අම්පාරේ දී මුස්ලිම් ජනයාට එරෙහි සංවිධානාත්මක වාර්ගික ප‍්‍රහාරයක්

කපිල ප‍්‍රනාන්දු විසිනි, 2018 මාර්තු 2

පෙබරවාරි 26 දා රාත්‍රියේ අම්පාර නගරයේ දී සංවිධානාත්මක සිංහල වර්ගවාදී කල්ලියක් විසින් මුස්ලිම් ජනයා ඉලක්ක කොට වාර්ගික මැර ප‍්‍රහාරයක් එල්ල කොට තිබේ. මුස්ලිම් ආපන ශාලාවක ආහාර වලට දරු ඵල අහිමි කරන ඖෂධ මිශ‍්‍රකොට ඇති බවට චෝදනා නගමින් ප‍්‍රකෝපකරනයක් අවුලුවාගත් පිරිස පලමුව ආපනශාලාවට පහර දී අලාභභානි කලහ. පසුදින උදෑසන වන විට ආසන්නයේ පිහිටි මුස්ලිම් පල්ලියක්, තවත් කඩ සාප්පු කිහිපයක් හා මෝටර් රථ හා මෝටර් බයිසිකල් ගිනි තබා විනාශ කෙරුනි.

ප‍්‍රහාර වලින් මුස්ලිම් ජාතිකයන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.

දුරකථන පනිවිඩ ලබා දීමත් සමග මැර පිරිස් පැමිනි බව ප‍්‍රදේශයේ ජනයා මාධ්‍යයට පවසා සිටී. පලමු සිද්ධිය වූ අවස්ථාවේ සිට ප‍්‍රදේශයට පොලිසිය මැදිහත් වූ නමුත් ප‍්‍රහාරයට සම්බන්ධ කිසිවකු මේ වන තුරුත් අත්අඩංගුවට ගෙන නොමැත. පෙර අවස්ථාවන්හි දී මෙන් මැර නඩ විනාශය සිදු කර ඇත්තේ පොලිසියේ නිහඬ සහයෝගය මැද බව පැහැදිලි ය.

ආන්ඩුවේ කාර්මික හා වානිජ ඇමති රිෂාඩ් බදුර්ඩීන් 27 වන දා පැවති කැබිනට් රැස්වීමක දී අදහස් දක්වමින් ප‍්‍රහාරය හමුවේ අම්පාර පොලීසිය පසෙකට වී බලා සිටි බවටත් ක්‍රියාත්මක වීමට ප‍්‍රමාද වූ බවටත් චෝදනා කලේය. ඒ සමගම, ප‍්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නැයි ආන්ඩුවෙන් දියාරු ඉල්ලීමක් ද කලේය.

මේ වන විට හමුදාව, පොලිස් විශේෂ කාර්ය භට කන්ඩායම් හා පොලිස් කැරලි මර්දන කන්ඩායම් අම්පාර නගරයට කැඳවා ඇත. ආහාරවලට මුසු කලේ යයි පැවසෙන ඖෂධ පෙති පරීක්ෂන සඳහා ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.

මුස්ලිම් ජාතිකයන්ට අයත් ආපන ශාලාවලින් හා ප‍්‍රධාන රෙදිපිලි අලෙවි සැල් මගින් සිංහල ජාතිකයන් වඳ කරන පෙති වර්ග හා රසායන ද්‍රව්‍ය නිකුත් කරන බවට කෙරෙන පදනම් විරහිත ප‍්‍රචාරය මුදාහැර ඇත්තේ, බොදුබල සේනා, සිංහ ලේ හා සිංහල රාවය වැනි සිංහල වර්ගවාදී ෆැසිස්ට් කන්ඩායම් විසිනි.

තම ජනගහනය වර්ධනය කොට මුස්ලිම්වරු රට අල්ලා ගැනීමට යන බවත් මෙම ක්‍රියා මගින් සිංහලයන්ට රටක් නැති වීමට යන බවටත් වන උද්ඝෝෂනයක මෙම සංවිධාන යෙදී සිටී. කම්කරු පීඩිත ජනයාගේ කිසිදු සහායක් නොලත් මෙම ව්‍යාපාර දකුනු ප‍්‍රදේශවල සිංහල ජන වර්ගයට අයත් මධ්‍යම පාන්තික කොටස්, ව්‍යාපාරිකයන් සහ බෞද්ධ භික්ෂූන් මත පදනම් වී සිටී.

අම්පාරේ දී සිද්ධියට මෙම නඩ සම්බන්ධ බවට තොරතුරු මෙතෙක් ලැබී නැති මුත් සංවිධානාත්මකව සිදු කරන ලද මෙවැනි ප‍්‍රහාර වෙනත් අන්දමකින් සිදුවිය නොහැක.

අම්පාරේ ප‍්‍රහාරය, මුස්ලිම් ජනයා එල්ල කොට ගත් ප‍්‍රචන්ඩ ක්‍රියා මාලාවක නවතම එකයි. පසුගිය නොවැම්බර් 17 දා ගාල්ල ගිංතොට ප‍්‍රදේශයේ මුස්ලිම් හා සිංහල දෙපිරිසක් අතර සිදු වූ සුලු රිය අනතුරක් ඩැහැගත් මෙම සිංහල අන්තවාදියෝ රිය අනතුරට කිසිදු සම්බන්ධයක් නැති මුස්ම් ගම්මාන කිහිපයකට එල්ල කල මැර ප‍්‍රහාරයෙන් නිවාස හා ව්‍යාපාර ස්ථාන 50 කට පමන දැඩි අලාභහානි සිදු විය. මැරයෝ මුස්ලිම් පල්ලි තුනකට පහර දී රථ වාහන ගනනාවක්ම විනාශ කලහ.

පසුගිය සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ගල්කිස්සේ රඳවා සිටි මියෙන්මාරයේ සිට මෙරට පැමිනි රෝහින්ගියා සරනාගාතයන් පිරිසට එල්ල කල මෘග ප‍්‍රහාරයෙන් මෙම සංවිධානවල අමානුෂික ෆැසිස්ට් උමතුව යහමින් ප‍්‍රදර්ශනය විය. කුඩා දරුවන් 16 ක් සහ ස්ත්‍රීන් 7 ක් ඇතුලත් 30 කින් සමන්විත එම සරනාගත කන්ඩායමට එරෙහි පහරදීම මෙහෙයවූ “සිංහල රාවය” සංවිධානයේ නායක අක්මීමන දයාරතන නම් භික්ෂුව නරුම ලෙස කියා සිටියේ පිරිස සරනාගතයින් නොව, මියෙන්මාරයේ බෞද්ධ භික්ෂූන් “කපා කොටා ඝතනය කල ත‍්‍රස්තවාදීන්” බවයි.

ගිය වසරේ අප්‍රේල් සිට මුස්ලිම් පල්ලි, කඩසාප්පු හා නිවාස ඉලක්ක කරමින් සිදු කල මැර ක්‍රියාවන් සම්බන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් චෝදනා එල්ල වූයේ බොදුබල සේනා සංවිධානය වෙතයි. 2014 මහින්ද රාජපක්ෂ ආන්ඩුව සමයේ බොබසේ සංවිධානයේ මූලිකත්වයෙන් අලුත්ගම ප‍්‍රදේශයේ දියත් කල ප‍්‍රහාරයෙන් මුස්ලිම් වැසියන් තිදෙනෙකු මරා දැමුනු අතර කිහිප දෙනෙක් තුවාල ලැබීය.

2009 දී මහින්ද රාජපක්ෂ ආන්ඩුව දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) පරාජය කිරීමෙන් පසු පැන නැගි කම්කරු පන්තියේ, ගම්බද දුගීන්ගේ හා තරුනයින්ගේ අරගල මධ්‍යයේ බොදුබල සේනා ඇතුලු මෙම බෞද්ධ අන්තවාදී සංවිධානවල වර්ධනයට ඉඩ හැරියේ වාර්ගික ආතතීන් යලි අවුලුවා කම්කරු පන්තිය භේද කොට එම අරගල මැඩීම සඳහා ය.

2015 වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට පත් වූයේ රාජපක්ෂ ආන්ඩුව විසින් මහජනතාවගේ ජීවන තත්වයන්ට මෙන්ම ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කල ප‍්‍රහාර හමුවේ වැඩුනු දැවැන්ත මහජන විරෝධය ගසා කමින් “යහපාලනය” හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන බවට පොරොන්දු දෙමිනි. “ජාතීන් අතර සංහිඳියාව” ආන්ඩුවේ ඒ සඳහා යොදා ගත් තවත් ප්‍රෝඩාවකි.

වත්මන් ආන්ඩුව එම පොරොන්දු සියල්ල කඩකරමින් රාජපක්ෂ නැවතූ තැන් සිට ඉදිරියට ගෙන යමින් පවත්නා ප‍්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල මාලාවක් වර්ධනය වෙමින් පවතී. ආන්ඩුවේ ආශීර්වාදය මත සිංහල අන්තවාදී නඩ නැවත වැඩට බස්සවා ඇත්තේ, නව වටයක වාර්ගික භේදකරනයක් අවුලුවා මිලිටරිය වීදියට කැඳවා එම අරගල තලා දැමීමටයි.

යුද්ධය නිම වී වසර නවයක් ගත වී ඇතත් උතුරු සහ නැගෙනහිර පලාත් තවදුරටත් මිලිටරි පාලනයට නතු කොට ඇත්තේ මෙම වැඩපිලිවෙලේම කොටසක් ලෙසයි.

අම්පාරේ ප‍්‍රහාරය හෙලා දකිමින් විශේෂ ප‍්‍රකාශයක් කර ඇති ටීඑන්ඒ නායක ආර්. සම්බන්ධන් පොලීසියෙන් හා අදාල බලධාරීන්ගෙන් අපක්ෂපාතීව කටයුතු කරන්නැයි ඉල්ලා තිබේ. වත්මන් ආන්ඩුව මෙන්ම ඇමරිකානු අධිරාජ්‍යවාදීන් දෙමල ජනයාගේ රැකවලෙක් ලෙස හුවා දක්වන ටීඑන්ඒ ඇතුලූ දෙමල ධනපති සංවිධාන පසුගිය පලාත් පාලන මැතිවරනයේ දී රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන ලබා ගත් මැතිවරන ජයග‍්‍රහනය සිංහල ජාතිවාදය යලි හිස එසවීමක් ලෙස නම්කර දෙමල ජනයා අතර වර්ගවාදී උද්ඝෝෂනයන් අරඹා ඇත.

රාජපක්ෂට ලබාදුන් ඡන්දයෙන් ප‍්‍රකාශ කෙරෙනුයේ සිංහල ජාතිවාදය යලි හිස එසවීමක්ය යන්න කෙප්පයකි. 2015 දී මහජනතාව විසින් ප‍්‍රතික්ෂේප කෙරුනු රාජපක්ෂට මෙවර ලබා දී ඇති ඡන්දය වත්මන් ආන්ඩුව කෙරෙහි පවත්නා බලගතු විරෝධයේ ප‍්‍රකාශනයකි.

කෙසේනමුත් මැතිවරන ප‍්‍රතිඵලයෙන් පාලක පන්තියේ දේශපාලන අර්බූදය තවත් උග‍්‍ර වී ඇති අතර එහි හරිමැද පවත්නා වැඩෙන පන්ති අරගලයන් මැඩීම හදිසි සහ අත්‍යවශ්‍ය කරුනක් ලෙස පාලක පන්තිය ඉදිරියේ මතු කෙරී ඇත. වර්ගවාදී නඩ උසි ගැන්වෙන්නේ මේ සන්දර්භය තුලයි.

මුස්ලිම් ජනයාට එරෙහි අඛන්ඩ වාර්ගික ප‍්‍රහාර හෙලා දකින සමාජවාදී සමානතා පක්ෂය, මෙම වාර්ගික ප‍්‍රකෝපකරනයන්ගේ අවසාන ඉලක්කය කම්කරු පන්තියේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල තලා දැමීම බවට අනතුරු අඟවයි.

Share this article: