යූපීඑස් කම්කරුවන්ගේ “එපා” ඡන්දයෙන් පසු, ටීම්ස්ටර්ස් (ලොරි රියැදුරු) වෘත්තීය සමිති නිලධරය ගිවිසුම අනුමත බව පවස යි

After “no” vote by UPS workers, Teamsters bureaucracy declares contract ratified

2018 ඔක්තෝබර 8

එක්සත් ජනපදය තුල තමන් වෘත්තීය සමිති යැයි කියා ගන්නා සංවිධානවල කම්කරු විරෝධී ස්වභාවය ඔප්පු කිරීමට තවත් වැඩි පුර සාක්ෂි අවශ්‍ය වූයේ නම්, ටීම්ස්ටර් වෘත්තීය සමිතිය විසින් ගෙවී ගිය දින කීපයේ දී එය සපයා දී ඇත.

සිකුරාදා සවස, ටීම්ස්ටර්ස් විසින් තල්ලු කෙරුනු සමාගම් ගැති ගිවිසුමක් කම්කරුවන් විසින් ඡන්දය දී පරාජය කිරීමෙන් පසු, වෘත්තීය සමිතිය නිවේදනය කලේ ගබඩා කම්කරුවන් හා රියදුරන් මිලියන කාලක් ආවරනය කරමින් පස් අවුරුදු ගිවිසුමක් අනුමත කෙරී ඇති බව යි. ටීම්ස්ටර් ප්‍රකාශ කරන පරිදි, හේතුව වන්නේ, සාමාජිකයින්ගෙන් අඩකට අඩුවෙන් ඡන්දය දෙන්නේ නම් (නිල වසයෙන් සහභාගිත්වය සියයට 44කි), ගිවිසුම ප්‍රතික්ෂේප කිරීමට තුනෙන් දෙකක් “එපා”යැයි ඡන්දය දිය යුතු බව නියම කරන, අපහැදිලි මෙන් ම ප්‍රජාතන්ත්‍ර විරෝධී වගන්තියකි.

මෙම ස්වාර්ථකාමී තර්කය නො තකා, විවෘත කාරනය වන්නේ, සාමාජිකයින් කොන්ත්‍රාත්තුව පරාජය කල අතර, ටීම්ස්ටර් වෘත්තීය සමිතිය අත්තනෝමතික ලෙස ඔවුන්ගේ ඡන්දය නො තකා හරිමින් හා කෙසේ හෝ එය පටවමින් සිටින්නේ ය යන පැහදිලි කාරනය යි. මෙම ක්‍රියාව පමනක් ම ද පැහදිලි කරන්නේ මෙම සංවිධානය ලොක්කන්ගේ උපකරනයක් මෙන් ම කම්කරුවන්ගේ හතුරෙකු බව යි.

පසු ගිය ජූලි මාසයේ දී ගිවිසුම නිවේදනය කිරීමත් සමග ම, එය ටීම්ස්ටර්ස් කම්කරුවන් බිය වැද්දීමට නිලධාරීන් යෙදුවේ, ඔවුන් ගිවිසුම ප්‍රතික්ෂේප කර වැඩවර්ජනයකට ගිය හොත්, වෛද්‍ය සහනාධාර අහිමි කිරීම හා වැටුප් පහල දැමීම පවා කෙරෙනු ඇත යි තර්ජනය කරමිනි. ජූලි 31වැනිදා පැරනි ගිවිසුම අවසන් වූ අවස්ථාවේ කම්කරුවෝ සියයට 93ක පරතරයකින් වැඩවර්ජනයක් අනුමත කිරීමට ඡන්දය දුන්හ.

ගිවිසුම මත ඡන්දය හා සහභාගිත්වය පිලිබඳ වෘත්තීය සමිති ඉලක්කම් සම්බන්ධයෙන් කම්කරුවෝ යුක්තිසහගත ලෙස සැක කරති. නිල සියයට 44ට වඩා සහභාගිත්වය වැඩි බවත් එමෙන් ම සියයට 46ට එරෙහිව වාර්තා කෙරුනු සියයට 56 “එපා” ඡන්දය වඩා විශාල බවත් බොහෝ දෙනා විශ්වාස කරති.

පුලුල් ව පැතිරුනු කෝපයක් හා පිලිකුලක් එහි පවතී. කම්කරුවන්ට සමාගම හා වෘත්තීය සමිතියේ කුමන්ත්‍රනයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය ය. නමුත් කම්කරුවන්ට නව සංවිධාන, තමන්ගේ ම සංවිධාන, ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරන සහ මෙම ගිවිසුම අවසන් කිරීමට ජාතික පරිමාන වැඩවර්ජනයක් සඳහා සහාය ගොනු කර ගැනීමට හා සංවිධානය කිරීමට මෙන් ම රට පුරා ද ලෝකය වටා ද කම්කරුවන් සමග සහයෝගය හා ඒකාබද්ධ ක්‍රියාවන් සඳහා සමීප වීමට සංවිධාන අවශ්‍ය ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය, සමාජවාදී සමානතා පක්ෂය හා WSWS, යූපීඑස් වර්කර්ස් නිව්ස්ලෙටර් යෝජනා කරන්නේ සමාගම පාලිත වෘත්තීය සමිතියෙන් සම්පූර්නයෙන් ම ස්වාධීනව යූපීඑස් කම්කරුවන් ෆැක්ටරි හා වැඩපොල ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු බව යි.

කම්කරුවන් මුහුන දෙමින් සිටින ප්‍රශ්න පොදු ය. යූපීඑස් ගිවිසුමට එරෙහි ඡන්දය (කෙන්ටකී ප්‍රාන්තයේ ලුයිස්විලේ යූපීඑස් ගුවන්බඩු පද්ධතියේ යූපීඑස් බඩු ප්‍රවාහන කම්කරුවන් හා යාන්ත්‍රිකයන් විසින් ටීම්ස්ටර් සහාය දුන් ගිවිසුම් ප්‍රතික්ෂේප කිරීම සමග සමාපාත වූ) එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තර ව වර්ධනය වන්නා වූ කම්කරු පන්තික විරුද්ධත්වයේ කොටසකි.

චිකාගෝ, බොස්ටන්, සැන් ෆ්‍රැන්සිස්කෝ හා ඩෙට්‍රොයිට් යන නගරවල අවන්හල් කම්කරුවන් වැඩ වර්ජනය කරමින් සිටින අතර වානේ කම්කරුවන් හා ලොස් ඇන්ජලීස් ගුරුවරුන් ඒකමතිකව වැඩවර්ජනවලට ඡන්දය දී ඇත. මෙම වර්ෂයේ ගුරුවරුන්ගේ වැඩවර්ජනවලින් පසු, ගිය මාසයේ වොෂින්ටන් ප්‍රාන්තයේ ගුරුවරුන්ගේ වර්ජනය ද රටේ අනෙකුත් කොටස්වල වැඩවර්ජන අනුමත කිරීම් ද සිදු විය. ඇමසන් කම්කරුවන්, මොටර්රථ කම්කරුවන්, සෞඛ්‍යාරක්ෂක කම්කරුවන් හා වානේ කම්කරුවන් යන සියල්ලෝම දරිද්‍ර මට්ටමේ වැටුප් හා ප්‍රතිලාභ, සුරක්ෂිතභාවය හා වැඩ කොන්දේසි මත ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීමට මාවතක් සොයමින් සිටිති.

මෑත සතිවල දී, එක්සත් ජනපද දේශසීමාවන්ගෙන් ඔබ්බේ, රයන්එයාර් ගුවන් නියමුවෝ හා නියමු කුටි සේවකයෝ යුරෝපයේ රටවල් හයක් හරහා වැඩවර්ජන දියත් කලහ, ආර්ජන්ටීනාවේ කම්කරුවෝ ජාත්‍යන්ර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවරයන්ට එරෙහිව වැඩවර්ජනය කලහ, අප්‍රිකාව, ආසියාව හා ඕස්ටේ්‍රලියාවේ වැඩවර්ජන හා විරෝධතා පිපුරුනි.

සෑම සිද්ධියක දී ම, සමාගම්වලට පමනක් නොව සංගත පාලිත වෘත්තීය සමිතිවලට එරෙහිව ද කම්කරුවෝ මුහුන දෙති. ගුරුවරුන්ගේ වෘත්තීය සමිති එකිනෙකට වෙනස් නගර හා ප්‍රාන්තවල අරගල හුදකලා කලේ, ගුරුවරුන්ගේ ඉල්ලීම් විසඳීමට අසමත් වූ ගිවිසුම් පටවමිනි. යුනයිටඞ් ඔටෝ වර්කර්ස් වෘත්තීය සමිතිය සමාගම් ගැති ගිවිසුම් පැටවීම සඳහා අල්ලස් වසයෙන් ඩොලර් මිලියන ගනන් ගත් බව හෙලිදරව් වී ඇත. යුනයිට් හියර් (ඹභෂඔෑ ්‍යෑඍෑ) නම් වෘත්තීය සමිතිය හෝටල් කම්කරුවන් එකිනෙකා වෙන් කිරීමට හා එක්සත් අරගලයක් වැලක්වීමට ඔවුන්ට හැකි සෑම දෙයක් ම කරති. යුනයිටඞ් ස්ටීල් වර්කර්ස් නම් වෘත්තීය සමිතිය වැඩවර්ජන අනුමතිය නො සලකා හරිමින් සිටින්නේ, සමාගම්-ගැති ගිවිසුම සම්මත කර ගැනීමට එය සූදානම් වීම සමඟිනි.

පසු ගිය දශක හතර පුරා, වෘත්තීය සමිති ක්‍රමානුකූලව වැඩ කර ඇත්තේ ඇමරිකානු පාලක පන්තිය විසින් ගෙන යනු ලබන සමාජ ප්‍රතිවිප්ලවයට පවතින ඕනෑ ම විරුද්ධත්වයක් මර්දනය කිරීමට යි. සමාජ අසමනාතවේ ඓතිහාසික මට්ටම් මධ්‍යයේ, පසු ගිය වසරේ පැවති ප්‍රධාන වැඩවර්ජන සංඛාව, එවැනි සංඛ්‍යා පලමු වරට සකස් කෙරුනු, 1947 සිට දෙවැනි අඩුම සංඛ්‍යාව යි.

වෘත්තීය සමිති සංවිධාන තුල හා ඒ වටා තිබෙන බොහෝ සංවිධාන හා කන්ඩායම් , කම්කරුවන් මෙම සමාගම් වෘත්තීය සමිතිවල සංවිධානමය ආධිපත්‍යය පිලිගත යුතු යැයි අවධාරනය කරති. මෙම කන්ඩායම්වල කාර්යභාරය හෙලිදරව් කෙරෙන්නේ යූපීඑස්වල සිකුරාදා වර්ධනයන් තුල දී ඩෙමොක්‍රටික් යූනියන්(ටීඩීයූ) හා ටීම්ස්ටර්ස් යුනයිටඞ්(ටීයූ) වෙනුවෙන් ටීම්ස්ටර්ස් දැක් වූ ප්‍රතිචාරයෙනි.

පසු ගිය තුන් මස පුරා, ටීඩීයූ හා ටීයූව “එපා” ඡන්දය ජේම්ස් පී හොෆාගේ වෘත්තීය සමිති නායකත්වය, නව ගිවිසුමක් සාකච්ඡා කිරීමට ඒත්තු ගන්වනු ඇත යි යන බොරුව තොරොම්බල් කලේ ය. දැන් ටීම්ස්ටර්ස් වෘත්තීය සමිතිය තම ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙහෙයුම් සාර්ථක කර ගැනීමට උත්සාහ ගනිත් ම, ටීඩීයූ හා ටීයූව අවධානය කරන්නේ කම්කරුවන් එහි අධිකාරිත්වය පිලිගත යුතු බව යි. නිවට ප්‍රකාශනයක් තුල, ටීඩීයූ නිලධාරීන් කම්කරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ, “මෙම අර්බුදය විසඳීමට ” හදිසි රැස්වීමක් කැඳවීමට ද ප්‍රධාන සාකච්ඡා කරු ඉවත් කර හොෆා “සාකච්ඡා මේසයට යලි පැමින, නව ප්‍රතිඥාවකට පැමිනි වහා ම ගිවිසුමක් නියම කරනු මැනවි” යැයි වෘත්තීය සමිතියේ පොදු විධායක මන්ඩලයෙන් ඉල්ලා පෙත්සමක් අත්සන් කරන ලෙස යි.

වැඩවර්ජනයක් සූදානම් කිරීම සහ සමාගම හා සමාගම් වෘත්තීය සමිතියට එරෙහිව සැබෑ අරගලයක් ගෙන යාම ඔවුන්ට අවශ්‍ය අවසන් දෙය වන්නේ ය.

රැවටිල්ල හා නිෂ්ඵලභාවයේ මෙම ව්‍යායාමයට අපි විරුද්ධ වෙමු. ඒ වෙනු වට අප ඉල්ලා සිටින්නේ ක්‍රියාකාරී වැඩසටහනක් සාකච්ඡා කිරීමට හා ක්‍රියාත්මක කිරීමට සෑම යූපීඑස් වැඩබිමක ම කම්කරුවන් ක්‍රියාකාරී කම්කරු කමිටු ගොඩනැගිය යුතු බව යි. මෙම ස්වාධීන කමිටු කම්කරුවන්ගේ ඉල්ලීම්, එනම් දෙමුහුන් රියදුරු කූටෝපාය ඉවත දැමීම, අර්ධ කාලීන කම්කරුවන් සම්පූර්න වැටුප් හා ප්‍රතිලාභ සහිත පූර්න කාලීන කම්කරුවන් බවට හැරවීම හා සැලකියයුතු වැටුප් වැඩිවීමක් අත්කරගන්නා තෙක් යූපීඑස් වසා දැමීමේ වැඩවර්ජනයක් සඳහා සහාය ගොඩනගනු ඇත.

කම්රුවන්ගේ ක්‍රියාකාරී කමිටු සඳහා ආරම්භකත්වය ගත යුත්තේ යූපීඑස් කම්කරුවන් අතර පමනක් නොව, කම්කරු පන්තියේ සියලු කන්ඩායම් අතර ය. ප්‍රජාතන්ත්‍රවාදී ව පාලනය කෙරෙන්නා වූ ද කම්කරුවන්ට උත්තර දිය යුතු වන්නා වූ ද ෆැක්ටරි හා වැඩපොල කමිටු ගොඩනැගිය යුත්තේ, වෘත්තීය සමිති විසින් අනුබල දෙනු ලබන සංගතවල වැඩ කට්ටි ඒකාධිපතිත්වයට අභියෝග කිරීමට ය. මෙම කමිටු දීර්ග කාලයක් තිස්සේ වෘත්තීය සමිති විසින් අතහැර දමන ලද, දුක් ගැනවිලි විසඳීම, සටන්කාමී කම්කරුවන් විපතට පත් කිරීමට විරුද්ධත්වය දැක් වීම, වැඩ වේගවත් කිරීම හා අනාරක්ෂිත කොන්දේසි අවසන් කිරීම හා කාර්මික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන් කිරීම ඇතුලු වගකීම් බාර ගත යුතු ය.

ජීවන තත්වයන්ගේ හා සේවා කොන්දේසිවල දශක ගනනාවක් දීර්ග පරිහානියට, හා ඩෙමොක්‍රටිකයන් මෙන් ම රිපබ්ලිකානුවන් විසින් අධීක්ෂනය කෙරෙන බිලියනපතියන්ට අතිමහත් ධනය මාරු කිරීමට එරෙහි, එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තර අරගලය තුල කම්කරු පන්තියේ සෑම කන්ඩායමක් ම අරගලයේ මෙම නව සංවිධාන විසින් සම්බන්ධ කරනු ඇත.

මෙය එක් හාම්පුතෙකුට හෝ වෘත්තීය සමිතියකට එරෙහි සටනක් නොවේ. එය සංගත හා මූල්‍ය ප්‍රභූව පොහොසත් කිරීම සඳහා සමාජයේ අවශ්‍යතාවන් යටපත් කරන සමස්ත ධනේශ්වර පද්ධතියට එරෙහි අරගලයකි. ඒ නිසයි කම්කරු පන්තියේ කාර්මික ප්‍රතිප්‍රහාරය නව දේශපාලන මූලෝපයකින් සන්නද්ධ කල යුත්තේ: එනම් යූපීඑස් හා ඇමසන් වැනි සංගත කම්කරු පන්තිය විසින් සාමූහිකව හිමි කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරන මහජන ව්‍යාපාර බවට පරිවර්තනය කිරීම සඳහා අරගලය යි.

ජෙරී වයිට්

Share this article: