දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාවේ උතුරේ සිය ගනනක් විරෝධතා දක්වති

සුභාෂ් සෝමචන්ද්‍රන් විසිනි, 2018 ඔක්තෝබර් 19

වසර ගනනක් තිස්සේ සිරගත කර සිටින දෙමල දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් යුද්ධයෙන් ඉරිතැලී ගිය ශ්‍රී ලංකාවේ උතුරේ ශිෂ්‍යයන්, ගුරුවරුන් හා සාමාන්‍ය වැසියන් සිය ගනනක් පසුගිය සතියේ විරෝධතා පැවැත්වූහ.

මෙම උද්ඝෝෂනයේ කොටසක් ලෙස යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් පෙලපාලියක් පැවැත්වූ අතර, එය ඔක්තෝබර් 9 දා ආරම්භ කර උතුරුමැද පලාතේ අනුරාධපුරය නගරයට ඔක්තෝබර් 13 දා ලඟා විය. මෙම දේශපාලන සිරකරුවන්ගෙන් දුසිමක් අනුරාධපුරය බන්ධනාගාරයේ රඳවා සිටින අතර ඔවුහු තම නඩු ඇසීමේ කටයුතු වේගවත් කරන ලෙස ඉල්ලමින් උපවාසයක් ආරම්භ කර තිබුනි. පෙලපාලිය කිලිනොච්චි හා වවුනියාව ප්‍රදේශ පසුකරද්දී එම ප්‍රදේශවල මහජනයා හා ශිෂ්‍යයෝ එයට සහයෝගය දැක්වූ හ.

මෙම විරෝධතාව යලි වතාවක් ප්‍රදර්ශනය කලේ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමට දෙමල ජනයාට පවතින අවශ්‍යතාව යි. ප්‍රජාතන්ත්‍රීය අයිතීන් අඛන්ඩ ව මර්දනය කිරීම සහ දශක තුනකට ආසන්න කාලයක් පැවති වාර්ගික යුද්ධයෙන් ඇතිකරන ලද විනාශයට අමතර ව වඩ වඩා ඛාදනය වෙමින් පවතින සමාජ හා ජීවන කොන්දේසි කෙරෙහි උතුරේ කම්කරුවන් හා දුගීන් අතර වර්ධනය වන විරෝධය ද එමගින් ප්‍රදර්ශනය කලේ ය.

2009 මැයි මාසයේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය පරාජය කරමින් යුද්ධය අවසන් වුව ද මිලිටරි වාඩිලාගැනීම හා තථ්‍ය මිලිටරි පාලනය දිගට ම පැවතීගෙන යයි.

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමටත්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, අතුරුදන් කිරීම් හා අනෙකුත් යුද අපරාධ විමර්ශනය කිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ පොරොන්දු වූ හ. එහෙත් දැන් සනාථ වී ඇත්තේ, එම පොරොන්දු වනාහි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනයට එරෙහි මහජන කෝපය ගසා කෑමට හා එක්සත් ජනපදයට හිතැති තන්ත්‍රයක් කොලඹ ස්ථාපනය කිරීම පිනිස කල ව්‍යාජ කියාපෑම් බව යි. ආරම්භයේ පටන් ම දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) එක්සත් ජනපදයට හිතැති තන්ත්‍රයේ ක්‍රියාවන් සමග පෙලගැසී සිට ඇත.

පරිපීඩිත කොන්දේසිවලට එරෙහි ව මහජනයා අතර කෝපය වර්ධනය වෙද්දී, ටීඑන්ඒ හා දෙමල ජාතික මහජන පෙරමුන වැනි දේශපාලන පක්ෂ ද දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය හා සමාජ සාධාරනත්වය සඳහා මහජන ව්‍යාපාරය ඇතුලු රාජ්‍ය නො වන සංවිධාන ද යලි වතාවක් ඔවුන්ගේ රැවටිලිකාරී ව්‍යාජයන් අරඹමින් පසුගිය සතියේ විරෝධතාව සංවිධානය කිරීමට “සහයෝගය” දුන් හ.

මෙම විරෝධතාව පැවතියේ සැප්තැම්බර් 14 දා අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් අටදෙනෙකු විසින් අරඹන ලද උපවාසයකින් අනතුරු ව ය. ඔක්තෝබර් මාසය මුල වනවිට කොලඹ මැගසින් බන්ධනාගාරයේ හා මහනුවර දුම්බර බන්ධනාගාරයේ සිරකරුවන් දුසිම් හතරක් ද උපවාස විරෝධතාවට එක් වූ හ.

වරින් වර ව්‍යාජ පොරොන්දු දීම නිසා මහජනයා අතර අපකීර්තියට පත්ව සිටින ටීඑන්ඒය වහා ම වැඩට බැසගති. ඔක්තෝබර් 14 දා අනුරාධුපර බන්ධනාගාරයේ රැඳවියන් හමු වූ ටීඑන්ඒ පාර්ලිමේන්තු මනත්‍රී මාවෙයි සේනාධිරාජා මෙසේ පොරොන්දු විය: “17දා ආරක්ෂක කවුන්සිල රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර එහි දී සිරකරුවන් සම්බන්ධ ව ස්ථීර තීන්දුවක් ගැනීමට නියමිත යි.” ඔහු මෙසේ ද කීවේ ය: “ඒක එහෙම වුනේ නැත්නම් ඔක්තෝබර් 18දා අපි ඊලඟ පියවර තීන්දු කරනවා.”

කෙසේ නමුත් ආන්ඩුවේ ආස්ථානය යලි යලිත් ප්‍රකාශ කරනු ලැබ ඇත. මෑත ම අවස්ථාවක අධිකරන ඇමැතිනී තලතා අතුකෝරල වාර්තාකරුවන් අමතමින් ඔක්තෝබර් 7දා මෙසේ ප්‍රකාශ කලා ය: “බන්ධනාගාර තුල දේශපාලන සිරකරුවන් නැහැ. ඔවුන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ වරදකරුවන් කරනු ලැබූ හෝ නඩු අසනු ලබන හෝ විමර්ශන අපේක්ෂාවෙන් සිටින පුද්ගලයන්.”

ආර්. සම්බන්දන් හා එම්. ඒ. සුමන්දිරන් යන ටීඑන්ඒ නායකයන් අගමැතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවේ දී මෙම කරුන අවධාරනය කර ඇති බව ඇය කීවා ය. රාජපක්ෂ ආන්ඩුවේ ස්ථාවරය වූයේ ද මෙය ම යි.

සම්බන්දන් තවත් ව්‍යාජ තර්කයක් සොයාගෙන ඇත. මෑතක දී පාර්ලිමේන්තුවේ කතාකරමින් ඔහු කීවේ නව ත්‍රස්තවාද-විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන්නන් කරන පාපෝච්ඡාරනයන් ඔවුන්ට එරෙහි සාක්ෂි ලෙස පාවිච්චි නො කරන බවට ආන්ඩුව ප්‍රකාශ කර ඇති බව යි. “පාපෝච්ඡාරනයන්” සාක්ෂි ලෙස භාවිතා කරමින් පීටීඒය යටතේ රඳවාගෙන සිටින සිරකරුවන් දැන් නිදහස් කල යුතු බව ඔහු කීවේ ය. එහෙත්, නව ත්‍රස්ත මර්දන පනත තුල ආඥාදායක පාලනයකට අවශ්‍ය රුදුරු නීති අඩංගු වේ. සම්බන්දන්ගේ කියාපෑම් පෙන්නුම් කර ඇත්තේ ටීඑන්ඒය මෙම නව නීතිවලට සහයෝගය දෙන බව යි.

උතුරු පලාත් සභාවේ මහ ඇමති හා ටීඑන්ඒ නායකයෙකු වන සී. වී. විග්නේස්වරන් ආන්ඩුවට පීඩනය දැමීම සඳහා තවත් ඉවබව නැති ඉල්ලීමක් යෝජනා කර තිබේ. සිරකරුවන් නිදහස් කිරීමේ කොන්දේසිය යටතේ එලඹෙන අයවැයට පක්ෂ ව ඡන්දය දෙන ලෙස ටීඑන්ඒ මන්ත්‍රීවරුන්ගෙන් ඔහු ඉල්ලා සිටියේ ය. පසුව පාර්ලිමේන්තු ප්‍රධානියෙක් බවට පත් වූ හිටපු එල්ටීටීඊ නායක විනයාගමූර්ති මුරලිදරන් නිදහසේ සැරිසරද්දී එල්ටීටීඊ නායකයන්ගේ නියෝග ක්‍රියාවට දැමූ පුද්ගලයන් බන්ධනාගාර තුල රඳවා සිටින බව ඔහු කියා සිටියේ ය.

අයවැයට ඡන්දය දීමේ කොන්දේසිය විය යුත්තේ දෙමල සිරකරුවන් නිදහස් කිරීම බව පවසමින් දේශපාලන සිරකරුවන්ගේ නිදහස සඳහා ජාතික සංවිධානයේ සභාපති ශක්තිවේල් විග්නේස්වරන්ට සහයෝගය දී ඇත.

ටීඑන්ඒ නායකයන්ට ද ඔවුන් වටා සිටින්නන්ට ද ආන්ඩුවේ කප්පාදු අයවැය ගැන ගැටලුවක් නැත.

යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෝ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා ආන්ඩුවට පීඩනය යෙදීම සඳහා සැප්තැම්බර් 15දා යාපනයේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සන්දේශයක් භාර දුන් හ. ශ්‍රී ලංකාවේ ආන්ඩුවේ හා යූඑන්එච්ආර්සී ඇතුලු අධිරාජ්‍යවාදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවන් එකිනෙකින් වෙන්කල නො හැක. ඔවුහු සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට සහයෝගය දුන් හ.

ඔවුන්ගේ පූච්චානම්වල වෙනස්කම් තිබුන ද සියලු ම වර්ගයේ දෙමල ජාතිකවාදී පක්ෂ හා කන්ඩායම්වලට සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා පවතින එකම ක්‍රියාමාර්ගය වන්නේ එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදී බලයන්ටත් ඔවුන් විසින් හසුරුවනු ලබන ජාත්‍යන්තර සංවිධානවලටත් බටහිර-ගැති කොලඹ ආන්ඩුවටත් ආයාචනා කිරීම යි.

ඒ අතර ම, දෙමල ජනයාට එරෙහි ව කොලඹ ආන්ඩු වලට උදවු දෙමින් සහායක හමුදා ලෙස ක්‍රියාත්මක වූවෝ, දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ව්‍යාජ ව ඉල්ලමින් හා විරෝධතා සංවිධානය කරමින් තම ලේ තැවරුනු දේශපාලනය ආවරනය කරගැනීම සඳහා මෙම අවස්ථාව භාවිතා කරති.

ඊලම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊපීඩීපී) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. චන්ද්‍රකුමාර් නායකත්වය දෙන සමානතාව හා සමාජ සාධාරනය සඳහා ජනතා සංවිධානය තවත් විරෝධතාවක් පැවැත්වී ය. චන්ද්‍රකුමාර් මෙසේ කීවේ ය: “දේශපාලන සිරකරුවන් දිගට ම රඳවාගෙන සිටිය දී රට තුල සංහිඳියාවක් තිබිය නො හැකි යි.” ඊනියා සංහිඳියාව යන්නෙන් ඔහු අදහස් කලේ තම වරප්‍රසාද තර කරගැනීම සඳහා දෙමල පක්ෂ විසින් කොලඹ පාලක ප්‍රභූව සමග ගනුදෙනුවක් සඳහා දරන තැත යි. ඊපීඩීපීයට දෙමල ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ගැන තැකීමක් නැත. ශ්‍රී ලංකා මිලිටරියේ කුලීකාර සන්නද්ධ කන්ඩායමක් ලෙස පැවති එය, යුද්ධයට හා හදිසි නීති පාලනයට සහයෝගය දීම නිසා යුද අපරාධවලට හා දේශපාලන සිරකරුවන් රඳවාගැනීම ගැන විශාල වගකීමක් දරයි.

මේ අනුව මේ සියලු සංවිධාන ඉදිරියට පැනගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් සඳහා අව්‍යාජ අරගලයක නිරත වන උතුරේ කම්කරුවන්, තරුනයන් හා අනෙකුත් පීඩිතයන් පීලි පැන්නවීමට ය. දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිත ව නිදහස් කිරීමේ හා මිලිටරිය මුලුමනින් ආපසු කැඳවීමේ ඉල්ලීමට මොවුන් විරුද්ධ ය.

ශිෂ්‍ය පෙලපාලිකරුවන් අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට රැස් වූ විට සමහර සිංහල වර්ගවාදී මැරයන් ප්‍රකෝපකාරීව හඬතලමින් මෙසේ පැවසීය: “දේශපාලන සිරකරුවො කියල ජාතියක් නැහැ. හිරගෙවල්වල සිටින්නේ කොටි (එල්ටීටීඊ සාමාජිකයන්).” ඔවුන්ට තර්ජනය කිරීමට ඉඩ දී පොලීසිය බලාගෙන සිටිය හ. පාලක පන්තිය විසින් දිරිමත් කරන ශ්‍රී ලංකාවේ වර්ගවාදී කන්ඩායම්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ විශේෂයෙන් ම දෙමල හා මුස්ලිම් සුලුතරයන්ගේ අයිතීන් ඉස්මතු කරන ඕනෑම අයෙකුට විරුද්ධ ව මැරකම් සිදුකිරීම පිලිබඳ ව කුප්‍රකට ය.

සිරකරුවන් රඳවා ගන්නා ලද්දේ වාර්ගික යුද සමයේ වන අතර අපරාධ ක්‍රියාවට දැමුවේ අනුයාත කොලඹ ආන්ඩු විසිනි. දිගට ම ඔවුන් රඳවාගැනීමෙන් ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව ඔවුන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් අහිමි කරයි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා එහි තරුන අංශය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) එක දිගට ම අවධාරනය කර ඇත්තේ දේශපාලන සිරකරුවන් අනුයාත කොලඹ ආන්ඩු විසින් දෙමල ජනයාට එරෙහි ව කරන වාර්ගික වෙනස්කම් හා යුද්ධයේ ගොදුරු බව යි. එල්ටීටීඊයේ අධිරාජ්‍ය-ගැති ජාතිකවාදී ධනේශ්වර දේශපාලනයට එරෙහි ව අපි දෙමල ජනයාගේ අයිතීන් වෙනුවෙන් සටන් කලෙමු.

දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිත ව නිදහස් කරගැනීම සඳහා සටන් වදින සසප හා සසජාතශි, උතුරෙන් හා නැගෙනහිරෙන් ශ්‍රී ලංකාවේ මිලිටරිය ආපසු කැඳවිය යුතු යයි ඉල්ලා සිටිති. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ ප්‍රශ්නය වේවා වෙනත් ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ගැන වේවා ප්‍රධාන බලයන්ට ද එක්සත් ජාතීන් හා යූඑන්එච්ආර්සී ඇතුලු ඔවුන්ගේ ජාත්‍යන්තර සංවිධානවලට ද කොලඹ පාලක ප්‍රභූවට ද කොපමන ආයාචනා කලත් පලක් නැත.

වාර්ගික වෙනස්කම් කිරීම්වල, යුද්ධයේ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මර්දනයේ මූලාශ්‍රය වන්නේ ලෝක ධනවාදය විසින් පිටුබලය සපයන ශ්‍රී ලංකාවේ ධනවාදය යි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගැනීම සඳහා ධනවාදය පෙරලා දමා සමාජවාදී පද්ධතියක් ස්ථාපිත කල යුතු ය.

සිංහල, දෙමල හා මුස්ලිම් වාර්ගික රේඛා කපමින් කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව ගොඩනගා දකුනු ආසියාවේ ද ජාත්‍යන්තර ව ද සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ හා ඊලමේ සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන් කරන ලෙස සසප හා සසජාතශි කැඳවුම් කරන්නේ මේ නිසා ය.

Share this article: