නව වටයක සම්බාධක පනවමින් ඇමරිකාව, ඉරානය මත යොදන පීඩනය දැඩි කරයි

US steps up pressure on Iran with new round of sanctions

ජොර්ඩන් ෂිල්ටන් විසිනි, 2018 මැයි 12

භාන්ඩාගාර දෙපාර්තමේන්තුව සිය වෙබ් අඩවියේ පල කල ප‍්‍රකාශයකින් පනවන ලද සම්බාධක, ඉරානයේ බලගතු විප්ලවකාරී හමුදාවට ද එහි කූඩ්ස් බලඇනි වලට ද සම්බන්ධ බව කියන සමාගම් තුනක් ද පුද්ගලයින් හය දෙනෙක් ද ඉලක්ක කලේය. “සතුරු ක‍්‍රියාවන්” හි නිරත වන බව පවසමින් ඉරාන හමුදාවට දොස් නගන ඇමරිකානු භාන්ඩාගාර ලේකම් ස්ටීවන් මුන්චින්, විනිමය හුවමාරු ජාලයන් තුලින් ඇමරිකානු ඩොලර් ලබා ගැනීමට ඔවුන්ට ආධාර කරන්නේ යයි එරට මහ බැංකුවට ද චෝදනා කලේය. “විප්ලවකාරී හමුදාවේ ආදායම් මාර්ග ද ඒවායේ මූලාශ‍්‍රයන් ද ඒවා යන කුමන අන්තයක් හෝ කපා හැරීමට අපි අදිටන් කරගෙන සිටින්නෙමු.”

කූඩ්ස් හමුදාව ඊස්රායලයට රොකට් ප‍්‍රහාර ගනනාවක් එල්ල කල බව කියා සිටිමින් එරට පාලනය, 10දා සිරියාවේ විවිධ ඉරාන මධ්‍යස්ථාන වෙත එල්ල කල ඊස්රායලයේ ආක‍්‍රමනික ප‍්‍රහාරය යුක්තිසහගත කල අතර, ප‍්‍රහාරයෙන් පැය ගනනක් තුල ඇමරිකාව සම්බාධක නිවේදනය කිරීමෙන් පැහැදිලි වන්නේ වොෂින්ටනය, තෙහෙරානය සමග සෘජු මිලිටරි ගැටුමක් කරා තල්ලු වෙමින් සිටින බවයි. ප‍්‍රහාරක යානා 28ක් උපයෝගී කරගෙන ඊස්රායලය සිදුකල බොම්බ ප‍්‍රහාර වලින් විදේශිකයින් 18ක් මිය ගිය අතර ඒ සියලු දෙනා ඉරාන ජාතිකයින් බව නිසැකය. “ප‍්‍රහාරයෙන්” පසුව මාසයකටත් අඩු කාලයක් තුල 8දා එල්ල කල තවත් ඊස්රායල් මිසයිල් ප‍්‍රහාර වලින් ඩැමස්කස් අසල ඉරානුවන් 8ක් ජීවිතක්ෂයට පත්ව ඇත ද ධවල මන්ඳිරය 10දා නිකුත් කල ප‍්‍රකාශයකින් ඉරානයට අනතුරු අඟවා ඇත්තේ, “සියලු ප‍්‍රකෝපකරනයන්” නතර කල යුතු බවය. ඇමරිකාව, ඊස්රායලයේ “ආත්මාරක්ෂක” අයිතිය පිලිගන්නා බව ද එහි සඳහන් විය.

මැදපෙරදිග ප‍්‍රධාන අස්ථාවරකාරී සාධකය තෙහෙරානය ලෙස පින්තාරු කිරීමට භාන්ඩාගාර දෙපාර්තමේන්තුව දරන උත්සාහය අභූතයකට නොඅඩු දෙයකි. එක්සත් එමීර් රාජ්‍යය සමග බද්ධව එය ප‍්‍රකාශ කල සම්බාධකවල එල්ලය බව කියා ඇත්තේ, සිරියාව තුල ඉන්නා ඉරාන, ලෙබනන් හා යේමන් “කුලී භටයින්ට” හා “ත‍්‍රස්තවාදී” කන්ඩායම් වලට ඉරාන විප්ලවකාරී හමුදාවෙන් ලැබෙන සහාය අඩපන කිරීම බවය.

ඉරාන ධනපති පූජක තන්ත‍්‍රයේ ප‍්‍රතිගාමී දේශපාලන ස්වභාවය තිබියදීම කිව යුත්තේ, ලෙබනනය තුල මහජන සහයෝගිතා පදනමක් ඇති හෙස්බුල්ලා සංවිධානයට තෙහෙරානය ආධාර කිරීම, “කුලී භටයින්ට” අරමුදල් සපයනවා යයි හෙලා දැකීමට ඉඩක් නැති බවයි. ඊටත් වඩා අරුමයක් වන්නේ සිරියාවේ ඉස්ලාමීය මිලිෂියාවන්ට ඩොලර් මිලියන ගනන් හා අවි ලබාදෙන බවට එල්ල කෙරෙන චෝදනාවයි. එහි සිටින කුලී භටයින්ට කිසිදු සැලකිය යුතු ජනතා සහායක් නැති අතර ඒ නිසාම පරාජයන් මාලාවකට මුහුන පෑවේය. ඔවුන් යොදාගනු ලබන්නේ, මිලියන අඩකගේ ජීවිත විනාශ කල, ඩැමස්කසයේ තන්ත‍්‍ර මාරුවක් සඳහා ඇමරිකාව ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් ගෙන යන හත් අවුරුදු සිවිල් යුද්ධය සඳහාය.

ඉදිකිරීම්, බලශක්තිය හා තොරතුරු තාක්ෂනය යන ක්ෂේත‍්‍රවල කටයුතු ද ඇතුලූව විප්ලවකාරී හමුදාව ඉටුකරනු ලබන වැදගත් භූමිකාව සම්බන්ධයෙන් ගත් කල, නව සම්බාධක වටයෙන් ද පොදුවේ යලි ක‍්‍රියාවට නගා ඇති ආර්ථික සම්බාධක වලින් ද වඩාත්ම තැලීමට ලක් වන්නේ ඉරාන කම්කරු පන්තියයි.

න්‍යෂ්ටික ගිවිසුම කටුගා දමන බව කියා සිටි ට‍්‍රම්ප්ගේ 8දා කතාවේදී ඔහු, ඉරාන ආර්ථිකය මත දන්ඩන සම්බාධක යලි පැනවීමට අවසරය දුන්නේය. ගිවිසුම “බිහිසුනු” හා “පාර්ශවයකට බර” එකක් යයි එය හෙලා දැකීමෙන් පසුව ට‍්‍රම්ප්, වොෂින්ටනය ඉස්ලාමීය ජනරජයට එරෙහිව ඉහලම සම්බාධක පනවනු ලබන බව කියා සිටියේය. එහි අර්ථය, කුමන හෝ ගැටුමක ඊලඟ පියවර යුද්ධය යන්නයි.

ට‍්‍රම්ප් ආන්ඩුව සැලසුම් කර ඇති දැඩි පිලිවෙත සලකුනු කරමින් මුන්චින් 8දා නිවේදනය කලේ, තෙහෙරානයට ගුවන් යානා අලෙවි කිරීම සඳහා බෝයිං හා එයා බස් සමාගම් වලට දී ඇති බලපත‍්‍ර අවලංගු කරන බවයි. ඉරානය සමග ව්‍යාපාරික කටයුතුවල යෙදෙන ඕනෑම විදේශ සමාගමකට විරුද්ධව සම්බාධක පනවන බවට ද ට‍්‍රම්ප් දිව්රුවේය. ව්‍යාපාර වලට සිය කටයුතු අකුලා ගැනීමට මාස තුනේ සිට හය දක්වා කාලයක් ලැබෙනු ඇත.

සම්බාධක මගින් ඇමරිකානු අධිරාජ්‍යවාදය බලාපොරොත්තු වන්නේ, ඉරානයේ බැලිස්ටික් මිසයිල් වැඩසටහන ද හෙස්බොල්ලා, හමාස් හා අනෙකුත් විදේශ කන්ඩායම් වලට එය දෙන ආධාර ද නතර කිරීම ඇතුලු සිය කොල්ලකාරී අවශ්‍යතාවන්ට ඉරානය යටත්කර ගැනීම පිනිස එයට බල කිරීමටය. මේ මගින් වොෂින්ටනය අරමුනු කරන්නේ, තෙලින් පොහොසත් හා මූලෝපායිකව වැදගත් මැදපෙරදිග සිය අනභියෝගී ආධිපත්‍ය තහවුරු කර ගැනීමට ඇති කලාපීය බාධකය ඉවත් කිරීම ය. ඒ තෙහෙරාන පාලනයයි. මේ න්‍යාය පත‍්‍රයේ ඇති වඩා විශාල බාධාව රුසියාව හා චීනයයි. ඔවුන්ට කලාපය තුල තමන්ගේම ආසක්තයන් ඇත. බලවතුන් අතර ඇති අභිලාෂයන්ගේ ගැටුම සලකුනු කරමින් බීජිනය, වොෂින්ටනය එහි නව සම්බාධක නිවේදනය කල දිනයේම, බටහිර චීනයේ සිට ඉරානය දක්වා නව දුම්රිය මාර්ගයක් ආරම්භ කරන බව නිවේදනය කලේය.

කෙසේ වුව ද ආර්ථික පීඩනයට අතිරේකව තෙහෙරානය සමග යුද්ධයේ සැලසුම් වඩාත් ශක්තිමත්ව ඇත. සිරියාවේ ඉරාන යටිතල පහසුකම් වලට තවත් ප‍්‍රහාර එල්ල කිරීමේ ඊස්රායල් සැලසුම ගැන කල්තියා වොෂින්ටනය දැන සිටින්නට ඇති බවත් එම ආක‍්‍රමනකාරී ක‍්‍රියාවට සිය අනුමැතිය දෙන්නට ඇති බවත් නිසැකය. රට තුල සිටින ඉරාන බලවේග දුර්වලවී ඇමරිකාවට හා එහි ඉස්ලාමීය සහචරයින්ට, තෙල් වලින් පොහොසත් රටේ නැගෙනහිර කොටසේ තම තත්වය ශක්තිමත් කර ගැනීමට ඉඩ සැලසීම ඊට නොදෙවෙනි අරමුනකි.

ඉරාන ගිවිසුම කටුගා දමා සම්බාධක යලි පැනවීමට ට‍්‍රම්ප් ගත් තීරනයෙන් ඉරානයේ ධනපති ජාතිකවාදී තන්ත‍්‍රය අර්බුදයකට ඇද දමා ඇත. ජනාධිපති හසාන් රවුහානි, බටහිර සමග සම්බන්ධකම් වර්ධනය කිරීමටත් රටේ ආර්ථිකය නගාසිටුවීමටත් 2015 ගිවිසුම මහෝපකාරී වන්නේ යයි කයිවාරු ගැසීය. මෙම මූලෝපාය බිඳ වැටීමෙන් පාලක පැලැන්තියේ දැඩි මතධාරීන්ගේ හඬ බලවත් වී ඇත. ඔවුන් නිතරම අනතුරු ඇඟවූයේ, ඇමරිකාව සමග සහයෝගයට එරෙහිවය. ඔවුන් දැන් දිරිමත්ව ඇත. ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා කමේනි, ප‍්‍රන්සය, ජර්මනිය හා බ්‍රිතාන්‍යයට ගිවිසුම බේරා ගැනීම සඳහා ඇති කැපවීම ගැන සැක මතු කලේය. 9දා කල කථාවකදී ඔහු පැවසුවේ, “මේ රටවල් තුන ගැන පවා මට විශ්වාසයක් නැත” යනුවෙනි. “එක්සත් ජනපදය නාමික පාර්ශවයක් ලෙස සිටින්නේ වී නමුත්” ගිවිසුම යටතේ තමන්ට ඇති වගකීම “මුලූමනින්ම ඉටු කිරීමට අපොහොසත් වීම” ගැන යුරෝපීය බලවතුන්ට ඉරාන ආන්ඩුව දොස් පැවරීය.

මෙම දොස් නැගීම් තිබියදීම ඉරාන ධනේශ්වරය, අධිරාජ්‍යවාදය සමග ගිවිසුමක් ගසා ගැනීමට අදිටන් කරගෙන සිටී. ඇමරිකානු සම්බාධක තර්ජන තිබියේවී නමුත් රටට ගුවන් යානා 100ක් විකිනීමට ඇතිකරගත් එකඟත්වය මත කටයුතු කරන මෙන් ටෙහෙරානය එයාබස් සමාගමෙන් ඉල්ලා ඇත. මේ අතර විදේශ ඇමති මොහමඩ් ජවාඩ් සරිෆ් න්‍යෂ්ටික ගිවිසුම රැක ගැනීමේ කොන්දේසි ගැන සාකච්ඡා කිරීමට ලබන සතියේ යුරෝපය බලා යාමට නියමිතය.

ප‍්‍රන්සය හා ජර්මනියේ නායකත්වයෙන් යුත් යුරෝපීය බලවතුන් ගිවිසුම අවලංගු කිරීම ගැන ට‍්‍රම්ප් කෙරෙහි විවේචනාත්මක ආකල්පයක් ගත්තේවී නමුත් ගිවිසුම බේරාගැනීමට නම් තෙහෙරානයෙන් වැඩිමනත් සහන ඉල්ලා සිටිනු ඇත. මක්නිසා ද යත්, තම වොෂින්ටන් සහචරයින් මෙන්ම නිර්දය ලෙසින් ඔවුන් ද ඉරානය තුලත් පුලුල් වශයෙන් මැදපෙරදිගත් ස්වකීය කොල්ලකාරී අධිරාජ්‍යවාදී ආසක්තයන් හඹා යාමට අධිෂ්ඨාන ශීලීව සිටින බැවින්ය.

සිය පුලුල් වන ආර්ථික ආසක්තයන්ට තර්ජනයක් ලෙස දැකගන්නා ඇමරිකානු සම්බාධක නව වටය කෙරේ යුරෝපීය බලවතුන්ගේ ප‍්‍රතිචාරය තියුනුවී ඇත. යුරෝපීය සමාගම් සම්බාධක උල්ලංඝනය කල බවට ද වොෂින්ටනයේ දඩ හා අනෙකුත් දඬුවම් වලට එරෙහිව යුරෝපීය සමාගම් ආරක්ෂා කිරීමේ පියවර යුරෝපීය සංගමය විසින් ගත යුතු බවට ද කෙරෙන ඉල්ලීම් වැඩිවී ඇත.

ඉරානය සමග ව්‍යාපාරික කටයුතුවල යෙදෙන යුරෝපීය සමාගමකට එරෙහිව ඇමරිකාව පනවන කුමන හෝ දඬුවමකට ප‍්‍රතිවිරුද්ධව පියවර ගැනීමට යුරෝපය සූදානම් යයි ප‍්‍රන්සයේ මුදල් ඇමති බෘනො ලේ මේරි 11දා පැවසීය. “යුරෝපය තුල අපි, යුරෝපීය ස්වෛරීත්වය රැක ගැනීමට වැඩ කල යුත්තෙමු.” ඔහු එසේ පැවසුවේ යුරෝපය 1 වැඩසටහනේ හමුවකදීය. “අප, දේශසීමාවන්ගෙන් ඔබ්බෙහි සම්බාධක පිලිගන්නේ ද? පිලිතුර නැත යන්නයි. එක්සත් ජනපදය ලෝකයේ ආර්ථික බාරකාරයා ලෙස අප පිලිගන්නේ ද? පිලිතුර නැත යන්නයි. ආර්ථික කාරනා සම්බන්ධයෙන් පරාධීන යුරෝපයක් අප පිලිගන්නේ ද? පිලිතුර නැත යන්නයි.”

පසුගිය වසරේදී ඉරානයට කෙරෙන ප‍්‍රන්ස අපනයන ඊට පෙර වර්ෂයට වඩා දෙගුනයකින් වැඩි විය. ජර්මානු අපනයන යුරෝ මිලියන 400කින් වැඩි විය.

ඕනෑම ඇමරිකානු සම්බාධකයක බලපෑම කපා හැරීමට ලේ මේරි යෝජනා තුනක් ඉදිරිපත් කලේය. පලමුවැන්න වනු ඇත්තේ, ඇමරිකානු සම්බාධක යුරෝපීය සමාගම් වලට බලපෑම වැලැක්වීමට, යුරෝපීය පරිමානයේ අවහිර කිරීමේ නීතියක් පැනවීමයි. එසේම ඔහු, යුරෝපය ඇමරිකාවෙන් වැඩි “මූල්‍ය ස්වාධීනත්වයක්” ඇතිකර ගත යුතු යයි ද යෝජනා කලේය. එයට, ඉරානය සමග කරන යුරෝපීය වෙලඳාම අධීක්ෂනය කරන සංස්ථාවක් ද විදේශ සමාගම්වල කටයුතු සම්බන්ධව බලය පැවරෙන ඒජන්සියක් පිහිටුවීම ද ඇතුලත්ය.

බටහිර ජර්මනියේ මුන්ස්ටර් නගරයේදී පැවැත්වූ කථාවකදී චාන්සලර් ඇන්ජිලා මර්කෙල් ද ඉරානය පිලිබඳ ඇමරිකානු පිලිවෙත සම්බන්ධයෙන් එවැනිම හඬක් නැගීය. ට‍්‍රම්ප්ගේ තීරනය “ජාත්‍යන්තර පර්යාය පිලිබඳ විශ්වාසය පලුදු කර ඇතැයි” ඇය පැවසුවාය. “දුෂ්කර අවධීන්හිදී ද අප බහුපාර්ශවිකත්වය ශක්තිමත් කිරීමට තීරනය කර ඇත.”

Share this article: