝධයේ ප‍්‍රතිපලයක් ලෙස, සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය ඇතුලු හවුල් ආන්ඩුවේ හවුල්කරුවෝ පසුගිය මාසයේ පැවති පලාත් පාලන ආයතන ඡන්දයෙන් බරපතල පරාජයකට මුහුන පෑහ. රාජපක්ෂගේ පොදුජන පෙරමුනට බොහෝ දෙනා ඡන්දය දුන්නේ, ඔවුන් එයට සහාය දක්වන නිසා නොව, ආන්ඩුවට එරෙහි සිය කෝපය පලකිරීමක් ලෙසය.

මෙම පරාජය ආන්ඩුව බිඳ වැටෙන තැනකටම ගෙනාවේය. පාලක හවුලේ පක්ෂ, දේශපාලන ව්‍යසනය ගැන එකිනෙකාට දොස් පවරා ගත්හ. චීනයට එරෙහි වොෂින්ටනයේ භූදේශපාලන මූලෝපාය සමග කීකරු ලෙස පෙලගැසෙන ඇමරිකානු ගැති ආන්ඩුව බිඳ වැටීම වලක්වා ගැනීමේ අරමුනෙන්, ඇමරිකානු හා ඉන්දියානු තානාපති වරුන්ගේ මැදිහත්වීමේ ප‍්‍රතිපලයක් ලෙස තාවකාලිකව පැලැස්තරයක් දමා ගැනීමට හැකිවී තිබේ.

රට තුල නැගී එන දේශපාලන කැලඹීම් හා ගැඹුරු වෙමින් ඇති ආර්ථික ගැටලු, ලෝක ධනවාදයේ අර්බුදය මගින් ගිනියම් කරයි. මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, වැඩිවන නය ආපසු ගෙවීම් හා ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය ද පහත වැටෙන ආර්ථික වර්ධනය ද නිසා රට “අග්ගිස්සේ පවතින්නේ” යයි පැවසීය.

ප‍්‍රචන්ඩ ක්‍රියාවන්ට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස රාජපක්ෂ පොලිසියෙන් ඉල්ලා සිටියේය. එහෙත් ඔහු, “වාර්ගික දේශපාලන පක්ෂ වටා රැස්කමින් සිටින” බවට මුස්ලිම්වරුන්ට නරුම චෝදනා එල්ල කලේය. මේ මගින් සිංහල හා මුස්ලිම් ජනතාව අතර ගැටුම් නිර්මානය කිරීමට, “විදෙස් ප‍්‍රකෝපකාරීන්” යොදා ගැනීම පිනිස “කුමන්ත‍්‍රනකාරී දේශීය මෙන්ම විදේශීය බලවේග වලට” ඉඩ සැලසී ඇතැයි ඔහු පැවසීය.

රාජපක්ෂ කියන්නේ, සිංහල අන්තවාදී කන්ඩායම් නැගී ආවේ “මුස්ලිම් වර්ගවාදයට” ප‍්‍රතිචාර වශයෙන් බවයි. සැබවින්ම බොදුබල සේනා සංවිධානය 2012දී හිස එසවූයේ ඔහුගේ තන්ත‍්‍රයෙහි විවෘත ආශීර්වාදය ඇතුවය. රාජපක්ෂ වෙර දරන්නේ, කම්කරු පන්තියේ ප‍්‍රතිරෝධය තලා දැමීම පිනිස බලයට පත්වීම සඳහා දක්ෂිනාංශික ව්‍යාාපාරයක් ගොඩනැගීමටය.

ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී කථා කරමින්, සිය පාලනය පවත්වාගෙන යාම පිනිස වර්ගවාදය අවුලුවන බවට, ආන්ඩුවට මෙන්ම විපක්ෂයට ද දොස් පැවරීය. ජවිපෙ, සිංහල ස්වෝත්තමවාදයේ සතුරන් ලෙස බොරුවට පෙනී සිටීමට වලිකයි. එය පිහිටවූ තැන් පටන්ම සිංහල දේශමාමකත්වය ආරක්ෂා කරමින්, දෙමල ජනතාවට එරෙහි වර්ගවාදී යුද්ධයට සහාය දුන් අතර ව්‍යවස්ථාවෙන් බෞද්ධාගම රාජ්‍යාගම කිරීම පිලිගත්තේය.

තම පක්ෂයෙහි වර්ගවාදී ස්වභාවය අනන්‍යතා පත‍්‍රය නග්නවම ප‍්‍රදර්ශනය කරමින් දිසානායක මාර්තු 7දා, මල්වතු පාර්ශවයේ මහ නායක හමුවීමට ගොස් අර්බුදය විසඳීම පිනිස උපදෙස් ඉල්ලා සිටියේය. ජවිපෙ ඉල්ලා සිටින්නේ “වර්ගවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන” ලෙසයි. මෙයින් සිදුවන්නේ, වැඩකරන ජනතාවට එරෙහිව ආන්ඩුවේ හා රාජ්‍ය හමුදාවල අත් ශක්තිමත් කිරීම පමනි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය ඇතුලු මුස්ලිම් ධනපති පක්ෂ අවධාරනය කරන්නේ, “මුස්ලිම්වරුන් ආරක්ෂා කිරීම” පිනිස “දුටුතැන වෙඩිතැබීම” ද ඇතුලු පොලිස් රාජ්‍ය බලතල ආන්ඩුව විසින් යොදාගත යුතුව ඇති බවයි. සාමාන්‍ය කම්කරුවන්ගේ හා පීඩිතයින්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් වෙනුවෙන් නොව, මුස්ලිම් ප‍්‍රභූ පැලැන්තියේ අවශ්‍යතා රැකගැනීම පිනිස, බලයට පත් සෑම ආන්ඩුවක් සමගම ඔවුන් ගෙන ගිය කුනු සන්ධාන හෙලිදරව් වේ යයි ඔවුහු බියපත්ව සිටිති.

1948 දී ලබාගත්තේ යයි කියන ඊනියා නිදහසෙන් පසුව එජාප ආන්ඩුව වහාම කෙලේ, දෙමල කථා කරන වතු කම්කරුවන්ගේ පුරවැසි භාවය අහෝසි කිරීමය. එතැන් පටන් ධනපති පාලනය මුහුනපෑ සෑම අර්බුදයකදීම බලයේ සිටි ආන්ඩු, වැඩකරන ජනතාව බෙදා, දුබලකර, මැඩීම පිනිස වර්ගවාදය උපයෝගී කරගෙන ඇත.

සිංහල හා බෞද්ධාගම රාජ්‍ය භාෂාව හා ආගම බවට පත්කිරීම වැනි පියවර ගැනීම මගින් දෙමල ජනතාවට එරෙහි වෙනස්කම් කිරීම උත්සන්න කිරීමෙන්, 1983 වසරේ පටන් ගෙන ගිය බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි වර්ගවාදී යුද්ධය සඳහා කොන්දේසි නිර්මානය කෙරුනි. එවක පැවති කම්කරු පන්තියේ ප‍්‍රධාන පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂය, 1964 ධනපති හවුල් ආන්ඩුවකට ඇතුලු වීමෙන්, මෙම ප‍්‍රතිගාමී මාවත සඳහා කොන්දේසි සකස් කලේය.

පාලක පන්තියේ හා ආන්ඩුවේ ප‍්‍රහාර පරාජය කල හැක්කේ, කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා සටනේ කොටසක් ලෙස, සිංහල, දෙමල හා මුස්ලිම් සියලු කම්කරුවන් එක්සත් කරන සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් පමනි. සියලු ජන කොටස්වල මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සුරක්ෂිත කල හැක්කේ, වර්ගවාදයේ ද වෙනස්කම් කිරීමේ ද පරිපීඩනයේ ද මූලාශ‍්‍රය වන ධනවාදය පෙරලා දැමීමේ අරගලය තුලින් පමනි.

සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත කම්කරු පන්තිය එක්සත් කරන ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් ගම්බද පීඩිත ජනතාව හා තරුනයින්ගේ සහාය ගොනුකර ගැනීමට සටන් කරන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන් ගෙන් ඉල්ලා සිටි.

අලුත්ම සිද්ධීන් යලි වතාවක් පෙන්නුම් කර තිබෙන්නේ, ඕනෑම ප‍්‍රජාවකගේ වැඩකරන ජනතාවට තම ආරක්ෂාව වෙනුවෙන් ධනපති රාජ්‍යය මත රැඳී සිටිය නොහැකි බවයි. ඔවුන් තම අයිතීන් දිනාගැනීමේ අරගලයයේදී තමන්ගේ ආරක්ෂාව සහතික කර ගැනීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස තෝරාගත් නියෝජිතයින්ගෙන් සැදුම්ලත් එවන් ක්‍රියාකාරී කමිටු පිහිටුවාගත යුතුය.

ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනේ කොටසක් ලෙස සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට පත් කිරීම පිනිස වැඩකරන ජනතාව මේ අරගලය තුලින් එක්සත් කල යුතුය. මේ ක්‍රියාමාර්ගය සඳහා සටන් කිරීම සඳහා අපගේ පක්ෂයට බැඳෙන ලෙස සසප සියලු කම්කරුවන්, තරුනයින් හා ප‍්‍රගතිශීලී බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටියි.

Share this article: