ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම් රුදුරු මහා ව්‍යාපාරික තන්ත්‍රයක් කැඳවුම් කරයි

Ex-Sri Lankan defence secretary calls for brutal big business regime

පානි විජේසිරිවර්ධන විසිනි, 2018 මැයි 29

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෑතකදී ඉදිරිපත් කල “2020-30 ආර්ථික දැක්ම” ලේඛනය, ශ්‍රී ලංකාව තුල ආඥාදායක පාලන තන්ත්‍රයක් සඳහා වන ප්‍රතිපත්ති සැලසුමකි.

මේ මාසයේදී අන්ත දක්ෂිනාංශික වියත්මඟ වාර්ෂික සමුලුව ඇමතූ රාජපක්ෂ, ජාත්‍යන්තර ආයෝජනයන් සඳහා “විවෘතව ඇති අවස්ථාවස්ථාවන්” ප්‍රයෝජනයට ගැනීමට ආර්ථිකයේ පරිපූර්න වෙනසක් කැඳවුම් කලේය. “ආර්ථික සංවර්ධනයට” අවශ්‍ය වන්නේ, නීතිය හා සාමය සඳහා වන රුදුරු පියවර බව ඔහුගේ කථාවෙහි සාරය විය.

වියත්මඟ සමලුව මැයි 13 දා පැවැත්වුනේ කොලඹ, ඉතා මිල අධික ෂන්ග්‍රිලා හෝටලයේදීය. ඒ සඳහා 2000 ආරාධිතයින් පිරිසක් සහභාගී වූහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විශ්‍රාමික හමුදා නායකයින්, ව්‍යාපාරික ප්‍රධානීන්, ඉහල වැටුප් ලබන වෘත්තිකයින්, බෞද්ධ භික්ෂූන් හා සිංහල අන්තවාදීන් ඒ අතර විය.

2016දී පිහිටුවන ලද වියත්මගේ සභාපති ගෝඨාභය රාජපක්ෂය. දෙමල ජනතාවටත් වැඩකරන ජනතාවටත් එකසේ වෛර කිරීම ගැන කුප්‍රකට හිටපු හමුදා නිලධාරියා, ඊලඟ ජනාධිපතිවරනයට ඉදිරිපත් වීම සඳහා සිය සූදානම පල කලේය. ෆැසිස්ට් වර්ගයේ ප්‍රකෝටිපති ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි අය හා අනෙකුත් “අසම්ප්‍රදායික” දේශපාලන නායකයින් කෙරෙහි ඔහු සිය ප්‍රසාදය පලකොට තිබුනි.

බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි කොලඹ තන්ත්‍රයේ යුද්ධය යලි ඇරැඹීමේ සූදානම තුල 2005 දී ගෝඨාභය ආරක්ෂක ලේකම් ලෙස පත්කරන ලද්දේ ඔහුගේ වැඩිමහල් සොයුරු, එවක ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ විසිනි. 2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරනයෙන් පරාජයට පත්වන තෙක් පොලිස්-රාජ්‍ය ක්‍රමවේදයන් භාවිතා කරමින් රට තුල ගෙන ගිය ආඥාදායක පාලනයේදී ඔහු ජනාධිපතිගේ කල්ලියෙහි ප්‍රමුඛ පුද්ගලයෙකු විය.

අර්ථභාරී ලෙසින්, ඔහුගේ “ආර්ථික දැක්ම” හා වියත්මඟේ දක්ෂිනාංශික උද්ඝෝෂන ව්‍යාපාරය තීව්‍ර වූයේ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුවෙහි දේශපාලන අර්බුදය ගැඹුරු වීමට සමගාමීවය.

පසුගිය සතියේ දී එල්එම්ඩී නම් ව්‍යාපාරික සඟරාව, ව්‍යාපාරික ප්‍රභූවේ වැඩෙන උත්සුකයන් ප්‍රකාශයට පත් කලේය. එය කරන ලද සමීක්ෂනයට අනුව අප්‍රේල් මාසයේදී ව්‍යාපාරික විශ්වාසය පිලිබඳ දර්ශකය, මාස 70ක් තුල පහලම මට්ටමට වැටී තිබුනි. “දේශපාලන අවිනිශ්චිත භාවය හා දල දේශීය නිෂ්පාදනයේ වර්ධනය පිලිබඳ දිරි සුන්කරන දත්ත, එම මනෝගතියට බලපා ඇති බව පෙනෙන්නට ඇතැයි” එහි සඳහන් විය. පසුගිය වසරේ ආර්ථික වර්ධන අනුපාතය වසර 16ක අඩුම මට්ටම වන සියයට 3.1ක් විය.

මෙම ඉච්ඡාභංගත්වය ගසාකෑමේ අපේක්ෂාවෙන් රාජපක්ෂ, වියත් මඟේ මහා ව්‍යාපාරික ප්‍රේක්ෂකයට පැවසුවේ, 2030 වන විට චීන ආර්ථිකය ඇමරිකාව පසුබස්සවමින් දෙගුනයකින් ඉහල යනු ඇති බව, ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථිකය වනු ඇති බව සහ පිලිවෙලින් ජපානය හා ඉන්දුනීසියාව සිව්වන හා පස්වන තැනට පත්වන බවයි.

ආසියාවට යොමු වෙමින් ආසියානු වර්ධනයේ වාසි අත්කර ගැනීම පිනිස, “ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති අප්‍රමාදව වෙනස් විය යුතුය” යි රාජපක්ෂ පැවසීය. සිදුවන ඕනෑම ප්‍රමාදයක් “රටේ ආර්ථික ගැටලු වැඩි කරනු” ඇත.

රජය සතු ව්‍යවසායන් “ආන්ඩුවට මූල්‍යමය ගැටලු ඇති” නොකර ලාභ ඉපැයිය යුතුය. ආන්ඩුවේ වැටුප් වියදම අඩුකිරීම සඳහා රටේ ආර්ථිකය දැඩි ලෙස පුහුනු ශ්‍රමයෙන් යුක්ත වූවක් බවට පරිවර්තනය කල යුතුය. මනා කලමනාකරනයෙන් යුත් නිදහස් වෙලඳ කලාපයන් රට පුරා ද වරාය ආශ්‍රිතව ද ඇති කල යුත අතර “ජාතික ආරක්ෂාව” ට ප්‍රමුඛ තැනක් දෙමින් දැඩිලෙස “නීතිය ක්‍රියාත්මක කරන පාලනයක්” ස්ථාපිත කලයුතුය.

කම්කරුවන් හා දුගීන් ගේ උග්‍ර වන සමාජ ප්‍රශ්න පිලිබඳව රාජපක්ෂ කිසිවක් පැවසුවේ නැත. ඒ වෙනුවට ඔහු සිය කථාව අවසන් කලේ, “පලමුව ශ්‍රී ලංකාව ව්‍යාපාරය” සඳහා කැඳවුම් කරමිනි. වෙනත් වචන වලින් කිවහොත්, ලාභ තර කිරීම පිනිස කම්කරු පන්තියෙන් වැඩි කැපවීමක් හා උග්‍ර කප්පාදු පියවරයන් සඳහා ඔහු දේශප්‍රේමී ආයාචනයක් කලේය.

සංවර්ධන මූලෝපායන් හා ජාත්‍යන්තර වෙලඳාම පිලිබඳ ඇමති මලික් සමරවික්‍රම ඊට ප්‍රතිචාර දැක්වූයේ, රාජපක්ෂගේ “දැක්ම” සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රතිපත්තීන්ම බව පවසමිනි.

ආන්ඩුව, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සහනාධාර කපාහරිමින් ද රජය සතු ව්‍යවසායන් පුද්ගලීකරනය කරමින් ද සිටියදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව හා ව්‍යාපාරික ප්‍රජාව ආන්ඩුව කෙරෙහි වඩ වඩාත් නොඉවසිලිමත් වෙමින් සිටිති. කප්පාදු න්‍යායපත්‍රයට එරෙහිව කම්කරුවන්ගේ පීඩිතයින්ගේ හා සිසුන්ගේ වැඩෙන විරෝධයට මුහන දීමට ආන්ඩුව සමත් ද යන්න පිලිබඳ කනස්සල්ල වැඩෙමින් ඇත.

වියදම් කැපීමේ පියවර වේගවත් කිරීම සඳහා සහ සියලු ප්‍රතිරෝධයන් තලා දැමීම සඳහා හැමදෙයක්ම කරන බවට ව්‍යාපාරික ප්‍රජාවට හා මූල්‍ය ප්‍රාග්ධනයට කෙරෙන ආයාචනයක් රාජපක්ෂගේ “දැක්ම” තුලින් සහ ඔහුගේ කතාවෙන් ප්‍රකාශයට පත් වෙයි.

අනාගත ජනාධිපති අපේක්ෂකයා පසුගිය අප්‍රේල් මාසයේදී ඩේලි මිරර් පුවත්පතට මෙසේ පැවසීය: “සියල්ලට ප්‍රථමයෙන් බලගතු නායකත්වයක් යටතේ දේශපාලන ස්ථාවරත්වය හා ආයෝජකයාගේ විශ්වාසය ඇති කල යුතුය. ආයෝජකයෙකු මෙහි පැමිනෙන කල ඔහු ස්ථාවර ආන්ඩුවක් දැකිය යුතුය.” රලු ස්වයං-ප්‍රවර්ධනයක යෙදෙමින් ඔහු මාර්තුවේ සිලෝන් ටුඩේ පුවත් පතට පැවසුවේ, ජනාධිපති, “මෙරටට ආදරය කරන, එහි ස්වෛරීත්වය, භෞමික අඛන්ඩත්වය හා ඒකීය භාවය ආරක්ෂා කිරීමට හැකි පුද්ගලයෙක් විය යුතු” බවයි.

ජ්‍යෙෂ්ඨ මිලිටරි ප්‍රධානීන් සමඟ එක්ව කරන ලද යුද අපරාධ හා වෙනත් මානව අයිතීන් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඔහුට ඇති ප්‍රසිද්ධිය ස්ථාවර ආන්ඩුවක් සඳහා, එනම් කොලඹ ආන්ඩුවේ සමාජ ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්තියෙන් නැගෙන ප්‍රතිරෝධය තලා දැමීම සඳහා, අවශ්‍ය “සුදුසුකමක්” ද යන්න ගැන පාලක පන්තියේ කොටසක්, බැරෑරුම්ව සැලකිල්ලට ගනිති.

2006 ජූලියේ සිවිල් යුද්ධය යලි ඇරඹීමත් සමග ඔහු, ආරක්ෂක හමුදා ප්‍රධානීන් සමග එක්ව, එල්ටීටීඊයට එරෙහිව උතුරු හා නැගෙනහිර පලාත්වල දැවැන්ත මිලිටරි ප්‍රහාරයක් දියත් කලේය. එහිදී දහස් සංඛ්‍යාත දෙමල වැසියන් තම නිවෙස් වලින් පලවා හැර අනාථ කඳවුරු තුලට කොටුකරන ලදී.

යටත් වූවන් ද ඇතුලු එල්ටීටීඊයේ ප්‍රමුඛ නායකයින් හා දස දහස් ගනනක් අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීමෙන් පසුව, 2009 මැයි මාසයේදී ලේවැකි ගැටුම අවසන් විය. දකුනේදී, දේශපාලන විරුද්ධවාදීන්, කම්කරුවන් හා පීඩිතයන්ට එරෙහිව රාජපක්ෂ විසින් මිලිටරි -පොලිස් කඩාපැනීම් මෙහෙයවන ලදී.

එසේම රාජපක්ෂ, නාගරික සංවර්ධන හා ඉඩම් ප්‍රතිසංස්කරන අමාත්‍යාංශයේ ද ස්ථිර ලේකම් විය. ඔහුගේ ප්‍රධාන කර්තව්‍ය වූයේ, කොලඹ පැල්පත් 60,000ක් විනාශ කිරීම හා නගරය මූල්‍ය හා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් හා සංචාරක පුරවරයක් බවට හැරවීම පිනිස දහස් ගනන් දුගී පවුල් නිර්දය ලෙස ඉවත් කිරීමයි.

2011 ජූනියේදී කටුනායක නිදහස් වෙලඳ කලාපයේ විරෝධතා දැක්වූ කම්කරුවන්ට පොලිසිය පහර දුන් අතර එක් අයෙක් මරුමුවට පත්ව තවත් බොහෝ දෙනෙක් තුවාල ලදහ. ඒ වසරේදීම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්, තෙල් මිල ඉහල නැංවීමට විරෝධය පෑ හලාවත ධීවරයන්ට පහරදී එක් අයෙක් මරා දමා තවත් අයට තුවාල සිදු කලේය.

වැලිවේරිය පරිසර දූෂනයට එරෙහිව පැවැත්වූ දැවැන්ත මහජන විරෝධතාවක් බිඳ දැමීම සඳහා දියත් කල මිලිටරි මෙහෙයුමකදී තරුනයින් තිදෙනෙකු වෙඩිතබා ඝාතනය කෙරුනි.

මාධ්‍ය විසින් “යුද ජයග්‍රහනයේ ආරක්ෂක ලේකම්” ලෙස පුම්බනු ලබන රාජපක්ෂ, මිලිටරියේ යුද අපරාධ, නීති විරෝධී පොලිස් ක්‍රියාකාරකම් හා වර්ගවාදී ප්‍රචන්ඩ ක්‍රියා වලට වගකිවයුතු අය හෙලිදරව් කිරීම වැලැක්වීමට ද මැදිහත්ව ඇත.

රාජපක්ෂගේ උද්‍යෝගිමත් ආධාරකරුවන් අතර, ප්‍රධාන බෞද්ධ භික්ෂූන්, සේවයේ නියුතු හා විශ්‍රාමික මිලිටරි නිලධාරීන් හා සිංහල අන්තවාදීන් සිටී. වසර ගනනක් තිස්සේ ගෝඨාභය හා මහින්ද රාජපක්ෂ, ෆැසිස්ට්වාදී බොදුබල සේනා හා එවන් කන්ඩායම් පෝෂනය කර දිරිගන්වා ඇත.

පාර්ලිමේන්තු විපක්ෂය තුල ද ඊලඟ ජනාධිපති අපේක්ෂකයා පිලිබඳ කථාබහ සිදුවෙමින් තිබේ. ව්‍යවස්ථාව යටතේ මහින්ද රාජපක්ෂට තුන්වන වරටත් ජනාධිපති තරගයට ඉදිරිපත් විය නොහැකිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ද අලුතෙන් පිහිටවූ ඔහු නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ද ඊලඟ අපේක්ෂකයා කවුරුන් ද යන වග තීරනය කල යුතුව ඇත.

ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුනේ සාමාජිකයෙකු නොවුන ද ජනාධිපති වීමේ සිය අභිලාෂය ගැන ඔහු දිගටම කියාපාන අතර ඒ සඳහා තම ඇමරිකානු පුරවැසිකම අතහරින බව ද පවසයි. ඒ අතරම ඔහු, පැවතියාටත් වඩා නිර්දය තන්ත්‍රයක් ගොඩනැඟීමට සූදානම් වෙමින්, තම දක්ෂිනාංශික පදනම ගොඩනැඟීමේ උත්සාහයක නිරතව සිටී.

Share this article: