“විශ්වවිද්‍යාල තුල අවසරයකින් තොරව දේශපාලනය බෑ” කොලඹ සරසවි පරිපාලනය කියයි

සකුන ජයවර්ධන විසිනි, 2018 මැයි 09

පසුගිය දා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයේ සාමාජිකයන් කන්ඩායමක් කොලඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් අතර උද්ඝෝෂනයක නියැලී සිටිය දී එතනට පැමිනි විනය පාලක නිලධාරීන් දෙදෙනෙක් “විශ්වවිද්‍යාල ඇතුලේ දේශපාලනය කරන්න බෑ” යයි පවසා සරසවි භූමියෙන් ඉවත් වන ඔවුන්ට ලෙස අන කලේ ය. සසජාතශි කන්ඩායම යෙදී සිටියේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මැයි දින රැලියට සිසුන් කැඳවා ගැනීම සඳහා උද්ඝෝෂනයක ය.

අප්‍රේල් 25 දා සිසුන් සමග එලෙස සාකච්ඡාවේ නිරතවී සිටි සසජාතශි සාමාජිකයන් සිය කාර්යාලය වෙත කැඳවා ගෙන ගිය විනය පාලකයන් ශිෂ්‍යයන්ගේ දේශපාලන හා අවශේෂ ක්‍රියාකාරකම් අහුරාලීම සඳහා දමා ඇති රෙගුලාසි ගනනාවක් සඳහන් කලේ ය.

x “පාලනාධිකාරයේ අවසරයකින් තොරව පරිශ‍්‍රය තුල අත් පත්‍රිකා බෙදා හැරීම නීති විරෝධීයි,” එක් නිලධාරියෙක් සඳහන් කලේ ය.

x විශ්වවිද්‍යාල තුල තම දේශපාලන කටයුතුවල නියැලීමේ ප‍්‍රජාතන්ත්‍රීය අයිතිය සඳහා සසජාතශි සාමාජිකයන් පෙනී සිටි විට “පිටස්තර පුද්ගලයින්ට අවසරයකින් තොරව විශ්ව විශ්වවිද්‍යාල තුල දේශපාලනය කරන්න බෑ” යයි එම නිලධාරියා ප‍්‍රකාශ කලේ ය.

x සසජාතශි සාමාජිකයෙක් තමන් කොලඹ සරසවියේ සිසුවකු බව පැවසූවිට “අභ්‍යන්තර ශිෂ්‍යයෙක් වූවත් අත් පත්‍රිකා බෙදීමට නම් ලිඛිත ලියවිල්ලක් හරහා විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිගෙන් අවසර ගත යුතුයි” ඔහු කීවේය.

x මෙම වාරන සමස්ත ශිෂ්‍යයන්ගේම ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්වලට එරෙහි ප‍්‍රහාරයක් බව පැවසූ විට විනය පාලකයෙක් තර්ජනය කලේ “පොලීසියට භාර දෙන්න වුනත් අපට පුලුවන්” යයි පවසමිනි.

මෙම තහංචි එල්ල වූයේ සසජාතශි සාමාජිකයන්ට වුවත් ඒවා සමස්ත විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාවටම ආන්ඩුව හා සරසවි පාලකයන් පනවා ඇති ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දඬුගසන රෙගුලාසි මාලාවකි. මීට අමතරව තවත් උප නීති පද්ධතියක් ද ශිෂ්‍යයන් හිරකර තැබීම සඳහා පනවා ඇත. සිසුන්ට සංගමයක් පිහිටුවා ගැනීමට නම් පාලකයන්ගේ අවසරය අවශ්‍ය ය. එවන් සංගමයක් පිහිටුවූ විට එහි කටයුතු පාලනය කිරීමේ බලය ද පාලකයන් සතුකර ගෙන තිබේ.

සසජාතශි සාමාජිකයන්ගේ උද්ඝෝෂනය ආයතනයේ කලක් පැවති රෙගුලාසි පෙන්වා නතර කිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ආන්ඩුව හා විශ්ව විද්‍යාල පාලකයන් ඒවා අකුරටම ක්‍රියාවට දමමින් සිසුන්ගේ හා සිසුන් අතර දේශපාලන ක්‍රියාකාරකම් වලට එරෙහිව අලුත් වටයකින් කඩා පැනීමට තීන්දු කර ඇති බවයි.

කොලඹ විශ්වවිද්‍යාල විනය පාලකයන් සසජාතශි කන්ඩායමට එරෙහිව මැදිහත්වීම අහඹු සිද්ධියක් නොවේ. සසජාතශි යෙදී සිටින්නේ සමාජවාදී ක්‍රියාමාර්ගය මත සිසුන් බලමුලු ගැන්වීමට බව දන්නා ඔවුන් මැදිහත්වී ඇත්තේ එය නතර කිරීමටයි.

සෑම විශ්වවිද්‍යාලයකම පරිපාලනයේ මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බාධා කිරීම් ඉස්මත්තට ගෙන ඇත්තේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ජාතික ආන්ඩුවේ අධ්‍යාපන පෞද්ගලීකරනයට සහ නිදහස් අධ්‍යාපන කප්පාදුවට එරෙහිව ශිෂ්‍යයන්ගේ විරෝධතා උත්සන්න වී ඇති තත්වයක දී ය. පසුගිය දිනවල පැන නැගි අධ්‍යාපන පෞද්ගලීකරනයට එරෙහි ශිෂ්‍ය විරෝධතා ආන්ඩුව රුදුරු ලෙස මැඩලූ අතර ඇතැම් ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගත්තේ බුද්ධි අංශවල ද සහයෝගයෙනි.

නිදහස් අධ්‍යාපන කප්පාදුව වේගවත් කරන ධනපති ආන්ඩු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට හා ආචාර්යවරුන් හට තමන් කැමති දේශපාලන, සංස්කෘතික හා ජාත්‍යන්තර වැදගත් සංසිද්ධීන් පිලිබඳව සාකච්ඡාවක් ගෙන යෑමට හා තමන්ගේ මත ප‍්‍රචාරය සඳහා සංවිධානය වීම අහුරා තිබේ. විශ්වවිද්‍යාල තුල විකල්ප මත දරන දේශපාලන රැස්වීමක් සංවිධානය කිරීම, ශිෂ්‍ය සංගම් පිහිටුවීම වැනි මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් වලක්වා ඇති පරිපාලනය එවන් ක්‍රියා සඳහා මූලිකත්වය ගන්නා සිසුන් දඩයමට ද ලක් කරයි.

ලංකාවේ සීමිත නිදහස් අධ්‍යාපන අයිතිය කම්කරු පන්තියේ අතීත අරගලවල ජයග‍්‍රහනයකි. 1950 ගනන් සහ 1960 ගනන් වල විශ්වවිද්‍යාල තුල මාක්ස්වාදය හා එහි අඛන්ඩතාවය නියෝජනය කරන ට්‍රොට්ස්කිවාදය ඇතුලු කම්කරු පන්තියේ විප්ලවවාදී දේශපාලනය ගැනත් ජාත්‍යන්තර ආර්ථික, දේශපාලන, සමාජ හා සංස්කෘතික ප‍්‍රශ්න ගැනත් සාකච්ඡා සඳහා නිදහසක් පැවතුනි. වාද විවාද බුද්ධිමය වර්ධනයේ කොටසක් ලෙස සැලකුනි. සීමිතව වුවත් ශාස්ත්‍රීය නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් ලෙස පිලිගැනුනි.

විශේෂයෙන්, අධ්‍යාපනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලික අයිතියක් ලෙස සැලකීම අවලංගු කොට එය ලාභ ඉපයීමේ වෙලඳ භාන්ඩයක් බවට පත්කරමින් රාජ්‍ය අධ්‍යාපනය පුද්ගලීකරනය ඇරඹීමත් සමග ඊට එරෙහි කම්කරුවන්ගේ හා සිසුන්ගේ විරුද්ධත්වය මැඩීම අනුප‍්‍රාප්තික ආන්ඩු විසින් උත්සන්න කෙරී ඇත.

2010 දී යලි බලාත්මක කල “1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත” ශිෂ්‍ය අයිතීන් හා ශිෂ්‍ය ක්‍රියාකාරීන් දඩයම් කිරීම සඳහා ආන්ඩු යොදා ගනිමින් සිටී.

ඉහත පනත මගින් ලිංගික අතවර සිදු කිරීම, තුවාල කිරීම හා තර්ජනය කිරීම් වැරදි ලෙස නම් කර තිබීමට අමතරව එහි සඳහන් අනෙකුත් වැරදි ලෙස “අධ්‍යාපන ආයතනයක යම් ශිෂ්‍යයෙකුට හෝ කාර්ය මන්ඩල සාමාජිකයෙකුට හෝ නීතියට පටහැනි අයුරින් අවහිර කිරීමක්” හා “අධ්‍යාපන ආයතනයක පරිපාලනයට යටත්ව පවතින යම් පරිශ‍්‍රයක බලහත්කාරයෙන් පදිංචි වීම” යන ක්‍රියා නම් කර ඇත. මෙම වගන්ති විශ්වවිද්‍යාල පරිපාලනය විසින් ශිෂ්‍යයන්ගේ පිකට් කිරීම්, වාඩිලා ගැනීම්, පෙලපාලි, දේශපාලන රැස්වීම් හා අත් පත්‍රිකා බෙදා හැරීම් වැනි ක්‍රියා තහනම් කිරීමට යොදා ගෙන ඇත.

ආන්ඩුව දැන් සම්මත කර ගැනීමට යන කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත යටතේ අධ්‍යාපන පෞද්ගලීකරනයේ වේගවත් කිරීමටත් අධ්‍යාපනය තුලට මිලිටරියේ අතපෙවීම වේගවත් කිරීමටත් පියවර ගැනෙනු ඇත. එම විශ්වවිද්‍යාලයට හා ඒ යටතේ පිහිටුවන ආයතනවල සිසුන් මතත් පැටවෙන්නේ මිලිටරි විනයකි.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මෙලෙස මැඩලීම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබමය) ඇතුලු සිසු සංගම් ද ආචාර්ය සමිති ද මුලුමනින්ම අනුමත කරගෙන නිහඬව සිටිති. ඊට හේතුව මෙම සමිතිවල දේශපාලනයට එරෙහිව, විශේෂයෙන්ම සමාජවාදී දේශපාලනයට සිසුන් ඇදී එතැයි ඔවුන්ට පවතින භීතියයි.

පෙර දී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යටතේ හා දැන් පෙසප යටතේ මෙහෙය වෙන අවිශිබමය තොරොම්බල් කරන ඊනියා “ශිෂ්‍ය දේශපාලනය” අවිශිබමයට විරුද්ධ ශිෂ්‍ය කන්ඩායම් මැඩීම සඳහා උපයෝගී කොට ගනී. “පක්ෂ දේශපාලනය එපා” ශිෂ්‍යයන් නියැලී සිටින්නේ “ශිෂ්‍ය දේශපාලනයක” යයි අවිශිබමය ගෙන යන දේශපාලන පිලිවෙත්වල අරමුන වන්නේ ශිෂ්‍යයන් කම්කරු පන්තියේ නායකත්වය යටතේ ධනපති ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව ස්වාධීනව සංවිධානය වීම වලකාලීමයි.

කොලඹ සරසවියේ එක්සත් ශිෂ්‍ය සංගමය මෙන්ම අවිශිබමයට සම්බන්ධ ශිෂ්‍ය සංගම් කැලනිය, පේරාදෙනිය, රුහුන වැනි සරසවි තුල දී පසුගිය වසරේ කිහිප වතාවකදීම සසජාතශි මැදිහත්වීම් මැඩීම සඳහා විශ්වවිද්‍යාල පරිපාලනය සමග ඒකාබද්ධ වී තිබේ.

සිසුන් මත පනවා ඇති මර්දන නීති ඉවත් කිරීමට හා ශාස්ත්‍රීය නිදහස තහවුරු කරගැනීම සඳහා අරගලයට එලඹෙන ලෙස සිසුන්ගෙන් ද ආචාර්යවරුන්ගෙන් ද සසජාතශි ඉල්ලා සිටී.

Share this article: