හතර වන ජාත්‍යන්තරයේ 80 වන සංවත්සරය:
ඉතිහාසයේ පාඩම් සහ අද දින සමාජවාදය සඳහා අරගලය

Eighty Years of the Fourth International: The Lessons of History and the Struggle for Socialism Today

ඩේවිඩ් නොර්ත් විසිනි, 2018 ඔක්තෝබර් 09

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය විසින් ඔක්තෝබර් 7 වෙනිදා කොලඹ සංවිධානය කල මනා සහභාගිත්වයක් සහිත ප්‍රසිද්ධ රැස්වීමකට පහත සඳහන් දේශනය ඉදිරිපත් කලේ ය. රැස්වීම, හතරවන ජාත්‍යන්තරයේ 80 වැනි සංවත්සරය සහ ශ්‍රී ලංකාවේ සසප 50 වැනි සංවත්සරය සැමරීම පිනිස කැඳවුම් කල රැස්වීම් දෙකේ දෙවැන්න ය.

හතර වන ජාත්‍යන්තරයේ ඉතිහාසය පිලිබඳව ශ්‍රී ලංකාවේ දී දේශනයක් කිරීමට අවස්ථාව ලැබීම සතුටක් හා ගෞරවයකි. හතර වන ජාත්‍යන්තරයේ ආරම්භක වර්ෂවල දී ලංකාවේ විප්ලවවාදී සමාජවාදීන් විසින් ඉටු කරන ලද වීරෝදාර ක්‍රියාකලාපය ලොව පුරා ට්‍රොට්ස්කිවාදීන් අතර සුප්‍රසිද්ධය. 1935 දී ලංකා සමසමාජ පක්ෂය ද පසුව 1942 දී ඉන්දියානු බෝල්ශේවික්-ලෙනින්වාදී පක්ෂය ද පිහිටුවූ ආරම්භක ට්‍රොට්ස්කිවාදියෝ, ඉමහත් දුෂ්කරතාවනට මුහුන දෙමින්, ඉන්දියාවේ හා ලංකාවේ ජාතික ධනේශ්වරය තුල සිටි අධිරාජ්‍යවාදයේ දේශපාලන ඒජන්තයන්ට විරුද්ධව සටන් වැදුනාහ. විසි වන සියවසේ ප්‍රථම දශකය තුල ලියොන් ට්‍රොට්ස්කි විසින් විස්තාරනය කරන ලදුව 1917 දී රුසියානු කම්කරු පන්තියේ ජයග්‍රහනයට මග පෙන්වූ දේශපාලන මූලෝපාය සම්පාදනය කල, නොනවතින විප්ලවයේ න්‍යාය මත ඔවුන්ගේ දේශපාලන ඉදිරිදර්ශනය පාදක විය.

ට්‍රොට්ස්කි 1939 දී ඉන්දියාවේ කම්කරුවන් අමතා ලිපියක් ලිවීය. පන්ති අරගලයේ ඉතිහාසය හා ගතිකය ග්‍රහනය කරගැනීමෙහිලා ඔහු සතුව පැවති ගුනාංගය පෙන්නුම් කරමින්, ට්‍රොට්ස්කි ඉන්දියානු උප-මහාද්වීපයේ මහජනතාව මුහුන දුන් සාරභූත මූලෝපායික ප්‍රශ්න සාරාංශ ගත කලේය.

ඉන්දියානු ධනේශ්වරය විප්ලවවාදී අරගලයක් මෙහෙයවීමෙහිලා අසමත්ය. ඔවුහු බ්‍රිතාන්‍ය ධනවාදයට සමීපව බැදී සිටින අතර එය මත රඳා පවතිති. ඔවුහු ඔවුන්ගේ ම දේපොල සම්බන්ධයෙන් බියෙන් වෙවුලති. ඔවුහු මහජනතාව පිලිබඳව භීතියෙන් සිටිති. ඔවුහු කුමන වියදමක් දරා හෝ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය සමග සම්මුතියකට උත්සාහ කරන අතර ඉහලින් එන ප්‍රතිසංස්කරන පිලිබඳ බලාපොරොත්තුවලින් මහජනතාව සනසති. මෙම ධනේශ්වරයේ නායකයා හා ශාස්තෘවරයා ගාන්ධි ය. ව්‍යාජ නායකයෙක් හා බොරු ශාස්තෘවරයෙක්.

ඊනියා මහජන පෙරමුනු ධජය යටතේ, කම්කරු පන්තිය ජාතික ධනේශ්වරයට යටත් විය යුතු යයි ඉල්ලා සිටි සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී තන්ත්‍රය විසින් ඉටු කරන ලද ද්‍රෝහී ක්‍රියාකලාපය ට්‍රොට්ස්කි හෙලා දුටුවේ ය. ඔහු මෙසේ ලිවීය:

මහජනතාව පිලිබඳ මොන තරම් වංචාවක් ද! මහජන පෙරමුන යනු, පන්ති අතර සහයෝගිතාව, එනම් කම්කරු පන්තිය හා ධනේශ්වරය අතර සභාගයක්, සාරය කොටගත්, එම පැරනි පිලිවෙත සඳහා වූ නව නාමයක් පමනි. එවන් සෑම සභාගයක දී ම, නායකත්වය නොවැලැක්විය හැකි ලෙස ම ලැබෙන්නේ දක්ෂිනාංශය අතට ය, එනම් දේපොල හිමි පන්තිය අතට ය. දැනටමත් සඳහන් කර ඇති පරිදි, ඉන්දියානු ධනේශ්වරයට අවශ්‍ය අරගලයක් නොව, සාමකාමී ගනුදෙනුවකි. ධනේශ්වරය සමග සභාගයක් තුඩු දෙන්නේ, කම්කරු පන්තිය අධිරාජ්‍යවාදයට එරෙහි විප්ලවවාදී අරගලය අතහැර දැමීමට ය. සභාගයේ පිලිවෙත ඇඟවුම් කරන්නේ, එක තැන නතර වී කල් ගැනීම, කල් මැරීම, සාවද්‍ය බලාපොරොත්තු ඔජ වැඩවීම, හිස් උපාමාරුවල හා යටි උගුල්වල යෙදීම ය. මෙම පිලිවෙතේ ප්‍රතිඵලයක් ලෙස, වැඩ කරන ජනතාව අතර අපේක්ෂාභංගත්වය නොවැලැක්විය හැකි ලෙස ම වැඩෙනු ඇත, ගොවි ජනතාව කම්කරු පන්තියට පිටුපස හරවා, කලකිරීමේ ගිලෙනු ඇත.

ලසසප ආරම්භකයෝ මෙම අනතුරු ඇඟවීම පිලිගෙන, ජාතික ධනේශ්වරයට විරුද්ධ වී, ලංකාවේ කම්කරු පන්තියේ බලගතු විප්ලවවාදී පක්ෂයක් නිර්මානය කලහ. එහෙත් 1964 දී, ඛේදනීය ප්‍රතිවිපාක සහිතව, ලසසප සිය ආරම්භක ප්‍රතිපත්තිවලට පිටුපස හරවා, බන්ඩාරනායක මැතිනියගේ ශ්‍රීලනිප ආන්ඩුව සමග සභාගයකට ඇතුලු විය. හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය 1968 දී පිහිටුවනු ලැබුවේ මෙම “මහා පාවාදීමට” එරෙහි අරගලය තුලිනි. අඩ සියවසක් තිස්සේ, ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව, 1964 පාවාදීමේ උරුමය ජයගැනීමට සම්මුති විරහිත අරගලයක් ගෙන ගියේ ය. එහෙත්, මෙම අරගලය තුල දී එය, ඉන්දියානු බොල්ශෙවික්-ලෙනින්වාදී පක්ෂයේ හා ලසසපයේ ආරම්භකයන්, ශ්‍රී ලංකාව තුල පමනක් නොව, ලොව පුරා විප්ලවවාදී සමාජවාදයේ අරමුන වෙනුවෙන් ආරම්භකව සිදු කල දැවැන්ත ප්‍රතිපදානයන් කිසිදාක අමතක කලේ නැත.

ඉතිහාසය අධ්‍යයන කිරීමේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ දී මා කරන දේශන හතර වන ජාත්‍යන්තරය පිහිටුවීමේ 80 වන සංවත්සරය සැමරීමේ ජාත්‍යන්තර වැඩකටයුතුවල කොටසකි. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය, අනිවාර්යයෙන් ම, ඉතිහාසය ගැන දැනුවත් ය. ඓතිහාසිකව-පාදක වූ ඉදිරිදර්ශනයකින් තොර වූ කල, දේශපාලන විශ්ලේෂනය, සාරසංග්‍රහවාදී ලෙස තෝරා ගැනුනු ධාරනාවන්ගේ මට්ටමට පිරිහෙලනු ලබයි. බැරෑරුම් දේශපාලනය -- විප්ලවවාදී ක්‍රියාකාරිත්වය දේශපාලනයේ වඩාත්ම බැරෑරුම් ම අංගයයි -- විද්‍යාත්මක විධික්‍රමයක් ඉල්ලා සිටිනවා. නාවික යාත්‍රාකරනයේ දී sextant නැතිනම් ෂඞ්භාග යන්ත්‍රය යනුවෙන් හඳුන්වනු ලබන උපකරනයක් භාවිතා කරයි. එම උපකරනය සොයාගැනීම, දෘශ්‍ය ක්ෂිතිජය හා ආකාශ වස්තු අතර කෝනීය දුර මැනීම මගින් කපිතාන්වරයෙකුට සිය නෞකාවේ පිහිටීම හරියටම නිර්නය කිරීමේ හැකියාව කපිතාන්ට ලබා දුන්නේය. දේශපාලන යාත්‍රාකරනයේ දී, විප්ලවවාදී පක්ෂය දෘශ්‍ය දේශපාලන ක්ෂිතිජය තීරනාත්මක ඓතිහාසික සැඳහුම් ලක්ෂ්‍යයක් සමග එකිනෙක සම්බන්ධ කල යුතු ය.

ස්ටැලින්වාදීන් විසින් සිදු කරන ලද අපරාධ සහ පාවාදීම් ගැන අප නිරන්තරයෙන් කරන සැඳහුම්වලට එරෙහිව සයිඞ් ගෆුර් නමින් හැඳින්වෙන රුසියාවේ පුටින් ආන්ඩුවේ ආධාරකරුවකු ද වන, ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන විරුද්ධවාදියෙක් මෑත දී සිය විරෝධය පල කලේ ය. ගිය දේවල් ගියාවේ කියලා ස්ටැලින්ගේ දේශපාලන උරුමක්කාරයන් සමග එකට වැඩ කල හැකි ක්‍රමයක් සොයා ගන්න අපට බැරි ඇයි? ඇයි අපි අතීතයේ අපරාධ හා පාවාදීම් අද සහයෝගයෙන් වැඩ කිරීමට බාධාවක් බවට පත් වෙන්න ඉඩ දිය යුත්තේ? අපගේ විරුද්ධවාදියා මෙසේ පැමිනිලි කරයි. කෙසේ වෙතත්, ට්‍රොට්ස්කි 1940 දි, එනම් මීට වසර 78කට පෙර ඝාතනය කෙරුනි, ස්ටැලින් 1953 දි, එනම් මීට වසර 65 කට පෙර මිය ගියේ ය. සෝවියට් සංගමය 1991 දි, එනම් මීට වසර 27කට පෙර දියකර හැරියේ ය. ඉතින් හතර වන ජාත්‍යන්තරය 1936-37 කාලයේ ස්ටැලින්වාදීන්ගෙන් බෙදා වෙන් කල “ලේ ගංගාව” පිලිබඳ ට්‍රොට්ස්කිගේ සැඳහුම් අප තවමත් මතක් කිරීම අවශ්‍ය වන්නේ ඇයි?

“අද ට්‍රොට්ස්කිවාදය හා ස්ටැලින්වාදය අතර මතභේදවලට හා ප්‍රතිවිරෝධයන්ට පවතින්නේ ඓතිහාසික ස්වභාවයක් මිස දේශපාලන ස්වභාවයක් නොවන” බව මෙම විරුද්ධවාදියා මෙලෙස ප්‍රකාශ කරයි: “ඉතිහාසඥයන්ගේ උනන්දුවට පමනක් හේතුවන, රොබස්පියරේ හා හෙබර්ට් හෝ දාන්තේ අතර” මතහේදවලට වඩා වැඩි අදාලත්වයක් වර්තමානයේ ඒවාට ඇත්තෙ නැති බව අපගේ විරුද්ධවාදියා තරයේ කියා සිටියි, මෙම මතභේද “අධ්‍යයනය සඳහා වැදගත් වන නමුත් ඒ ඓතිහාසික පාඩම් සඳහා පමනකි, (අවංකව හා තරමක් නරුම ලෙස කියතොත්, ඉතිහාසය කිසිවකුට කිසිවක් උගන්වන්නේ නැත.)”.

අපගේ විරුද්ධවාදියා ගොතන තර්කයට අනුව ඉතිහාසය හා දේශපාලනය පවතින්නේ වෙනස් හා එකිනෙකට අසම්බන්ධිත ක්ෂේත්‍ර දෙකක් තුල ය. ඉතිහාසය අධ්‍යයනය යම් ආකාරයක වියුක්ත බුද්ධිමය අවශ්‍යතාවක් විය හැකි නමුත් එය අපගේ අද දින ප්‍රායෝගික දේශපාලන ක්‍රියාකාරිත්වය සඳහා මොන යම් හෝ විශේෂ වටිනාකමක් ඇති කිසිවක් අපට උගන්වන්නේ නැත. මෙලෙස තර්ක කරන අයට නිසැකව ම, මාක්ස්වාදී සම්ප්‍රදාය සමග කිසිදු පොදු බවක් ඇත්තේ නැත. විප්ලවවාදී ව්‍යාපාරය සිය ක්‍රියාමාර්ගය සහ ක්‍රියාකාරිත්වය වර්ධනය කරන්නේ, ඓතිහාසික අත්දැකීම විවේචනාත්මක යලිවිචාරයකට අඛන්ඩව ලක් කිරීම තුලිනි. ඓතිහාසික සැඳහුම් ලක්ෂ්‍යයකින් තොර වූ කල, පන්ති අරගලයේ කම්පන සහගත දිය සුලි හරහා යාත්‍රා කල නොහැකිය. එපමනක් නොව, විප්ලවවාදී පක්ෂයකට, පසුගිය සියවසේ දැවැන්ත විප්ලවවාදී සිදුවීම් අධ්‍යයනය කිරීමකින් තොරව, සිය තරුන කේඩරයත් සමස්තයක් ලෙස කම්කරු පන්තියත් පුහුනු කල හැක්කේ කේසේද?

විසි වන සියවස ඉතිහාසය තුල පැවති වඩාත්ම විප්ලවවාදී කාල පරිච්ඡේදය යි. සෑම මහාද්වීපයකම පීඩිත ජනතාව ධනවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයේ වාසුලිය තුලට ඇදගනු ලැබී ය. එම සියවස, 1917 දී, ඉතිහාසය තුල ප්‍රථම වතාවට, බෝල්ශේවික් පක්ෂයේ නායකත්වය යටතේ, කම්කරු පන්තිය විසින් දේශපාලන බලය අත්පත් කරගනු ලැබීම අත්දුටුවේ ය. ධනවාදයට අවසන් තිත තබා සමාජවාදී සමාජයක් ගොඩනැගීමට කම්කරු පන්තියට පවත්නා අභිලාෂය හා අධිෂ්ඨානය පිලිබිඹු කරමින්, ලොව පුරා මහජන කොමියුනිස්ට් පක්ෂ පැනනැගුනි.

එසේ වුවත්, සියවසේ අවසානය වන විට, සියලු අරගල හා කැපකිරීම් තිබිය දී ම, ධනපති පන්තිය ලොව පුරා බලය දරාගෙන සිටියේ ය. 1917 විප්ලවයෙන් පැන නැගුන සෝවියට් සංගමය, ඔවුන්ගේ ම ආන්ඩුව විසින් බිඳ විසුරුවනු ලැබ තිබුනි. චීනය තුල, පාලක කොමියුනිස්ට් පක්ෂය ධනවාදී අර්ථශාස්ත්‍රයේ වඩාත්ම රුදුරු අද්වකාත් බවට පත් විය. අප දැන් ජීවත් වන්නේ සමාජ අසමානතාවය දැවැන්ත මට්ටම්වලට නැග ඇති ලෝකයක ය. දේශපාලන පරාගතභාවයේ මෙම සන්තතිය පැහැදිලි කරන්නේ කෙසේද?

ලොව පුරා, පවත්නා කොන්දේසිවලට එරෙහි වෛරය නැගෙමින් ඇත. “ධනවාදය” යලිත් වරක් කැත වචනයක් බවට පත්වෙමින් තිබේ. පවත්නා සමාජ පර්යායට විකල්පයක් ලෙස, සමාජවාදය පිලිබඳව ඇති උනන්දුවේ පුනර්ජීවනයක් සිදුවෙමින් ඇත. එහෙත්, පසුගිය ශත වර්ෂයේ දැවැන්ත දේශපාලන අත්දැකීම් හා විප්ලවවාදී අරගල ද පිලිබඳ ඥානයෙන් තොරවීම, මෙම ප්‍රගතිශීලී පරිශ්‍රමය මධ්‍යයේ පැහැදිලිවම පවතින අඩුපාඩුවක් බව රිජුව ම කිවයුතු කාරනයකි. එහි සමාජ පදනම්, පන්ති ගතිකයන් හා දේශපාලන මූලෝපාය පිලිබඳ අවබෝධයක අර්ථයෙන් ගත් කල, “විප්ලවය” යන වචනයම යොදා ගැනෙන්නේ හරවත් අන්තර්ගතයකින් තොරවය.

සෝවියට් සංගමය බිඳවිසිරවීමෙන් හා චීනයේ ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් පසුව උපත ලද, තරුන ජනයාට, රුසියානු හා චීන විප්ලවවල ඉතිහාසයන් පිලිබඳ සවිස්තර ඥානයක් තබා, මෙම සිද්ධීන් හටගත්තේ කෙසේද යන්න ගැන ඇත්තේ ද මඳ දැනුමකි. ස්ටැලින්වාදය, මාඕවාදය, නැතහොත්, කැස්ත්‍රෝවාදය වැනි පදවල සැබෑ න්‍යායික හා දේශපාලන අන්තර්ගතය ගැන ඔවුන්ට සමීප දැනුමක් නැත. සත්තකින් ම, ලොව පුරා තරුන ජනයාට, චේ ගුවේරාගේ රොමැන්ටික් හා හැඟීම් උපදවන ප්‍රතිරූපය ඉතා හුරුපුරුදු ය. එහෙත්, ඔවුන් ඔහුගේ දේශපාලන මූලෝපාය හා ක්‍රියාමාර්ගය ගැන කිසිවක් නොදනී. අවංකව කියතොත්, ඔහුගේ දේශපාලන මූලෝපාය හා ක්‍රියාමාර්ගය මුලුමනින්ම බංකොලොත් ය.

මාක්ස්වාදයට එරෙහිව ශාස්ත්‍රාලික ප්‍රහාරයන්ගේ බලපෑම

සත්තකින් ම, පසුගිය සියවසේ විප්ලවවාදී නැගිටීම් පිලිබඳව ඔවුන්ට පවත්නා සීමිත දැනුම ගැන තරුන ජනයාට දොස් පැවරීමට නොහැකිය. එම අවශ්‍ය දැනුම ඔවුන් කාගෙන් ලබා ගන්නද? කොහෙන් ලබා ගන්නද? ධනපති මාධ්‍ය, නිසැකවම, පවත්නා සමාජ පර්යාය පෙරලා දැමීමට ප්‍රතිපදානයන් කල හැකි දැනුම බෙදා හරින්නේ නැත. එහෙත් බොහෝ උගත් මහාචාර්යවරුන් සහිත, විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් තතු කෙසේද? අවාසනාවකට, දශක බොහෝ ගනනක් තිස්සේ, බුද්ධිමය වාතාවරනය අව්‍යාජ සමාජවාදී න්‍යාය හා දේශපාලනය කෙරෙහි දක්වා ඇත්තේ ගැඹුරින්ම සතුරු ආකල්පයකි. දාර්ශනික භෞතිකවාදය තුල මුල් බැස ගත් මාක්ස්වාදී න්‍යාය, බොහෝ කලකට ඉහත දී ප්‍රධාන විශ්වවිද්‍යාලවලින් පිටමං කෙරුනි.

ශාස්ත්‍රාලික කතිකාව මත ආධිපත්‍යය දරන්නේ, ෆ්‍රැන්ක්ෆට් ගුරුකුලයේ ෆ්‍රොයිඞ්වාදී ව්‍යාජ-විද්‍යාව හා විඥානවාදී ආත්මීයවාදය සහ පශ්චාත්-නූතනවාදයේ අහේතුවාදී පල් හෑලි ය. මාක්ස්වාදයේ “මහා ආඛ්‍යානය” නවීන ලෝකයට කිසිදු අදාලත්වයක් නැතැයි මහාචාර්යවරු සිය ශිෂ්‍යයන්ට උගන්වති. ඔවුන් සැබැවින්ම අදහස් කරන්නේ, ධනපති සමාජය තුල කම්කරු පන්තියේ කේන්ද්‍රීය හා තීරනාත්මක විප්ලවවාදී ක්‍රියාකලාපය තහවුරු කල ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය, වාමාංශික දේශපාලනයේ පදනම විය නොහැකි හා එසේ විය යුතු නැති බව ය.

මධ්‍යම පන්තික ව්‍යාජ වාම දේශපාලනයේ න්‍යායාචාර්යවරුන්ට හා නියුක්තිකයන්ට නම්, අතීතයේ විප්ලවවාදී අරගලවල ඉතිහාසය ගැන අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවක්, ඒවායේ පාඩම් ඔවුන්ගේ සියලු දේශපාලනිකව අවස්ථාවාදී හා ප්‍රතිගාමී ගොඩ වෙදකම්වලට ප්‍රතිවිරෝධීව පිහිටා ඇත. සත්තකින් ම, මෙම කවයන්ට ට්‍රොට්ස්කි වහ කදුරු මෙනි. එහෙත්, විසි වන සියවසේ දී ස්ටැලින්වාදයට එරෙහිව ට්‍රොට්ස්කි ගෙනගිය අරගලයේ පාඩම් අධ්‍යයනය කිරීමෙන් හා උකහා ගැනීමෙන් තොරව විසි එක් වන සියවසේ සමාජවාදය සඳහා සටන් කල නොහැකි ය. මෙය, කම්කරුවන් ද අධ්‍යතන ලෝකය තුල ධනවාදයට එරෙහි අරගලයේ නිවැරැදි මාවත බැරෑරුම්ව සොයන සියල්ලන් ද මුහුන දෙන දේශපාලන මූලෝපාය පිලිබඳ සෑම තීරනාත්මක ප්‍රශ්නයක්ම සම්බන්ධයෙන් අතිශයින්ම ප්‍රගාඪ හා ක්ෂනික අර්ථභාරයක් දරන, පසුගිය සියවසේ අතිමූලික න්‍යායික හා දේශපාලනික අරගලය ලෙස පවතියි. හතර වන ජාත්‍යන්තරයේ ඓතිහාසික හා දේශපාලනික ප්‍රභවයන් පිලිබඳ කෙටි සාරාංශයක් සැපයීම අවශ්‍ය වන්නේ මේ නිසා ය.

ස්ටැලින්වාදයට එරහි ට්‍රොට්ස්කිගේ අරගලයේ වැදගත්කම

1938 සැප්තැම්බරයේ දී හතර වන ජාත්‍යන්තරය පිහිටුවීම, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුල තීරනාත්මක සන්ධිස්ථානයකි. එමෙන්ම, එය ස්ටැලින්ගේ නායකත්වය යටතේ රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරිවාදී පරිහානියට එරෙහිව - 1923 ඔක්තෝබරයේ දී සෝවියට් සංගමය තුල වාම විපාර්ශ්වය පිහිටුවීමෙන් ආරම්භ කොට - වසර 15ක් තිස්සේ ලියොන් ට්‍රොට්ස්කි ගෙනගිය අරගලයේ දේශපාලනික කුලුගැන්වීම වුනා.

ස්ටැලින්වාදී තන්ත්‍රයට එරෙහි ට්‍රොට්ස්කිගේ අරගලයේ දුර දිග යන ජාත්‍යන්තර ඇඟවුම් මතු වුනේ 1924 අග දි ය. එනම් ලෝක ධනපති ක්‍රමයට එරෙහි ජාත්‍යන්තර අරගලයෙන් වෙන්ව, බටහිර යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල ධනපති පාලක පන්තිය සාර්ථකව විප්ලවවාදී ලෙස පෙරලා දැමීමෙන් තොරව, සෝවියට් සංගමය තුල සමාජවාදය ගොඩනැගිය හැකිය යන කියාපෑම ස්ටැලින් ඉදිරිපත් කල කල්හි ය.

බෝල්ශේවික් පක්ෂය බලය අල්ලා ගැනීමට සහ ඉන් පසුව 1919 දී කොමියුනිස්ට් ජාත්‍යන්තරය පිහිටුවීමට පාදක වූ ජාත්‍යන්තරවාදී මූලෝපායෙන් අතිමූලිකව බිඳී වෙන්වීමක් වුනු, “තනි රටේ සමාජවාදය” පිලිබඳ ක්‍රියාමාර්ගය, දේශපාලන බලය පැහැර ගැනීමත් 1917න් අනතුරුව නිර්මානය කෙරුනු ජනසතු ආර්ථිකයේ සම්පත්, තමන්ගේ ම අවශ්‍යතා උදෙසා, ගසාකෑමත් වෙතින් සිය වරප්‍රසාද ව්‍යුත්පන්න කරගත්, සෝවියට් සංගමය තුල වැඩෙන නිලධරයේ අවශ්‍යතාවන්ට දේශපාලන ප්‍රකාශනය අත්පත් කර දුන්නා. ස්ටැලින් විසින් ගොඩනගන ලද අත්තනෝමතික ආඥාදායකත්වය වනාහි, මාක්ස්වාදී විප්ලවවාදීන් මිනීමරු ආකාරයකින් මර්දනය කරමින් ද සිය මූලික යාන්ත්‍රනය ලෙස පොලිස් ත්‍රස්තය යොදා ගනිමින් ද සිය වරප්‍රසාද ආරක්ෂා කරගැනීමටත් සෝවියට් සංගමය තුල සමාජ අසමානතාව බලාත්කාරයෙන් පැටවීමටත් නිලධරය යොදා ගත් දේශපාලන මාධ්‍යයි.

සෝවියට් තන්ත්‍රයේ ජාතිකවාදී පරිහානිය එහි වඩාත්ම ව්‍යසනකාරී බලපෑම අත්පත් කර ගත්තේ, කොමියුනිස්ට් ජාත්‍යන්තරය සෝවියට් විදේශ පිලිවෙතේ උපකරනයක් බවට පරිවර්තනය කිරීම තුල ය.

තනි රටේ සමාජවාදය පිලිබඳ න්‍යාය තුල අඩංගු ජාතිකවාදී දිශාවනතිය ආරක්ෂා කර ගැනීමට දරන උත්සාහය තුල අධිරාජ්‍යවාදී බලයන්ගේ මිලිටරි මැදිහත්වීම් කල්තියා වලක්වනු ලබන තාක් දුරට සෝවියට් සංගමය තුල සමාජවාදය ගොඩනැගිය හැකි බව ස්ටැලින්වාදී නිලධරය කියා සිටියේ ය. මෙලෙස, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ එල්ලය, විදේශ සගයන් සෙවීම හා ඔවුන් වගාදිගා කරගැනීම දෙසට යොමු කෙරුනි. ස්ටැලින්වාදී තන්ත්‍රය ධනේශ්වර හා සුලු ධනේශ්වර බලවේග සමග සන්ධාන ඇති කර ගැනීමට උත්සාහ කල රටවල කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලවල වියදමින් පවා එවන් සන්ධාන ඇති කර ගත්තේ ය.

චීන විප්ලවයේ ඛේදවාචකය

කොමියුනිස්ට් ජාත්‍යන්තරය සෝවියට් නිලධරයේ ජාතික අවස්ථාවාදයට යටත් කිරීමේ දේශපාලන ප්‍රතිවිපාක එහි වඩාත්ම බේදනීය ප්‍රකාශනය අත්පත් කරගත්තේ චීනය තුල යි; චීන කොමියුනිස්ට් පක්ෂය ධනේශ්වර කුවෝමින්ටෑනයේ හා එහි නායක චියාං කායි ෂෙක්ගේ දේශපාලන අධිකාරිය පිලිගත යුතු බව එහිදී ස්ටැලින් විසින් අවධාරනය කර තිබුනි. ස්ටැලින් චියාං දේශපාලන සගයකු ලෙස සලකා, චීනය තුල අධිරාජ්‍ය-විරෝධී අරගලයේ විශ්වාසවන්ත නායකයකු ලෙස ඔහුව පින්තාරු කලේ ය. ජාතික ධනේශ්වරයේ ප්‍රගතිශීලී කොටස්වලට සහයෝගය දීමට කම්කරු පන්තියට වගකීමක් ඇතැයි ස්ටැලින් තර්ක කලේ ය. කල් පසුවූ ධනේශ්වර වර්ධනයක් සහිත රටවල ජාතික ධනේශ්වරය වැඩි දියුනු රටවල ධනපති පන්තියට වඩා විප්ලවවාදී පන්තියක් ලෙස පින්තාරු කිරීමේ ස්ටැලින්ගේ ප්‍රයත්නයන් ට්‍රොට්ස්කි ප්‍රතික්ෂේප කලේ ය. සාරය වසයෙන් ගත් කල 1917ට පෙරාතුව රුසියානු මෙන්ෂෙවික්වාදීන්ගේ ආස්ථානයට යලි පන දීමක් වූ මෙම අදහස පාදක වූයේ විජිත හා අර්ධ-විජිත රටවල පන්ති ගතිකයන් පිලිබඳ සාවද්‍ය තක්සේරුවක් මත යයි ට්‍රොට්ස්කි අවධාරනය කලේ ය.

ඔහු මෙසේ ලිවීය:

“චීනයේ ජීවිතය තුල විදේශ ප්‍රාග්ධනයේ බලගතු ක්‍රියාකලාපය, චීන ධනේශ්වරයේ, නිලධරයේ හා මිලිටරියේ ඉතා බලසම්පන්න කොටස් සිය ඉරනම අධිරාජ්‍යවාදයේ ඉරනම සමග සම්බන්ධ කිරීමට මෙහෙයවා තිබේ. මෙම සම්බන්ධය නොමැතිව, නවින චීනයේ ජීවිතය තුල ඊනියා “යුදවාදීන්ගේ” දැවැන්ත ක්‍රියාකලාපය ගැන සිතාගත නොහැකි වනු ඇත.

ඊනියා කොම්ප්‍රදෝරු ධනේශ්වරය, එනම් චීනය තුල විදේශ ප්‍රාග්ධනයේ ආර්ථික හා දේශපාලන ඒජන්තයා, සහ ඊනියා ජාතික ධනේශ්වර අතර මහත් පරතරයක් ඇතැයි විශ්වාස කිරීම තවත් ප්‍රගාඪ බොලඳකමක් වනු ඇත. නැත, මෙම කොටස් දෙක අතර සමීපභාවය, ධනේශ්වරය සහ කම්කරු හා ගොවි ජනයා අතර පවත්නා සමීපභාවයට වඩා වැඩිය.

ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය සිද්ධීන් මගින් සනාථ විය. 1927 අප්‍රේල් මාසයේ චියාං, ෂැංහයි හා කැන්ටන් නගරවල කොමියුනිස්ට්වාදීන්ට එරෙහිව සමූලඝාතනයක් දියත් කරමින් චීන කොමියුනිස්ට් පක්ෂයට කිසිදාක ගොඩ ඒගත නොහැකි වුනු පහරක් එල්ල කලේ ය. මෙම ව්‍යසනයෙන් පසුව, චීන කොමියුනිස්ට් පක්ෂය, මාඕ සේතුංගේ නායකත්වය යටතේ, නගරවලින් පසුබැස ගම්බදට මාරු විය. මෙම මාරුව, චීන කොමියුනිස්ට් පක්ෂයේ පන්ති සංයුතිය හා දිශාවනතිය ප්‍රගාඪ ලෙස වෙනස් කලේ ය. 1927න් පසුව, චීන කොමියුනිස්ට් පක්ෂය මූලිකව පදනම වී ගත්තේ නාගරික කම්කරු පන්තිය වෙනුවට ගම්බද ගොවි ජනතාව මත ය. මාඕවාදී දිශාවනතිය, ඉන් අනතුරු දශකවල දී, චීන කොමියුනිස්ට් පක්ෂයේ ගොවිජන දිශාවනතිය වැලඳගත්, ශ්‍රී ලංකාව තුල ජවිපෙ ඇතුලු, සංවිධානවල බරපතල දේශපාලන අවමංගතවීමේ හා මූලෝපායික වැරදිවල ප්‍රභවයක් බවට පත් විය.

චීනය තුල අත්විදි දේශපාලන ව්‍යසනය තිබිය දී ම, ට්‍රොට්ස්කි සෝවියට් කොමියුනිස්ට් පක්ෂය ප්‍රතිසංස්කරනය කිරීමේ අරගලයේ දිගටම යෙදී ගත්තේ ය. 1927 දී රුසියානු කොමියුනිස්ට් පක්ෂයෙන් හා කොමියුනිස්ට් ජාත්‍යන්තරයෙන් නෙරපනු ලැබ තිබූ ට්‍රොට්ස්කි, 1928 දී ජීවත් වූයේ චීන දේශසීමාව අසල, සෝවියට මධ්‍යම ආසියාවේ පිහිටි නගරයක් වුනු අල්මා අටාවල පිටුවාහලේ ය. එහෙත් මොස්කව් සිට සැතැපුම් දහස් ගනනක් ඈත, හුදකලාව පිටුවාහලේ සිටිය දී පවා, ට්‍රොට්ස්කි, විප්ලවවාදී මූලෝපායේ විශේෂඥයෙක් ලෙස දිගටම ක්‍රියාකලේ ය. ස්ටැලින් සමග පෙලගැසී සිටි, නිකොලායි බුකාරින් විසින්, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ එලඹෙන හය වන සම්මේලනයේ ප්‍රධාන ලියවිල්ල ලෙස, කෙටුම්පත් කරන ලද ක්‍රියාමාර්ගයේ පිටපතක් ඔහු ලබා ගත්තේ ය. ට්‍රොට්ස්කි, තනි රටේ සමාජවාදය පිලිබඳ න්‍යාය මත පාදක වූ මෙම ලියවිල්ල අතිශය ප්‍රබල විවේචනයකට භාජනය කොට, මාක්ස්වාදී ව්‍යාපාරයේ මූලික මූලෝපායික දිශාවනතිය ලෙස, විප්ලවවාදී ජාත්‍යන්තරවාදය, එනම් නොනවතින විප්ලවයේ න්‍යායේ පදනම, ස්ථාපිත කලේ ය.

ඔහු මෙසේ ලිවීය:

“අධිරාජ්‍යවාදයේ, එනම්, මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යය යටතේ පවතින ලෝක ආර්ථිකයේ හා ලෝක දේශපාලනයේ, යුගය වන අපගේ යුගයේ දී එකදු කොමියුනිස්ට් පක්ෂයකට වත්, තමන්ගේම රට තුල වර්ධනයන්ගේ කොන්දේසිවලින් හා ප්‍රවනතාවන්ගෙන් මුලුමනින්ම හෝ මූලික වසයෙන් ආරම්භ කරමින් තම ක්‍රියාමාර්ගය තහවුරු කරගත නොහැක. සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයේ (සෝසසසං) දේශ සීමාව තුල රාජ්‍ය බලය දරා සිටින පක්ෂයට ද මෙය මුලුමනින් ම වලංගුවේ. 1914 අගෝස්තු 4 දා (1 වන ලෝක යුද්ධයේ ආරම්භය) ජාතික ක්‍රියාමාර්ගවලට සදහටම මල බෙරය හැඬ වී ය. කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂයට පදනම් වී ගත හැක්කේ, ධනවාදයේ ඉහලම වර්ධනයේ හා කඩාවැටීමේ යුගය වන වත්මන් යුගයේ ස්වභාවයට අනුරූප වන ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් මත පමනි. ජාත්‍යන්තර කොමියුනිස්ට් ක්‍රියාමාර්ගයක් කිසිදු ආකාරයකින් ජාතික ක්‍රියාමාර්ගවල හෝ ඒවායේ පොදු ලක්ෂනවල එකතුවක් නොවේ.”

ට්‍රොට්ස්කි තව දුරටත් මෙලෙස සඳහන් කලේ ය:

“ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක්, එහි සියලු සබඳතා හා ප්‍රතිවිරෝධතා සහිතව, එනම් එහි විභින්න කොටස්වල අන්‍යොන්‍ය ප්‍රතිවිරෝධී අන්තර්-රඳාපැවැත්ම සහිතව, සමස්තයක් ලෙස ලෝක ආර්ථිකයේ හා ලෝක දේශපාලන පද්ධතියේ කොන්දේසි හා ප්‍රවනතා පිලිබඳ විශ්ලේෂනයකින් සෘජුවම ආරම්භ කල යුතුය. අපගේ යුගයේ දී, අතීතයේ දී ට වඩා වැඩි පරිමාවකින්, කම්කරු පන්තියේ ජාතික දිශාවනතිය ගලා ආ යුත්තේ ද ගලා ආ හැක්කේ ද ලෝක දිශාවනතියෙන් පමනි, අනෙක් අතට නොවේ. කොමියුනිස්ට් ජාත්‍යන්තරවාදය හා සියලු ම ආකාරයන්ගේ ජාතික සමාජවාදයන් අතර මූලික හා ප්‍රමුඛ වෙනස පවතින්නේ මෙය තුලය”.

වසර 90ක කාල පරිච්ඡේදයකට පසුව පවා, සමාජවාදී විප්ලවයේ ගතිකය පිලිබද, ජාතික කොන්දේසි මත ජාත්‍යන්තර තත්වය දරන මූලිකත්වය පිලිබද, ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය, සමාජවාදය සදහා අරගලයේ සාරභූත මූලෝපායික මූලධර්මය ලෙස තවමත් පවතින්නේ ය.

නිලධාරිවාදී වැරැද්දක අහම්බ ප්‍රතිඵලයක් ලෙස, ට්‍රොට්ස්කිගේ කෙටුම්පත් ක්‍රියාමාර්ගය පිලිබඳ විවේචනය ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලැබී ය. එය අහම්බයෙන් හය වන සම්මේලනයට පැමිනි ඇමරිකානු හා කැනේඩියානු නියෝජිතයන් වන ජේම්ස් පී. කැනන්ගේ හා මොරිස් ස්පෙක්ටර්ගේ අත්වලට පත් විය. ඔවුහු ට්‍රොට්ස්කිගේ ලියවිල්ල සෝවියට් සංගමයෙන් පිටතට හොරෙන් ගෙන ගියහ. මෙය ජාත්‍යන්තර වාම විපාර්ශ්වය පිහිටුවීමට තුඩු දුනි. සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ස්ටැලින්වාදී ජාතික පරිහානියට එරෙහි අරගලය, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පරිහානියට එරෙහි අරගලයක් බවට පුලුල් විය.

ජර්මනිය: ජාත්‍යන්තර තත්වයට යතුර

1928 හා 1933 අතර දී, ජාත්‍යන්තර වාම විපාර්ශ්වය තමන්ව සලකා ගත්තේ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ කන්ඩායමක් ලෙස ය. එහි ක්‍රියාකාරකම් යොමු කෙරුනේ ස්ටැලින්වාදී ආධිපත්‍යය සහිත ජාත්‍යන්තරය හා පක්ෂ විප්ලවවාදී දිශාවනතියකට යලි මෙහෙයවා ගැනීම කරාය. කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පිලිවෙත්වල වෙනසක් සිදු කිරීමේ හැකියාව තිබුනු තාක් දුරට එය අතහැර දැමීමට ට්‍රොට්ස්කි කැමති වුනේ නැත. ට්‍රොට්ස්කිගේ දේශපාලන ගනන් බැලීම්වල ප්‍රධාන සාධකයක් වුනේ, ඔහු “ජාත්‍යන්තර තත්වයට යතුර” ලෙස විස්තර කල ජර්මනියේ අර්බුදයයි.

1929 ජනවාරි මාසයේ දී, ට්‍රොට්ස්කි සෝවියට් සංගමයෙන් ප්‍රින්කිපෝ නම් තුර්කි දිවයිනට පිටුවාහල් කෙරුනි. එවිට ඔහු ජීවත් වූයේ “වීසා බලපත්‍රයක් නැති ග්‍රහලෝකයක්” ලෙස ඔහුම සැදහුම් කල ආකාරයට රාජ්‍යයක් නැති පිටුවහලෙක් හැටියට ය. එහෙත් ඉස්තාන්බුල් වෙරලට ඔබ්බෙන් පිහිටි දිවයිනක හුදකලා වී සිටීම නොතකා, ට්‍රොට්ස්කි අත්‍යඅසමාන අනාගත ඥානයකින් යුක්තව ජර්මනියේ තත්වය ගැන විශ්ලේෂනයක් වර්ධනය කලා. ඔහු පැසිස්ට් තර්ජනයට එරෙහිව ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ එක්සත් පෙරමුනක් ගොඩ නගන ලෙස කැඳවුම් කලේ ය.

නාසි පක්ෂය මහජන ව්‍යාපාරයක් බවට පත්ව තිබුනා. එය බලයට පැමිනිය හොත්, ප්‍රතිඵල ජාත්‍යන්තර කම්කරු පන්තිය සඳහා දේශපාලන ව්‍යසනයක් වනු ඇතැයි ට්‍රොට්ස්කි අනතුරු ඇඟ වී ය. බලය කරා නාසින්ගේ ගමන වලකාලීමට සෑම දෙයක්ම කල යුතුව තිබුනි. එහෙත් මෙය, ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ කිසිදු වගවිභාගයක් නැති, මුලුමනින්ම අවමංගත වූ හා විශ්වාස කල නොහැකි තරම් මුග්ධ පිලිවෙත්වල වෙනසක් ඉල්ලා සිටියේ ය. මොස්කව්හි නියම කරන ලද පිලිවෙත අන්ධයන් සේ අනුගමනය කරමින්, ජර්මානු කොමියුනිස්ට් පක්ෂය අනෙක් මහජන කම්කරු පක්ෂය වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග එක්සත් පෙරමුනක් තැනීම ප්‍රතික්ෂේප කලා පමනක් නොව, ඒ වන විටත් මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ සහයෝගය අත්විදිමින් සිටි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, නාසින්ට මුලුමනින්ම පාහේ සමාන “සමාජ-පැසිස්ට්වාදී” සංවිධානයක් යයි කියා සිටියේ ය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා නාසින් අතර වෙනසක් නැති නිසා හිට්ලර්ගේ බලවේගවලට එරෙහිව මහජන කම්කරු පක්ෂ දෙක අතර කිසිදු පොදු ආරක්ෂක ක්‍රියාවකට අවසර නැතැයි එය කියා සිටියේ ය.

ට්‍රොට්ස්කි අනතුරු අගඟවා තිබූන ලෙසම, කොමියුනිස්ට් පක්ෂයේ පිලිවෙත් හිට්ලර්ගේ බලය කරා ගමනට මග පෑදුවේ ය. ඉහල මට්ටමේ ධනේශ්වර දේශපාලනඥයන්ගේ තීරනාත්මක සහයෝගය සහිතව, 1933 ජනවාරි 30 දා හිට්ලර් ජර්මනියේ චාන්ස්ලර් බවට පත් විය. නාසි තන්ත්‍රය, කිසිදු සංවිධානාත්මක ප්‍රතිරෝධයකින් තොරව, කම්කරු පන්තියේ මහජන සංවිධාන විනාශ කිරීම කරා ඉක්මනින්ම ගමන් කලේ ය. මෙම ඓතිහාසිකව-පෙර නොවූ විරූ දේශපාලන ව්‍යසනය තිබිය දී ම, කොමියුනිස්ට් පක්ෂය, කොමියුනිස්ට් ජාත්‍යන්තරය තුලින් කිසිදු විරුද්ධත්වයකින් තොරව, සිය පිලිවෙත් නිවැරදි බවට දිගටම අවධාරනය කලේ ය. ජර්මානු ව්‍යසනය ස්ටැලින්වාදයට එරෙහි අරගලය සම්බන්ධයෙන් සිය ප්‍රවිෂ්ටය වෙනස් කිරීමට ට්‍රොට්ස්කිට බල කෙරුනි.. කොමියුනිස්ට් ජාත්‍යන්තරය ප්‍රතිසංස්කරනය කිරීම කල නොහැකි බව ඔහු නිගමනය කලේ ය. තුන් වන ජාත්‍යන්තරය විප්ලවවාදී සංවිධානයක් ලෙස මිය ගොස් තිබුනි. හතර වන ජාත්‍යන්තරය ගොඩනැගීම අවශ්‍ය විය.

ට්‍රොට්ස්කි හතර වන ජාත්‍යන්තරය පිහිටුවීම

හතර වන ජාත්‍යන්තරයක් නිර්මානය කිරීමට ට්‍රොට්ස්කි කල කැඳවුම, සෝවියට් තන්ත්‍රය පිලිබඳ ඔහුගේ තක්සේරුවට ද සම්බන්ධ කෙරුනි. නිලධාරිවාදී තන්ත්‍රය ප්‍රතිසංස්කරනය කල නොහැකි බවට ඔහු නිගමනය කලේ ය. නිලධරය, සෝවියට් සංගමය තුල කම්කරු පන්තිය මර්දනය කිරීම හරහා සිය වරප්‍රසාද ක්ෂමාවිරහිතව ආරක්ෂා කරමින් සහ සෝවියට් සංගමයේ දේශසීමාවන්ට පිටත කම්කරු පන්තියේ අරගල නරුම ලෙස පාවාදෙමින්, ප්‍රතිවිප්ලවවාදී සමාජ බලවේගයක් බවට පත්ව තිබුනි. සෝවියට් සංගමය සමාජවාදය දෙසට පරිවර්තනය කිරීම, දේශපාලන විප්ලවයකින් ස්ටැලින්වාදී තන්ත්‍රය පෙරලා දැමීම ඉල්ලා සිටියේ ය. සෝවියට් ප්‍රජාතන්ත්‍රවාදය යලි ස්ථාපිත කොට, සෝවියට් සංගමයේ විනාශය හා ධනවාදයේ පුනස්ථාපනය වලකාගත හැකිව තිබුනේ, සෝවියට් කම්කරු පන්තියේ විප්ලවවාදී නැගිටීමක් සහ නිලධරය පෙරලා දැමීම හරහා පමනකි.

හතර වන ජාත්‍යන්තරය පිහිටුවීම පිනිස 1933 දී ට්‍රොට්ස්කි කල කැඳවුමත් 1938 දී එහි ආරම්භක සම්මේලනයත් අතර පස් වසරක කාලය, සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුල පැවති වඩාත්ම ඛේදනීය කාල පරිච්ඡේදවලින් එකකි. ලෝක ධනවාදී පද්ධතියේ පෙර නොවූ විරූ අර්බුදය තිබිය දී ම, කම්කරු පන්තිය ව්‍යසනකාරී පරාජයන් මාලාවකට ම මුහුන දුන්නේ ය. පරාජයන්ට හේතුව අරගල කිරීමට අධිෂ්ඨානය නැති වීම නොවේ. ඒ වෙනුවට, 1933 හා 1938 අතර වසර ගනනාව තුල පන්ති අරගලයේ දැවැන්ත නැගීමක් අත් දැක්කේ ය. 1936 දී ප්‍රන්සය පූර්ව -විප්ලවවාදී ස්වභාවයක් සහිත වර්ජන මගින් වෙවුලා ගියා. මැයි හා ජූනි මාසවල දී, කර්මාන්තවල සෑම අංශයකට ම පාහේ බලපාමින්, මිලියන දෙකකට වඩා කම්කරුවන් සම්බන්ධ වූ වර්ජන 12,000කට වඩා හටගත්තේ ය. වඩාත්ම සටන්කාමී ක්‍රියාවන්ට විප්ලවවාදී හිතැති කම්කරුවන් කම්හල් අල්ලාගැනීම ඇතුලත් වුනා. 1936 ජුලි මාසයේ, ස්පාඤ්ඤ හා කැටලෝනියානු කම්කරුවෝ දැවැන්ත නැගිටීමක් මගින්, ප්‍රැන්සිස්කො ප්‍රැන්කො විසින් නායකත්වය දෙන ලද ෆැසිස්ට්වාදී-හිතැති ජෙනරාල්වරු බල කොල්ලයකට දැරූ ප්‍රයත්නයට ප්‍රතිචාර දැක් වූ හ.

ප්‍රන්සය සහ ස්පාඤ්ඤය යන දෙරටේ දී ම, කම්කරු පන්තියේ ආරම්භක ජයග්‍රහන අවසන් වුනේ ඔවුන් අධෛර්යයට පත්වීමෙන් සහ පරාජයන්ගෙනි. එම පරාජයන්ගේ දේශපාලන උපකරනය වුනේ “මහජන පෙරමුන” යි. එනම්, ධනේශ්වරය සමග ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල සහ වෘත්තීය සමිතිවල සන්ධානයයි. මෙම සන්ධානයේ නිශ්චිත පදනම වුනේ, කම්කරු පන්තියේ විප්ලවවාදී අභිලාෂයන්ට එරෙහිව ධනපති දේපොල ආරක්ෂා කිරීම ය. ෆැසිස්ට්වාදයට එරෙහි අරගලය වනාහි ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට වඩා වැඩි යමක් නොවේ යයි ස්ටැලින්වාදීන් අවධාරනය කලේ ය. කම්කරු පන්තියට ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් කල හැක්කේ, ධනපති පන්තියේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කොටස් සමග සන්ධානයකින් පමනක් යයි ස්ටැලින්වාදීහු කියා සිටියහ. එම නිසා, සමාජවාදී ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කිරීමට හා ඒ සඳහා සටන් කිරීමට අවසරයක් නැත. එසේ කලහොත් ප්‍රජාතන්ත්‍රවාදී ධනපතියන් විරසක වී ඔවුන් පැසිස්ට්වාදයේ කඳවුර තුලට ඇදී යා හැකි යයි ඔවුන් තර්ක කලේ ය.

මහජන පෙරමුනේ ප්‍රති-විප්ලවවාදී අර්ථභාරය සිය පූර්න ප්‍රකාශනය අත්පත් කරගත්තේ ස්පාඤ්ඤය තුල දී ය. එහි දී, සෝවියට් රහස් පොලීසිය වූ ජීපීයූවේ ඒජන්තයන් විසින් පාලනය කරන ලද ස්ටැලින්වාදී පක්ෂය, ෆ්‍රැන්කෝ පරාජය කිරීම සදහා විප්ලවවාදී ක්‍රියාමාර්ගයක පදනම මත කම්කරු පන්තිය හා ගොවි ජනතාව බලමුලු ගැන්විය යුතු යයි අවධාරනය කල අය දඩයම් කොට ඝාතනය කලහ. ස්ටැලින්වාදියෝ ෆ්‍රැන්කෝගේ ජයග්‍රහනය සහතික කෙරුනි.

ස්ටැලින් සෝවියට් සංගමයේ දේශසීමාවන්ට ඔබ්බෙහි කම්කරු පන්තිය පාවා දීම සිදු කරන අතරතුරේ, 1936 හා 1938 අතර මොස්කව්හි පැවැත්වූ ප්‍රසිද්ධ නඩු විභාග තුනක් තුල සංකේන්ද්‍රනය කෙරුනු, සෝවියට් සංගමය තුල ඔහුගේ “මහා ත්‍රස්තයට” මාක්ස්වාදී විප්ලවවාදීන්ගේ සමස්ත පරම්පරාවක්ම ශාරීරිකව තුරන් කර දැමීම ඇතුලත් විය.

ට්‍රොට්ස්කි හතර වන ජාත්‍යන්තරය පිහිටුවූයේ මෙම කොන්දේසි යටතේය. ස්ටැලින්වාදී තන්ත්‍රය පිලිබඳ ඔහුගේ හෙලාදැකීම උවමනාවට වඩා සම්මුති විරහිත හා පරමාදර්ශී යයි කියා සිටි අය, නව ජාත්‍යන්තරයක අවශ්‍යතාව පිලිබඳ ඔහුගේ අවධාරනයට විරුද්ධ විය. තවත් විවේචනයක් වුනේ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය නව ජාත්‍යන්තරයක් පිහිටුවීමට කුඩා වැඩි බව ය, එපමනක් නොව, ජාත්‍යන්තරයක් පිහිටුවිය හැක්කේ “දැවැන්ත සිද්ධීන්ගේ” පදනම මත පමනක් බව ඔව්හු කීහ

ට්‍රොට්ස්කි සිය විවේචකයන්ට පිලිතුරු දුන්නේ, හතර වන ජාත්‍යන්තරය පිහිටුවීම සත්තකින් ම “දැවැන්ත සිද්ධීන්”, එනම්, ඉතිහාසය තුල කම්කරු පන්තිය ලද දැවැන්තම පරාජයන්, මත පාදක වුනු බව අවධාරනය කරමින් ය. මෙම පරාජයන් පැරනි සංවිධානවල ද්‍රෝහිත්වය සහ දේශපාලනිකව කමකට නැති ස්වභාවය එලිදරව් කොට තිබුනි. එපමනක් නොව, තීරනාත්මක කාරනය වූයේ පක්ෂයක ප්‍රමානය නොව, එහි ක්‍රියාමාර්ගයේ ගුනාත්මක භාවයයි, එනම්, හතර වන ජාත්‍යන්තරය ඉදිරිපත් කරන ක්‍රියාමාර්ගය, ඓතිහාසික යුගයේ ස්වභාවය පිලිබද නිවැරදි තක්සේරුවක් මත හා කම්කරු පන්තියේ දේශපාලන කර්තව්‍යයන් නිවැරැදිව සූත්‍රගත කිරීම මත පාදක වන්නේ ද නැද්ද යන්නයි.

සත්තකින්ම, ප්‍රමානය පිලිබඳ ප්‍රශ්නය නොවැදගත් එකක් නොවේ. ධනවාදය පෙරලාදැමීම අතලොස්සක් මිනිසුන්ගේ කුමන්ත්‍රනයක් මගින් සාක්ෂාත් කරගත නොහැකිය. සමාජවාදී විප්ලවයට මහා ජනකායන්ගේ දැනුවත් සහභාගිත්වය අවශ්‍ය කරයි. එහෙත්, න්‍යාය ද්‍රව්‍යමය බලයක් බවට පත් විය හැකි වන්නේ, ඓතිහාසිකව ප්‍රගතිශීලී හා විප්ලවවාදී අර්ථයකින් ගත් කල, පක්ෂයේ ක්‍රියාමාර්ගය වෛෂයික අවශ්‍යතාව හඳුනාගෙන එය ප්‍රකාශයට පත් කරන්නේ නම් පමනකි යන්න මාක්ස්වාදයේ සිද්ධාන්තයකි. වෛෂයික කොන්දේසි පිලිබඳ සාවද්‍ය තක්සේරුවක් මත පාදක වන, සිය ක්‍රියාමාර්ගය ඓතිහාසික යුගයේ ඉල්ලීම්වලට අනුරූප නොවන, පක්ෂ, ඒවා කුමන ක්ෂනික සාර්ථකත්වයන් ලැබුවත්, අවසානයේ දී දේශපාලනික දියබත් වීමට මුහුන දිය යුතු ය.

හතර වන ජාත්‍යන්තරයේ අඛන්ඩ පැවැත්ම

හතර වන ජාත්‍යන්තරයේ

ඓතිහාසික අඛන්ඩ පැවැත්ම පැහැදිලි කරන්නේ කෙසේ ද? අන් සියල්ලටමත් වඩා, එය වනාහි, හතර වන ජාත්‍යන්තරයේ විශ්ලේෂනය හා ක්‍රියාමාර්ගය යුගයේ වෛෂයික ස්වභාවය සමග අනුරූප වීමයි. හතර වන ජාත්‍යන්තරයේ පාදක ලියවිල්ල වත්මන් ඓතිහාසික යුගය ධනවාදයේ මරලතෝනියේ යුගය ලෙස අර්ථ දැක වී ය.

ට්‍රොට්ස්කි මෙසේ ලිවීය:

“නිර්ධන පන්ති විප්ලවය සඳහා ආර්ථික පූර්වාවශ්‍යතාව ධනවාදය යටතේ සාමාන්‍යයෙන් මේරිය හැකි උච්ච ම මට්ටමට දැනට මත් මෝරා තිබේ. මානව වර්ගයාගේ නිෂ්පාදන බලවේග එක තැන පල් වෙයි. නව සොයා ගැනීම් හා වැඩි දියුනු කිරීම් මේ වන විටත් ද්‍රව්‍යමය වස්තු සම්භාරයේ මට්ටම නැංවීමට අසමත් ය. සමස්ත ධනේශ්වර ක්‍රමයේ සමාජ අර්බුද තත්වයන් යටතේ මතු වන ප්‍රාසංගික අර්බුදයෝ එන්ට එන්ට ම බරපතල වන නැතිබැරියාවන් හා දුක්පීිඩා ජනතාවන් මත පටවති. වර්ධනය වන විරැකියාව රාජ්‍යයේ මුදල් අර්බුදය ගැඹුරු කර අස්ථාවර මූල්‍ය පද්ධතීන්ගේ අඩිතාලම බිඳලයි. ෆැසිස්ට්වාදී පාලනයන් මෙන් ම ප්‍රජාතාන්ත්‍රික පාලනයෝ ද එක් බංකොලොත්කමක සිට තවෙකකට ලුහුටා යති”.

ව්‍යසනයක් පිලිබඳ ට්‍රොට්ස්කිගේ අනතුරු ඇඟවීම් සනාථ විය. හතර වන ජාත්‍යන්තරය පිහිටුවීමෙන් හරියටම වසරකට පසුව පැනනැගි දෙවන ලෝක යුද්ධය, ජීවිත මිලියන 60කට වඩා බිලිගත්තේ ය. ධනපති පන්තිය, ස්ටැලින්වාදී පක්ෂවල අත්‍යවශ්‍ය සහයෝගය සහිතව, දේශපාලන සම්මුතීන්ගේ, උපායික සහනවල සහ නිසැකවම අවශ්‍ය වූ විට ක්ෂමා විරහිත මර්දනයේ සංයෝජනයක් මගින්, යුද්ධයෙන් අනතුරුව ලොව සිසාරා ගිය නැගිටීම්වලින්, සිය පන රැකගැනීමට සමත් වුනි. දශක ගනනාවක් තිස්සේ, යුද්ධයේ නටබුන් මත යලි ගොඩනගමින්, ධනවාදය සැලකිය යුතු ආර්ථික වර්ධනයක් අත් වින්දේ ය. එහෙත් අතිමූලික ප්‍රතිවිරෝධතා, එනම්, සමාජ නිෂ්පාදනය හා නිෂ්පාදන බලවේගවල පුද්ගලික අයිතිය අතර ද ලෝක ආර්ථිකයේ ඒකාග්‍රිත ස්වභාවය හා ජාතික රාජ්‍ය පද්ධතිය ද අතර පවත්නා ප්‍රතිවිරෝධතා, අඛන්ඩව පැවතියේ ය.

නැගෙනහිර යුරෝපයේ සහ සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී තන්ත්‍රවල බිඳ විසිරවීම, සමාජවාදය මත්තෙහි ධනවාදයේ විජයග්‍රහනය ලෙස, පාලක ප්‍රභූන් සහ ඔවුන්ගේ මාධ්‍ය ප්‍රචාරකයන් හා ශාස්ත්‍රාලික ක්ෂමාලාපකයන් විසින් විශ්වීය පරිමානයෙන් සාදරයෙන් පිලි ගනු ලැබුනි. 1990 ගනන්වල විජයග්‍රහනවාදය පාදක වුනේ බොරු දෙකක් මතය: එනම්, ස්ටැලින්වාදී තන්ත්‍ර සමාජවාදී ය යන්න සහ ධනවාදයේ ප්‍රතිවිරෝධතා කොහොම නමුත් ජයගනු ලැබ ඇත යන්නයි. එහෙත් පසුගිය වසර 30ක අත්දැකීම්වල ආලෝකයෙන් ගත් කල, ධනවාදයේ විජයග්‍රහනය පිලිබඳ සැමරීම්, අඩු ම ලංසුවෙන් කියතොත්, අකල් ප්‍රයත්නයකි. ස්ටැලින්වාදී තන්ත්‍රයන්ගේ බිඳවිසිරවීමෙන් අනතුරුව ධනවාදය මනුෂ්‍ය වර්ගයාට සාමය, සෞභාග්‍යය හා විශ්වීය ප්‍රජාතන්ත්‍රවාදය ගෙන එනු ඇතැයි පාලක ප්‍රභූන් ප්‍රකාශ කොට තිබුනි.

යථාර්ථය බෙහෙවින් වෙනස් බව පෙනී ගියේ ය. 1991 දී ඇමරිකාව ඉරාකය ආක්‍රමනය කිරීමෙන් හා යුගෝස්ලාවියාවේ සිවිල් යුද්ධයෙන් ආරම්භ කරමින්, නිමක් නැති මිලිටරි ගැටුම් හටගෙන ඇත.. 9/11 සිද්ධීන්ගෙන් පසුව දියත් කෙරුනු “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” දැන් 18 වන වසරට ලගා වී ඇත්තේ, එහි කිසිදු අවසානයක් නොපෙනෙන තතු යටතේ ය. ඒ වෙනුවට, භූ-දේශපාලනික එදිරිවාදුකම් සහ ගැටුම් උත්සන්න වීම නොවැලැක්විය හැකි ලෙස ම තුන් වන ලෝක යුද්ධයක් පිපිරීම දෙසට ගමන් කරනවා. ප්‍රධාන ලෝක බලය ලෙස තමන්ම විස්ථාපනය කිරීමට චීනයට ඉඩ නොදෙන බවත් චීනයේ නැගීමට විරුද්ධව මිලිටරි බලය පවා යොදා ගත යුතු බවත් එක්සත් ජනපදය පැහැදිලි කොට ඇත. එමෙන් ම එක්සත් ජනපදය, රුසියාව සමග ගැටුමක මාවතට අවතීර්න වී සිටියි. වොෂිංටනය රුසියාව දකින්නේ, යුරේසියාව හා මැද පෙරදිග මත ආධිපත්‍යය දැරීමේ සිය සැලසුම්වලට බාධාවක් ලෙසයි. ප්‍රහාරාත්මක අවි නීති විරෝධී ලෙස වර්ධනය කිරීම ලෙස ඔවුන් කියාපාන පිලිවෙත වලකනු පිනිස රුසියාවට එරෙහිව පූර්ව-භංග ප්‍රහාරයක් එල්ල කිරීමට එක්සත් ජනපදය සූදානම් බවට පසුගිය සතියේ නැටෝ සංවිධානයේ එක්සත් ජනපද තානාපති ප්‍රකාශ කලේ ය. එවන් විවෘත තර්ජනයක් න්‍යෂ්ටික අවිවලින් වඩාත්ම සන්නද්ධ බලවතුන් දෙදෙනා අතර ගැටුම භයංකර ලෙස උත්සන්න වීමකි. ලෝකය න්‍යෂ්ටික යුද්ධයක අද්දරට ම ගමන් කරමින් සිටිනවා. එහි මාරාන්තික ප්‍රතිවිපාක විස්තර කල නොහැකි තරම් ය.

උත්සන්න වන ජාත්‍යන්තර ප්‍රචන්ඩත්වයේ පසුබිමට එදිරිව, සෑම රටක් තුලම, විශේෂයෙන්ම එක්සත් ජනපදය ඇතුලු වැඩි දියුනු ධනපති රටවල් තුල, සමාජ ආතතීන් නැගෙමින් පවතියි. ආතතීන්ට යටින් පවත්නා හේතු වනාහි, අඛන්ඩව පවතින ආර්ථික අර්බුදය සහ සමාජ අසමානතාවයේ දැවැන්ත මට්ටම් ය. බිලියනපතියෝ දුසිමකට වඩා අඩු සංඛ්‍යාවක් ලෝක ජනගහනයේ හරි අඩකට වඩා වැඩි ධනයක් හිමි කර ගෙන සිටිති. ඇමසන් සංගතයේ හිමිකරු වන ජෙප් බෙසොස් ඩොලර් බිලියන 150ක් ලෙස තක්සේරු කල පුද්ගලික ධනයකට හිමිකම් කියනවා. යන්තම් පැයක කාලයක් තුලදී, ඔහුගේ වස්තු සම්භාරයට එකතු වන මිලියන ගනනක ධනය, සිය ජීවිත කාලය තුල සාමාන්‍ය කම්කරුවකු උපයන මුලු ධනය මෙන් කිහිප ගුනයකි.

සමාජ අසමානතාවය හා ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීම

සමාජ අසමානතාව නොවැලැක්විය හැකි ලෙසම සමාජ හා පන්ති ගැටුම් නිර්මානය කරයි, එක්තරා අවස්ථාවක දී, ප්‍රජාතන්ත්‍රවාදයේ යාන්ත්‍රන බිද වැටෙන මට්ටමට සමාජ ආතතීන් ආන්තික ලෙස වර්ධනය වෙමින් ඇත. දැන් ලොව පුරා නැගෙමින් පවතින්නේ මෙම තත්වයයි. එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් තේරී පත්වීම, ධනපති පන්තිය සිය පාලනය සදහා යොදාගත්, දිගුකාලීනව-තහවුරුව පැවති ප්‍රජාතන්ත්‍රික දේශපාලන ව්‍යූහයන්ගේ පද්ධතිමය බිදවැටීමක ලක්ෂනයයි. ෆැසිස්ට්වාදය යලි බලයට පැමිනීමේ අන්තරාය පිලිබදව පුලුල්ව පැතුරුනු සාකච්ඡාවක් සිදුවෙමින් ඇත.

How Democracy Dies(ප්‍රජාතන්ත්‍රවාදය මිය යන අයුරු) නම් ග්‍රන්ථය තුල එහි කතුවරුන් වන ස්ටීවන් ලෙවිට්ස්කි සහා ඩැනියෙල් සිබ්ලාට් බලාපොරොත්තු කඩවුනු ආකාරයකින් මෙසේ ලියති:

“අපගේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේද? එය අපට ඇසීමට සිදු වේය කියා අප කිසිදාක නොසිතූ ප්‍රශ්නයකි. ... පසුගිය වසර දෙකක කාලය මුලුල්ලේ, දේශපාලනඥයන් එක්සත් ජනපදය තුල පෙර නොවූ විරූ දේවල් පවසන හා සිදු කරන අයුරු අපි බලා සිටියෙමු. එහෙත් සෙසු රටවල ද ප්‍රජාතන්ත්‍රවාදී අර්බුදයේ පෙරනිමිති ලෙස අප ඒවා හඳුනා ගනිමු. දේවල් මෙහි තරම් සැබැවින්ම නරක වනු නැතැයි අප අපටම සහතික කර ගැනීමට උත්සාහ කරන තතු යටතේ පවා, අපට භීතියක් දැනෙයි. බොහෝ ඇමරිකානුවන්ට ද දැනෙන්නේ එලෙසය.

එතකුදු අපි කනගාටුවට ලක්ව ඇත්තෙමු. අප අත්දකින්නේ ලෝකයේ පැරනිතම හා වඩාත්ම සාර්ථක ප්‍රජාතන්ත්‍රවාදයන්ගෙන් එකක පරිහානිය හා කඩාවැටීමද? ”

හිටපු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මැඞ්ලින් ඕල්බ්‍රයිට් Fascism: A Warningෆැසිස්ට්වාදය: අනතුරු ඇගවීමක්) යන මාතෘකව යටතේ පොතක් ලියා ඇත. එහිදී තුල ඇය එක්සත් ජනපදය තුල අන්ත දක්ෂිනාංශයේ යලි නැගීම සඳහා පහත සදහන් අතිශය සරල පැහැදිලි කිරීම සපයයි:

“අප ෆැසිස්ට්වාදය ගැන හිතන්නේ දැන් මුලුමනින්ම පාහේ සුව වී ඇති අතීතයෙන් ලද තුවාලයක් ලෙස නම්, ට්‍රම්ප් ධවල මන්දිරයට යැවීම එම තුවාලයේ වෙලුම් පටිය ඉරා දමා එහි කබොල්ල ඇද දැමීමකට සමානය. ”

එහෙත් මෙම දේශපාලන රෝග නිර්නය අධිපතිවාදයේ යලි නැගීම ලෝක පරිමාන ප්‍රපංචයක් යන කරුන නොතකා හරියි. The People Versus Democracy (ප්‍රජාතන්ත්‍රවාදයට එදිරිව මහජනතාව) නම් ග්‍රන්ථය තුල, යස්කා මවුන්ක්, පැසිස්ට් ව්‍යාපාරයන්ගේ පුනර්ජීවනයේ ගෝලීය පරිමාවට අවධානය යොමු කරයි.

නිදසුනක් ලෙස, ඩොනල්ඞ් ට්රම්ප් අනන්‍ය ඇමරිකානු ප්‍රපංචයක් ලෙස දැකීම ආකර්ෂනීයය. එහෙත්, ට්රම්ප් මතු කරන තර්ජනයේ සැබෑ ස්වභාවය අවබෝධ කරගත හැක්කේ වඩා පුලුල් සන්දර්භයක් තුල පමනි: එනම්, ඇතන්ස් සිට අන්කාරා දක්වා, සිඞ්නි සිට ස්ටොක්හෝම් දක්වා සහ වෝර්සෝ සිට වෙලිංටන් දක්වා, සියලු ප්‍රධාන ප්‍රජාතන්ත්‍රයන් තුල ශක්තිය අත් කරගනිමින් සිටින අන්ත දක්ෂිනාංශික ජනතාවාදීන්ගේ සන්දර්භය තුල ය. මෙම සියලු රටවල හිස ඔසවමින් සිටින ජනතාවාදීන් අතර පවත්නා පැහැදිලි වෙනස්කම් තිබියදී ම, ඔවුන්ගේ පොදු ලක්ෂන ගැඹුරට ම විහිදෙයි - ඒවා විශ්මයජනක ලෙස සමාන ආකාරයකින් දේශපාලන පද්ධතියට අන්තරායක් ගෙන එයි.

තවත් මෑතදී පල කෙරුනු ග්‍රන්ථයක් වන ජේසන් ස්ටැන්ලිගේ How Fascism Works (ෆැසිස්ට්වාදය වැඩ කරන අයුරු) දක්ෂිනාංශික අන්තවාදයේ වර්ධනයේ ගෝලීය ස්වභාවයට අවධානය යොමු කරයි:

”මෑත වසරවලදී, ලොව වටා රටවල් බොහෝ ගනනක නිශ්චිත ආකාරයන්ගේ අන්ත දක්ෂිනාංශික ජාතිකවාදයන් විසින් අත්පත් කරගෙන තිබේ. එම ලැයිස්තුවට රුසියාව, පෝලන්තය, ඉන්දියාව, තුර්කිය හා එක්සත් ජනපදය ඇතුලත්ය. ත්‍ව පැසිස්ට්වාදය නම් ලේබලය මම තෝරාගෙන ඇත්තේ, ජාතිය වෙනුවෙන් කතා කරන, අධිපතිවාදී නායකයකුගේ පුද්ගලත්වය තුල ජාතිය නියෝජනය වන, එක්තරා ආකාරයක අන්තජාතිකවාදය (ජනවාර්ගිත, ආගමික, සංස්කෘතිකමය) සඳහා ය.”

ෆැසිස්ට්වාදය යලි නැගීමේ වඩාත්ම භයංකර ප්‍රකාශය සපයනු ලබන්නේ ජර්මනිය තුල මෑත වර්ධනයන් මගිනි. එහි දී තුන්වන රයිකයේ බිඳවැටීමෙන් හා දෙවන ලෝක යුද්ධයේ අවසානයෙන් වසර 70කට වැඩි කලකට පසුව, නාසින් බැරෑරුම් දේශපාලන බලවේගයක් ලෙස යලිත් වතාවක් හිස ඔසවමින් සිටියි. නාසි පෙලපාලිකරුවෝ, වර්ගවාදී හා යුදෙව්-විරෝධී සටන් පාඪ හඩ තලමින්, කෙමින්ස්ට් හා ඩෝර්ට්මුන්ඞ් නගරවල වීදි දිගේ ගමන් කලහ. මෙම පෙලපාලි විශේෂයෙන් ම අර්ථභාරී වන්නේ ඒවායේ ප්‍රමානය නිසා නොවේ. නාසින් තවමත් සාපේක්ෂව කුඩා දේශපාලන බලයක්. ඔවුහු ජර්මනිය තුල ගර්හාවට ලක් වෙති. නමුත් නාසින්ට ජර්මානු රාජ්‍යයේ ඉහලම තැන්වලින් බලගතු අනුග්‍රහයක් ලැබෙයි. කෙම්නිස්ට් හි පැවැති පෙලපාලියෙන් අනතුරුව, පාලක සභාග ආන්ඩුවේ අභ්‍යන්තර ඇමති හෝර්ස්ට් ෂීහොපර්, නාසි මැරයන්ට සිය උනුසුම් සහානුමතිය ප්‍රකාශ කලේ ය. නාසි මැරයන් පෙලපාලිය නරඹමින් පසෙකින් සිටි විදේශිකයන්ට තර්ජනය කල බවට වීඩියෝ සාක්ෂ්‍ය තිබියදීම, ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ අමාත්‍යංශයේ ප්‍රධානියා වන හෑන්ස් ජොර්ජ් මාසන් එම කරුන ප්‍රතික්ෂේප කලේ ය.

තුන්වන රයිකයේ පූර්න භයංකරත්වය අත්විදි රට වන ජර්මනිය තුල නාසිවාදය යලි පනගසා ඒම පැහැදිලි කරන්නේ කෙසේද? හිට්ලර්වාදයට ගොදුරුවූවන්ගේ මතකයට ගරු කරන අප්‍රමාන ස්මාරක එම රට පුරා පවතිනවා. එහෙත් මැඩ පවත්වා ඇති එහෙත් සුව නොකෙරුනු රෝගයක් මෙන්, පැරනි රෝග ලක්ෂන යලිත් වතාවක් මතුවෙමින් තිබේ. පැසිස්ට්වාදය පිලිබඳ ශ්‍රේෂ්ඨතම විශ්ලේෂනය සම්පාදනය කල ට්‍රොට්ස්කි, මෙම දේශපාලන වසංගතය ධනවාදයේ ප්‍රතිවිරෝධතා තුල මුල් බැස ඇති බවත්, ගෝලීය ආර්ථික අර්බුදයේ, ජාත්‍යන්තර භූ-දේශපාලනික ආතතීන්ගේ හා දේශීය සමාජ ගැටුම්වල පීඩනය යටතේ, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම ප්‍රතිවර්තනය කල නොහැකි සන්තතියක් බව අවධාරනය කලේ ය.

ධනවාදයේ පදනම මත ප්‍රජාතන්ත්‍රවාදය අන්තරායෙන් මුදා ගෙන එයට යලි සුවය ලබා දිය නොහැකිය. කම්කරු පන්තිය ඊනියා ලිබරල් හා ප්‍රගතිශීලී ධනේශ්වර පක්ෂවලට යටත් කල හා එමගින් පැසිස්ට්වාදයේ ජයග්‍රහනය සහතික කල, මහජන පෙරමුනුවාදයේ ද්‍රෝහි දේශපාලනය හෙලා දකිමින්, 1930 ගනන්වල දී ට්‍රොට්ස්කි කල සියලු අනතුරු ඇඟවීම්වලට දැවැන්ත සමකාලීන අදාලත්වයක් පවතියි. 1936 දී ට්‍රොට්ස්කි මෙසේ ලිවීය:

“කම්කරුවන් හා ගොවි ජනතාව පාර්ලිමේන්තුවාදී මිථ්‍යාවන්ගෙන් නලවමින්, අරගල කිරීමට ඔවුන් සතු අධිෂ්ඨානය අකර්මන්ය කරමින්, මහජන පෙරමුන පැසිස්ට්වාදයේ ජයග්‍රහනය සඳහා හිතකර කොන්දේසි නිර්මානය කරයි. ධනේශ්වරය සමග සභාගයේ පිලිවෙතට, ෆැසිස්ට් ත්‍රස්තයේ දශක ගනනාවකින් නොවේ නම්, නව වධවේදනාවන්ගෙන් හා කැපකිරීම්වලින් යුක්ත වසර ගනනාවකින් වන්දි ගෙවීමට කම්කරු පන්තියට සිදු වනු ඇත”.

ට්‍රොට්ස්කිගේ සියලු අනතුරු ඇඟවීම් සනාථ විය. මහජන පෙරමුන අවසන් වූයේ, 1939 හා 1945 අතර දී කෝටි සංඛ්‍යාත ජීවිත බිලිගත් ව්‍යසනයන් තුලයි. එහෙත් ට්‍රොට්ස්කිවාදයේ සතුරන්, එනම්, ඉතිහාසයේ පාඩම් නොතකා හරින ව්‍යාජ වාම දේශපාලන වංචාකාරයෝ, 1930 ගනන් හා 1940 ගනන්වල ව්‍යසනයන්ට වගකිව යුතු පිලිවෙත්ම අද තොරොම්බල් කරති. වඩාත්ම ප්‍රසිද්ධ අද්‍යතන ව්‍යාජවාම න්‍යායාචාර්යවරුන් අතර සිටින මහාචාර්ය සන්තාල් මුෆේ “වාම ජනතාවාදයක්” ඉදිරිපත් කරයි. එය නව-ස්ටැලින්වාදී මහජන පෙරමුනු පන්ති සහයෝගිතාවයේ මෑතම රූපාකාරයට වඩා වැඩි යමක් නොවේ. කම්කරු පන්තියේ විප්වවාදී ක්‍රියාකලාපය හා ධනවාදී සූරාකෑමට එරෙහි එහි අරගලයේ කේන්ද්‍රීය භාවය මත පාදක වන “අත්‍යවශ්‍යවාදී” වාම දේශපාලනය ප්‍රතික්ෂේප කිරීමට විවෘතව කැඳවුම් කරමින්, මුෆේ තරයේ කියා සිටින්නේ, “වාම ජනතාවාදය ‘ලිබරල් ප්‍රජාතාන්ත්‍රික’ තන්ත්‍රයෙන් ‘විප්ලවවාදී’ බිඳීමක් ඉල්ලා නොසිටින” බව ය.

ඇය මෙසේ ලියයි: “ලිබරල් ප්‍රජාතාන්ත්‍රික සංස්ථාවන් විනාශ කිරීමකින් තොරව, පවත්නා අධිපති පර්යාය පරිවර්තනයකට ලක් කල හැකිය.” සූරාකෑමේ, පීඩනයේ හා අසමානතාවයේ ම්ලේච්ඡ හා දැවැන්ත ලෙස සන්නද්ධ ආරක්ෂකයා වන ධනවාදී-අධිරාජ්‍යවාදී රාජ්‍යයට අත නොතැබිය යුතුයි. ඉතින්, කම්කරු පන්තිය විසින් ධනපති රාජ්‍යය විප්ලවවාදී ලෙස පෙරලා දැමීම, ධනපති කතිපයාධිත්වයන් අස්වාමික කිරීම සහ නිෂ්පාදන හා මූල්‍ය මාධ්‍යවල පුද්ගලික අයිතිය අහෝසි කිරීම සඳහා වූ මාක්ස්වාදී ක්‍රියාමාර්ගයට මහාචාර්ය මුෆේගේ විකල්පය කුමක්ද? “වාම ජනතාවාදී ප්‍රවිෂ්ටයක්” දක්ෂිනාංශික පක්ෂවල ආධාරකරුවන්ට ආයාචනා කරන “වෙනස් වචන මාලාවක් හා වෙනස් භාෂාවක් සම්පාදනය කිරීමට උත්සාහ කල යුතු.” බව ඇය වැඩි දුරටත් සඳහන් කරයි. දේශපාලන බංකොලොත්කමේ මීට වඩා නග්න ප්‍රකාශනයක් සිතාගත හැකිද? විප්ලවවාදී ක්‍රියාමාර්ගයක පදනම මත කම්කරු පන්තිය බලමුලුගැන්වීමෙන් තොරව, ෆැසිස්ට්වාදයේ තර්ජනයට එරෙහිව සටන් කල හැකි යයි අප ලවා විශ්වාස කරවීමට මහාචාර්ය මුෆේට අවශ්‍යය. හුදෙක් අවශ්‍ය වන්නේ ප්‍රතිසංස්කරනවාදය නව වචන මාලාවකින් සැරසීම පමනි.

විප්ලවවාදී නායකත්වයේ අර්බුදය

ධනවාදයේ මර ලතෝනියේ යුගය තුල ඉදිරිපත්ව ඇති දේශපාලන විකල්ප එක්කො ෆැසිස්ට් ම්ලේච්ඡත්වය නැති නම් සමාජවාදී විප්ලවයයි. ඒ දෙකෙන් ජයග්‍රහනය කරන්නේ කුමක් ද යන්න මත මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය තීන්දු කෙරෙනු ඇත. ෆැසිස්ට්වාදයේ ජයග්‍රහනයෙන් අදහස් කෙරෙන්නේ මනුෂ්‍ය ශිෂ්ඨාචාරයේ විනාශයයි. සමාජවාදී විප්ලවයේ ජයග්‍රහනය නව හා ශ්‍රේෂ්ඨ පදනමක් මත මනුෂ්‍ය ශිෂ්ඨාචාරයේ පුනර්ජීවනයක හා සුපුෂ්පිත වීමක හැකියාව වීවෘත කරයි. අප ඉදිරියේ ඇති තේරීම එයයි.

විසි වන සියවසේ ප්‍රථම දශකවල විප්ලවවාදී අරගලවල පරිවර්තනයන් සමාලෝචනය කරමින් සහ 1917 ඔක්තෝබරයේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහනයෙන් අනතුරුව අත්විඳි බොහෝ පරාජයන්ගේ හේතුව පැහැදිලි කිරීමට උත්සාහ කරමින්, ට්‍රොට්ස්කි යුගයේ මූලික ගැටලුව ලෙස “විප්ලවවාදී නායකත්වයේ අර්බුදය” හඳුනාගත්තේ ය. සමාජවාදයේ ජයග්‍රහනය සඳහා වෛෂයික කොන්දේසි පැවතුන. නමුත් ඉතිරිව පැවතුනේ ආත්මීය නායකත්වයේ නොවිසඳුනු ගැටලුවයි. මෙය අපගේ යුගයේ අතිමූලික කර්තව්‍යය ලෙස පවතියි.

ට්‍රොට්ස්කිවාදයේ විරුද්ධවාදීහු, විශේෂයෙන් ම සුලු ධනේශ්වර ව්‍යාජවාම දේශපාලනයේ අනේක රූපාකාරයන්ගේ නියෝජිතයන් අතර සිටින්නෝ පුරුද්දක් වසයෙන් හතර වන ජාත්‍යන්තරයට “කට්ටිවාදී” යයි පහර ගසති. සුලු ධනේශ්වර ව්‍යාජ-වම කරනවාක් මෙන් පාලක පන්තියේ කෝට් බෑයේ එල්ලී ගැනීම ජාත්‍යන්තර කමිටුව ප්‍රතික්ෂේප කිරීම ඔවුන්ට ඉවසිය නොහැකිය.

මූලධර්මවලට අපගේ පවත්නා බැඳීම ගැන කුපිත වී ඇති අපගේ විරුද්ධවාදියෝ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය මිලියන ගනනින් සාමාජිකයන් බඳවා ගෙන නැත යන කරුනට ඇඟිල්ල දිගු කරති. අපගේ සතුරන් අතර ජනප්‍රිය මන්ත්‍රයක් නම්, “ට්‍රොට්ස්කි හතර වන ජාත්‍යන්තරය ප්‍රකාශයට පත් කලත් එය කිසිදාක ගොඩනගා නැත” යන්නයි. මෙම වාක්‍යය මගින් ඔවුන් හතර වන ජාත්‍යන්තරයේ පරිනාමය පසුගිය අසූ වසරක කාලය තිස්සේ පන්ති අරගලයේ සමස්ත ඉතිහාසයෙන් වෙන් කරයි. ව්‍යාජ වමේ මනාපය දිනාගත් පක්ෂ හා සංවිධාන, එනම්, ස්ටැලින්වාදීන්, මාඕවාදීන්, ධනේශ්වර ජාතිකවාදීන්, කම්කරු නිලධරයන්, ට්‍රොට්ස්කිවාදීන්ට අවලාද නැගීම, ඔවුන් සිරගත කිරීම හා ඝාතනය කිරීම මගින් හතර වන ජාත්‍යන්තරයේ වර්ධනය වලකාලීමට උත්සාහ කල බව අමතක කිරීමට කැමැති ය.

හතර වන ජාත්‍යන්තරයට විකල්පයක් ලෙස අපගේ විරුද්ධවාදීන් ඉදිරිපත් කරන්නේ කුමක්ද? ඔවුන් ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරකම්වල පසුගිය වසර අසූව, හතලිහ හෝ අඩු ගනනේ විස්ස සැමරීමට උත්සාහ කලොත්. ඔවුන්ට සාඩම්බරයෙන් පෙන්වා දිය හැකි දේශපාලන ජයග්‍රහන මොනවාද? සෝවියට් සංගමයේ නටබුන් හා ඉන් අනතුරුව රුසියාව ආර්ථිකව දූෂනයට ලක් කිරීම ඔවුන්ට පෙන්විය හැකිය. මාඕවාදීන්ට, චීනය ගෝලීය ධනවාදයේ නාභීය ලක්ෂ්‍යයක් බවට, අලුතෙන් පැනනැගි බිලියනපතියන් දුසිම් ගනනක දේශය බවට පරිවර්තනය වීම පෙන්විය හැකිය. දේශීය ආර්ථිකයේ පැවැත්මට අත්‍යවශ්‍ය වන ඩොලර් සම්පාදනය කරන ඇමරිකානු සංචාරකයන්ගේ පාරාදීසයක් බවට යලිත් වරක් කියුබාව පත්ව තිබෙන අයුරු පෙන්වීමට කැස්ත්‍රෝවාදීන්ට හැකි ය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ධනේශ්වරයේ සම්ප්‍රදායික දක්ෂිනාංශික පක්ෂවලින් මුලුමනින් ම පාහේ වෙන්කොට හඳුනාගත නොහැකිය. බ්‍රිතාන්‍යයේ කෝබින් පිලිබඳ නිදසුන, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන සමාජවාදය සඳහා අරගලයේ උපකරන බවට පරිවර්තනය කල නොහැකි බව යලිත් වතාවක් ඔප්පු කරයි. සත්තකින්ම ඒවා සාමාන්‍ය මට්ටමේ සමාජ ප්‍රතිසංස්කරනවල උපකරන බවට පරිවර්තනය කිරීම පවා තව දුරටත් කල නොහැකි ය. ට්‍රොට්ස්කි යොදාගත පදයක් මතක් කරන්නේ නම්, මෙම සියලු සංවිධානවලට පවතින පොදු ලක්ෂනයක් වන්නේ, ඒවා අරටුවෙන් අරටුවටම කුනු වී තිබීමයි.

ට්‍රොට්ස්කි හතර වන ජාත්‍යන්තරය පිහිටුවූයේ කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසදීමට ය. ධනවාදයේ මර ලතෝනියේ යුගය තුල මතු කෙරෙන දේශපාලන කර්තව්‍යයන් පහසුවෙන් සාක්ෂාත් නොකෙරෙනු ඇති බව ඔහු අවබෝධ කරගත්තෙහි ය. 1940 මැයි මාසයේ, එනම් ස්ටැලින්වාදී තන්ත්‍රයේ ඒජන්තයකු විසින් ඔහු ඝාතනය කිරීමට යන්තම් මාස දෙකකට පෙර ට්‍රොට්ස්කි මෙසේ ලිවීය:

“දිග්ගැසුනු මර ලතෝනිය ගැන නොතැකුව හොත්, ධනේශ්වර ලෝකයට ගැලවෙන මගක් නැත. යුද්ධයන්ගෙන්, නැගිටීම්වලින්, සාම ගිවිසුම්වලින් යුක්ත කෙටි අන්තර්කාල පරිච්ඡේදයන්ගෙන්, නව යුද්ධයන්ගෙන්, හා නව නැගිටීම්වලින් යුක්ත, දශක ගනනාවකට නොවේ නම් දිගු වසර ගනනාවකට සූදානම් වීම අවශ්‍යය. තරුන විප්ලවවාදී පක්ෂයක් පදනම් වී ගත යුත්තේ මෙම ඉදිරිදර්ශනය මතය”.

ට්‍රොට්ස්කි පෙර දුටු පරිදි, මනුෂ්‍ය වර්ගයා, “යුද්ධයන්ගෙන්, නැගිටීම්වලින්, සාම ගිවිසුම්වලින් යුක්ත කෙටි අන්තර්කාල පරිච්ඡේදයන්ගෙන්, නව යුද්ධයන්ගෙන්, හා නව නැගිටීම්වලින් යුක්ත, දශක ගනනාවක්” හරහා ගමන් කොට තිබේ. වඩාත් ම අහිතකර කොන්දේසි යටතේ දේශපාලනිකව-වධබන්ධනයට ලක්කෙරුනු සුලුතරයක් ලෙස මාක්ස්වාදයේ උරුමය ආරක්ෂා කරගනිමින්, හතර වන ජාත්‍යන්තරය, ජාත්‍යන්තර කමිටුවේ නායකත්වය යටතේ, දැවැන්ත අත්දැකීම් සම්භාරයක් සමුච්ඡය කරගෙන ඇත. සිද්ධීන් විසින් එහි ඓතිහාසික ඉදිරිදර්ශනය සනාථ කරනු ලබා ඇත.. දැන්, ධනවාදයේ මර ලතෝනියේ මෙම පසුකාලීන හා ඉතා වැඩි දියුනු මට්ටමේ දී, සමාජවාදී විප්ලවයේ මහජන ලෝක පක්ෂය ලෙස හතර වන ජාත්‍යන්තරය ගොඩනැගීමට කොන්දේසි නිර්මානය වී තිබේ.

Share this article: