එක්සත් ජනපදයේ දේශපාලන පොලීසිය හා 2016 මැතිවරනය

The US political police and the 2016 elections

2018 මැයි 18

නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ මැයි 17 සංස්කරනය, 2016 මැතිවරනයේ දී එෆ්බීඅයි ඉටුකල භූමිකාව ගැන වචන 4,000ක අත්‍යසාමාන්‍ය වාර්තාවක් ඉදිරිපත් කරයි. මෙම දීර්ඝ වාර්තාව නිපදවා, සංස්කරනය කොට අනුමත කල අයගේ අභිමතාර්ථයන් කවරක් වුව ද එය, විශේෂයෙන් ම එෆ්බීඅයි හා සීඅයිඒ ඇතුලු ආරක්ෂක සේවාවන් කේන්ද්‍රීය හා තීරනාත්මක පවා වන භූමිකාවක් ඉටුකරන ඇමරිකානු දේශපාලන පද්ධතියක් ගැන සිතුවමක් නඟයි.

“හරිකේන් වෙඩි හුවමාරුව කේතනාමනය කරන්න: ට්‍රම්ප් විමර්ශනයේ රහසිගත මූලයන්” යන සිරස්තලය සහිත මෙම ලිපිය, එක්සත් ජනපද ජනාධිපතිවරනයට රුසියාව කලා යයි කියන මැදිහත් වීම පිලිබඳ එෆ්බීඅයි විමර්ශනය ආරම්භ වූ ආකාරය ගැන තිරයෙන් පිටුපස විස්තරයක් සම්පාදනය කිරීම අරමුනු කරගනී. ට්‍රම්ප්ගේ ධවල මන්දිය විසින් සේවයෙන් නෙරපා හෝ පසෙකට තල්ලු කර දමා ඇති ඉහල ම නිලධාරීන් ද ඇතුලු එෆ්බීඅයි කාර්යාංශය තුලින් ම සම්පාදනය කරන ලද වාර්තාවන් මත එය පදනම් වේ.

එෆ්බීඅයි විමර්ශනය උසිගන්වනු ලැබුවේ, බ්‍රිතාන්‍යයේ ඕස්ට්‍රේලියානු තානාපති ඇලෙක්සන්ඩර් ඩව්නර් විසිනි. තම ආන්ඩුවේ උපදෙස් ලබාගැනීමෙන් පසුව ඔහු, රුසියානු මූලාශ්‍රයන්ගෙන් හිලරි ක්ලින්ටන් පිලිබඳ “ජරාවක්” ඇහිඳ ගැනීමට, ට්‍රම්ප්ගේ විදෙස් පිලිවෙත් උපදේශකයෙකු වූ ජෝර්ජ් පැපඩොපොලස් දැරූ උත්සාහය ගැන ඔහු සමග තමන් කල කතාබහ පිලිබඳව සාකච්ඡා කිරීමට, හෙතෙම එක්සත් ජනපද අධිකාරීන් සම්බන්ධ කරගත් බව ටයිම්ස් කියා සිටී.

එවැනි ඕස්ට්‍රේලියානු “මැදිහත්වීමක්” ගැන පුවත්පතට තිබෙන්නේ රුසියාව විසින් දැරුවා යයි කියන උත්සාහය පිලිබඳව දරනවාට වඩා ඉතා වෙනස් ආකල්පයක් බව අවධානයට ගත මනා ය. ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ ප්‍රහාරය ගැන විශාල හෝ එෆ්බීඅයි මනාපය දැක්වූ අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් වෙනුවෙන් ට්‍රම්ප් විසින් මැතිවරනය “කොල්ලකෑම” ගැන එහි විමර්ශනය අවුලුවන ලද්දේ ඕස්ට්‍රේලියාවෙන් බවට වන සැකයක් හෝ එහි මතුකර නැත.

ටයිම්ස් පත්‍රය, “තරුන හා අත්දැකීම් රහිත මැතිවරන ව්‍යාපාරයේ ආධාරකාරුවා, වයින් පානය කරමින් ඕස්ට්‍රේලියානු තානාපති සමග කල සාකච්ඡාව විමර්ශනයට තුඩු දුන්නේ ය” යනුවෙන් විස්තර කරයි. කොයි හැටි වෙතත්, පැපඩොපොලස් පිලිබඳ එම තනි තොරතුර, එෆ්බීඅයි ඒජන්ත කන්ඩායමක් ලන්ඩනයට යැවීම, “ක්ලින්ටන් මහත්මිය විමර්ශනය කර තිබූ ඒජන්තයන්ට හා විශ්ලේෂකයන්ට ම” රුසියාව හා ට්‍රම්ප්ගේ උද්ඝෝෂනය අතර තිබුනා යයි කියන සම්බන්ධය පිලිබඳ විමර්ශනය බාර දීම ආදී, විශාල වියදමක් දැරූ පරීක්ෂනයේ ආරම්භය බවට පත් විය. එම කන්ඩායම ලියකියවිලි හා ට්‍රම්ප්ගේ හිටපු උපදේශකයාගේ සන්නිවේදන පට ලබාගැනීම සඳහා “ජාතික ආරක්ෂක” ලිපි නිකුත් කලේ ය.

එෆ්බීඅයිහි මෙම මූලික විමර්ශනයට තල්ලුවක් ලබා දුන්නේ සීඅයිඒහි මැදිහත්වීමෙනි. ටයිම්ස් වාර්තා කරන පරිදි “එවක සී.අයි.ඒ. අධ්‍යක්ෂවරයා වූ ජෝන් ඕ. බ්‍රෙනන්, 2016 ජනාධිපතිවරනයට ප්‍රහාරයක් එල්ල කිරීම පිටුපස රුසියානු ආන්ඩුව සිටි බව පෙන්වන රහසිගත තොරතුරු කොමේ මහතා සමග හුවමාරු කර ගත් අගෝස්තු මැද වනවිට, එෆ්බීඅයිහි අදහස නිශ්චිත බවට පැමිනියේ ය. එම මෙහෙයුම විමර්ශනය කිරීම සඳහා රහස් තොරතුරු ඒජන්සි එකට එක් වූහ.”

පසුකලෙක මුලර් විමර්ශනයට බවට පත්වීමට නියමිත වූ දෙය, මැතිවරනයට පෙරාතුව ම සකස් කර මුලුමනින් ක්‍රියාත්මකව තිබුනි. ට්‍රම්ප්ගේ හිටපු මැතිවරන කලමනාකරුවා වූ පෝල් මැනාෆෝට් හා ආරක්ෂක රහස් තොරතුරු ඒජන්සියේ ප්‍රධානියා ව සිටි, එවක ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වූ මයිකල් ෆ්ලින් ආදීන් දක්වා විමර්ශනය පුලුල් කරනු ලැබිනි.

එහෙත් ටයිම්ස් පවසන ආකාරයට, එෆ්බීඅයිහි භූමිකාවට තිබෙන ප්‍රධාන විරුද්ධත්වය වන්නේ, 2016 මැතිවරනය තුල දේශපාලන පොලීසියේ යෝධ මැදිහත් වීම නො ව, මැතිවරන දිනයට පෙර ට්‍රම්ප් හා රුසියාව පිලිබඳ විමර්ශනය ආරම්භ නො කල නිසා, එෆ්බීඅයි මැදිහත් වීම ක්ලින්ටන් වෙනුවට ට්‍රම්ප්ට වාසි සහගත වීම යි.

“කරුනු ඉස්මතු වී තිබුනේ නම්, ට්‍රම්ප්ගේ උද්ඝෝෂනයට එය ව්‍යසනකාරී විය හැකි ව තිබුනි. ට්‍රම්ප් මහතාගේ අනාගත ජාතික ආරක්ෂක උපදේශකයා, ඔහුගේ උද්ඝෝෂනයේ සභාපතිවරයා වූ අතර ඔහු විමර්ශනයට ලක්වීමට නියමිත ව තිබුනි. එක් උපදේශකයෙකුට රුසියානු රහස් තොරතුරු ඒජන්සිය සමග සබඳතා තිබුනු බව පෙනුනි. තවත් පුද්ගලයෙක් රුසියාවේ ඒජන්තයෙක් ම යයි සැක කෙරුනි” යනුවෙන් ටයිම්ස් වාර්තාව කනගාටුවෙන් මෙන් සඳහන් කරයි.

එෆ්බීඅයිහි නිලධාරීන් හා ඒජන්තයින් ප්‍රතිවිරුද්ධ කඳවුරු සමග පෙලගැසුනු දේශපාලන පොරපිටියක් බවට ඒජන්සිය පත්ව තිබුනි. අභ්‍යන්තර පීඩනයට ප්‍රතිචාරයක් ලෙස එෆ්බීඅයි අධ්‍යක්ෂ ජේම්ස් කොමේ ඉතා ප්‍රසිද්ධ මැදිහත්වීම් දෙකක් සිදු කලේ ය. ක්ලින්ටන්ට විරුද්ධ ව අපරාධ චෝදනා ඉදිරිපත් නො කරන බව 2016 ජූලි මාසයේ මාධ්‍ය හමුවක දී කියමින් ඇයගේ හැසිරීම විවේචනය කිරීම ඉන් එකකි. ඉන්පසු 2016 ඔක්තෝබර් අග සමයේ මැතිවරනයට දින දහයකට පෙර ක්ලින්ටන් පිලිබඳ විමර්ශනය යලි ආරම්භ කල බව අනාවරනය කිරීම අනෙක යි.

රුසියානු සම්බන්ධතා ගැන පසුකාලීන සියලු ඝෝෂා හා කෑකොස්සන් සහිත සිරස්තල මධ්‍යයේ ට්‍රම්ප් පිලිබඳ විමර්ශනය ඉදිරියට යද්දී, 2016 මැතිවරනයේ ප්‍රතිඵලය නීර්නය කිරීමට රුසියානු මැදිහත්වීමක් පිලිබඳ කිසිදු සාක්ෂියක් සම්පාදනය කරනු ලැබ නැත. ඩොලර් 100,000ක් වටිනා මුහුනුපොතේ දැන්වීම් මිලට ගැනීම ආදී සමාජ මාධ්‍යයන් තුලින් රුසියාව කල මැදිහත්වීම, ඩොලර් බිලියන 4ක ජනාධිපතිවරන උද්ඝෝෂනය සමග ගත්විට පිරුනු භාජනයකට වැටුනු දියබිඳක් පමනි.

ප්‍රාථමික මැතිවරනවල දී බර්නි සෑන්ඩර්ස්ගේ උද්ඝෝෂනය වැලැක්වීමට ඩිමොක්‍රටික් පක්ෂ නිලධාරීන් දැරූ උත්සාහයන් පෙන්නුම් කරන ඊ-මේල් පනිවුඩ හා සටහන් සහ වෝල් වීදියේ ශ්‍රාවකයන්ට ගැති ක්ලින්ටන්ගේ කතාවල හඬ පටි කාන්දු වීම ආදී, ක්ලින්ටන් උද්ඝෝෂනය මත විශාලතම බලපෑම් ඇති කල හෙලිදරවුවන් සත්‍ය වීම නිසා ඒවා ව්‍යසනකාරී විය. “ව්‍යාජ ප්‍රවෘත්ති” හෝ රුසියානු ප්‍රචාරනයන් නො වූ එම තොරතුරු, එක දිගට ඇමරිකානු පාලක ප්‍රභූවේ සියලු කන්ඩායම්වල වෛරයට පාත්‍ර ව සිටින ජූලියන් අසාන්ජ්ගේ විකිලීක්ස් මගින් සම්පාදනය කල ඒවා ය.

ටයිම්ස්හි දීර්ඝ ආඛ්‍යානයේ සාරභූත අන්තර්ගතය උකහා ගන්නා අයෙකුට ලැබෙන්නේ, යෝධ හා තථ්‍යසම ව වගකීමට හසු නො වන බලයක් දරමින්, තම නාමික සිවිල් හාම්පුතුන්ට නියෝග නිකුත් කරන එෆ්බීඅයි, සීඅයිඒ හා එන්එස්ඒ මෙන් ම පෙන්ටගනය වැනි ඒජන්සීන්, එනම් ස්ථාවර රාජ්‍ය යන්ත්‍රනයට, ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් යන ප්‍රධාන පක්ෂ දෙක ම මුලුමනින් වහල් වී සිටින දේශපාලන පද්ධතියක් පිලිබඳ චිත්‍රයකි. 2016 මැතිවරනය ප්‍රදර්ශනය කරන ආකාරයට, “අධීක්ෂනය” ක්‍රියාවට නඟන දේශපාලනඥයන් කවුරුන්දැයි සත්‍ය වසයෙන් තෝරාගන්නේ මිලිටරි-රහස් තොරතුරු යන්ත්‍රනය විසිනි.

හිලරි ක්ලින්ටන් සිය මැතිවරන උද්ඝෝෂනය කේන්ද්‍රගත කලේ, “රහසිගත රාජ්‍යය” ලෙස සඳහන් වන යාන්ත්‍රනයේ සහයෝගය දිනාගැනීම මත යි. හිටපු සීඅයිඒ හා එන්එස්ඒ අධ්‍යක්ෂවරු, ජෙනරාල්වරු හා අද්මිරාල්වරු සියගනනක් ඇය විසින් යොදාගනු ලැබුවේ, “ප්‍රධාන අනදෙන නිලධාරී” තනතුරු සඳහා හොඳ ම තේරීම ඇය විනා ඉව බව නැති හා අකාර්යක්ෂම ට්‍රම්ප් නො වන බව සහතික කිරීමට යි. ට්‍රම්ප්ගේ උද්ඝෝෂනය ද එය ම කිරීමට උත්සාහ දැරුවත්, පැවති තරඟය යටතේ ඔවුන්ගේ ශක්තිය පරාජය කරනු ලැබිනි.

ටයිම්ස් පත්‍රය දැන් පෙනී සිටින දෙය එෆ්බීඅයි ක්‍රියාවට නඟා තිබුනේ නම්, එහි ප්‍රතිඵලය වනු ඇත්තේ, මුලර් විමර්ශනය තරම්ම විමර්ශනයක් මැතිවරනයට පසුව නො ව පෙරාතුව දියත් කිරීමෙන් ජනනය වන වඩා අස්ථාවරකාරී දේශපාලන උද්ඝෝෂනයකි. එවැනි විමර්ශනයන්ගෙන් පක්ෂ දෙකම බලාපොරොත්තු වූයේ තම විරුද්ධවාදියා වැට්ටවීමට ලැබෙන සහයෝගයකි.

ටයිම්ස් වාර්තාව, ඇමරිකාව තුල “ප්‍රජාතන්ත්‍රවාදය” හා “නිදහස” පිලිබඳ සියලු මාධ්‍ය මවාපෑම්වල ව්‍යාජකම හෙලිදරවු කරයි. එක්සත් ජනපදය වනාහි, මූල්‍ය ප්‍රභූතන්ත්‍රයේ දේශපාලන පක්ෂ දෙක රාජ්‍ය යන්ත්‍රනය නම්මා ගැනීම සඳහා සිතා ගැනීමටවත් නො හැකි පරිමානයෙන් ප්‍රචන්ඩත්වය දියත් කරන, පන්ති වසයෙන් ගැඹුරින් ම බෙදුනු සමාජයකි.

පැට්‍රික් මාටින්

කතුවරයා නිර්දේශ කරන තවත් ලිපි:

මාලිගා බල කොල්ලය ද පන්ති අරගලය ද: වොෂින්ටනයේ දේශපාලන අර්බුදය සහ කම්කරු පන්තියේ මූලෝපාය (2017 ජුනි 13)

Share this article: