බංග්ලාදේශයේ ආදායම් අසමානතාව ගැඹුරුවෙයි

Income inequality worsening in Bangladesh

සුජීව අමරනාත් විසිනි, 2018 මැයි 01

ආර්ථික වර්ධනය හා සංවර්ධනය, කම්කරුවන්ට හා දුගීන්ට ප‍්‍රතිලාභ ගෙන දෙමින් තිබෙන බවට බංග්ලාදේශ ආන්ඩුව කරන ප‍්‍රකාශ ආදායම් අසමානතාව හා සමාජ අතෘප්තිය පිලිබඳ සංඛ්‍යාලේඛන මගින් ඛන්ඩනය කරයි.

ලෝක බැංකුව විසින් අප්‍රේල් 7දා නිකුත් කල වාර්තාවක්, “බංග්ලාදේශය, දුගී බව අඩුකිරීමේ දී හා මානව සංවර්ධනයේ දී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති රටවලට ගෝලීය උදාහරනයක් ලෙස සැලකෙන” බව කියමින් ආන්ඩුවේ පූච්චානම් ප‍්‍රතිරාවය කලේ ය.

2014 දී බංග්ලාදේශය “මධ්‍යම අඩු-ආදායම් ලබන රටක” තත්ත්වයට ලඟා වූ බව වාර්තාව කියයි. ”නිවැරදි පිලිවෙත් හා කාලීන ක්‍රියාමාර්ග” අනුගමනය කල හොත්, 2021 වන විට රට මධ්‍යම ආදායම් ලබන රටවල ගනයට නංවාගත හැකි වනු ඇතැයි ද වාර්තාව සඳහන් කරයි.

පසුගිය ඔක්තෝබරයේ බංග්ලාදේශ සංඛ්‍යාලේඛන කාර්යාංශය (බීබීඑස්) විසින් පලකරන ලද 2016 ගෘහස්ත ආදායම් හා වියදම් සමීක්ෂන වාර්තාව (එච්අයිඊඑස්), ආර්ථික වර්ධනයේ වාසිය ධනේශ්වර ප‍්‍රභූව වෙතට ඇදී ගිය බව පෙන්නුම් කලේ ය. ආදායම්, වියදම් සහ අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙත ප‍්‍රවේශය යනාදී වාර්තාවේ සියලු අංශ, ධනවතුන් හා දුගීන් අතර වැඩෙන අගාධය පෙන්නුම් කරයි.

බීබීඑස් යනු සීමිත සංඛ්‍යාලේඛන සම්පාදනය කරන ආන්ඩුවේ ආයතනයකි. එහි නවතම වාර්තාව 2016 අප්‍රේල් සිට 2017 මාර්තු අග දක්වා කාලය ආවරනය කරයි. එහි පූර්ව සමීක්ෂනය සිදුකල 2010 පටන් රටෙහි සමාජ ධ‍්‍රැවාන්ත ගතවීම පුලුල් වී තිබේ.

මෑත නිකුත් කල වාර්තාව, 2010 දී සියයට 31.5ක් වූ දුගී මිනිසුන්ගේ ප‍්‍රතිශතය 2016 වන විට සියයට 24.3 දක්වා පහල ගොස් ඇතැයි කියා සිටී. එම කාලසීමාව තුල ආන්තික දරිද්‍රතාවේ ජීවත්වන ජනගහනය සියයට 17.6 සිට සියයට 12.9 දක්වා අඩු වී ඇතැයි ද එය සඳහන් කරයි.

එහෙත් සංඛ්‍යාලේඛන පෙන්නුම් කරන පරිදි 2010 දී වාර්ෂික ව සියයට 1.7ක් වූ දුගී බව අඩුවීමේ රේට්ටුව මේ වන විට සියයට 1.2 දක්වා අඩු වී තිබේ.

ජාතික මට්ටමෙන් ගත් කල, ජනගහනයේ දිලිඳු ම සියයට පහේ ආදායම් පංගුව 2010 දී සියයට 0.78 සිට 2016 දී සියයට 0.23 දක්වා තියුනු ලෙස පහල ගියේ ය. අනෙක් අතට ධනවත් ම සියයට පහේ ආදායම් ප‍්‍රතිශතය එම කාලය තුල සියයට 24.61 සිට සියයට 27.89 තෙක් ඉහල නැගුනි.

ඉහල ආදායම් ලබන සියයට 10හි ආදායම් පංගුව සියයට 35.84 සිට සියයට 38.16 තෙක් ඉහල යද්දී, පහල ම සියයට 10, තම ආදායම් ප‍්‍රතිශතය සියයට 2 සිට සියයට 1.01 තෙක් ඇද වැටීම දැකගෙන ඇත. ජනගහනයේ පහල සියයට 90, සමීක්ෂන දෙක සිදුකල වසර හයේ කාල සීමාව තුල එක්කෝ තම ආදායම් පංගුව පහල යාම හෝ එකතැන පල්වීම දැකගෙන තිබේ.

මෙම සංඛ්‍යාලේඛන පිටුපස තිබෙන සමාජීය යථාර්ථය වෙත අවධානය යොමු කල ඩේලි ස්ටාර් පුවත්පත මෙසේ සඳහන් කලේ ය: “දුගී නිවහන්වල දරුවන්ට අධ්‍යාපනය සඳහා ප‍්‍රවේශය නොමැති කම, රැකියා වෙත ඇති අවස්ථාවන්ගේ අසමානකම, ආන්තික සූරාකෑම, අඩු වැටුප් සහිත රැකියා, තරුන විරැකියාවේ ඉහල රේට්ටුව හා දිලිඳු සෞඛ්‍යාරක්ෂනය යනාදිය, සමාජයේ අවදානම් සහිත ස්ථරයන් ආන්තික දරිද්‍රතාවට ඇද හෙලයි. විධිමත් අධ්‍යාපනයකට ඇති ප‍්‍රවේශය හිඟ වීම, දරිද්‍රතාව සහ විරැකියාව සමග සෘජු සහසම්බන්ධයක් පෙන්නුම් කරයි.”

ටකා 15, 945ක් (ඇමරිකානු ඩොලර් 192) වන සාමාන්‍ය ජාතික මාසික ආදායම, සාමාන්‍ය මාසික වියදම වන ටකා 15, 715ට වඩා වැඩිවන්නේ යන්තමිනි. දුගී හා කම්කරු-පන්තික පවුල්වල ආදායමෙන් සියයට 98කටත් වඩා වැය වන්නේ දෛනික ජීවිතයේ අවම අවශ්‍යතා සපුරා ගැනීමට ය.

ග‍්‍රාමීය ප‍්‍රදේශවල තත්ත්වය විශේෂයෙන් දරුනු ය. ඒවායේ සාමාන්‍ය මාසික ආදායම ටකා 13,353ක් වන අතර සාමාන්‍ය මාසික වියදම ටකා 14,156කි. වෙනත් වචනවලින් කියතොත්, බොහෝ ග‍්‍රාමීය ප‍්‍රදේශවල වැසියන්ගේ වියදම, ආදායමට වඩා වැඩි වේ. වැඩෙන නය අර්බුදයක් නිර්මානය කර ඇති මෙය සිය දහස් ගනන් දෙනා ආන්තික දුගී බවට හෙලා ඇත.

අධ්‍යාපනයේ වර්ධනය ගැන ආන්ඩුවේ පුච්චානම් කෙසේවෙතත් ජාතික සාක්ෂරතා රේට්ටුව යන්තම් සියයට 65.6ක් වන අතර, එය, දකුනු ආසියාවේ අඩුම මට්ටම්වලින් එකකි. ග‍්‍රාමීය සාක්ෂරතාව සියයට 63.3ක් පමනි. බොහෝ ග‍්‍රාමීය තරුනයන්ට අධ්‍යාපනය අහිමි කෙරෙන අතර, ලමා කාලයේ පටන් කොඳු කැඩෙන ශාරීරික ශ‍්‍රමය වැය කරන රැකියාවල නිරත වීමට ඔවුන්ට බලකෙරේ.

වාර්තාව තුල අවධානයට යොමු වන දර්ශකයන් සෞඛ්‍යාරක්ෂන ක‍්‍රමයේ අර්බුදයක් ද පෙන්නුම් කරයි. සමීක්ෂනය සිදුකල කාලය පුරා යම් ආකාරයක වෛද්‍ය අවධානයක් අවශ්‍ය වූ සමස්ත ජනගහනයෙන් සියයට 15.44කට පමනක් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් විසින් ප‍්‍රතිකාර ලැබුනි. තවත් සියයට 22.51කට ලැබුනේ සුදුසුකම් නැති පුද්ගලයන්ගේ ප‍්‍රතිකාරයකි.

නිමක් නැති සෞඛ්‍යමය ගැටලු ඉස්මතු ව ඇත්තේ දුගී බවේ හා ප‍්‍රමානවත් සෞඛ්‍යාරක්ෂනයක් නැති කමේ ප‍්‍රතිඵලයක් ලෙස ය. වාර්තාව සඳහන් කරන පරිදි සමස්ත ජනගහනයෙන් සියයට 20.54ක් පමන ගැස්ට‍්‍රයිටිස් රෝගයෙන් පෙලෙති. සියයට 13.15ක් හා 10.62ක් පිලිවෙලින් රූමැටික උනෙන් හා ශ්වසන ආබාධයන්ගෙන් පෙලෙති.

සමාජ ආරක්ෂන ජාල වැඩසටහන් (එස්එස්එන්පී) ද කිසිසේත් ප‍්‍රමානවත් නො වේ. ග‍්‍රාමීය ප‍්‍රදේශවල සියයට 34.5කට හා නාගරික ප‍්‍රදේශවල සියයට 10.6කට පමනක් එස්එස්එන්පී ආධාරය ලැබේ. දරිද්‍රතාවෙන් පෙලෙන රටෙහි මිලියන 166ක් වන ජනගහනයෙන්, මිලියන 11කට පමනකි, ආන්ඩුවේ සහනාධාර වැඩසටහන්වල ආවරනය ලැබෙනුයේ.

අප්‍රේල් 7දා ඩේලිි ස්ටාර් පුවත්පතේ ලිපියක්, විරැකියාව සියයට 4.1ක් දක්වා අඩුකර ඇතැයි ආන්ඩුව ප‍්‍රකාශ කරන බව සඳහන් කලේ ය. එහෙත් සියයට 40ක් පමන කම්කරුවන් ඌන සේවානියුක්තිකයන් වන අතර ඉන් බොහෝ දෙනා පැය කිහිපයක් පමන වැඩ කිරීමෙන් පසුව දෛනික අවශ්‍යතා සපුරාගැනීමට අරගලයේ යෙදෙති. තරුනයන්ගෙන් තුනෙන් පංගුවක් පමන දෙනා විරැකියාවෙන් පෙලෙන බව ද පුවත්පත වාර්තා කරයි. “වඩාත් දරුනු තත්ත්වය වන්නේ දකුනු ආසියාවේ වැඩි ම උපාධිධාරී විරැකියාවයි. ඔවුන්ගෙන් සියයට 47ක් පමන විරැකියාවෙන් පෙලෙති,” යි එම ලිපිය වැඩිදුරටත් සඳහන් කලේ ය.

කම්කරු පන්තියේ කොන්දේසි ද ඛාදනය වී තිබේ.

කම්හල් 18ක් ගැන කරන ලද සමීක්ෂනයක් පදනම් කරගෙන ෆෙයාර් ලේබර් ඇසෝෂියේශන් (එෆ්එල්ඒ) පසුගිය මාසයේ වාර්තාවක් පල කලේ ය. “වැටුප් අධ්‍යයනයට භාජනය කල 6,000ක් වන ඇඟලුම් කරුවන්ගෙන් එක් අයෙක් වත්, ජීවත් වීමට සරිලන වැටුපකට ලංවන ආදායමක් නො ලබන” බව එය සොයාගෙන තිබුනි.

“මෙම වාර්තාව තුල සැලකිල්ලට භාජනය වන වඩාත් ම තත්ත්වාරක්ෂක ජීවත් වීමට සරිලන වැටුපට සමාන වැටුපක් වත් ලැබීමට නම් සාමාන්‍ය කම්කරුවෙකුගේ වැටුප සියයට 80කින් ඉහල යාම අවශ්‍ය බව” එය සඳහන් කලේ ය.

එෆ්එල්ඒ අධ්‍යයනය ආරම්භ කල 2015 වන විට “බංග්ලාදේශයේ ඇඟලුම් කරුවන්, අධ්‍යයනයකට භාජනය වූ සියලු රටවල් 21න් අඩු ම ක‍්‍රය ශක්තිය සහිත අය වූ බවත් බංග්ලාදේශයේ අවම වැටුප ලෝක බැංකුවේ දරිද්‍රතා රේඛාවට පහල බවත්” වාර්තාව තවදුරටත් සඳහන් කලේ ය. ලෝක බැංකුවේ දරිද්‍රතා රේඛාව දිනකට ඩොලර් 1.90 කි.

මෙම සංඛ්‍යාලේඛන පෙන්නුම් කරන පරිදි බංග්ලාදේශ ආන්ඩුවේ හා ලෝක බැංකුවේ කියාපෑම්වලට මිලියන ගනන් සාමාන්‍ය ජනයා මුහුන දෙන යථාර්ථය සමග කිසිදු සම්බන්ධයක් නැත.

බංග්ලාදේශයේ ආර්ථික වර්ධනය පදනම් වී ඇත්තේ, ඇඟලුම් හා අනෙකුත් කර්මාන්තවල කම්කරුවන් ව බහුජාතික සංගත හා දේශපාලක ප්‍රභූව විසින් ආන්තික ව සූරාකෑම මත ය. මහජනයා දරිද්‍රතාවෙන් පෙලෙද්දී රටෙහි ධනවත් ම පුද්ගලයන් දහදෙනාට ඩොලර් බිලියන 6.8ක ඒකාබද්ධ ධනයක් රැස්කර ගැනීමට මෙමගින් ඉඩ ලබා දී ඇත.

Share this article: