ශ්‍රී ලංකාවේ ආන්ඩුව ගාසාවේ මිලිටරි ඝාතන ගැන දෙපිටකාට්ටු ප්‍රකාශයක් නිකුත් කරයි

ප්‍රදීප් රාමනායක විසිනි, 2018 මැයි 26

ඉකුත් සතියේ සිකුරාදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවාරයකදී එහි ලංකාවේ නිත්‍ය නියෝජිත ඒ. එල්. ඒ . අසීස්, ශ්‍රී ලංකා ආන්ඩුව වෙනුවෙන් ප්‍රකාශයක් කරමින්, “ගාසා තීරුවේ ප්‍රචන්ඩ ක්‍රියා ගැන කනගාටුව” පල කලේය.

එම ප්‍රකාශය සිදුකෙරුනේ ඊස්රායල හමුදා වාඩිලාගෙන සිටින පලස්තීන භූමියේ විරෝධතාවයන්ගේ නියුතුව සිටි නිරායුධ සිවිල් වැසියන් වෙත එම හමුදා විසින් එල්ල ප්‍රාහාරයකින් මෙම මස 14 දා වන විට පිරිමි, ගැහැනු සහ ලමුන් ඇතුලු 60 දෙනෙකු ඝාතනය කොට තවත් 3000 කට අධික පිරිසකට තුවාල සිදුකිරීමට ඉක්බිත්තෙනි. මෙම ප්‍රහාරය ඊස්රායල අගමැති නෙතන්යාහු ගේ ඍජු උසිගැන්වීම පිට කෙරුනකි. ඊස්රායලය පිහිටුවා අවුරුදු 70 සම්පූර්නවූ දින ඇමරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රුම්ප් මෙම ජන ඝාතනයට උඩගෙඩි දී ඊට අනුමැතිය පල කලේය.

මෙම මෘග ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපති, අගමැති හෝ විදේශ ඇමති කිසිදු සෘජු ප්‍රකාශයක් නොකිරීමට ප්‍රවේශම් විය. ආන්ඩුවේ නියෝජිතයා එජා මානව හිමිකම් සැසියේදී කල කනගාටු ප්‍රකාශය තුලද එම ප්‍රහාරයන් හෙලාදැකීමක් හෝ ඊස්රායලය ප්‍රහාරයට වගකිවයුතු බවට සඳහනක් වත් අඩංගු වූයේ නැත.

ඒ වෙනුවට, ප්‍රකාශය තුල කුහක ලෙස කියැවුනේ “පලස්තීනයේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛ සැලකිල්ල හිමිවීම වැදගත් වන බවත් සහ ඔවුන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා විය යුතු බවත්”ය. සිවිල් වැසියන්ගේ ආරක්ෂාව නැතිභංග කරමින් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කලේ කවුරුන්ද යන්න ගැන වචනයක් හෝ එහි සඳහන් නොවී ඇත්තේ අහම්බෙන් නොවේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්ඩුවේ මෙම ප්‍රතිචාරය, එහි පිලිවෙත් එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන්ගේ වැඩපිලිවෙලට අනුගත වීම සමග බැඳී තිබේ. 2015 වසරේදී වත්මන් සිරිසේන වික්‍රමසිංහ ආන්ඩුව පිහිටවනු ලැබුවේ ද එවක බලයේ සිටි මහින්ද රාජපක්ෂ, එක්සත් ජනපදයේ පිටුබලය ලත් තන්ත්‍ර මාරුවකින් බලයෙන් පහ කරමිනි. එතැන් පටන් එක්සත් ජනපදය සහ එහි සහචරයන් කලාපය තුල ගෙන යන අධිරාජ්‍යවාදී යුද මුලෝපායට ලංකාව ගැට ගැසීමට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියා කරයි.

ඊස්රායල් ඝාතනයන්ට එරෙහිව ලොව පුරා මහජන විරෝධය වර්ධනය වනවාත් සමඟ නිකුත් කෙරුනු ලංකාවේ දෙපිටකාටු ප්‍රකාශය දිවයින තුල වෙසෙන මුස්ලිම් ජනයා අතර ආන්ඩුව අප්‍රසාදයට ලක්වීමෙන් බේරීමේ සහ මැදපෙරදිග මුස්ලිම් රාජ්‍යයන් සමඟ පවත්නා ඛනිජ තෙල් ඇතුලු ආර්ථික සබඳතා මත බලපෑම් එල්ල වීම ගැන සැලකිලිමත්වීමේත් ප්‍රතිඵලයක් විනා ප්‍රහාරයට ලක්වූ පලස්තීන ජනයා පිලිබඳ අව්‍යාජ කම්පාවකින් නිකුත් කර ඇති එකක් නොවේ.

“ලොව බල කඳවුරු සමග රූපාත්මකව තදින් බැඳීම හෝ එරෙහි වීම හෝ නොවීම හා තම රටේ සුබ සිද්ධියට අදාලව නිදහස් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම” යන ප්‍රකාශිත අරමුන සහිතව 1961 දී පිහිටුවාගත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරමින් ලංකාවේ පාලක පන්තිය දශක කිහිපයකට පෙර හුවා දැක්වූ, ඊනියා අධිරාජ්‍ය විරෝධය මුලුමනින්ම අතුගෑවී ඇත.

ආන්ඩුවේ ප්‍රකාශය අවසන් කෙරෙන්නේ මැදපෙරදිග කලාපය තුල වැඩෙන ජනසංහාරයන් නතර කිරීම ගැන මහත් වූ මිත්‍යාවකිනි. එහි මෙසේ සඳහන්ය: “අප දකින ආකාරයට, කලාපයේ සියලුම ජනතාවට යලි සාමය උදාවීමට නම්, ව්‍යප්තව ඇති අභියෝග විසඳීමෙහිලා ඇති සාධනීය විකල්පය වනුයේ සංවාදයයි.” එවන් සංවාදවල නිරතවන ලෙස ප්‍රකාශය යාචනා කර ඇත.

සමස්ත මැදපෙරදිග මේසා පරිමාන රුධිරස්නානයක ගිල්වා ඇත්තේ ලෝකයේ වඩාත්ම වැදගත් ඛනිජ තෙල් නිෂ්පාදනය කරන කලාපය වන එහි නිර්බාධිත ආධිපත්‍යය ස්ථාපනය කිරීම සඳහා එක්සත් ජනපදය විසින් ගෙන යන අධිරාජ්‍යවාදී මූලෝපාය විසිනි. එම මූලෝපාය මත පිහිටා එක්සත් ජනපදය කලාපය පුරා විසිපස් වසරක් තිස්සේ ලේවැකි යුද්ධයක නිරතව සිටියි. ප්‍රන්ස, ජර්මානු හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියෝ සිය කොටස සඳහා පොරයට එක්වී සිටියි. සෞදි අරාබිය ඇතුලු එක්සත් ජනපදයේ සහචර කලාපීය බලවත්තු එම ප්‍රචන්ඩත්වයේ හවුල්කරුවෝය.

ආන්ඩුවේ ප්‍රකාශය තුල ආන්ඩුව විසින් සාර්ථක වෙතැයි කියන, “ඊස්රායලය සමගම ස්වාධීන පලස්තීන රාජ්‍යයක්ද පවත්වාගෙන යාම” ලෙස අර්ථදැක්වෙන ද්විරාජ්‍ය විසඳුමක් ගැන සාකච්ඡාව අමු මිත්‍යාවකි. 1974 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යෝජනා කෙරුනු මෙම විසඳුම ව්‍යාජ ලෙස පෙරට දමන දේශපාලන කල්පිතයකට වැඩි යමක් නොවන බව ගතවූ කාලය තුල සනාථ වී ඇත්තේ ඇමරිකානු පිටුබලයෙන් ඊස්රායලය එල්ල කරන ලේ වැකි ප්‍රහාරයන්ගෙනි.

මැදපෙරදිග තුල එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන් මුදාහැර ඇති සාහසිකත්වයට සහ කොල්ලකාරීත්වයට එරෙහිව වාර්ගික සහ ආගමික බෙදා වෙන්කිරීම් කපාගෙන කලාපයේ මහජනයා බලමුලුගැන්වීමේ ශක්‍යතාවය පවතින්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියටයි. එහි එල්ලය විය යුත්තේ ඊස්රායලය ද ඇතුලු කලාපය පුරා රටවල කම්කරුවන් ගෝලීය කම්කරු පන්තිය සමග එකමුතුව ගොඩනගා ගෙන මැදපෙරදිග සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා සටන් කිරීමයි.

Share this article: