ට්‍රම්ප්ගේ “නව ලෝක පර්යාය” පිලිබඳ හඬවල් දෙකක කනස්සල්ල

Two voices of concern over Trump’s “New World Order”

නික් බීම්ස් විසිනි, 2018 මැයි 15

ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ ප්‍රමුඛ ලේඛකයින් දෙදෙනෙක්, ට්‍රම්ප් පාලනයේ ගෝලීය දේශපාලන හා ආර්ථික පර්යාය වන “පලමුව ඇමරිකාව” යන න්‍යායපත්‍රයේ දුරදිග යන හා තමන්ට කනස්සල්ල දනවන ඇඟවුම් පෙන්වාදී ඇත.

පුවත්පතේ ප්‍රධාන විදෙස් කටයුතු විචාරකයා වන ගිඩියොන් රැක්මන්, ප්‍රධාන යුරෝපීය බලවතුන් ද සමඟ ඒකාබද්ධව ඇතිකර ගත් ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් වොෂින්ටනය ඒකපාර්ශවිකව ඉවත්වීමේ භූදේශපාලනික ඇඟවුම් විමසා බලන, ට්‍රම්ප්ගේ “නව ලෝක පර්යාය” පිලිබඳව ලිපියක් ලියා ඇත.

මේ මාසය මුල බීජිනයේ පැවති සාකච්ඡා වලදී, ඉහල පෙලේ ආර්ථික නියෝජිත කන්ඩාමක් විසින් වෙලඳාම පිලිබඳව චීනයට පනවන ලද, ඇමරිකාවේ අවසන් නිවේදනය පිලිබඳ ප්‍රශ්නය, ආර්ථික ලියුම්කරු මාටින් වුල්ෆ්ගේ විමසීමට ලක්වේ.

ලෝක ධනපති ක්‍රමයේ ස්ථාවරත්වය කෙරෙහි ඇමරිකානු ආර්ථික හා විදෙස් පිලිවෙත් න්‍යායපත්‍රයෙන් ඇතිකරන ප්‍රතිවිපාක ගැන පාලක කවයන් අතර වැඩෙන බිය පිලිබඳව, ලිපි දෙකෙන්ම යමෙකුට අදහසක් ගත හැකිය.

රැක්මන් සිය ලිපිය පටන් ගන්නේ, ඉරාකය හා ඉරානය යන දෙරටටම ඇමරිකාවේ මූලිකත්වයෙන් එල්ල කරන ප්‍රහාරයක් පිලිබඳව එවක මහත් ඝෝෂවක් කල, නවකොන්සවේටිව්වාදී උපදේශකයන්ගෙන් එක් අයෙකු වූ, අලුතෙන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස පත්කර ඇති ජොන් බොල්ටන් විසින් වසර 2000දී කල කථාවක සඳහන් කොටසක් වෙත අවධානය යොමු කරමිනි.

“මම අද (එක්සත් ජාතීන්ගේ) ආරක්ෂක මන්ඩලය යලි පිහිටුවන්නේ නම්, මා ඊට ඇතුලු කරන්නේ එක් ස්ථාවර නියෝජිතයෙක් පමනි, මක්නිසා ද යත්, ලෝකයේ බලය බෙදාහැරීම පිලිබඳ යථාර්තවත් පිලිබිඹුව එය බැවිනි,” බෝල්ටන් පැවසීය.

ජාතික ආරක්ෂක ප්‍රධානියා යුද්ධයට තල්ලුව දෙමින් සිටින බව ඇඟවුම් කරමින් රැක්මන්, 2015දී බෝල්ටන් ඉරානය පිලිබඳව ලිවූ ලිපියක් ගැන ද සඳහන් කරයි. එය තුල බොල්ටන් තර්ක කරන්නේ “අවශ්‍ය දේ ඉටුකරගත හැක්කේ මිලිටරි බලයෙන් පමනි”, යනුවෙනි.

“ප්‍රන්සය, ජර්මනිය හා බ්‍රිතාන්‍ය විසින් කරන ලද පුද්ගලික බලපෑම් ද” නොතකා ඉරාන ගිවිසුමෙන් ඉවත් වීමට ට්‍රම්ප් ගත් තීරනය, එරට ආන්ඩුවේ “ආක්‍රමනික ඒකපාර්ශවිකත්වය” පිලිබඳ අතිශයින්ම බැරෑරුම් හා අලුත්ම නිදසුන බව පුවත්පතේ විචාරකයා ලියා ඇත. එයට පෙර ඇමරිකාව, පැරිස් දේශගුනික විපර්යාස පිලිබඳ ගිවිසුමෙන් ඉවත්වූ අතර, චීනයට පමනක් නොව, “ජපානය, කැනඩාව හා යුරෝපා සංඟමය වැනි තම ප්‍රධාන මිතුරන්ට ද” විරුද්ධව “පැද්දෙන තීරුබදු” පැනවීම මඟින්, “ගෝලීය වානිජ්‍ය ක්‍රමයට ප්‍රහාර එල්ල කලේය.”

“යුරෝපයට සැබෑ කෝපය” බවට පත්ව ඇති දේ පෙන්නුම් කරමින් රැක්මන්, ඇමරිකාවේ සම්බාධක වලට බැඳීම හුදෙක් ප්‍රතික්ෂේප කරමින්, ඉරාන ගිවිසුම තමන්ට අඛන්ඩව පවත්වා ගත හැකි ද යන්න පිලිබඳව යුරෝපීයන් බොහෝ සාකච්ඡා පවත්වා තිබෙන බව සඳහන් කරයි. එහෙත් එය, “ඇමරිකානු තනි මතයේ හදවතටම ගමන් කිරීමේ හේතු නිසා බෙහෙවින් දුෂ්කර” බව සනාථ කරනු ඇත. මෙම කාරනා මාධ්‍යගත වන්නේ ඇමරිකානු වෙලඳපොලට පිවිසීම කෙරෙහි පමනක් නොව, ලෝකයේ සංචිත අරමුදල ලෙස ඩොලරයේ ක්‍රියාකාරිත්වය මත ද ය.

“ඉරානයේ ව්‍යාපාරික කටයුතු වල යෙදී සිටින ජර්මානු සමාගම්, සිය කටයුතු වහාම අකුලා ගත යුතු” යයි කියා සිටි, අලුතෙන් පත් කල ජර්මනියේ ඇමරිකානු තානාපති රචඩ් ග්‍රෙනෙල්ගේ ට්විටර් ප්‍රකාශ ගැන සඳහන් කරමින් රැක්මන් ලියා ඇත්තේ, “ආන්තික වශයෙන්” ඉරානයේ ව්‍යාපාරික කටයුතුවල යෙදෙන යුරෝපීය විධායකයින් ඇමරිකාවට ගියහොත් අත්අඬංඟුවට පත්විය හැකි බවත්, ඉරානය තුල කටයුතු කරන යුරෝපීය බැංකු, ඇමරිකානු මූල්‍ය ක්‍රමයෙන් කපා හරිනු නැත්නම් දැවැන්ත දඩ මුදල් ගෙවීමට ඒවාට සිදුවිය හැකි බවත්ය.

මේ සියල්ල පෙන්නුම් කරන්නේ ලෝකයේ සංචිත මුදල ලෙස ඩොලරයේ භූමිකාවයි. “ඇමරිකාවේ මිලිටරි ශක්තිය මෙන්ම, සිය එදිරිවාදීන් පමනක් නොව, සිය මිතුරන් ද දඬු ගැසීමට එක්සත් ජනපදයට හැකියාව ලබාදී ඇත්තේ ඩොලරයයි.”

මෙම නිරීක්ෂනය, මාක්ස්වාදී ව්‍යාපාරය විසින් කරන ලද විශ්ලේෂනය සනාථ කරයි. ප්‍රථම ලෝක සංග්‍රාමය අවධියේ අධිරාජ්‍යවාදය ගැන ලියමින් ලෙනින්, අධිරාජ්‍යවාදයේ සාරය වන්නේ, මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යය බවත්, එය ඔවුන්ගේ දේශපාලන පැහැය කුමක් වුවත් ලොව පුරා සිටින ධනපති ආන්ඩු වලට ප්‍රතිපත්ති නියම කරයි. ඔහු පෙන්වාදුන් එම ප්‍රවනතාව, අද වන විට දැවැන්ත මට්ටමකින් වර්ධනය වී ඇත.

රැක්මන් පෙන්වා දෙන මූල්‍යයේ මෙම ආධිපත්‍යය, චීනය අධිරාජ්‍යවාදී බලවතෙක් ලෙස හංවඩු ගසමින්, ඇමරිකානු අධිරාජ්‍යවාදයට සහාය දීමේදී විවිධ ව්‍යාජ වාම කන්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද න්‍යායන්ගේ ආර්ථික තකතිරුකම හෙලිදරව් කරයි. රෙන්මිම්බි මුදලට ලෝක මුදලක් ලෙස ඩොලරයට අදේශක වෙමින් ක්‍රියාත්මක වීමේ හැකියාවක් නැති බවත්, චීන මූල්‍ය පද්ධතිය මුලුමනින්ම ඇමරිකානු මූල්‍ය ප්‍රාග්ධනය මත රැඳී ඇති බවත් මෙයින් පැහැදිලි කෙරුනි.

රැක්මන්ගේ නිරීක්ෂන, 1928දී ට්‍රොට්ස්කි, විසින් කරන ලද බෙහෙවින් දුරදක්නා නිරීක්ෂන කෙරෙහි අවධානය යොමු කරවයි. පූර්න බලය සහිත ඇමරිකාවේ අධිකාරය වඩාත් රුදුරු ලෙස අත් විඳීමට ලැබෙන්නේ, එය නැඟී එන අවධියේදී නොව, දැන් එය ඇතුලුවී ඇතුවාක් වැනි, ආර්ථික පරිහානියේ අවධියකදී යයි ට්‍රොට්ස්කි ලිවීය. ඔහු ලියන අවධියේ ඇමරිකාව නැඟී එමින් පැවති බලයකි.

රුසියාව හා චීනය යන දෙරටම ඇමරිකාව මඟහැර යා හැකි විකල්ප ජාත්‍යන්තර ගෙවීම් ක්‍රමයක් ගැන සාකච්ඡා කර තිබේ යයි රැක්මන් ලියයි. “යුරෝවේ ජාත්‍යන්තර භූමිකාව නඟා සිටුවීමේ අවස්ථාවක් සැලසෙන්නේ නම්”, යුරෝපියානුන් ද මේ ව්‍යායාමයට එක්වීමට කැමතිවනු ඇත. එහෙත්, තනිකරම ආර්ථික සීරුමාරු කිරීම් තුලින්, ගෝලීය මූල්‍ය ක්‍රමයේ එවන් පද්ධතිමය මාරුවක් ඇතිකරගත හැකියයි සිතීම, වත්මන් යථාර්තය සඳහා ඉතිහාසයේ පාඩම් මුලුමනින්ම නොතකා හැරීමක් වේ. මක්නිසා ද යත්, ලෙනින් නිරීක්ෂනය කල පරිදි, ශක්තිය උරගා බැලීමකින් තොරව, ප්‍රධාන ධනපති බලවතුන් අතර සම්බන්ධතාවේ අති මූලික මාරුවක් සිද කල නොහැකිය. ශක්තිය උරගා බැලීම සිදුවනු ඇත්තේ යුද්ධය තුලිනි.

ඇමරිකාව, දකුනු චීන මුහුදු කලාපයේ හා ක්‍රිමියාව සම්බන්ධ ප්‍රශ්නයේදී, චීනයට හා රුසියාවට විරුද්ධ තමන්ගේ කටයුතු වලට සහාය ගොනුකර ගැනීමේදී ජාත්‍යන්තර නීතියට ආයාචනය කිරීමේ ව්‍යායාමයක යෙදී ඇත. “එහෙත්, නීතිමය පදනමක් ඇති පර්යායක් ක්‍රියාත්මක වීමට නම්, නිදසුනක් ලෙස ලෝක වෙලඳ සංවිධානයේ අහිතකර තීන්දු හෝ තමන්ට නොගැලපෙන ඉරාන න්‍යෂ්ටික ගිවිසුමේ කොන්දේසි, පිලිගැනීම මඟින් නීති වලින් ඇතිකරන බාධක වලට ගරු කිරීමට එක්සත් ජනපදය කැමති විය යුතුය.”

යලි වතාවක් මෙහිදී, වත්මන් තත්වයට, සැබෑ ඓතිහාසික අත්දැකීම් හා ඒවායේ අදාලත්වය නැඟී එයි. ඇමරිකානු අධිරාජ්‍යවාදය, නියාමනයේ බහුපාර්ශවීය පද්ධතියක ගොදුරක් වීමට කිසිවිටෙකත් කැමති නොවනු ඇත.

ඇමරිකානු ආර්ථික අත්තිවාරමෙහි අධිකාරය එය පිහිටුවා ගත්තේ, බ්‍රිතාන්‍ය නියෝජිත ජෝන් මේනාඩ් කේන්ස් විසින් ගෙනආ යෝජනාවක් දැඩි සේ ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, 1944 බ්‍රෙට්න්වුඩ්ස් ගිවිසුම යටතේය. පිරිහෙමින් පැවති බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා වෙනුවෙන් සටන් කරමින් ඔහු, බැන්කෝ නමින් ජාත්‍යන්තර මුදලක් පිහිටුවා ගෙන, ඇමරිකාව මෙන්ම අනෙකුත් බලවතුන් ද ජාත්‍යන්තර මූල්‍ය විනයකට යටත් කිරීමට උත්සාහ කලේය. ඇමරිකාව එයට කිසිදු එකඟතාවක් පල කලේ නැත.

සිය ආර්ථික අධිකාරය පවත්වාගෙන යන අතර පශ්චාත් යුද්ධ ධනේශ්වර උත්පාතය අවධියේ ඇමරිකාව, අනෙකුත් ප්‍රධාන ධනේශ්වර බලවතුන්ට යම් සහන පිරිනැමීය. සැබවින්ම ඇමරිකානු ධනවාදයේ ස්ථාවරත්වයමත් රඳාපැවතුනේ, එම රටවල වර්ධයත්, ලෝක වෙලඳපොලේ පසුකාලීන ප්‍රසාරනයත් මතය.

එහෙත් එම සහන සැම විටම සීමිත වූ අතර, අර්බුදයේ අවධියකදී ඇමරිකාව නිරන්තරයෙන් අවධාරනය කරන්නේ සිය අධිකාරයයි. මේ සඳහා යමෙකුට අවශ්‍ය වන්නේ, ජනාධිපති නික්සන් රත්රන් සඳහා ඇමරිකානු ඩොලරයේ පිටුබලය අවලංඟු කල අවස්ථාවේ 1971දී, ඇමරිකානු භාන්ඩාගාර ලේකම් ජෝන් කොනලි කල ප්‍රකාශය සිහියට නඟා ගැනීම පමනි. “ඩොලරය අපේ මුදලයි”, එහෙත් එය “ඔබගේ ගැටලුවයි” ඔහු පැවසීය.

එතැන් පටන් ගතවූ කාලය තුල ඇමරිකානු ආර්ථික පරිහානිය අඛන්ඩව ක්‍රියාත්මක විය. එහිදී නීත්‍යානුකූල පර්යාය ඔවුන්ට අනුව ධාර්මික බලාපොරොත්තුවක් බවට පිරිහෙලන ලදී. ජාත්‍යන්තර වෙලඳ සංවිධානය පිහිටුවීමේලා ඇමරිකාව මුල් තැනක් ගෙන කටයුතු කල ද ට්‍රම්ප් ආන්ඩුව හා ඇමරිකානු පාලක පන්තියේ බලගතු කොටසක්, ඇමරිකාව ආර්ථික වශයෙන් දුබල කර චීනයේ නැඟීමට එහි වෙලඳ ප්‍රතිපත්ති වගකිව යුතුව ඇතැයි සලකති.

රැක්මන් නිගමනය කරන්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඒකපාර්ශවිකත්වය යම් කාලයකට ක්‍රියාත්මක වනු ඇති බවටත්, එය, යුරෝපයේ, ආසියාවේ හා මැද පෙරදිග ඒකපාර්ශවීය කටයුතු තුලින් ඇමරිකාවේ හයිය උරගා බැලීමට සිය එදිරිවාදීන්ට කෙරෙන ආරාධනයක් වනු ඇති බවටත් ය.

රැක්මන් තම ප්‍රකාශයන්හි ඇඟවුම් සැලකිල්ලට ගන්නේ නැත. එහෙත් ඒවා පෙන්නුම් කරන්නේ, තුන්වන ලෝක යුද්ධයක වැඩෙන අන්තරායන්ය. ඒ 20 වන සියවසේ ලෝක යුද්ධ දෙකක් බිහි කල එම ආර්ථික හා භූදේශපාලනික එදිරිවාදිකම් වලින්ම තල්ලු වෙමිනි.

සිය ලිපියෙන් මාටින් වුල්ෆ් මේ මාසය මුල බීජිංහිදී චීනයට නිකුත් කල අවසන් නිවේදන වෙත අවධානය යොමුකරමින් පවසන්නේ, චීනයට එම කිසිදු ඉල්ලීමකට අවනත විය නොහැකි බවයි. චීනය ඇමරිකාව සමඟ කරන වෙලඳාමෙන් ලබන වෙලඳ අතිරික්තය දෙවසරක් තුල ඩොලර් බිලියන 200න් අඩු කල යුතුය යන ඉල්ලීම “අභූතයකි” යනුවෙන් ඔහු සඳහන් කරයි.

ඇමරිකානු “කෙටුම්පතේ සැකිල්ලෙහි” කොටස් ඔහු උපුටා දක්වයි. එයින් කියැවෙන්නේ, චීනය ඇමරිකාවේ තාක්ෂනය ඉලක්ක කිරීම නතර කල යුතු බවත්, ඇමරිකාවේ අපනයන සීමාවන් පිලිබඳ සියලු නීති වලට ගරු කල යුතු බවත්, “වෙලඳපොල සහන සැලසීමේ විකෘති” සියල්ල අත්හිටුවිය යුතු බවත්ය. “චීනය සිය තාක්ෂනය වැඩිදියුනු කිරීමෙන් වැලැක්වීම පිලිබඳ ඇමරිකානු අදහස ඔහු කවර කලෙකවත් නොපිලිගන්නා බව” ඔහු පවසයි.

“අවසාන වශයෙන් චීනයට, ප්‍රති ප්‍රහාර දීමෙන් හෝ ලෝවෙසං තුලින් සාධාරනය ඉටුකර ගැනීමේ අයිතීන් අහිමි කරන අතර තමන් නඩුකාරයා ද ජූරිය ද අලුගෝසුවා ද වන්නේය යන, එක්සත් ජනපදය දරන අදහස, පිස්සුවකි. එවන් අඩන්තේට්ටමක් කිසිදු ස්වෛරී මහ බලවතෙකුට පිලිගත නොහැකිය. චීනය සම්බන්ධයෙන් ගත් කල එරට, 19 වන සියවසේ ‘අසමාන ගිවිසුම්වල‘ නූතන සංස්කරනය වන්නේය.”

එහෙත් ඇමරිකාවේ අරමුන වන්නේ හරියටම එයයි. චීනය යලි වතාවක් අර්ධ වැඩවසම් තත්වයට ඇද හෙලීමය.

වුල්ෆ් ඇමරිකාවේ කටයුතු හෙලා දකින්නේ වොෂින්ටනය “ලජ්ජා විය යුතු” බවත්, එහි ඉල්ලීම් “පිස්සු” බවත්, “වැරදි” බවත් කියමිනි. ඒ ඇමරිකාව චීනයට අඩන්තේට්ටම් කිරීම නිසා පමනක් නොවේ. ඒ “එක විටම එරට, සිය විභව මිතුරන්ට එරෙහිව යුද්ධයක් ඇවිලවීමේ” යෙදී සිටින බැවිනි.

පිස්සුවක් ලෙස ඔහු හෙලාදකින්නාවූ දේ යටින් පවතින ගාමක බලවේගයන් ගැන වුල්ෆ් නිතරම කරන්නා ලෙස, කිසිදු සොයා බැලීමක් නොකරයි. එනම් ධනේශ්වර නිෂ්පාදන විධියේ යටින් දිවෙන ප්‍රතිවිරෝධයන් ගැනය. ඒ වෙනුවට ඔහු යෝජනා කරන්නේ, යම් පසුගිය අවධියක සිටි හොඳ ඉංග්‍රීසි පාසැල් සිසුන් මෙන්, නීතියට එකඟව කටයුතු කල යුතුය කියාය.

“සියල්ලන්ටම ගැලපෙන මඟ වන්නේ, සාකච්ඡා පටු ද්විපාක්ෂික නොව, බහු පාර්ශවික මාවත බව” ඔහු ලියයි.

චීනය ද්විපාක්ෂික වෙලඳාමේදී නීතියට අනුකූල මූලධර්ම අනුගමනය කල යුතු අතර, “වත්මන් ආන්ඩුවට වඩා ජාතික අවශ්‍යතා ගැන වඩා උත්සුක වන ඇමරිකානුවන්, එක්සත් ජනපදය ගැටුම්කාරී මාවත තෝරාගන්නේ නම්, තනිවන බව වටහාගත යුතුය.”

මෙය පදනම් වන්නේ අති මූලිකවම සාවද්‍ය අගැයීමක් මතය. එනම් සියල්ලටත් වඩා ඇමරිකාවේ වෙලඳාම සම්බන්ධ යුදවාදී මාවත් හුදෙක් ට්‍රම්ප් පාලනයේ නිමැවුවක් බවය. සැබවින්ම ට්‍රම්ප් ආන්ඩුවේ ප්‍රතිපත්ති, ඔබාමා යටතේ ගනු ලැබූ පියවරයන්හිම ගැඹුරු වන දිගුවකි. මේවායින් උත්සාහ කලේ, ඇමරිකාවේ දිගු කාලීන පරිහානිය වලක්වනු ඇති ගෝලීය ආර්ථික සම්බන්ධතාවන්හි ජාලයක හරි මැද ඇමරිකාව තැබීමට සැලසුම් කෙරුනු නව වෙලඳ පිලිවෙත් පිහිටුවා ගැනීමටය. එය, චීනය මෙන්ම යුරෝපය ද ඇතුලත් නොවන, ආසියා පැසිෆික් කලාපය ආවරනය කෙරේ.

වුල්ෆ් පෙන්නුම් කරන පිස්සුව, වත්මනදී ධවල මන්ඳිරය අරක්ගෙන සිටින අයගේ මනසින් පහලවූ දෙයක් නොවේ, ඒවා, ධනපති නිෂ්පාදන විධියේම අතාර්කිකත්වයෙන් උපුටා ගනු ලබන අතර, නොවැලැක්විය හැකි පරිදිම ඒවා යොමුව ඇත්තේ, අවසාන උමතුව වන තවත් ලෝක යුද්ධයක් හට ගැනීමේ දිශාවටය.

ආර්ථික තාර්කිකත්වය, ධනපති ලාභ පද්ධතියේ සැකිල්ල තුල පැවතිය නොහැකිය. මක්නිසා ද යත්, එහි හරි මැද පිහිටා ඇති පෞද්ගලික දේපොල අයිතිය හා සමාජීයවූ නිෂ්පාදනය අත්පත් කර ගැනීම, යන පරස්පර විරෝධය නිසාය. එම ප්‍රතිවිරෝධය එහි අතිශයින්ම තියුනු ප්‍රකාශනය අත්කර ගන්නේ, ලෝක වෙලඳපොලේ ආධිපත්‍යය සඳහා ධනපති බලවතුන් අතර අරගලයෙනි. ලෝකයේ සම්පත්, සියල්ලටත් වඩා බිලියන ගනන් ශ්‍රමිකයින් විසින් නිර්මානය කරනු ලබන ධනය, තර්කානුකූල ආකාරයකින් සංවිධානය කිරීම පිනිස, වඩාත් ඉහල ආර්ථික පර්යායක් වර්ධනය කිරීම අවශ්‍යය. එනම් ජාත්‍යන්තර සමාජවාදයයි.

Share this article: