ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහිව ශ්‍රී ලංකාවේ ධීවරයෝ දහස් ගනනක් විරෝධතා දක්වති

Thousands of Sri Lankan fishermen protest over fuel price rises

අපගේ වාර්තාකරුවන් විසිනි, 2018 මැයි 17

වෙරලබඩ තීරයේ ධීවරයෝ දස දහස් ගනනක් 13දා විරෝධතා දැක්වීමට පටන් ගත්තේ, පසු ගිය සති අන්තයේ ආන්ඩුව විසින් නිවේදනය කරන ලද ඉන්ධන මිල ඉහල දැමීමට විරුද්ධවය.

වරායවල හා සිය බෝට්ටුවල කලු කොඩි ඔසවමින් වැඩ නතර කල ධීවරයෝ, සහනාධාර ඉල්ලා උද්ඝෝෂනය කලහ. මෙම සතිය මුල, හලාවත, බේරුවල, ගාල්ල,මාතර හා හම්බන්තොට ඇතුළු මාළු වෙලඳපොලවල් රැසක අළුත් මාළු මිල දී ගත නො හැකි විය.

මැයි 10වැනිදා, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, ඩීසල් හා පෙට්‍රල් ලීටරයක මිල පිලිවෙලින්, සියයට 17 හා 15 බැගින්, රුපියල් 137 හා රුපියල් 109 දක්වා වැඩි කලේ ය. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 101 දක්වා සියයට 130කින් වැඩි කෙරුනි. ට්‍රෝලර් යාත්‍රා හා අනෙකුත් ධීවර බෝට්ටු සඳහා යොදා ගන්නා, ඩීසල් හා භූමිතෙල් මිල ඉහල දැමීම ධීවරයන්ට දැඩිසේ බලපා යි.

ඇපකර නයේ සිව්වැනි වාරිකය නිදහස් කිරීමේ පූර්ව-කොන්දේසි ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරුමුදල, මිල වැඩි කරන ලෙස නියෝග කර තිබුනි.

ධීවරයින්ගේ විරෝධතාව පැතිරෙනු ඇතර යි බියපත්වූ, ධීවර හා ජලජ සම්පත් ඇමති විජිත් විජයමුනි සොයිසා, සහනාධාර ක්‍රමයක් ඇති කිරීමට “පොරොන්දු විය.”

ධීවර වෘත්තීය සමිති සමග බදාදා සාකච්ඡා පැවත් වූ සොයිසා, ඉදිරියේ දෙන සහනාධාර කුඩා බෝට්ටු ධීවරයන්ගේ බැංකු ගිනුම්වලට බැර කිරීමට යෝජනා කලේ ය. වෘත්තීය සමිති මෙය ප්‍රතික්ෂේප කල අතර, මැයි 18වැනිදා ප්‍රශ්නය බේරුම් කිරීමට සොයිසා දුන් පොරෙන්දුවෙන් පසු, ආපසු වැඩට යන ලෙස සමිති නායකයෝ සාමාජිකයින්ට උපදෙස් දුන්හ.

ගම් මට්ටමේ සමිති 27ක සන්ධානයක් වන, හලාවත කාර්මෙල් මාතා ධීවරයින්ගේ සමිතිය, හා මීගමුවේ සමිති 23ක පෙරමුනක් සහිත ධීවර වෘත්තීය සමිති සම්මේලනය සොයිසා සමග සාකච්ඡාවට සම්බන්ධවූ සංවිධාන අතර විය. මීගමුව හා හලාවත ප්‍රධාන ධීවර මධ්‍යස්ථාන දෙකකි.

හලාවත මාලු වෙලඳපොල කිසිවෙක් නැත

ජනතා විමුක්ති පෙරමුනේ පාලනය යටතේ ඇති, සමස්ත ලංකා ධීවරයින්ගේ සංගමය, ධීවර ඇමති සමග වෙන ම සාකච්ඡා කලේ ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව ඉන්ධන මිල ගනන් වැඩි කිරීමෙන් පසු 2012 පෙබරවාරී මාසයේ දී, ධීවරයින්ගේ දැවන්ත විරෝධතා පැනනැඟුනි. පෙලපාලි මර්දනය කිරීමට ආන්ඩුව විශේෂ කාර්ය සාධක බලකාය යෙදවීය. හලාවත දී පොලීසිය, ධීවර තරුනයෙකු වූ ඇන්ටන් වර්නකුලසූරියට වෙඩි තබා මරා දැමූ අතර, බොහෝ දෙනෙකුට තුවාල සිදු කලහ.

ආන්ඩුවේ ඉන්ධන මිල වැඩි කිරීම හෙලා දකිමින් ද තම දුෂ්කර සමාජ තතු පැහැදිලි කරමින් ද ධීවරයෝ මේ සතියේ ලෝසවෙඅ සමග කතා කලහ.

ඇන්තනී (වම්පසිනි) ලෝසවෙඅ වාර්තාකරු සමග කරුනු දක්වයි

හලාවත ඇන්තනී මෙසේ පැවසී ය:“අපි භූමිතෙල්වලට දවසකට රුපියල් 1200ක් වියදම් කිරීමට පුරුදුවෙලා හිටියා. දැන් වැඩි කලාට පස්සේ වියදම රුපියල් 2,800ක් වෙනවා. ඇති තරම් මාලු අල්ලා ගන්නට බැරි වුනොත් අපි කොහොමද පහුවදා මුහුදු යන්නේ? මේක අපරාධයක්. පාර්ලිමේන්තුවේ හා ආන්ඩුවේ මැතිඇමතිලා මිලියන ගනන් වටිනා වාහන ගන්නවා. මහජන මුදල් හොරකම් කරනවා. ඊට පසු ඔවුන් අපට ගහනවා. තෙල් මිල වැඩිවීම හැමෝටම බලපානවා. මෙම පහරවල් වලට විරුද්ධව අපි එක්සත් විය යුතු යි.”

නිහාල්: “මේ කිසිම ආන්ඩුවක වෙනසක් නෑ. මට දැල් අළුත්වැඩියා කරනවාට දවසකට රුපියල් 1000ක් දෙනවා. නමුත් මගේ දිනපතා වියදමවත් පිරිමහගන්ට ඒක මදි.”

මාලු දැල් අලුත්වැඩියා කරන නිහාල්

තවත් ධීවරයෙකු වන ජූඞ්: ආන්ඩුවේ සහනාධාර පොරොන්දු තමන් විශ්වාස නො කරන බව පැවසීය.“මීට ඉස්සෙල්ලා ආන්ඩුව කලෙත් මේ දේමයි, තෙල් සහනාධාරය ගන්න පෝලීමේ අපි ගත කරන කාලය ගත්තම අපිට මුහුදු යන්න වෙලාවක් නෑ.” හැම මැතිවරනයකදීම දේශපාලකයින් ධීවරයන්ට පොරොන්දු වෙලා තියෙනවා, හලාවත ධීවර වරායක් හදාලා දෙනවා කියලා. නමුත් ඒක කවදාවත් උනේ නෑ යි ඔහු පැවසී ය.

තෙල් මිල වැඩිවීම විශාල වසයෙන් තමන්ගේ ආදායමට බලපාන බව හලාවත තොඩුවාව ධීවරයෙක් පැවසී ය. “තෙල් මිලවැඩිවීම නිසා දිනපතා වියදම දෙගුනයකටක් වඩා වැඩි වෙනවා” යි ඔහු පැවසී ය. “කුඩා බෝට්ටුවකට වැඩ කරන්න දවසකට භූමිතෙල් ලීටර් 20ක් වත් ඕනෑ වෙනවා. මාලු අහුවෙන එක ස්ථීර නෑ.තෙල් මිල වගේ ම ධීවර ආම්පන්න වලත් මිල ඉහල ගිහින්.අපි සතියකට දවස් හයක් මුහුදු යනවා. සමහර අවස්ථාවල අපිට ලාභ ලබන්නේ දවස් දෙකක් විතරයි.”

ඔහු ආන්ඩුව මෙන් ම පාලක පන්තියේ අනෙකුත් පක්ෂ ද හෙලා දුටුවේ ය. “මේ ආන්ඩුව බලයට ආවේ ධීවරයන්ටයි අනෙක් දුප්පතුන්ටයි සහන පොරොන්දුවෙලා.නමුත් අවුරුදු තුනක් පහුවුනාට පස්සේ අපේ තත්වය තවත් නරක් වෙලා තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුන කීපසැරයක් පොරොන්දු උනා අපේ පලාතේ ධීවර වරායක් හදන්න.නමුත් මොකුත් උනේ නෑ. පහුගිය මෙැතිවරනයේදී මම මේ ආන්ඩුවෙට ඡන්දය දුන්නා. පලාත් පාලන මැතිවරනයෙදි මම කාටවත් ඡන්දේ දුන්නේ නෑ.”

දින ගනනක් මුහුදේ යාත්‍රා කරන බහුදින බෝට්ටුවක ධීවරයෙක් පැවසුවේ, එක් ගමනකට ඩීසල් ලීටර් 10,000ක් ඕනෑ බවත් ඒ අනුව මාස දෙකක ගමන්වලට රුපියල් මිලියන 2.4ක් අවශ්‍ය වන බවත් පැහදිලි කලේ ය. නව තෙල් මිල වැඩිවීමෙන් සෑම ගමනකම වියදම රුපියල් 90,000කින් වැඩි වන බව ඔහු පැවසී ය. “අපිට එක ගමනකින් රුපියල් මිලියන 5ක් වත් හොයන්න ඕනෑ. බෝට්ටුව අයිතිකාරයා අපි අල්ලන මාලුවලින් භාගයක් ගන්නවා. ඉතිරිය අපි බෙදා ගන්නවා. පසු ගිය වාරයේ මාස දෙකක් වැඩ කරාට මට ලැබුනේ රුපියල් 97,000ක් විතරයි. වියදම වැඩි වෙන කොට අපේ ගාන බහිනවා.”

අම්බලන්ගොඩ හිරේවත්ත වැල්ලේ කුඩා පරිමාන ධීවර කන්ඩායමක්, කම්කරුවන්ට, ගොවීන්ට හා ශිෂ්‍යයින්ට විරුද්ධව ආන්ඩුව එල්ල කරන ප්‍රහාර හොලා දුටුවෝ ය. “ආන්ඩුව අපට සහනයක් දෙන්නේ තැත්නම්, අපි අපේ බෝට්ටුත් එක්ක මහපාරට යනවා. අපි හැමදාම පාන්දර 5 ඉඳන් සවස 3 වෙනකන් මුහුදේ ඉන්නවා. නමුත් අපිට එදිනෙදා වියදමවත් පියවා ගන්න බෑ. මොක ද මිල ගනන් අහස උසට නඟින නිසා. තම අයිතීන් සඳහා සෑම අයෙකුම එක්සත්වී සටන් කල යුතු යි.”

Share this article: