ඇමරිකාවේ කර්මාන්ත ඝාතනාගාරය

America’s industrial slaughterhouse

2018 සැප්තැම්බර් 25

2008 මූල්‍ය අර්බුදයේ සිට ගෙවුනු දශකය තුල එක්සත් ජනපදය තුල සිදුවූ පන්ති සබඳතාවන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිවිපාක අතරින් අඩුවෙන්ම අධ්‍යනය කිරීමට භාජනය වන්නේ වැඩපල තුල හදිසි අනතුරු වලින් මරනයට පත්වීම් සහ තුවාල සිදුවීම් ඉහල යාමයි. සංගත වල ලාභයන්හි උත්පාතය සහ වාර්තා ගත කොටස් වෙලඳපල ඉහල නැගීම ලඟා කරගෙන ඇත්තේ කම්කරුවන්ගේ බිඳුනු අතපය සහ මල මිනී මතින්ය.

සැප්තැම්බර් මාසයේ දින දෙකක් තුල පමනක් ප්‍රාදේශීය පුවත්පත් මගින් වාර්තා කෙරුනු මාරාන්තික අනතුරු පිලිබඳ විස්තර මගින්, අනතුරුදායක වැඩබිම් කොන්දේසි වල භයානක ඉහල නැගීම සම්බන්ධයෙන් ආලෝකයක් සපයයි.

* සැප්තැමබර් 12 වනදා 47 හැවරිදි කම්කරුවෙකු වන ලුයිස් අල්මොන්ටේ, නිව්යෝක් හී බ්රූක්ලීන් හි අඩි විස්සක් උස ගඩොල් බිත්තියක් කඩා වැටී එහි සුන්බුන් යට වැලලිනි.

* එම දිනයේදීම, නම ප්‍රකාශ නොකෙරුනු, බර උපකරන ක්‍රියාකරුවෙකු, මරනයට පත් වුයේ, දින පහකට කලින් ඉන්දියානා ප්‍රාන්තයේ ඩගර් ප්‍රදේශය අසල පීබොඩි එනර්ජි බෙයා රන් ගල් අඟුරු පතලේදී ඔහුගේ ඇඳුම් වලට ගිනි ඇවිලීම නිසා සිදු වූ පිලිස්සුම් තුවාල වලිනි.

* සැප්තැම්බර් 13 වනදා, 29 හැවිරිදි ගොඩනැගිලි කම්කරුවෙකු වන මාර්කස් ඩිවෙයින් බිලින්ග්ස්ලි, ඇල්බාමා ප්‍රාන්තයේ බර්මින්ග්හැම් හී නව සුඛෝපභෝගී මහල් නිවසක වැඩ බිමෙහි වැඩ කරමින් සිටියදී ඉහල උසකින් වැටී මරනයට පත්විය.

* සැප්තැම්බර් 13 වනදාම, 20 හැවිරිදි ටැබෝර් ඩැනියල් හේයස්, ජෝර්ජියා ප්රාන්තෙයේ හෝලි ස්ප්‍රින්ග්ස් නගරය අසල පිහිටි ඊස්ට් ගේට් පැලට් පරිශ්‍රයේදී මේස කියතකින් සිදුවූ කාර්මික අනතුරකින් ජීවිතක්ෂයට පත් විය.

* එදිනම තවමත් නම ප්‍රකාශයට පත් කර නොමැති 24 හැවිරිදි ෆෝඞ් කම්කරුවෙකුගේ මෘත දේහය මිචිගන් හී ස්ටර්ලින් හයිට්ස් හී පිහිටි ෆෝර්ඞ් ස්ටර්ලීන් ඇක්සල් ප්ලාන්ට් කම්හලේ වැසිකිලි සංකීර්නයක තිබී සොයා ගන්නා ලදී. මියගිය පුද්ගලයා වයස අවරුදු දෙකක දරුවෙකුගේ පියෙකි. තමන්ට අසනීප ගතියක් දැනෙන බව මෙම තරුනයා පැවසූවේයැයි ඔහු සමග වැඩ කල පිරිස් පොලීසියට පැවසීය. ඔහු වැසිකිලියට යාමට පෙර ඇද වැටෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ආන්ඩුවේ ඉතා මෑතම දත්ත වලට අනුව 2016 දී කම්කරුවන් 5190 ක් රාජකාරීයේ යෙදී සිටියදී මිය ගිය අතර, එය 2015 දී මිය ගිය 4836 ට වඩා සියයට 7 ක වැඩි වීමකි. මීට අමතරව තවත් 50,000 ත් 60,000 ත් අතර සේවකයන් පිරිසක් බ්ලැක් ලන්ග්ස්, සිලිකොසියාව සහ වැඩ පලහි විෂ වලට නිරාවරනය වීම නිසා ඇති වන විවිධාකාර පිලිකා ඇතුලු වෘත්තීමය රෝගාබාධ වලින් මිය යයි. සෑම දිනකම එක්සත් ජනපදය තුල අඩු තරමේ කම්කරුවන් 150ක් වැලැක්විය හැකි අනතුරුදායක වැඩපලෙහි කොන්දේසි වලින් ජීවිතක්ෂයට පත්වෙයි.

මීට අමතරව 2016 දී, මරනීය නොවන වැඩ බිමෙහි සිදුවූ අනතුරු මිලියන 2.9ක්, සේවා යෝජකයන් විසින් වාර්තා කර ඇත. මෙම සංඛ්‍යාව බරලපතල අඩු තක්සේරු කිරීමක් බවට කිසිදු සැකයක් නැත. තමන් මෙම අනතුරු වාර්තා කලහොත් කලමනාකාරීත්වයෙන් එන ප්‍රතිවිපාක වලට කම්කරුවන් තුල ඇති බිය නිසා සහ ඇතැම් සමාගම් තුවාල සහ රෝගා බාධ වාර්තා කිරීමට අසමත්වීම නිසා බොහෝ අනතුරු වාර්තා නොවේ.

පසුගිය වසර 10 පුරාවට සැබෑ වැටුපෙහි සිදුවූ පහල යාමත් සමග කම්කරුවන්ට රැකියා කිහිපයක් කිරීමට සහ දීර්ඝ පැය ගනනක් වැඩ කිරීමට බල කෙරී ඇත. ඔවුන් ඉහල දැමුනු වැඩ ප්‍රමානයන් සහ ඉහල ඵලදායීත්වයක් සඳහා වන නිර්දය ඉල්ලීම් වලට මුහුන දෙයි. යූපීඑස් සහ අනෙකුත් පාර්සල් බෙදාහැරීමේ රියදුරන් විසින් අතේ ගෙන යන පරිගනක වල සිට, ඇමසන් කම්කරුවන් මත පර්යේෂනාත්මක අත් පලඳනා, කාර්යාල වල වැඩ කරන පිරිස් යතුරු පුවරුව කී වරක් ඔබනවාද යන්න පරීක්ෂා කිරීමට යොදා ගන්න මෘදුකාංගය දක්වා නව තාක්ෂනය, සංගත විසින් වැඩ වේගවත් කිරීම සහ කම්කරුවන්ගෙන් වඩ වඩාත් නිෂ්පාදනය මිරිකා ගැනීම ක්‍රියාත්මක කිරීමට යොදා ගනිමින් සිටී.

සංගත විසින් ලාභ තර කර ගැනීමෙන් පසු තුවාල වූ සේවකයන් හාමත් වීමට හෝ නිවාස රහිත තත්වයට පත් වීමට ඉඩ හැර ඇත. ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා බොහෝ පිරිසක් නැරඹු වීඩියෝවක ටෙක්සාස් ප්‍රදේශයේ ඩලාස් ෆොර්ට් වර්ත් හී ඇමසන් කම්කරුවෙකු වන ඇන්ජෙලා ෂෙල්ටන්, ඇය මේ දැවැන්ත සංගතයේ සේවිකාවක ලෙස රැකියාව කරන අතරතුර මැනික් කටුවට සිදුවූ අනතුරකින් ආබාධිත වීමෙන් පසු ඇයට වැටුප ලෙස සතියකට ඇමරිකානු ඩොලර් 7.14 ක් (බදු ගෙවූ පසු) ගෙවූ ආකාරය විස්තර කරයි. ටෙක්සාස් හී හැස්ලට් හි පිහිටි එම ඇමසන් පරිශ්‍රයේම තවත් කම්කරුවෙකු ආබාධිත වීමෙන් පසු නිවස අහිමි වීම නිසා තම මෝටර් රථයේ ජීවත් වීමට සිදුවී ඇත.

2016 දී සිදුවූ මරනීය අනතුරු වලින් 5190 න් 970ක් ම එනම් පහෙන් එකක්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේය. සෑම මසකම ඉදිකිරීම් කම්කරුවන් 80 ක් වැඩ බිමෙහි සිදුවන අනතුරු වලින් මරනයට පත් වන අතර ඒවායින් වැඩි ප්‍රමානයක් සිදු වන්නේ වැටීම් මගින්ය.

“ඔවුන් අපට සලකන්නේ කොටළුවන්ට වගේ. ඔවුන් අපෙන් වැඩ අරන් විසික් කරලා දානවා”; 2016-2017 අතර කාලය තුල කම්කරුවන් 16 දෙනකු මියගිය ටැන්සී නාශ්විල් හී කොන්දේසි, ඉදිකිරීම් කම්කරුවෙකු වන අර්නෙස්ටෝ රිවෙරා විසින් ගාඩියන් පුවත් පතට විස්තර කරමින් පැවසීය.

එවැනි සිදුවීම් වල වාර ගනන සහ දරුනු බව තිබියදීම ඒවා ප්‍රධාන මාධ්‍ය වල සහ සංගත විසින් පාලනය කරන දේශපාලන පක්ෂ වල අවධානය දිනා නොගැනීම පුදුම සහගතය. 1980 ගනන් වල සිට ඩිමොක්‍රටිකයන් සහ රිපබ්ලිකයන් යන දෙපිරිසම වැඩ බිමේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්වයන්ට යටින් වල කැපීමට කටයුතු කර තිබේ.

සමස්ත රටටම අදාල ආයතනයක් (ෆෙඩරල්) වන වෘත්තීමය ආරක්ෂාව සහ සෞඛ්‍ය පරිපාලනය (ඕඑස්එච්ඒ) හි සිටින පරීක්ෂකයන් ගනන එම ආයතනයේ ඉතිහාසය තුල තිබූ පහලම අගයට වැටී ඇති අතර, ඇමරිකානු ආර්ථිකය එහි වර්තමාන ප්‍රමානයෙන් අඩක් වූ 1980 දී රොනල්ඞ් රේගන් ජනාධිපති වන විට තිබු අගයෙන් අර්ධයකටත් වඩා අඩු වී ඇත. සේවා ස්ථාන මිලියන 9 යකට සහ කම්කරුවන් මිලියන 130 කට ෆෙඩරල් සහ ප්‍රාන්ත පරීක්ෂකයන් සිටින්නේ 1821ක් පමනි. ෆෙඩරල් ඒජන්සියට තම බල ප්‍රදේශයේ ඇති එම සෑම සේවා ස්ථානයක්ම එක වරක් පරීක්ෂා කිරීමට වසර 158ක් ගත වනු ඇත.

ඔබාමා පරිපාලනයේ වසර අට ඇතුලත වැඩ පල වල සිදුවන මරන සංඛ්‍යාව අනවරතව වැඩි විය. මේ කාලය තුල එය පෙර නොවූ විරූ ලෙස [කාර්මික] ඵලදායීතාව ඉහල නැංවීම් සඳහා වෘත්තීය සමිති වල සම්පූර්න සහය ලබමින් ක්‍රියාත්මක විය.

ට්‍රම්ප් පරිපාලනය, එහි ස්වදේශීය ආර්ථික පිලිවෙතෙහි කේන්ද්‍රීය අංගය ලෙස, සෞඛ්‍ය, ආරක්ෂාව සහ පාරිසරික ප්‍රමිතීන් හා රෙගුලාසි ඉවත් කිරීම පත් කර ගෙන ඇත. කැනීම් ආරක්ෂාව සහ සෞඛ්‍ය පාලක මන්ඩලයට (එම්එස්එච්ඒ) හිටපු ගල් අඟුරු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රධානියෙකු වන ඬේවිඞ් සැටසලොටෝ පත්කිරීම ඇතුලුව, හිටපු සංගත ප්‍රධානීන්ව නියාමන ආයතන වල ප්‍රධාන තනතුරු වලට පත් කිරීම ට්‍රම්ප් විසින් සිදු කොට තිබේ. සැටසලොටෝගේ සමාගම වන රයිනෝ රිසෝසස්, ඔහු විසින්ම දැන් ප්‍රධානී තනතුර දරන එම්එස්එච්ඒ ආයතනය මගින්, අඩු තරමේ බටහිර වර්ජිනියාහි එක පතල් කම්කරුවෙකුගේ මරනයට හේතු වූ අයුරින්, ආරක්ෂාව උල්ලංඝනය කිරීමේ රටාවන් පවත්වාගෙන ගිය බව දක්වා ඇත.

වැඩ පලෙහි සිදුවන මරන වැඩිවීම සහ, වෘත්තීය සමිති, සංගත වල කලමනාකාරීත්වයේ සහ ආන්ඩුවේ ඍජු උපකරනයක් බවට පරිවර්තනයවීම අතර සමීප සබඳතාවක් ඇත. ඇමරිකානු මහා සංගත සහ ඒවායේ ප්‍රධාන පක්ෂ දෙක විසින් සිදු කරන නිර්දය ප්‍රහාරයට එරෙහි කම්කරුවන්ගේ ප්‍රතිවිරෝධය මෙම සංවිධාන මගින් ක්‍රමානුකූලව මර්දනය කර ඇත. ආන්ඩුව 1947 දී මහා පරිමාන වැඩ නැවැත්වීම් වාර්තා කිරීම පටන්ගැනීමේ සිට පසුගිය දශක දෙක පුරාවට වෘත්තීය සමිති උද්ඝෝෂන ක්‍රියාකාරකම් එහි අඩුම අගයට බස්සවා ඇත.

වෘත්තීය සමිති ඔවුන්ගේ ධනපති ගැති නායකත්වය තිබියදීම, කර්මාන්තශාලා වල, පතල් සහ මෝල් වල කම්කරුවන්ගේ වඩාත්ම හදිසි අවශ්‍යතාවන් වලට ප්‍රතිලාභ ලැබෙන ඇතැම් ක්‍රියාකාරීත්වයන් සිදු කල කාලයක් විය. කම්කරුවන්ට වැඩ කිරීමේ නීති උල්ලංඝනය කිරීම් සහ වැඩ වේගවත් කිරීම් පිලිබඳව ඔවුන්ගේ වැඩපල භාරකරුට පැමිනිලි කිරීමේ හැකියාව තිබුනි. ඔවුන්ට ඔවුන්ගේ කමිටු සාමාජිකයා සමග තමන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුනේ අවසානයේ කෙසේ හෝ ඒවාට ආමන්ත්‍රනය කරනු ඇතැයි යන බලාපොරොත්තුව ඇතිවය. ප්‍රාදේශීය වෘත්තීය සමිති සෞඛ්‍ය සහ ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් පවා උද්ඝෝෂන කඳවුම් කලේය.

වෘත්තීය සමිති බොහෝ කාලයකට පෙර එවැනි සියලු ක්‍රියාකාරීත්වයන් අත්හැර දැමීය. මෙයට උදාහරනයක් වන්නේ, ෆියට් ක්‍රයිස්ලර් සමාගමේ කම්කරුවෙක් වූ එරික් පියර්සන්, එම සමාගමේ කොමොකෝ හි පිහිටි වාත්තු කම්හලේ සේවයේ යෙදී සිටියදී, සැපතැම්බර් 4 දා විශාල අච්චුවක් ඇඟේ ගැටීමෙන් කොඳුඇට පෙලට හා උකුල් ඇටයට දැඩි හානි සිදු වීම හා අභ්‍යන්තර රුධිර වහනයට ලක් වීමේ සමස්ත ජීවිතයටම බලපාන අනතුරකට ලක්වීමයි.

ස්වාධීන පරීක්ෂනයක් පවත්වනවා තබා අනතුර ගැන ප්‍රකාශයක් නිකුත් කිරීමටවත් යුනයිටඞ් ඔටෝ වර්කර්ස් වෘත්තීය සමිතිය කරදර වුයේ නැත. මෙසේ සිදු වුයේ කොකොමෝ සේවකයන් විසින් මාස දෙකකට පමන පෙර, නොවිසිඳුන සෞඛ්‍ය සහ ආරක්ෂාව පිලිබඳ දුක්ගැනවිලි 200 සම්බන්ධයෙන් වැඩ වර්ජනයක් කැඳවමින් ලබා දුන් ඉතා විශාල ඡන්දය වෘත්තීය සමිති විසින් නොසලකා හැර තිබෙන තත්වයක් යටතේය.

කම්කරුවන්ට වැඩ වේගවත් කිරීමට, බලහත්කාරී අතිකාල වැඩකිරීම් වල යෙදවීමට, ආරක්ෂාව උල්ලංඝනය කිරීම් වලට, උපද්‍රව සහිත රසායනික ද්‍රව්‍ය වලට, දෝෂ සහිත උපකරන වලට සහ ලිංගික අතවර වලට ඇතුලු දිනපතා සිදුවන අපයෝජනය කිරීම් වලට එරහිව සටන් කිරීමට නව සංවිධාන අවශ්‍යය. සංගත වල සහ බැංකු වල ලාභ සහ පරමාධිකාරය කම්කරුවන්ගේ අවශ්‍යතාවන්ට ඉහලින් තිබිය යුතුයැයි යන්න ප්‍රතික්ෂේප කරමින්, කම්කරුවන්ගේ අවශ්‍යතාවන් ආමන්ත්‍රනය කිරීම සඳහා, කර්මාන්තශාලා වල සහ වැඩ බිම් වල ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු යයි, සමාජවාදී සමානතා පක්ෂය, යෝජනා කරයි.

මෙම කමිටු සෞඛ්‍ය සහ ආරක්ෂාව අධීක්ෂනය කරනු ඇති අතර, කම්කරුවන්ව වේගවත් කිරීම් වලට, වැඩිපුර වැඩ පැටවීම් වලට එරහිව බලමුලු ගන්වනු ඇත. එමෙන්ම පැය අටේ වැඩ දිනය බලාත්මක කරනු ඇත. සංගත සහ ඔවුන්ගේ වෘත්තීය සමිති අතවැසියන් විසින් වැඩ පරිශ්‍රයන් තුල ගෙනයනු ලබන ඒකාධිපතිත්වයට එරහිව කර්මාන්තශාලා කමිටු විසින් සේවකයන්ගේ අභිප්‍රායන් තහවුරු කරනු ඇති අතර නිෂ්පාදනය සම්බන්ධයෙන් කම්කරුවන්ගේ පාලනය ඇතුලු කාර්මික ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරනු ඇත.

වැඩ බිමෙහි ආරක්ෂාව ඛාදනය වීම ගෝලීය ප්‍රශ්නයකි. මෙම මාසය මුලදී තුර්කියේ ඉස්තාන්බුල් හී ගුවන් තොටුපල ඉදිකිරීම් පරිශ්‍රයක දහස් ගනන් කම්කරුවන් ඔවුන්ගේ සහෝදර කම්කරුවන් 17 දෙනෙකුට තුවාල සිදුකල වැන් රථ අනතුරකින් පසු වැඩ වර්ජනය කලෝය. මෙම අනතුර සේවකයෙකු විසින් “සොහොන් බිමක්” ලෙස හැඳින්වූ මෙම පරිශ්‍රයේ සිදුවූ කාර්මික අනතුරු වලින් නවතම එකය.

සෑම පියවරකදීම ශිෂ්ඨ සම්පන්න සහ ආරක්ෂිත වැඩ කිරීමේ කොන්දේසි සඳහා වන අයිතිය ගෝලීය සංගතයන්ගේ වැඩ කිරීමේ කොන්දේසි සමග ගැටේ. විද්‍යාවේ සහ තාක්ෂනයේ මහා පරිමාන වර්ධනයන් තිබියදීම ධනපති වැටුප් වහල්භාවය විසින් කම්කරුවන්ව කෘර වැඩබිම් කොන්දේසි තුලට බලයෙන් යොදවයි.

තාර්කික සහ මානුෂීය නිෂ්පාදන පද්ධතියක් ස්ථාපනය කිරීමට නිෂ්පාදන බලවේගයන් වල පුද්ගලික හිමිකාරීත්වයට එරෙහිව සිදුකරන ප්‍රහාරයක් ඉල්ලා සිටියි. සංගතයන් පවරාගෙන ඒවා පොදු උපයෝගීතාවයන් බවට කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය පාලනය යටතේ පරිවර්තනය කිරීම අවශ්‍යය. එවැනි සමාජවාදී වැඩපිලිවෙලක් ස්ථාපනය කල හැක්කේ කම්කරු පන්තියේ ශක්තිමත් ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම හරහා පමනි.

ජෙරී වයිට්

Share this article: