දෙබිඩි බ්‍රිතාන්‍යය: ග්‍රෙන්ෆෙල් පරීක්ෂනය හා රාජකීය විවාහ මංගල්‍යය

Two Britains: The Grenfell inquiry and the royal wedding

තෝමස් ස්ක්‍රිප්ස්, 2018 මැයි 22

ග්‍රෙන්ෆ්‍රෙල් කුලුනේ ගින්න පිලිබඳ ආන්ඩුවේ පරීක්ෂනය සඳුදා ඇරඹුනි. පසු ගිය වසරේ ජූනි 14වැනිදා අඩු වසයෙන් ජීවිත 72ක් බිලි ගත් නූතන බ්‍රිතාන්‍ය ඉතිහාසයේ සාමකාලයක සිදුවූ නරකම විනාසයන්ගෙන් එකකට ගොදුරු වූවන්ගේ මිත්‍රයින් හා පවුල් වලින්, ඉදිරි සති දෙක මුලුල්ලේ, සාක්ෂි කැඳවනු ඇත.

තවමත් එකදු ජාතික පුවත්පතක් හෝ තම මුල් පිටුවේ මෙම සිදුවීමට තැනක් දීමට තරම් වටිනා බව කල්පනා කර නැත. ඒ වෙනුවට, ඔවුන් දිගටම එල්බ සිටින්නේ සති අන්තයේ හැරී කුමරු හා මෙගාන් මාක්ල් අතර රාජකීය විවාහයේ ඉතා සුලු තොරතුරු වලටය.

ඩේලි මේල් පත්‍රයේ “පිටු 32ක ඉතා වටිනා ඡායාරූප සිහිවටන ඇල්බමයක්”ඇතුලුව පුලුල් ආවරනයට පසු, ඉරිදා පුවත්පත් 10ක් එකී මාතෘකාවට පිටු 282ක් කැප කර ඒ සමාන ම හාස්‍යජනක ආවරනයක් පල කලේ ය. ඒවා භ්‍රාන්ත වූ මහජනයා වෙත, මාක්ල්ගේ ඇඳුමේ සිට කෑම, බීම වර්ග හා ඉදිරිපත් කරන සංගීතය ගැන වාර්තා ඉදිරිපත් කලේ ය.

වර්තමානයේ කිරුල හිමි හයවැනියා වන හැරී, කලු මවකගේ බහු මිලියනපති ඇමරිකානු නිලිය විවාහ කර ගැනීම, බ්‍රිතාන්‍ය සමාජ දේශපාලනික ජීවිතයේ අතිමූලික හා ප්‍රගතිශීලී වෙනස් වීමක් බව දිගින් දිගට ම, යලි යලිත් බෙදා හැරුනු පනිවිඩය යි.

මෙම අරමුන වෙනුවෙන්, සිදුවීම් පෙලෙහි “කලුබවට” දැවැන්ත අවධානයක් දෙන ලදී. අමුත්තන් වූ සෙරීනා විලියම්ස් හා ඔප්‍රා වින්ෆ්‍රේ සමග මාක්ල් වර්නනා කෙරුනේ, කලු තරුනියන්ට අවේශයක් මෙන් ම වෙනසේ සංකේතය ලෙස ය. රජගුරු මයිකල් කරී වහල් බව, සිවිල් අයිතිවාසිකම් හා ආදරය මත පදනම් ක්‍රිස්තියානි “විප්ලවය” ගැන ඔහුගේ දේශනාවේදී බෙහෙවින් උලුප්පා සඳහන් කෙරුනු ද, රැස් වූ බොහෝ රාජකීයන් මෙයට ප්‍රතිචාර දක්වා ඇත්තේ යන්තම් වසං කරගත් පිලිකුල හා කෝපයෙන් යුතුව ය.

එහෙත් දේශනාව “අඩංගුවීම” හා “විවිධත්වය” යන වචනවලින් විස්තර කල නමුත් එය පොහාසත් මෙන් ම බලගතු අයගේ එකතුවක් විය. වින්ඩ්සර් මාලිගයේ උත්සවය දැක බලා ගැනීමට යන්තම් අමුත්තන් 600ට ආරාධනය කෙරුනු නමුත්, ඔවුන්ගේ ඒකාබද්ධ පුද්ගලික ධනය ඩොලර් බිලියන 16-21 අතර වේ.

රැජිනගේ ධනය දල වසයෙන් ඩොලර් මිලියන 500කි, ඊ ලඟට චාල්ස් කුමරු (ඩො.මි.100), විලියම් හා හැරී කුමරුන් (ඩො.මි.40), පිලිප් කුමරු(ඩො.මි.30), කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන කේට් මිඩ්ල්ටන් (ඩො.මි.30). හැම විටම බ්‍රිතාන්‍ය රාජකීයන් පසු කරමින් ඔවුන් සමග එක්වූයේ ඕප්‍රා වින්ෆ්‍රේ (ඩො.බිලියන 2.8), ජෝජ් ක්ලූනී (ඩො.මි.500) ඩේවිඩ් හා වික්ටෝරියා බෙකම් (ඩො.මි.450 හා ඩො.මි.300), එල්ටන් ජෝන් (ඩො.මි.450), සෙරිනා විලියම්ස් (ඩො.මි.150) ය. දේශපාලනය, මූල්‍ය හා දේපල වෙලඳාමේ පොහොසත් මුදුන් නියෝජනය කරමින් හිටපු අගමැති ජෝන් මේජර් (ඩො.මි.50), අරක්ෂක අරමුදල් කලමනාකාර ජේම්ස් මැතිව්ස් (ඩො.බි.2), හා ලන්ඩනයේ ප්‍රභූවරුන්ගේ මයිෆෙයාර් ප්‍රදේශයේ සැලකියයුතු පලල් තීරුවක අයිතිකරු වන හ්‍යූ ග්‍රොස්වෙනර් (බිලියන9.5) සහභාගී වූහ.

විවාහ මංගල්‍යයට ඇස්තමේන්තුගත වියදම පවුම් මිලියන 32ක් වූ අතර ඉන් මිලියන 30ක් සැපයුනේ බදු ගෙවන්නන්ගෙනි. දල වසයෙන් ඉතුරු පවුම් මිලියන 2 දැනුවත් වියදම්වලට, මාක්ල්ගේ සුඛෝපභෝගී ප්‍රන්ස ගිවෙන්චි මංගල ඇඳුමට පවුම් 400,000ක් ඇතුලත් විය.

ගොවීන්ට පාන් නැතැ යි කිව් අවස්ථාවේ, මාරි ඇන්ටොයිනේට් මෙසේ පිලිතුරු දී ඇතැ යි පිලිගැනේ, “ඔවුන්ට කේක් කන්ට කියාපල්ලා.” සෙනසුරාදා, පොහොසත් “විශේෂ අමුත්තන්” 200දෙනා පවුම් 50,000ක ලෙමන් හා එල්ඩර්මල් කේක් සියල්ල ගිල දැමූහ, එක් අයෙකුගේ කොටසක් පවුම් 250ක් විය.

ඊට පැහැදිලි ලෙසින් වෙනස්ව, ග්‍රෙන්ෆෙල් කුලුනේ මුලුතැන් ගෙයක ඇති වූ ගින්න දැඩි අවීචියක් බවට හැර වූ ගිනිගන්නාසුලු කලාල පාවිච්චිය තහනම් කිරීමට වන ඉල්ලීම්වලට ආන්ඩුව දිගට ම අවහිර කර යි. (ඩේම් ජුඩිත්) හැකිට් පරීක්ෂනය මෙය නිර්දේශය කිරීම පවා ප්‍රතික්ෂේප කලේ ය. කවුන්සිල හා නිවාස සංවිධාන සංකීර්නවලින් භයානක කලාල ඉවත් කිරීම සඳහා පොරොන්දු වූ පවුම් මිලියන 400, වැය කල හැකි නිවාස අයවැයෙන් ලබා ගැනීම වාර්තාවන පරිදි දැඩි ලෙස විවේචනයට ලක් කෙරේ.

පරීක්ෂනය ඇරඹුනු දිනයේ දී ම, “බීබීසී පැනරාම” හෙලිදරව් කලේ ග්‍රෙන්ෆෙල් කුලුනේ (තාපය, විදුලිය, ශබ්ද, කම්පන ගමන අවරෝධනය කරන) පරිවාරන පද්ධතිය නිසි ආරක්ෂක පරීක්ෂනයෙන් සමත් නො වූ අතර, සෙලොටෙක්ස් නම් සමාගම නිෂ්පාදනයේ අතිරේක ගිනි මන්දකයක් යොදා තිබූ අතර එය ආරක්ෂක සහතිකය සඳහා සුදුසකම් ලැබූ බව යි.

විපතට පත්වූවන්ගේ පවුල් හයක් හද කම්පා කරවන අයුරින් සාක්ෂි දුන් විට, කම්කරු පන්තික පුද්ගලයන්ගේ ආරක්ෂාව පිලිබඳ එවැනි තුච්ඡ නොතැකීමක බියකරු ප්‍රතිවිපාක පැහැදිලි විය.

දූවරුන් දෙදෙනා සමග ගින්නෙන් බේරීගත් පසු, තවමත් සිහිසුන්ව සිටිය දී තම බිරිඳ ප්‍රසූත කල මල දරුවා ඔසවමින් මාරියෝ ගෝමස් සිද්ධිය විස්තර කලේය. බාලාංශ බිත්තියේ පින්තාරු කෙරී තිබූ පනිවුඩය ඇතුලුව තම පුතාගේ පැමිනීමට “සියලු දේ සූදානම් කෙරී” තිබුනි. එය “දැනුනේ අපගේ හදවත් බිඳුනා වගේ.. ඔහු මගේ සුපිරි තරුව වන්නටයි හිටියේ” යැයි ඔහු පැවසී ය.

තලීබාන් සංවිධානයෙන් බේරීමට ඇෆ්ගනිස්තානයෙන් පලා ආ මොහමඩ් නෙදප්ගේ පවුල, තැටිගත කෙරුනු ඔහුගේ අන්තිම වචන වාදනය කලේ ය, “ආයුබෝවන්, අපි දැන් මේ ලෝකය අතහැර යමින් සිටිමු. ආයුබෝවන්.” 69වැනි වියති ජෝශප් ඩැනියල්ගේ පුත් සෑම් කතාව සම්බන්ධ කලේ ය, “පිටවෙන්න චාන්ස්එකක් නැතිව ඔහු හිටගෙන හිටියා. මෙය කවරදාවත් සිදු නොවිය යුතුව තිබුනා.”

අතිමහත් අසමානතාවයෙන් දෙපලු වූ බ්‍රිතාන්‍ය සමාජයේ සැබෑ මුහුනවර මෙය යි. ග්‍රෙන්ෆෙල් කුලුනේ ගින්නෙන් ක්ෂනික ඉක්බිත්තේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය, කෙන්සින්ග්ටන් හා චෙල්සී රාජකීය කොට්ඨාසයේ පවුම් කීප දහසක් බේරා ගැනීම සඳහා අනාරක්ෂිතිව අතහැරනු නිවාසවල ගින්නෙන් මියගිය කම්කරු පන්තික පුද්ගලයන් 72කුගේ හුස්ම හිරකිරීම හා මරන විස්තර කලේ ය. මෙම රාජකීය කොට්ඨාසය ලෝකයේ පොහොසත් ම නගරයක පිහිටියකි. එය රාජකීය පවුලට පමනක් නොව විවිධ පරපුටු කතිපයාධිකාරීන්ට නිවස්නයක්ව තිබුනි.

විවාහයෙන් පසු හැරී හා මෙගාන් කෙන්සින්ටන් මාලිගයේ බිම්මහලේ ඔවුන්ගේ “පුංචි ගෙදරට” ආපසු පැමිනි අතර, ග්ලොස්ටර් හි ආදිපාදයා හා ඈපා දේවියගේ කාමර 21ක බද්ධ නිවාසයේ පදිංචියට යාම මෙන් ම කොස්ට්වර්ල්ඩ් ගම්මානයේ දේපලක් මිල දී ගැනීමට ද සිතා බලමින් සිටිති.

“පන්ති අතර පවතින සමාජ සම්බන්ධතාවන් යටින් පවතින යතාර්ථයේ” මෙ ම්ලේච්ඡ ප්‍රදර්ශනය හේතුවෙන් අපි මෙසේ සඳහන් කලෙමු, “එලඹීමට නියමිත වර්ෂවල දී, බ්‍රිතාන්‍යයේ දේශපාලනික ජීවිතය ග්‍රෙන්ෆෙල්වලට “පෙර” හා “පසු” යැයි සඳහන් කිරීම අවශ්‍ය ය.”

එහෙත් බ්‍රිතාන්‍ය සමාජ හා දේශපාලන ජීවිතයේ වර්තමාන තතු නිර්වචනය කරන්නේ මෙම ශෝඛාන්තය නො ව, රාජකීය මංගල්‍යයේ “බහුසංස්කෘතික” ශෝභාලංකාරය බව අදහස් දක්වන්නෝ දැන් අවධාරනය කරති.

ග්‍රෙන්ෆෙල්වලට “පෙර” හා “පසු” යන්න වෙනුවට මාධ්‍ය බලාපොරොත්තු වන්නේ, අමතක කරනු ඇතැ යි කිසිසේත් නො පෙනෙන, මෙගාන්ට “පෙර” හා “පසු” යන්න යෙදීමට ය.

ගාර්ඩියන් තීරු ලිපි රචක ඉරෙනෝසෙන් ඔකොජී මෙසේ ලියමින් එය ඉතා පැහදිලිව ප්‍රකාශ කලේ ය. “ග්‍රෙන්ෆෙල් කුලුනේ අර්බුදය හා වින්ඩ්‍රෂ් පරම්පරාවට (කලු බ්‍රිතාන්‍යයන්) දක්වන බියකරු සැලකිල්ල එක්සත් රාජධානියේ වාර්ගික සුලුතර ප්‍රජාවන් අතර වර්තමානයේ සිදුවන සාකච්ඡාව තුල පෙරමුනටම පැමින තිබේ...නමුත් විවාහ මංගල්‍යය අලංකාරය හා සම්ප්‍රදාය තුල හාන්සි කෙරුන ද, මට තවමත් පෙනෙන්නේ එය පෙරලිකාරී ක්‍රියාවක් ලෙස ය...ප්‍රගතිශීලී විය හැකි බ්‍රිතාන්‍යයක් ගැන යම් හැඟීමක්, යම් ප්‍රසාදයක් ඇති වෙනු ඇත.”

මෙම වචන ප්‍රකාශ කරන්නේ යතාර්ථය සමග සියලු සම්බන්ධකම් නැති කර ගෙන ඇති තම සුපිරි පොහොසත් ප්‍රතිමාවල ධනය හා අසිරිය සමග බොහෝ ඇලුනු ඉහල මධ්‍යම පන්තියේ කන්ඩායම්වල මනෝගතය යි. නමුත් වින්සර් පෙලපතේ කනිෂ්ඨ සමාජිකයෙකු අප්‍රිකානු-ඇමරිකානු නිලියක් සමග එක්වීම යම් ආකාරයක යුගකාරක සිද්ධියක් ලෙස ඉදිරිපත් කරන, එවැනි යල්පිනූ සම්පප්‍රලාප, අවසානයක් නැති පුනුරුච්චාරන හා හිස් කෝම්බ බවට පත්වනු ඇත.

Share this article: