මීතොටමුල්ල ඛේදවාචකය තුල ධනේශ්වර මාධ්‍යයන්ගේ හා පරිසරවේදීන්ගේ ක්‍රියා කලාපය

පානි විජේසිරිවර්ධන විසිනි, 2018 මැයි 18

2017 අප්‍රේල් 14 වන දා මීතොටමුල්ල කසල කන්ද නාය යාමෙන් සිදුවූ ව්‍යසනය තුල ධනේශ්වර මාධ්‍ය සංස්ථාපිතයේ සහ පරිසරවේදීන්ගේ ක්‍රියාකලාපය විමසා බැලීම, කම්කරු-පීඩිත මහජනතාව සම්බන්ධයෙන් ගත් කල, ඉමහත් වැදගත් කමක් දරයි.

ව්‍යසනය සිදුවීමත් සමග පැන නැගුනු දැවැන්ත මහජන විරෝධය හමුවේ විපතට පත්වූවන් කෙරෙහි සානුකම්පික බවක් පෙන්වන මාධ්‍ය වාර්තා, වීඩියෝ දර්ශන සහ තවත් නොයෙකුත් අටුවා ටීකා වලින් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් පිටාර ගලන්නට විය.

මහජන විරෝධය සමස්ත ධනේශ්වර සංස්ථාපිතයට එරෙහි විරෝධයක් දෙසට වැඩෙතැයි උත්සුක වූ මාධ්‍යයෝ, එය වෙනතක හරවා යැවීම තම ප්‍රධාන කර්තව්‍යයක් බවට පත්කර ගත්හ. ආන්ඩුවට හෝ විපක්ෂයට ගැති මාධ්‍යයන් මේ සඳහා යොදාගත් උපාය වූයේ, සිදු කෙරුනු අපරාධය සම්බන්ධයෙන් එකිනෙකාට දොස් පවරා ගැනීමයි. ඊනියා ස්වාධීන මාධ්‍යයෝ, ඒ හෝ මේ ධනපති ආන්ඩුවට නිසි “සැලස්මක් නොතිබීම” ව්‍යසනයට හේතුව බව ප්‍රකට කෙරෙන ලිපි පල කරමින් වෙනත් අයුරකින් එම කර්තව්‍යයේම යෙදී ගත්හ.

ආන්ඩුවේ හොරනෑවක් වන දිනමින පුවත්පත, අප්‍රේල් 17 සිට 22 දක්වා කතුවැකි හතරක් හා විස්තරාත්මක ලිපි කිහිපයක්, මීතොටමුල්ල ඛේදවාචකය සම්බන්ධයෙන් ලියූ අතර ඒවායේ කේන්ද්‍රීය අරමුන වූයේ අපරාධයේ වගකීමෙන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ගලවා, එහි පූර්න වගකීම හිටපු ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුව මත පැටවීම යි. අප්‍රේල් මස අවසන්වන විට ඬේලි නිව්ස් පුවත්පත කතු වැකි පහක්ම මේ අරමුනට වැය කර තිබේ. දිවයින, දි අයිලන්ඩ් හා ඬේලි මිරර් වැනි පුවත්පත් වලද ව්‍යසනය සම්බන්ධ විවිධ ලිපි පල කෙරුනි. කෙසේ නමුදු, මෙම සියලු මාධ්‍යවල මුඛ්‍ය අරමුන වූයේ, මීතොටමුල්ල ව්‍යසනයට තුඩුදුන් කසල ප්‍රශ්නය ඇතුලු මහජනයා මුහුන දෙන සෑම අතිමූලි ප්‍රශ්නයකම මූලය අර්බුදග්‍රස්ත ධනේශ්වර ක්‍රමය බව වසන් කිරීම යි.

“කුනුවලට යටවීම” මැයෙන්, අප්‍රේල් 17දා දිනමිනපුවත්පත ලියා තිබූ කතුවැකියෙන් කොලඹ කුනු ප්‍රශ්නය “සියල්ලන්ගේම ගැටලුවක්” ලෙසත් “රටේ ජාතික ගැටලුවක්” ලෙසත් නම් කරමින් ප්‍රශ්නයේ මූලික වගකීම මහජනයා පිට පැටවීමට වෑයම් කලේ ය. මීතොටමුල්ල කුනු කන්ද අවට ජනයාට “වන්දි හා ඉඩම් ලබාදී ජනාවාසය වෙනත් තැනෙක ස්ථාපනය කිරීමට උත්සාහ කල ද (එම ජනයා එකඟ නොවූ බැවින්) එය සාර්ථක වී නැති” බව පවසන කතුවැකිය ව්‍යසනයට ගොදුරුවූ ජනයාගේ කර මත අපරාධයේ වගකීම පටවයි. මෙම අවලාදයට විපරීතව, තමන්ගේ දේපලවලට ප්‍රමානවත් වන්දි ලැබෙන්නේ නම් වෙනත් ප්‍රදේශයකට යාමට තමන් සූදානම් බව ව්‍යසනයට පෙරාතුව එම ජනයා මාධ්‍ය වෙත සඳහන් කර තිබින.

අප්‍රේල් 18 දා, “මීතොටමුල්ල!” මැයෙන් දිනමින ලියූ කතුවැකිය ඛේදවාචකයට ලක්වූ ජනයා “පාරම්පරික” හා “අනවසර” පදිංචිකරුවන් ලෙස කොටස් දෙකක් ලෙස නම් කරමින් “දෙපිරිසටම එකම ආකාරයට සැලකීම අයුක්ති සහගත” යැයි ලීවේ ය. විපතටපත් ජනයා කොටස් දෙකකට බෙදමින් ඔවුන් භේද කොට, ඔවුන් සාමූහිකව ගෙනගිය අරගලයේ ශක්තිය බිඳීම ද, “අනවසර පදිංචිකරුවන්” හට ලැබිය යුතු නිවාස සහ වන්දි මුදල් අහිමි කිරීම ද මෙම කතුවැකියේ අරමුනයි. තම දුගීබව හේතුවෙන්, අයහපත් සෞඛ්‍යයෙන් හෙබි මෙම අවදානම් සහගත භූමි භාගයේ නිවසක් අටවාගෙන සිට, එම ව්‍යසනයෙන් මියගිය පීඩිතයන් ගැන දිනමින කරන මෙම සැඳහුමෙන් ප්‍රකාශයට පත් වන්නේ සමස්තයක් ලෙස ධනේශ්වර පාලක පන්තිය පීඩිත මහජනතාව කෙරෙහි දක්වන නරුම ආකල්පය යි.

අප්‍රේල් 20 දා දිනමින කතුවැකිය කැප කෙරුනේ පෙරදින මධ්‍යම රාත්‍රියේ ජනාධිපති සිරිසේන විසින් නිකුත් කල ප්‍රජාතන්ත්‍ර-විරෝධී ගැසට් නිවේදනයකට හුරේ දැමීමටයි. මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුනේ, මීතොටමුල්ල ව්‍යසනයෙන් භීතියටපත් ජනයා තම නිවස්නා ප්‍රදේශයන්හි කසල කඳු ගොඩ ගැසීමට එරෙහිව ආරම්භ කල විරෝධතාවන් මැඩීමටයි. කසල ඉවත් කිරීමේ ක්‍රියාවලියට කුමන ආකාරයකින් හෝ බාධා හා අවහිර කරන අය අත්අඩංගුවට ගෙන, දැඩි දඬුවම් පැනවීමේ බලය ආන්ඩුව මෙමගින් පොලිසියට ලබා දුන්නේ ය.

ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ නියෝග මත ආන්ඩුව විසින් එල්ල කරන ප්‍රහාර හමුවේ රැඩිකලීකරනය වෙමින් පවත්නා කම්කරු-පීඩිත මහජනතාව මෙල්ල කරනු වස් ආන්ඩුව විසින් පොලිස් රාජ්‍යයක් දෙසට තබන වේගවත් පියවරයන්හි කොටසක් වන මෙම නව නීති අනුමත කරමින් දිනමින කතුවැකිය නරුම ලෙස කියා සිටියේ “මේ තීන්දුව මීට පෙර ගත්තේ නම් කුනු ප්‍රශ්නය උග්‍රවන්නේ නැතැයි සිතෙන බව” යි.

දිවයින සහ ද අයිලන්ඞ් දෙබෑයන්ගේ භූමිකාව දිනමින ට වඩා ප්‍රතිගාමිත්වයෙන් අඩු නොවේ. “කුනු කන්ද නිසා බලයට පැමිනි දේශපාලනඥයෝ ද ධනවතුන්වූ බැකෝ මුදලාලි ද නිලධාරිහු ද” යන සියල්ලන් “මිනීමැරීමේ වෝදනාව යටතේ අධිකරනයට ඉදිරිපත් කර දඬුවම් කල යුතු” යැයි පැවසෙන අප්‍රේල් 23දා දිවයින කතුවැකියේ අරමුන වූයේ, සමස්තයක් ලෙස ධනපති ක්‍රමය නොව ඇතැම් තනි තනි දූෂිත පුද්ගලයින් ව්‍යසනයට වගකිවයුතුය යන ප්‍රතිගාමී තර්කය තහවුරු කිරීම යි.

පොලිස් රාජ්‍යයක් දෙසට ආන්ඩුව යන වේගවත් ගමනේ තවත් අංගයක් වනුයේ සෑම සිවිල් කටයුත්තක් සඳහාම මිලිටරිය යොදා ගැනීමයි. මීතොටමුල්ල ව්‍යසනයෙන් ඉක්බිත්තේ ආන්ඩුව හමුදා භටයින් දහසකට වැඩි ප්‍රමානයක් ප්‍රදේශයට දියත් කලේ, කෝපයට පත්ව සිටින මහජනයා බිය ගැන්වීමට සහ ව්‍යසනයට මුවාවී ඔවුන්ගේ ඉඩම් ඩැහැගෙන ඒවා ජාත්‍යන්තර සංගතයන්ට විකුනා දැමීමේ එල්ලය සහිතවයි. මෙය වසන් කරන දිවයින කතුවරයා මිලිටරිය උත්කර්ෂයට නංවමින් නගර සභා කම්කරුවන්ට චෝදනා කරයි: “මිලිටරි භටයින් මීතොටමුල්ලේදී තමන්ගේ ජීවිත අවදානමේ තබා කටයුතු කරන අතරේ මහජන මුදලින් ගෙවීම් කරන දහස් ගනනක් කොලඹ නගර සභා කම්කරුවන් කුමක් කරමින් සිටීද?”

මෙහිදී දිවයින කතුවරයා තවත් වැදගත් කරුනක් කනපිට හැරවීමට යත්න දරයි. එනම්, රාජ්‍ය වියදම් කප්පාදු කිරීම හේතුවෙන් පලාත් පාලන ආයතනයන්ට ලැබෙන ප්‍රතිපාදන ක්ෂයව ගොස්, දැවැන්ත මානව සහ භෞතික සම්පත් හිඟයකට එම ආයතන පත්ව ඇති බව වසන් කොට, කසල ප්‍රශ්නයේ වගකීම කම්කරුවන් මත පැටවීමයි.

තවත් ධනපති පුවත්පතක් වන ඬේලිමිරර් පුවත්පත ද මූලික වසයෙන්ම ව්‍යසනයෙන් ප්‍රකාශයට පත්වන ධනේශ්වර පද්ධතියේ අර්බුදය හුදෙක් ඒ හෝ මේ ආන්ඩුවේ “අසමත්කමට” සිඳුවීමට වෑයම් කලේ ය. අප්‍රේල් 17දා පලකල “මීතොටමුල්ල: පහසුවෙන් මගහරවාගත හැකිව තිබූ ව්‍යසනයක්” මැයෙන් නම් කල කතුවැකියෙන් මහජනයාගේ ජීවිත සම්බන්ධයෙන් “නිර්දය නොතැකීම” හා “වගකීම් විරහිතභාවය” ගැන “දේශපාලන අධිකාරීන්ගේ හා අනෙකුත් තීන්දු ගන්නා ආයතනවලට” දොස් නැගුවේ ය.

ධනේශ්වර පද්ධතිය සම්බන්ධයෙන් මහජනතාව අතර වැඩෙන විරෝධය සහ අවබෝධය සම්බන්ධයෙන් ඬේලිමිරර් අන් මාධ්‍යයන්ට වඩා සැලකිලිමත් ය. විශේෂයෙන්ම අප්‍රේල් 25 දා රංග ජයසූරිය ලියූ “කසල දේශපාලනය හා මහා දේශපාලනික ප්‍රශ්න” නම් කොලමේදී කසල ප්‍රශ්නය “විහිලු සහගත කාරනාවක්” නොව, “රාජ්‍යයේ අසමර්ථතාව පිලිබඳ වඩාත්ම පැහැදිලි ලක්ෂනය” යැයි සටහන් කරමින්, ආන්ඩුව එය විසඳීමට පියවර ගනු ඇතැයි ලියුවේ ය.

පරිසරවේදීන් සහ පරිසර විද්‍යාඥයන්

මෙම දැවැන්ත ඛේදවාචකය සිදුවන තෙක්, වසර ගනනාවක් පුරා භයානක ව්‍යසනයක් ලෙස වර්ධනය වෙමින් පැවති කසල කන්ද පිලිබඳ කවර හෝ විධිමත් පරීක්ෂනයක් ශ්‍රී ලංකාවේ පරිසරවේදීන් හෝ පරිසර විද්‍යාඥයන් විසින් සිදුකොට නොමැත. එබැවින්ම එහි පැවති අන්තරායේ පරිමාව සම්බන්ධයෙන් ව්‍යසනයටපත් මහජනතාවට පැවතියේ අල්ප දැනුමකි. රජයේ ආයතනයක් වන ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය පවා පරීක්ෂනයක් සිදු කලේ නායයාම මගින් ඇති කෙරුනු ව්‍යසනයෙන් පසුවයි. එයද ඉතා සීමිත වූවකි.

මෙම පරිසර සංවිධාන යැපෙනුයේ ජාතික සහ ජාත්‍යන්තර සංගතයන්ගේ මෙන්ම ධනවතුන්ගේ මූල්‍ය ආධාර මත වන අතර ඒවා ධනේශ්වර පද්ධතියට තදින්ම බැඳී පවතී. එබැවින්ම මතුවී ඇති ප්‍රගාඪ පාරිසරික ප්‍රශ්න, ධනේශ්වර ක්‍රමයේ නිර්මිතයක්ය යන්න වසන් කිරීමට ඔවුන් දැනුවත්වම ක්‍රියාත්මක වෙයි.

මේ හේතුවෙන් ඔවුන් අවසානයේදී සියලුම පරිසර ප්‍රශ්න එක් එක් ආන්ඩුවල සහ රාජ්‍ය නිලධාරීන්ගේ අසමර්ථභාවයට ඌනනය කරයි. එසේ නැතහොත් සාමාන්‍ය මහජනතාවටම වරද පටවයි.

මීතොටමුල්ල ව්‍යසනයත් සමග කොලඹ නගරයේ කසල ප්‍රශ්නය වඩාත් උග්‍ර වූ තත්වයක් තුල, 2017 ජූලි 15 වනදා, “නිකසල රටක් කරා” යන හිසින් කොලඹ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේ පැවැත්වූ පරිසරවේදීන්ගේ මාධ්‍ය හමුවේදී, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිසරවේදියෙකු ලෙස සැලකෙන නයනක රන්වැල්ල පැවසුවේ “කසල ප්‍රශ්නයේ පරිමාව ආන්ඩුව වටහාගෙන නොමැති” බවයි. අන්‍ය පරිසරවේදීන් මෙන්ම කසල බැහැර කිරීම සඳහා නිසි තාක්ෂනය යොදාගෙන නොමැති බවට ද ඔහු චෝදනා කලේය.

එය ආන්ඩුවේ වටහා ගැනීමේ දුර්වලතාවයක් හෝ නිසි තාක්ෂනය නොමැතිකමේ ප්‍රතිඵලයක් හෝ නොව ශ්‍රී ලංකාව ඇතුලු ලොවපුරා පාලක පන්තීන් මුහුන දෙන පෙරනොවූ විරූ ආර්ථික අර්බුදය හේතුවෙන් මහජන සුබසාධන කප්පාදු කිරීමේ ප්‍රතිඵලයකි. ආන්ඩුවේ පිලිවෙත වන්නේ මෙම කප්පාදුව වඩාත් ගැඹුරු කිරීම වන බැවින් “කසල ප්‍රශ්නයේ පරිමාව” ආන්ඩුවට පහදා දීමෙන් එය විසඳිය නොහැක.

කසල ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙම ඊනියා විද්‍යාර්ථීන්ගේ නරුම ප්‍රතිචාරය කැපී පෙනෙන අයුරින් ප්‍රකාශයට පත් කෙරෙන ලිපියක් 2017 අප්‍රේල් 30 දා රාවය පුවත්පත පල කර තිබුනි. “කුනු ගැන සන්සුන්ව හිතමු” යන ශීර්ෂයෙන් පල වූ ලිපියේ කතුවරිය වූයේ ලර්න් ඒසියා ආයතනයේ ප්‍රතිපත්ති විශ්ලේශිකාවක් වන ආචාර්ය සුජාතා ගමගේ ය.

ඇය ලිපිය අරඹන්නේම, මේ ඛේදවාචකයේ වගකීම ජනතාව පිට පටවමින් “කුනු ප්‍රශ්නය හැම ආන්ඩුවක ම අසමත්භාවය, සියලු දේශපාලකයන්ගේ හා නිලධාරීන්ගේ අසමත්භාවය මෙන්ම රටේ මහජනතාවගේ අසමත්භාවය ද පැහැදිලි ව පෙන්නුම් කල අවස්ථාවක්” යනුවෙන් සඳහන් කරමිනි.

“කොලඹින් පිට ස්ථාන තෝරා ගැනීම, ඒවායේ ජීවත්වන්නවුන් ඉවත් කිරීම, කසල රඳවන හෝ ප්‍රතිචක්‍රීකරන යන්ත්‍ර හෝ ස්ථානගත කිරීම, ධනවාදයෙන් හා පරිභෝජනවාදයෙන් සමාජය මුදා ගැනීම වැනි සියලු දේ ඒ විවේචනවල පිලිවෙලට ම වුනා නම් අද මේ ප්‍රශ්නය ඇති වන්නේ ද නැත. එහෙත්, ප්‍රශ්නය ඇති වී බොහෝ දුරක් ඇදී ගොස් තිබේ. අප කැමති වුනත්, නැතත්, මේ මොහොත වන විටත් කොලඹ හා තදාසන්න ප්‍රදේශවල ජනතාව දිනපතා කුනු ටොන් දහසකට වැඩි ප්‍රමානයක් උත්පාදනය කරති. ඒවා පලාත් පාලන ආයතනයේ ට්‍රැක්ටරයට භාර දී අත සෝදා ගනිති” යනුවෙන් ඇය තවදුරටත් පවසයි.

මෙය ව්‍යාජ මෙන්ම විසකුරු තර්කනයකි. පසුගිය දශක දෙකක කාලය තුල ඝන අපද්‍රව්‍ය කලමනාකරනය ඇතුලු පොදු පහසුකම් සෝදාපාලුවට ලක්වීම හා දැවැන්ත පරිසර හා සෞඛ්‍ය ගැටලු පැනනැගීම වනාහි, අනුප්‍රාප්තික ධනපති ආන්ඩු ගෙනගිය දැනුවත් කප්පාදු වැඩපිලිවෙලවල් වල අනිවාර්ය ප්‍රතිපලයකි. එයට මහජනතාව වගකිවයුතු නොවේ.

ධනපති ප්‍රතිපත්ති වලින් දැනුවත්ව නිර්මානය කෙරුනු මේ අපරාධයේ වගකීම ජනතාව මත පැටවීමෙන් නොනැවතී, කසල අර්බුදයේ මුවාවෙන් ආන්ඩුව දියත් කරගෙන යන පොලිස් මර්දන ක්‍රිියාවලියද ඇය සාධාරනීකරනය කරයි: “අධිකරන නියෝග ගැනීම, අත්‍යවශ්‍ය සේවා ගැසට් පත්‍ර නිකුත් කිරීම වැනි දේවලට ආන්ඩුව යොමු වන්නේ මේ සියල්ලේ තර්කානුකූල ප්‍රතිඵලයක් හැටියටය”.

ගමගේගේ මේ තර්කනය, දුගීන්ගේ හා කම්කරුවන්ගේ ජීවිත වල වියදමින්, කොලඹ කලාපීය මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා පසුගිය රාජපක්ෂ ආන්ඩුවත් දැන් “මෙගාපොලිස්” ව්‍යාපෘතිය යටතේ මේ ආන්ඩුවත් ගෙනගිය හා ගෙනයන වැඩපිලිවෙල වල අවශ්‍යතාවන් හා කෙලින්ම සමපාත වේ. ආන්ඩුවේ අවශ්‍යතාව වී ඇත්තේ එක අතකින් මීතොටමුල්ල ව්‍යසනයේ වගකීම පීඩාවට පත්වූ ජනතාව මතම පටවා, එම ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කර ඉඩම් ආයෝජකයන් සඳහා “සුද්දකර” ගැනීමයි. අනෙක් අතින් කොලඹ පුරා දැන් ගොඩගැසෙමින් ඇති කසල පෙර ලෙසම හිතුමතේ බැහැර කිරීමට අලුත් තැනක් වහාම විවෘත කර ගැනීමයි. ආන්ඩුවේ මේ ඉදිරි පියවර සඳහා මග සලසා දීමේ කොන්ත්‍රාත්තුව ගමගේ ඇතුලු බුද්ධිමතුන් පිරිසක් භාරගෙන ඇත.

කාර්මිකකරනය සහ නාගරිකකරනය සමාජ සංවර්ධනයට අවශ්‍ය ය. එනමුදු ඒවා සිදුකල යුත්තේ පරිසරයට ඉන් වන බලපෑම අවම වන පරිදි සකස් කෙරුනු විධිමත් සැලසුමකට අනුවයි. සැබැවින්ම ස්වභාවධර්මය පවත්නා සැටියෙන්ම පවත්වාගත යුතුය යන්න මෙයින් අදහස් නොවේ. ෆ්‍රෙඩ්රික් එංගල්ස් ‘සොබාදහමේ දයලෙක්තිකය’ නමැති තම අගනා කෘතියේ පැහැදිලි කරන පරිදි මිනිසා තමා විසින් (සොබාදහම තුල) සිදු කරන වෙනස් කිරීම් මගින් එය තමාගේ අවශ්‍යතාවන් සඳහා සේවයට යොදවා ගනී. එය (සොබාදහම) මත ආධිපත්‍යය පතුරුවයි.

ඒ සමගම මෙම ආධිපත්‍යය පිලිබඳව එංගල්ස් ඉතා වැදගත් අවධාරනයක් කරයි. “ස්වභාවධර්මය කෙරෙහි අපේ ආධිපත්‍යය පැතිරවීම සංයුක්ත වනුයේ ස්වභාවධර්මයේ නියමයන් හඳුනාගෙන ඒවා නිවරැදි ලෙස අදාල කර ගැනීමට සමත් වීමෙන් අපට අනෙක් සියලුම සතුන්ට වඩා වාසිදායක තත්වයක් තිබේය යන කරුනෙන් බවත් අපට සෑම පියවරකදීම මතක් කරනු ලැබේ.”

කෙසේ නමුදු, ධනපති ක්‍රමය යටතේ නිශ්පාදනය සහ හුවමාරුව පාලනය කරන ධනපතියන් සලකනු ලබන්නේ ඉතාමත් ක්ෂනික වූද, තමාට පුද්ගලිකව ප්‍රයෝජනවත්වූ ද ඵලය, එනම් ලාභය ගැන පමනකි. ස්වභාවධර්මයේ නියමයන් හඳුනාගෙන ඒවා නිවරැදි ලෙස අදාල කර ගැනීම ලාභය මත පදනම් වූ ධනපති ක්‍රමය තුල කල නොහැක්කකි. ඒක ජෛව ගෝලීය ආරක්ෂිත වැඩ සටහන, සංස්කෘතික හා ස්වභාවික උරුමය ආරක්ෂා කිරීම පිලිබඳ සම්මුතිය, ජෛව විවිධත්ව පිලිබඳ සම්මුතිය සහ කියෝටෝ ගිවිසුම වැනි විවිධ සම්මුති, ගිවිසුම් හා ප්‍රඥප්තීන් යටතේ පරිසරය සුරැකීමට දරන ලද ප්‍රයත්නයන් අසාර්ථකව ඇත්තේ නිශ්පාදනයේ මූලික අක්ෂය ලාභය ලෙස පවත්වා ගනිමින් පරිසරය සුරැකීම කල නොහැක්කක් බැවිනි.

විසි එක් වන සියවසෙහි ජීවත් වන අපි අන් කවරදාටත් වඩා නිෂ්පාදන ක්‍රියාවලියටත් නිෂ්පාදනයේ දී සිදුවන ව්‍යසනකාරී ප්‍රතිඵල පාලනය කිරීමටත් අවශ්‍ය විද්‍යාත්මක හා තාක්ෂනික දැනුමෙන් සන්නද්ධව සිටින්නෙමු. මෙම දැනුම මත පදනම්ව ස්වභාවධර්මය සහ නිශ්පාදනය ඇතුලු මානව ක්‍රියාකාරකම් අතර සුසංවාදී සබඳතාවක් නිර්මානය කිරීමට නම්, ලාභය මත පදනම් වූ ධනේශ්වර නිශ්පාදන ක්‍රමය අහෝසි කොට අවශ්‍යතාව මත නිශ්පාදනය කෙරෙන ලෝක සමාජවාදී නිශ්පාදන ආර්ථික ක්‍රමයක් ස්ථාපිත කල යුතුය.

Share this article: