ට්‍රොට්ස්කිවාදී සංවත්සර උද්ඝෝෂනයේදී කම්කරුවන් සහ තරුනයන් පලකල තවත් අදහස් කීපයක්

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 ඔක්තෝබර් 17

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප), හතරවන ජාත්‍යන්තරයේ 80 වන සංවත්සරය හා සසප පිහිටුවීමෙන් 50 වන සංවත්සරය සමරා, ඔක්තෝබර් මාසය තුල රැස්වීම් දෙකක් පැවැත්වීය. ඉන් පලමු රැස්වීම 03 වන දා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ද, දෙවැන්න 07 වන දා කොලඹ නව නගර ශාලාවේදී ද පැවැත්වින

.

එම රැස්වීම් දෙකෙහි ප්‍රධාන දේශකයා වූයේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති හා ඇමරිකානු සසප සභාපති ඩේවිඩ් නෝර්ත්ය. ඔහු “ඉතිහාසයේ පාඩම් හා අද දින සමාජවාදය සඳහා අරගලය” යන මාතෘකාව යටතේ දේශන දෙකක් පැවැත්වීය.

සසප සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරයේ සාමාජිකයෝ, මෙම රැස්වීම පිලිබඳව, වැඩපලවල් වල, කම්කරු පන්තික ප්‍රදේශ වල සහ විශ්ව විද්‍යාල වල උද්ඝෝෂනයක නිරත වූහ. මෙම රැස්වීම් වල වැදගත්කම සම්බන්ධයෙන් කම්කරුවන් සහ තරුනයින් කල ප්‍රකාශ අප මීට පෙර පල කර ඇත්තෙමු. එහිදී හමුවූ තවත් වැදගත් ප්‍රකාශ අප මෙහි පල කරන්නෙමු.

කොලඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මන්ඩපයේ ශිෂ්‍යයෙකු වන ජයශාන් ආර්ථික අර්බුදය ඔවුන්ට බලපා ඇති ආකාරය සහ සමාජවාදයේ අවශ්‍යතාව සම්බන්ධයෙන් අදහස් දැක්වීය. “දවසින් දවස අපේ ආර්ථිකය අර්බුදයට යමින් පවතින්නෙ. දවසින් දවස ජීවන වියදම ඉහල යමින් පවතින්නේ. සමාජයේ මූලික වෙනසක් සිදු කල යුතුයි. ඒ බව ජනතාවට උගන්වන්න අපිට අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් කරන්න වෙනවා. ඒ නිසයි අපිට වර්තමානය තත්වය කුමක්ද? සමාජවාදය යනු කුමක්ද? විප්ලවය යනු කුමක්ද? යන දේවල් වලින් නව පරම්පරාවක් උගන්වා ගැනීම අවශ්‍ය වෙනවා.”

සමාජවාදය සාක්ෂාත් කිරීමේ කාර්ය භාරය ඓතිහාසිකව පැවරී ඇති කම්කරු පන්තිය සමාජවාදයේ අවශ්‍යතාව පිලිබඳව උගන්වා ගැනීම සම්බන්ධයෙන් සසප සහ සසජාතශි සාමාජිකයෝ සාකච්ච්ඡා කලහ. එහිදී විප්ලවවාදී පක්ෂය අත්‍යවශ්‍ය සාධකයක් වන බව අවධාරනය කෙරිනි. ලෝක විප්ලවවාදී පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ නිල මාධ්‍යය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය ජාත්‍යන්තර කම්කරු පන්තිය අධ්‍යාපනික ගතකර ගැනීම සඳහා අද දවසේ ඉටු කරන කාර්යයේ වැදගත්කම දිශාවට සාකච්ඡාව වර්ධනය විය.

අද දින සමාජවාදය සඳහා අරගලයට ඉතිහාසයේ පාඩම් වල අත්‍යවශ්‍යභාවය පිලිගත් ජයශාන් නෝර්ත් ගේ දේශනයට සහභාගි වන බව පැවසීය.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ කුනු කන්ද කඩා වැටීමෙන් පීඩාවට පත්වූ මීතොටමුල්ල මහජනතාව අතර ද සසප සාමාජිකයෝ උද්ඝෝෂනය කලහ.

එහිදී හමුවූ ත්‍රීරෝද රථ රියදුරෙකු වන අසංක වර්තමාන ආන්ඩුව සම්බන්ධයෙන් මෙසේ පැවසීය: “ජනාධිපති සිරිසේන බලයට එන්න කලින් පොරොන්දු උනා ජීවන වියදම අඩු කරන බවට. ඒත් මේ ආන්ඩුවත් යන්නෙ කලින් ආන්ඩුවේම පාරෙ”. වෙිගයෙන් ඉහල යන ජීවන වියදම යටතේ ජීවත් වීමට ඇති අපහසුතාවය පිලිබඳව ඔහු මෙසේ විස්තර කලේය. “ගෑස් සිලින්ඩරයත් රුපියල් 195ක් දක්වා වැඩි වෙලා තියෙන්නෙ. ආන්ඩුව කියන්නෙ මිල සූත්‍රයට අනුව වැඩි වෙනවා කියලා. ඒ මිල සූත්‍රෙ කවුරුවත් දන්නෙත් නෑ. මට මේ සතියෙ ත්‍රීවිල් එක අලුත්වැඩියා කරන්න රුපියල් 16,000 ක් වැය වෙනවා.”

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල පහත වැටීම ජීවන වියදම ඉහල යාමට ට බලපාන ආකාරය ඔහු විස්තර කල අතර සාච්ඡාව ඇමරිකානු ධනවාදයේ පරිහානිය දෙසට වර්ධනය විය. දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව එක්සත් ජනපදයට තිබුනු සාපේක්ෂ ආර්ථික ශක්තිය මත යුරෝපයේ නැවත ධනවාදය පිහිටුවීමට ගෙන ගිය පිලිවෙත් මෙහිදී පැහැදිලි කරන ලදී. නමුත් මේ වනවිට ඇමරිකානු ධනවාදයේ පරිහානියත් සමග තම අධිකාරය මිලිටරි ශක්තිය මගින් නැවත පිහිටුවීමට ගෙන යන පිලිවෙත් අනිවාර්යයෙන්ම තුන් වන ලෝක යුද්ධයකට හේතු වන බව උද්ඝෝෂකයෝ පැහැදිලි කලහ.

ඔහු සසප පාර්ලිමේන්තු මැතිවරන වලට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් විමසා සිටියේය. සසප පාර්ලිමේන්තු හා අනෙකුත් මැතිවරන වලට ඉදිරිපත් වන්නේ ධනපති පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ මිථ්‍යාවන් පෝෂනය කිරීමට නොව ධනපති ක්‍රමය පෙරලා දැමීම සඳහා අත්‍යවශ්‍ය කම්කරු පන්තියේ විඤ්ඤානය වර්ධනය කිරීම සඳහා වේදිකාවක් ලෙස එම මැතිවරන සහ පාර්ලිමේන්තුවමත් භාවිතා කිරීමට බව සසප සහ සසජාතශි සාමාජිකයෝ පෙන්වා දුන්හ.

පීඩිත ගොවීන්ගේ සහාය සහිතව බලයට ගෙනෙන කම්කරු ගොවි ආන්ඩුවක් මගින් ධනපති පාර්ලිමේන්තුව ඇතුලු සමස්ත ධනේශ්වර සංස්ථාපිතය අහෝසි කර පුද්ගලික දේපොල සහ ලාභය මත පදනම්වූ නිශ්පාදන ආර්ථික ක්‍රමය වෙනුවට මානව අවශ්‍යතා මත පාදක වූ ජාත්‍යන්තර සමාජවාදී නිශ්පාදන ආර්ථිකයක් පිහිටුවීම සසප ක්‍රියාමාර්ගය බව ඔවුහු පැහදිලි කලහ.

නන්දා

අසංක ගේ මව වන නන්දා, “ධනවාදය තරුන පරම්පරාවේ අනාගතය විනාශ කරන නිසා අපේ දරුවන් මේ දේශනයට සහභාගී වීම වැදගත්” යැයි පැවසීය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයෙක් වන කැලනිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ලක්මාල් නම් ශිෂ්‍යයා ලෙනින්ගේ මරනයෙන් පසු රුසියාව තුල බලයට පත් වූ ස්ටාලින් විසින් ක්‍රියාත්මක කරන ලද තනි රටේ සමාජවාදය සම්බන්ධ ට්‍රොට්ස්කිගේ ලිපි කියවා ඇති බවත් එම විශ්ලේෂනය සමග එකඟ වන බවත් ප්‍රකාශ කලේය.

නමුත් ප්‍රතිසංස්කරන සඳහා සටන් වැදිය යුතු බව ඔහ ප්‍රකාශ කලේය. එසේ නොකලහොත් තත්වය තවත් උග්‍ර වන බව ඔහු තව දුරටත් පැවසීය. “අපිට යම් මූලික දේවල් ඉක්මනින්ම දිනාගන්න අවශ්‍යයි. ඒකට ලෝක විප්ලවය වෙනකන් බලන් ඉන්න බැහැ. මම හිතනවා සයිටම් අරගලයේදි අපි යම් දෙයක් ජයග්‍රහනය කරා කියලා.”

සසප සාමාජිකයින් ඔහුට පැහැදිලි කලේ ධනේශ්වර පද්ධතිය බිඳ වැටීමක් තුලින් ගමන් කරමින් සිටින බවයි. 2008 පුපුරා ගිය මූල්‍ය අර්බුදය වඩවඩාත් ගැඹුරු වන තතු තුල ලෝකය පුරාම ධනපති ආන්ඩු කම්කරු පන්තිය අතීතයේ දිනාගත් අයිතීන් නැවත උදුරා ගනිමින් සිටිති. මේ තත්වය තුල ධනේශ්වර ක්‍රමය යටතේ ප්‍රතිසංස්කරන ලබාගත හැකිය යන මිථ්‍යාව අවසානයේ ප්‍රතිවිප්ලවයට මගපාදන බව ඔවුහු පැහැදිලි කලහ.

සයිටම් අරගලයේදී සිසුන් විසින් ජයග්‍රහනයක් ලැබුවාය යන්න අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය පතුරුවන බොරුවක් බවත් ආන්ඩුවේ පුද්ගලීකරන වැඩ පිලිවෙල මෙම විරෝධතා මගින් අංශුමාත්‍රයකින් හෝ පසුපසට ගෙන නැති බවත් සසප සාමාජිකයෝ පෙන්වා දුන්හ.

සසප සාමාජිකයින් බ්ලූමැන්ඩල් හි වරාය කම්කරුවන්ගේ නිවහන් ප්‍රදේශයකද උද්ඝෝෂනයක නිරත විය. එහිදී වරාය සේවකයෙකු මෙසේ පැවසීය: “මොන ආන්ඩුව ආවත් අපට සහන නෑ. බලයට පත්වුනයින් පස්සෙ කරන්නේ එකම දේමයි”

ඔහු ඇමරිකාවේ යුද ධාවනය සම්බන්ධයෙන් කතා කරමින් ඔහු පැවසුවේ “ඒ ගොල්ලන්ගේ යුද්ධ ශක්තිය නැතිව පලවැනි තැනේ ඉන්න බැහැ” යනුවෙනි. “ඒගොල්ලෝ බොරුවට ලෝකෙට සාමය පෙන්නලා බඩ වඩා ගන්න එක තමයි කරන්නේ”

ජනතා විමුක්ති පෙරමුන සම්බන්ධව ඔහුගේ අදහස මෙසේ විය: “ජවිපෙ හැමදාමත් මුක්කු ගහනවා. අන්තිමට ඒ ගොල්ලන්ගේ ප්‍රතිපත්තියක් පේන්න නැහැ. ඒ ගොල්ලොත් මුල ඉඳලම පාවා දීමමයි කලේ.”

Share this article: