උතුරේ ජනයා යුද්ධයෙන් මරනයට පත්වූවන් සිහිපත් කරයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 මැයි 28

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි වාර්ගික යුද්ධය අවසානයේ දී මරනයට පත්වූවන් මැයි 18 වැනි සිකුරාදා උතුරේ ජනයා විසින් සිහිපත් කෙරුනි. 2009 මැයි මස 18 වන දින මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලිවායික්කාල් ප්‍රදේශයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව එල්ටීටීඊය මිලිටරිමය වශයෙන් විනාශ කර යුද්ධය අවසන් කලේ ය. යුද්ධයේ අවසාන දිනවල කුඩා කලාපයක සිරවී සිටි සිය දහස් ගනන් ජනයාට ශ්‍රී ලංකාවේ මිලිටරිය විසින් එල්ල කෙරුනු ප්‍රහාරවලින් සිවිල් වැසියන් 40,000 කට අධික සංඛ්‍යාවක් මියගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මුල්ලිවායික්කාල්හි පැවති අනුස්මරන උත්සවයට මියගිය අයගේ නෑ හිතමිතුරන්, හිටපු එල්ටීටීඊ සාමාජිකයින් සහ විශ්ව විද්‍යාල සිසුන් ඇතුලු 2,000 ක් පමන සහභාගි වූහ. ඔවුහු මියගිය අය වෙනුවෙන් තම ශෝකය ද සිදු කල යුද අපරාධ සම්බන්ධයෙන් කොලඹ පාලකයන් කෙරෙහි ඇති කෝපය ද ප්‍රකාශ කලහ. අනුස්මරන දිනයේදී උතුරේ වෙලඳසැල් වසා දමා තිබින. පොදු ප්‍රවාහනය සීමිත විය. ප්‍රධාන මංසන්ධිවල හා කුඩා නගරවල මියගිය අය සිහිපත් කෙරෙන බැනර් ප්‍රදර්ශනය කෙරුනු අතර අනුස්මරනයට සහභාගි වීමට පැමිනි ජනයාට මුල්ලිවායික්කාල් දක්වා මග දෙපස රැස්ව සිටි මහජනතාව විසින් පානීය ජලය සම්පාදනය කලහ.

අනුස්මරන උත්සවය සංවිධානය කලේ උතුරු පලාත් සභාව, යාපනය විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සහ සිවිල් සංවිධාන විසිනි. එදින නැගෙනහිර පලාතේ බොහෝ ස්ථානවල ද යුද්ධයෙන් මියගිය අය සිහිපත් කෙරුනි.

දශක තුනකට ආසන්න කාලයක් ගෙනගිය සිවිල් යුද්ධය කුරිරු ලෙස නිමා කෙරුනු අවසන් ප්‍රහාරයේදී අත්අඩංගුවට ගත් 300,000 ක් පමන ජනයා මිලිටරිය විසින් පවත්වාගෙන ගිය කඳවුරු වල කිසිදු මූලික පහසුකමක් නැතුව රඳවා තැබිනි. එල්ටීටීඊ සටන්කරුවන් සහ එල්ටීටීඊ සටන්කාමීන් යැයි සැක කෙරුනු තරුන තරුනියන් දහස් ගනනක් හමුදාව විසින් ගෙන යනු ලැබූ අතර තවත් සමහරු හමුදාවට භාර වූ හ. අත්අඩංගුවට ගත් සහ භාරවුනු අයගෙන් සිය ගනනක් පිලිබඳ කවර හෝ තොරතුරක් මෙතෙකුදු නොමැති අතර ඔවුන් ‘අතුරුදහන්වූවන්’ ලෙස සැලකෙයි.

තම ජීවන කොන්දේසි වලට සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට නොකඩවා පහර එල්ල කරන සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට දෙන සහාය සම්බන්ධයෙන් දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) ඇතුලු දෙමල ධනපති පක්ෂ කෙරෙහි වැඩෙන මහජන විරෝධයේ ප්‍රකාශනයක් ලෙස, අනුස්මරන උත්සවයට දෙමල ධනපති දේශපාලනඥයින් සහභාගිවීම සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය තම විරුද්ධත්වය ප්‍රකාශ කලේය. කෙසේ වෙතත්, එම ධනපති පක්ෂ මෙන්ම දෙමල ජාතිකවාදී දේශපාලනය අනුගමනය කරන මහා ශිෂ්‍ය සංගමය, අවසානයේ සංවිධායකයින්ට යටත් වී උත්සවයට සහභාගි විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව 2015 දී බලයට පැමිනියේ රාජපක්ෂගේ මර්දනකාරී පාලනයට එරෙහිව “යහපාලනය” පිහිටුවන බවට සහ දෙමල ජනතාවගේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු දීමෙනි. දෙමල ජනයා අතර මෙම පොරොන්දු මත විශ්වාසය පතුරවමින් දෙමල ජාතික සන්ධානය වොෂින්ටනය සැලසුම් කල එම තන්ත්‍ර මාරුවට පූර්න සහයෝගය ලබා දුන්නේය.

ආන්ඩුවට වසර තුනක් ගතවී ඇති නමුදු උතුරු-නැගෙනහිර මහජනයාගේ මූලික ගැටලු කිසිවක් විසඳී නැත. යුද්ධය අවසන්වී වසර නවයක් ගතවී ඇති නමුත් ඔවුනට අයත් ඉඩම් අක්කර දහස් ගනනක් හමුදාව විසින් තවමත් අත්කර ගෙන සිටින අතර, සිවිල් වැසියන්ට නැවත ඉඩම් භාර දුන් ප්‍රදේශවල ද තවදුරටත් හමුදා කඳවුරු පවත්වාගෙන යයි. මිලිටරිය සඳහා සිවිල් වැසියන්ට අයත් ඉඩම් අත්පත් කර ගැනීම ද, වාර්ගික ප්‍රකෝපකරනයන් සඳහා බෞද්ධ විහාරස්ථාන සහ සිංහල ජනාවාස ඉදි කිරීම ද උතුරේ සිදු කෙරේ.

කඳවුරුවල රඳවාගෙන සිටි අනාතවූවන් නැවත පදිංචි කරවීමේ නාමයෙන්, නිවාස, යටිතල පහසුකම් සහ ජීවනෝපායයන් සමතලා කරන ලද ගම්බිම් වලට ගෙනැවිත් අත් හරින ලදී. බොහෝ පවුල් මූලික පහසුකම් නොමැතිව අර්ධ නිවාස සහ කූඩාරම්වල මෙතෙකුදු ජීවත් වේ.

හමුදාව වාඩිලාගෙන සිටින ඉඩම් නිදහස් කරන ලෙස ද, දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ද සහ හමුදාවට භාරවීමෙන් පසුව අතුරුදහන්වූවන් සොයා දෙන ලෙස ද ඉල්ලමින් දෙමල ජනතාව දීර්ඝ අරගලවල යෙදී සිටිති.

විරැකියාව හේතුවෙන්, ‘පුනරුත්ථාපනය’ කෙරුනු හිටපු එල්ටීටීඊ සටන්කරුවන්ට යුද හමුදා සිවිල් ආරක්ෂක බලකායට බැඳී එහි ගොවිපොලවල්වල සේවය කිරීමට බල කෙරී ඇත. අලුතින් පිහිටුවා ඇති ඇඟලුම් කර්මාන්තශාලාවල, තරුන හා තරුනියෝ මුර්ග ලෙස සූරා කනු ලැබෙති.

මෙම පසුබිම තුල පැවති මුල්ලිවායික්කාල් අනුස්මරන උත්සවය ආමන්ත්‍රනය කලේ දෙමල ජාතික සන්ධානය නායකයෙකු සහ උතුරු පලාතේ මහා ඇමති සි.වී. විග්නේෂ්වරන් පමනි.

හිටපු මහාධිකරන විනිසුරුවරයෙකු වන විග්නේෂ්වරන්, දෙමල ජාතික සන්ධානයට බලපෑම් කිරීම සඳහා නිර්මානය කරන ලද දෙමල ජනතා සංසදයේ උපදේශකයෙකු ද වේ. දෙමල ජාතික සන්ධානය කොලඹ ආන්ඩුව සමග නිශ්ඵල සම්බන්ධතාවයක් පවත්වා ගෙන යතැයි සලකන දෙමල ධනපති කොටස් විග්නේෂ්වරන් විකල්ප නායකයෙකු ලෙස සලකති.

එක්සත් ජනපදය මැද පෙරදිග ගෙනයන කුරිරු යුද්ධයට ද, චීනය, උතුරු කොරියාව හා රුසියාවට එරෙහි ට්‍රම්ප් පරිපාලනයේ යුද ප්‍රකෝපකරනයන්ට ද නිහඬව සහය දෙන දෙමල ධනපති පක්ෂ, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව වොෂින්ටනය සමග කරන මූලෝපායික ගනුදෙනුවලට ද හවුල් වී සිටිති.

දහස් ගනනක් ජනයා මේ භූමියේ ඉවසීමෙන් බලා සිටින්නේ “ජාත්‍යන්තර ප්‍රජාව” මෙම වාර්ගික ජනඝාතනයට “යුක්තිය” ලබා දෙතැයි යන අපේක්ෂාවෙන් යයි විග්නේෂ්වරන් පැවසීය. “ජාත්‍යන්තර ප්‍රජාව” යනුවෙන් විග්නේෂ්වරන් නම් කරන්නේ අධිරාජ්‍යවාදී බලයන්ය.

මානව හිමිකම්” ආරක්ෂා කිරීමේ කඩතුරාව යටතේ ඇෆ්ගනිස්ථානය හා මැද පෙරදිගට කඩා වැදී දහස් ගනන් ජනයා ඝාතනය කරමින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් තම මූලෝපායික අවශ්‍යතා සඳහා ගෙනයන කුරිරු ක්‍රියාදාමය ලොව හමුවේ වඩ වඩාත් අනාවරනය වෙමින් පැවතියදී විග්නේෂ්වරන් තතනන්නේ, එම දේශපාලන උගුලට උතුරේ දෙමල ජනයා ද හසුකර දීමටයි.

දෙමල ජාතික සන්ධානය සහ දෙමල ජනතා සංසදය ද උත්සාහකරන්නේ අධිරාජ්‍යවාදී බලවේගවල සහය ඇතිව කොලඹ ආන්ඩුව සමග ඇතිකරගන්නා බලය බෙදා හැරීමේ ක්‍රමයක් මගින්, උතුරු හා නැගෙනහිර දෙමල ප්‍රභූවේ අවශ්‍යතා ආරක්ෂා කෙරෙන මොනයම් හෝ විසඳුමක් ලබා ගැනීමට යි. දෙමල ජනතාවගේ ප්‍රතිරෝධය සහ දුක්ගැනවිලි ගසාකන්නේ මෙම අරමුනු ඉටු කර ගැනීම සඳහා ය.

උතුරු හා නැගෙනහිර යුද්ධයෙන් පීඩා විඳි දෙමල ජනතාව අතර වැඩෙන විරෝධය, දැන් ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත පනවනු ලැබූ කප්පාදු පියවරයන්ට එරෙහිව රට පුරාම වැඩෙන විරෝධය සමග බැඳී තිබේ. පසුගිය මාස කිහිපය තුල විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්, විදුලිබල, තැපැල් හා ටෙලිකොම් වැනි විවිධ අංශවල කම්කරුවන් වැඩි වැටුප් ඉල්ලා කල අරගලවලට උතුරු නැගෙනහිර කම්කරුවෝ ද සහභාගි වූහ.

වාර්ගික රේඛා ඉක්මවමින් සිදු වෙමින් පවත්නා කම්කරු පන්තියේ මෙවන් ඒකාග්‍ර වීමක් තමන් විසින් බලයට ගෙන එන ලද ඇමෙරිකානු ගැති සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රයට තර්ජනයක් වෙතැයි ගනන් බලන දෙමල ජාතික සන්ධානය සහ දෙමල ජන සංසදය උත්සාහ කරන්නේ, දෙමල වැඩකරන ජනතාව ජාතිකවාදී මාවතකට යොමු කොට එම පන්ති එකමුතුව බිඳ දැමීමටයි.

මුල්ලිවායික්කාල් සැමරුම් උත්සවයට සහභාගී වූ දෙමල ජාතික සන්ධානය ඇතුලු දේශපාලන පක්ෂ කිසිවක් දෙමල පීඩිත ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නෝ නොවෙති. යුද්ධයේ අවසානය දක්වා ශ්‍රී ලංකා මිලිටරියේ උපස්ථම්භක හමුදාවක් ලෙස ක්‍රියා කරමින් පුද්ගලයන් පැහැරගෙන යාම, අතුරුදහන් කිරීම් සහ ඝාතනයන් වල යෙදුනු ඊලම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඊපීඩීපී) සාමාජිකයින් ඇතුලු හිටපු දෙමල සන්නද්ධ කන්ඩායම්වල සාමාජිකයින් ද සහභාගිවී සිටිය හ. උතුරේ සහ නැගෙනහිර ඉන්දියානු සාම හමුදාව විසින් සිදු කල ඝාතනයන්ට ද මෙම කන්ඩායම් සම්බන්ධ වී සිටිය හ.

මේ පක්ෂ සියල්ලම දෙමල පීඩිතයන්ගේ_වියදමෙන් දෙමල ධනේශ්වරයේ අවශ්‍යතාවන් ආරක්ෂා කිරීම සඳහා කොලඹ පාලක පන්තියේ කවර හෝ කොටසක් සමග ඒකාබද්ධ වීමට සූදානම්ව සිටී.

කෙසේ නමුත් සැමරුම් උත්සවයට සහභාගී වූ සමහරෙක් දෙමල ධනපති පන්තිය අධිරාජ්‍යවාදීන්ගෙන් ඉල්ලා සිටින “යුක්තිය” සම්බන්ධයෙන් තම විරෝධය පල කලහ.

යාපනයේ පේදුරුතුඩුවේ සිට පැමින සිටි අයෙක් මෙසේ පැවසීය: “කීවෙනං දේශපාලනඥයන් කවලම් නැති උත්සවයක් කියලයි. විග්නේෂ්වරන් දේශපාලනඥයෙක් නොවේද? ඔහු මෙහි ඉදිරියේ සිටීමෙන් දේශපාලන අරමුනක් තිබෙන බව පේනවා. ඔවුන් නැවත නැවතත් ජාත්‍යන්තර ප්‍රජාවට ආයාචනා කරනවා. නමුත් යුද්ධයට මුලුමනින්ම සහයෝගය දුන්නේ ජාත්‍යන්තර ප්‍රජාව නේද?”

Share this article: