ශ්‍රී ලංකාවේ දෙමල වැසියන් සංහාරය කල සිවිල් යුද්ධය අවසන් වූ තැන් සිට වසර නවය ක්

Nine years since Sri Lankan civil war ended in massacre of Tamils

කේ. නේසන් හා වී. ඥානා විසිනි, 2018 මැයි 18

21 වන සියවසේ වඩාත් ම පිලිකුල් සහගත සංහාරයක් සැමරීම සඳහා ලොව පුරා ජනයා අද රැස්වෙති. වසර 26ක් ඇදී ගිය ලේවැකි සිවිල් යුද්ධය අවසානයේ හමුදාව, දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ ඉතිරි වී සිටි නායකත්වය ද ඇතුලු 40,000කට වැඩි දෙමල ජනයා ඉන්දියානු සාගරයේ මුල්ලිවයික්කාල් නමැති ඊසානදිග වෙරලට කොටු කල හ. එහි කොටු වූ සියලු දෙනා මරා දැමීම පිනිස, කිසිදු අනතුරු ඇඟවීමකින් තොර ව හමුදාව බිහිසුනු කාලතුවක්කු ප්‍රහාරයක් දියත් කලේ ය.

මුල්ලිවයික්කාල්හි කිසිවෙක් සංහාරයෙන් බේරුනේ නැත. නිවාස, රෝහල් හා සිවිල් වැසියන් මෙන් ම ලමුන්, ගර්භනී කාන්තාවන් හා වැඩිහිටියන් සරන පතා සැඟවීමට උත්සාහ කල බංකර වෙතට මිලිටරිය විසින් නිර්දය ලෙස ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කලේ ය. දශකයකට ආසන්න කාලයකට පසු හමුදාව තවමත් එම ප්‍රදේශය අවුරාගෙන සිටින්නේ, ගොදුරු බවට පත්වූ ජනයාගේ පවුල්වල සාමාජිකයන්ට තම ආදරනීයයන් සිහිපත් කිරීම සඳහා අවස්ථාව අහිමි කරමිනි.

ජනතාව බියවැද්දීමට රූපවාහිනියේ සජීවී ව විකාශනය කල දුෂ්ඨ වැඩසටහනකදී ආන්ඩුව එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සිරුර හඳුනාගැනීමට පැති මාරු කල එල්ටීටීඊ සාමාජිකයන් දෙදෙනෙක් ඉදිරිපත් කලේය. මඬේ වැතිරී තිබෙන සිරුර සත්‍ය වසයෙන් ම ප්‍රභාකරන්ගේ බව ඔවුන් දෙදෙනා රූපවාහිනී කැමරා ඉදිරියේ හඳුනාගත් විට, හමුදාව මල සිරුර පුලුස්සා දැමී ය.

අද දින මෙම සංහාරය, ශ්‍රී ලංකාවේ සිංහල, දෙමල හා මුස්ලිම් මෙන් ම ලොව පුරා මිලියන ගනන් කම්කරුවන් විසින් බියකරු ලෙස ආවර්ජනය කරති. එය ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ අනතුරු ඇඟවීම් ඛේදජනක ලෙස තහවුරු කලේ ය. පැරනි යටත් විජිත රටවල ධනේශ්වර පාලක පන්තීන් ප්‍රජාතන්ත්‍රවාදී තන්ත්‍රයක් නිර්මානය කිරීමට හෝ මහජනයා ජාතික, ආගමික හා වාර්ගික රේඛා ඉක්මවා එක්සත් කිරීමට ඓන්ද්‍රීය ව ම අපොහොසත් ය. එම කර්තව්‍යයන් පැවරෙන්නේ සමාජවාදය සඳහා ලෝක පරිමාන විප්ලවීය අරගලයක් තුල බලමුලුගැන්වෙන කම්කරු පන්තිය වෙතට යි.

මුල්ලිවයික්කාල් සංහාරය සඳහා දේශපාලනික වගකීම දරන්නේ, එය සිදුකල කොලඹ පාලන තන්ත්‍රය පමනක් නො වේ. ලොව පුරා ආන්ඩු එම අපරාධයට පැටලී ඇත. ඉන්දියාව, චීනය, පකිස්තානය හා අධිරාජ්‍යවාදී බලවතුන් සියලු දෙනා, එල්ටීටීඊයට එරෙහි අවසන් ප්‍රහාරය දියත් කිරීමේ දී ආන්ඩුවට මිලිටරි හා රාජ්‍යතාන්ත්‍රික සහයෝගය දුන් හ. මුල්ලිවයික්කාල්හි කොටු වී සිටි අහිංසක ජනයා ආරක්ෂා කිරීම සඳහා කොලඹ ආන්ඩුවට ආයාචනා කිරීමට මැදිහත් වන ලෙස කියමින් විරෝධතා පැවැත්වූ දෙමල ජනතාව, එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රන්සය හා කැනඩාව විසින් නො තකා හැරුනි.

පෙර නුවූ විරූ නරුමත්වයක් ප්‍රදර්ශනය කල එවක එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා, සංහාරයට පෙර දින කතා කරමින් ආයුධ බිම තබන ලෙසත් මුල්ලිවයික්කාල් ජනයා “ප්‍රමුඛස්ථානයේ තබා” ඔවුන් ව ආරක්ෂා කරන ලෙසත් එල්ටීටීඊයට කීවේ ය.

එල්ටීටීඊය පැත්තෙන් ගත් කල, ප්‍රථම කොටත් ප්‍රමුඛ කොටත් එහි පරාජය මුල් බැස තිබුනේ, උතුරු හා නැගෙනහිර පලාත්වල වෙන ම දෙමල ධනේශ්වර රාජ්‍ය කැබල්ලක් ඇටවීමේ එහි ජාතිකවාදී හා බෙදුම්වාදී ඉදිරිදර්ශනය තුල යි. 2009 මැයි 21දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ ලීවේ ය: “ශ්‍රී ලංකා මිලිටරිය විසින් එල්ටීටීඊ සටන්කරුවන් හා එහි නායකත්වය කෲර ලෙස විනාශ කරනු ලැබ ඇත. දෙමල ජනයාගේ ඉරනම ද එල්ටීටීඊයේ කුරිරු ඉරනම ද කෙරෙහි වන අනුකම්පාව, කිසිසේත් ම මූලික පාඩම් උකහාගැනීමෙන් යමෙකු වලකාලිය යුතු නැත.

“වසර 26කට පෙර සිවිල් යුද්ධය ඇරඹුනු තැන් පටන් ම, එල්ටීටීඊයේ සන්නද්ධ අරගලය, රටෙහි උතුරේ හා නැගෙනහිරේ රාජ්‍ය කැබල්ලක් ඇටවීම සඳහා එක් හෝ තවත් මහ බලවතකුගේ සහයෝගය දිනාගැනීමේ මූලෝපාය සමග බැඳී තිබුනි.

“1987 දී ඉන්දු-ලංකා ගිවිසුමට එල්ටීටීඊය දුන් සහයෝගය හමුවේ, උතුරට ඉන්දියානු හමුදාව ගෙන ආ අතර, එම හමුදාව දහස් ගනන් දෙමල සිවිල් වැසියන් සංහාරයට ලක් කලේ ය. ස්වාධීන රාජ්‍යයක් නිර්මානය කිරීමට ඉන්දියානු ධනේශ්වරය උදවු වනු ඇති ය යන නිෂ්ඵල බලපොරොත්තුව මත, එල්ටීටීඊය ගිවිසුම පිලිගැනීමට එකඟ වී තිබුනි.

“ඉන් පසුව ගත වූ දශක කිහිපය තුලම එල්ටීටීඊය අධිරාජ්‍යවාදී පිටුබලය සඳහා ආයාචනා කර ඇත. දිවයින තුල වෙන ම කුඩා රාජ්‍යයක් ඇටවීමේ එහි ඉලක්කය, දෙමල ජනතාවගේ සමාජ කොන්දේසිවල අභිවෘද්ධිය නො ව ජාත්‍යන්තර ප්‍රාග්ධනය සඳහා ලාබ ශ්‍රමය සපයන ධනේශ්වර ආර්ථිකයක් නිර්මානය කිරීම බව යලි යලිත් පැහැදිලි වී ඇත.”

එහෙත් එල්ටීටීඊය සංහාරය කිරීමෙන්, කොලඹ දූෂිත තන්ත්‍රයට නව හුස්මක් ගැනීමේ අවකාශය සැලසී නැත. දෙමල වැසියන් ඝාතනය කිරීමේ එහි උත්සාහය, බ්‍රිතාන්‍යයෙන් නාමික නිදහස ලද තැන් පටන් ශ්‍රී ලංකාවේ ධනවාදය වෙලාගෙන තිබෙන දුප්පත් කම හා වාර්ගික අර්බුදයේ ගැටලු විසඳුවේ නැත.

2009 පටන් එය දෙමල-විරෝධී වාර්ගික පිලිවෙත් අවසන් කලේ හෝ උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන තත්ත්වයන් වැඩි දියුනු කලේ හෝ නැත. යුද සමය තුල අවතැන් වුනු දහස් ගනන් දෙනා තවමත් තාවකාලික කූඩාරම්වල ජීවත් වන අතර, තවත් දහස් ගනනක් ඔවුන්ගේ විනාශ කල නිවාසවලට වන්දි අපේක්ෂාවෙන් පසුවෙති. හමුදාව විසින් පැහැරගන්නා ලද දරුවන් ආපසු ලබාදෙන ලෙස ඉල්ලමින් මව්වරු තවමත් හින්දු කෝවිල් ඉදිරිපිට විරෝධතා දක්වමින් සිටිති. යුද්ධයෙන් පසුව දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා වෙනුවට කොලඹ ආන්ඩුව කර ඇත්තේ, තවත් දෙමල වැසියන් දුසිම් ගනන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට වධ දීම යි.

සිවිල් යුද්ධයට හේතු වූ කිසිදු මූලික ගැටලුවක් විසඳනු ලැබ නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග කර ඇති කප්පාදු පියවර මඟින් වැටුප් හා සමාජ කොන්දේසි වලට පහර වැදෙද්දී හා කෝපය අවුලුවද්දී, කොලඹ ආන්ඩුව හදිසි නීතිය, ඇඳිරි නීතිය පැනවීම හා මුස්ලිම්-විරෝධී කැරලිවලට වක්‍රාකාරයෙන් පිටුබලය දී ඇත.

ඒ අතර ම, දෙමල බහුතරයක් වෙසෙන ප්‍රදේශවල කම්කරුවන් හා පීඩිත ජනයා, ශ්‍රී ලංකාවේ ද සමස්ත ඉන්දියානු උප-මහාද්වීපයේ ද කප්පාදු පියවරයන්ට හා පුද්ගලීකරනයට එරෙහි ව වැඩෙන විරෝධතා හා වැඩ වර්ජන රැල්ලක් සමග පන්ති අරගලයේ ගෝලීය පුනර්ජීවනයක් මධ්‍යයේ එක්වෙමින් සිටී. මෙම ඉල්ලීම් කම්කරු පන්තිය කොලඹ තන්ත්‍රය සමග විප්ලවවාදී ගැටුමකට ඇද දමනු ඇත.

2015 ජනවාරියේ එක්සත් ජනපදය විසින් සිදුකල තන්ත්‍ර-මාරු මෙහෙයුමක් තුලින් මහින්ද රාජපක්ෂ බලයෙන් පහකර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කලේ, ප්‍රජාතන්ත්‍රවාදය හා “යහපාලනය” ඇති කරන බව කියමිනි. වොෂින්ටනය සැබවින්ම ඉලක්ක කලේ, චීනයට එරෙහි එක්සත් ජනපදයේ “ආසියාවට හැරීමේ” මෙහෙයුම සමග පෙලගැසෙන තන්ත්‍රයක් කොලඹ ස්ථාපනය කිරීමට ය.

ආරම්භයේ පටන් ම ආන්ඩුව සැදුම් ලද්දේ, යුද අපරාධකරුවන් ඉහල තනතුරුවලට පත්කිරීම ඇතුලු ප්‍රෝඩාකාරී දේශපාලන උපාමාරු සමගිනි. වැඩබලන ආරක්ෂක ඇමති ලෙස 2009 සංහාරය අධීක්ෂනය කල සිරිසේන, සංහාරය ඍජු ව සැලසුම් කොට දියත් කල හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා තම කැබිනට්ටුවට ගෙනාවේ ය. රාජපක්ෂ අද දින විපක්ෂයේ ප්‍රධාන ධනේශ්වර දේශපාලනඥයා ය.

2009 පටන් ම දෙමල ජාතිකවාදීන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ විවෘත උපකරන ලෙස ඉස්මතු වී ඇත. එල්ටීටීඊයේ දේශපාලන හස්තය ලෙස 2001 දී පිහිටුවන ලද දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ), යලි වතාවක් “ජාත්‍යන්තර ප්‍රජාවේ” මැදිහත් වීම මත වාරුවෙමින්, වෙන ම රාජ්‍යයක් සඳහා වන ඉල්ලීම අත්හැර දමා ඒකීය රාජ්‍යය තුල වැඩ කිරීමට සූදානම් බව කියා සිටී. මෙම පදනම මත එක්සත් ජනපදයේ පිටුබලය ලත් තන්ත්‍ර මාරු මෙහෙයුම අනුමත කල ටීඑන්ඒ, ශ්‍රී ලංකාවේ යුද අපරාධ විමර්ශනය කිරීම හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා වූ එහි ඉල්ලීම් අත්හලේ ය.

අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවේ පැවති විශ්වාස-භංග යෝජනාවේ දී ආන්ඩුවට පක්ෂ ව ඡන්දය දෙමින් ටීඑන්ඒ නායක ආර්. සම්බන්දන්, කප්පාදුවලින් හා ඉන්දියානු සාගර කලාපය තුල වැඩෙන යුද ආතතීන්ගෙන් වාසි ලබාගැනීමේ ඔහුගේ ඉදිරිදර්ශනය නොවලහා ඉදිරිපත් කලේ ය: “කුඩා රටක් වුවත් අප පිහිටා ඇත්තේ, ඉන්දියානු සාගර කලාපයේ මිලිටරිමය හා ආර්ථිකමය වසයෙන් මූලෝපායික ව ඉතා වැදගත් ස්ථානයකය. අපිට ඉන්දියානු සාගර ප්‍රදේශයේ ආර්ථික මර්මස්ථානය බවට පත්විය හැකි යි. අපේ ආර්ථිකයට වැඩිදියුනු විය හැකි නම් අපට පලල් හා විශාල වෙලඳපොල වලට ප්‍රවිෂ්ට විය හැකිය. අපේ ආර්ථිකයට වර්ධනය විය හැක්කේ මේ රට තුල අව්‍යාජ සාමයක් තිබුනොත් විතරයි...”

ඉන්දියානු උප-මහාද්වීපය හරහා සියලු වාර්ගික කම්කරුවන් අතර වර්ධනය වන අධිරාජ්‍යවාදී යුද්ධයට හා සමාජ කප්පාදුවට එරෙහි විරුද්ධත්වය, ධනපති පන්තියේ සියලු කන්ඩායම් වලින් ඔවුන්, පන්තිමය අගාධයකින් වෙන් කරයි. තීරනාත්මක ප්‍රශ්නය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙතට හැරී එහි විප්ලවවාදී නායකත්වය ගොඩනැගීම යි.

සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය, යුද්ධයට හා වර්ගවාදයට එරෙහි අරගලය එහි වැඩකටයුතුවල හරි මැද තබා ඇත. මෙම කෲර සංහාරයේ සංවත්සරය යෙදෙන අද දින, ශ්‍රී ලංකාවේ ද සමස්ත ඉන්දු උප-මහාද්වීපයේ ද කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ඒ සඳහා සහයෝගය දෙන ලෙස යි.

Share this article: