ඇමති සේනාරත්නගේ ප්‍රකාශයේ එල්ලීගත් ජවිපෙ තම ලේ වැකි ඉතිහාසයට සුදුහුනු ගෑමේ තැතක යෙදෙයි

මිනූෂ ප්‍රනාන්දු විසිනි,2018 මැයි 23

පසුගිය 16 වනදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී, මාධ්‍යවේදීන් විසින්, උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සැමරීම සම්බන්ධ රජයේ ස්ථාවරය විමසූ අවස්ථාවේ රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා පැවසුවේ “ජේවීපී එකද” මෙතෙක් කල් “තමන්ගේ විරු සමරුව” සැමරූ නිසා එය “ප්‍රශ්නයක් නැති” බවයි.

සේනාරත්නගේ මෙම ප්‍රකාශයද, මාධ්‍යවේදීන් එයට දැක්වූ වර්ගවාදී ප්‍රතිචාරයේ අඩුම කුඩුමද කඩිනමින් ඩැහැගත් විවිධ වර්ගවාදී අන්තවාදී කන්ඩායම්, ඒ වටා දෙමල විරෝධී උද්ඝෝෂනයක් ඇවිලවීය. එම වර්ගවාදී ගිනි මැලයෙන් සිය දෑත් රත් කරගැනීමට වහා ඉදිරියට පැනගත් ජවිපෙ සිය අතීත රුධිර ස්නානය යුක්ති යුක්ත කිරීමට මෙම උද්ඝෝෂනය වේදිකාවක් කරගත්තේය.

සේනාරත්න විසින් “ජවිපෙ සහ එල්ටීටීඊය සමාන කිරීම ජුගුප්සාජනක” යැයි පවසමින්, එම ප්‍රකාශයට, ජවිපෙ ප්‍රචාරක ලේකම් වන විජිත හේරත් විසින් ප්‍රතිචාර දක්වා තිබෙනු, මෙම වර්ගවාදී උද්ඝෝෂනයේ පෙරමුනේ සිටින පුවත්පතක් වන දිවයින වාර්තා කලේය. ඒ සේනාරත්නගේ ප්‍රකාශයට එරහිව තවත් පාර්ශව ගනනාවක් සිදුකල වර්ගවාදී ප්‍රකාශ පිරිවරාගෙනය. එහිදී තවදුරටත් අදහස් දක්වමින් හේරත් ප්‍රකාශ කර තිබුනේ සේනාරත්න යනු “ප්‍රා” නමැති “මිනීමරු කල්ලියේ” “නායකයා” ව සිටි අයෙක් බවත්, එවැනි පුද්ගලයෙක් “ජවිපෙ හා එල්ටීටීඊ ය” සමාන කිරීම “විහිලුවක්” බවත්ය.

සේනාරත්නගේ ප්‍රකාශය සම්බන්ධයෙන්ම, ජවිපෙ විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක් වන ලංකාටෘත් වෙත සිදුකල දීර්ඝ පැහැදිලි කිරීමක් හේරත් අවසන් කොට තිබුනේ “ජනතා විමුක්ති පෙරමුන කියන්නේ යුක්තිය සාධාරනත්වය වෙනුවෙන් ජාතිවාදය වෙනුවට ජාතික සමගිය ගොඩනැගීමට වෙර දරන පක්ෂයක්” යැයි ප්‍රකාශ කරමිනි.

සැබවින්ම නොඉවසිය හැකි තරම් “ජුගුප්සාජනක” සහ “විහිලු” සහගත වන්නේ ජවිපෙ මෙම ප්‍රතිචාරයන්ය. සේනාරත්න “මිනීමරු කල්ලියක” “නායකයෙකු” ලෙස කටයුතු කල බවට හේරත් විසින් චෝදනා කරන සමයේ, එනම් 1987- 1989 අතර කාලය තුල, ජවිපෙ සන්නද්ධ ව්‍යාපාරයක් මෙහෙයවමින් කටයුතු කල අතර එය දෙමල විරෝධී වර්ගවාදය අවුලුවමින් සහ ෆැසිස්ට්වාදී විධික්‍රම යොදා ගනිමින් භීෂනයක් මුදා හැරියේය. මුලුමනින්ම කම්කරු පන්තියට හතුරුව ක්‍රියා කල මෙම ව්‍යාපාරයේ තුවක්කුකරුවන් විසින් ඝාතනය කෙරුනු සංඛ්‍යාව ඇතැම් වාර්තා වලට අනුව 7000 ක් පමන වන අතර ඉන් බහුතරය ජවිපෙ දේශපාලන විරුද්ධවාදීන්, කම්කරුවන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන්, කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ය. ඒ අතර සමාජවාදී සමානතා පක්ෂයේ පෙරගමන්කරු වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ සාමාජිකයන් තිදෙනෙකුද විය.

එල්ටීටීඊය තමා හා සම මට්ටමේ තැබීමට තරම් නොවන ව්‍යාපාරයක් ලෙස පිලිකුලෙන් කතා කරන ජවිපෙ දකුනේ ගෙනගිය දෙමල විරෝධී වර්ගවාදී උද්ඝෝෂනය, දෙමල කම්කරුවන්, තරුනයන් සහ ශිෂ්‍යයන් අවමංගත කරමින් තම බෙදුම්වාදී ව්‍යාපාරය වර්ධනය කර ගැනීම සඳහා එල්ටීටීඊයට ඍජුවම සහාය විය.

ජවිපෙ එහි මුල් කාලපරිච්ඡේදය තුලදී පැවැත්වූ ඊනියා පන්ති පහේ දේශන වලදී ඉන්දියානු සම්භවයක් ඇති දෙමල වතු කම්කරුවන්ට, “ඉන්දියානු ව්‍යාප්තවාදයේ හා ඉන්දියානු සංස්කෘතික ආක්‍රමනයේ” ඒජන්තයන් ලෙස පහර ගසමින් වතු කම්කරු විරෝධී වර්ගවාදී ව්‍යාපාරයක් අවුලුවාලීමට කටයුතු කලේය. එහිදී එම කුරිරු වැඩපිලිවෙල යුක්ති යුක්ත කිරීම සඳහා සිංහල කම්කරුවන්ට වඩා දෙමල කම්කරුවන් වැඩි පහසුකම් භුක්ති විඳින බව පෙන්වීමට මුසාවන් වැපිරීය.

1983 දී යූඑන්පී ආන්ඩුව උතුරේ ලේ වැකි සිවිල් යුද්ධය ආරම්භ කිරීමේ සිට 2009 දී එහි අවසානය දක්වා යුද්ධයට සිය සහය කොන්දේසි විරහිතව ලබා දෙමින් දෙමල සිංහල කම්කරු පන්තිය බෙදා වෙන් කිරීමට ජවිපෙ අඛන්ඩව වැඩ කටයුතු කොට ඇත. “මිනීමැරුම්”, “යුක්තිය” , “සාධාරනත්වය” සහ “ජාතික සමගිය ගොඩනැගීම” සම්බන්ධයෙන් ජවිපෙ වාර්තාව එලෙසය.

ජවිපෙ, එල්ටීටීය වැනි සංවිධාන කිසි දිනක කම්කරු පන්තියේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාකල හෝ තම ඉලක්කයන් වෙනුවෙන් කම්කරු පන්තිය මත විශ්වාසය තැබූ සංවිධාන නොවේ. ජවිපෙ මෙන්ම එල්ටීටීඊයද, ධනපති පාලනයට එරහි කම්කරුවන්ගේ, තරුනයන්ගේ, ශිෂ්‍යන්ගේ නොසන්සුන්තාවන් ගසා කමින් ධනේශ්වර පන්තිය අතම බලය තැබීමට ඉදිරිපත් වන සුලු ධනේශ්වර සංවිධාන වේ.

මේ වන විටත් ජවිපෙ සිදු කරමින් සිටින ආකාරයටම එල්ටීටීයද අධිරාජ්‍යවාදීන් වෙත හැරීගත් ප්‍රතිපත්තියක් අනුගමනය කල අතර එහි අවසාන ඉලක්කය වුයේද දෙමල ධනපතියන් වෙනුවෙන් ලාභ ශ්‍රම වේදිකාවක් කඩා වෙන්කර ගැනීමයි. හේරත් කඩිමුඩියේ ඉදිරියට පැන සිය පක්ෂයේ රුධිරය පෙරාගත් අතීතය යුක්ති යුක්ත කිරීමේ ප්‍රධානම හේතුවක් වන්නේ, ජවිපෙ සහ එල්ටීටීඊ ය අතර ඇති මෙම “සමාන” බව කම්කරුවන්ට, තරුනයන්ට සහ ශිෂ්‍යයන්ට හෙලිදරව් වෙතැයි යන භීතියයි.

අනෙක් අතට වාචාල කතා සම්බන්ධයෙන් කුප්‍රකට සේනාරත්නට ද, ඔහු නියෝජනය කරන සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට ද දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සම්බන්ධයෙන් මොනම තැකීමක්වත් නොමැත. සේනාරත්න, මහින්ද රාජපක්ෂ යුද්ධය තීව්‍ර ලෙස ගෙනයන සමයේ එවකට විපක්ෂයේ සිට මහින්ද රාජපක්ෂට ආන්ඩුව පවත්වාගෙන යාමට සහාය දීම සඳහා ආන්ඩු පක්ෂයට පැමිනි අයෙකි. ඔහුගේ ආන්ඩුවේ ප්‍රධානියා වන වර්තමාන ජනාධිපති සිරිසේන, රාජපක්ෂ ආන්ඩුව සමයේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කල, යුද්ධයේ සිදු කෙරුනු සංහාර වලට ඍජුවම වගකිවයුතු අයෙකි. එවැනි පසු බිමක් තුල ඉස්මත්තට පැමිනෙන සේනාරත්නගේ මෙම ප්‍රකාශය සැබවින්ම දෙමල ජනතාව අතර මුලුමනින්ම අපකීර්තියට පත්ව ඇති ආන්ඩුව ඉන් මුදා ගැනීමේ මංමුලා සහගත ප්‍රයත්නයකි.

2015 ජනවාරියේ පැවති මැතිවරනයේදී, එක්සත් ජනපද මුලෝපායික වැඩපිලිවෙල සමග පෙල ගැසෙමින්, මහින්ද රාජපක්ෂ බලයෙන් පහ කොට තන්ත්‍ර මාරුවක් සිදු කිරීම සඳහා දෙමල ජනතාව මුහුන දෙමින් සිටි ප්‍රශ්න, එජ ගැති පාලක පන්තියේ කොටස් මුලුමනින්ම ගසා කෑවේය. රාජපක්ෂගේ ආන්ඩුවේ මර්දනයට ඇඟිල්ල දිගු කල ඔවුන් දෙමල ජනතාවට “සංහිඳියාව” ලබාදෙන බවටත්, දශක තුනකට අධික යුද්ධයේදී අතුරුදහන් වූවන් ගැන සොයා බලන බවටත්, විනාශ කෙරුනු ජීවන හා සමාජ කොන්දේසි වැඩි දියුනු කරන බවටත් පොරොන්දුවිය.

Share this article: