සමිති නිලධරයේ පාවාදීමෙන් වාරුවගත් ආන්ඩුව අනධ්‍යන කම්කරුවන්ගේ හිලව් දීමනාව කැටි කරයි

කපිල ප‍්‍රනාන්දු සහ එම්. දේහින් වසන්ත විසිනි, 2018 මැයි 14

සති හයකට අධික කාලයක් පුරා පැවති විශ්ව විද්‍යාල අනධ්‍යන කම්කරු වර්ජනය විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව (විවෘසඒක) විසින් නවතා දැමීමේ දී ආන්ඩුව පොරොන්දු වූ සියයට 10 ක මාසික හිලව් දීමනා වැඩි කිරීම, “අනධ්‍යන කාර්ය මන්ඩල වෙත ලබා දෙන අවසන් දීමනා වැඩිවීම” බව නිවේදනය කොට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව (යූජීසී) පසුගිය 27 දා තවත් චක‍්‍රලේඛයක් නිකුත් කොට තිබේ.

දීර්ඝ කල්මැරීමකින් පසු විවෘසඒක විසින් මේ වසරේ පෙබරවාරි අග සිට යලි වර්ජන ක්‍රියාමාර්ගයකට එලැඹුනේ 2016 දී ඔවුන් වර්ජනය නතර කිරීමේ දී ආන්ඩුව දුන් ලිඛිත පොරොන්දුව වසර දෙකක් තිස්සේ කඩ කර ඇති තත්වයක දී එය ඉටු කරන්නැයි ආන්ඩුවට බල කිරීම සඳහා ය.

අප්‍රේල් 12 වන දා ආන්ඩුව නිකුත් කල චක‍්‍රලේඛයකින් සිදු කෙරුනු සියයට 10 ක හිලව් දීමනා වැඩි කිරීම “විශාල ජයග‍්‍රහනයක්” ලෙස උත්කර්ෂයට නංවමින්, වර්ජනයේ මූලික ඉල්ලීම වන 2016 ලිඛිත පොරොන්දුව ක්‍රියාත්මක කිරීම ද, විශ‍්‍රාම වැටුපක් සහ වෛද්‍ය රක්ෂනයක් ඇතුලු අනෙක් අත්‍යවශ්‍ය ඉල්ලීම් ද පාවාදුන් සමිති නිලධරය එදිනම වර්ජනය නතරකර දැමීය.

මෙම පාවාදීමේ වාරුවගත් ආන්ඩුව, ඉන් සති තුනක් ඉකුත් වී යාමටත් මත්තෙන් අනධ්‍යන කම්කරුවන්ට එල්ල කරන තර්ජනයක ස්වරූපයෙන් මෙම චක‍්‍රලේඛයෙන් දන්වා ඇත්තේ එය අවසන් හිලව් දීමනා වැඩිවීම බවයි.

වර්ජනය දියත් වෙමින් තිබිය දී, එනම් අප්‍රේල් 09 දා, යූජීසී යේ සභාපති මොහාන්ද සිල්වාගේ අත්සනින් යුත් චක‍්‍රලේඛයකින් පලමුව එම කප්පාදුව පිලිබඳව ඒකාබද්ධ කමිටුව වෙත දැනුම් දී තිබුනි. සියයට 10 ක දීමනා වැඩිවීම “අනධ්‍යන කාර්ය මන්ඩල වෙත ලබා දෙන අවසන් හිලව් දීමනා වැඩිවීම විය යුතු බව මහා භාන්ඩාගාරයේ උපදෙස් පරිදි ඔබ (සමිතිය) වෙත දැනුම් දෙමි” යයි එම චක‍්‍රලේඛයේ සඳහන් විය.

එපමනක් නොව, වසරකට සියයට 20 බැගින් වැඩි කරමින්, 2020 වන විට සියයට 100 ක් දක්වා මාසික හිලව් දීමනාව වැඩි කරන බවට ආන්ඩුව 2016 දී දුන් ලිඛිත පොරොන්දුව, “වහාම ක්‍රියාත්මක කරන පරිදි අවලංගු කරන බව ද තවදුරටත් දැනුම් දෙමි” යයි ද එහි අවධාරනයෙන් සඳහන් කෙරුනි.

මේ සියල්ල සාමාජිකත්වයට වසන් කරමින් අවසානයේ දී සමිති නිලධරය වර්ජනය නවතා දැමුවේ “ජයග‍්‍රහනයක්” ලැබුනු නිසා නොව. “පරිවාස සේවයේ, අනියම් සේවකයන්, තාවකාලික, ආදේශක, නුපුහුනු හා කොන්ත‍්‍රාත්” යන පදනමේ සිටින සියලු කම්කරුවන් අප්‍රේල් 17 දින සේවයට වාර්තා නො කලහොත් සේවය හැර ගියා සේ සලකන බවත් ස්ථීර කම්කරුවන්ගේ වැටුප් කප්පාදු කරන බවටත් ආන්ඩුව අප්‍රේල් 12 වන දා කල තර්ජනය හේතුවෙනි.

එවන් තර්ජනයකට අභියෝග කල හැකිවන්නේ ආන්ඩුවටත් සමස්ත ධනපති ක‍්‍රමයටත් එරෙහි කම්කරු පන්තික දේශපාලන අරගලයක් තුලින් පමනකි. ධනේශ්වර පද්ධතියට තදින් බැඳී සිටින ඒකාබද්ධ කමිටුව ඇතුලු ලොවපුරා සමිති නිලධරයන් එවන් අරගලයකට ඉඳුරාම සතුරුය. ආන්ඩුවේ තර්ජනය හමුවේ ඔවුන් වර්ජනය අත්හැර දැමුවේ එබැවිනි.

අඛන්ඩව ඉහල යන ජීවන වියදම, අධ්‍යාපන සහ සෞඛ්‍ය කප්පාදුව යටතේ විනාශවන ජීවන තත්වයන් හමුවේ අනධ්‍යන කම්කරුවන්ගේ ඉල්ලීම් මුලුමනින්ම යුක්ති සහගත වන අතර එම ඉල්ලීම් ලංකාවේත් ජාත්‍යන්තරවත් කම්කරු පන්තියේ පොදු ඉල්ලීම් නියෝජනය කරයි.

අනධ්‍යන සේවකයන් ඇතුලු ඛනිජ තෙල්, වරාය, විදුලිබල, සෞඛ්‍ය යන රාජ්‍ය අංශවල කම්කරුවන්ටත් ගම්බද දුගීන්ට හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් මතටත් එල්ල වී ඇති සිරිසේන-වික‍්‍රමසිංහ ධනපති සන්ධාන ආන්ඩුවේ ප‍්‍රහාරයන් ගලා එන්නේ නිශ්චිත පන්ති අවශ්‍යතාවයකිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් මත, අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි සුභසාධන කප්පාදු කොට දෙස් විදෙස් ආයෝජකයන්ගේ ලාභ ලබන කර්මාන්ත බවට පත් කිරීම ආන්ඩුවේ වැඩපිලිවෙලයි. ලෝක ධනේශ්වර අර්බූදයේ බර මහජනයා මත පැටවීමේ දී ලොව පුරා සෑම පාලක පන්තියක්ම අනුගමනය කරන්නේ මූල්‍ය ප‍්‍රාග්ධනයේ මෙම ඉල්ලීමයි.

අධ්‍යාපන වියදම් කප්පාදුවට එරෙහිව, වැටුප් හා සේවක කොන්දේසි දිනා ගැනීම සඳහා ඇමරිකාවේ ප‍්‍රාන්ත ගනනාවක පාසල් ගුරුවරුන් ද එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ද විශ‍්‍රාම වැටුප් කැපීමට එරෙහි ව අරගලයක නිරත වෙති. විශ්ව විද්‍යාල මුදල් අයකරන ආයතන බවට පරිවර්තනය කිරීම පිනිස ඉන්දියාවේ ආන්ඩුව ඒවා මතට පවරන ඊනියා ස්වතන්ත‍්‍රභාවයට විරුද්ධව විශ්ව විද්‍යාල ආචාර්යවරු හා ශිෂ්‍යයෝ උද්ඝෝෂනයෙහි යෙදී සිටිති.

මෙම අරගල තුල කැපී පෙනෙන ලක්ෂනය වන්නේ වෘත්තීය සමිතිවල සීමාවන් බිඳ දමමින් තම අරගල ඉදිරියට ගෙන යෑම සඳහා කම්කරු පන්තිය ගන්නා ආරම්භකත්වය යි.

කම්කරු පීඩිත මහජනයාගේ අවශ්‍යතා ජයගැනීමට නම් ධනපති ආන්ඩුවලට එරෙහිව දේශපාලන අරගලයක් දියත් කල යුතුව ඇත. ලංකාවේ අනධ්‍යන කම්කරු වර්ජනයේ මුල සිටම සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) අවධාරනය කලේ තම අරගලය වටා අවශේෂ කම්කරුවන් ඒකාබද්ධ කර ගනිමින් සමාජවාදී ඉදිරිදර්ශනය යටතේ අනධ්‍යන කම්කරුවන් ස්වාධීන දේශපාලන පිලිවෙතක් මත බලමුලු ගැන්වී ගත යුතු බවයි.

විවෘසඒක නිලධරය එම වැඩපිලිවෙලට එකහෙලා විරුද්ධ වූහ. ඉන් නො නැවතුන සමිති නායකයෝ, කම්කරුවන් සමග එම වැඩපිලිවෙල ඉදිරියට ගෙන යෑම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ අවශ්‍යතාව ඉදිරිපත් කල සසප සාමාජිකයන්ට හා ලෝසවෙඅ වාර්තාකරුවන්ට කායික ප‍්‍රහාර ද එල්ල කලේ ය.

ආන්ඩුවේ මෑතම චක‍්‍රලේඛයට එරෙහිව වැඩෙන විරෝධය හමුවේ කම්කරුවන් ඉදිරියේ සටන්කාමීන් ලෙස රංගනයේ යෙදෙමින් ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකින් කම්කරුවන් වැලක්වීම සඳහා අනධ්‍යන සමිති නිලධරය යලි වැඩට බැස ගෙන තිබේ.

අප්‍රේල් 27 නව චක‍්‍රලේඛය අප්‍රේල් 02 දා ඇමති කබීර් හෂීම් සමග පැවති එකඟතාවන්ට එරෙහි බව ප‍්‍රකාශ කරමින් එහි සියලු දෝෂ ප‍්‍රතිපාදන කොමිසමට එල්ල කරන ඒකාබද්ධ කමිටුව මෙසේ කියා සිටී:

“වර්ජනය නිමා කිරීමට එක් චක‍්‍රලේඛයකුත්, නිමා කිරීමෙන් පසු තවත් චක‍්‍රලේඛයකුත් නිකුත් කිරීමට කටයුතු කිරීම විප‍්‍රකො සභාවේ නිලධාරීන්ගේ අත්තගාමී පහත් ක්‍රියා කලාපය ප‍්‍රදර්ශනය කිරීමක් හා විප‍්‍රකො සභාව පිලිබඳ සේවක ප‍්‍රජාව තුල පවත්නා විශ්වාසය හා පිලිගැනීම වෙනුවට වෛරය හා ක්‍රෝධය නිර්මානය කර ගැනීමකි” යයි විවෘසඒක නිකුත් කල ලිපියක කියා සිටී.

කම්කරුවන්ට හොර රහසේ අනධ්‍යන සමිති නිලධරය ආන්ඩුවේ ඇමතියන් සහ නිලධාරීන් සමග ගෙන යන සාකච්ඡාවල අවස්ථාවාදී ස්වභාවය වහංගු කිරීමටත් ධනපති ක‍්‍රමයේ පෙර නොවූ විරූ අර්බූදයේ තතු කම්කරු පන්තියෙන් වහංගු කොට එහි ප‍්‍රහාරවලට යටත් කිරීම සඳහාත් වෘත්තීය සමිති නිලධරය ගොතන මෙවන් ප‍්‍රලාප කම්කරු පන්තිය තරයේ ප‍්‍රතික්ෂේප කල යුතු ය.

Share this article: